October, 24, 2022
ශ්රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. පසුගිය දා පැවති මාධ්ය සාකච්ඡාවක දී ඇය මේ බව අනාවරණය කර සිටියාය.
"ඉදිරියට මගේ බලාපොරොත්තු තියෙනවා. ඩොලර් සෑහෙන්න ප්රමාණයක ආයෝජකයෝ මාත් එක්ක දැනට කතා කරලා තියෙනවා ලංකාවට එන්න. මේ රටේ විශාල වැඩ කොටසක් කරන්න. ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ කියන්න ඔ්නේ, මාත් එක්ක කතා කරලා තියෙනවා, ලංකාවට ඩිස්නිලෑන්ඩ් එක ගේන්න. ඩිස්නිලෑන්ඩ් එක කරපු ඒ කරන කට්ටිය මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ ලංකාවට ඩිස්නි ලෑන්ඩ් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපිට විශාල සංචාරකයෝ කොටසක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්."
මේ අතර මාධ්ය වාර්තා කිහිපයක්ම සඳහන් කර සිටියේ හම්බන්තොට ප්රදේශයේ මෙ ඩිස්නිලන්තය ඉදිකෙරෙනු ඇති බවයි.
එසේ වුවහොත් එය දකුණු ආසියාවේ පළමු වැනි ඩිස්නිලන්තය බවට පත්වනු ඇත.
October, 22, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම සහ ජනප්රියතම පෝෂණීය ධාන්යමය ආහාරය වන CBL සමපෝෂ සවිබල ගැන්වීමෙන් සිව්වන වරටත් පවත්වනු ලබන 'පළාත් පාසල් ක්රීඩා උළෙල 2022' උතුරු මැද පළාත කේන්ද්ර කර ගනිමින් පසුගියදා අනුරාධපුර මහජන ක්රීඩාංගනයේදී පැවැත්විණි.
පාසල් ක්රීඩක ක්රීඩිකාවන්ගේ ක්රීඩා කෞශල්යයන් ජාතික තලය වෙත ලඟා කරවීමේ අරමුණ ඇතිව, පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්රීඩා උළෙල උතුරු මැද පළාතට අමතරව ඌව, නැගෙනහිර සහ වයඹ යන පළාත් තුනෙහි ද වෙන් වෙන් වශයෙන් ඔක්තෝම්බර් මාසය තුළදී පැවැත්වේ.
මෙහිදී තරඟ ඉසව් 70කට වැඩි සංඛ්යාවක් පැවැත්වෙන අතර ඒ සඳහා උතුරු මැද පළාතේ පාසල් 450 කට අධික ප්රමාණයක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 2200 කට අධික සංඛ්යාවක් සහභාගී විය.
ප්රථමයෙන් අවසන් වූ උතුරු මැද පළාත් පාසල් ක්රීඩා උළෙලේ සමස්ත බාලක හා බාලිකා ශූරතා ද්විත්වයම අනුරාධපුර මාධ්ය විද්යාලය විසින් දිනා ගැනීම විශේෂත්වයක් විය. සමස්ත බාලක අනු ශූරතාවය පොළොන්නරුව රාජකීය මාධ්ය මහා විද්යාලය සහ සමස්ත බාලිකා අනු ශූරතාවය තඹුත්තේගම මාධ්ය මහා විද්යාලය විසින් දිනා ගැනීමට සමත් විය.
වයස අවුරුදු 12න් පහළ දුර පැනීමේ ඉසව්ව යටතේ පැවති තරඟ වලින් ඉහළම දක්ෂතාවයන් දක්වා බාලක අංශයේ දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය අනුරාධපුර, හුරුලුමීගහ පිටිය විද්යාලයේ ඩී.එම්.එම් ලහිරු බණ්ඩාර ක්රීඩකයා විසින් දිනා ගනු ලැබිණි. ඔහුගේ දක්ෂතාවය මීටර් 4.33 ලෙස වාර්තා විය. එම ඉසව්වේම බාලිකා අංශයේ දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය තඹුත්තේගම මාධ්ය මහා විද්යාලයේ එස්.පී පහන්දිට හිමි වූ අතර ඇය එම ඉසව්වේදී මීටර් 4.26 දක්ෂතාවයක් පෙන්නුම් කර ඇත.
වයස අවුරුදු 14න් පහළ වයස් කාණ්ඩය යටතේ පැවති යගුලිය විසි කිරීමේ තරඟ ඉසව්වේ මීටර් 11.80 දක්ෂතාවයක් දක්වමින් බාලක අංශයේ දක්ෂතම ක්රීඩකයා ලෙස පොළොන්නරුව, විජිත මාධ්ය මහා විද්යාලයේ යූ.ජී.පී සංකල්පන සම්මානයට පාත්ර විය. බාලිකා අංශය යටතේ වයස අවුරුදු 14න් පහළ දුර පැනීමේ ඉසව්වේ දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය හිඟුරක්ගොඩ, බකමූණ ජාතික පාසලේ ඩබ්.එම්.කේ.ජී.එස්.මධුෂාණි ක්රීඩිකාව විසින් දිනා ගනු ලැබුවාය. ඇයගේ දුර පැනීමේ දක්ෂතාවය වූයේ මීටර් 4.52කි.
වයස අවුරුදු 16න් පහළ යගුලිය විසි කිරීමේ හා දුර පැනීමේ ඉසව්වලින් දක්ෂතම ක්රීඩකයා සහ ක්රීඩිකාවට හිමි සම්මාන පිලිවෙලින් අනුරාධපුර මාධ්ය විද්යාලයේ එම්. උදන්ත ජයසිංහ හා අනුරාධපුර සිද්ධාර්ථ මහ විද්යාලයේ ඩබ්.එම්.වී ගනේෂිකා වික්රමසිංහ යන අය විසින් හිමි කර ගත්තේය. උදන්තගේ යගුලිය විසි කිරීමේ දක්ෂතාවය මීටර් 15.20ක් සහ ගනේශිකාගේ දුර පැනීමේ දක්ෂතාවය මීටර් 4.72ක් ලෙස වාර්තා විය.
වයස අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩය යටතේ පැවති දුර පැනීමේ ඉසව්වෙන් බාලක අංශයේ දක්ෂතම ක්රීඩකයා ලෙස දිඹුලාගල අසේලපුර මහ විද්යාලයේ ඩබ්.එම් ශිවන්ත ජයග්රාහී සම්මානය දිනා ගනු ලැබූ අතර බාලිකා අංශයේ දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය අනුරාධපුර මාධ්ය විද්යාලයේ චමත්කා සත්සරණී විසින් දිනා ගනු ලැබුවාය. ඔවුන්ගේ දක්ෂතාවයන් වූයේ පිළිවෙලින් මීටර් 6.27ක් සහ 4.89 කි.
දුර පැනීමේ ඉසව්ව යටතේ පැවති තරඟ වලින් වයස අවුරුදු 20න් පහළ බාලක අංශයේ දක්ෂතම ක්රීඩකයා ලෙස පොළොන්නරුව ගල්අමුණ මහ විද්යාලයේ කේ.එම්.කේ චතුමිණ කරුණාරත්න සම්මාන හිමි කර ගනු ලැබූ අතර ඔහුගේ දක්ෂතාවය මීටර් 7.19 විය. දුර පැනීමේ ඉසව්වේ බාලිකා අංශයේ දක්ෂතම ක්රීඩිකාව ලෙස අනුරාධපුර මාධ්ය විද්යාලයේ එස්.පී.ඒ.එල් නිමේෂිකා චන්ද්රසේන සම්මාන දිනා ගැනීමට සමත් වූයේ මීටර් 4.80ක දක්ෂතාවයක් පෙන්නුම් කරමිණි.
CBL සමපෝෂ යනු CBL සමූහයේ පුර්ණ අනුබද්ධිත සමාගමක් වන Plenty Foods (Pvt) Limited හි ප්රධානතම නිෂ්පාදන සන්නාමය වේ. ශ්රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛතම දේශීය සමාගමක් ලෙස සැලකෙන CBL සමූහය පාරිභෝගික අවශ්යතා වලට සරිලන පරිදි ඉතා පුළුල් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට නිකුත් කරන අතරම, සිය නිෂ්පාදන ක්රියාවලිය හරහා සැපයුම් දාමයට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් බලගැන්වීමට ද නිරන්තරයෙන් කැපවෙන සමාගමකි.

October, 22, 2022
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 70.2හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 84.6හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 85.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 57.1හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 62.8 දක්වා ඉහළ ගියේය.
මෑතකාලීනව පෙන්නුම් කළ මාසික උද්ධමනයෙහි පහළ යෑම 2022 සැප්තැම්බර් මාසයේදී ද දක්නට ලැබුණි. ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 2.34ක් වූ අතර, ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 1.96කින් සහ සියයට 0.38කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ආහාර නොවන කාණ්ඩය තුළ 2022 සැප්තැම්බර් මාසයේ දී, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (විදුලි ගාස්තු, භූමිතෙල් සහ ජල ගාස්තු) හා විවිධ භාණ්ඩ සහ සේවා යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. මේ අතර, ආහාර කාණ්ඩය තුළ, පලතුරු, තිරිඟු පිටි සහ කුකුල් මස් මිල ගණන් ඉහළ යන ලදී. එසේ වුවද, සහල්, සීනි සහ පරිප්පු මිල ගණන් 2022 සැප්තැම්බර් මාසයේදී පහළ ගියේය.
තවද, වාර්ෂික සාමාන්ය උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 31.3හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 36.9 දක්වා ඉහළ ගියේය.
ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්යමය පදනම මත මූලික උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 60.5හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 64.1 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්ය මූලික උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 26.0හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 31.0 දක්වා ඉහළ ගියේය.

October, 22, 2022
යුරෝපීය සංගමය (EU) 2022 පෙබරවාරි මාසයේ දී ලංකා කුරුඳු, ලංකා කුරුඳු කුඩු, ලංකා කුරුඳු කොළ තෙල් සහ ලංකා කුරුඳු පොතු තෙල් සඳහා විශේෂාකාරයෙන් ලබා දී ඇති ආරක්ෂිත භූගෝලීය දර්ශකය (PGI) නමැති තත්ත්ව සහතිකය හිමිවීම සැමරීම සඳහා මෙන්ම ලංකා කුරුඳු බෙල්ජියම තුළ ප්රවර්ධනය කිරීම සඳහා බෙල්ජියමේ ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 ඔක්තෝම්බර් 18 වැනි දින උත්සවයක් පවත්වන ලදී. යුරෝපීය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කාර්යාලවල නිලධාරීන්, යුරෝපීය බාහිර ක්රියාකාරී සේවය (EEAS) සහ බෙල්ජියම් රජයේ නිලධාරීන් මෙන්ම බෙල්ජියමේ විවිධ නිෂ්පාදන සඳහා කුරුඳු ආනයනය කිරීමේ හෝ භාවිතා කිරීමේ යෙදී සිටින ව්යාපාරික ආයතනවල නියෝජිතයින් සහ මාධ්ය ආයතන මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. යුරෝපීය කොමිසමේ කෘෂිකර්ම හා ග්රාමීය සංවර්ධන අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ (DG AGRI) ජාත්යන්තර කටයුතු අධ්යක්ෂ ජෝන් ක්ලාක් මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. එතුමා නිෂ්පාදන සඳහා වන PGI තත්ත්ව සහතිකය පිළිබඳ කටයුතු හසුරුවයි. ලෝක කුරුඳු වෙළඳපොළ තුළ උසස් තත්ත්වයේ සැබෑ කුරුඳු ලෙස පිළිගෙන ඇති PGI තත්ත්වය සහිත ලංකා කුරුඳු පිළිබඳව දැනුම්වත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.යුරෝපීය කලාපය බොහෝ දුරට ලංකා කුරුඳු සඳහා ලාභදායී ආදේශකයක් වශයෙන් කැසියා කුරුඳු භාවිතා කෙරේ.
ලංකා කුරුඳු සඳහා අවශ්ය වන PGI තත්ත්ව සහතිකය සහ යුරෝපා සංගම් කලාපයේ නිෂ්පාදකයන්ට, අපනයනකරුවන්ට, ආනයනකරුවන්ට සහ පාරිභෝගිකයින්ට එමඟින් ලැබෙන ප්රතිලාභ පිළිබඳ හැඳින්වීමක් තානාපති ග්රේස් ආසිර්වාතම් මැතිනිය විසින් ඉදිරිපත් කරන ලදී. ලංකා කුරුඳු ශ්රී ලංකාවට උරුමයක් සහ අභිමානයක් වන බව පැවසූ තානාපතිනිය, ලංකා කුරුඳු ප්රවර්ධනය කරන අතරම, ලංකා කුරුඳු හා සබැඳි ප්රබෝධජනක කතා පුවත ලෝකය සමඟ බෙදා ගැනීමට ශ්රී ලංකාව කැමැත්තෙන් පසුවන බවද පැවසී ය. තවද, ලංකා කුරුඳු සඳහා ලෝක වෙළඳපොළෙන් 80% ක ප්රතිශතයක් හිමිකරගෙන සිටින ශ්රී ලංකාව, ලංකා කුරුඳුවල සැබෑ නිවහන වන බැවින්, යුරෝපා සංගමයේ සහ ජාත්යන්තර වෙළඳපොළේ සුවිශේෂී වෙළඳපොළ කොටස් තුළට පිවිසීමට PGI තත්ත්ව සහතිකය භාවිතා කරන බවට විශ්වාසයක් පවතින බවද තානාපතිනිය මෙහිදී සඳහන් කළා ය.
තානාපතිනිය සිදු කළ ඉදිරිපත් මඟින් ලංකා කුරුඳු සහ කැසියා කුරුඳු අතර ඇති වෙනස්කම්, ලංකා කුරුඳුවල උසස් තත්ත්වය, සුවිශේෂී නිෂ්පාදන ක්රියාවලිය, අද්විතීය රසය සහ සුවඳ, සිහින් බවින් යුත් ඝනත්වය, සියුම් රසය සහ බොහෝ සෞඛ්ය ප්රතිලාභ සඳහා දායක වන ගුණාංග සහ ඉතා අඩු මට්ටමේ කූමරින්වල වැදගත් ලක්ෂණ යනාදිය විශේෂාකාරයෙන් අවධාරණය කෙරිණි. එබැවින් මෙම කුරුඳු පාරිභෝගිකයින් සඳහා සුදුසු සෞඛ්ය සම්පන්න තේරීමක් බවට පත් වේ. රැස්ව සිටි පිරිස ඇමතූ අධ්යක්ෂ ජෝන් ක්ලාක් මහතා ශ්රී ලංකාවට සුබ පැතූ අතර යුරෝපා සංගම් කලාපයට ලංකා කුරුඳු අපනයනය ඉහළ නැංවීම සඳහා PGI තත්ත්ව සහතිකය උපරිමයෙන් භාවිතා කිරීමට ශ්රී ලංකාව දරන උත්සාහය අගය කළේ ය.
ව්යාපාර ප්රවර්ධන වැඩසටහන අතරතුර, ශ්රී ලාංකික සමාගම් දහතුනක (13) තොරතුරු බෙදා ගන්නා ලද අතර, බෙල්ජියමේ ශක්යතා සහිත ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අතර ප්රවර්ධනය කිරීම සඳහා එම සමාගම්වල නිෂ්පාදන සාම්පල ප්රදර්ශනය කරන ලදී. ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලද වර්ජර් නැචුරල්ස් (පුද්) සමාගම, ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගම, ලක් සිනමන් ප්ලාන්ටර්ස් ඇන්ඩ් එක්ස්පෝටර්ස් ගෲප් (පුද්) සමාගම, ඩයමන්ඩ් ඉන්ටර්නැෂනල් ලංකා (පුද්) සමාගම, සංජීවක ආයුර්වේදික් ප්රඩක්ට්ස් (පුද්) සමාගම, Hddes එක්ස්ට්රෑක්ට්ස් (පුද්) සමාගම, නිව් ලංකා සිනමන් (පුද්) සමාගම, සිල්වර්මිල්, සෙයිලා ඕර්ගනික්ස් (පුද්) සමාගම, සිනමන් වන් (පුද්) සමාගම සහ එන්රිච් ටී ඇන්ඩ් ෆුඩ් එක්ස්පෝට්ස් (පුද්) සමාගම මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූහ.
ශ්රී ලංකාව ලංකා කුරුඳු මෙට්රික් ටොන් 18,000ක් පමණ ලෝක වෙළඳපොළට අපනයනය කරන අතර ඉන් 45%ක් දකුණු ඇමෙරිකානු රටවල් ආනයනය කරන අතර, 14%ක් එක්සත් ජනපදය ආනයනය කරයි. කැසියා කුරුඳු භාවිතයට හුරුවී ඇති බැවින් යුරෝපීය කලාපය ලංකාවේ කුරුඳුවලින් 10%ක් වැනි සුළු ප්රමාණයක් ආනයනය කරයි. ගුණාත්මක බවින් අඩු ආදේශක අතරින් යුරෝපා සංගමයේ වෙළඳපොළ තුළ ලංකා කුරුඳු වෙන්කර හඳුනා ගැනීම සඳහා EU PGI තත්ත්ව සහතිකය ඉතා වැදගත් වේ. එය තරඟකාරී ප්රතිලාභ අත්කර දෙන ප්රභවයක් ලෙස ක්රියා කරනු ඇති අතර, එමඟින් වෙළඳපොළ විවිධාංගීකරණය, නිෂ්පාදන පිරිවැටුම වැඩි කිරීම සහ පාරිභෝගිකයාගෙන් හොඳම මිලක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. තරඟකාරී බව වර්ධනය කිරීම සහ යුරෝපීය වෙළඳපොළ තුළ ලංකා කුරුඳුවලට අදාළ වෙළඳපොළ කොටස ඉහළ නැංවීමේ අරමුණින්, EU PGI තත්ත්ව සහතිකය ලත් ලංකා කුරුඳු ප්රවර්ධනය කිරීම සඳහා මනාව සම්බන්ධීකරණ කරන ලද දැඩි ක්රියාකාරී සැලැස්මක් අවශ්ය වේ.
October, 21, 2022
රූපලාවන්ය උපකරණ, මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ඉදිරි සති දෙකක කාලය තුළ ඉවත් කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා පවසන්නේ අදාළ ක්ෂේත්රයන්හි රැකියාවන්වල නිරත පිරිස් වෙතින් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මෙම සීමා ඉවත් කිරීමට සිදු කිරීමට නියමිත බවයි.
පවතින විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ 1,465කට ආනයන සීමා පනවමින් ඉකුත් අගොස්තු මස 23 වැනි දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි. පසුව ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක් එම ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු බව අමාත්යවරයා සඳහන් කළේය.
අමාත්යවරයා මේ බව කියා සිටියේ අද (21) පෙරවරුවේ කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ ශ්රී ලංකා රේගුවට අයත් අංගනවල නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. මෙහි දී රේගු භාරයට ගෙන රාජසන්තක කරන ලද ආනයනය තහනම් භාණ්ඩ තොගයක් ද අමාත්යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. ජංගම දුරකතන, රූපලාවන්ය උපකරණ ඇතුළු භාණ්ඩ ඒ අතර වෙයි.
අමාත්යවරයා කියා සිටියේ විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන සාධාරණ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී මෙම ආනයන සීමා ක්රමානුකූලව ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා ඇතුළු රේගුවේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව එක් වූහ.
October, 21, 2022
Lanka Premier League 2022 ක්රිකට් තරඟාවලියේ නව ලෝගෝව එළිදක්වා තිබේ.
මෙම නව ලෝගෝව නිර්මාණය කිරීම සඳහා Lanka Premier League විසින් ක්රිකට් රසිකයින් වෙත ආරාධනා කර සිටි අතර එම ලෝගෝව නිර්මාණය කිරීමේ තරඟයේ ජයග්රාහකයා බවට මහනුවර ප්රදේශයේ 24 හැවිරිදි මියුලික වීරමන්ත්රී පත්විය.
ඒ සඳහා ඔහුට ශ්රී ලංකා ක්රිකට් වෙතින් ඩොලර් 1,000 ක මුදලක් පිරිනැමුණි.

October, 21, 2022
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්යම පාන්තික නිවාස ව්යාපෘති සහ මාර්ග ව්යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්රමාදයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරනු ලැබීය.
එමෙන්ම කොන්ත්රාත්කරුවන්, බැංකු සහ අනෙකුත් මූල්ය ආයතන සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
ඉදිකිරීම් ක්ෂේත්රය පවත්වාගෙන යාම සහ ක්ෂේත්රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් අනුගමනය කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරමින් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට ද යෝජනා කළේය.
ඉදිකිරීම් ක්ෂේත්රය නගා සිටුවීම වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙස ද ක්ෂේත්රයේ නියුතු පිරිස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
අමාත්ය බන්දුල ගුණවර්ධන, රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ජනාධිපති ෙල්කම් සමන් ඒකනායක, ජනාධිපති ජ්යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ ඉදිකිරීම් ක්ෂේත්රයට අයත් ආයතනවල ප්රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
October, 21, 2022
මෙරට ආර්ථිකය ප්රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගැනීමට සහ ආයෝජකයන් දිරිමත් කිරීම පිණිස විදුලි ගාස්තු කලාපයේ අනෙක් රටවලට සමගාමීව ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්යතාවය ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය විය.
එමෙන්ම විදුලිය සඳහා දවසේ අධික ඉල්ලුමක් ඇති කාලය සහ අඩු ඉල්ලුමක් ඇති කාලය අතර පවතින විශාල පරතරය අවම කළ යුතු බවටද මෙහිදී අදහස් පළ විය.
මේ කරුණු සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 19) රැස්වූ අවස්ථාවේදීය.
රටේ බලශක්ති අවශතාව සපුරා ගැනීම සඳහා විකල්ප බලශක්ති ප්රභවයන් භාවිත කිරීම පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳ සිදුකොට ඇති පර්යේෂණ ගණනාවක් පිළිබඳවද විද්වතුන් විසින් සිය අදහස් ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම මෙරට පොදු ප්රවාහනය ශක්තිමත් කිරීම සඳහා විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් වූ අතර ත්රීරෝද රථ සහ යතුරුපැදි සඳහා ඔක්ටේන් 87 ඉන්ධන භාවිත කිරීම පිළිබඳවද මෙහිදී අදහස් පළ විය.
වර්තමානයේ රටතුළ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්රය වඩා ඵලදායීව සහ කාර්යක්ෂමව දායක කරගැනීම පිළිබඳ ඉදිරිපත්වූ අදහස් සහ යෝජනා ජාතික සභාව වෙත ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කළහැකි බවත් මෙහිදී සභාපතිවරයා පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති මොරටුව විශ්ව විද්යාලයේ මහාචාර්ය අනුර විජේපාල, මොරටුව විශ්ව විද්යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ, මොරටුව විශ්ව විද්යාලයේ ආචාර්ය දිමන්ත ද සිල්වා යන මහත්වරු රටතුළ පවතින විදුලිබල හා බල ශක්ති අර්බුදය ගැන මෙන්ම ප්රවාහනය කාර්යක්ෂම කිරීම සඳහා ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.
මුදල් අමාත්යාංශය, මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය, ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළහ.
මෙම රැස්වීමට අමාත්ය කන්චන විජේසේකර, රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වජිර අබේවර්ධන සහ එම්. රාමේෂවරන් යන මහත්වරුද එක්ව සිටියහ.
October, 21, 2022
ශ්රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පූ සහ කාර්යාල සංකීරණය (Mireka Tower) විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) පෙරවරුවේ එක් වෙමිනි.
මහකොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබු නීති පද්ධතිය නැවත සක්රීය කර දැනට පවත්නා අකාර්යක්ෂම ක්රියාවලිය වෙනුවට වඩා ක්රියාශීලි නීති පද්ධතියක් හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද කීය.
මෙම හැව්ලොක් සිටි සංකීර්ණය එස්.පී. ටාඕ මහතාට සහ ඔහු ශ්රී ලංකාව වෙනුවෙන් සිදු කළ කැපකිරීමට උපහාරයක් ලෙස ඉදිවූවක්. මට පළමුවෙන්ම ටාඕ මහතා හමුවුනේ 1994 වසරේ මම අගමැති ධූරයට පත්වීමෙන් පසුවයි. එවකට ඔහු ලෝක වෙළෙඳ මධ්යස්ථානයේ ඉදිකිරීම් පටන් අරගෙන තිබුණා. හිටපු ජනාධිපති ආර්. ප්රේමදාස මහතා මිය යාමෙන් පසු සිරිසේන කුරේ මහතා ඔහුව මා හමුවීමට කැඳවාගෙන ආවා. ඊට පසුව ටාඕ මහත්මයා අවස්ථා කිහිපයකදී මට මුණ ගැසුණා. ඔහු පමණක් නොවෙයි ඔහුගේ දියණිය මිල්රෙඩ් ටාඕ මහත්මියත් මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා.
ඔවුන්ගේ එම කැපවීම ඉතා විශිෂ්ටයි. මොකද එල්.ටී.ටී.ඊ පහරදීම් සිදුවන විට ඔවුන් ලෝක වෙළෙද මධ්යස්ථාන ව්යාපෘතියෙන් ඉවත්වෙයි කියා බොහෝ දෙනෙක් කල්පනා කළා. ඒ පිළිබඳ මම ටාඕ මහත්මයාගෙන් විමසීමක් කළ අවස්ථාවේ දිගටම ඔහු ලංකාවේ රැදී සිටින බව ප්රකාශ කළා. ඒ නිසා ශ්රී ලංකාවේ අනාගතය පිළිබඳ ඔහු එදා තැබූ එම විශ්වාසය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.
2003 වසරේදී නැවතත් මම අගමැති ධූරයට පත්වීමෙන් පසු එස්.පී. ටාඕ මහත්මයා මට මුණ ගැසුණා. නව ව්යාපෘතියක් ආරම්භ කිරීමට ඔහුට අවශ්යව තිබුණා. වැල්ලවත්ත, හැව්ලොක් ටවුමේ රෙදි මෝල පැවති ඉඩමට යාබදව එවකට අතහැර දමා තිබූ ඉඩම සම්බන්ධව අලුත් ව්යාපෘතියක් ඉදිරිපත් වුණා. සමහර අය කිව්වා ඇයි ඒක දෙන්නේ, කාර්මික ව්යාපාරයක් එතන ආරම්භ කරන්න පුළුවන්නේ කියලා. එතකොට මම කිව්වේ හැව්ලොක් ටවුම ආරම්භ වුණේ නේවාසික ප්රදේශයක් ලෙස, ඒ නිසා අපි මෙම ව්යාපෘතිය පිළිබඳ අවධානය යොමු කරමු, මෙය හැව්ලොක් නගරයේ සංවර්ධනයේ යළි ආරම්භයක් වෙයි කියලා.
මේ ප්රදේශය ගැන කුඩා කාලයේ සිට මම දැනගෙන සිටියා. වැල්ලවත්ත රෙදිමෝල ක්රියාත්මක වන කාලයත් මට මතකයි. ඒ කැප්ටන් මහතා එනම් සෝලි කැප්ටන්ගේ පියා රෙදිමෝල් භාරව සිටින කාලයේ. ඇතැම් විට අපි එතනට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු එම කර්මාන්ත ශාලා බලන්න ගොස් තිබෙනවා.
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කොළඹ දකුණ මන්ත්රීවරයාව සිටියදී 1975 වසරේ වැල්ලවත්ත උතුර මැතිවරණ කොට්ඨාසය මට භාරගන්නා ලෙස ප්රකාශ කළා. ඒ වන විට මේ ස්ථානය මට හුරු පුරුදු තැනක් බවට පත්ව තිබුණා.
මම රැස්වීම් ස්ථානය ලෙස භාවිතා කළේ මෙම සංකීර්ණයේ අනෙක් කෙළවරේ තිබෙන එම කර්මාන්තශාලාවේ සේවක නේවාසිකාගාර සංකීර්ණයයි. ඒ නිසා මොන දේ තිබුණත් සේවකයෝ රැක බලා ගන්නා ලෙස මම එස්.පී. ටාඕ මහත්මයාගෙන් ඉල්ලීමක් කළා. එතුමා ඒ ඉල්ලීම ඉටු කළා.
මම කුඩා කළ සිට දැනගෙන සිටි ප්රදේශය වගේම දේශපාලනය ආරම්භයේ පළමුව නියෝජනය කළ කොට්ඨාසයත් මෙය වීම නිසා අද මම ඉතාම සතුටු වෙනවා, අනතුරුව මම බියගම ආසනය භාරගෙන එහි නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කළා. ඉන් පසුව මම කල්පනා කළා ඇයි හැව්ලොක් ටවුමත් තවත් දියුණු නොකරන්නේ කියලා. මම හිතුවා මේ සඳහා හොඳම පුද්ගලයා ටාඕ මහත්මයා බව. එම උත්සාහයේ ප්රතිඵලයක් තමයි අද ඔබ මේ දකින්නේ. බොහෝ දෙනෙක් මෙම කටයුත්තට දායක වුණා. රෝහිණි නානායක්කාර මහත්මිය මෙම ව්යාපෘතියට මුල සිටම දායක වුණා. ඒ වගේම අජිත් ජයරත්න මහත්මයා සහ තවත් බොහෝ අය මෙයට දායක වුණා. ඒ අයට මම නැවතත් ස්තූතිවන්ත වෙනවා. එස්.පී. ටාඕ මහත්මයා මෙම ස්ථානයේ නොමැතිවීම පිළිබඳ මම කණගාටු වෙනවා. ඔහු වසර 105 ක් ජිවත්ව සිට අප අතරින් සමු ගත්තා. මෙය ඔහුට උපහාරයක් විය යුතුයි.
මෙම ව්යාපෘතිය දියත් සමාගමෙන් මම තවත් ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා. එය මිල්රේඩ් ආයෝජනයක් විය යුතුයි. මොකද මේක ඔබගේ ආයෝජනයක් නොවෙයි, මෙය එස්.පී. ටාඕ මහත්මයාගේ ආයෝජනයක්. ඒ නිසා දැන් අපි මිල්රෙඩ්ගේ ආයෝජනයක් සිදු කළ යුතුයි.
විදේශ ණය වෙනුවට අපි විදේශීය ආයෝජන පිළිබඳ අවධානයක් යොමු කළ යුතුයි. අපනයන ආර්ථිකයක් ඇති කිරීම සදහා විදේශීය ආයෝජන ඉහළ නැංවිය යුතුයි. විදේශීය ආයෝජන වැඩි කිරීමට නම් ජාත්යන්තර වෙත අවධානය යොමු කරන ආර්ථික ක්රමයක් පැවතිය යුතුයි. දේශීයව අවධානය යොමු කරන ආර්ථිකයකින් පමණක් සෑහීමකට පත්විය නොහැකියි. දැන් ආර්ථික ස්ථායිතා ක්රියාවලිය සිදු වෙනවා. අපි මේ වන විට ජපානය, චීනය, ඉන්දියාව වැනි ණය දෙන රටවල් සමඟ ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා.
නැවතත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයා බලමින් සිටිනවා. ආයෝජනය සම්බන්ධයෙන් සංකීර්ණ රාජ්ය ආයතන ගණනාවක් තිබීම අපට තිබෙන ප්රධාන ගැටලුවක් බව කිවයුතුයි.
ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය, පෝට් සිටි වැනි ආයතනවලින් ආයෝජන සිදු කළ යුතු වෙනවා. වසර දහයකට පමණ පසුවයි මෙම ආයෝජන සිදු කිරීමට හැකියාව තිබෙන්නේ.
1977දී මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කළා. එම කොමිසම මගින් ඉතා කාර්යක්ෂමව තීරණ ගනු ලැබුවා. ඒ අනුව වසර දහයක් ඇතුළත කටුනායක, බිගයම, කොග්ගල සහ සීතාවක ආයෝජන කලාප හතරක වැඩ නිම කිරීමට අපිට හැකියාව ලැබුණා.
හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහත්මයට අවශ්ය වුණා නුවර ආයෝජන කලාපයක් ආරම්භ කරන්න. ඉන් පසුව කිසිදු ආයෝජන කලාපයක් මෙරට බිහි වුණේ නැහැ, සම්පූර්ණ යාන්ත්රණය කඩා වැටුණා.
සංචාරක මණ්ඩලය දෙස බලන විට සියලු දෙනා විවිධ වැඩසටහන්, ප්රදර්ශන සඳහා සහභාගී වෙනවා. එයින් සියලුදෙනා හොඳ නිවාඩුවක් ගත කරනවා. මේවා ගැන අවධානය යොමු කරලා අපි පළමුවෙන්ම කළේ කමිටුවක් පත් කිරීමයි. මෙමගින් ආයෝජන සඳහා සම්පූර්ණ ආකෘතිය හා බලාධිකාරිය සකස් කෙරෙනවා. ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව එකට සම්බන්ධ කර ආයෝජන සඳහා වන එක් ආයතනයක් ලෙස කටයුතු කිරීම මෙමඟින් සිදු වෙනවා.
කටුනායක හා බියගම ආයෝජන කලාප දකුණු ආසියාවේ හොඳම ආයෝජන කලාප ලෙස ඉදිරියට යනවා. ඒවා වෙන වෙනම පවත්වාගෙන යාමට කටයුතු කරන අතරම අක්කර 1000ක ආයෝජන කලාපයක් අපි බිංගිරියේ ආරම්භ කරනවා. ඉන් අනතුරුව එය හම්බන්තොට හා ත්රීකුණාමලයට ව්යාප්ත කිරිමට බලාපොරොත්තු වෙනවා. වෙනම ආයතනයක් මඟින් එහි පරිපාලන කටයුතු සිදු කිරිමට අපි සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන් කාර්යක්ෂම කළ හැකි අයුරින් නීති සකස් විය යුතුයි. මහ කොළඹ ආර්ථික කොමිසමට අනුව නීති සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආයෝජනයක් ලැබුණු පසු ඒ පිළිබඳ සලකා බලා තීන්දු තීරණ ගැනීමට මෙම ආයතනයට සති දෙකක් හිමි වෙනවා. එය තමයි තිබෙන එකම විසඳුම. මානව සම්පත්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම, යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සොයා බැලීම ඉන් අනතුරුව සිදු කළයුතුයි. මෙවන් වැඩපිළිවෙළක් තිබෙනවා නම් වසර හතළිහක බදු නිදහස ලබා දෙන්න අවශ්ය නැහැ.
ආයෝජන කඩිනමින් සිදු කළ හැකි අයුරින් ක්රියාශීලී කාර්යංශයක් හා යටිතල පහසුකම් සැපයීම සිදු කළ යුතුයි. ඒ අනුව අපි මෙම ආයෝජන කලාප පිළිබඳ අවධානය යොමු කරනවා.
මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ කටයුතු කාර්යක්ෂම කර ගැනීමට හැකි වුණේ හොඳ යාන්ත්රණයක් තිබු නිසයි. ඒ නිසා අපි ආයෝජන සඳහා නව යාන්ත්රණයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. එහිදී නීති වෙනස් විය හැකියි. එවිට රට පාවා දෙන බවට විවිධ කණ්ඩායම් සටන් පාඨ ඉදිරිපත් කළ හැකියි. නමුත් අපට වේගවත් ආර්ථක වර්ධනයක් අවශ්යයි. මොකද අපේ ආර්ථික වර්ධනය විශාල ලෙස පහත වැටී තිබෙනවා.
ශ්රී ලංකාව කියන්නේ පාපන්දුවක් නම් ඔබ පහර දෙන විට එය පහළට වැටෙනවා. ඒ වගේම ඉහළ යනවා. එයයි සිදු විය යුත්තේ. සමහර අය අපව අතහැර යනවා. අපට එය නැවැත්විය නොහැකියි. අපි නවකයින් පුහුණු කරමු. අපි අධ්යාපනය නව්යකරණය කරනවා. ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ කටයුතු කරන අතර තුර අධ්යාපනය නවීකරණයට කටයුතු කර තිබෙනවා.ඒ වගේම ආර්ථිකය නවීකරණය පිළිබඳවත්, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත නවීකරණය පිළිබඳවත් අපි අවධානය යොමු කර තිබෙනවා.
ලබන වසරේ මුල් කාලයේදී මෙම නීති සම්පාදනය කර ක්රියාත්මක කළ යුතුයි. ඒ සඳහා වෙනත් ක්රියාමාර්ග ගැනීමටත් අපට සිදු වේවි. අප මේ සියලු කාර්යයන් කරන්නේ ශ්රී ලංකාව ආයෝජනයට මිත්ර රටක් බවට පත් කිරීම සඳහා. ආයෝජකයින් මෙරටට පැමිණෙන විට බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා උදා වේවි. ඒ සමග ජනතාවගේ ආදායම් මාර්ග යහපත් වී රටේ ආදායම ද ඉහළ යනවා. එවිට අපි දැනට අනුගමනය කරමින් සිටින විදේශ ණය ගැනීම් විෂම චක්රයෙන් ඉවත් විමට අපිට හැකියාව තිබෙනවා. දෙවන වරටත් අපට ණය බරින් පීඩා විදිය නොහැකියි. එම නිසා ආයෝජන ප්රවර්ධනය තුළින් මෙම තත්ත්වයෙන් අත්මිදීමට අපි සැලසුම් සහගතව කටයුතු කරමු.
එස්. පී ටාඕ මහත්මයාට ශ්රී ලංකාව පිළිබඳ විශ්වාසයක් හා හිතෛෂි භාවයක් තිබුණා. ඔහු විවිධ අධ්යයනයන් සිදු කර චීනයටත්, ඉන්දියාවටත් වඩා හොඳ ස්ථානයක් ලෙස ශ්රී ලංකාව හඳුනා ගනිමින් මෙම ව්යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා අපි මේ කටයුතු ඉදිරියට කරගෙන යමු.
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සහ හැව්ලොක් සිටි ලිමිටඩ් ආයතනයේ සභාපති අජිත් ජයරත්න, අධ්යක්ෂ මිල්රෙඩ් ටාඕ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
October, 20, 2022
සමස්ත සෙරමික් කර්මාන්තය ආශ්රිතව සම්මුතියක් ගොඩනැංවීම සඳහා වන ශ්රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය (SLCGC) විසින් මෙරට නාන කාමර උපාංග ක්ෂේත්රයේ ගුණාත්මකභාවය, දැරිය හැකි මිල සහ විශ්වාසය ගොඩනැංවීම වෙනුවෙන් විද්වත් සාකච්ඡාවක් සංවිධානය කෙරිණි. 2022 ඔක්තෝම්බර් මස 19 වන දින කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුණු මෙම සැසියට විවිධ රාජ්ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරන නිලධාරීහු, නාන කාමර උපාංග නිෂ්පාදකයෝ සහ සම්භාවනීය සාකච්ඡා මණ්ඩල සාමාජිකයන් රැසක් සහභාගි වූහ.
මෙම සුවිශේෂී සැසියේ ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් කර්මාන්ත අමාත්ය ආචාර්ය රමේෂ් පතිරණ මහතා සහභාගි වූ අතර, කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර, ශ්රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති රෝහණ විජේසේකර, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම, ලංකා මිනරල් ඇන්ඩ් කෙමිකල් (පෞද්ගලික) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මානවචන්ද්ර බෝපිටිය, රෝයල් සෙරමික්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අරවින්ද පෙරේරා සහ RSL සමූහ ව්යාපාරයේ සභාපති ආචාර්ය නිශාන්ත නානායක්කාර යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
සාකච්ඡාවේ දී ශ්රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය විසින් දේශීය නාන කාමර උපාංග ක්ෂේත්රය පිළිබඳව අදහස් දක්වමින් අවධාරණය කළේ බහුතරයක් ශ්රී ලාංකිකයන් තවමත් විශ්වාස කරන්නේ රට තුළ පවතින්නේ නාන කාමර උපාංග ආශ්රිත සන්නාම 1 ක් හෝ 2 ක් පමණක් වන බවයි. නමුදු වර්තමානය වන විට මෙම ක්ෂේත්රය ආශ්රිතව සුළු, මධ්යම හා මහා පරිමාණ නාන කාමර උපාංග නිෂ්පාදකයින් 8කට වැඩි සංඛ්යාවක් සේවා සපයන බවත්, ඔවුන්හට විවිධ මිල ගණන්වලට මෙන් ම විවිධ තත්ත්වයන්ට අනුකූලව මෙරට වෙළෙඳපොළ වෙත නිෂ්පාදන සැපයීමේ හැකියාව පවතින බවත් එහි දී සඳහන් කෙරිණි.
මෙම සැසියේ දී දේශීය නානකාමර උපාංග නිෂ්පාදකයින් වන Royal Ceramics Lanka PLC, RSL Ceramics (Pvt) Ltd., Mulatiyaana Ceramics (Pvt) Ltd., Nilwala Ceramics Village (Pvt) Ltd., Otto Bath ware, Hega Tile (Pvt) Ltd., Embilipitiya Ceramics (Ptd) Ltd., Novel Ceramics (Pvt) Ltd., සහ Dilax Chemical (Pvt) Ltd. යන ආයතන වෙත අවධානය යොමු කෙරුණු අතර, සැසිවාරය අතරතුර දී ඉහත සඳහන් ඇතැම් නිෂ්පාදකයින්ගේ නිපැයුම්වල විවිධ ප්රමිතීන් හා මිල පරාසයන් දැක්වෙන නිෂ්පාදන ප්රදර්ශනයක් ද පැවැත්විණි.
COVID-19 වසංගතය මෙන් ම වර්තමාන ආර්ථික අර්බුදය නිසා දේශීය නාන කාමර උපාංග නිෂ්පාදන ක්ෂේත්රය වෙත එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද මෙම සැසියේ දී සාකච්ඡා කෙරුණු අතර, 2020 වසරේ මුල් භාගයේ දී, නාන කාමර උපාංග සඳහා රට තුළ පැවති ඉල්ලුම සපුරාලීමට ශ්රී ලංකාවට හැකියාවක් නොතිබුණු බවත්, ආනයන සීමා කිරීම නිසා මෙම කර්මාන්තයට ද විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් එහි දී අනාවරණය කෙරිණි.
නාන කාමර උපාංග නිෂ්පාදන ක්ෂේත්රය ආශ්රිතව නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම පිළිබඳව රජය විසින් සිදුකරන ලද ඉල්ලීම් හේතුවෙන් කර්මාන්තශාලා ස්ථාපනය කිරීම සහ රුපියල් බිලියනයකට අධික ආයෝජන හරහා මෙම කර්මාන්ත ක්ෂේත්රය පුළුල් කිරීමට කටයුතු කෙරිණි. මෙසේ නව කර්මාන්තශාලා රාශියක් ස්ථාපනය කිරීම හරහා සමස්ත නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම හේතුවෙන් වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළ අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වීමට හැකියාව ලැබුණු බව ද සඳහන් කළ යුතු ම කරුණකි. එමෙන් ම නාන කාමර උපාංග ක්ෂේත්රයට අවශ්ය අමුද්රව්යවලින් 80% ක් දේශීයව සපයා ගත හැකි බව ද ශ්රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය විසින් තහවුරු කෙරුණු අතර, එමගින් අමුද්රව්ය ආනයනය සැලකිය යුතු මට්ටමකින් අවම කරගත හැකි බව ද සහතික කෙරිණි.
Video Story