හරිත කෘෂි අපනයන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ Janathakshan GTE Ltd අතර උපායමාර්ගික සහයෝගීතාවයක්

    May, 13, 2026

    ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හිතකාමී කෘෂි අපනයන වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ GEF-07 ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරී සහකරු වන Janathakshan GTE Ltd. ආයතනය අතර උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වන අවබෝධතා ගිවිසුමක් (MoU) පසුගියදා අත්සන් කරන ලදී.

    ජෛව විවිධත්වය සංරක්ෂණය, තිරසාර ඉඩම් කළමනාකරණය සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ජීවනෝපායන් සම්බන්ධ මෙම සහයෝගීතාවය සඳහා වන ගිවිසුමට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සහ Janathakshan GTE Ltd ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජනක හේමතිලක මහතා විසින් අත්සන් තැබූහ.

    මෙම වැඩසටහන පරිසර අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඒකාබද්ධව ක්‍රියාත්මක කරන, "Partnerships and Innovative Financing to Mainstream Biodiversity and Sustainable Land Management in the Wet Climatic Zone of Sri Lanka" ලෙස නිල වශයෙන් නම් කර ඇති GEF-07 ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයකි. මෙම ව්‍යාපෘතිය කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හය කේන්ද්‍ර කරගනිමින් ජෛව විවිධත්වය සංරක්ෂණය, තිරසාර ඉඩම් කළමනාකරණය සහ ග්‍රාමීය ජීවනෝපාය නංවාලීමේ අරමුණින් ක්‍රියාත්මක වේ

    මෙම අවබෝධතා ගිවිසුම යටතේ දෙපාර්ශවයම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වී ඇති අතර, ඒ යටතේ ව්‍යාපෘතිය මගින් සහාය ලබන නිෂ්පාදක කණ්ඩායම් සහ ලියාපදිංචි අපනයනකරුවන් අතර වෙළඳපල සබඳතා ඇති කිරීම මෙන්ම වෙළඳ ප්‍රදර්ශන සහ අපනයන ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීමට අවශ්‍ය සහාය ලබා දීමට නියමිතය. මීට අමතරව, නිෂ්පාදකයින්ට ජාත්‍යන්තර අපනයන ප්‍රමිතීන්ට අනුකූල වීම පිළිබඳ මගපෙන්වීම් ලබා දීම, කිතුල් සහ ගම්මිරිස් වැනි ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදන සඳහා භූගෝලීය දර්ශක (GI) සහතිකය ලබා ගැනීම සහ නිෂ්පාදක සමිති සඳහා පොකුරු මට්ටමේ සහතික කිරීමේ රාමු සකස් කිරීම කෙරෙහි ද මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු කෙරේ.

    මෙම සහයෝගීතාවය ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර හයක් කෙරෙහි අවධානය යොමු කරයි: කාබනික තේ, කිතුල් නිෂ්පාදන, ගම්මිරිස් සහ ගම්මිරිස් තෙල්, පුවක් සහ කොළපත් ආශ්‍රිත නිෂ්පාදන, එන්සාල් (Cardamom) සහ කොස්. මෙම ක්ෂේත්‍ර තුළ අගය එකතු කිරීම, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම සහ ජපානය, යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රමුඛ අපනයන ගමනාන්ත වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය වෙළඳපල බුද්ධි තොරතුරු ලබා දීම ද මෙයට ඇතුළත් වේ.

    මෙම හවුල්කාරිත්වය හරහා තෙත් කලාපයේ ග්‍රාමීය ගොවි ප්‍රජාව සඳහා අපනයන ඉලක්ක කරගත් කෘෂි වන වගා සහ තේ වටිනාකම් දාම ශක්තිමත් කිරීම, කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගේ අපනයන සූදානම ඉහළ නැංවීම සහ ජෛව විවිධත්වයට හිතකාමී මෙන්ම දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නිෂ්පාදන පද්ධති ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ. මෙමගින් ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමයන් සුරකිමින් තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට ආයතන දෙකම කැපවී සිටියි.

    Video Story

    Stock Market

    Exchange Rates