ඉතිහාසයේ පළමුවරට ඩොලරයේ විකුණුම් මිල රු. 183 ඉක්මවයි

    December, 26, 2018

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) දින රුපියල් 183 සීමාව ඉක්මවා යනු ලැබීය. එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 179 සීමවා ද අද දින ඉක්මවා ගියේය.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 179.2039 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 183.1744 ක් ලෙසිනි.

    මේ අතර 2018 වසඓර් දෙසැම්බර් මස 21 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 15.5 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

    තවද අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපෙක්ෂව ද අවප්‍රමාණය වී තිබේ.

    සමස්තයක් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ එක්සත් ජනපද ඩොලරයට ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි ආයෝජන පිටතට ගලා යෑම් සහ ආනයන ගෙවීම් වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳපොළ තුළ පැවති ඉල්ලුම, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම කෙරෙහි වැඩි වශයෙන් බලපෑ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

      රාජ්‍ය වෙබ් අඩවි යාවත්කාලීන කිරීමේ වගකීම එම ආයතන සතුයි – ICTA සභාපති කියයි

      December, 26, 2018

      රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි නිසි පරිදි යාවත්කාලීන කර  පවත්වාගෙන යෑම එම ආයතන සතු වගකීමක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

      රොහාන් සමරජීව මහතා මෙම අදහස් පළ කළේ ඇතැම් රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි වල ඉතා යල් පැනගිය තොරතුරු අඩංගු වී ඇත්තේ මන්දැයි කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.

      රාජ්‍ය ආයතන සදහා වෙබ් අඩවි සකස් කර දීමේ ව්‍යාපෘතිය යටතේ 2003 වසරේ වෙබ් අඩවි සකස් කර දුන් බවත් එහිදී  වෙබ් අඩවි සදහා පොදු ආකෘතියක් සැකසු බවත් තම රාජ්‍ය  ආයතනයේ දත්ත  තමන්ටම වෙබ් අඩවියට  ඇතුලත් කිරීමට හැකියාව සමගින් තාක්ෂණික සහායද  ලබා දුන් බවත් සමරජීව මහතා සදහන් කරයි.

      කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය අවසාන වීමත් සමගම පාහේ  වෙබ් අඩවියක් ස්වාධීනව පවත්වාගෙන යෑමේ හැකියාව රාජ්‍ය ආයතන සතු බව පවසන රොහාන් සමරජීව මහතා එතෙක් පැවති තත්වයන්ට වෙනස්ව කඩිනමින්  වෙබ් අඩවියක් යාවත්කාලීන කර ගැනීම  මෙන්ම වෙබ් අඩවි වල සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රමවේදයන්  ඉහල මට්ටමකට ගෙන ඒමට හැකිවු බවද සමරජීව මහතා පවසයි.

        සක්‍රීය වගකීම් කළමනාකරණ පනත 21 සිට බලාත්මකයි

        December, 26, 2018

        2018 අංක 8 දරන සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ 01 වන වගන්තියෙන් මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එකී පනතේ සියලු වගන්තිවල විධිවිධානයන් 2018 දෙසැම්බර් 21 දින සිට බලාත්මක විය යුතු බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නියම කර තිබේ.

        මේ සම්බන්ධ ගැසට් නිවේදනය පසුගිය දෙසැම්බර් 21 දින ප්‍රකාශයට පත් කර ඇති අතර එය පහතින් දැක්වේ.

         

          ඔක්තෝබර් මාසයේ දී වෙළඳ හිඟය පුළුල් වෙයි

          December, 26, 2018

          ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තුළ මෑතකදී දක්නට ලැබුණු පීඩනය 2018 ඔක්තෝබර් මාසයේ දී ද පැවතිණි. ආනයන වියදම ඉහළ යෑමත් සහ අපනයන සුළු වශයෙන් වැඩිවීමත් හේතුකොට ගෙන ඔක්තෝබර් මාසයේ දී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය.

          කෙසේ වුවත්, ඇතැම් ආනයන මත මෑතකදී පැන වු යම් සීමා කිරීම්වල බලපෑම් හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී ආනයන වැඩිවීමේ ප්‍රවණතාවය පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හිතකර වර්ධනයක් වාර්තා කළ අතර, සංචාරක ඉපැයීම්වල සුළු වර්ධනයක් දක්නට ලැබුණි.

          මූල්‍ය ගිණුම තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් දක්නට ලැබුණි. එලෙස විදේශ විනිමය ගලා යෑම් සහ ආනයන වියදම් ගෙවීම් හේතුවෙන් දේශීය විදේශ විනිමය වෙළඳපොළ මත පීඩනයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරේ පළමු මාස දහය තුළදී ශ්‍රී ලංකා රුපියල සියයට 12.3 කින් අවප්‍රමාණය විය.

          දළ නිල සංචිත ප්‍රමාණය සැප්තැම්බර් මස අවසානයේ පැවති එ.ජ. ඩොලර් බිලියන 7.2 සිට ඔක්තෝබර් මස අවසානයේදී එ.ජ. ඩොලර් බිලියන 7.9 දක්වා ඉහළ ගියේය. ඒ සඳහා එ.ජ. ඩොලර් බිලියන 1 ක් වූ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ලැබීම ප්‍රධාන වශයෙන් දායක විය.

            උද්ධමනය උඩ යයි

            December, 26, 2018

            ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ සියයට 0.1 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 1.0 ක අගයක් වාර්තා කරමින් එහි පහළ යන ප්‍රවණතාව වෙනස් කරන ලදී. 2018 නොවැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා ආහාර මිල ගණන්වල ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට -6.6 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට -3.9 දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 5.8 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේය.

            වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 3.3 සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 2.7 දක්වා පහළ ගියේය.

            ආහාර කාණ්ඩයෙහි අයිතමවල, විශේෂයෙන් එළවළු, අමු මිරිස්, සහල්, දෙහි සහ අර්තාපල් මිලගණන් ඉහළ යෑම හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස්වීම සියයට 2.2 කින් ඉහළ ගියේය. මේ අතර, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් ද මාසය තුළ දී ඉහළ ගිය අතර සෞඛ්‍ය උපකාණ්ඩය වැඩිම ඉහළ යෑම වාර්තා කළේය. කෙසේ වුවද, ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) උපකාණ්ඩයෙහි අයිතමවල මිලගණන් මාසය තුළ දී පහළ යෑමක් වාර්තා කළේය.

            ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පා.මි දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 3.4 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 3.1 දක්වා පහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2018 නොවැම්බර් මාසයේ දී සියයට 2.4 හි නොවෙනස්ව පැවතුණි.

              ඩොලරයේ විකුණුම් මිල රු. 182.71 ඉක්මවයි

              December, 21, 2018

              ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 178.7451 ක් හා විකුණුම් මිල රු. 182.7137 ක් ලෙසින් අද (21) දිනයේ දී වාර්තා විය. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් නියම වූ ඉහළම රුපියල් වටිනාකම ලෙසින් වාර්තා වේ.

              මීට පෙර ඩොලරයක් වෙනුවෙන් වාර්තා වු වැඩිම රුපියල් අගය වූයේ පසුගිය නොවැම්බර් 28 දින ඩොලරයක ගැණුම් මිල රු.178.3257 ක් හා විකුණුම් මිල රු. 182.2733 ක් ලෙසින් වාර්තා වීමයි.

                පෙට්‍රල් රු. 10 කින් පහළට

                December, 21, 2018

                ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරනු ලබන ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි පහළ දමනු ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

                මේ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 125 දක්වා හා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 බැගින් අඩුවනු ඇත.

                මීට අමතරව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා රුපියල් 05 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා රුපියල් 10 කින් ද පහළ යනු ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

                  රු. බිලියන 1765 ක අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

                  December, 21, 2018

                  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 මුල් මාස 04 සඳහා අදාළ වන පරිදි අතුරු සම්මත ගිණුම අද (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

                  රුපියල් බිලියන 1765 ක වටිනාකමකින් යුතු මෙම අතුරු සම්මත ගිණුම මගින් රුපියල් බිලියන 795 ක් රජයේ පුනරාවර්තන වියදම් ලෙසත්, රුපියල් බිලියන 965 ක් මූලධන වියදම් ලෙසත් වෙන්කර ඇති බව මුදල් අමාත්‍යවරයා, මෙම අතුරු සම්මත ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

                  මෙහිදී වැඩිදුරටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ රුපියල් බිලියන 5 ක් රජයේ අත්තිකාරම් ලෙස වෙන්කරනු ලබන බවයි.

                    ලංකා බැංකු සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි

                    December, 21, 2018

                    ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ලංකා බැංකුවේ, සමාගම් ලේකම් ජානකි සිරිවර්ධන සඳහන් කර සිටින්නේ ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදි ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

                    මේ අනුව ලංකා බැංකුවේ සභාපති නීල් උමගිලිය හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ලලිත් විතාන, මාධවී හේරත්, ඉසුරු බාලපටබැඳි සහ හර්ෂ විජේවර්ධන අදාළ තනතුරුවලින් ඉවත් වී තිබේ.

                    නීල් උමගිලිය මහතා අදාළ තනතුර වෙත පත්කරන ලද්දේ පසුගිය  නොවැම්බර් 13 වන දිනය.

                    සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම නොවැම්බර් 26 දින සිදුකෙරුණු අතර එහිදී පත්වීම් ලැබූ විශාඛා අමරසේකර හැරෙන්නට සෙස සියලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙලෙස සිය තනතුරුවලින් ඉවත් වී ඇත.

                     

                    ඡායාරූපය - ලංකා බැංකුවේ හිටපු සභාපති නීල් උමගිලිය

                      උපරිම ජනතා සේවය පුළුල්ව ඉටු කිරීමට රවී පොරොන්දු වේ

                      December, 20, 2018

                      අද (20) දින පත් කෙරුණු නව කැබිනට් මණ්ඩලයේ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධණ අමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දුන් රවී කරුණානායක මහතා, නව අමාත්‍යධූරය හරහා සිදුකළ යුතු උපරිම ජනතා සේවය වඩාත් හොඳින් ඉතා පුළුල්ව ඉටු කිරීමට පොරොන්දු වන බව පවසයි. සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු මේ බව පවසා සිටී.

                      ජනතාවට සේවය කිරීම, මහජන නියෝජිතයෙකුගේ යුතුකමක් හා වගකිමක් බව රවී කරුණානායක මහතා මෙහිදී අවධාරණය කර ඇත.

                      මෙම ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.