BYD ඉතිහාසයේ ප්‍රථම වරට මෝටර් රථ ක්ෂේත්‍රයේ ගෝලීය නවෝත්පාදන ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගනී

    June, 19, 2026

    ජර්මනියේ මෝටර් රථ කළමනාකරණ මධ්‍යස්ථානය (Center of Automotive Management (CAM) විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ‘’Automotive INNOVATIONS Report 2026’’ වාර්තාවට අනුව, ලොව වඩාත්ම නවෝත්පාදනශීලී මෝටර් රථ සමාගම් අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට BYD සමත්ව ඇත. මෙම වාර්තාවේ වසර 21ක ඉතිහාසය තුළ චීන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ප්‍රථම ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය මඟින් නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදනයේ BYD සතු ගෝලීය නායකත්වය තවදුරටත් තහවුරු කරයි.

    එහිදී ලකුණු 143ක් ලබාගත් වොක්ස්වැගන් (Volkswagen) සහ ලකුණු 134ක් ලබාගත් මර්සිඩීස්-බෙන්ස් (Mercedes-Benz) සමාගම් අභිබවා යමින් BYD නවෝත්පාදන දර්ශකයේ ලකුණු 157ක් ලබා ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය තහවුරු කරගෙන ඇත.

    මෝටර් රථ ක්ෂේත්‍රයේ වඩාත්ම පිළිගත් සහ ස්වාධීන ඇගයීම් වාර්තාවක් වන මෙම ශ්‍රේණිගත කිරීම මෝටර් රථ කළමනාකරණ මධ්‍යස්ථානය (CAM) විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබයි. 2026 වාර්තාව සඳහා ලොව පුරා විසිරී සිටින මෝටර් රථ නිෂ්පාදකයින් 36 දෙනෙකු සතු සන්නාම 100කට වැඩි සංඛ්‍යාවක නව නිපැයුම් සහ නවෝත්පාදනයන් 860කට වඩා අධ්‍යයනය කර ඇගයීමට ලක් කර ඇත.

    මෙහිදී විද්‍යුත් ධාවන පද්ධති (Electric Drive), ස්වයංක්‍රීය රිය පැදවීම සහ රියදුරු සහායක පද්ධති (Autonomous Driving and ADAS) මෙන්ම Infotainment and Connectivity යන ක්ෂේත්‍ර ඔස්සේ නවෝත්පාදනයන් ඇගයීමට ලක් කරනු ලැබීය. එමෙන්ම සෑම නව නිපැයුමක්ම භාවිතයට කොතරම් සූදානම්ද, සුවිශේෂීභාවය, පාරිභෝගිකයාට ලැබෙන ප්‍රතිලාභ සහ නවෝත්පාදනය කෙතරම් දියුණු ද යන්න මත පදනම්ව ලකුණු ලබා දීම සිදු කෙරේ. දශක දෙකකට වැඩි කාලයක් පුරා මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටියේ යුරෝපීය මෝටර් රථ සමාගම්ය. එබැවින්, BYD සමාගම මෙලෙස ප්‍රථම ස්ථානය දිනා ගැනීම, ගෝලීය මෝටර් රථ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවණතාවන් බලාපොරොත්තු නොවූ ලෙස වෙනස් වී ඇති බව පෙන්වන වැදගත් සන්ධිස්ථානයකි.

    BYD ලබාගත් මෙම ලකුණු සංඛ්‍යාවෙන් පෙන්නුම් කරන්නේ, බැටරි, විද්‍යුත් මෝටර්, විද්‍යුත් පාලක පද්ධතිවලට අමතරව මෝටර් රථ සඳහා වන අර්ධ සන්නායක වැනි දෑ තමන්ගේම සමාගම තුළ සම්පූර්ණයෙන් ඔවුන් විසින්ම නිර්මාණය කර ඇති තාක්ෂණයයි. මෙම අධ්‍යයන කාලසීමාව තුළ ඔවුන් නවෝත්පාදනයන් 55ක් ඉදිරිපත් කර ඇති අතර, ඊට ලොවට ප්‍රථම වරට හඳුන්වා දුන් නව නිපැයුම් 18ක් ඇතුළත් වේ. මෙය 2026 වාර්තාවේ එක් මෝටර් රථ සමාගමක් ලබාගත් ඉහළම නව නිපැයුම් සංඛ්‍යාවයි.

    මෙම ජයග්‍රහණය සඳහා දායක වූ ප්‍රධාන තාක්ෂණික නිපැයුම් කිහිපයකි. ඒ අතර මිනිත්තු පහකට අඩු කාලයකදී සියයට 0 සිට 80 දක්වා charge කළ හැකි දෙවන පරම්පරාවේ බ්ලේඩ් බැටරිය ප්‍රධාන වේ. එමෙන්ම ඉතා වේගවත් charge කිරීමේ හැකියාවක් සහිත, වෝල්ට් 1000ක තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Super e-Platform පද්ධතිය සහ BYD හට අනන්‍ය වූ Xuanji A3 4nm පරිගණක චිපය මඟින් ක්‍රියාත්මක වන God's Eye ADAS නම් වූ අදියර කිහිපයකින් යුත් ස්වයංක්‍රීය රිය පැදවීමේ පද්ධතිය ද ඊට ඇතුළත් වේ. මීට අමතරව, මර්සිඩීස්-බෙන්ස් සමාගම Most Innovative Premium සන්නාමය ලෙස සම්මාන ලබද්දී, BYD Most Innovative Volume සන්නාමය සඳහා වන සම්මානය දිනා ගැනීමට සමත් විය.

    මෙහිදී විශේෂයෙන්ම කැපී පෙනෙන කරුණක් වන්නේ, ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන හය අතරින් ස්ථාන තුනක්ම දිනා ගැනීමට BYD, XPeng සහ Geely යන චීන මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුන සමත්ව තිබීමයි. මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රධාන අවධානය නව බලශක්ති වාහන වෙත අඛණ්ඩව යොමු වෙමින් පවතින බවත්, මෝටර් රථ තාක්ෂණික නවෝත්පාදනයන් මෙහෙයවන පාර්ශවයන්ගේ විශාල වෙනසක් සිදු වෙමින් පවතින බවත් මෙයින් පෙන්නුම් කරයි.

    BYD සමාගම අඛණ්ඩව වසර දහයක් පුරා චීනයේ නව බලශක්ති මගී වාහන අලෙවියේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර 2025 වසරේදී ඔවුන් ලොව පුරා නව බලශක්ති වාහන මිලියන 4.6කට වඩා අලෙවි කර ඇත. එය ලෝකයේ වෙනත් ඕනෑම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් විසින් අලෙවි කරන ලද ඉහළම ඒකක සංඛ්‍යාව වේ.

    CAM ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරන ලද AutomotiveINNOVATIONS Report 2026 වාර්තාව www.automotiveinnovations.de යන වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.

    Video Story

    Stock Market

    Exchange Rates