August, 17, 2026
සෙලින්කෝ ලයිෆ් සමාගම තම සමස්ත වත්කම් රුපියල් බිලියන 300ක සුවිශේෂී සන්ධිස්ථානය ඉක්මවා ඇති බව නිවේදනය කර ඇත.
2026 ජූනි 30 වන විට සමාගමේ මුළු වත්කම් වටිනාකම රුපියල් බිලියන 302.5ක් ලෙස වාර්තා වූ අතර එය සමාගමේ අඛණ්ඩ වර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරන සුවිශේෂී සාධකයකි.
2026 වර්ෂයේ පළමු මාස හය තුළ පමණක් සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 15.65ක වත්කම් වර්ධනයක් වාර්තා කළ අතර එම වර්ධනය මසකට රුපියල් බිලියන 2.58ක සාමාන්‍යයක් සහ සියයට 5.45ක වර්ධන අනුපාතයක් නියෝජනය කරයි.
වැදගත් කරුණක් ලෙස, 2026 ජූනි 30 වන විට සමාගම සියයට 406ක අවදානම් පදනම් කරගත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතයක් (Risk-Based Capital Adequacy Ratio) වාර්තා කර ඇති අතර, එය රක්ෂණ නියාමකයා විසින් නියම කර ඇති අවමය වන සියයට 120 සැලකිය යුතු ලෙස ඉක්මවා යයි. මෙම ශක්තිමත් ප්‍රාග්ධන තත්ත්වය සෙලින්කෝ ලයිෆ් සමාගමේ විචක්ෂණශීලී අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන්, යහපත් මූල්‍ය පාලනය සහ රක්ෂණ ඔප්පු හිමියන්ගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඇති කැපවීම මෙන්ම ආර්ථික පීඩන හා වෙළෙඳපොළ අස්ථාවරතාවන්ට සාර්ථකව මුහුණ දීමට සමාගම සතු ඉහළ හැකියාවද පෙන්නුම් කරයි.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසුවේ “සෙලින්කෝ ලයිෆ් සමාගමේ වත්කම් රුපියල් බිලියන 300 සීමාව ඉක්මවා යාම සමාගමේ ශක්තිමත්භාවය, ස්ථාවරත්වය සහ විනයගරුක වර්ධනය තහවුරු කිරීමකි. නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ අපගේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය, අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් අප අනුගමනය කරන විචක්ෂණශීලී ප්‍රවේශය මෙන්ම රක්ෂණ ඔප්පු හිමියන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඇති අපගේ නොසැලෙන කැපවීමද පිළිබිඹු කරයි. මෙම ශක්තිමත් මූල්‍ය පදනම ආර්ථික අවිනිශ්චිතතා හමුවේ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමටත් සියලු පාර්ශ්වකරුවන්ට දිගුකාලීන වටිනාකමක් අඛණ්ඩව සැපයීමටත් අපට ශක්තිය සලසයි,” යනුවෙනි.
සෙලින්කෝ ලයිෆ් සමාගමේ වත්කම් පදනම ප්‍රධාන වශයෙන් එහි මූල්‍ය ආයෝජන මගින් ශක්තිමත් වී ඇති අතර අඛණ්ඩව වර්ධනය වන දේපළ ආයෝජන කළඹද ඊට ඇතුළත් වේ. එමගින් සමාගමේ ශේෂ පත්‍රයේ ගුණාත්මකභාවය හා මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරයි. සමාගම සිය ශාඛා ජාලය සඳහා ඉඩම් මිලදී ගැනීමේ උපායමාර්ගික ආයෝජන අඛණ්ඩව සිදුකරමින් සිටින අතර එමගින් පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි සංවර්ධනය කිරීමටත් සිය වත්කම් කළඹේ ශක්තිමත්භාවය වැඩිදියුණු කිරීමටත් හැකි වී තිබේ. මේ වන විට සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක පවතින සමාගමේ 36 වැනි ශාඛා ගොඩනැගිල්ල ඉදිවෙමින් පවතී.
සෙලින්කෝ ලයිෆ් සමාගමේ මූල්‍ය වර්ධනය 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අඛණ්ඩව 22 වැනි වසරට සමාගම අත්කරගත් වෙළෙඳපොළ නායකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යයි.
සෙලින්කෝ ලයිෆ් සමාගම 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් වූ අතර 2025 සහ 2026 දී ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
Video Story