EPF කොටසක් විශ්‍රාම වැටුප් ක්‍රමයකට ? මහ බැංකුව නොදන්නා බව කියයි

    April, 28, 2014

    සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ තමන්ට හිමි මුදල පුද්ගලික අංශයේ සේවකයින් විසින් ලබාගත් පසුව ඒවා ආයෝජනය කිරීමෙන් මාසිකව වැඩි පොලී අනුපාතයක් ලබාගත හැකි මූල්‍ය උපකරණ හඳුන්වාදෙන ලෙස මෙරට ක්‍රියාත්මක බැංකු හා මූල්‍යායතන වලින් ඉල්ලා සිටිබව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියයි.

    අප සමග අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ පොලී අනුපාතය අඩුවෙමින් යන වාතාවරණයක් තුළ පුද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාමික ප්‍රතිලාභ ස්ථීර තැන්පතුවල දැමීමෙන් මාසිකව ලබාගත හැකි ආදායම අඩුවීම නිසා මෙම ඉල්ලීම බැංකු වලින් හා රක්ෂණ සමාගම් වලින් කළ බවයි.

    පුද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ප්‍රතිලාභ එකවර නොගෙවා ඒවායින් කොටසක් මාසිකව ප්‍රතිලාභ ලබාදෙන විශ්‍රාම වැටුප් වැනි ගෙවීමේ ක්‍රමයකට යොමු කිරීමේ උත්සාහයක් ඇතැයි පළවී තිබෙන මාධ්‍ය වාර්තා පිළිබඳවද අපි වීරසිංහ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

    “මහ බැංකුව දැනුවත්ව නම් එවැනි උත්සාහයක් නෑ. එවැනි උත්සාහයක් තිබෙනවා නම් සේවක අර්ථ සාධක අරමුදල භාරව සිටින මහ බැංකුව තමයි මුලින්ම දැනගත යුත්තේ.“

    කෙසේවෙතත්, මාධ්‍ය විසින් අනාවරණය කර තිබෙන්නේ පුද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගන්නා විට ඔවුන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ එකවර ලබාගැනීම වලක්වමින් එම මුදල් වලින් කොටසක් විශ්‍රාම වැටුප් වැනි ගෙවීමේ ක්‍රමයට යොමු කිරීමේ නව නීති සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවයි.
    මේ අතර, සේවක අර්ථ සාධක අරමුදල පසුගියදා පැවසුවේ 2009 වසරේ සිට 2013 වසර දක්වා අරමුදල විසින් වාර්තා කර තිබෙන ලාභය රුපියල් බිලියන 558 ක් ඉක්මවා ගොස් තිබෙන බවයි.

    එසේම, අර්ථ සාධක අරමුදල විසින් විකුණා නොමැති කොටස් වලට අදාළව ලබා තිබෙන පාඩුව (unrealized losses) 2014 අප්‍රේල් 21 වනදා වනවිට රුපියල් බිලියන 4.4 ක්වූ බවද අනාවරණය විය.