May, 12, 2026
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විදේශීය ක්‍රිකට් තරු රැසක් එක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහය විශ්වාසය පළ කර සිටියි.
එම තරඟාවලිය සඳහා එක් වීමට කැමති විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන වෙබ් අඩවිය පසුගිය (8) දා නිල වශයෙන් විවෘත කරන ලදී. ඒ අනුව එම ක්‍රීඩකයින් හට මැයි 20 වන දින දක්වා LPL තරඟාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය. මේ සඳහා ලියාපදිංචි වීමට කැමති සියලු විදෙස් ක්‍රීඩකයින් හට ශ්‍රී ලංකා ක්‍රිකට්හි නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk හරහා පිවිසිය හැකිය.
ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ක්‍රීඩකයින් රැසක් 2026 LPL තරඟාවලිය සඳහා එක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ වන විටත් පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ටේ්‍රලියාව වැනි රටවල ප්‍රමුඛ පෙළේ ක්‍රීඩයින් රැසක් ඒ සඳහා සිය කැමැත්ත පළ කර තිබීමද විශේෂත්වයකි. පසුගිය වසරේදීද විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් 600කට අධි පිරිසක් LPL තරඟාවලිය සඳහා ලියාපදිංචි වී තිබිණ.
ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමුඛ පෙලේ රටවලට අමතරව අයර්ලන්තය, ස්කොට්ලන්තය. සිම්බාබ්වේ, නේපාලය, ඇමරිකා එක්සත් ජනපදය, ඕමානය, ඉතාලිය, නැම්බියාව සහ නෙදර්ලන්තය වැනි නැගී එන රටවල අති දක්ෂයින් ද එක් කර ගනිමින් මෙවර තරඟාවලිය වඩාත් ඉහළ ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල මහතා “ඉදිරියේදී පැවැත්වීමට නියමිත LPL හි 6 වන අදියර සඳහා එක්වීමට ලොව පුරා අති දක්ෂ ක්‍රීඩකයින් දක්වන උනන්දුව පිළිබඳව ඉතාමත් සතුටුයි. ලොව පුරා ක්‍රිකට් විශිෂ්ටයින්ගෙන් ලැබෙන ඉහළ ප්‍රතිචාරය තුලින් LPL තරඟාවලිය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත වී ඇති ආකාරය මනාව පැහැදිලි වනවා” යනුවෙන් පැවසීය.
මෙහිදී තරඟාවලියේ සමබරතාවය හා ජාත්‍යන්තර ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා සෑම කණ්ඩායමකටම ප්‍රමුඛ පෙළේ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් එක් කර ගැනීමට කණ්ඩායම් වෙත අවස්ථාව ලබා දී ඇත. මෙවර තරඟාවලිය සඳහා මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින ක්‍රීඩකයින් පිළිබඳව සියලු තොරතුරු ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙවර LPL තරඟාවලියට අදාල සියලු තරඟ කොළඹ SSC, කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයන්හි පැවැත්වෙනු ඇත.
LPL තරඟාවලියේ හිමිකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, IPG සමූහය සමඟ එක්ව 2026 තරඟාවලිය සංවිධානය කරනු ලබයි. එම තරඟාවලිය 2026 ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා පැවැත්වෙනු ඇත.
2020 වසරේදී ආරම්භ වූ LPL තරඟාවලිය මේ වන විට සාර්ථක අදියර 5ක් නිම කර ඇති අතර ඉන් තරඟාවලි 4කදීම ශූරතාව දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව ඇත්තේ මෙතෙක් වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගත් කණ්ඩායම බවට පත් වෙමිනි.
Video Story