June, 3, 2026
HNB Finance සිය ශක්තිමත් වර්ධනය 2025/26 මූල්‍ය වර්ෂය තුළදී ද අඛණ්ඩව පවත්වා ගනිමින් පසුගිය වසරට සාපේක්ෂව 120% ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රු. බිලියන 1.68 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මෙම සාර්ථකත්වය මඟින් සමාගමේ ලාභදායීත්වයේ ස්ථාවර වර්ධනය, විචක්ෂණශීලී ව්‍යාපාරික කළමනාකරණය සහ දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික පදනම මැනවින් පෙන්නුම් කරයි.
HNB Finance හි බදු පෙර ලාභය (PBT) 2024/25 මූල්‍ය වර්ෂයේ වාර්තා කළ රු. බිලියන 2.2 කට සාපේක්ෂව රු. බිලියන 3.9 ක් දක්වා ඉහළ ගොස් ඇත. සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික අංශ අඛණ්ඩව පුළුල් කිරීම මෙම ඉහළ මූල්‍ය කාර්යසාධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය 61% කින් රු. බිලියන 94.4 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ශුද්ධ වත්කම් ප්‍රමාණය ද 22% කින් රු. බිලියන 9.3 ක් දක්වා වර්ධනය වී ඇත.
සමාගමේ සමස්ත ණය කළඹ 70% ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රු. බිලියන 76.3 ක් බවට පත්ව ඇත. මෙමඟින් සමාගම සතු ඉහළ වෙළෙඳපොළ ආකර්ෂණය සහ පාරිභෝගිකයින් සමඟ පවතින ශක්තිමත් සබඳතාවය මැනවින් පෙන්නුම් කරයි. HNB Finance හි ලීසිං කළඹ 98% ක සුවිශේෂී වර්ධනයක් සමඟින් රු. බිලියන 51 ක් බවට පත්ව ඇති අතර, සමාගමේ රන් ණය කළඹ ද 80% කින් රු. බිලියන 16 ක් දක්වා වර්ධනය වී ඇත. ප්‍රායෝගික මෙන්ම පහසුවෙන් ලබාගත හැකි මූල්‍ය විසඳුම් මඟින් වඩාත් පුළුල් පාරිභෝගික පිරිසකට සේවා සැලසීමට සමාගමට ඇති හැකියාව මෙමඟින් පිළිබිඹු වේ.
මීට අමතරව HNB Finance හි මූල්‍ය ප්‍රතිලාභවල ද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව, සමාගමේ වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (ROA) 1.37% සිට 2.2% දක්වා ඉහළ ගොස් ඇති අතර, කොටස් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය (ROE) 11.54% සිට 19.96% දක්වා ශක්තිමත් වී ඇත. සමාගමේ දිනෙන් දින වර්ධනය වන ව්‍යාපාරික කළඹෙන් ලැබුණු ඉහළ ආදායම මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.
මෙම සාර්ථක මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB Finance PLC සභාපති රජීව් දිසානායක මහතා සඳහන් කර සිටියේ “2025/26 මූල්‍ය වර්ෂය HNB Finance හට ඉතා වැදගත් වසරක් වුණා. එහිදී සමාගමේ ලාභදායීත්වය, වත්කම් මෙන්ම ණය ලබාදීම් යන සෑම අංශයකින්ම ශක්තිමත් වර්ධනයක් අත්කර ගැනීමට අපට හැකිවුණා. මෙම ඉහළ කාර්යසාධනය තුළින් අපගේ උපායමාර්ගික සැලසුම්වල සාර්ථකත්වය, ඒවා විචක්ෂණශීලීව ක්‍රියාත්මක කිරීමට අප සතු හැකියාව සහ අපගේ පාරිභෝගිකයින්, කොටස්කරුවන් සහ ආයෝජකයින් අප කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය මැනවින් පෙන්නුම් කරනවා. අප ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රය තුළ අපගේ සේවා තවදුරටත් ව්‍යාප්ත කරන අතරම, වගකිවයුතු වර්ධනයක් කරා යාමටත්, ශක්තිමත් ආයතනික පාලනයක් පවත්වා ගැනීමටත් අප අඛණ්ඩව කැපවෙනවා. එමෙන්ම, අපගේ පාරිභෝගිකයින්ට මෙන්ම සමස්ත ආර්ථිකයටම ඉහළ වටිනාකමක් එක්කරන මූල්‍ය විසඳුම් ලබාදීමට ද අප ඉදිරියටත් ප්‍රමුඛතාවය ලබාදෙනවා.” යනුවෙනි.
HNB Finance PLC කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසුවේ “මෙම වසරේ අප ලබාගත් මූල්‍ය කාර්යසාධනය මඟින් ලීසිං, රන් ණය සහ ණය ලබාදීම් යන අපගේ ප්‍රධාන ව්‍යාපාරික අංශවල පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරනවා. අප මූල්‍ය විසඳුම් සඳහා පවතින ප්‍රවේශය අඛණ්ඩව පුළුල් කරන අතරම, ඉතා සුපරීක්ෂාකාරීව හා වගකීමෙන් යුතුව වර්ධනය වීමටත්, පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමටත්, විචක්ෂණශීලිව මෙහෙයුම් පවත්වා ගැනීමටත් නිරන්තරයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඉදිරියේදී අපගේ ප්‍රධාන ඉලක්කය වන්නේ බුද්ධිමත්ව අවදානම් කළමනාකරණය, වඩාත් ශක්තිමත් සේවා සැපයීම සහ අපගේ සියලුම පාර්ශවකරුවන් වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් මෙම වර්ධන වේගය තවදුරටත් ඉදිරියට රැගෙන යාමයි.” යනුවෙනි.
HNB Finance PLC 2025/26 මූල්‍ය වර්ෂය තුළ අත්කරගත් මෙම ඉහළ කාර්යසාධනය, සමාගම එම වසරේ මුල් මාස නවය තුළ වාර්තා කළ සුවිශේෂී ප්‍රගතියේ අඛණ්ඩ ඉදිරි පියවරකි. මුල් මාස නවයේදී සමාගමේ බදු පසු ලාභය (PAT) ඉතිහාසයේ පළමු වතාවට රු. බිලියනය සීමාව පසුකර යාමට සමත් විය. මෙම සමස්ත වාර්ෂික මූල්‍ය ප්‍රතිඵල මඟින්, දැඩි තරඟකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රයක් තුළ ස්ථාවර හා තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට HNB Finance සතු සුවිශේෂී හැකියාව මෙන්ම වෙළෙඳපොළ තුළ සිය ශක්තිමත් ස්ථානය තවදුරටත් තහවුරු කරයි.
Photo caption -
Video Story