May, 19, 2026
NDB බැංකුවේ සිදුව ඇති මූල්‍ය වංචාවේ දී ඊට අදාළ රු. බිලියන 13කට අධික මුදල, නැවත සොයාගත හැකි ආකාරයෙන් ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කර ඇති බවට පවතින වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ නිශ්චිතවම එවැනි දෙයක් මේ දක්වා සොයා ගෙන නොමැති බවත්, එය පොලිස් පරීක්ෂණවල දී සොයා ගත යුතු කාරණාවක් මිස මහ බැංකුවේ පරීක්ෂණවලට අදාළ නොවන දෙයක් බවත්ය.
ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන වෝහාරික විගණනයේ දීත් ඒ පිළිබඳව සොයා බැලෙනු ඇති බවයි.
“ඒ මුදල් NDB බැංකුවෙන් වෙනත් බැංකුවලට ගියාට පස්සේ, එතනින් පස්සේ හුවමාරු වුණේ කොහොමද කියන එක දැනට පරීක්ෂණ මට්ටමේ පවතින්නේ. මුදල් වංචාසහගතව ලබා ගත් අය නැවත හොයා ගැනීමට නොහැකිවන ලෙස පහසුම ආකාරය තමයි ක්‍රිප්ටෝ කරන්සි. එතනින් ගියාට පස්සේ කාටවත් හොයන්න බැහැ. ඒක හරියටම නිශ්චිතව කියන්න අමාරුයි. ඒක පොලිස් පරීක්ෂණවල දී සොයාගන්න දෙයක්. අපි මහ බැංකුව පැත්තෙන් පරීක්ෂණවල දී ඒ මට්ටමටම යන්නේ නැහැ. අපි කරන්නේ NDB බැංකුවේ වෙච්ච සිද්ධිය මොකක්ද, ඒක වළක්වන්නේ කොහොමද, කියන එක මිසක්, ඉන් පසු පරීක්ෂණ යන්නේ නීතිය ක්‍රියාත්මක කරන Law enforcement agency හරහා. ඊට අමතරව වෝහාරික විගණනයකදීත් ඒ කරුණු හොයා ගනියි. හරියටම ප්‍රකාශයක් කරන්න අමාරුයි කොහේටද මේ මුදල් ගියේ කියන එක. අපේ ළඟ තොරතුරු නැහැ තාම ඇත්තවශයෙන්ම.“
Video Story