• Ada Derana BIZ Sinhala
  • Ksapa
  • Small rubber plantation owners
  • sri lanka

යූරෝ ලක්ෂ 7ක් රැගෙන ප්‍රංශයේ Ksapa මොනරාගලට එයි

November, 29, 2022

කුඩා රබර් වතු හිමියන් 6,000ක් සඳහා ධාරිතා ගොඩනැගීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ප්‍රංශයේ Ksapa සමාගම අතර අදාළ අවබෝධතා ගිවිසුමකට එළඹීම

ප්‍රංශ රජයේ ආර්ථික, මූල්‍ය හා ප්‍රතිසාධන අමාත්‍යාංශයේ සහ ප්‍රංශයේ මිචෙලින් සමූහයේ මූල්‍යාධාර යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ප්‍රංශයේ Ksapa සමාගම විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ මැදගම යන රබර් වගා ප්‍රදේශවල කුඩා රබර් වතු හිමියන් 6,000ක ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම පිණිස "රබර් නිෂ්පාදන අගයදාමය වැඩිදියුණු කිරීම සහ කුඩා රබර් වතු හිමියන්ගේ ධාරිතාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

යෝජිත ව්‍යාපෘතිය ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති අතර ව්‍යාපෘතියේ මුළු පිරිවැය යුරෝ 726,700ක් වශයෙන් ඇස්තමේන්තු කර තිබේ.

ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Finance Minister
  • milk powder
  • sri lanka
  • stock

රේගුවේ රඳවාගෙන ඇති කිරිපිටි තොගය නියමිත නීතිමය ක්‍රමවේද ඔස්සේ සතියක් ඇතුළත මුදා හැරීමට සූදානම් – මුදල් රාජ්‍ය ඇමති කියයි

November, 29, 2022

ආනයනකරු නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නම් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කිරීම හේතුවෙන් රේගුවේ රඳවාගෙන සිටින කිරිපිටි තොගය කල් ඉකුත් වීමට පෙර මුදා හැරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිරිපිටි ආනයනය කිරීම සඳහා සීමා පනවා නොමැති බැවින් මෙම රඳවා ගැනීම හේතුවෙන් රට තුළ කිසිදු කිරිපිටි හිගයක් නිර්මාණය විය නොහැකි බවයි. රඳවාගෙන ඇති කිරිපිටි තොගය පිළිබඳ අද (29) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ඍජු පරි­භෝජනය සඳහා කිරිපිටි ආනයනය කිරීම ආනයන අපනයන පාලක ජනරාල්ගේ බලපත්‍රයකින් තොරව සිදු කළ හැකි වුව ද කිසියම් ද්‍රව්‍යයක් අමුද්‍රවයක් ලෙස ආනයනය කරන්නේ නම් ඊට අදාළ පූර්ව අනුමැතිය අවශ්‍ය වේ. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශයට අනුව මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත්තේ චොකලට් සහ කිරි තේ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යක් ලෙස ය. එබැවින් මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත්තේ නීති විරෝධී ලෙස බැවින් ඊට අදාළ නීතිමය ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතු ය.

කෙසේ වෙතත් ආනයනයකරු විසින් අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් සතියක් තුළ රේගු පරීක්ෂණ අවසන් කර කල් ඉකුත් වීමකින් තොරව කිරිපිටි තොගය නිදහස් කිරීමට හෝ නිත්‍යානුකූලව බැහැර කිරීමට රේගු දෙපාර්තමේන්තුව සූදානම් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ.

ආනයනය කරන ලද කිරිපිටි තොගයක් රේගුවේ රඳවා ගැනීම සම්බන්ධව උද්ගත වූ ගැටලුව පිළිබඳව අමාත්‍යාංශ නිවේදනයයි.

අදාළ සමාගම 2022.09.15 වන දින සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 153,375kg අඩංගු 40 බහාලුම් 6ක් නවසීලන්තයේ සිට මැලේසියාව හරහා 2022.10.20 දින කොළඹ වරායට ගෙනවිත් ඇත.

මෙම සමාගම 2022.11.04 වන දින විවෘත ගිණුම් ක්‍රමය යටතේ  ගෙවීම් කරන බවට පවසා රේගු සටහන්කර අංක I 123330 යටතේ   මෙම  සම්පූර්ණ  යොදය සහිත කිරිපිටි ඇණවුම රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා   කටයුතු ආරම්භ කරන ලදී.

ඒ වන විට මෙම කිරිපිටි අඩංගු බහාලුම් නැව්ගත කර දින 35 කුත් ලංකාවට පැමිණීමෙන් අනතුරුව දින 15 කුත් ගත වී තිබුණි. සාමාන්‍යයෙන් ආනයනයක් කොළඹ වරායෙන් ගොඩ බෑමෙන් අනතුරුව දින තුනක් වැනි කාලයක් ඇතුළත දී අදාළ සමාගම් නිදහස් කරගනු ලබන අතර මෙම සමාගම දින 15 ක් ගත වන තුරුත් ඒ සඳහා කටයුතු ආරම්භ කර නොතිබුණි.

කිරිපිටි ආනයනය කිරීමේදී විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනයට ඉඩ තබා තිබූ අතර වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත ආනයන අපනයන පාලක ජනරාල්ගේ බලපත්‍රයකින් තොරව ශ්‍රී ලංකා රේගුවෙන් මෙම කිරිපිටි නිදහස් කර ගැනීමට හැකියාව ලබා දී තිබුණී. එසේ වුවද කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලබා ගත් නිර්දේශ ඉදිරිපත් කරමින් 2022.06.24 දිනැති අංක 2285/19 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ 4 (ඇ) හි සඳහන් පරිදි නිෂ්පාදන අමුද්‍රව්‍යයක් ලෙස යම් ද්‍රව්‍යයක් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කරන්නේ නම් ගැසට් නිවේදනයේ සඳහන් පරිදි ඒ සඳහා ආනයන අපනයන පාලක ජනරාල් වෙතින් පූර්ව අනුමතියක් ලබා ගත යුතු වේ. එසේ තිබියදි මෙම භාණ්ඩ නිදහස් කර ගැනීමට ආනයන අපනයන පාලක වෙත අයදුම් පත්‍ර ඉදිරිපත් කර ඇත්තේ අදාල භාණ්ඩ වරායට පැමිණීමෙන් අනතුරුව වන අතර ආනයන අපනයන පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත. එනම් ආනයන අපනයන පාලක වෙත ඉදිරිපත් කර ඇති ලේඛන අනුව මෙම කිරිපිටි තොගය කිරිපිටි වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට හේතුවක් නොවන අතර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ අනුව ඒවා චොකලට් හා කිරි තේ නිපදවීමට ආනයනය කළ අමුද්‍රව්‍යකි.

2022.11.14 දින මෙම ප්‍රශ්නගත සමාගමට එරෙහිව ශ්‍රී ලංකා රේගුවේ අනුගත වීම් හා පහසුකම් සැලසීමේ අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර එම නිලධාරීන්ට මෙම ඇණවුමට විවෘත ගිණුම් ක්‍රමය යටතේ මුදල් ගෙවීමට ප්‍රකාශ කර තිබූ ආකාරය පිළිබඳව හටගත් සැකය හේතුවෙන් 2022.11.14 වන දින මෙම ප්‍රශ්නගත බහාලුම් 6 කොළඹ වරාය තුළ රඳවා ගන්නා ලදී. 2022.11.15 වන දින ඒ පිළිබඳව අදාල සමාගම දැනුවත් කරන ලදී. රේගුව මගින් මෙම බහලූම් රඳවා ගන්නා අවස්ථා වන විට ඒවා කොළඹ වරායට පැමිණ දින 25 ක්  ගත වී තිබුණි.

2022.10.20 අදාළ ආනයනය සිදු වන දින වන විට මෙම සමාගම 2022.06.24 වන දින නිකුත් කරන ලද අංක 2285/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර  4(ඇ)වගන්තිය   ප්‍රකාරව  ආනයනය  හා අපනයන පාලක ජනරාල් විසින් නිකුත් කරන ලද අවසරය ලබා ගෙන නොතිබුණි.

එලෙස ආනයන අපනයන පාලක රෙගුලාසි උල්ලංඝනය කරමින් කරන ලද ආනයනයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට රේගු ආඥා පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලතල ඇත. ඒ අනුව 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතට සමග කියවෙන රේගු ආඥා පනතේ 12 වන වගන්තිය උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෙම කිරිපිරි තොගය සෘජු පරිභෝජනය ඳහා කිරිපිටි ආනයනය කිරීමට ලබාදී තිබූ පහසුකම භාවිතා කරමින් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යක් ලෙස කිරිපිටි ආනයනය කළ අවස්ථාවක් බව ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව සේ සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තා වලින් පෙනී යයි. අධි විදේශ විනිමය හිගයකින් පෙළෙන රටක විදේශ විනිමය ආරක්ෂා කිරීමට සකස්කළ නීති උල්ලංගණය කිරීම බරපතල තත්ත්වයකි.

ගරු කථානායකතුමනි, රේගු අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ මෙහෙවීම යටතේ රේගු නිලධාරීන් විසින් මෙම ප්‍රශ්න ගත ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරමින් පවතී. එසේම කිරිපිටි ආනයනය සීමා කර නොමැති බැවින් මේ හේතුවෙන් වෙළඳපොළ තුළ කිසිසේත්ම කිරිපිටි හිඟයක් ඇති වීමේ අවධානමක් නොමැත. කෙසේ වෙතත් රේගු පරීක්ෂණයෙන් පසු මෙම ප්‍රශ්නගත කිරිපිටි තොගය ආනයනකරු විසින් නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින් නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නම් සතියක කාලයක් තුළ රේගු පරීක්ෂණ අවසන් කර, මෙම කිරිපිටි කල් ඉකුත්වීමකින් තොරව නිදහස් කිරීමට හෝ නීත්‍යානුකූලව බැහැර කිරීමට ශ්‍රී ලංකා රේගුව විසින් කටයුතු කරනු ඇත.

වැඩිමනත් වශයෙන් පරීක්ෂණ සඳහා යන කාලය තුළ වුවද නියම කරනු ලබන බැංකු ඇපකරයක් තබා කිරිපිට තොගය නිදහස් කිරීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. රටේ පවතින නීති  රීති ආරක්ෂා කරමින් අර්ථික වශයෙන් ඉතා අපහසු අවස්ථාවක ආනයනකරුවන් ද අනවශ්‍ය අපහසුතාවයට ලක් නොකරමින් ආනයනික ද්‍රව්‍යවල ගුණාත්මකභාවය විනාශ නොවන පරිදි හැකි කෙටිම කාලයක් තුළ කටයුතු කිරීම මෙහි අරමුණ වේ.

  • Ada Derana BIZ Sinhala
  • Foreign Exchange Act
  • import
  • Orders
  • raw materials
  • sri lanka

අමුද්‍රව්‍ය ආනයනය පහසු කිරීමට විදේශ විනිමය පනතින් නියෝග

November, 29, 2022

දේශීය පාලිත සමාගම් විසින් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී සිදු කළ යුතු ගෙවීම් මූල්‍යයනය සඳහා එතෙරින් කෙටිකාලීන විදේශ ව්‍යවහාර මුදල් ණය ලබා ගැනීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග නිකුත් කිරීම

දේශීය පාලිත සමාගම් විසින් දේශීය වෙළඳපොළ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරන ලද එහි මව් සමාගම් හෝ එකම සමාගම් සමූහයේ සමාගම් විසින් ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය උපයෝගී කරගෙන ගෙවීම් කිරීමට පහසුකම් සැලසීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7(1) වගන්තිය යටතේ නියෝග පැනවීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • sri lanka

DIMO, මාලදිවයිනේ සමුද්‍රී ඉංජිනේරු විසඳුම් ඉහළ නැංවීමට සූදානම් වෙයි

November, 29, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මාලදිවයිනේ සිය සමුද්‍ර ඉංජිනේරු සේවා වැඩිදියුණු කිරීම සඳහා නව සැළසුම් ඉදිරිපත් කර ඇත.  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ MTU, DDC යාත්‍රා  එන්ජින් සඳහා බලයලත් සේවා නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO සිය සමුද්‍ර ඉංජිනේරු අංශය වන 'DIMO Marine Solutions' හරහා මාලදිවයිනේ විදේශීය යාත්‍රා, අධි සුඛෝපභෝගී යාත්‍රා සහ නිවාඩු නිකේතන හිමියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සේවා දියත් කිරීමට සූදානමින් සිටී. 2017 වසරේ දී DIMO මාලදිවයිනේ සාමුද්‍රීය ඉංජිනේරු  සේවා සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් 'Coastline Investments' සමාගම සමඟ සහයෝගීතාවක් ගොඩනඟාගැනීමට  කටයුතු කළේය.

මාලදිවයින හා ජාත්‍යන්තර සමාගම් සහභාගී වූ මාලදිවයිනේ ජාතික බෝට්ටු සංගමයේ (NBAM) නිල ප්‍රදර්ශනය සඳහා  සහභාගී වෙමින් DIMO,  මාලදිවයින තුළ සිය මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට ඉදිරි පියවරක් තැබීය. එම ප්‍රදර්ශනයට අමතරව, DIMO Marine Engineering Solutions කණ්ඩායම මාලදිවයින තුළ ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් ඉතා සාර්ථකව සිදු කිරීමට සමත් වූ අතර,  පුළුල් පරාසයක සමුද්‍රීය ඉංජිනේරු විසඳුම් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට ද එම කණ්ඩායම සමත් විය. එමඟින් DIMO Marine Engineering Solutions කණ්ඩායමට නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර ගනිමින්,  ඉදිරියට යාමට ඇති අවස්ථාව ද පුළුල් විය.

DIMO සමුද්‍ර ඉංජිනේරු අංශය අධීක්‍ෂණය කරනු ලබන DIMO හි විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා සිය අදහස් පළ කරමින්, "සංචාරක ව්‍යාපාරය මාලදිවයිනේ ආර්ථික සංවර්ධනයේ ප්‍රධානතම සාධකයයි. කොවිඩ් 19 වසංගතයේ අභියෝග ජය ගනිමින් එරට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් අත් පත් කර ගෙන තියෙනවා. සංචාරක කර්මාන්තය යළි පිබිදීමත් සමඟ, මාලදිවයිනේ සුඛෝපභෝගී යාත්‍රාවල සිට සංචාරක නිවාඩු නිකේතන කළමනාකරණය දක්වා සමුද්‍රීය ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ විවිධ නව අවස්ථා නිර්මාණය වෙමින් පවතින බව DIMO අපි නිරීක්ෂණය කළා. දශක 8 කට වැඩි අත්දැකීම්වලින් සමන්විත DIMO, සිය  Marine Engineering Solutions අංශය හරහා මෙම ව්‍යාපාරික අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට කටයුතු කරනවා. ඒ ඔස්සේ නිර්මාණය වන  අපගේ නව සේවාවන්ගේ ප්‍රතිඵලයක් විදියට මෙම කලාපයේ ජනතාවගේ සිහින සහ අභිලාශයන් බලගැන්වීමට DIMO නිරන්තරයෙන් කැප වෙනවා." යනුවෙනි.

DIMO මාලදිවයිනේ MTU සහ DDC එන්ජින් වෙළෙඳපොළ තුළ සිය ව්‍යාපෘතිය ඉහළ නංවාගැනීමට අපේක්ෂා කරයි. ඒ අනුව DIMO Marine එන්ජින් අළුත්වැඩියා කිරීම, සේවා කටයුතු (Service) සිදු කිරීම හා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන අතර, එහි අසමසම අලෙවියෙන් පසු සේවාව පාරිභෝගික විශ්වාසය තවදුරටත් ඉහළ නංවයි.  MGDUFF Marine Cathodic Protection Systems සහ Boat Anodes අලෙවි නියෝජිතයා ලෙස සිය විශේෂඥතාව උපයෝගී කරගනිමින් DIMO, මාලදිවයිනේ සමුද්‍රීය කර්මාන්තය තුළ නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරන Hull Protection කෙරෙහි ද අවධානය යොමු කර ඇත.

DIMO Marine Engineering, මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත මුහුදු ජලය හා කිවුල් ජලය පිරිපහදු කිරීමේ පද්ධති සහ අප ජල කළමනාකරණ  පද්ධති හඳුන්වා දෙමින්,  සිය නිෂ්පාදන කළඹ වඩාත්  පුළුල් කිරීමට සමත් වී ඇත. මෙම සේවාව වඩාත් ශක්තිමත් කිරීම  සඳහා DIMO  නවීනතම ජල පිරිපහදු පද්ධති සහ අප ජල කළමනාකරණ විසඳුම් සපයන්නෙකු වන 'ROCHEM' සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇති බව ද සිහිපත් කළ යුතු ම කරුණකි. ගෝලීය සංචාරක කර්මාන්ත අද තිරසාර මෙහෙයුම් දියත් කිරීම වෙත අවධානය යොමු කිරීමත් සමඟ එම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මාලදිවයින් සංචාරක ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට DIMO සහයෝගය ලබා දීමට අපේක්ෂා කරයි.

MTU, DDC, MGDUFF සහ ROCHEM ඇතුළු ගෝලීය කර්මාන්ත ප්‍රවීණයන් සමඟ ශක්තිමත් ලෙස අත්වැල් බැඳගැනීම, ඉංජිනේරු විසඳුම් ඇතුළු අනෙකුත් Marine එන්ජින් හා උපාංගවල මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු සහ  ප්‍රතිනිර්මාණයන් සාර්ථකව සිදු කිරීම සඳහා  DIMO සතු හැකියාව පිළිබඳ සාක්ෂියකි.  මේ ආශ්‍රිතව DIMO විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලු ම ව්‍යාපෘති සූක්ෂම ලෙස සැළසුම් කිරීම, අධීක්‍ෂණය කිරීම මෙන් ම සමුද්‍ර යාත්‍රා අලුත්වැඩියා ක්ෂේත්‍රය ආශ්‍රිතව වසර 30කට අධික පළපුරුද්ද හා ඉහළ සුදුසුකම් සහිත අති දක්ෂ කාර්ය මණ්ඩලයක් මගින් ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි.  ඊට අමතරව, විශේෂිත අධි තාක්‍ෂණික උපකරණ සහිත සිය ජංගම සේවා කණ්ඩායම හරහා මාලදිවයිනේ දූපත් තුළ ඕනෑ ම ස්ථානයකට කඩිනම්ව සේවා සැපයීම මගින්, මාලදිවයින් පාරිභෝගික ජනතාවට අසමසම සේවාවක් ලබා දීමට DIMO නිරන්තරයෙන් කැප වෙයි.

ඡායාරූප : DIMO Marine Solutions කණ්ඩායම සේවයේ යෙදෙමින්.

  • Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • Child
  • donation
  • Safety Helmets
  • sri lanka

දැයේ දූ දරුවන්ගේ මහ මඟ ආරක්ෂාව උදෙසා අලියාන්ස් ලංකා විසින්  ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රධානය කෙරේ

November, 29, 2022

ජාතියේ අනාගතය වන ශ්‍රීලාංකේය  දැරියන් හට ජීවිත අභියෝගයන් සහ විවිධාකාර විපත්වලින් ආරක්ෂිතව, සුරක්ෂිත පරිසරයක, හැදී වැඩීමට අවකාශය තිබිය යුතු බව අලියාන්ස් ලංකා හි විශ්වාසයයි. එමගින් ඔවුන් හට සෑම අවස්ථාවකම ගවේෂණශිලී වීමට මෙන්ම ඔවුන්ගේ සිහින හඹා යාමට හැකියාව ලැබෙනු ඇත. අලියාන්ස් ශ්‍රීලංකා හි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන එක් අංශයක් වන්නේ අපගේ දරු දැරියන් සඳහා තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා අවැසි සහයෝගය ලබා දීමයි. මෙම කර්තව්‍යයේදී අපගේ අවධානය යොමු වූ කරුණක් වූවේ කොළඹ සහ අනෙකුත් ප්‍රදේශයන්හි  දරු දැරියන් ගණනාවක් ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරව මෙන්ම වෙනත් ප්‍රමාණවත් ආරක්‍ෂිත උපක්‍රමවලින් තොරව යතුරුපැදිවල පසුපැදිකරුවන් ලෙස ගමන් කිරීම වර්ධනය වන බවය. මේ පිළිබඳව සිදු කරනු ලැබූ අධ්‍යයනයන් සහ සමීක්ෂණයන් තුළින් හෙළිදරව් වූවේ ග්‍රාමීය ප්‍රදේශයන්හිද  මෙම තත්ත්වය වැඩි අගයක් ගන්නා බවය. ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරවයතුරු පැදියක ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙන්ම අනතුරකදී මාරාන්තික තුවාල ලැබීමටද හේතු වේ.

ශ්‍රීලංකාවේ මගා මාර්ගයන්හි, දරු දැරියන් අවදානමට ලක් විය හැකි කණ්ඩායමක් වන බව වටහා ගත් අලියාන්ස් ලංකා විසින්, මහා මර්ගයන් හි දරු දැරියන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම උදෙසා වන වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලදියි.  ශ්‍රිලංකාවේ විවිධ ප්‍රදේශයන්හි දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස් වැසුම් 1,200 පරිත්‍යාග කිරීම තුළින්  අලියාන්ස් ලංකා මෙම අරමුණ සාක්ෂාත් කිරීමට කටයුතු කරන අතර ඒ අනුව දිවයින පුරා ස්ථාන 24 කදී 2022 නොවැම්බර් මස 23, 25 සහ 28 යන දිනයන්හි දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස්වැසුම් පරිත්‍යාග කිරීම සිදු විය. මෙම ප්‍රයත්නය තුළින් අලියාන්ස් ලංකා හි සමාජමය ක්‍රියාවලීන් වෙත දායකත්වය ලබා දීම සිදුවන අතරම එමගින් සමාජ අන්තහ්කරණය සහ සමාජ අභිවෘද්ධිය ළඟා කර ගැනීමට බලාපොරොත්තු වේ.

මේ පිළිබඳව දැනුවත් කිරීම හා ප්‍රධාන වැඩසටහන දියත් කිරීම අලියාන්ස් ලංකා කළුතර ශාඛාවේදී සිදු කෙරිණි. එහිදී කුඩා උත්සවයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීමෙන් අනතුරුව 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා තෝරා ගත් පාසැල් සිසු සිසුවියන් 50 ක් වෙත අලියාන්ස් ලංකා සහ ශ්‍රීලංකා පොලීසිය එක්ව ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කිරීම සිදු විය. ඉදිරියේදී එයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව මාර්ග නීති රීති සහ ආරක්ෂක හිස්වැසුම් භාවිතය පිළිබඳ දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද  පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා  අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිම්ටඩ් හි ප්‍රධාන විධායක නිලධාරි හා දේශීය කළමනාකරු වන ඇලන් ස්මී මහතා, ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා සහ අලියාන්ස් ලංකා හි කළමනාකරණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

එම පියවර පිළිබඳ සිය අදහස් දක්වමින් ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකගේ, ජීවිතවලට සම්බන්ධ වටිනා දේවල් ආරක්ෂා කර දීම අපගේ වගකීමක්. මේ හැමදේම අතරින් අපිට වඩාත් වටින්නේ අපගේ දරුවන්. වර්තමානයේදී දරුවන්ගේ ජීවිත වලට දැඩි අවධානමක් එල්ල වී ඇත්තේ  මහමග ගමන්කිරීමේදියි. ළමයින් සම්බන්ධ මාර්ග අනතුරු අපට නිරන්තරයෙන්ම අහන්න ලැබෙන අවාසනාවන්ත තත්වයක්. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු මෙන්ම රක්ෂණ නිලධරයෙකු ලෙස, අපගේ දරුවන් ආරක්ෂා කිරීම අපගේ සමාජ වගකීමක් බව අප සෑම විටම විශ්වාස කරනවා.  ශ්‍රී ලංකා පොලිසිය සමඟ එකතුවෙලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හේතු සාධක වුණේ එ් සමාජ වගකීමයි.  ශ්‍රී ලංකාවේ මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙමින් ළමා ආරක්ෂණ හිස්වැසුම් ලබාදීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ මෙම වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.”

මෙම කර්තව්‍යය පිළිබඳව අදහස් දැක්වූ ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ  “ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකගේ, ජීවිතවලට සම්බන්ධ වටිනා දේවල් ආරක්ෂා කර දීම අපගේ වගකීමක්. මේ හැමදේම අතරින් අපිට වඩාත් වටින්නේ අපගේ දරුවන්. වර්තමානයේදී දරුවන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් එල්ල වී ඇත්තේ  මහමග ගමන් කිරීමේදී වීම දැක ගන්න හැකියි. ළමයින් සම්බන්ධ මාර්ග අනතුරු අපට නිරන්තරයෙන්ම අහන්න ලැබෙන අවාසනාවන්ත තත්වයක්. වගකිව යුතු ආයතනික පුරවැසියෙකු මෙන්ම රක්ෂකයෙකු ලෙස, අපගේ දරුවන් ආරක්ෂා කිරීම අපගේ සමාජ වගකීමක් බව අප සෑම විටම විශ්වාස කරනවා.  ශ්‍රී ලංකා පොලිසිය සමඟ එකතුවෙලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හේතු සාධක වුණේ එ් සමාජ වගකීමයි.  ශ්‍රී ලංකාවේ මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙමින් ළමා ආරක්ෂණ හිස්වැසුම් ලබාදීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ මෙම වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

මෙම සමාජ කාර්යයේදී, 2022 නොවැම්බර් 23 වන දින අලියාන්ස් ලංකා කළුතර, හැටන්, මැදවච්චිය, නිකවැරටිය, කුලියාපිටිය, කලවාන, අකුරැස්ස සහ චුන්නාකම් යන ශාඛාවලද, 2022 නොවැම්බර් මස 25 වන දින, මොණරාගල, නුවරඑළිය, අනුරාධපුර, පුත්තලම, හොරණ, ගම්පහ, මතුගම සහ මඩකලපුව යන ශාඛාවලද, 2022 නොවැම්බර් 28 වන දින කිලිනොච්චිය, තිස්සමහාරාමය, මහියංගනය, හිඟුරක්ගොඩ, කෑගල්ල, කහවත්ත, පිළියන්දල සහ බණ්ඩාරගම ශාඛාවලද සිය ප්‍රදේශවල පාසල් ළමුන් සඳහා හිස්වැසුම් 50 බැගින් බෙදාහැරීමට කටයුතු කරන ලදී.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, ඒකාබද්ධව අලියාන්ස් ලංකා ලෙස හැඳින්වේ. මෙම සමාගම් ජර්මනියේ මියුනිච් හි රක්ෂණ සහ වත්කම් කළමනාකරණ සේවා සපයමින් ගෝලීය මූල්‍ය සේවා සැපයුම්කරුවෙකු වන අලියාන්ස් SE හි පූර්ණ අනුබද්ධිත සමාගම් වේ. අලියාන්ස් සමූහයේ සාර්ථකත්වයේ රහස, ඔවුන්ටම අනන්‍ය වූ ගෝලීය ශක්තිය, ශක්තිමත් ප්‍රාග්ධනීකරණය, දේශීය විශේෂඥතාව සහ ව්‍යාපාරික දැනුම සමඟ සම්බන්ධ වීමේ හැකියාවයි.

  • Ada Derana BIZ Sinhala
  • Aitken Spence
  • Hapag Lloyd Lanka
  • luxury cruise
  • Mein Schiff 5
  • sri lanka
  • tourism

සංචාරකයින් 2,000 ක් රැගත් දැවැන්ත මගී නෞකාවක් කොළඹට

November, 29, 2022

දෙදහසකට වැඩි මගීන් සංඛ්‍යාවක් සහ 900 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ‘Mein Schiff 5’ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (29) පෙරවරුවේ දී කොළඹ වරායට සේන්දු වී තිබේ.

Mein Schiff 5 යනු ජර්මනියේ TUI cruises සමාගමට අයත් මගී නෞකාවකි.

මෙය ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු  Aitken Spence සමූහයේ පාලිත සමාගමක් වන Hapag Lloyd Lanka විසින් සිදුකරන ලදී. Hapag Lloyd Lanka, TUI cruises හි නියෝජිත ආයතනයක් ද වේ.

අද (29) දිනයේ දී කොළඹට සේන්දු වූ මෙම මගී නෞකාව හෙට (30) දිනයේ දී හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතය.

මෙම නෞකාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් අද සහ හෙට දින දෙක තුළ රට තුළ සංචාරය කිරීමට නියමිත අතර කොළඹ නගරය, කැලණි විහාරය, මුතුරාජවෙල හා මාදු ගඟේ බෝට්ටු සවාරි, එයාර් ටැක්සි මගින් සීගිරිය වෙත, ගාලු නගරය යනාදී සංචාරක ගමනාන්තයන් වෙත සංචාරය කරනු ඇත.

එයිට්කන් ස්පෙන්ස් සමාගමේ පහසුකම් සැලසීම හරහා මෙම මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි දෙවැනි මගී නෞකාව මෙය වන අතර මීට පෙර පසුගිය නොවැම්බර් 18 වන දා මගීන් 900 ක් සමඟින් ‘Viking Mars’ මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබුණි.

 

 

  • Ada Derana BIZ Sinhala
  • Export Development Board
  • Import Promotion Program
  • sri lanka
  • Switzerland

ස්විස්ටර්ලන්තය සමග අපනයන ප්‍රවර්ධනයට අවබෝධතා ගිවිසුමක්

November, 29, 2022

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විස්ටර්ලන්තයේ ආනයන ප්‍රවර්ධන වැඩසටහන අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විස්ටර්ලන්ත රජයේ ආර්ථික කටයුතු රාජ්‍ය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ආනයන ප්‍රවර්ධන වැඩසටහන සමඟ සැකසූ ආහාර, තිරසර මත්ස්‍ය හා මුහුදු ආහාර සහ අගය එකතු කළ රෙදිපිළි යන අපනයන නිෂ්පාදන සඳහා විස්තරාත්මක අධ්‍යනයක් සිඳු කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා යෝජනා වී ඇත.

ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා යුරෝපා වෙඳළපොළට පිවිසීමට ඇති අවස්ථා පුළුල් කිරීම යෝජිත අධ්‍යයනයේ අරමුණ වේ.

එම අධ්‍යනය සඳහා ස්විස්ටර්ලන්ත ෆ්රෑන්ක් 100,000ක මුදලක් ස්විට්සර්ලන්ත ආනයන ප්‍රවර්ධන වැඩසටහන මඟින් දරනු ලබයි.

ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Brandix
  • Brandix Manusathkara
  • Scholarship Programme
  • sri lanka
  • University

බ්‍රැන්ඩික්ස් මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන තුළින් තවත් විශිෂ්ටයන් පිරිසකට ශිෂ්‍යත්ව

November, 29, 2022

ශ්‍රී ලංකාවේ යොවුන් පරපුරේ අනාගතය වඩාත් යහපත් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, මෙරට ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම (Brandix Apparel Ltd.), උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් තවත් සිසු සිසුවියන් පිරිසකට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය.  බ්‍රැන්ඩික්ස් ‘මනුසත්කාර’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙය සිදුකරන ලදි.

දිවයිනේ විශ්ව විද්‍යාල 8 කට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ, ඒ සම්බන්ධ මූලික පාඨමාලාව සහ ඉංග්‍රීසි පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 18 දෙනෙකුට, පසුගියදා පැවති විශේෂ උත්සවකදී මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු විය.

වැලිසර බ්‍රැන්ඩික්ස් ‘ෆාස්ට් ෆැෂන් සෙන්ටර්’ හිදී පැවති මෙම උත්සවයට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ සමූහ අධ්‍යක්ෂිකා නටාෂා බොරලැස්ස යන මහත්ම මහත්මීන් ප්‍රමුඛව බ්‍රැන්ඩික්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන්, සිසු සිසුවියන් සහ ප්‍රජා නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ.

උසස් පෙළ විභාගයේදී විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පෞද්ගලික හා වෘත්තීය සංවර්ධනයට අත්වැලක් වීමේ අරමුණින් බ්‍රැන්ඩික්ස් විසින් මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදි.

තම සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම සමස්තයක් ලෙස සියලුම ප්‍රජාවන්ගේත් පරිසරයේත් යහපත වෙනුවෙන් කටයුතු කිරීම බ්‍රැන්ඩික්ස් සමූහයේ අනිවාර්ය ගුණාංගයකි. 'පරිත්‍යාගය, අධ්‍යාපනය සහ සම්බන්ධවීම' යන මූලික අංශ යටතේ බ්‍රැන්ඩික්ස් සමූහය දශක දෙකහමාරකට අධික කාලයක් තිස්සේ සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. මෙහි ‘අධ්‍යාපනය’ අංශය යටතේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පාසල් වර්ෂයටම ප්‍රමාණවත් වන පරිදි පාසල් බෑග්, පොත්පත් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමට බ්‍රැන්ඩික්ස් කටයුතු කර ඇති අතර, මේ දක්වා එමගින් සෙත සැලසී ඇති සිසු සිසුවියන් සංඛ්‍යාව 45,000 කට අධික ය. එමෙන්ම තම සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් සමූහය ශිෂ්‍යත්ව සිය ගණනක් ප්‍රදානය කර තිබේ.

මනුසත්කාර සරසවි  ශිෂ්‍යත්ව වැඩසටහන යනු, බාධාවකින් තොර අධ්‍යාපනයක් සමගින් පුද්ගලයන්ට තම අනාගත අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කරගැනීමට අත්වැලක් වීම සඳහා බ්‍රැන්ඩික්ස් සමූහය දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි. එය එම සමූහයේ සමාජ සත්කාර සහ මානව සම්පත් ක්‍රමෝපායන්ගේ අනිවාර්ය අංගයක් වන අතර, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනයක්’ යන්නට සමගාමී පියවරක්ද වේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 8 ක බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන වල පිහිටි පාසල් වල අධ්‍යාපනය ලබා, උසස් පෙළ විභාගයේදී විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18 දෙනෙකුට මෙවර බ්‍රැන්ඩික්ස් මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව හිමි විය. 2015 වසරේදී ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ, බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා වල සිට කිලෝමීටර් 15 ක් ඇතුළත වෙසෙන ජනතාවට සෙත සැලසේ. එම ප්‍රදේශ වල වෙසෙන ජනතාවගේ සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් එම බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා සුවිශාල මෙහෙවරක් ඉටුකරයි.

  • 08 companies
  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka
  • Warning

සමාගම් 8කට අනතුරු ඇඟවීමක්

November, 29, 2022

ලැයිස්තුගත සමාගම් 8 ක කොටස් ගනුදෙනු 2022 දෙසැම්බර් 08 දින සිට අත්හිටුවනු ලබන බවට කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.

2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම මීට හේතු වී තිබේ.

ඔඩෙල්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්, ඔෆිස් ඉක්වීප්මන්ට්, ටෙස් ඇග්‍රෝ, හුනාස් හෝල්ඩිංග්ස්, සිලෝන් ප්‍රින්ටර්ස්, නවලෝක හොස්පිටල්ස් හා පැරගන් සිලෝන් යන සමාගම් මෙලෙස නියමිත කාලසීමාව තුළ දී වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති සමාගම් වේ.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • investors
  • sri lanka

ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙයි. කොටස් වෙළෙඳපොළ ක්‍රමයෙන් ඉහළට

November, 29, 2022

ඊයේ (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 161.88 ක වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,309.94 ක් ලෙසින් සටහන් විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 74.58 ක හෙවත් 2.94% ක වර්ධනයක් ඊයේ දිනයේ දී වාර්තා කර තිබුණු අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 2,612.76 ක් ලෙසින් සටහන්ව තිබුණි.

රු. බිලියන 2.45 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දිනයේ දී වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් හා දේශීය විකිණුම් රු. බිලියන 2.42 බැගින් සටහන්ව තිබීම විශේෂත්වයකි.

කෙසේවෙතත් මෙහිදී විදේශීය ආයෝජකයින්ගේ දුර්වල සහභාගීත්වය තවදුරටත් සනිටුහන් කරමින් විදේශීය මිලදී ගැනීම් රු. මිලියන 29.33 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 29.47 ක් ලෙසින් සටහන්ව තිබුණි.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, LOLC හෝල්ඩිංග්ස්, හේලීස් සහ මෙල්ස්ටාකෝප් යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

Video Story

Stock Market

Exchange Rates