SLT-MOBITEL රටේ AI අනාගතය බලගැන්වීමේ අරමුණින් ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය නිර්මාණය කිරීමට දායක වෙයි

    August, 21, 2026

    ගෝලීය වශයෙන් තරගකාරී AI ක්ෂේත්‍රයක් ගොඩනැංවීම සඳහා රජය, ක්ෂේත්‍රය සහ විශ්ව විද්‍යාල ඇතුළු පාර්ශ්ව රැසක් ඒකාබද්ධ කරන සුවිශේෂී ප්‍රයත්නයක්

    ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි (AI) පර්යේෂණ හා නවෝත්පාදන කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පිහිටුවීමට නියමිත ජාතික මට්ටමේ බහුපාර්ශ්වීය වේදිකාවක් වන ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය (National AI Institute) සඳහා ආරම්භක සාමාජිකයෙකු (Founding Member) සහ යටිතල පහසුකම් හවුල්කරුවෙකු (Infrastructure Partner) ලෙස තමන් දායක වන බව SLT-MOBITEL පසුගියදා නිවේදනය කළේය.

    දැනට සැලසුම් කෙරෙමින් පවතින යෝජිත ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය, රාජ්‍ය අංශය, විශ්වවිද්‍යාල, කර්මාන්ත ක්ෂේත්‍රය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සම්බන්ධ වන බහුපාර්ශ්වීය රාමුවක් ලෙස ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. කෘත්‍රිම බුද්ධි පර්යේෂණ සහ නවෝත්පාදන කටයුතු සඳහා සහයෝගීතාව වර්ධනය කිරීම සහ පාර්ශ්වකරුවන් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම මෙන්ම, පොදුවේ භාවිතා කළ හැකි කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් සහ තාක්ෂණික සම්පත් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධානතම අරමුණු වේ. පාර්ශ්වකරුවන්ගේ  දායකත්වය, සාමූහික අදහස් සහ ජාතික ප්‍රමුඛතා අනුව මෙම ආයතනයේ ඉදිරි දිශානතිය සකස් වනු ඇත.

    මීට අමතරව දැනට ක්‍රියාත්මක වන කෘත්‍රිම බුද්ධි වැඩසටහන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ඒකාබද්ධ තාක්ෂණික සම්පත් වෙත ප්‍රවේශය පුළුල් කිරීම සහ ජාතික ප්‍රමුඛතා සමඟ සමගාමී වන කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයක් ගොඩනැංවීමට සහාය වීමද මෙම වැඩපිළිවෙළේ අරමුණු අතරට අයත් වේ. තවද කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ජාතික ප්‍රමුඛතා සහ පාලන රාමුව පිළිබඳ ජාතික මට්ටමේ සංවාද සඳහා වේදිකාවක් සැපයීම, ධාරිතා සංවර්ධනය සහ දැනුම් හුවමාරුව ප්‍රවර්ධනය කිරීම මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතා සහ හවුල්කාරීත්වයන් දිරිගැන්වීමද මෙම ආයතනය මඟින් සිදුකෙරෙනු ඇත.

    SLT-MOBITEL මෙම වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම, කෘත්‍රිම බුද්ධි හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීම, නවෝත්පාදන දිරිගැන්වීම සහ සැමට සමාන අවස්ථා හිමි වන සංවර්ධනයක් ළඟා කරගැනීම යන අරමුණු ඉටුකරගැනීම සඳහා සහය වීමට බලාපොරොත්තු වෙයි.

    යෝජිත ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය සම්බන්ධයෙන් මෑතකදී පැවැති තීරණාත්මක සාකච්ඡාව සඳහා රාජ්‍ය අංශය, විශ්ව විද්‍යාල සහ කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුළු පාර්ශ්ව රැසක නියෝජිතයෝ සහභාගී වූහ. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ජාතික දැක්ම සහ ප්‍රමුඛතා හඳුන්වාදීමෙන් සාකච්ඡාව ආරම්භ වූ අතර, එහිදී පාර්ශ්වකරුවන්ගේ අදහස් හා අත්දැකීම් ඔස්සේ පවතින අවස්ථා සහ අඩුපාඩු හඳුනාගැනීම සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. ඉන් අනතුරුව පැවැති සම්මුති ගොඩනැංවීමේ වැඩමුළුව (Consensus-Building Workshop) තුළදී පොදු ප්‍රමුඛතා සහ සම්බන්ධීකරණ ක්‍රමවේද සාකච්ඡාවට බඳුන් වූ අතර, අවසානයේදී පැවැති ඉහළ මට්ටමේ අනුමැතිය ලබාගැනීමේ සැසියේදී (Endorsement Session) මෙම වැඩපිළිවෙළේ ඉදිරි අදියර සැලසුම් කිරීමට අවශ්‍ය අදහස් හා මඟපෙන්වීම් ලබාගැනීම සඳහා යෝජිත රාමුව අදාළ අමාත්‍යාංශ වෙත ඉදිරිපත් කරන ලදී.

    මෙම අවස්ථාවට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, Sri Lanka Telecom PLC සමූහ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා, SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී එම්. රියාස් රෂීඩ්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, Lanka Education And Research Network හි උපදේශක ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය රොෂාන් ජී. රේගල්, Swarmio ප්‍රධාන විධායක නිලධාරී විජායි කාර්තිගේසු සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

    මෙම ප්‍රයත්නයන් තුළින් ආර්ථික වර්ධනය, තාක්ෂණික නවෝත්පාදනය සහ රාජ්‍ය අංශයේ පරිවර්තනය උදෙසා කැපීපෙනෙන දායකත්වයක් ලැබෙනු ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකාව ගෝලීය කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය තුළ කැපීපෙනෙන ලෙස ස්ථානගත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය ස්ථාපිත කිරීම සඳහා SLT-MOBITEL ලබාදෙන සහයෝගය මඟින් ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා සමාගම දක්වන කැපවීම මෙන්ම, රටේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක සහ ඩිජිටල් තාක්ෂණික පුරෝගාමියා ලෙස එය ඉටුකරමින් සිටින භූමිකාව තවදුරටත් තහවුරු වනු ඇත. සමාගමේ දායකත්වය හේතුවෙන් ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනයට ශක්තිමත් පදනමක් හිමි වනු ඇති අතර, එමඟින් තිරසාර සංවර්ධනයක් උදෙසා කෘත්‍රිම බුද්ධියේ හැකියාවන් පූර්ණ වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු නිසැකය.