1977 ආර්ථික පදනම දැන් වලංගු නැහැ – ජනපති

    November, 14, 2022

    1977 වසරේ නිර්මාණය කෙරුණු ආර්ථික පදනම වර්තමානයේ දී වලංගු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මුදල් අමාත්‍යවරයා වශයෙන් 2023 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    1977 වසරේ නිර්මාණය කෙරුණු ආර්ථික පදනම දැන් වලංගු නැහැ. එය වර්තමානයට ගැළපෙන්නේ නැහැ. විවිධ විකෘතීන්ට ලක්කෙරුණු නිසා එය දැන් කඩාවැටිලා.

    අපේ රටේ කලක් ක්‍රියාත්මක වූ සංවෘත ආර්ථිකය සේම 1977 නිර්මාණය කළ ආර්ථික දෙකම අසාර්ථක වී හමාරයි. ඒ නිසා අපි වර්ත.මානය ගැන අලුතින් සිතිය යුතුයි.

    සුගතපාල ද සිල්වා මරාසාද් නාට්‍යයේ දක්වන විදියට කොට්ට උරයක් මෙන් කණපිට හරවා අලුත් ඇහැකින් ලෝකය දෙස බැලිය යුතුය.

    වර්තමාන ලෝක ප්‍රවණතා වෙනස්. ලෝක ආර්ථික චින්තනය වෙනස්. ලෝක ආර්ථිකය හැසිරෙන ආකාරය වෙනස්. ඒ නිසා නව ප්‍රවණතා ගැළපෙන ලෙස අපි අලුත් ආර්ථික පදනමක් සකස් කර ගත යුතුයි.