May, 26, 2026
SLT සමූහය මෙම මූල්‍ය වර්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගනිමින්, 2025 පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී ආදායමේ සහ ලාභදායීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. බ්‍රෝඩ්බෑන්ඩ් (අන්තර්ජාල) සේවා සඳහා පැවති අඛණ්ඩ ඉල්ලුම සහ මෙහෙයුම් ලාභයේ හා ශුද්ධ ඉපැයීම්වල ශක්තිමත් වර්ධනයන් හේතුවෙන්, සිය ඉතිහාසයේ ඉහළම මෙහෙයුම් ලාභය සහ ශුද්ධ ඉපැයීම් වාර්තා කරගැනීමට සමූහය සමත් විය.
සමූහයේ සියලුම සමාගම් පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත්, ඒ සියල්ලෙහිම දායකත්වය හේතුවෙන් ඉතිහාසයේ විශිෂ්ටතම කාර්තුමය කාර්යසාධනය වාර්තා කිරීමට හැකි වූ බවත්, මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී SLT-MOBITEL නියෝජිතයෝ පැවසූහ. සන්නිවේදන ජාලය පුළුල් කිරීමේ සහ ස්ථානගත කිරීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් සමාගමට අඛණ්ඩව චෝදනා එල්ල වෙමින් තිබුණද, ජාලය ප්‍රශස්තව පුළුල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ අතරේම සමාගම විසින් තමන්ගේ 5G ජාලය දිගින් දිගටම පුළුල් කිරීමේ ක්‍රියාවලියට රුකුලක් වීම සඳහා වත්මන් සාර්ව ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බවත් සමාගම අවධාරණය කර සිටී.
සමස්තයක් වශයෙන් ගත් කළ, මෙම ප්‍රතිඵල මගින් සමාගමේ ශක්තිමත් ක්‍රියාපටිපාටීන්, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තිරසාර පාරිභෝගික විශ්වාසය පිළිබිඹු කෙරෙන අතරම, ඒ ඔස්සේ ඉදිරි වර්ෂය තුළ සමාගම නොනවතින ගම්‍යතාවයකින් යුතුව සුපැහැදිලි සාර්ථකත්වයක් අත්පත් කොට ගනු ඇතැයි පෙන්නුම් කෙරේ.
මෙම මාධ්‍ය හමුවට SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා, SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී එම්. රියාස් රෂීඩ්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉමන්ත විජේකෝන් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක යන මහත්වරු සහභාගී වූ අතර, ඔවුහු සමූහය වසරේ පළමු කාර්තුව තුළ අත්පත් කරගෙන ඇති සුවිශේෂී කාර්යසාධනය මෙන්ම ක්‍රමෝපායික ආයෝජන සහ නවෝත්පාදනයන් තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දීම සඳහා SLT-MOBITEL ගනිමින් සිටින පියවර පිළිබඳව අදහස් දැක්වූහ.
SLT සමූහය විසින් කොළඹ කොටස් වෙළඳපොල වෙත මෑතකදී නිකුත් කරන ලද මූල්‍ය ප්‍රතිඵල අනුව 2026 වසරට ශක්තිමත් ආරම්භයක් ලබාගනිමින්, රු. බිලියන 30.8 ක සමුච්චිත ආදායමක් වාර්තා කරගැනීමට සමූහය සමත් වී තිබේ. මෙය 2025 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 27.9 ට සාපේක්ෂව 10.6% ක වර්ධනයකි. බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් සමූහයේ දළ ලාභය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 14.1% කින් වර්ධනය වී රු. බිලියන 14.6 ක් ලෙස වාර්තා විය. මෙහෙයුම් ලාභය පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 3.7 ට සාපේක්ෂව 39.1% කින් ඉහළ ගොස් රු. බිලියන 5.1 ක් ලෙස වාර්තා වී තිබේ. බදු පෙර ලාභය 2025 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 2.7 ට සාපේක්ෂව 55.4% කින් ඉහළ ගොස් රු. බිලියන 4.2 ක් ලෙස වාර්තා වී ඇත. බදු පසු ලාභය රු. බිලියන 3.1 ක් වූ අතර, එය පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 2 ට සාපේක්ෂව 53.3% ක වර්ධනයකි.
සමාගම් මට්ටමින් ශක්තිමත් වර්ධනයක් වාර්තා කිරීමට SLT PLC සමත් වී ඇත. 2025 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 17.8 ට සාපේක්ෂව එහි ආදායම රු. බිලියන 19.7 දක්වා 10.6% කින් වර්ධනය වී තිබේ. දළ ලාභය පෙර වසරට සාපේක්ෂව 13.4% කින් වර්ධනය වී රු. බිලියන 9.9 ක් ලෙස වාර්තා විය. මෙහෙයුම් ලාභය 2025 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 2.5 ට සාපේක්ෂව රු. බිලියන 3.5 දක්වා 36% කින් වර්ධනය වී තිබේ. බදු පෙර ලාභය රු. බිලියන 2.9 ක් වූ අතර, එය 2025 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 1.9 ට සාපේක්ෂව 51% ක වර්ධනයකි. මෙම කාර්තුවේ බදු පසු ලාභය, පසුගිය වසරේ වාර්තා වූ රු. බිලියන 1.3 ට සාපේක්ෂව රු. බිලියන 2.1 දක්වා 53.3% කින් ඉහළ ගොස් ඇත.
පෙර වසරට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී සිය ආදායම 9.9% කින් හෙවත් රු. බිලියන 1.2 කින් වර්ධනය කරගැනීමට Mobitel සමත් වී තිබේ. බ්‍රෝඩ්බෑන්ඩ් ආදායම 28% කින් වර්ධනය වීම මෙන්ම අගය එකතු කළ සේවාවන්, වෙනත් විසඳුම් සහ රෝමින් සේවාවන් මඟින් ලැබුණු ආදායම මීට බලපා ඇත. කාර්තුව තුළ නව පාරිභෝගිකයන් සම්බන්ධ වීමේ ප්‍රවණතාවද යහපත් මට්ටමක පැවතිණි. පසුගිය වසරේදී නිරීක්ෂණය වූ පරිදිම මෙවරත් පාරිභෝගිකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, එය නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සහ ඔවුන් රඳවා ගැනීම සඳහා Mobitel අනුගමනය කරන ක්‍රමෝපායන් සාර්ථක වී ඇති බවට මනා සාක්ෂියකි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLT-MOBITEL සිය 5G ජාලය පොදු ජනතාවට විවෘත කිරීමටද කටයුතු කළේය. මෙය අනාගත තාක්ෂණයන්හි අපූර්වත්වය මෙන්ම 5G තාක්ෂණය අත්විඳිම සඳහා ශ්‍රී ලාංකිකයන්ට හිමි වූ සුවිශේෂී අවස්ථාවකි. ජාල තාක්ෂණය, ඉහළ ධාරිතාවයකින් යුත් ෆයිබර් යටිතල පහසුකම් සහ පුළුල් කරන ලද රැහැන් රහිත ආවරණය සඳහා SLT-MOBITEL වසර ගණනාවක පටන් ක්‍රමෝපායික ආයෝජන සිදුකර ඇත. එමඟින් රටේ ඩිජිටල් පදනම ශක්තිමත් කිරීමට සහ උසස් තාක්ෂණයන් රට පුරා පුද්ගලයින්ට, ව්‍යාපාරවලට සහ ප්‍රජාවන්ට සමීප කරවීම සඳහා සමාගම දක්වන අඛණ්ඩ කැපවීම පිළිබිඹු වේ.
පෙර අත් නොවිඳි වේගවත් බවකින් යුත් SLT-MOBITEL හි 5G සේවාව, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, නිෂ්පාදන, ව්‍යවසාය සහ නවෝත්පාදනය ඇතුළු ප්‍රධාන අංශ නව මුහුණවරකින් යුතුව හැඩගස්වමින්, ශ්‍රී ලංකාව ඩිජිටල් වශයෙන් බලගැන්වුණු ආර්ථිකයක් කරා යන ගමන වේගවත් කරයි. SLT-MOBITEL හි ආයෝජන දැනටමත් ප්‍රායෝගික ප්‍රතිඵල ලබාදෙමින් පවතින අතර, බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම දුරකථන සම්බන්ධතා පහසුකම් තවදුරටත් දියුණු කිරීම ඔස්සේ නාගරික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ග්‍රාමීය ප්‍රජාවන් කරා ව්‍යාප්ත වෙමින්, අධ්‍යාපනය, ආර්ථික අවස්ථා සහ ඩිජිටල් සේවාවන් සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දෙමින්, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රතිලාභ හිමි වන පසුබිමක් නිර්මාණය කරමින් සිටී. මහජනතාවට 5G තාක්ෂණය භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම තුළින් SLT-MOBITEL රටේ ප්‍රගතිය බලගැන්වීමට දායක වන අතරම, ඩිජිටල් අනාගතය තුළ තරගකාරී වීම සහ ජයගැනීම සඳහා රටට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීමට සමත් වී තිබේ.
Video Story