IDEAS සහ DCI එක්ව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ආයතනික සංස්කෘතික පරිවර්තන ක්‍රමවේද හඳුන්වා දෙයි

    July, 6, 2026

    ව්‍යාපාරයක සැබෑ ශක්තිය මිනිසුන්ගෙන්...

    ශ්‍රී ලංකාවේ ආයතනික සාර්ථකත්වයේ නව දිශානතියක් වෙනුවෙන්, IDEAS Business and Development Academy සහ ලොව ප්‍රමුඛ පෙළේ Directive Communication International (DCI) ආයතනය අතර නව ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා ලොව සුප්‍රසිද්ධ ආයතනික සංස්කෘති විශේෂඥ Arthur Carmazzi විසින් හඳුන්වාදෙන ලද, ජාත්‍යන්තරව පිළිගත් නායකත්ව හා ආයතනික සංස්කෘතික පරිවර්තන ක්‍රමවේදයන් මෙරටට හඳුන්වා දීමට නියමිතය.

    ඕනෑම ව්‍යාපාරයක සැබෑ ශක්තිය ගොඩනැගෙන්නේ තාක්ෂණය හෝ භෞතික ආයෝජන මත පමණක් නොව, එහි සේවය කරන මිනිසුන් සහ ඔවුන්ගේ පොදු සංස්කෘතිය මතය. මෙම වැඩසටහන මඟින් Brain Colours සහ Directive Communication Psychology වැනි ප්‍රායෝගික ප්‍රවේශයන් ඔස්සේ සේවකයන්ගේ සිතන ආකාරය, සන්නිවේදනය, සහ කණ්ඩායම් හැඟීම ඉහළ නැංවීමට කටයුතු කරයි. එමෙන්ම, සේවකයන් අතර ගැටුම් අවම කරමින් විශ්වාසය, සහයෝගීතාව, නවෝත්පාදනය සහ වගවීම වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශය, පවුල් ව්‍යාපාර, මානව සම්පත් වෘත්තිකයන් මෙන්ම උපදේශකවරුන් වෙනුවෙන් ද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සහතිකකරණ සහ නායකත්ව සංවර්ධන වැඩසටහන් රැසක් මීට ඇතුළත් වේ. විශේෂයෙන්ම, AI හෙවත් කෘත්‍රිම බුද්ධි යුගයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි සහ වෙනස්වන ව්‍යාපාරික පරිසරයට ගැළපෙන නායකත්ව කුසලතා වර්ධනය කිරීමට මෙයින් සුවිශේෂී අවස්ථාවක් හිමිවේ.

    තාක්ෂණය කොතරම් දියුණු වුවත්, එහි සැබෑ ඵලදායීතාව තීරණය කරන්නේ මිනිසුන් සහ ඔවුන් වැඩ කරන ආයතනික සංස්කෘතියයි. ඒ අනුව, ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයට ජාත්‍යන්තර මට්ටමේ තරඟකාරීත්වයක් සහ තිරසාර සංවර්ධනයක් ළඟා කර දීම සඳහා IDEAS සහ DCI එක්ව තබන මෙම පියවර, රටේ ආයතනික සංස්කෘතියේ නව යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇත.