July, 13, 2026
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ යුරෝපා සංගමය (EU) සමඟ එක්ව ක්‍රියාත්මක කරන 2026 ශ්‍රී ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) යටතේ 7 වැනි පළාත් ExpoNavigator වැඩසටහන 2026 ජූනි මස මඩකලපුවේදී සාර්ථකව පැවැත්විණි. යුරෝපා සංගමයේ දකුණු ආසියාවේ දේශගුණික හිතකාමී සහ යටිතල පහසුකම් වේගවත් කිරීම 'Accelerating Climate Smart and Inclusive Infrastructure in South Asia (ACSIIS)' කලාපීය වැඩසටහනේ සහාය යටතේ ක්‍රියාත්මක වන මෙම මුලපිරීමේ අරමුණ වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ (SMEs) අපනයන සූදානම සහ තරඟකාරිත්වය ඉහළ නංවා ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීම සඳහා ඔවුන් සවිබල ගැන්වීමයි.
2026 ජාත්‍යන්තර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) දිනයට සමගාමීව පැවති මෙම දෙදින වැඩසටහන සඳහා නැගෙනහිර පළාතේ අපනයන විභවයක් සහිත ව්‍යවසායකයින් 100කට ආසන්න පිරිසක් සහභාගී වූහ. ඔවුන් සඳහා අපනයන සූදානම, වෙළඳපොළට ප්‍රවේශය, නිෂ්පාදන සංවර්ධනය, සන්නාමකරණය, ඇසුරුම්කරණය, තත්ත්ව ප්‍රමිතීන් සහ මූල්‍ය පහසුකම් පිළිබඳ විශේෂඥ දැනුම ලබාදෙන දැනුවත් කිරීමේ සැසි, තාක්ෂණික උපදේශන සහ පුද්ගලීකරණය කළ ව්‍යාපාරික උපදේශන සේවා ක්‍රියාත්මක කරන ලදී.
වැඩසටහනේ විශේෂ අංගයක් වූ ව්‍යාපාර උපදේශන සැසි (Business Clinic) හරහා සහභාගිවූ ව්‍යවසායකයින්ට EDB සහ හවුල්කාර ආයතනවල විශේෂඥයන් සමඟ සෘජුව සාකච්ඡා කර තම ව්‍යාපාරවල අපනයන සූදානම ඇගයීමටත්, ඉදිරි සංවර්ධන අවස්ථා හඳුනා ගැනීමටත් හැකි විය. එමෙන්ම, SLEEI වැඩසටහන යටතේ ඉදිරි පුහුණු හා උපදේශන වැඩසටහන් සඳහා ඉහළ විභවයක් සහිත ව්‍යවසායන් හඳුනා ගැනීමද මෙමගින් සිදු කෙරිණි.
කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ආහාර සැකසීම, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ නිෂ්පාදන කර්මාන්ත සඳහා ඉහළ විභවයක් පැවතියද, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අපනයනකරුවන් අතර නැගෙනහිර පළාතේ නියෝජනය සියයට එකකටත් වඩා අඩු මට්ටමක පවතී. එමෙන්ම ජාතික දළ දේශීය නිෂ්පාදිතයට (GDP) දැනට 5%ක පමණ දායකත්වයක් ලබාදෙන මෙම පළාතේ ආර්ථික දායකත්වය 2030 වන විට 8% දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කයට මෙම වැඩසටහන වැදගත් දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
ExpoNavigator වැඩසටහන මේ වන විට බස්නාහිර, වයඹ, උතුරු, දකුණු, සබරගමුව, ඌව සහ නැගෙනහිර යන පළාත් හත තුළ ක්‍රියාත්මක කර ඇති අතර, ප්‍රාදේශීය ව්‍යවසායකයින් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික, මූල්‍ය සහ ආයතනික සහාය ලබාදීම තුළින් නව අපනයනකරුවන් බිහිකිරීම එහි ප්‍රධාන අරමුණ වේ.
මෙම වැඩසටහන 2026–2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ (NEDP) අරමුණු සමඟ සමපාත වන අතර, විශේෂයෙන් ප්‍රාදේශීය ව්‍යවසායන්, කාන්තා නායකත්වයෙන් යුත් ව්‍යාපාර, තරුණ ව්‍යවසායකයින් සහ නව්‍ය ව්‍යවසායකයින් සඳහා අපනයන අවස්ථා පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. අපනයන සංවර්ධන සේවාවන් පළාත් මට්ටමටම රැගෙන යාම හරහා, ප්‍රාදේශීය ව්‍යාපාර ගෝලීය වටිනාකම් දාමයන්ට සම්බන්ධ කරමින් විවිධාංගීකරණය වූ සහ සියලු දෙනා ඇතුළත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීමට මෙම මුලපිරීම දායක වේ.
නැගෙනහිර පළාත් ExpoNavigator වැඩසටහන, ප්‍රාදේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා EDB, IFC, EU සහ හවුල්කාර ආයතනවල පවතින ශක්තිමත් සහයෝගීතාවය තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් විය. සමාරම්භක සැසිය සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු EDB නිලධාරීන්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම්තුමා කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, IFC, EU, වාණිජ බැංකු සහ ITI, IDB, NEDA ඇතුළු හවුල්කාර ආයතන නියෝජිතයන් සහභාගී වූ අතර, ප්‍රාදේශීය ව්‍යවසාය පද්ධතිය ඉදිරියට ගෙන යාම සඳහා පවතින පුළුල් රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවය එමඟින් පිළිබිඹු විය.
Video Story