හත්වන සමාලෝචනයට IMF කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

    September, 4, 2026

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමාලෝචනය කිරීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

    මෙම එළඹෙන සති දෙකක සංචාරය ප්‍රධාන අරමුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ සහය ලබන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වන සමාලෝචනය පැවැත්වීම සහ රටේ ආර්ථික වර්ධනයන්, ප්‍රතිපත්ති සහ මූල්‍ය ස්ථාවරත්වය ඇගයීම සඳහා වූ 2026 IV වන වගන්තිය යටතේ වන උපදේශනය (Article IV Consultation) සිදු කිරීමයි.

    මෙම දූත මෙහෙයුම අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පාර්ශවකරුවන් රැසක් හමුවී අදහස් හුවමාරු කර ගැනීමට සැලසුම් කර ඇත. මෙම සාකච්ඡා මඟින් මෑතකාලීන ආර්ථික වර්ධනයන්, ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සහ රට මුහුණ දෙන දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු ආවරණය කරනු ඇත.