June, 28, 2026
NDB බැංකුව තුළ සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් (Independent Forensic Review) පැවැත්වීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් Deloitte Touche Tohmatsu India LLP ආයතනය පසුගිය අප්‍රේල් මාසයේ දී පත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් NDB බැංකුව පසුගිය සිකුරාදා (26) නිවේදනය කර සිටියේ අදාළ විමර්ශනය සම්බන්ධයෙන් Deloitte Touche Tohmatsu India LLP ආයතනය විසින් අතුරු වාර්තාවක් නිකුත් කර ඇති බවයි.
එම වාර්තාවට අනුව NDB බැංකුවේ සිදුව ඇති මෙම සැකසහිත ගනුදෙනුවල සමස්ත වටිනාකම රු. 13,579,664,684/- ක් ලෙසින් හඳුනාගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් උචිත පරිදි අදාළ කරුණු තවදුරටත් ඉදිරියේ දී අනාවරණය කරීමට කටයුතු කරන බව NDB බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්යක්ෂවරයාගේ උපදෙස් සහ නිර්දේශ මත Deloitte ආයතනය විසින් මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කරනු අතර අදාළ වංචනික ගනුදෙනු සිදු වූ ආකාරය මෙන්ම, එම කාලසීමාව තුළ බැංකුවේ පාලන පද්ධති, අධීක්ෂණය සහ ආයතනික පාලනයේ (Governance) පැවති යම් දුර්වලතා හෝ අඩුපාඩු පිළිබඳව Deloitte ආයතනය විසින් මෙහිදී සවිස්තරාත්මකව විමර්ශනය කරනු ඇත.
මෙම පරීක්ෂණයේ මූලික සොයාගැනීම් සහ අවසන් වාර්තාව Deloitte ආයතනය විසින් සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Video Story