June, 2, 2026
Fems මඟින් සවිබල ගැන්වෙන H.E.R Foundation රට පුරා කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය නැංවීමේ උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Dialog Business Services සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙමඟින් දිවයින පුරා පිහිටි Dialog Business Services කාර්යාලවල සේවය කරන දහස් ගණනක් සේවක සේවිකාවන්ට ඔසප් සෞඛ්‍ය පිළිබඳ දැනුම මෙන්ම කාර්යාල තුළදී සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ පහසුකමද හිමි වී තිබේ.
ප්‍රධාන අංශ දෙකක් පදනම් කරගනිමින් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි. ඉන් පළමුවැන්න යටතේ Dialog Business Services කාර්යාලවල සේවය කරන කාන්තාවන් වෙනුවෙන් ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසි මාලාවක් පැවැත්විණි. එහිදී ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් පවතින සමාජ තහංචි හා දුර්මත පිටුදකිමින් කාන්තාවන්ට ඒ පිළිබඳ නිවැරදි දැනුමක් හා අවබෝධයක් ලබාදෙන ලදි. H.E.R Foundation විසින් මීට පෙරද මෙවැනි වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාවට නංවා ඇත.
දෙවැනි අංශය යටතේ, අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, රට පුරා පිහිටි Dialog Business Services කාර්යාල සහ අලෙවිසැල් තුළ සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ ඒකක (Sanitary Napkin Dispenser) 29 ක් ස්ථාපිත කරන ලදි. කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලවල මෙන්ම අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, ගාල්ල, යාපනය, මහනුවර, කිලිනොච්චිය, කුරුණෑගල, මීගමුව, නුගේගොඩ, රත්නපුර, ත්‍රිකුණාමලය, වවුනියාව සහ වෙන්නප්පුව ඇතුළු තවත් ස්ථාන කිහිපයක පිහිටි Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 23 ක මෙම ඒකක ස්ථාපිත කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ, Dialog කාර්ය මණ්ඩලයේ සාමාජිකාවන්ට පමණක් නොව, එම සේවා මධ්‍යස්ථාන වෙත පැමිණෙන පාරිභෝගික කාන්තාවන්ටද මෙම සනීපාරක්ෂක තුවා ලබාගැනීමට හැකි වීමය. රට පුරා කාන්තාවන්ට පහසුවෙන් සහ ආත්ම විශ්වාසයෙන් යුතුව තම සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ඔසප් වන කාන්තාවන් අතරින් නිතිපතා සනීපාරක්ෂක තුවා භාවිතා කරනුයේ 30% ක් පමණි. එම නිසා මෙවැනි වැඩසටහන් සමාජයීය වශයෙන් සුවිශාල වැදගත්කමක් දරයි. තවමත් රටේ කාන්තාවන් විශාල පිරිසකට ඔසප් සෞඛ්‍යය පිළිබඳ නිසි දැනුමක් නොමැති අතර, ඔවුන්ට ඔසප් සෞඛ්‍ය නිෂ්පාදන මිලදී ගැනීමද බෙහෙවින් දුෂ්කර වී ඇත. එමෙන්ම ඔසප් වීම සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දුර්මත හා තහංචි හේතුවෙන් පොදු සමාජයේදී මෙන්ම රාජකාරි ජීවිතයේදීද නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ දීමට කාන්තාවන්ට සිදු වී තිබේ. මේ හේතුවෙන් කාන්තාවන්ගේ ඵලදායීතාව අඩු වීම සහ ඔසප් වීම සිදු වන දිනවල අධ්‍යාපන හෝ රාජකාරි කටයුතුවලින් වැළකී සිටීමට සිදු වීම වැනි නොයෙක් ගැටලු මතු වී ඇත.
Help, Empower සහ Rise යන ප්‍රධාන මූලධර්ම තුන මූලික කරගනිමින් Fems විසින් H.E.R Foundation ආරම්භ කරන ලදි. සමාජයේ යහපත වෙනුවෙන් Fems දක්වන උනන්දුව හා කැපවීම ඔස්සේ විධිමත් හා අර්ථවත් වැඩසටහන් ක්‍රියාවට නැංවීම එහි අරමුණ විය. ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ තමන් ඉටුකරමින් සිටින මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමෙන් අරමුණින් H.E.R Foundation මෙලෙස Dialog Business Services සමඟ හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේය. රැකියා ස්ථාන තුළ සිදුකරන අර්ථවත් වෙනස්කම් මඟින් තිරසාර චර්යාත්මක හා සංස්කෘතික පරිවර්තනයන් ඇති කළ හැකි බව H.E.R Foundation විශ්වාස කරයි.
"H.E.R පදනම සෑම විටම විශ්වාස කරන්නේ කාන්තාවන් නිවසේ සිටියත්, රැකියා ස්ථානයේ සිටියත්, වෙනත් ස්ථානයක සිටියත් ඔවුන්ට ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් නිසි සහයෝගය හිමි විය යුතු බවයි. Dialog Business Services සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, ආයතන දෙකක් පොදු අරමුණක් වෙනුවෙන් එක් වූ විට ඵලදායී වෙනස්කම් සිදු කළ හැකි බවට මනා සාක්ෂියක්. දැනුම හා පහසුව ඒකාබද්ධ කිරීම තුළින් අප මේ සිදුකරන්නේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීම පමණක් නොවෙයි. මෙම මෙහෙවර ඔස්සේ අප රැකියා ස්ථාන තුළ ඔසප් වීම සම්බන්ධ ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට උත්සාහ දරනවා. මේ සඳහා Dialog Business Services වැනි හවුල්කරුවෙකු සමඟ අත්වැල් බඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්.” Hemas Consumer Brands සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) සචිනි ගමගේ මහත්මිය පැවසුවා.
"අපගේ ආයතනයේ සේවය කරන කාන්තාවන්ගේ ආත්ම ගෞරවය හා යහපැවැත්ම වෙනුවෙන් සෘජුවම දායක වන මෙවැනි වැඩසටහනක් වෙනුවෙන් H.E.R Foundation සමඟ එක්ව කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙය කාන්තාවන්ට නිසි දැනුම, සහයෝගය හා ගෞරවය ලබාදෙමින් ඔවුන් සවිබල ගන්වන වැඩසටහනක්. ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් තවමත් අපගේ සමාජය තුළ විවෘතව කතාබහ කෙරෙන්නේ නැහැ. එවැනි තත්වයක් තුළ ඔසප් සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කිරීමේ සැසි සංවිධානය කිරීම සහ රැකියා ස්ථාන තුළ සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ පහසුකම් ස්ථාපිත කිරීම ඉතාමත් වැදගත්. මෙහි යහපත් ප්‍රතිඵල අපගේ ආයතනයට සීමා විය යුතු නැහැ. මෙමඟින් ඔසප් සෞඛ්‍ය පහසුකම් ලබාදීම සේවා ස්ථානයේ වගකීමක් බව හඳුනාගෙන ඒ අනුව නිසි ක්‍රියාමාර්ග ගැනීමට තවත් සමාගම් හා ආයතන පෙළඹෙනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” Dialog Business Services ප්‍රධානී හේමක බාලසූරිය මහතා පැවසීය.
දිවයින පුරා ස්ථාන රැසක මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම තුළින් ඔසප් සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමානත්වය සහ රැකියා ස්ථානය තුළ කාටත් සමාන ලෙස සැලකීම සම්බන්ධයෙන් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට අගනා පූර්වාදර්ශයක් සැපයීමට H.E.R Foundation සහ Dialog Business Services සමත් වී තිබේ.

Fems මඟින් සවිබල ගැන්වෙන H.E.R Foundation සහ Dialog Business Services (පුද්.) සමාගම අතර ඇතිකරගත් හවුල්කාරීත්වය යටතේ රට පුරා Dialog Business Services කාර්යාලය තුළ සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ ඒකක ස්ථාපිත කිරීමේ සමාරම්භය සනිටුහන් කරමින් Hemas Consumer Brands හි සාමාන්‍යාධිකාරිනී (අලෙවි) සචිනි ගමගේ මහත්මිය Dialog Business Services (පුද්.) සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී (කුසලතා සම්බන්ධීකරණ සහ සංවර්ධන) පියුමා මංචනායක මහත්මිය වෙත සනීපාරක්ෂක තුවා ඒකකයක් සංකේතාත්මකව භාර දුන් අවස්ථාව.
ඡායාරූප විස්තරය : Dialog Business Services (පුද්.) සමාගමේ ප්‍රධානී හේමක බාලසූරිය මහතා සහ Hemas Consumer Brands අලෙවි අධ්‍යක්ෂ ෂියාන් ජයවීර මහතා, Dialog Business Services සමාගම සහ Fems මඟින් සවිබල ගැන්වෙන H.E.R Foundation අතර ඔසප් සෞඛ්‍ය නැංවීමේ හවුල්කාරීත්වය උදෙසා අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. Dialog Business Services (පුද්.) සමාගමේ මානව සම්පත් ප්‍රධානී මිෆාස් අහමඩ් මහතා සහ Hemas Consumer Brands හි සාමාන්‍යාධිකාරිනී (අලෙවි) සචිනි ගමගේ මහත්මියද ඡායාරූපයේ සිටිති
Video Story