June, 16, 2026
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජංගම මුදල් සේවාව වන SLT-MOBITEL mCash, රජයේ ආයතන වෙත ගෙවීම් සිදුකිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සහ නවීකරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay ඒකාබද්ධ කිරීම කරන ලද බව පසුගියදා නිවේදනය කරන ලදී.
මේ ඔස්සේ රාජ්‍ය ආයතන වෙත සිදුකරන ගෙවීම්, රථවාහන දඩ මුදල් සහ පළාත් පාලන ආයතන සඳහා ගෙවිය යුතු බදු මුදල් ඇතුළුව රජය සම්බන්ධ ගෙවීම් 4,000 කට අධික සංඛ්‍යාවක් සඳහා mCash සේවාව හරහා GovPay වෙත ගෙවීම් කිරීමට හැකි වනු ඇත. mCash යනු රටේ විශාල පිරිසක් දැනටමත් භාවිතා කරන සේවාවක් වන බැවින් මෙය රටේ ඩිජිටල් ආර්ථික සැලසුම් වේගවත් කිරීමට දායක වන පියවරක්ද වනු නිසැකය. එමෙන්ම මෙය රාජ්‍ය සේවාවන් නවීන ලෝකයට ගැළපෙන ආකාරයට වැඩිදියුණු කිරීමක් වන අතර, වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීමක්ද වේ. මෙය පුරවැසියන්, රජය සහ තාක්ෂණය සහසම්බන්ධ කරමින්, එදිනෙදා සිදුකරන සාමාන්‍ය ගෙවීම් රටේ ඵලදායීතාවට, අන්තර්කරණයට සහ විශ්වාසනීයත්වයට දායක වන ක්‍රියාවලියක් බවට පත්කරන සුවිශේෂී තීරණයක් ලෙස හැඳින්විය හැකි වේ.
Mobitel පාරිභෝගිකයන්ට #111# ඩයල් කිරීමෙන් mCash සේවාව සඳහා ලියාපදිංචි විය හැකි අතර, Android Play Store, iOS App Store හෝ Huawei App Gallery වෙතින් mCash App බාගත කරගෙන එසැණින් GovPay හරහා ඩිජිටල් ක්‍රමයට සුරක්ෂිත ලෙස ගෙවීම් කළ හැකි වේ. ඊට අමතරව පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් ළඟම පිහිටි Mobitel රීලෝඩ් සේවා සපයන ස්ථානය වෙත ගොස් ඉතාමත් පහසුවෙන් අදාළ ගෙවීම් සිදු කළ හැක.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ICTA (දැන් GovTech) සහ LankaPay අතර හවුල්කාරීත්වයක් තුළින් බිහි වූ GovPay මගින් රාජ්‍ය ආයතන 280 කට අධික සංඛ්‍යාවක පුරවැසි සේවාවන් 4,090 කට අධික සංඛ්‍යාවක් සඳහා ගෙවීම් කළ හැකි වේ. ඒ අනුව ජනතාවට දැන් උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු, සෞඛ්‍ය සේවා ගාස්තු සහ රජයේ විවිධ ගාස්තු බාධාවකින් තොරව mCash හරහා ගෙවීමට අවස්ථාව සලසා දී ඇත. විශේෂයෙන්ම GovPay හරහා දවසේ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට සෘජුවම mCash යෙදුම හරහා රථවාහන දඩ ගෙවීමේ පහසුකමද ලබා දී තිබේ.
මේ ආකාරයට කාලවේලාව පිළිබඳ ගැටලුවකින් තොරව දවස පුරා තම තමන් කැමති පරිදි ගෙවීම් කිරීමට හැකි වීම පුරවැසියන්ට සුවිශාල පහසුවක් වනු ඇත. එමෙන්ම මෙමඟින් රජයේ ආදායම් රැස්කිරීම වඩාත් ඉක්මන්, විනිවිදභාවයෙන් යුත් සහ කාර්යක්ෂම ක්‍රියාවලියක් බවට පත් වේ. විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු සමස්ත ව්‍යාපාර ක්ෂේත්රයට මෙමඟින් රජයේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීම පහසු වන අතර, ගනුදෙනු සම්බන්ධ පිරිවැයද අවම වේ.
මහා පරිමාණ සමාගම් සහ ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් ගත් විට, මෙය ගෙවීම් සේවා පද්ධතියේ තීරණාත්මක දියුණුවක් මෙන්ම රජය සම්බන්ධ ගෙවීම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමක් ලෙස හැඳින්විය හැක. තවද මෙමඟින් ක්ෂේත්‍ර රැසක ඵලදායීතාව සහ අනුකූලතාව ඉහළ යනු නිසැකය.
2013 වසරේදී දියත් කරන ලද mCash සේවාව මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම මුදල් පදනම බවට පත් වී තිබේ. පසුගිය දශකය තුළ mCash සේවාව ව්‍යාපාර අතර මෙන්ම පාරිභෝගිකයන් අතර ගනුදෙනු සඳහා විශ්වාසනීය ක්‍රමවේදයක් බවට විකාශනය වී ඇත.
mCash මගින් පුද්ගලයන් අතර මුදල් යැවීමේ පහසුකම්, LANKAQR ගෙවීම්, පාරිභෝගික සේවා ස්ථාන හා ATM මඟින් මුදල් ලබාගැනීම, උපයෝගිතා සේවා හා දුරකථන බිල්පත් පියවීම්, රක්ෂණ හා මූල්‍ය ගෙවීම්, පරිත්‍යාග, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන සේවා සඳහා සිදුකරන ගෙවීම්, අභ්‍යන්තර ප්‍රේෂණ සහ ස්ථාවර නියෝග ඔස්සේ සිදුකරන ගෙවීම් ඇතුළු සේවාවන් රාශියක් පිරිනමයි. ව්‍යාපාර සඳහා mCash මඟින් මුදල් එකතු කිරීම් කටයුතු කළමනාකරණය, බිල්පත් එකතු කිරීම, මාර්ගගත ගෙවීම් සේවා, LANKAQR මඟින් ගෙවීම් ක්‍රමවේද, නියෝජිත බැංකුකරණ සේවා සහ සම-සන්නාමගත මූල්‍ය සේවා ඇතුළු සේවා රාශියක් හඳුන්වා දී ඇති අතර, එය රටේ ගෙවීම් සේවා බලගන්වන සුවිශේෂී බලවේගයක් බවට මේ වන විට පත් වී තිබේ.
ආරම්භයේ සිට මේ දක්වා දේශීය හා ජාත්‍යන්තර ඇගයුම් රැසකින් පිදුම් ලැබීමට mCash සේවාව සමත් විය. Asian Fintech Academy Awards 2023 හිදී හිමි වූ ‘Outstanding Innovations in Digital Payments & Collections’ සම්මානය, Brand Finance සහ LMD විසින් ප්‍රකාශයට පත්කරන ලද 2022 වසරේ මූල්‍ය ගනුදෙනු සඳහා ‘Most Loved Brands’ ලැයිස්තුවේ 3 වන ස්ථානය හිමි වීම, LankaPay Technnovation Awards 2019 හිදී හිමි වූ රිදී සම්මානය සහ SLIM Brand Excellence 2019 හිදී Online Brand of the Year කාණ්ඩය යටතේ හිමි වූ රන් සම්මානය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
GovPay පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: https://govpay.lk/en/
Video Story