AAA ශ්‍රේණිගත කිරීමත් සමඟ කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස නම් වෙයි

    August, 23, 2026

    කොමර්ෂල් බැංකුවෙහි නොසැලෙන ස්ථාවරත්වය සහ පාරිභෝගික විශ්වාසය නැවතත් තහවුරු කරමින් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් මෑතකදී නිකුත් කරන ලද ‘2026 වසරේ වටිනාම සන්නාම 100’ (100 Most Valuable Brands 2026) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස සිය ප්‍රමුඛස්ථානය තහවුරු කර ඇත.

    ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම් ඇගයීම් උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ දෙවැනි වටිනාම සන්නාමය ලෙස ද ශ්‍රේණිගත වී තිබේ. එහි සන්නාම වටිනාකම රුපියල් බිලියන 54.9ක් වන අතර පසුගිය වසරේ තක්සේරු කරන ලද රුපියල් බිලියන 46.6ක සන්නාම වටිනාකමට සාපේක්ෂව එය 17.8%ක සැලකිය යුතු වර්ධනයකි.

    සන්නාම ශක්තිය අතින් 100න් 87ක සන්නාම ශක්ති දර්ශක (BSI) ලකුණක් ලබා ගනිමින් කොමර්ෂල් බැංකුව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් පිරිනමනු ලබන කීර්තිමත් AAA ශ්‍රේණිගත කිරීමද යළිත් හිමිකරගෙන තිබේ. සන්නාම වටිනාකම සහ සන්නාම ශක්තිය යන ශ්‍රේණිගත කිරීම් දෙකෙහිම බැංකුව පසුගිය වසරේ හිමි කරගෙන තිබූ ස්ථානය මෙවරද වෙනසකින් තොරව රඳවා ගනිමින් බැංකුවේ සන්නාම කාර්යසාධනයේ ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් තහවුරු කර ඇත.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය, “කීර්තිමත් AAA ශ්‍රේණිගත කිරීමක් සමඟ සන්නාම ශක්තිය අතින් අංක 1 බැංකු සන්නාමය ලෙස නැවතත් ඉදිරියෙන් සිටීම සහ සන්නාම වටිනාකම සැලකිය යුතු ලෙස ඉහළ යාම කොමර්ෂල් බැංකුවෙහි ශක්තිය, ස්ථාවරත්වය සහ පාරිභෝගික විශ්වාසය පිළිබිඹු කරයි. මෙම ශ්‍රේණිගත කිරීම් මගින් පාර්ශවකරුවන් බැංකුව කෙරෙහි තබා ඇති දිගුකාලීන විශ්වාසය සහ සන්නාමය ගොඩනැගීම සඳහා බැංකුව අනුගමනය කරන දිගුකාලීන වැඩපිළිවෙළේ සාර්ථකත්වය ද ඉස්මතු කරයි.”

    කොමර්ෂල් බැංකුවෙහි හි සන්නාම ශක්තිය ප්‍රචාරණයට පමණක් සීමා නොවේ. ප්‍රමුඛ පෙළේ ආයතනික ගනුදෙනුකරුවන්ගේ සිට විවිධ ජන කොටස් සමඟ බැංකුව ගොඩනගා ඇති ශක්තිමත් හා දිගුකාලීන සබඳතා සහ විශ්වාසය එහි ප්‍රධාන ශක්තියයි. මෙම විශ්වාසය බැංකුවේ සම්බන්ධතා නිලධාරීන්, දිවයින පුරා ශාඛා කාර්ය මණ්ඩලය සහ කෘෂිකර්ම හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකක වල (AMFU) කාර්ය මණ්ඩලය විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්‍රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත විය. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

    සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ අනුක් විජයරත්න මහතා අතින්, ශක්තිමත්ම බැංකු සන්නාමය සඳහා වන ඵලකය ලබා ගන්නා අවස්ථාව. බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හස්රත් මුණසිංහ මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී ‐ අලෙවිකරණ අෂානි සේනාරත්න මහත්මිය සහ Echelon මීඩියා සමූහයේ අධ්‍යක්ෂ/සම නිර්මාතෘ ඇන්ටනට් ලුඩොවයික් මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූහ.