BIA දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹීම නොවැම්බර් මාසයට පෙර

    August, 14, 2026

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන මඟී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ශ්‍රී ලංකා සහ ජපාන එකඟතාව තහවුරු කරමින් නැවතත් JICA නියෝජිත පිරිසක් වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හමු වී තිබේ. අද (14) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත් වූ මෙම සාකච්ඡාවට JICA ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි (Mr. Hara Shohei), JICA ප්‍රධාන නියෝජිත හොන්ෂූ ශිගොඩ (Mr. Honzu Shigeo) මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගී වූහ. අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල මහතා ද ඊට සහභාගී විය.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන මඟී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයට පෙර ආරම්භ කිරීම ගැන ස්ථීර කරමින්, තවදුරටත් එම ව්‍යාපෘතිය ගැන දෙපාර්ශවයේම අදහස් හුවමාරු විය.

    පසුගිය කාලයේ ආරම්භ කර නතරවුණු මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අතිගරු ජනාධිපතිතුමා, ජපන් රජය සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, නැවත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ජපන් රජය එකඟතාවය පල කර තිබිණි. අනතුරුව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා සමඟ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිතුමා සහ JICA ප්‍රධානීන් සාකච්ඡා වට ගණනාවක් පවත්වන ලදී.

    විශේෂයෙන් මෙම ව්‍යාපෘතියට අවශ්‍යය වන අමතර ණය පහසුකම් ලබා දීමට ගත් තීන්දුව අනුව එම වැඩ කටයුතු ද මේ වන විට අවසන් වී තිබේ. පිළිගත් ටෙන්ඩර් පටිපාටිය අනුව තෝරාගත් ඉදිකිරීම් සමාගම සමඟ ද සිදු කරන සාකච්ඡා අවසන් අදියරයේ තිබේ.

    සාකච්ඡාවේ දී කොළඹ වරායේ වැඩිවන නෞකා ගමනාගමනය කළමනාකරණය කිරීම සඳහා නෞකා ගමනාගමන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට සහාය ලබා ගැනීමට ද අදහස් ප්‍රකාශ කෙරුණි. එය විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ඉදිරිපත් කිරීමට ද තීරණය විය.

    මෙහි දී අමාත්‍යවරයා ද අවධාරණය කළේ BIA දෙවන පර්යන්ත ව්‍යාපෘතිය වේගවත් කිරීමට රජයේ ද අවශ්‍යතාවක් තිබෙන බවයි. තව ද ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයින් සහ ආයෝජකයින් පිළිගැනීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට රජය උපරිම උත්සාහය ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

    රටේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් සහ විශේෂයෙන් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘති සඳහා ලබා දෙන සහාය පිළබඳව JICA නියෝජිතයන්ට ස්තූතිය පුද කෙරිණි.