2026 මුල් මාස හයේ ආණ්ඩුවේ ආදායම රු. බිලියන 2,956ක්. වියදම රු. බිලියන 2,946.5යි. රු. බිලියන 9.5ක අයවැය අතිරික්තයක් වාර්තා කරයි

    July, 31, 2026

      2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 9.5 ක නාමික අයවැය අතිරික්තයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව සිය මූල්‍ය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කර ඇත. මෙය 2025 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 405.6 ක අයවැය හිඟය හා සසඳන විට ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. වසරේ මුල් භාගය තුළ දී රජයේ ආදායම සියයට 27 කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් මේ සඳහා හේතු වී තිබේ.

      මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2026 ජනවාරි - ජූනි රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

      මෙම වාර්තාවට අනුව පහත සඳහන් කරුණු වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

      2026 ජූනි මස වන විට රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2,956.0 දක්වා වර්ධනය වී ඇති අතර එහිදී ප්‍රධාන බදු වර්ග සියල්ලෙන්ම පාහේ ඉහළ ආදායම් වාර්තා වී ඇත. බදු ආදායම සියයට 26 කින් ද සහ බදු නොවන ආදායම සියයට 44 කින් ද මෙම කාලපරිච්ඡේදය තුළ දී වර්ධනය වී තිබේ.

      2026 වසරේ ජනවාරි - ජූනි කාලපරිච්ඡේදයේ රජයේ අයවැය සැකවින්,

      • ආදායම් හා ප්‍රදාන රු. බිලියන 2,956
      • රජයේ වියදම රු. බිලියන 2,946.5
      • ප්‍රාථමික ගිණුමේ රු. බිලියන 1,244.1ක අතිරික්තයක්
      • රු. බිලියන 9.5ක අයවැය අතිරික්තයක්

      ප්‍රධාන ආදායම් උපයන ආයතන සිය වාර්ෂික ඉලක්ක කරා සාර්ථකව ගමන් කරමින් සිටී:

      • ශ්‍රී ලංකා රේගුව සිය වාර්ෂික ඇස්තමේන්තුවෙන් 59% ක් සපුරා ගෙන ඇති අතර, ඒ අනුව රු. බිලියන 1,290ක රේගු බදු ආදායමක් වසරේ පළමු භාගයේ දී අත්පත් කර ගෙන ඇත. මෝටර් රථ ආනයන බදු ආදායම ඒ සඳහා විශාල වශයෙන් දායක වී තිබේ.
      • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වාර්ෂික ඉලක්කයෙන් 52% ක්, එනම් රු. බිලියන 1,248ක්  මේ වන විට සපුරා ගෙන තිබේ. එකතු කළ අගය මත බදු (VAT) ආදායම මෙහිදී කැපී පෙනේ.
      • සුරාබදු දෙපාර්තමේන්තුව සිය වාර්ෂික ඇස්තමේන්තුවෙන් 57% ක් සපුරා ගැනීමට සමත් වී ඇති අතර එම අගය රු. බිලියන 138කි.

      ආදායම් ඉහළ යාම හා සමගාමීව රජය සිය වියදම් යම්තාක් දුරකට පාලනය කිරීමට ද පියවර ගෙන ඇති ස්වභාවයක් දක්නට ලැබේ. මුළු වියදම සියයට 7.9 කින් පමණක් රුපියල් බිලියන 2,946.5 දක්වා වැඩි වී ඇත. පුනරාවර්තන සියයට 7 කින් පමණක් ඉහළ ගොස් ඇති අතර, රජයේ මුළු පොලී ගෙවීම් සියයට 2 කින් රුපියල් බිලියන 1,234.6 දක්වා පහත වැටී ඇත. මෙම ණය පිරිවැය කළමනාකරණය හේතුවෙන් ප්‍රාග්ධන ආයෝජන සඳහා වැඩි අවස්ථාවක් ලැබුණු අතර, එම ආයෝජන සියයට 23.6 කින් රුපියල් බිලියන 276.6 දක්වා වර්ධනය විය.

      මේ අතර 2026 වසරේ පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1කින් වර්ධනය වී ඇති බවත්, එය පසුගිය 2025 වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ සියයට 4.7ක ආර්ථික වර්ධනය අභිබවා යාමක් බවත් මෙම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

      ජූනි මස අවසානය වන විට රජය රුපියල් බිලියන 1,244.1 ක හිතකර ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන ගොස් ඇත.