• Ada Derana BIZ Sinhala
  • Port Authority
  • Profit
  • sri lanka

වරාය අධිකාරියට බිලියන 16ක මෙහෙයුම් ලාභයක්

November, 23, 2022

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 වසරේ පළමු මාස නවය තුළ 1,494,883 ක බහලු මෙහෙයුම් ප්‍රමාණයක් සහ භාණ්ඩ මෙට්‍රික් ටොන් 6,397,640 ක් හසුරුවා ඇත.

2022 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ආදායම රු. බිලියන 36.7 ක් සහ සමස්ත වියදම රු. බිලියන 20.6 ක් වූ අතර, රු. බිලියන 16.1 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇත.

2022 වසරේ පළමු මාස හත සඳහා ඇස්තමේන්තුගත ලාභය වූ රු. බිලියන 19.3 ට සාපේක්ෂව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රු. බිලියන 31.2 ක ලාභයක් වාර්තා කර ඇත.

තවද, ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 වසරේ පළමු මාස හත තුළ රු. බිලියන 4.3 ක විදේශ විනිමය ලාභයක් ද වාර්තා කර ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.

  • Ada Derana BIZ Sinhala
  • Asanga Uduwela
  • DFCC Bank
  • sri lanka

DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස අසංග උඩුවෙල මහතා පත් වේ

November, 23, 2022

DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස, 2022 නොවැම්බර් 08 දින සිට ක්‍රියාත්මක වන පරිදි, අසංග උඩුවෙල මහතා පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේ ය. මීට පෙර දශක 3 කට අධික කාලයක් හැටන් නැෂනල් බැංකුවෙහි සේවය කළ ඒ මහතා, අවසාන වශයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මෙහෙයුම් තනතුර හෙබවී ය. තම වෘත්තීය ජීවිතය තුළ ඉහළ පෙළේ තනතුරු රාශියක් හොබවා ඇති උඩුවෙල මහතා, ඵලදායීතාව වැඩිදියුණු කිරීම සහ ක්‍රියාවලි කළමනාකරණය ඇතුළු විවිධ විෂයපථයන් සම්බන්ධයෙන් සම්මාන රැසකින්ද පිදුම් ලබා තිබේ.  මින් ඉදිරියට DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස ඒ මහතා, ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය බැංකුවක් බවට පත්වීම සඳහා DFCC බැංකුව දරන උත්සාහය තුළ සුවිශේෂී භූමිකාවක් ඉටුකරනු ඇත.

හැටන් නැෂනල් බැංකුවේ සිය දීර්ඝ සේවා කාලය තුළ උඩුවෙල මහතා ශාඛා මෙහෙයුම්, මධ්‍යගත මෙහෙයුම්, මධ්‍යගත මුදල් කළමනාකරණය, ATM යන්ත්‍ර කළමනාකරණය, මධ්‍යගත අභ්‍යන්තර කාර්යාලයීය කටයුතු, අභ්‍යන්තර හා බාහිර ප්‍රේෂණ, තොරතුරු පද්ධති ක්‍රියාත්මක කිරීම සහ මධ්‍යගත ණය පරිපාලනය යනාදිය අධීක්ෂණය කළේය. එමෙන්ම Finacle ප්‍රධාන බැංකුකරණ මෘදුකාංගයේ වැඩිදියුණු කළ සංස්කරණයක් භාවිතයට ගැනීමේ ක්‍රියාවලිය තුළ, එම ක්‍රියාවලිය කළමනාකරණය කළ කණ්ඩායමට නායකත්වය දීමද ඔහු විසින් සිදුකරන ලදි. ඊට අමතරව, පරිවර්තනයන් සාර්ථකව සිදුකිරීම, ඵලදායීතාව නැංවීම සහ ක්‍රියාවලි වඩාත් කාර්යක්ෂම කිරීම යනාදිය වෙනුවෙන් ඒ මහතා Deloittes වැනි බාහිර උපදේශක සමාගම් සමග සමීපව කටයුතු කර තිබේ. තවද උඩුවෙල මහතා ණය ඇගයීම සහ කළමනාකරණය, මුදල් සහ වත්කම් කළමනාකරණය, නායකත්වය සහ ක්‍රියාවලි කළමනාකරණය සහ ‘Toyota Work Ethics’ යනාදිය සම්බන්ධයෙන් පිළිවෙළින් NIBM, පූනේ, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, ජපානයේ නගෝයා විශ්ව විද්‍යාලය සහ නගෝයා හි ටොයෝටා සමාගම වෙතින් පුළුල් මට්ටමේ පුහුණුවක් ලබාගෙන ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ (ගෞරව) උපාධිධාරියෙකු වන අසංග උඩුවෙල මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (MBA) හිමිකරගෙන ඇති අතර, Omega Credit Administration විශේෂ සහතිකකරණයද හිමිකරගෙන තිබේ. පෞද්ගලික ජීවිතයේදී තම පවුලට බෙහෙවින් ළැදි පුද්ගලයෙකු වන උඩුවෙල මහතා, බැඩ්මින්ටන් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වයි. තම තරුණ වියේදී ජාතික මට්ටමින් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වී ඇති ඒ මහතා, පසුකාලීනව තම සේවා ස්ථානය නියෝජනය කරමින් බැඩ්මින්ටන් තරගාවලි කිහිපයකටම සහභාගී වී ඇත.

 

ඡායාරූප විස්තරය - DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසංග උඩුවෙල මහතා

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • Singapore
  • sri lanka

කොමර්ෂල් බැංකුව සිංගප්පූරුවේ ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහනක් පවත්වයි

November, 23, 2022

පිටරට රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින් මෙරටට එවන පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඉහළ නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දරන ප‍්‍රයත්නය යටතේ ශ‍්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් වාසය කරන සිංගප්පූරුව දෙසට බැංකුව පසුගියදා අවධානය යොමුකරන ලදී.

මේ අනුව, සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමග ඒකාබද්ධව කොමර්ෂල් බැංකුව මෙම අරමුණ ජයගැනීම වෙනුවෙන් එහිදී දින දෙකක වැඩසටහනක් පැවැත්වීය.

මෙම වැඩසටහන සඳහා සහභාගී වූවන් බැංකුව විසින් පවත්වගෙන යන පේ‍්‍රෂණ නාලිකා පිළිබඳවත් ඒවා තුළින් රටට මුදල් එවීමේදී පුද්ගලිකවත් රටටත් ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳවත් දැනුවත් කරන ලදි. මීට අමතරව, මෙම වැඩසටහනට සහභාගී වූවන්ට විශේෂ පේ‍්‍රෂණ අනුපාත සහ ත්‍යාග ලබාදීමටද බැංකුව කටයුතු කළේය.

සිංගප්පූරුවේ වාසය කරන ශ‍්‍රී ලාංකිකයින්ට විශේෂ පේ‍්‍රෂණ වරප‍්‍රසාද සහ වට්ටම් මෙන්ම කොම්බෑන්ක් ඩිජිටල් ඇතුළුව බැංකුවේ සේවා පිළිබඳව තොරතුරු ලබාදෙමින් සහයෝගය ලබාදීම සඳහා මෙම වැඩසටහන පැවැත්වූ බව බැංකුව පවසයි. මීට අමතරව, බැංකුවේ ප‍්‍රධාන පේ‍්‍රෂණ පාර්ශවකරුවෙකු වන Ria මුදල් හුවමාරු සේවාව සහ සිංගප්පූරුවේ කාන්තාවන් සඳහාම නිර්මාණය කර තිබෙන ජංගම දුරකතන බැංකුකරණ ඇප් සේවාව වන Lucy මෙම වැඩසටහනේදී ප‍්‍රවර්ධනය කරන ලදී.

මෙම දින දෙකක වැඩසටහන තුළදී කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලාංකිකයින් 100 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට නව ගිණුම් විවෘත කරදුන් අතර බැංකුවේ ඩිජිටල් බැංකු සේවා සම්බන්ධවීමේ ගාස්තුවක් නොමැතිව සහ පළමු වාර්ෂික ගාස්තුවෙන් තොරව ප‍්‍රදානය කරන ලදි.

මෙම වැඩසටහනට සහභාගීවූ සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා පේ‍්‍රමවර්ධන මහත්මිය පැවසුවේ මෙම වැඩසටහන ආරම්භයක් පමණක් බවත් සිංගප්පූරුව තුළ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ට තමන් මහන්සියෙන් උපයාගත් ධනයෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට ඉහළ සේවාවක් සිදු කරන බවයි. ආරාධනාවට ඉක්මන් ප‍්‍රතිචාර දක්වමින් කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සිදුකිරීම පිළිබඳව ඇය ස්තූතිය පුද කළාය. ‘සිංගප්පූරුව තුළ ඉතාමත් කැපවීමෙන් සේවය කරන අපගේ පුරවැසියන්ට සහයෝගය ලබාදීම අපගේ වගකීමයි,’ යැයි ද ඒ මහත්මිය ප‍්‍රකාශ කළාය.

‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසවන්ත බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුවට ශ‍්‍රී ලාංකිකයින්ගේ පේ‍්‍රෂණ ලංකාවට රැගෙන ඒම සඳහා ප‍්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකළ හැකියි.’ යැයි කොමර්ෂල් බැංකුවේ රිටේල් ප‍්‍රඩක්ට්ස් සහ ඩිජිටල් නාලිකා ප‍්‍රධානී, ප‍්‍රදීප් බන්දුවන්ස මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ‘මෙවැනි වැඩසටහනක් මගින් රටට ලැබෙන පේ‍්‍රෂණ ප‍්‍රමාණය වැඩිකළ හැකියි. මේ තුළින් පාරිභෝගිකයින්ට සහ රටටද ප‍්‍රතිලාභ ලැබෙනවා.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 

සේයාරු සටහන - ශ‍්‍රී ලංකාවේ සිංගප්පූරු මහ කොමසාරිස් ශෂිකලා පේ‍්‍රමවර්ධන මහත්මිය (ඉහළ, මැද) කොමර්ෂල් බැංකුවේ සහ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සමග වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී. (පහළ) සිංගප්පූරුවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් සහ බැංකුවේ සාමාජිකයින් අදහස් හුවමාරු කරගත් ආකාරය.

  • Ada Derana BIZ Sinhala
  • Anton
  • Maldives
  • Maldivian market
  • sri lanka

Anton ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය වෙත ගෙන යමින් මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත පිවිසෙයි

November, 23, 2022

ශ්‍රී ලාංකේය PVC කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු වන Anton, සිය ජල ටැංකි සහ සෙවිලි නිෂ්පාදන පෙළ මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට සමත් විය. 1958 වසරේ දී නිෂ්පාදනය ආරම්භ වූ Anton මහාපරිමාණ ආයෝජනයන් හරහා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී නිෂ්පාදනායතනය බවට පත් වෙමින්  දේශීය ආර්ථිකය පෝෂණය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. වර්තමානය වන විට PVC පයිප්ප හා සවිකිරීම් උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Anton, පීඩන පයිප්ප (Pressure Pipes) හා සවි කිරීමේ උපාංග, ජල ටැංකි, Thermo CPVC   පයිප්ප හා සවි කිරීමේ උපාංග, වැහි පීලි හා සවි කිරීමේ උපාංග, වෑල්, ඇලවුම් ද්‍රව්‍ය / මැලියම් හා සීලන්ට්, කොන්ඩියුට් හා ට්‍රක්, දැල් සහ හෝස් යනාදී වශයෙන් පුළුල් නිපැයුම් පරාසයක් නිෂ්පාදනය කරයි. එමෙන් ම උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කරන Anton විසින්, Armor uPVC සෙවිලි තහඩු, uPVC දොරවල් හා ජනෙල් සහ ධ්‍රැවීය පරිවාරක වැනි නව නිෂ්පාදන කිහිපයක් ද හඳුන්වා දෙමින් පාරිභෝගිකයින් වෙත ගුණාත්මක නිෂ්පාදන ලබා දීම සඳහා තම කැපවීම තහවුරු කිරීමට සමත් වී ඇත.

වත්මන් අභියෝගාත්මක කාලවකවානුව තුළ දී මාලදිවයින් වෙළෙඳපොළ වෙත සාර්ථකව පිවිසීමට සමත් වන Anton වෙත සිය හවුල්කරුවන්ගෙන් සහ පාරිභෝගිකයින්ගෙන් දිරිගන්වන සුළු ධනාත්මක ප්‍රතිචාර හා ප්‍රශංසා නිරන්තරයෙන් ලැබෙන බව ද පැවසිය යුතු ම ය.

Anton සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ළහිරු ජයසිංහ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිණි. " අපගේ නිෂ්පාදන හා සේවා මාලදිවයින දක්වා පුළුල් කිරීමට හැකි වීම ගැන මම ඇත්ත වශයෙන් ම සතුටට පත් වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ ස්ථාවර වීමට හැකි වූ අපට, අපගේ ව්‍යප්තිය තවදුරටත් පුළුල් කරගැනීම වෙනුවෙන්  ගෝලීය වෙළෙඳපොළ වෙත පිවිසීමට සුදුසුම කාලය මෙය බව අපි විශ්වාස කරනවා. අපගේ ගනුදෙනුකරුවන් වෙත නව නිෂ්පාදන ගෙන ඒම හරහා අපගේ නිෂ්පාදන කළඹ පුළුල් කරගැනීමට වගේ ම ගුණාත්මක නිෂ්පාදන මගින් ලොව පුරා වෙසෙන ජනතාවගේ  ජීවිතවලට ධනාත්මක බලපෑමක් එල්ලකිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. ඒ වගේ ම දිනෙන් දින වෙනස් වන ගනුදෙනුකරුවන්ගේ  අවශ්‍යතා ඉතා හොඳින් හඳුනාගනිමින්, එම අවශ්‍යතාවලට වඩාත්  කාර්යක්ෂමව හා ආරක්ෂිතව ගුණාත්මක විසඳුම් ලබා දීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කෙරෙහි අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා."

වර්තමානය වන විට Anton නිෂ්පාදන රැසක් මාලදිවයින වෙත අපනයනය කෙරෙන අතර, එම නිෂ්පාදන මාලදිවයිනේ කාර්මික හා පාරිභෝගික ක්ෂේත්‍රවල අවශ්‍යතා සපුරාලමින් වාරිමාර්ග, යටිතල පහසුකම් හා නල මාර්ගවල සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීමට ද සමත් වී ඇත. එය ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Anton දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තරව ද ප්‍රචලිත වීමට ප්‍රධානතම හේතුවකි.

හොඳ ම අමුද්‍රව්‍ය හා නවීන තාක්ෂණය භාවිතයෙන් ඉහළ ගුණාත්මක භාවය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්ව ඇති Anton සිය පරිසර හිතකාමී, තිරසාර නිෂ්පාදන පෙළ හරහා  පාරිභෝගිකයන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.

"ශ්‍රී ලංකා රුපියල ස්ථාවර කිරීමට අත්‍යවශ්‍ය මේ මොහොතේ, ඉදිකිරීම් ක්ෂේත්‍රය සීඝ්‍රයෙන් වර්ධනය වන මාලදිවයින වැනි රටක වෙළෙඳපොළ වෙත පිවිසීමට ලැබීම ඇත්තවශයෙන් ම විශාල ජයග්‍රහණයක්. මෙය අපගේ වර්ධනයේ විශාල පිම්මක් වගේ ම ශ්‍රී ලාංකේය ජාතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විදියටත් හඳුන්වා දීමට පුළුවන්. " යනුවෙන් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

  • Ada Derana BIZ Sinhala
  • Azend Technologies
  • Careers360
  • sri lanka

ඩිජිටල් මාධ්‍ය හරහා නව බඳවා ගැනීම් හි විප්ලවීය වෙනසක් සිදු කරමින් Azend Technologies විසින් Careers360 දියත් ක‍රයි

November, 23, 2022

නව වෘත්තීන් සහ නව රැකියා අපේක්ෂකයින් සොයා ගැනීම සඳහා රැකියා අපේක්ෂකයින් සහ සේවායෝජකයන් එකිනෙකා හා සම්බන්ධ කරන, ශ්‍රී ලංකාවේ නවතම රැකියා ගවේෂණය කිරීමේ වෙබ් අඩවිය වන Careers360 හඳුන්වා දෙනු ලැබීය.  අන්තර්ජාතික මට්ටමේ පරිශීලක අත්දැකීමක් ලබා දෙමින්   භාවිතයට ඉතා පහසු, සරල, නව්‍ය සහ විනිවිද භාවයෙන් යුත් Careers360 වෙබ් අඩවිය Azend Technologies (Pvt) Ltd හි අද්විතීය හඳුන්වා දීමකි.

නව විශේෂාංග රැසක් ගෙනෙන Careers360.lk වෙතින් නැවුම් මුහුණුවරකින් ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික රැකියා වෙළඳපොළ වර්ණ ගන්වයි. විශාල පරිමාණයේ රැකියා බඳවා ගැනීම් ඵලදායී පිරිවැයක් සහිතව සිදු කිරීමට අපේක්ෂා කරන හෝ   තනි පුද්ගල රැකියා දැන්වීම්කරුවන්ට සහ සමාගම් වෙත එකිනෙකාට සරිලන පැකේජ කිහිපයක්ම මෙහි අඩංගු වේ.

මෙම වෙබ් අඩවිය හරහා, සියලුම මට්ටම් වල රැකියා අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් හට  ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රැකියා සෙවීමේ කර්මාන්තය සඳහා අන්තර් - ක්‍රියාකාරී විකල්පයක් සැපයීමට මෙම නවතම හඳුන්වා දීම සමත් වී ඇත.රැකියා අපේක්ෂකයින්ට තම ලිපි ලේඛන සකසා ගැනීමට සහ ඔවුන්ගේ සුදුසුකම් සහ පළපුරුද්ද අනුව ඒවා යාවත්කාලීන කිරීමට මෙන්ම පුරප්පාඩු වූ තනතුරු සඳහා සෘජුවම අයදුම් කිරීමට ද මේ හරහා අවස්ථාව හිමි වේ.එමෙන්ම Careers360 හි headhunting විශේෂාංගය හරහා ඍජුවම රැකියා අපේක්ෂකයින් හා සම්බන්ද වීමට දැන් බඳවා ගන්නන් හට  අවකාශය ඇත.  මෙම නවතම වෙබ් අඩවියට අයත්  Careers360LK හි YouTube නාලිකාව හරහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් වෘත්තීය මාර්ගෝපදේශන සහ නව රැකියා අවස්ථාවන් ගවේෂණය කිරීමේදී  අනුගමනය කල යුතු දේ පිළිබඳව ද දැනුමක් ලබා දේ. මේ සියල්ල සහ තවත් බොහෝ දේ සඳහා රැකියා අපේක්ෂකයින් හට www.careers360.lk/sign-up හි කිසිදු වියදමකින් තොරව ලියාපදිංචි විය හැක.

Azend Technologies හි ප්‍රධාන විධායක නිලධාරී රජිව් සිල්වා මෙසේ පවසන ලදී."දිගු කාලීන වෘත්තියක් සොයන පුද්ගලයන් හට හොඳම විසඳුම වන්නේ Careers360 යි.  එය හැසිරවීමට ඉතා පහසු වන අතර අපේක්ෂකයින් නිවැරදි සේවා යෝජකයන් සමඟ සම්බන්ධ කිරීම සඳහා ඉතා ඵලදායී විසඳුමක් වෙනවා. එමෙන්ම Careers360 අපේක්ෂකයින් සඳහා දිගුකාලීන වෘත්තීන් ලබා දීමට සහ සේවා යෝජකයාට හොඳම දක්ෂතා ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා ද නිරතුරුවම සහයෝගය දක්වනවා."

විශේෂයෙන්ම මෙම වෙබ් අඩවිය හරහා සේවා යෝජකයින් හට තම රැකියා අබෑර්තු පිලිබඳ දැන්වීම් කළමනාකරණය කිරීමටත් දක්ෂතාවයෙන් අනූන රැකියා අපේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමටත් එක් අවකාශයක් ලබා දී ඇත. ගෝලීය බඳවා ගැනීමේ මෙවලම්වල එන headhunting, profile matching, සහ pre-screening questions වැනි හුරුපුරුදු විශේෂාංග ද මෙම  දේශීය  මෙවලමේ දැක ගත හැකිය. Careers360, ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් මාධ්‍ය හරහා බඳවාගැනීමේ විප්ලවීය වෙනසක් ඇති කරමින්, සාමාජිකයින්ට ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කර ගැනීමට සහ blockchain විශේෂාංග වැනි අඛණ්ඩ නවෝත්පාදන ප්‍රවාහයකට දොරටු විවර කර දෙයි. මෙය දියත් කර කෙටි කාලයක් තුළ බඳවා ගන්නන් 100 ඉක්මවා ඇති අතර MacBooks සිට iPhone දක්වා විශේෂ දීමනා දිනා ගැනීමට ද එහි ලියාපදිංචි වන පුද්ගලයින් හට අවස්ථාව ලැබේ.

  • Ada Derana BIZ Sinhala
  • Feed a Child
  • sri lanka
  • Sunshine Foundation

Sunshine Foundation ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ‘Feed a Child’ පෝෂණ වැඩසටහනට සහාය දක්වයි

November, 22, 2022

Sunshine Holdings PLC හි ආයතනික සමාජ වගකීම් පිළිබඳ අංශය වන Sunshine Foundation for Good (SFG) මෑතකදී ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනය (SLCP) සමඟ අත්වැල් බැඳගනිමින් එහි ළමා පෝෂණ වැඩසටහන වන “Feed a Child” වැඩසටහනට සහාය දැක්විය. පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ දරුවන් මන්දපෝෂණයෙන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

එහිදී SLCP හි සභාපති මහාචාර්ය ගුවනි ලියනගේ මහත්මිය සහ Sunshine Pharmaceuticals හි ප‍්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා අවබෝධතා ගිවිසුමකට එළඹිණි. Sunshine Foundation විසින් මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 5.4ක් පරිත්‍යාග කළ අතර එමඟින් ශ‍්‍රී ලංකාවේ මන්දපෝෂණය ඉහළ ප‍්‍රදේශවලට ආහාර සලාක ලබා දීමෙන් වයස අවුරුදු එකත් පහත් අතර දරුවන්ගේ ශාරීරික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට SLCP වෙත සහාය වේ. මෙම මුලපිරීම හරහා මාස හයක් සඳහා ළමුන් 150 කට වැඩි පිරිසකට ආධාර කිරීම SFG හි අරමුණයි.

මෙම සමාජ සත්කාරය පිළිබඳව අදහස් දක්වමින් Sunshine Holdings සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ විශ් ගෝවින්දසාමි මහතා පැවසුවේ, ”පෝෂණය ඉහළ නැංවීම පිළිබඳව ගෝලීය අවශ්‍යතාවයක් පවතින අතර 2030 වන විට මන්දපෝෂණය සහ කුසගින්න තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කය හඹා යෑමේ දී රටවල් පෝෂණ වැඩසටහන් පුළුල් කිරීමේ වැදගත් ප‍්‍රගතියක් ලබා තිබෙනවා. එවැනි සන්දර්භයක් තුළ ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනය (SLCP) ඔවුන්ගේ “Feed a Child” වැඩසටහන හරහා රට තුළ ළමා මන්දපෝෂණය තුරන් කිරීමට සහය දැක්වීමට ලැබීම අපට මහත් ගෞරවයක්.” යනුවෙනි.

SLCP විසින් “Feed a Child” වැඩසටහන ළමා මන්දපෝෂණ අනුපාතය ඉතා ඉහළ නගරයක් ලෙස හදුනාගත් නුවරඑළිය පදනම් කරගෙන අගෝස්තු මාසයේදී දියත් කරන ලදි. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින පවුල් 491ක් සඳහා රු. 3,000 ක් වටිනා සෞඛ්‍ය සම්පන්න සහ අධි ප්‍රෝටීන් ආහාර සහිත වියළි සලාක මල්ලක් ප‍්‍රදානය කරයි. එවැනි සෑම පවුලකටම ඉදිරි මාස හය සඳහා සති දෙකකට වරක් මෙම ආහාර පාර්සල් අඛණ්ඩව ලබාදෙනු ඇත.

Sunshine Holdings සමූහයේ 50 වැනි සංවත්සරයට සමගාමීව ආරම්භ කරන ලද Sunshine Foundation for Good හරහා ආයතනයේ සියලූම CSR ප‍්‍රයත්නයන් යථාර්ථවත් කරයි. සෞඛ්‍යය සහ අධ්‍යාපනය නගාසිටුවීම මෙහි ප‍්‍රධානතම දැක්ම වන අතර තිරසාරභාවය සහතික කිරීම වෙනුවෙන් සිය උපරිමයෙන් කැපවෙයි.

 

ඡායාරූපය : SLCP හි සභාපති මහාචාර්ය ගුවනි ලියනගේ මහත්මිය සහ Sunshine Pharmaceuticals හි ප‍්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්

  • Ada Derana BIZ Sinhala
  • Lanka Hospitals
  • sri lanka

ලංකා හොස්පිටල්ස්  අයි. වී. එෆ්. (IVF) දරු උපත් 1500 කඩඉම සාර්ථකව පසු කරයි

November, 22, 2022

ජාත්‍යන්තර කීර්තියට පත්, සම්මාන රැසකින් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලංකා හොස්පිටල්ස් සිය රෝහල තුළ සිදු වූ 1500 වැනි IVF දරු උපත පසුගියදා සැමරීය. ලංකා හොස්පිටල්ස් රෝහලේ සාඵල්‍යතා මධ්‍යස්ථානය විසින් පසුගියදා රෝහලේදී පැවත්වුණු විශේෂ උත්සවයකදී මෙම නිවේදනය සිදු කෙරිණි.

“දැනට වසර 20 ක කාලයක් පුරා ලංකා හොස්පිටල්ස් ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා ප්‍රතිකාරය සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා. දරුවන් අපේක්ෂාවෙන් පසුවන සිය ගණනක් පවුල්වලට අපේ සහය විශාල අස්වැසිල්ලක් වුණා. අපේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සමරන මේ මොහොත්දී ඊට හේතු සාධක වුණු අපේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ අති නවීන පරීක්ෂණාගාර සහ තාක්ෂණය මෙහිදී මතක් කළ යුතුමයි” යැයි ලංකා හොස්පිටල්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය.

“ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානය අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය පැහැදිලිව පෙන්වා දෙනවා ඉක්සි සහ ඉම්සි ක්‍රම හරහා පිළිසිඳ ගැනීමේ හැකියාව ඉතා ඉහළ බව සහ සාර්ථකව පිළිසිඳ ගැනීමට ඇති හැකියාව ඉතා ඉහළ බව අපි සනාථ කර තිබෙනවා” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා හොස්පිටල් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ සායනික කළලවේදී වෛද්‍ය මදාරා රැළපනාව මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

“වෙනත් ක්‍රමවේද හරහා සාර්ථකව පිළිසිඳ ගැනීමට නොහැකි වූ යුවළවලට තිබෙන හොඳම විසඳුම අයි.වී.එෆ. හෝ ඉක්සි ක්‍රමයන් හරහා ඒ සඳහා උත්සාහ කිරීමයි. අනෙකුත් ක්‍රමවේදවලට සාපේක්ෂව මේ හරහා සාර්ථක වීමට ඇති අවස්ථාව ඉතා ඉහළයි. ඒ වගේම එයින් ලැබෙන ප්‍රතිලාභ අති විශාලයි” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න මහතා පැවසීය.

අයි. වී. එෆ්. (IVF) නමින් හැඳින්වෙන කෘතිම සංසේචනයෙන් මඳසරු බව නිසා දරු සම්පත් ලැබීමට අපහසු විවාහක යුවල වෙනුවෙන් භාවිතා කෙරෙන සාර්ථක ක්‍රමවේදයකි. මේ යටතේ කාන්තාවගේ ඩිම්බ කෝෂ වලින් ලබාගන්නා ඩිම්බ පුරුෂ ශූක්‍රාණුවක් සමඟ විද්‍යාගාරයක් තුළ කෘතීවම සංසේචනය කර කාන්තාවගේ ගර්භාෂය තුළ තැන්පත් කරනු ලබයි. ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා සායනය මඳසරු බව වෙනුවෙන් කරන ප්‍රතිකාරයන් සඳහා ශ්‍රී ලංකාවේ පුරෝගාමී මධ්‍යස්ථානයකි.

අයි. වී. එෆ්. (IVF) ක්‍රමවේදයට අමතරව ලංකා හොස්පිටල් සාඵල්‍යතා මධ්‍යස්ථානය ඉක්සි තාක්ෂණය (ICSI - Intra Cytoplasmic Sperm Injection) සහ ඉම්සි තාක්ෂණය (IMSI - Intracytoplasmic Morphologically Selected Sperm Injection) නමින් හැඳින්වෙන මඳසරු බව සඳහා යොදා ගන්නා අනෙකුත් දියුණු ප්‍රතිකාර ක්‍රමවේදයන් සඳහාද ප්‍රවීණත්වයක් හිමි ප්‍රතිකාර මධ්‍යස්ථානයකි.

මෙයින් ICSI යනු පුරුෂ පාර්ශවයේ දැඩි මඳසරු බවට පිළියමක් වශයෙන් හෝ සාමාන්‍ය IVF ක්‍රමවේදය යටතේ සරුබවට පත් කිරීමට ගන්නා උත්සාහය නැවත නැවත අසාර්ථක වන අවස්ථාවන්හිදී යොදා ගන්නා දියුණු ක්‍රමවේදයකි. මේ යටතේ තෝරාගත් එක් නිරෝගී සාර්ථක ශුක්‍රාණුවක් ක්ෂුද්‍ර අන්වීක්ෂයක් ආධාරයෙන් සරු ඩිම්බයකට එන්නත් කරනු ලැබේ. මෙලෙස කෘතීමව සංසේචනය කරන ලද ඩිම්බය වර්ධනය වී කළලයක් බවට පත් වීම සඳහා බීජෞෂකයක (incubator) තැන්පත් කරනු ලබයි.

ඉම්සි (IMSI) ක්‍රමවේදයේදී සිදුවන්නේ ඩිම්බයක් හා ශුද්ධ එන්නත්කරණ මගින් සංසේචනය කිරීමට ශුක්‍රාණුවක් තෝරා ගැනීමේදී අධිතාක්ෂණික ඩිජිටල් රූපකරණ අන්වීක්ෂයක් යොදා ගෙන ඉතා සමීපව ශුක්‍රාණුවල හිස සහ ගෙල ප්‍රදේශයන්හි අසාමාන්‍යතාවයන් අධ්‍යයනය කර වඩාත් සුදුසුම ශුක්‍රාණුව තෝරා ගෙන සංසේචනය සිදු කිරීමයි.

මෙම පියවරයන් අනුගමනය කිරීමෙන් අනතුරුව සංසේචනය කරන ලද ඩිම්බය කළලයක් දක්වා වර්ධනය වන තුරු බීජෞෂකයක තැන්පත් කරනු ලබන අතර ඉන් අනතුරුව කළලය කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කරනු ලැබේ. මෙහිදී ඉතිරි වන කළල ශීතකරණය කර නැවත ගැබ් ගැනීමක් සඳහා අවශ්‍ය නම් භාවිතා කිරීමට වසර 5 ක කාලයක් සඳහා ආරක්ෂිතව ගබඩා කර තබා ගත හැකිය.

මෙම සියලු සේවාවන්ට අමතරව ලංකා හොස්පිටල්ස් විසින් සාඵල්‍යතා ප්‍රතිකාර ආරම්භයට පෙර නිරෝගී දරුවෙක්ගෙන් පිළිසිඳ ගැනීම වෙනුවෙන් පූර්ව අධිරෝපණ ප්‍රවේණි ජාන පරික්ෂාව (PGT) නම් පරීක්ෂණයද සිදු කරනු ලබයි. මෙහිදී සිදු කෙරෙන්නේ කළලයක් තැන්පත් කිරීමට ප්‍රථම එයින් වෙන් කරගත් සෛල යොදා ගෙන කළලය සම්බන්යෙන් ජානමය අධ්‍යයනයක් සිදු කර ජානමය ගැටලු තිබේ දැයි සොයා බැලීමයි. එම නිසා පී.ජී.ටී. (PGT) ක්‍රමය IVF/ICSI හරහා ලබා ගන්නා කළලයක නීරෝගී බව තහවුරු කරන උපකාරක තාක්ෂණයක් වශයෙන් හැඳින්විය හැකිය.

වර්ග දෙකකට අයත් PGT පරීක්ෂණ සේවාවන් ලංකා හොස්පිටල්ස් විසින් ලබා දෙන අතර එයින් ඇනවුස්ලොයිඩ් (PGT-A) පරීක්ෂණය හරහා ඩවුන් සින්ඩ්‍රෝමය සහ ටර්නර් සින්ඩ්‍රෝමය වැනි ජානමය රෝගී තත්ත්වයන් හඳුනා ගැනීමත් PGT-M පරීක්ෂණය හරහා තැලිසීමීයි හා වැනි ජාමනය තත්ත්වයන් හඳුනා ගැනීමත් සිදු කෙරේ.

ලංකා හොස්පිටල්ස් සිය උසස් සෞඛ්‍ය සේවා ප්‍රමිතිය වෙනුවෙන් ඉහළම ජාත්‍යන්තර පිළිගැනීම් දිනාගත් ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහලකි. Joint Commission International (JCI) - 7th Edition සහතිකකරණය, Medical Travel Quality Alliance (MTQUA) වෙතින් ලබා දෙන ලොව පිළිගත් වෛද්‍ය සංචරණ සහතිකකරණය ඒ අතරින් ප්‍රමුඛ සහතිකකරණ කිහිපයකි. එමෙන්ම ලංකා හොස්පිටල්ස් ඩිග්නෝස්ටික්ස් (LHD) ලොව කීර්තිමත් College of American Pathologists (CAP) වෙතින් පර්යේෂණාගාර සහතිකකරණය ලබා ඇති ශ්‍රී ලංකාවේ එකම පර්යේෂණාගාර සේවාවයි.

ලංකා හොස්පිටල්ස් සමූහයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර

ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න

ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ සායනික කළලවේදී වෛද්‍ය මදාර රැළපනාව

ලංකා හොස්පිටල් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය

 

ඡායාරූප විස්තරය - ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි

  • Ada Derana BIZ Sinhala
  • Kalutara
  • Medical Camp
  • Nawaloka Hospitals
  • sri lanka
  • World Heart Day

නවලෝක රෝහල් සමූහය 2022 ලෝක හදවත් දිනයට සමගාමීව කළුතර නාගොඩ රෝහලේ දී වෛද්‍ය කඳවුරක් සංවිධානය කරයි

November, 22, 2022

මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය විසින් 2022 ලෝක හදවත් දිනයට සමගාමීව 2022 සැප්තැම්බර් 29 දින කළුතර නාගොඩ රෝහලේ දී වෛද්‍ය කඳවුරක් පැවැත්වීය.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය වසන්ති රත්නායක මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම වෛද්‍ය කඳවුර පැවැත් වූ අතර මෙම අවස්ථාවට වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ජනතාව ද දැඩි උනන්දුවකින් සහභාගී විය.

නාගොඩ රෝහලේ නේවාසික විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ සහ වෛද්‍ය දිස්නා අමරතුංග යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සමඟ අත්වැල් බැඳගත් අතර ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා විසින් ප‍්‍රධාන දේශනය පවත්වන ලදී.

”නිරෝගී ජීවිතයක් සඳහා නිරෝගී හදවතක් පවත්වා ගැනීම වෙනුවෙන් අපි වඩාත් දියුණු, නව්‍ය තාක්ෂණික ක‍්‍රම භාවිතා කරමින් සහ නව විශේෂඥ දැනුම බෙදාහදා ගනිමින් ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම නගාසිටුවීමට කටයුතු කරනවා. මෙම වෛද්‍ය කඳවුරේ දී හෘද රෝග පිළිබඳව සහ හදවත සෞඛ්‍යමත්ව පවතවා ගැනීම පිළිබඳ දැනුම ලබාදුන් අතර රෝගීන්ට ඒ පිළිබඳව තිබෙන ගැටලූ ද සාකච්ඡුා කළා. මම හිතන්නේ මෙම වැඩසටහන හරහා අපි ලෝක හදවත් දිනය ඉතාමත් ඵලදායී ලෙස සැමරුවා. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය වූ කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරුන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් නවලෝක රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසීය”

මෙහිදී හෘද රෝග වලින් තොර යහපත් සෞඛ්‍ය ක් පවත්වාගෙන යාම පිළිබඳ දේශන පවත්වන ලද අතර වෛද්‍ය වසන්ති රත්නායක මහත්මියගේ මූලික හඳුන්වාදීමෙන් රෝහලේ මාර්ගගත දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා රෝගීන් ලියාපදිංචි කර ගන්නා ලදී.

ඊට අමතරව කිරීටක ධමනි බද්ධ කිරීමේ ශල්‍යකර්ම ^CABG&  කිරීමට බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් සඳහා ත‍්‍රිත්ව තක්සේරුවක් සිදු කරන ලදි. එම රෝගීන්ව සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ව ශල්‍යකර්මයක් සිදු කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැනුවත් කර ඒ වෙනුවෙන් විශේෂ පැකේජයක් ද පිරිනැමීය. මෙම අවස්ථාවට සහභාගී වූ අනෙකුත් සියලූම රෝගීන්ට BMI" BP සහ RBS ඇතුළු මූලික පරීක්ෂණ කිහිපයක්ම සිදුකරවා ගෙන තම සෞඛ්‍ය තත්වය පිළිබඳව තක්සේරුවක් ලබාගත හැකි විය.

නවලෝක රෝහල් සමූහය 1985 දී ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය වෙත පිවිසි අතර අද වන විට මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ ආධිපත්‍යය දරයි. මෙම රෝහල් සමූහය වෙත ලැබුණු අතිමහත් ජනතා ප‍්‍රසාදය උසස් සෞඛ්‍ය සේවාවක දිගුකාලීන අවශ්‍යතාවය පෙන්නුම් කළේය. දිවංගත දේශමාන්‍ය H' K' ධර්මදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම රෝහල් සමූහය අධි තාක්ෂණික රෝග විනිශ්චය සහ රෝග හදුනාගැනීමේ පහසුකම් සහිත සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා වූ වැදගත් මුලපිරීමක් විය. අද වන විට නවලෝක රෝහල් සමූහය ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම නගාසිටුවීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක නිරත වෙමින් සිටියි.

  • Ada Derana BIZ Sinhala
  • Janashakthi Life
  • sri lanka

ජනශක්ති ලයිෆ් 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳ ම ජීවිත රක්‍ෂණ සමාගම ලෙස ගෝලීය ඇගයීමට ලක් වෙයි

November, 22, 2022

ජනශක්ති රක්‍ෂණ සමාගම ඉතිහාසයේ ප්‍රථම වරට '2022 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රක්‍ෂණ සමාගම ' ලෙස සම්මාන ලබමින් ගෝලීය  වශයෙන් ඇගයීමට ලක් විය. ලන්ඩනය මූලික කරගනිමින් ක්‍රියාත්මක, ජාත්‍යන්තරව කීර්තිමත් ආයතනයක් වන කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (CFI.co) විසින් පිරිනමනු ලබන මෙම සම්මානය මගින් රටේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වන, එමෙන් ම සියලු  පාර්ශ්වකරුවන් වෙත  වටිනාකම් එක් කිරීම සඳහා කටයුතු කරන ආයතන ඇගයීමට ලක් කරයි.  ජනශක්ති ලයිෆ් ඇතුළු සියලු ම සම්මානලාභී ගෝලීය සන්නාම සඳහා මෙම සම්මානය ලන්ඩනයේ හවුස් ඔෆ් ලෝඩ්ස් හි දී නොබෝදා පිරිනැමිණි. සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ දී අවසාන පියවර ලෙස ජූරි සභාව මගින් ජයග්‍රාහකයින් නම් කිරීම දක්වා ඉතා සාධාරණ, විනිවිධභාවයකින් යුත්, ගුණාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන නිසා ම මෙම සම්මානයෙහි වැදගත් කම තවත් වැඩිවන බව පැවසිය යුතු ම ය. මෙම සම්මානය, උසස් පාරිභෝගික අත්දැකීමක් සහ සේවා විශිෂ්ටත්වයක් සමඟින් නව්‍ය රක්‍ෂණ විසඳුම් පිරිනැමීම හරහා ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයට ජනශක්ති ලයිෆ් සමාගම ලබාදුන් සුවිශේෂී දායකත්වය සඳහා කදිම සාක්ෂියකි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය. "මෙම පිළිගැනීම අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට උසස් සේවාවක් ලබා දෙමින්, අපගේ ආයතනික අරමුණු සාක්ෂාත් කරගැනීමට කැපවීමේ ප්‍රතිඵලයක්. අභියෝගාත්මක වසරක් මධ්‍යයේ වුවත් සමාගමේ  වර්ධනයට අසමසම දායකත්වයක් ලබා දුන් අපගේ  ජනශක්ති සිංහ බලකායේ අඛණ්ඩ කැපවීම, හැකියාව හා අති විශිෂ්ට බව මෙම සම්මානයෙන් අපට පෙන්වා දෙනවා. නව්‍ය විසඳුම් හරහා ශ්‍රී ලංකාව තුළ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් පාරිභෝගික ජනතාවට වඩාත් හොඳ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා අප අපගේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කළා."

ජීවිත නඟා සිටුවමින්, සිහින සවිබල ගැන්වීමේ ආයතනික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන ජනශක්ති ලයිෆ් සැම විට ම ආචාරධර්මයන්ට අනුකූල වෙමින්, විනිවිදභාවයෙන් යුතුව සිය පාර්ශවකරුවන් වෙත වැඩි ප්‍රතිලාභ ලබා දීම සඳහා කැප වෙයි. පාරිභෝගිකයින්ගේ  ජීවිතයේ සෑම අදියරක දී ම මතුවන විවිධත්වයෙන් යුතු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රක්‍ෂණ විසඳුම් හා සේවාවන් හඳුන්වා දෙන ජනශක්ති ලයිෆ් සිය කාර්‍යමණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ  සිහින හා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට ද හැකි උපරිම සහයෝගය ලබා දෙයි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ ඉහළ ම,  වටිනා ම මෙන් ම  ශක්තිමත් ම සන්නාම 100 අතරට තේරී පත් වූ අතර, බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් වාර්තාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාමවලින් එකක් ලෙස TOP 10 සන්නාම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වීමට ද සමත් විය. 2022 වසරේ දී ආකර්ෂණීය සන්නාම අගය වර්ධනයක් වාර්තා කරමින්, A+ ශ්‍රේණිගත කිරීම හා ශක්ති දර්ශකයේ (BSI) ලකුණු 569ක් සහිතව TOP 10  නාමාවලිය අතරට එක් වූ එක ම රක්ෂණ සන්නාමය වශයෙන් ද ජනශක්ති හඳුන්වා දිය හැකිය.  .

හොඳ ම රක්ෂණ විසඳුම් සමඟින් කලාපයේ රක්ෂණ කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් ජනශක්ති ලබා දෙන දායකත්වය පසුගියදා පැවති තුන් වන  ICC Emerging Asia Insurance Awards 2021 හි දී 2021 වර්ෂය සඳහා ‘රක්ෂණ ව්‍යප්තිය උදෙසා හොඳ ම උපාය මාර්ග’ සඳහා වන සම්මානය මගින් ඇගයීමට ලක් විය. ඊට අමතරව ජනශක්ති ලයිෆ් 'වසරේ ගෘහස්ථ රක්ෂණකරු' ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති අතර, 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙල මගින් ජනශක්ති ලයිෆ් ජංගම යෙදුම 'වසරේ ජංගම යෙදුම' ලෙසින් ද සම්මානයට පාත්‍ර විය. රක්ෂණ සමාගම්, ආයෝජකයින්, වෘත්තිකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඇගයෙන ආසියානු රක්ෂණ සම්මාන උළෙල, කලාපයේ වඩාත් ම කැපී පෙනෙන රක්ෂණ සමාගම් ඇගයීම වෙනුවෙන් සංවිධානය වන ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම සම්මාන උළෙල ලෙස හැඳින්විය හැකිය. 

ජනශක්ති රක්ෂණ සමාගම සිය සිංහ බලකායේ විශිෂ්ටත්වය හා ගෝලීය ප්‍රමිතිය තහවුරු කරමින්  2021 වසරේ දී  MDRT ජයග්‍රාහකයින් 100 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට සමත් විය.  සිය සාමාජික සාමාජිකාවන් සවිබල ගන්වමින් ධනාත්මක වටිනාකමකින් යුත් ආයතනික සංස්කෘතියක් තහවුරු කිරීම වෙනුවෙන් ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම සේවය කිරීම සඳහා සුදුසු ම ආයතනයක් වශයෙන් ද නම් කෙරිණි.  වසර 27ක කාලයක් පුරා, ජනශක්ති ලයිෆ් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියට ම ගමන් කර ඇත.  එම සමාගමේ දීප ව්‍යප්ත 75කට අධික ශාඛා ජාලය මගින් සෑම තරාතිරමක ම පුද්ගලයන් වෙත සිය අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි.

  • Ada Derana BIZ Sinhala
  • FACETS
  • January
  • Premier Edition
  • sri lanka

ෆැසෙට්ස් ශ්‍රි ලංකා සුවිශේෂී ප්‍රදර්ශනය 2023 ජනවාරියේ යළි කරළියට

November, 22, 2022

  • ස්වර්ණාභරණ නිෂ්පාදනයේ දී කේන්ද්‍රීය යෙදවුම ලෙස බහුලව වර්ණවත් මැණික් ගල් භාවිතය ප්‍රවර්ධනය කිරීම
  • මැණික් වෙළෙඳාමේ 2500 වසරක ඉතිහාසය තුළ සුවිශේෂි මැණික ලෙස ලංකා නිල් මැණික් ප්‍රදර්ශනයේදී ප්‍රචලිත කිරීම
  • ප්‍රදර්ශනය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ජනවාරි 7 දා සිට 9 දක්වා

ජගත්  මැණික් ප්‍රසම්පාදන සහ මූලාශ්‍රකරණ කැලැන්ඩරයේ බොහෝදෙනා පුල පුලා බලාසිටින ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ ප්‍රදර්ශන දාමයේ වඩාත් ජනප්‍රිය ප්‍රදර්ශනය ලෙස සුවිශේෂී අවධානය යොමුවන ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය, වසර දෙකක නිහැඬියාව කින් පසුව, 2023 නව වසරේදී යලිත් කරළියට පැමිණෙයි . ලංකා නිල් මැණික්වල ජන්මභූමිය වන අප දිවයිනේ කාන්තිය විහිදුවන හා මනමෝහනීය අභිමානනීය පෙරනිමිත්තක් සමඟින් ෆැසෙට්ස් ශ්‍රී ලංකා 2023 ප්‍රදර්ශනය ජනවාරි 7 දා සිට 9 දා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙයි.

මෙම ප්‍රදර්ශනයේදී  අතිවිශිෂ්ට ලංකා නිල් මැණික්වලට සුවිශේෂී ස්ථානය හිමිකර දිය යුතු බවත් ලොවපුරා ශ්‍රී ලංකාවේ මැණික් දිනාගෙන සිටින ජනප්‍රියභාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම බෙහෙවින් වැදගත් බවත් ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරිණ.  මෙම ප්‍රදර්ශනය ශ්‍රි ලංකාවේ විදේශ සංචිත ඉහළ නැංවීමට දිරියක් ලැබෙන මාවතක් විවර කරන බවද මෙහිදී ප්‍රකාශ විය. මෙම මාධ්‍ය හමුවට ජාතික  මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් , ෆැසෙට්ස් ශ්‍රී ලංකා  සභාපති අල්ටාෆ් ඉක්බාල් සහ  ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාඩ් ඩීන්  යන මහත්වරු සහ වෙනත් ආයතන ප්‍රධානීහු සහභාගිවූහ.

2023 වසරේදී  ඇමරිකානු ඩොලර් බිලියනයක අපනයන ආදායමක් මෙම කර්මාන්තයෙන් උපයාගැනීමට ඉලක්ක කරමින් රටට තවත් විදේශ විනිමය උපයාගැනීමට හැකිවන පරිදි ශ්‍රි ලංකාවේ මැණික්  නව දීප්තිමත් අවකාශයක ස්ථානගත කිරීමේ ඉදිරිදැක්මක් ෆැසෙට්ස් ශ්‍රී ලංකා සතුව ඇත.

ෆැසෙට්ස් ශ්‍රී ලංකා  සභාපති මෙන්ම ජාත්‍යන්තර වර්ණවත් මැණික්ගල් සංගමයේ අධ්‍යක්ෂ වරයෙකුද වන අල්ටාෆ් ඉක්බාල් මෙසේ පැවසීය.“ ලංකා නිල් මැණික්වල අතිවිශිෂ්ට ශෝභාව සහ අගය වසර 2500 කට වැඩිකලක සිට කීර්තිමත්ව පවතින අතර එම මැණික් ලෝකයේ වඩාත් වැදගත් මැණික් අතර ස්ථාවරව වැජඹෙයි”.

ශ්‍රි ලංකාවේ මැණික්වල සුවිශේෂත්වය පෙන්වා දෙමින් කතා කළ ඔහු ,ප්‍රවීණ ශිල්පීන්ගේ දෑතින් නිමවන ස්වර්ණාභරණවල කේන්ද්‍රීය වශයෙන් වර්ණ මැණික්ගලක් යොදන ජාත්‍යන්තර මෝස්තර ප්‍රවණතාවයක් නිර්මාණය කිරීම කෙරෙහි  ෆැසෙට්ස් ශ්‍රී ලංකා  අවධාණය යොමුකරයි. “ උදාහරණයක් වශයෙන් ඔබ ලෝකයේ රාජවංශ භාවිත කරන ඇතැම් ඉතා අගනා අග්‍රගණ්‍ය ආභරණ දෙස බැලුවහොත් ඒවායේ මුදුනෙහි බබලන්නේ  ශ්‍රි ලංකාවේ මැණික් ගලක් බව ඔබට ඒත්තු යනු ඇත. අප යළිත් එවන් ප්‍රවණතාවයක් පුළුල්ි සහ ප්‍රශස්ත ලෙස ඇති කළ යුතුය.”

ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාඩ් ඩීන්  මහතා කතාකරමින් සුවිශේෂී ප්‍රදර්ශනයක් වන ෆැසෙට්ස් ශ්‍රී ලංකා සැමවිටම මෙම කර්මාන්තයේ ඉතා උසස් තත්වය සංක්ෂේපයෙන් දක්වා ඇති බව කීවේය. “ නිසැකවම, මෙම ප්‍රමුඛ ප්‍රදර්ශනය මගින් ශ්‍රි ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ මැණික් ගලකට සීමා නොවී ඉන් ඔබ්බට ලෝකයේ  හොඳම මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයන් අතර  ජගත් අවකාශයෙහි ශ්‍රි ලංකාව ස්ථානගත කිරීමක් සිදුවෙයි. රත්නදීප එසේත් නැත්නම් පුරාතන වෙළෙඳාමේදී ප්‍රචලිත වූ පරිදි රත්නභූමිය වන මෙම කුඩා දිවයින සතු මැණික් නිධානය අපි පෙන්නුම් කරමු. ලෝකයේ ඕනෑම තැනක, යම් ස්වර්ණාභරණයක් නිෂ්පාදනය කිරීමේදී යොදා ගැනීමට මැණික් තෝරාගන්නා විට වැඩිම මනාපය හිමිවන මැණික් ශ්‍රී ලංකාවේ මැණික් බවට සහතික කිරීමේ ප්‍රයත්නයේ ආරම්භය මෙයයි.”

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා අදහස් පළකරමින් යුරෝපයේ සහ මැදපෙරදිග ප්‍රදර්ශනවලට සහභාගිවෙමින් ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය අඛණ්ඩව ජාත්‍යන්තර වශයෙන් සක්‍රීයව පවතින බව පෙන්වා දුන්නේය. “අප ලැබූ ප්‍රතිචාරය විශිෂ්ට වන අතර අප ලබන සහතික දිරිගන්වනසුළුවෙයි. ලෝකය අපගේ  මැණික්වල අගය, ශෝභාව සහ අනන්‍යතාව  මැනවින් දන්වා බැවින් මෙම ප්‍රවර්තක ශක්තිය පවත්වා ගෙන යමින් ඒ මතින් ඉදිරියට යාමට අපගේ මැණික් දැන් ලෝකයේ ප්‍රචලිත විශිෂ්ටතම මැණික් බවට පත්කිරීමට ඊළග පිමිම පැනීමට අවශ්‍යය”. මෙම කර්මාන්තයේ ජීවනාලිය බඳු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් එකතුවකින් ශක්තිමත් අප විශේෂයෙන් ඔවුන් සඳහා මෙම ප්‍රදර්ශනයේ  ප්‍රදේශයක් වෙන්කර ඇත.

ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය මැණික් ගැරීමේ සිට  නිෂ්පාදන, තොග වෙළඳාම සහ සාමාන්‍ය වෙළඳාම දක්වා  මෙම කර්මාන්යේ උප අංශවල අභිලාෂයන් නියෝජනය කරන පෞද්ගලික අංශයේ මුදුන් සංවිධානයයි. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සහ ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හවුල්කාරිත්වයෙන් ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය ෆැසෙට්ස් ශ්‍රී ලංකා  ප්‍රදර්ශනය සංවිධානය කරයි.

ඡායාරූප විස්තරය - මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන මේසයේ  (වමේ සිට දකුණට)

කමල් මුණසිංහ  (සාමාන්‍යාධිකාරි , සිනමන් ග්‍රෑන්ඩ් කොළඹ) , අල්ටාෆ් ඉක්බාල්  (සභාපති -ෆැසෙට්ස් ශ්‍රී ලංකා  2023) , අජ්වාඩ් ඩීන්  (සභාපති - ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය) ,  විරාජ් ද සිල්වා (සභාපති - ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය) , සුරේෂ් ද මෙල් (සභාපති - අපනයන සංවර්ධන මණ්ඩලය) රිෂාන් නසීර් (සභාපති - දේශීය ප්‍රවර්ධන කමිටුව , ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය)