December, 22, 2022
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් දිනේෂ් වීරක්කොඩි මහතා පත් කරන ලද බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කර සිටී.
දිනේෂ් වීරක්කොඩි මහතා හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයා ද වේ.
මේ අතර ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ ඒරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇති බව ද ජනාධිපති මාධ්ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
December, 22, 2022
අඛණ්ඩව පස්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් ඊයේ (21) දිනයේ දී වාර්තා විය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,420.26 ක් දක්වා ඒකක 88.27 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 2,653.84 ක් දක්වා ඒකක 40.61 කින් පහළ යන ලදී.
මෙය පිළිවෙලින් 1.04% ක හා 1.51% ක පහළ යාමකි.
වාර්තාගත රු. බිලියන 4.62 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දිනයේ දී ජනනය වී තිබුණු අතර ප්රධාන වශයෙන් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි ප්රධාන කොටස්කාර සමාගම වන ජපානයේ SG Holdings සමාගම අඛණ්ඩව එම සමාගමේ කොටස් මිල දී ගැනීම මීට ප්රධාන වශයෙන් දායකත්වය වුණි.
ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් රු. බිලියන 2.9 ක ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්රමාණයක් වාර්තා වී තිබුණි.

December, 21, 2022
කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලධාරී හෝටලයේ පැවති “2022 ජාතික විශිෂ්ටතා සම්මාන උළෙල” අමතමිනි.
ලංකා කර්මාන්ත මණ්ඩලය විසින් 21 වන වරටත් මෙය සංවිධානය කර තිබූ අතර හොඳම කර්මාන්තකරුවන් ඇගයීම මෙමගින් සිදු කෙරේ.
බිඳ වැටුණු ආර්ථිකය දෙස බලා පසුතැවෙනවා වෙනුවට වඩා සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය යළි ගොඩනැගුණු අයුරු අපට ආදර්ශයක් සපයන බව ද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා,
අපේ රටේ බිද වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා. කර්මාන්තකරුවන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන පිරිසක්. රටක් ලෙස අපට මෙම තත්ත්වයෙන් ගොඩ ආ හැකි බව මම කියන්න කැමතියි. මේ අවස්ථාවේ කර්මාන්තකරුවන්ට බදු සහන ලබාදීමට හැකියාවක් නැහැ. නමුත් අපේ රටේ කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත තවදුරටත් දියුණු කළ හැකියි. ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගත හැකියි. ලෝකයේ වෙනත් රටවල කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත දියුණු වූ ආකාරය දෙස බලා ඔවුන් භාවිතා කර ඇති එම නවීන තාක්ෂණය අපගේ කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තවල දියුණුවට යොදා ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා රජයක් ලෙස ලබාදිය හැකි සියලු සහාය ලබාදීමට අපි සූදානම්.
පැරණි ක්රමවේද අනුගමනය කරමින් සිටිනවා ද, එසේ නොමැති නම් අලුත් විදියට සිතා නව වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින්, රට ජාත්යන්තරයේ ඉහළට ඔසවා තබනවා ද යන්න ඔබ තීරණය කළ යුතුයි. මේ සඳහා ඔබට හොඳ අවස්ථාවක් තිබෙනවා.
ඒ වගේම බිඳ වැටුණු ආර්ථිකය දෙස බලමින් පසු තැවෙනවාද, සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කටයුතු කරනවාද යන්න අප සිතිය යුතුයි. දෙවන ලෝක යුද්ධය නිසා බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය ආර්ථික වශයෙන් නැවත ශක්තිමත් වෙලා ජාත්යන්තරය ජය ගත් හැටි ඔබ සිතා බලන්න. එසේ නම් අපටත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩනැඟිය හැකියි. ඒ සඳහා අප ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි.
අද අපේ රටට විදේශ විනිමය අවශ්ය වෙනවා. විදේශ විනිමය ඉහළ නංවා ගැනීමත් සමඟ අපගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එවිට අපිට පුළුවන් අධ්යාපන සහ සෞඛ්ය අංශවලට වැඩි මුදලක් වෙන් කරන්න. එමගින් අධ්යාපන සහ සෞඛ්ය ක්ෂේත්රයේ මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දීමට අපිට හැකියාව ලැබෙනවා.
කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
December, 21, 2022
පදනම් විරහිත ප්රතිපත්ති නිසා ශ්රී ලංකාවට අහිමි වන මහඟු සම්පතක්
ලෝකයම ඔයිල් පාම්(කටු පොල් වගාව) වැනි ඵලදායී සහ ආර්ථික වශයෙන් වැදගත් භෝග වගා කර තම ආර්ථිකයන් ශක්තිමත් කරගැනීමට උත්සාහ දරමින් සිටින යුගයක ශ්රී ලංකාව හිතාමතාම ඔයිල් පාම් වගාව සහ එමගින් ලැබෙන ආර්ථික ප්රතිලාභ අහිමි කරගනිමින් සිටී.
පාම් තෙල් හුදෙක් ඉවුම් පිහුම් වලට පමණක් නොව, මාජරින්, බිස්කට්, රසකැවිලි, බේකරි නිෂ්පාදන ආදිය සඳහා මෙන්ම ආහාර නොවන නිෂ්පාදන වර්ග රැසක් සඳහාද භාවිතා වේ. ශ්රී ලංකාවේ වාර්ෂික එළවලු තෙල් පරිභෝජනය මෙට්රික් ටොන් 250,000 ක් පමණ වන නමුත් මෙරට තුළ වසරකට නිෂ්පාදනය කෙරෙනුයේ එළවලු තෙල් මෙට්රික් ටොන් 50,000 ක පමණ ප්රමාණයකි. මේ නිසා ශ්රී ලංකාවට එළවලු තෙල් ආනයනය සඳහා විශාල වශයෙන් විදේශ විනිමය වැයකිරීමට සිදු වී තිබේ. රටේ එළවලු තෙල් ඉල්ලුම දේශීය නිෂ්පාදන වලින් සපුරා ගත හැකි නම්, වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 27 ත් 44 ත් අතර ප්රමාණයක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇතැයි ගණන් බලා ඇත.
එහෙත් අවාසනාවකට, එළවලු තෙල් අතරින් වැඩිම ඵලදාවක් ලබාදෙන භෝගය වන ඔයිල් පාම් සම්බන්ධයෙන් මෙරට ජනතාවට නිවැරදි අවබෝධයක් නොමැත. කිසිදු සොයාබැලීමකින් තොරව, පාම් තෙල් සම්බන්ධ මිථ්යාවන් විශ්වාස කිරීමට ජනතාව පෙළඹී සිටී.
මෙම පදනම් විරහිත අදහස් නිසාම රජයද ඔයිල් පාම් වගාව තහනම් කිරීමට පෙළඹී ඇත. මෙය සිදු වී ඇත්තේ, ඔයිල් පාම් වගාව හෝ පාම් තෙල් පරිභෝජනය මගින් පරිසරයට හෝ සෞඛ්යයට සැලකිය යුතු මට්ටමේ තර්ජනයක් ඇති නොවන බවට ලොව පුරා පර්යේෂණ වලින් ඔප්පු වී තිබියදී ය.
ඇත්ත වශයෙන්ම, විද්යාත්මක පර්යේෂණ වල සහය ඇතිව, ඉන්දියාව, මැලේසියාව හා ඉන්දුනීසියාව ඇතුළු තවත් රටවල් රාශියක් සාර්ථක හා තිරසාර ලෙස තම රටවල පාම් තෙල් නිෂ්පාදනය පුළුල් කර තිබේ. මෙමගින් විශේෂයෙන්ම එම රටවල ග්රාමීය ප්රදේශ වලට පුළුල් ආර්ථික ප්රතිලාභ හිමි වී ඇත.
එමෙන්ම, ශ්රී ලංකාව තුළ, නීතියට අනුව, නො-ඉඳුල් ඉඩම් වල ඔයිල් පාම් වගාකිරීම තහනම් වන අතර, ඒවා වගා කළ හැක්කේ මීට පෙර වෙනත් වගාවන්ට භාවිතා කළ ඉඩම් වල පමණි. ඇත්ත වශයෙන්ම, දශක ගණනාවක් තිස්සේ වගා කරනු ලැබීමෙන් අනතුරුව අස්වැන්න අඩු වී යමින් පවතින රබර්, තේ සහ වෙනත් භෝග වගා කළ ඉඩම් වලට ඇති හොදම විකල්පය වන්නේ ඔයිල් පාම් ය.
පාම් තෙල් නිෂ්පාදනය වැඩි කිරීම මගින් ශ්රී ලංකාවට අඩු වියදමින් රටේ එළවලු තෙල් අවශ්යතාව සපුරාගත හැක. විශේෂයෙන්ම සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර ඇතුළුව සමස්තයක් ලෙස නිෂ්පාදන හා කාර්මික ක්රියාවලි රැසකට පාම් තෙල් අවශ්ය වේ. පාම් තෙල් වලට විකල්ප ලෙස භාවිතා කළ හැකි අමුද්රව්ය ආර්ථික වශයෙන් අවාසිදායක බවත්, එම නිසා තම නිෂ්පාදන වල තත්ත්වය පහළ ගොස් මිල ඉහළ යන බවත් මෙම ව්යාපාර හිමියන් නොයෙක් අවස්ථා වලදී පෙන්වා දී ඇත.
ඔයිල් පාම් වගාකිරීම වාසිදායක දෙයක් බව සනාථ කිරීමට මෙතරම් සාක්ෂි තිබියදී පවා, රජය එම කර්මාන්තයට සහාය දීම ප්රතික්ෂේප කිරීම පමණක් නොව, එහි වර්ධනය හා ක්රියාකාරීත්වය සක්රීයව අවහිර කිරීමට පවා කටයුතු කිරීම සැබැවින්ම කනගාටුදායක ය. ගෝලීය වශයෙන් සිදුකළ පර්යේෂණ වල ප්රතිඵල මගින් ඔයිල් පාම් වගාව අහිතකර නොවන බව පෙනී ගොස් තිබියදීත්, කිසිදු විධිමත් අධ්යයනයකින් හෝ පර්යේෂණයකින් තොරව, සැඟවුණු න්යාය පත්ර ඇති බවට නිසැකව කිවහැකි ක්රියාකාරීන් කණ්ඩායම් අතළොස්සක් සතුටු කිරීම සඳහා රජය මෙම පියවර ගෙන තිබේ.
පාම් තෙල් සම්බන්ධයෙන් ගනු ලබන ඕනෑම තීරණයක්, විද්යාත්මක සාක්ෂි, තර්ක බුද්ධිය සහ ඉදිරි දැක්ම මත පදනම් විය යුතු ය. විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ, රජය ඔයිල් පාම් වගාවට නිසි සහයෝගය ලබාදීම අතිශයින් වැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත.
ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමය ඇතුළුව විවිධ සංවිධාන මේ වනවිට ඔයිල් පාම් තහනම නැවත සලකා බලන මෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඔයිල් පාම් වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි වීම සහ ග්රාමීය ප්රදේශ වල ආර්ථිකය නංවාලීමට එයට ඇති හැකියාව වැනි සාධක මෙහිදී පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම මහා පරිමාණ ප්රාදේශීය වැවිලි සමාගම් වලට අමතරව කුඩා පරිමාණ වගාකරුවන්ට ද ඔයිල් පාම් වගාව සිදුකළ හැකි අතර, එමගින් ග්රාමීය ප්රජාවන්ට මෙන්ම සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට ප්රතිලාභ රාශියක් සැලසෙනු ඇත.
කෙසේ නමුත් තවමත් රජය පාම් ඔයිල් වගාව ව්යාප්ත කිරීම තහනම් කිරීමේ තීරණයෙහි දැඩිව එල්බගෙන සිටී. මෙය ශ්රී ලංකාවේ විදේශ විනිමය මට්ටමට සහ ග්රාමීය ප්රජාවන්ගේ යහපතට පමණක් නොව, රටේ ආර්ථිකයේ ජීවනාලිය ලෙස සැලකෙන සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වලටද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
මේ ආකාරයට, ආර්ථිකයේ යහපත වෙනුවට හුදෙක් ඡන්ද පදනම වැඩි කර ගැනීම වෙනුවෙන් ගන්නා ලද මෙම තීරණය මෙන්ම අනෙකුත් අදූරදර්ශී, පදනම් විරහිත තීරණ නිසා සෑම ශ්රී ලාංකිකයෙකුටම වන්දි ගෙවීමට සිදු වී ඇත. මෙම තත්ත්වය හැකි ඉක්මනින් වෙනස් විය යුතු ය.
ආනුභවික දත්ත, විද්යාත්මක සාක්ෂි සහ විශේෂඥ උපදෙස් මත පදනම් වී තර්කානුකූලව කටයුතු කරන ලෙසත්, ඔයිල් පාම් වගාව සඳහා පනවා ඇති තහනම ඉවත් කර එම කර්මාන්තය සවිබල ගන්වන ලෙසත් තම නායකයන්ගෙන් ඉල්ලා සිටීමේ වගකීම දැන් සියල්ලන් වෙත පැවරී තිබේ. එය සමස්ත ශ්රී ලංකාවාසීන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන ඉල්ලීමක් වනු ඇත.
December, 21, 2022
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 65% ක් බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
2022 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය 70.6% ක් ලෙසින් වාර්තා වී තිබුණි.
ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 80.9% සිට 2022 නොවැම්බර් මාසයේ දී 69.8% ක් දක්වා පහළ ගොස් තිබේ.
මේ අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය
2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 61.3% සිට 2022 නොවැම්බර් මාසයේ දී 60.4% ක් දක්වා පහළ ගොස් තිබේ.
December, 21, 2022
මත්ද්රව්ය නිවාරණය ඇතුළු ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම සඳහා භාවිත කිරීමට රේගුව මගින් රාජසන්තක කරන ලද රථ වාහන ප්රදානය කිරීමට අවශ්ය කටයුතු සම්පාදනය කෙරේ. දැනට හම්බන්තොට වරාය පරිශ්රයේ ගාල් කර ඇති අදාළ රථ වාහන නිරීක්ෂණය සඳහා මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (20) එක් විය.
නීති විරෝධී ලෙස ආනයනය කිරීම හේතුවෙන් රාජසන්තක වූ ඇතැම් වාහන වසර හතක් පමණ තිස්සෙ දිරා යමින් පවතින බව අමාත්යවරයා මෙහිදී සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත අදාළ වාහන සම්බන්ධයෙන් පවතින නීතිමය බාධාවන් ඉවත් කර ජනතා සුබසිද්ධිය උදෙසා භාවිත කිරීම මෙහි අරමුණ බව සියඹලාපිටිය මහතා එහි දී පැවැසීය.
“අපි දන්නවා මත්ද්රව්ය ජාවාරම ශීඝ්රයෙන් පැතිර යන බවට මාධ්ය වාර්තා පළ වෙනවා. මේ සෑම වැටලීමක් සඳහා ම පොලිස් දෙපාර්තමේන්තුව සතුව තියෙන්නෙ වාහන 12,000ක විතර ප්රමාණයක්. ඉන් අඩක් පමණ වසර 20කට වඩා පැරැණියි. දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 600ක් සහ අලුතින් ආරම්භ වන තවත් පොලිස් ස්ථාන 111ක් සඳහා මේ වාහන ප්රමාණවත් නෑ. ඒ අනුව පොලිසිය කළ ඉල්ලීමට ප්රතිචාර ලෙස මෙම රථවාහන ලබා දීම සිදු කෙරෙනවා.” යැයි අමාත්යවරයා පැවැසීය.
රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස්, පොලිස්පති සී.ඩී. වික්රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
December, 21, 2022
බොහෝ විට පවතින වාතාවරණය හමුවේ මෙරට සමාගම්වල කඩා වැටීමක් සිදුවුවහොත් ආයෝජකයින්ට යම් පියවරක් ගැනීමට සිදුවන බවත්, ඔවුන් මේ වන විට ඉතාමත් ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් වන අප්රිකානු කලාපය වෙත විතැන් විය හැකි බවත්, නිදහස් වෙළෙඳ කළාප ආයෝජකයින්ගේ සංගමයේ ප්රධාන ලේකම් ධම්මික ප්රනාන්දු මහතා පවසයි.
“මේ වෙන කොට ඉතාම ආකර්ෂණීයම ආයෝජන ගමනාන්තය බවට අප්රිකානු උප සහරා කලාපය පත්ව තිබෙනවා. මේ කලාපයට යන්න ඕන තරම් ආයෝජකයෝ බලා ගෙන ඉන්නවා. අපේ රටවල්වලට වඩා ගොඩාක් පහසුකම්, ඒ වගේම මිල අඩුවෙන් නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්.“
December, 21, 2022
ශ්රී ලංකාවේ විසිතුරු මත්ස්ය ව්යාපාරයේ පුරෝගාමියා වන, ලූමිබිණි ඇක්වේරියා ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම, ශ්රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරණු ලබන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී, විසිතුරු මත්ස්ය අංශයේ විශාල කාණ්ඩයේ ‘රන් සම්මානය’ දිනා ගැනීමට සමත්වී ඇත. විසිතුරු මත්ස්ය හා ජලජ ශාක ව්යාපාරයේ පුරෝගාමී සමාගමක් වන ලූම්බිණි ඇක්වේරියා සමාගම, ශ්රී ලංකාවෙන් බිලියනයකට වඩා සජීවී මසුන් අපනයනය කිරීමේ ගෞරවයට පාත්රවී සිටින ආයතනයක් වෙයි.
අපනයන කාර්ය්ය සාධනය සඳහා වන මෙම කීර්තිමත් රන් සම්මානය තුළින්, ලූම්බිණි ඇක්වේරියා සමාගමේ ව්යාපාර ආකෘතියේ වැදගත් අංග කිහිපයක්ම අවධාරණය කෙරෙයි. ඒ අතර ව්යාපාරයේ විශිෂ්ටත්වය සමග ව්යාපාර ක්ෂේත්රයට අදාල වන වැදගත් සාධකයක් වන, සමාජ, පාරිසරික සහ ආර්ථික යන ත්රිත්ව පහළ රේඛාව පුළුල් ලෙස අගැයීමට ලක්වී ඇත.
වර්තමානයේදී ත්ද Forsyth Capital විසින් හිමිකාරිත්වය දරණ ලූම්බිණි ඇක්වේරියා සමාගම, වසර 70ක් පැරැණි ශ්රී ලංකාවේ ප්රථම විසිතුරු මත්ස්ය සහ ජලජ පැලෑටි අපනයන සමාගමද වෙයි. මෙම සමාගම ශ්රී ලංකාව පුරා අභිජනන මධ්යස්ථාන 5ක් ක්රියාත්මක කරන අතර, මිරිදිය මත්ස්ය, ශීතජල මත්ස්ය, සමුද්ර මත්ස්ය, අපෘෂ්ඨවංශීන් සහ ජලජ පැලෑටි ඇතුලූ විවිධ වර්ග දහසකට අධික ප්රමාණයක් ලෝකයේ රටවල් 26කට අපනයනය කරයි.
NCE ජාතික සම්මානවල අඛණ්ඩ ජයග්රහකයකු වන ලූම්බිණි ඇක්වේරියා සමාගම 2018 වසරේදී රිදී සම්මානයක් සහ 2017 සහ 2021 වසරවලදී ලෝකඩ සම්මාන දිනාගත්තේය.
ලූම්බිණි ඇක්වේරියා සමාගමේ සභාපති විභූ පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ‘අභියෝග රැසක් මධ්යයේ වුවද සමාගමේ සම්මානලාභී කාර්ය සාධනය පිළිබඳව අපි සතුටු වෙනවා. විදේශ මුදල් ඉපැයීමේ ජාතික ප්රයත්නයට ලූම්බිණි ඇක්වේරියා සමාගම දායක වෙනවා පමණක් නොව, ශ්රී ලංකාව ප්රවර්ධනය කිරීමටද උපකාරී වෙනවා. ජාත්යන්තර වෙළෙඳපොළේ පවතින දැඩි ගුණාත්මක තත්ත්වයන්ට සහ අභිප්රායන්ට අනුව අපගේ ව්යාපාර කටයුතු සිදු කෙරෙන අතර, මෙවැනි වර්ණවත් අපනයනයන් හරහා ශ්රී ලංකාව විශිෂ්ඨ සංචාරක නිවාඩු ගමනාන්තයක් ලෙසටද ලෝකය විසින් හඳුනාගනු ලබනවා,’ යනුවෙන් ද ඒ මහතා අවධාරණය කළේය.
‘ලූම්බිණි ඇක්වේරියා’ ජාත්යන්තර සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සමන්විත වන්නේ එම සමාගමේ සභාපති විභූ පෙරේරා, ප්රධාන විධායක නිලධාරී සහ කළමණාකාර අධ්යක්ෂ ඞීප්ති පෙරේරා මහතා, සිවසෝති සිතාර්තන් මහතා සහ ජලජීවී වගාව (Aquaculture) පිළිබඳ අධ්යක්ෂ කපිල තිසේරා යන මහත්වරුන්ගෙනි.
සේයාරු සටහන: ලූම්බිණි ඇක්වේරියා සභාපති විභූ පෙරේරා මහතා (වමේ සිට තෙවැන්නා) NCE සම්මානය ලබා ගන්නා අයුරු සේයාරුවෙන් දැක්වෙයි.
December, 21, 2022
ලින්ක් නැචුරල් ශ්රී ලාංකීය ක්රීඩා ක්ෂේත්රයට දක්වන දායකත්වය තව දුරටත් පෙන්නුම් කරමින් ලින්ක් සමහන් SP බාම්, මේ දිනවල පැවැත්වෙන ඇපරල් ප්රිමියර් ලීග් තරඟාවලියේ (APL) 'නිල සෞඛ්ය අනුග්රාහක ' ලෙසින් කටයුතු කරයි.
Apparel FM සහ ශ්රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) එක්ව සංවිධානය කරන ඇපරල් ප්රිමියර් ලීග් තරගාවලිය, ශ්රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රය තුළ ක්රීඩා දක්ෂතා දක්වන පිරිස ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන පළමු සැහැල්ලු පන්දු ක්රිකට් තරගාවලියයි. ඇඟලුම් ක්ෂේත්රයේ ශ්රම බලකාය සතු ක්රීඩා කුසලතා ප්රදර්ශනය කිරීම මෙන්ම, රටට විදේශ විනිමය ගෙන එමින් සුවිශාල කාර්යභාරයක් ඉටු කරන ශ්රම බලකායක් ලෙස ඔවුන්ට නිසි ඇගයීමක් ලබාදීම අරමුණු කරමින් එය පැවැත්වේ. මේ දිනවල කුරුණෑගල, අවිස්සාවේල්ල, කටුනායක සහ ගාල්ල යන නගර කේන්ද්ර කර ගනිමින් තරගාවලිය පැවැත්වෙන අතර, ශූරතාව දිනා ගැනීම සඳහා කණ්ඩායම් 64ක් තරඟ වදිති.
APL තරගාවලිය සඳහා 'නිල සෞඛ්ය අනුග්රාහක ' ලෙස දායක වෙමින්, ලින්ක් නැචුරල් කණ්ඩායම ක්රීඩකයන්ගේ ප්රතිශක්තිය ඉහළ නංවන පානයක් ලෙසින් ලින්ක් සමහන් ලබා දුන් අතර, ඔවුන්ගේ වෙහෙස හා වේදනාවන් සමනය කිරීමට ඉවහල් වන ලින්ක් සමහන් SP බාම් ගල්වා විඩාවට හා වේදනාවට පත් සිරුරු සම්භාහනය කරනු ලැබිණි. ලින්ක් සමහන් SP බාම්, කැක්කුම් සහ වේදනාවන් සඳහා ආරක්ෂිත සහ ක්ෂණික සහනයක් අත්කර දෙන ඖෂධීය බාම් වර්ගයක් වන අතර, ඖෂධීය ශාකමය ඖෂධ වර්ග 6ක් සහ ශාකමය වාෂ්පශීලී තෙල් වර්ග 9ක් යොදා එය නිපදවා තිබේ. ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධීය නිෂ්පාදනයක් වන ලින්ක් සමහන් SP බාම්, නවීන විද්යාව හා තාක්ෂණය උපයෝගී කර ගනිමින් එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විශේෂයෙන් සකස් කර තිබේ. හිසරදය, කොන්දේ වේදනාව, බෙල්ලේ සහ උරහිසේ වේදනාව, ඔසප් වේදනාව, උළුක්කුව සහ තැලීම් මෙන්ම, සෙම්ප්රතිශ්යාව සහ නාසයේ අවහිරතාව ආදී වශයෙන් ඕනෑම අයකුට එදිනෙදා මතුවන ශාරීරික අපහසුතා සඳහා ලින්ක් සමහන් SP බාම් භාවිතා කළ හැකිය.
තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ලින්ක් නැචුරල් ප්රඩක්ට්ස් පුද්ගලික සමාගමේ අලෙවි ප්රධානී රොමේරෝ ලින්ඩන් ප්රකාශ කළේ මෙවැන්නකි. “ඇඟලුම් ක්ෂේත්රය කියන්නේ, අපේ රටේ ලක්ෂ සංඛ්යාත තරුණ පිරිසකට රැකියා ලබා දෙමින් රටට විශාල විදේශ විනිමය ප්රමාණයක් ගෙන එන කර්මාන්තයක්. මෙම සුවිශේෂී ක්රිකට් තරගාවලිය මගින් ඔවුන්ගේ ක්රිකට් දක්ෂතා ප්රදර්ශනය කිරීමටත් ඒවාට නිසි පිළිගැනීමක් ලබා දීමටත් හැකියාව සැලසෙනවා. ඒ වගේම එය ක්රීඩකයින්ට තම ආයතනවලට කීර්තියක් ගෙන දීමටත් ලැබෙන මා හැඟි අවස්ථාවක්. සෞඛ්ය සම්පන්න, ක්රියාශීලී ජීවන රටාවක් සඳහා සවිබල ගන්වන, ජාත්යන්තර ප්රමිතියෙන් යුතු නිෂ්පාදන නිපදවා අලෙවි කරන සමාගමක් වශයෙන්, එවැනි කැපී පෙනෙන තරගාවලියකට සහය දැක්වීම ඉතාමත් වැදගත්. ඒ වගේම සෞඛ්ය සම්පන්න, වේදනා රහිත ක්රීඩාශීලී දිවියකට ලින්ක් සමහන් SP බාම් ඉවහල් වන ආකාරය පිළිබඳව ක්රීඩකයින් පමණක් නොව, ප්රේක්ෂකයන් පවා අවබෝධයක් ලබා ගැනීම වැදගත් යැයි අප විශ්වාස කරනවා.”
ලින්ක් නැචුරල් ආයතනය, සමහන් ඇතුළු බොහෝ නිෂ්පාදන ලොව පුරා රටවල් ගණනාවකට අපනයනය කරන ප්රමුඛතම දේශීය සමාගමකි. පාරම්පරික ආයුර්වේද දැනුම, විද්යාත්මක ක්රමවේද සහ අති නවීන තාක්ෂණය මුසු කර වඩාත් සෞඛ්ය සම්පන්න, දිගු හා ක්රියාශීලී ජීවිතයක් ගත කිරීමට හැකි වන පරිදි කාර්යක්ෂම සහ උසස් තත්ත්වයේ සෞඛ්යාරක්ෂිත නිෂ්පාදන පාරිභෝගිකයින් හට ලබා දීමේ උදාර දැක්ම සහිතව ලින්ක් නැචුරල් කටයුතු කරයි. ලින්ක් සමහන් SP බාම්, නවීනතම ලින්ක් නැචුරල් පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානයේ පර්යේෂණවලින් අනතුරුව වෙළෙඳ පොළට නිකුත් කරන සමාගමේ තවත් සුවිශේෂී නිෂ්පාදනයකි. වර්තමාන පාරිභෝගිකයින්ගේ ජීවන රටාවට ගැලපෙන, පහසුවෙන් භාවිතයට ගත හැකි අයුරින් 3g,7g,20g සහ 50g ප්රමාණවලින් ඇසුරුම් කර එය වෙළෙඳ පොළට නිකුත් කර තිබේ.
December, 21, 2022
එක්සත් රාජධානියේ ගෞරවනීය ‘ද බෑන්කර්’ සගරාව විසින් කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ ‘වර්ෂයේ බැංකුව’ ලෙසින් සම්මානයෙන් කිරුළු පළඳා ඇති අතර, මෙම සම්මානය බැංකු ප්රජාව තුළ හඳුන්වනු ලබන්නේ ඔස්කාර් සම්මානයට සමාන සම්මානයක් ලෙසිනි.
කොමර්ෂල් බැංකුව මෙම සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙය වන අතර, එය බැංකු ක්ෂේත්රයේ විශිෂ්ඨත්වයට අදාල ප්රමිතිය අගය කිරීමක් ලෙස සැලකෙයි. ප්රතිලාභ ලබා දීමට, උපාය මාර්ගික වාසි ලබා ගැනීමට සහ වෙළෙඳ පොළට සේවය කිරීමට බැංකුව සතු හැකියාව අගය කරමින් මෙම විශිෂ්ඨ සම්මානය බැංකුව වෙත පිරිනමා ඇත.
‘වර්ෂයේ බැංකුව’ යන නාමය පිරිනමනු ලබන්නේ, වර්ධනය සහ කාර්ය සාධනය, උපාය මාර්ගික මුලපිරීම්, තාක්ෂණයේ නවෝත්පාදනයන්, නව හෝ වැඩිදියුණු කරන ලද නිෂ්පාදන සහ සේවා මෙන්ම, ක්ෂේත්රයේ අනෙකුත් කැපී පෙනෙන ජයග්රහණවලින් විශිෂ්ඨ වූ මූල්ය ආයතන වෙතය.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, ‘12 වතාවක් වර්ෂයේ බැංකුව ලෙස නම් කිරීම ඕනෑම ප්රමිතියකට අනුව කැපී පෙනෙන ජයග්රහණයක් වෙනවා. 2022 වසරට අදාළව මෙම සම්මානය දිනා ගැනීම විශේෂයෙන්ම කැපී පෙනෙන කරුණක් වන්නේ පවතින තත්ත්වයන් යටතේදීයි. දැඩි පීඩනය යටතේ වුවද අපගේ කාර්ය සාධනය අඛණ්ඩව ලබාදුන් සමස්ත කොමර්ෂල් බැංකු කණ්ඩායමට මෙය උපහාරයක් වන අතර, එම මෙහෙවර වසරේ දිනාගත් ජයග්රහණයන් රැසකටම මගපාදනු ලැබුවා’ යැයි ප්රකාශ කර සිටියේය.
ශ්රී ලංකා බැංකු ක්ෂේත්රයේ අද්විතීය මිණුම් ළකුණක් මෙන්ම, පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ වත්කම් 2022 පළමු මාස 09 තුළ රුපියල් ටි්රලියන 2.390 දක්වා 20.51%කින් වර්ධනය වූ අතර, එය රටේ ප්රබලතම බැංකුවක් ලෙස එහි තත්ත්වය යළි තහවුරු කළේය. බැංකුව පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 195.573ක දළ ආදායමක්ද, 2022 තුන්වන කාර්තුව සඳහා රුපියල් බිලියන 76.056ක්ද ලබාගත් අතර, එය පිළිවෙළින් 62.91%ක සහ 89.58%ක ශක්තිමත් වර්ධන අනුපාතයක්ද පිළිබිඹු කරමින්, රුපියල් බිලියන 6.283ක ශුද්ධ ලාභයක්ද එම කාල සීමාව සඳහා වාර්තා කළේය.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 943 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන : කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා (මැද) සම්මානය ලබා ගන්නා අයුරු සේයාරුවෙන් දැක්වෙයි.
Video Story