ODEL Mall ව්‍යාපෘතියට මොකද වුණේ?

    July, 28, 2026

    කොළඹ 07 සිය ප්‍රමුඛතම ODEL Mall ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව පවතින විවිධ ප්‍රචාරයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ODEL PLC සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල දැනුම් දීමක් කර තිබේ.

    සමාගම විසින් සිදු කරන ලද මෙම ආයතනික අනාවරණයට අනුව, මීට පෙර කලාප දෙකකින් (Zone 1 සහ 2) සමන්විතව සැලසුම් කර තිබූ මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ සැලසුම් සංශෝධනය කර ඇත. ඒ අනුව, සමාගමේ මූලික අවධානය ව්‍යාපෘතියේ පළමු කලාපය (Zone 1) නිම කිරීම සඳහා පමණක් යොමු වී ඇති බව සඳහන් කර ඇත.

    ODEL PLC අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරන පරිදි, පළමු කලාපයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට යළි ආරම්භ කර ඇති අතර සාර්ථක ලෙස එම කටයුතු ඉදිරියට යමින් පවතී. එසේම මෙම පළමු අදියරේ වැඩකටයුතු ඉදිරි වසර 1 1/2ත් 2ත් අතර කාලය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව සමාගම සඳහන් කරයි.

    ව්‍යාපෘතියේ දෙවන කොටස වන දෙවන කලාපය (Zone 2) සම්බන්ධයෙන් ද සමාගම කරුණු පැහැදිලි කර ඇත. පර්චස් 100 ක භූමි ප්‍රමාණයකින් යුත් එම භූමිභාගය වර්තමාන ඉදිකිරීම් කටයුතුවලට ඇතුළත් නොවන අතර, එය අනාගත සංවර්ධන කටයුත්තක් ලෙස වෙන් කර තැබීමට සමාගම තීරණය කර තිබේ.

    සමාගම පවසන්නේ වෙළඳපොළ තුළ පවතින විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සහ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ඇති වැරදි සහගත අර්ථකථනයන් (inaccurate representations) නිවැරදි කිරීම සඳහා මෙම තොරතුරු අනාවරණය කළ බවයි.