August, 11, 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින්, Hela Clothing (Pvt) Ltd සහ Foundation Garments (Pvt) Ltd ආයතනවල සේවය කළ සියලුම සේවකයින්, සමූහ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් යටතේ Emerald Clothing (Pvt) Ltd වෙත සම්පූර්ණයෙන්ම අනුයුක්ත කර ඇති බැවින්, ඔවුන්ගේ රැකියා සුරක්ෂිත බව නිවේදනය කර සිටී. මෙම ක්‍රියාවලිය Hela Apparel Holdings PLC සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ තත්ත්වයට පෙර සාර්ථකව අවසන් කර තිබුණු බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටී.
මෑතකාලීන මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ Hela Apparel Holdings PLC, Hela Clothing Ltd. සහ Foundation Garments Ltd. යන සමාගම් දිගුකාලීන ද්‍රවශීලතා අර්බුද හේතුවෙන්, අධිකරණ නියෝගයක් මත සමාගම් විසුරුවා හැරීම සඳහා වාණිජ මහාධිකරණය වෙත ඉල්ලීම් ගොනු කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය අදාළ සේවකයින්ගේ ජීවනෝපාය කෙරෙහි කිසිදු බලපෑමක් නොමැති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවධාරණය කර සිටී. එයට හේතුව වන්නේ, අදාළ සේවකයින් Emerald Clothing (Pvt) Ltd වෙත මාරු කිරීම එම අධිකරණ ඉල්ලීම් ගොනු කිරීමට පෙර නිල වශයෙන් අවසාන කර තිබීමයි.
Emerald Clothing (Pvt) Ltd විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙ හි කාර්මික සබඳතා දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් නිල තහවුරු කිරීමට අනුව, සමස්ත සේවකයින් 3,674 දෙනෙකු අදියර දෙකක් යටතේ එම සමාගම වෙත මාරු කර අනුයුක්ත කර ඇත. එම සංඛ්‍යාවට විධායක නිලධාරීන් 251 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයින් 393 දෙනෙකු සහ කණ්ඩායම් සාමාජිකයින් 3,030 දෙනෙකු ඇතුළත් වේ.
පළමු අදියර 2026 මැයි 1 දින සිට ක්‍රියාත්මක වූ අතර ඒ යටතේ පලාපත්වෙල, තිහාරිය පිහිටි කර්මාන්තශාලාවල සහ Emerald ප්‍රධාන කාර්යාලයෙන් සේවකයින් 2,504 දෙනෙකු මාරු කර ඇත. දෙවන අදියර 2026 ජූනි 1 දින සිට ක්‍රියාත්මක වූ අතර ඒ යටතේ නාඋල, උකුවෙල පිහිටි කර්මාන්තශාලාවල සහ ප්‍රධාන කාර්යාලයෙන් තවත් සේවකයින් 1,170 දෙනෙකු මාරු කර අනුයුක්ත කර ඇත.
Emerald Clothing (Pvt) Ltd විසින් නිකුත් කළ තහවුරු කිරීමේ ලිපිය අනුව, මාරු කළ සියලුම සේවකයින්ගේ සේවා අඛණ්ඩතාව, සේවා කාලය සහ පවතින සේවා කොන්දේසි කිසිදු වෙනසකින් තොරව පවත්වාගෙන යමින් ඔවුන්ගේ රැකියා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්මික සබඳතා දෙපාර්තමේන්තුව සහ ආයෝජක සේවා දෙපාර්තමේන්තුව මඟින් පහසුකම් සලසමින් සමීපව නිරීක්ෂණය කර ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිය අනුමත ව්‍යාපාරවල සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සිය කැපවීම නැවත අවධාරණය කරන අතර, Emerald Clothing (Pvt) Ltd ආයතනය සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින්, සේවා තත්ත්වයන් නිරීක්ෂණය කරමින් සුමට සංක්‍රාන්තියක් සහතික කිරීමට කටයුතු කරනු ඇත.
Video Story