August, 20, 2026
විවිධාංගීකරණය වූ මහා පරිමාණ සමාගමක් වන CIC හෝල්ඩින්ග්ස් 2026 ජූනි 30 දිනෙන් අවසන් වූ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ 20%ක ලාභ වර්ධනයක් සමඟින් පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 2.74%ක සමස්ත ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව සිටියි. ඒ අනුව සමූහයේ සමස්ත ආදායම 22.03ක් බවට පත් විය.
ඒ අනුව සමූහයේ දළ ලාභය පසුගිය වසරට සාපේක්ෂව 10.26% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 6.01 ක් වූ අතර, දළ ලාභ ආන්තිකය දළ වශයෙන් 27.3% දක්වා වර්ධනය විය. විශිෂ්ට කළමනාකරණය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ප්‍රධාන ව්‍යාපාරික අංශයන්හි ඉහළ දායකත්වය හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ලාභය 12.70% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.20 ක් ලෙස සටහන් විය. බදු පසු ලාභය 19.69% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.81 ක් බවට පත් වූ අතර සමාගමේ කොටස් හිමියන්ට 23.24% ක සුවිශේෂී වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 1.51 ක ලාභයක් හිමි විය.
එහිදී CIC හි කෘෂිකාර්මික අංශය සමූහයේ මෙම සමස්ත ආදායමට ඉහළම දායකත්වයක් ලබා දුන් අතර එය එම ආදායමෙන් 45% ක් පමණ විය. සත්ව නිෂ්පාදන අංශය 22% ක් සහ සෞඛ්‍ය හා පුද්ගලික සත්කාර අංශය 21% ක් ලෙස එම ආදායමට දායක වූ අතර, කාර්මික විසඳුම් හි දායකත්වය 12% ක් පමණ විය.
තවද මෙම කාර්තුව තුළ සත්ව නිෂ්පාදන සහ කාර්මික විසඳුම් අංශයන්හි කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකි වූ අතර ඒ අනුව එම අංශ දෙකෙහි ආදායම හා ලාභය සැලකිය යුතු ලෙස ඉහළ යන ලදී. සත්ව නිෂ්පාදන අංශයේ වර්ධනයට සත්ව ආහාර අලෙවිය ඉහළ යාම, කුකුළු මස් සඳහා පැවති ඉල්ලුම සහ සත්ව වෛද්‍ය සේවා අංශයේ වර්ධනය හේතු වූ අතර වෙළඳපොළ ඉල්ලුම සහ නිසි කළමනාකරණය කාර්මික විසඳුම් අංශයේ වර්ධනයට හේතු විය. කාලගුණික සහ වෙනත් කාලීන සාධක හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ ආදායම පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව තරමක අඩුවීමක් පෙන්නුම් කළද, එය තවදුරටත් සමූහයේ විශාලතම ව්‍යාපාරික අංශය ලෙස සමස්ත සාර්ථකත්වයට ශක්තියක් වී ඇත. ඖෂධ සහ පාරිභෝගික සෞඛ්‍ය නිෂ්පාදන අංශයන්හි අඛණ්ඩ සාර්ථකත්වය මත සෞඛ්‍ය හා පුද්ගලික සත්කාර අංශය ද ස්ථාවර වර්ධනයක් පවත්වාගෙන යනු ලැබීය.
සමූහයේ බදු සහ පොලී ගෙවීමට පෙර ලාභය (EBIT) රුපියල් බිලියන 3.20 ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය වසරේ එම කාර්තුව තුළ වාර්තා වූ රුපියල් බිලියන 2.84 ට වඩා ඉහළ යාමකි. බදු පෙර ලාභය 17.52% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.76 ක් වූ අතර, මෙම කාලසීමාව තුළ ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය වූ ක්‍රියාකාරී ප්‍රාග්ධනය ඉහළ යාම හේතුවෙන් ශුද්ධ මූල්‍ය පිරිවැය 16.38% කින් වැඩිවී රුපියල් මිලියන 613.00 ක් බවට පත්විය.
එසේම මෙම කාලසීමාව තුළ විවිධ අභියෝග මධ්‍යයේ CIC සමූහයේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර හතර වන කෘෂිකාර්මික අංශය, සත්ව නිෂ්පාදන, කාර්මික විසඳුම් සහ සෞඛ්‍ය හා පුද්ගලික සත්කාර යන සියලුම අංශයන්හි පිබිදීමක් දැකිය හැකි වියි. එහිදී සත්ව නිෂ්පාදන අංශයේ ආදායම රුපියල් බිලියන 4.45 සිට රුපියල් බිලියන 4.90 දක්වා ඉහළ ගිය අතර, කාර්මික විසඳුම් අංශය රුපියල් බිලියන 1.87 සිට රුපියල් බිලියන 2.63 දක්වා ඉහළ යමින් ඉහළම ආදායම් වර්ධනය වාර්තා කළේය. සෞඛ්‍ය හා පුද්ගලික සත්කාර අංශයේ ආදායම රුපියල් බිලියන 4.73 සිට රුපියල් බිලියන 4.80 දක්වා වැඩි වූ අතර, කෘෂිකාර්මික අංශය රුපියල් බිලියන 9.97 ක ආදායමක් ලබා ගැනීමට සමත් විය.
ලාභදායීත්වය පිළිබඳ සැලකීමේදී සත්ව නිෂ්පාදන අංශය 111.37% ක දැවැන්ත වර්ධනයක් සමඟ රුපියල් මිලියන 660.25 ක ලාභයක් ලබා ගැනීමට සමත්ව ඇත්තේ ඉහළම ලාභ වර්ධනය වාර්තා කරමිනි. කාර්මික විසඳුම් අංශයේ ලාභය 62.22% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 533.90 ක් විය. රුපියල් බිලියන 1.08 ක ලාභයක් සමඟින් කෘෂිකාර්මික අංශය සමූහයට වැඩිම ලාභයක් ලබාදුන් අංශය බවට පත් වන විට සෞඛ්‍ය හා පුද්ගලික සත්කාර අංශය රුපියල් මිලියන 662.51 ක ලාභ දායකත්වයක් දක්වනු ලැබීය. සමස්තයක් ලෙස, සියලුම අංශවල ශක්තිමත් පැවැත්ම හේතුවෙන් සමස්ත ශුද්ධ අංශ ලාභය 11.84% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.94 ක් ලෙස සටහන් විය.
පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 23.08% ක වර්ධනයක් පෙන්වමින් සමූහයේ එක් කොටසක ආදායම රුපියල් 0.65 සිට රුපියල් 0.80 දක්වා ඉහළ යන ලදී. සමූහයේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 100 සීමාව පසුකරමින් රුපියල් බිලියන 100.14 ක් දක්වා ළඟා වී ඇති අතර, මුළු හිමිකම් වටිනාකම රුපියල් බිලියන 55.69 දක්වා ඉහළ ගොස් ඇත.
2026/27 පළමු කාර්තුවේ මෙම සුවිශේෂී වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් CIC හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ මහතා “අපගේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි ශක්තිමත්භාවය සහ නිසි කළමනාකරණය හේතුවෙන්, ලාභදායීත්වය ඉහළ නංවා ගනිමින් 2026/27 මූල්‍ය වර්ෂය සාර්ථකව ආරම්භ කිරීමට සමත්ව සිටිනවා. මෙම කාර්තුව තුළ සත්ව නිෂ්පාදන සහ කාර්මික විසඳුම් අංශ ඉතා ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්නුම් කර තිබෙන අතර සෞඛ්‍ය හා පුද්ගලික සත්කාර අංශය ද ස්ථාවර වර්ධනයක් අත්කරගෙන ඇති බව දැකිය හැකියි. තවද කෘෂිකාර්මික අංශයේ යම් පසුබෑමක් දැකිය හැකි වුවද ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නංවාලීම වෙනුවෙන් අප අඛණ්ඩව කැප වී කටයුතු කරනවා. එසේම අපගේ පාරිභෝගිකයින්, ගොවි ජනතාව, කොටස් හිමියන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් වෙනුවෙන් මෙහෙයුම් විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීමට අපගේ අවධානය යොමු වී තිබෙනවා.” යනුවෙන් පැවසීය.
ඡායාරූප විස්තරය - CIC හෝල්ඩින්ග්ස් හි සභාපති එස්. එච්. අමරසේකර මහතා (වමේ) සහ CIC හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ මහතා
Video Story