July, 21, 2026
කොළඹ වරාය නගරය (Port City Colombo) වෙත ඕමාන ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින්, මස්කට් නුවර දී ඉහළ පෙළේ සාකච්ඡා මාලාවක් පවත්වා ඇත.
මෙම වැඩසටහන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ CHEC Port City Colombo (Pvt) Ltd ආයතනය විසින් ඕමාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව සංවිධානය කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඕමානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සහ කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ජාත්‍යන්තර ව්‍යාපාරික සහ ආයෝජන ද්වාරය ලෙස ස්ථානගත කිරීමයි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිස ඕමානයේ විශේෂ ආර්ථික කලාප සහ නිදහස් කලාප සඳහා වන මහජන අධිකාරියේ (OPAZ) සභාපති, Qais bin Mohammed Al Yousef සහ Invest Oman හි ප්‍රධාන විධායක නිලධාරී නසාර් අල් කින්ඩි Nasser Al Kindi සමග එහිදී සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවලදී දෙරටේම පවතින විශේෂ ආර්ථික කලාප අතර සහයෝගීතාව ගොඩනැගීම, දේශසීමා ආයෝජන පහසු කිරීම සහ ආයෝජකයින්ට කලාපීය වශයෙන් ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු වී තිබේ. මීට අමතරව, දෙරට අතර ආයෝජන ප්‍රවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණයන් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
Video Story