2020 දී රු. බිලියනය ඉක්මවූ සංවර්ධන ව්‍යාපෘති 289 ක්

    March, 3, 2021

    2020 මුදල් වර්ෂය අවසානයේදී රේඛීය අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය පිළිබඳ වාර්තාව
    2018 අප්‍රේල් මස 25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි රේඛීය අමාත්‍යාංශ විසින් මූලධන අයවැය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්හි භෞතික ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යාංශය විසින් කාර්තුමය පදනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව, 2020 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද මහා පරිමාණ ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රගති වාර්තාව මුදල් අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. පහත සඳහන් තොරතුරු එම වාර්තාව මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කර තිබිණි.

    * 2020 වර්ෂය තුළ ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියනය ඉක්මවන සංවර්ධන ව්‍යාපෘති 289ක් රේඛීය අමාත්‍යාංශ 40ක් යට‍තේ ක්‍රියාත්මක කර ඇත.

    * එම ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 710ක පමණ ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඒවායේ මූල්‍ය ප්‍රගතිය 72%කි.

    * එම සංවර්ධන ව්‍යාපෘති 289හි ඉදිරි ක්‍රියාකාරකම් සඳහා දළ වශයෙන් තවත් රුපියල් ට්‍රිලියන 2.9ක් වෙන් කළ යුතුව ඇත.

    * එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලු හා අවහිරතා පැන නැගී ඇති අතර, ව්‍යාපෘති සඳහා වෙන් වූ අතිරේක කාර්යමණ්ඩල වෙනුවෙන් රුපියල් බිලියන 08ක් පමණ වැය කර ඇති නමුත්, ඇතැම් ව්‍යාපෘතිවලට අදාළව අනුමත පිරිවැය හා කාලසීමාවන් තුළ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇති බව එම වාර්තාව මඟින් නිරීක්ෂණය කර ඇත.

    * ඇතැම් ව්‍යාපෘතිවලට අදාළව පූර්ව සූදානම් කිරීමේ අවධියේ සිටම යම් යම් දුර්වලතා නිරීක්ෂණය වන අතර, රාජ්‍ය ආයතන වෙතින් අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමේදී සිදු වන ප්‍රමාදය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් විට ගැටලුවක් බවට පත්ව ඇත.

    මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ එම වාර්තාවේ සඳහන් තොරතුරු සැලකිල්ලට ගෙන, මහා පරිමාණ මූලධන ව්‍යාපෘති සම්බන්ධයෙන් පැන නැගෙන ගැටලු විසඳීමට සහ අදාළ පාර්ශ්වයන්ගෙන් ලැබිය යුතු සහාය ප්‍රශස්තව හා නියමිත කාලසීමාව තුළ ලබා ගැනීම සම්බන්ධයෙන් මාසික සමාලෝචන පැවැත්වීම පිණිස මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.