DFCC බැංකුව Micro Merchant Businesses වැඩසටහන සඳහා Visa සමග එක්වෙයි

    May, 6, 2021

    DFCC බැංකුව මෙරට ක්ෂුද්‍ර පරිමාණ වෙළඳ ව්‍යාපාර (Micro Merchant Businesses) වලට  ඩිජිටල් තාක්ෂණය මුල්කරගත්, ලාභදායී ගනුදෙනු ක්‍රමයක් හඳුන්වා දීම සහ එම ව්‍යාපාර අතර කාඩ්පත් මගින් ගෙවීම් භාරගැනීම ප්‍රචලිත කිරීම සඳහා Visa ආයතනය සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය නුදුරු අනාගතයේදී මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කරන බැංකුව බවට පත්වීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි. මෙම හවුල්කාරීත්වය මගින්, DFCC බැංකුවේ සේවාවන් සමඟ කුඩා පරිමාණ වෙළඳුන්ට අවම පිරිසැකසුම් ගාස්තු යටතේ, මුදල් වෙනුවට කාඩ්පත් මගින් ගෙවීම් භාරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

    Visa ආයතනය මගින් ආරම්භ කර ඇති Sri Lanka Micro Merchant වැඩසටහන නිසා DFCC බැංකුවට වෙළඳුන්ගේ ගනුදෙනු පිරිසැකසුම් කටයුතු අවම ගාස්තුවක් යටතේ සිදුකළ හැකි වී තිබේ. මෙම කාණ්ඩයට පිරිනමන ඉහළ වෙළඳ වට්ටම් ප්‍රතිශතයන් මෙම වෙළඳුන් කාඩ්පත් මගින් ගෙවීම් භාරගැනීම සඳහා යොමුකරවීමට විශාල බාධකයක් වී පැවතිණි. මෙම වැඩසටහනත් සමග මෙම වෙළඳ ප්‍රජාව ඩිජිටල් ගනුදෙනු ක්ෂේත්‍රය වෙත රැගෙන ඒමට DFCC බැංකුව අපේක්ෂා කරයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. "මෙම වැඩසටහනට දායක වීමට ලැබීම අපට සතුටක්. මෙය මුදල් රහිත ගනුදෙනු වෙත ජනතාව යොමුකරවීම සඳහා ගත් තවත් වැදගත් පියවරක් වන අතර, විශේෂයෙන්ම එදිනෙදා ගනුදෙනු සඳහා මුදල් භාවිතා කරන ගනුදෙනුකරුවන් කාණ්ඩයක් මුදල් රහිත ගනුදෙනු වෙත යොමුකරවීමට මෙමගින් හැකියාව ලැබේවි. මෙහිදී ගෙවීම් භාරගැනීම් සම්බන්ධ නව ප්‍රවණතා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට,  නව තාක්ෂණයන් ඔවුන් වෙත හඳුන්වා දීමට සහ නව අවස්ථාවන් විවර කරදීමට අපට සැලකිය යුතු කාලයක් හා ශ්‍රමයක් යෙදවීමට සිදුවන නිසා, මෙය ඉතා හොඳ අභියෝගයක්. මෙමගින් නව වෙළඳපොළ කාණ්ඩ වෙත ඔවුන් සමීප කරවා ඔවුන්ගේ අලෙවිය වැඩි කර දීමට අපට හැකිවනවා. එමෙන්ම ගනුදෙනු සම්බන්ධ වියදම් අවම වීම මගින් ඔවුන්ට වැඩි ලාභයක් අත්කර ගැනීමට හැකිවේවි. ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් මෙම කාණ්ඩයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ගෙවීම් භාරගැනීම් විසඳුම් හඳුන්වා දෙමින් මෙරට ක්ෂුද්‍ර පරිමාණ වෙළඳුන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට සුවිශේෂී අවස්ථාවක් උදාකර දීමට  DFCC බැංකුව සූදානම්."

    Visa ආයතනය මගින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් දෙකෙහි Visa මෙහෙයුම් සඳහා පත්කර ඇති ප්‍රධාන නිලධාරී ඇන්තනි විල්සන් මහතා මෙසේ අදහස් දැක්වී ය. "COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ අවශ්‍යතාව දැඩිව පැනනැගුණා. Visa ආයතනය මේ වෙනුවෙන් ගෝලීය මට්ටමින් කැපවී සිටිනවා. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ දියත් කළ Micro Merchant වැඩසටහන වෙනුවෙන් මේ ආකාරයට DFCC බැංකුවේ දායකත්වය ලැබීම අපට මහත් සතුටක්. Point of Sale (POS) සහ QR තාක්ෂණයන් පදනම් කරගත් ගෙවීම් ක්‍රම ඔස්සේ ලාභදායී හා සුරක්ෂිත ලෙස ඩිජිටල් ගෙවීම් භාරගැනීම් ක්‍රම භාවිතා කිරීම සඳහා මෙරට ඉතා කුඩා පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වීමට අප සූදානම්."

    NFS තාක්ෂණය සහිත, Android පදනම් කරගත් POS යන්ත්‍ර ලබාදීම ඔස්සේ DFCC බැංකුව ක්ෂේත්‍රයට නව ආදර්ශයක් සපයමින් සිටී. මෙහිදී පාරිභෝගිකයන්ට තිරය මත අත්සන් කිරීමෙන්, ගෙවීම සඳහා Tap කිරීමෙන් හෝ චිප් එකක් සහිත කාඩ්පතක් භාවිතා කිරීමෙන් සුරක්ෂිත ලෙස ගනුදෙනුව සම්පූර්ණ කළ හැකි වේ. එමෙන්ම මෙම ජංගම POS යන්ත්‍ර මගින් පාරිභෝගිකයා වෙතටම ගොස් ගනුදෙනුව සිදුකළ හැකි නිසා භාණ්ඩ ගෙනගොස් භාරදීම සහ ගනුදෙනුව සම්පූර්ණ කිරීම එකම අවස්ථාවේ සිදුකළ හැක. මෙම යන්ත්‍ර භාවිතයෙන් සිදුකරන ගනුදෙනු වලට අදාළ මුදල් පසුදිනම එම වෙළඳුන්ගේ ගිණුම් වලට බැර වන නිසා ව්‍යාපාර වල මුදල් ගලනයද වඩාත් යහපත් වේ. මීට අමතරව  DFCC බැංකුව පිරිනමන DFCC Pay Merchant App මගින් වෙළඳුන්ට තම ජංගම දුරකථන භාවිතයෙන් LankaQR සහ VisaQR ක්‍රමවේදයන් හරහා ගෙවීම් භාරගැනීමට අවස්ථාව ලැබී ඇත.

     

    ඡායාරූපය: ලංකාව සහ මාලදිවයින සඳහා Visa දේශීය කළමනාකරු ඇන්තනි විල්සන් මහතා  (වමේ සිට දෙවැනියට) DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා (වමේ සිට තුන්වැනියට) වෙත ගිවිසුම භාරදුන් අවස්ථාව. Visa Worldwide සමාගමේ අධ්‍යක්ෂ (MS & A) නලින් දිසානායක මහතා (වමේ), DFCC බැංකුවේ උප සභාපති/ කාඩ්පත් ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා (දකුණේ සිට දෙවැනියට) සහ එම බැංකුවේ කළමනාකරු (අලෙවිකරුවන් සම්බන්ධ කරගැනීම) ක්‍රිෂාන් ජයමාන්න මහතා (දකුණේ) ද ඡායාරූපයෙහි වෙති.