Chrissworld කොටස් මිල 128%කින් ඉහළට

    May, 18, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් හඳුන්වාදෙන ලද Empower පුවරුවෙහි ලැයිස්තුගත කරනු ලැබූ මුල්ම සමාගම වූ Chrissworld ලිමිටඩ් හි ද්විතීයික කොටස් ගනුදෙනු අද (18) දින ආරම්භ විය. මෙහිදී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් Chrissworld ලිමිටඩ් හි කොටසක් ගනුදෙනු මිල, මූලික නිකුතු මිලට වඩා 128%කින් ඉහළ යාමයි. ඒනම් රු. 7.50 කට නිකුත් කෙරුණු කොටසක විටිනාකම අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් වූයේ රු. 17.10 ක් ලෙසිනි. දිනයේ උපරිම ගනුදෙනු මිල රු. 20.90 කි.

    මූලික කොටස් නිකුතුවේ දී රු. 7.50 බැගින් වූ ඡන්ද බලය හිමි සාමාන්‍්‍ය කොටස් මිලියන 7.5 ක් නිකුත් කෙරුණු අතර ඒහිදී සමාගමේ අරමුණ වූයේ රු. මිලියන 56.25 ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීමයි.

    කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සුළු හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායයන් වෙත කොටස් වෙළෙඳපොළ හරහා ප්‍රාග්ධන සම්පාදනය වෙනුවෙන් Empower පුවරුව හඳුන්වා දෙනු ලැබීය.

    අද දින Chrissworld ලිමිටඩ් හි කොටස් මිලියන 30 ක් Empower පුවරුවේ ලැයිස්තුගත කෙරුණි. මෙහිදී දිනය තුළ කොටස් මිලියන 18ක්, ඒනම් සමස්ත කොටස් ප්‍රමාණයෙන් 60%ක් ගනුදෙනු වීම විශේෂත්වයකි.

    අද දින අවසන් ගනුදෙනු මිල අනුව Chrissworld ලිමිටඩ් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. මිලියන 513 ක් වන අතර ඒය සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 0.02% ක ප්‍රමාණයක් වේ.