• Ada Derana BIZ Sinhala
  • FITIS
  • MASS
  • National Fuel Pass
  • sri lanka

ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් තාක්‍ෂණික ප‍්‍රගතිය ප‍්‍රත්‍යක්‍ෂ කරමින් ජාතික ඉන්ධන බලපත‍්‍රය ඉහළ ජනප‍්‍රියතාවක් දිනා ගනී – FITIS

September, 29, 2022

දැවැන්ත අර්බුදයක් හමුවේ වුවද එය අභිබවා යන තරමේ විපුල වර්ධනීය අවස්ථා උදා වන්නේය යන කියමනට කදිම සාක්‍ෂියක් ගත වූ මාස දෙක තුළ ශ‍්‍රී ලංකාව කෙරෙන් දැකිය හැකි විය. ජූලි මාසයේදී උද්ගත වූ බරපතල ඉන්ධන අර්බුදයෙන් මෙරට කෙමෙන් කෙමෙන් මිදෙමින් පවතින මොහොතක බොහෝ දෙනා එකී තත්ත්වයට යම් සාධනීය විසඳුමක් ලබා දීමේ ගෞරවය ඉතාම කඩිනමින් ජාතික ඉන්ධන බලපත‍්‍ර QR කේත පද්ධතිය හඳුන්වා දීම වෙත පිරිනමන තත්ත්වයක් දැකිය හැක.

මෙරට ඩිජිටල් පරිණතභාවය හා ප‍්‍රගමනය ඉහළ නැංවීම උදෙසා ගරු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මග පෙන්වීම යටතේ බලශක්ති අමාත්‍යාංශය විසින් අනුගමනය කරන ලද ඉතාම සුවිශේෂී පියවරක ප‍්‍රතිඵලයක් වශයෙන් රජය විසින් 2022 අගෝස්තු 01 දින රජය විසින් සියලූම මෝටර් වාහන සඳහා ඉන්ධන සලාක ලබා දීම උදෙසා මෙකී QRකේත ක‍්‍රමය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කරන ලදි. මින් පෙර මෙම බරපතල අභියෝගයට පිළියම් වශයෙන් සිදු කරන ලද ඇතැම් අසාර්ථක ක‍්‍රියා පටිපාටිද ඒ සමගින් අවසන් විය. සැප්තැම්බර් 19 දින වන විට දිවයින පුරා මෙරට ඉන්ධන පාරිභෝගිකයන් 6,272,385 දෙනෙකු මෙම ක‍්‍රමවේදය යටතේ ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලියාපදිංචි වී සිටි අතර එය ආරම්භ කිරීමෙන් පළමු සති 7ක කාල සීමාව තුළ ශ‍්‍රී ලංකාවේ නන් දෙසින් ගනුදෙනු 34,444,886ක් සිදු කර ඇති බව වාර්තා වේ. මෙය, අර්බුද විසඳීමට ඇති හැකියාව පිළිබඳව පමණක් නොව නවීන තාක්‍ෂණික විසඳුම් මගින් උදා කළ හැකි ප‍්‍රායෝගිකභාවය, කාර්යක්‍ෂමතාව සහ පහසුදායීභාවය පිළිබඳවද කදිම නිදසුන් සපයන සාධනීය පියවරකි.

FITIS සන්නිවේදන සේවා සැපයුම්කරු වන ඩයලොග් සමාගම හා එක්ව මෙම ජාතික ඉන්ධන බලපත‍්‍රය අති සාර්ථකව ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) ඩිජිටල් සේවා මෙහෙවරේ හවුල්කරුවෙකුු වන MillenniumIT ESP සමාගම වෙතද මෙහි ගෞරවය හිමි වේ.

ශ‍්‍රී ලංකාව තුළ ස්මාට් ජංගම දුරකථන භාවිතා කරන්නත් මිලියන 9ක් සිටින අතර ඉන් මිලියන 7.9ක් සමාජ මාධ්‍ය භාවිතා කරති. මේ දක්වා මිලියන 6ක පිරිසක් QR කෝඞ් ඉන්ධන බෙදා හැරීමේ ක‍්‍රමය සමග ලියාපදිංචි වී සිටිති.මෙම ක‍්‍රමවේදයෙහි සාර්ථකත්වය දින දින ඉහළ ගිය ඉන්ධන පෝළිම් ක‍්‍රම ක‍්‍රමයෙන් කෙටි වීමෙන් මනාව පිළිබිඹු වන අතරම ශීඝ‍්‍රයෙන් ඉදිරියට ඇදෙන ගෝලීය ඩිජිටල් පරිසරයක් තුළ ජාතික තාක්‍ෂණික සාක්‍ෂරතාව තවදුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පිළිබඳවද කදිම සාක්‍ෂියකි. මින් පෙර QR කේත පාදක කරගත් විවිධ ක‍්‍රමවේද භාවිත කිරීමේ පසුබිමක් පැවතියද (නිදසුනක් ලෙස කොවිඞ්-19 වසංගතයේ ඉහළ යාම හමුවේ කොවිඞ් ආශ‍්‍රිතයන් සොයා ගැනීමේ ජාතික ප‍්‍රයත්න සහ LankaQR වැනි විසඳුම් ආශ‍්‍රිතව) මෙරට මෙතෙක් අතිශයින්ම සාර්ථක ලෙස ක‍්‍රියාත්මක කරන ලද ක‍්‍රමවේදය මෙය වේ.

ආසියා-පැසිෆික් කලාපයේ නැගී එන අනෙකුත් වෙළෙඳපොලවල් හා සංසන්දනය කිරීමේදී ශ‍්‍රී ලංකාව ජාලගත සබැඳියාවෙහි සවිමත්භාවය, ඩිජිටල් අලෙවිකරණ කටයුතු, ඩිජිටල් ක‍්‍රියාදාම වෙනුවෙන් සිදු කෙරෙන ආයෝජනයන් මෙන්ම වෙනස් වන තත්ත්වයන්ට ඉක්මනින් අනුගත වීමේ හැකියාව ආශ‍්‍රිත ප‍්‍රගමනය මනාව ප‍්‍රකට කළ රටක් වේ. ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල වෙළෙඳපොල ඩිජිටල් පරිවර්තන අනුපාදය පිළිවෙළින් 29% හා 28% ලෙස වාර්තා වී ඇති නමුදු ශ‍්‍රී ලංකාවේ එකී ප‍්‍රතිශතය රටෙහි සමස්ථ ජනගහනයෙන් 36%ක් ලෙස වාර්තා වීම සුවිශේෂී කරුණකි. විවිධ කර්මාන්ත නියෝජනය කරන ශ‍්‍රී ලාංකික සමාගම් 50 ක් ආශ‍්‍රිතව සිදු කරන ලද විශ්ලේෂණයක් පදනම් කරගෙන 2018 වසරේදී ‘‘ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ධාරිතාව ඉහළ නැංවීම’’ යන තේමාව යටත් McKinsey ආයතනය විසින් පළ කරන ලද වාර්තාවකට අනුව, සමස්ථයක් ලෙස ගත් කළ මෙරට ස්ථාන 35 ක් ආශ‍්‍රිත ඩිජිටල් ප‍්‍රවේශ අනුපාතය එම අගයයෙහි ගෝලීය මධ්‍යන්‍යය වන 33 ට වඩා තරමක් ඉහළ මට්ටමක පවතින බව සොයා ගැනුණි. කෙසේ වෙතත්, ගෝලීය පරිසරය තුළ අන් රටවල් සමග කරට කර නැගී සිටීමේ හැකියාවක් ශ‍්‍රී ලංකාව සතුව පැවතියද වඩා සංවර්ධිත රටවල් හා සැසඳීමේදී මෙරට ඩිජිටල් තාක්‍ෂණික ශක්‍යතාව තවමත් පවතින්නේ පහළ මට්ටමකය.

මෙම ඩිජිටල් ඉදිරි ගමන සඳහා වන තවත් සාක්‍ෂියක් වන්නේ ගත වූ වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාව ඉතාම ඉක්මනින් භෞතික මුදල් භාවිතයෙන් තොර අන්තර්ජාලය පාදක ගෙවීම් හා ගනුදෙනු සේවා වෙත යොමු වීමයි. නිදසුනක් වශයෙන්, ගත වූ මාස 12 ක කාලය තුළ පමණක් JustPay (FITIS හි ඩිජිටල් සේවා හවුල්කාරත්වයේ සාමාජිකයෙකු වන LankaPay සමාගම විසින් ලබා දෙන) සේවාව හරහා ආසන්න වශයෙන් අන්තර්ජාලය පාදක ගනුදෙනු මිලියන 13 ක් පමණ සිදු කර ඇති බව වාර්තා වන අතර එහි සුවිශේෂී කාරණය වන්නේ රු. බිලියන 55 ක තරම් සුවිශාල ගනුදෙනු වටිනාකමක් ඒ ඔස්සේ සිදුව තිබීමයි. FITIS හි ඩිජිටල් සේවා හවුල්කාරත්වයේ තවත් සාමාජිකයන් වන WEBXPAY, Orel Pay, PayHere, HelaPay, FriMi, IPay සහ PayMaster යන දේශීය වශයෙන් ක‍්‍රියාත්මක වන අනෙකුත් සේවාවන් මගින්ද ඩතාම පහසුවෙන්, නම්‍යශීලීව හා කඩිනමින් මුදල් ගෙවීම් හා ලබා ගැනීමේ පහසුකම් සලසමින් ශ‍්‍රී ලාංකිකයන් වෙත සැලකිය යුතු මට්ටමේ පහසුදායී අත්දැකීමක් තිළිණ කර ඇත. එමෙන්ම, ඡුසජනපැ වැනි ප‍්‍රවාහන පහසුකම් සහ අවශ්‍ය ආහාර හා අනෙකුත් බඩු බාහිරාදිය මිලදී ගැනීම ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ සිදු කිරීමට පහසුකම් සම්පාදනය කරන ජංගම යෙදුම්ද ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් පෙර සූදානම වෙනුවෙන් මහත් දායකත්වයක් ලබා දී ඇති බව නොරහසකි.

FITIS ඩිජිටල් සේවා පිළිබඳ උප සභාපති ඕමාර් සහීබ් මහතා මේ සම්බන්ධයෙන් අවධාරණය කළේ ‘අපගේ අනාගත පරපුර වෙනුවෙන් වඩා සඵලදායී රටක් බිහි කර ගැනීම උදෙසා ඍජුවම දායක විය හැකි ඉතාම කාර්යක්‍ෂම කටයුතු වෙනුවෙන් අප වඩ වඩාත් සූදානමින් තබමින් වටිනා කාලය ඉතිරි කිරීමට ප‍්‍රයෝජනවත් වන, දේශීය වශයෙන් නිර්මාණය කර ඇති තවත් තාක්‍ෂණික සේවාවන් රැසක්ම දක්නට ලැබෙන’ බවයි.

ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ පෙර ගමනේ යෙදීමේදී ශ‍්‍රී ලාංකික පුරවැසියන් සෑම විටම පාහේ ප‍්‍රකට කරන ශක්‍යතාව ඉදිරියේදී තව තවත් වටිනා ඩිජිටල් තාක්‍ෂණික ප‍්‍රමුඛතා වෙනුවෙන් යොමු වීමේ අවශ්‍යතාව උදෙසා පසුබිමක් විවර කරන මට්ටමට දියුණු කරවීමේ අවශ්‍යතාවක්ද පවතී. කෙසේ වෙතත්, ඩිජිටල් පුරවැසිභාවයේ අත්දැකීම ප‍්‍රවර්ධනය කිරීම උදෙසා හුදෙක් තාක්‍ෂණික සේවා අවකාශ නිර්මාණය කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවද කිව යුතුය. මේ නිසා, රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම පුරාවට නවෝත්පාදනීය ප‍්‍රවේශ හා විසඳුම් හඹා යාම, සේවා සුරක්‍ෂිතකරණ සේවා අවකාශ බිහි කිරීම මෙන්ම ඩිජිටල් තාක්‍ෂණික විසඳුම් සඳහා ප‍්‍රමුඛතාව ලබා දීමේ ප‍්‍රයත්නය දිරි ගැන්වීම සඳහාද ජාතික මට්ටමේ ක‍්‍රියාදාම දියත් කිරීමද අවශ්‍ය වේ.

ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත සම්මේලනය, ශ‍්‍රී ලංකාව තුළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ කර්මාන්තයක් දියුණු කිරීමේ කාලීන අවශ්‍යතාව පෙරමුණට ගැනීමේ අරමුණින් 1996 වසරේදී පිහිටුවන ලදි. මේ වන විට FITIS මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ කර්මාන්තයේ පෙරමුණේම සිටින ආයතනය වන අතර, දෘඩාංග අංශය, මෘදුකාංග අංශය, අධ්‍යාපනික පුහුණු අංශය, සන්නිවේදන අංශය, ඩිජිටල් සේවා අංශය, වෘත්තීය අංශය, කාර්යාල ස්වයංක‍්‍රීයකරණ අංශය සහ වෘත්තීය උපදේශන අංශය යනාදී සියලූම ප‍්‍රධාන කර්මාන්ත අංශ එමගින් ආවරණය කෙරේ.

 

ඡායාරූපය - චන්න ද සිල්වා, LankaClear / President Digital Services Chapter - FITIS හි සාමාන්‍යාධිකාරී සහ ප‍්‍රධාන විධායක නිලධාරී
ඕමාර් සහීබ්, WebxPay (Pvt) Ltd / Vice President Digital Services Chapter - FITIS හි සමාරම්භක සහ ප‍්‍රධාන විධායක නිලධාරී

  • Ada Derana BIZ Sinhala
  • Helitours
  • sri lanka
  • Sri Lankan Aviation Training School

ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල Helitours සඳහා වූ පුහුණුව සාර්ථකව අවසන් කරයි

September, 29, 2022

ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාණිජ ගුවන් අංශය වන Helitours හි තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක කාර්ය මණ්ඩලය සඳහා 6, 10 සහ 11 කාණ්ඩවලට අයත් අන්තරායකර භාණ්ඩ රෙගුලාසි පිළිබඳ පුහුණුව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලේ අන්තරායකර භාණ්ඩ රෙගුලාසි පිළිබඳ පුහුණු වැඩසටහන සහ එහි උපදේශක මණ්ඩලය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සහතික කර ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල ගුවන් සේවා පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන අතර, මැදපෙරදිග, පකිස්ථානය සහ මාලදිවයිනේ සිසුන් නිතිපතා පැමිණෙන කලාපයේ ඉහළම ගුවන් සේවා ඇකඩමියක් ලෙස ද සැලකේ.

ගුවන් සේවා කර්මාන්තයේ දී ආරක්ෂාව ඉතා වැදගත් වේ. එබැවින් අන්තරායකර භාණ්ඩ රෙගුලාසි පිළිබඳ පුහුණුව අනිවාර්ය වන අතර, අනතුරුදායක ගුවන් භාණ්ඩ කාර්යක්ෂමව පිළිගැනීමට, හැසිරවීමට සහ සැකසීමට අවශ්‍ය දැනුමෙන් ගුවන් සේවා වෘත්තිකයන් සන්නද්ධ කිරීමට මෙමගින් කටයුතු කරයි. වැඩසටහනේ ආවරණය වන මාතෘකා අතරට නීතිමය අවශ්‍යතා, මෙහෙයුම් සීමාවන් ,  ඇසුරුම් උපදෙස්, ලේබල් කිරීම; ලියකියවිලි සහ මගීන්,ගුවන් යානා අන්තරායක භාණ්ඩ  භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම  සහ සහතික කිරීම ඇතුලත් විය.

මෙම වැඩසටහන අවසන් කිරීමෙන් පසු හෙලිටුවර්ස් හි විංග් කමාන්ඩර් ගැමුණු මහානාම මහතා සිය කෘතඥතාව පළ කරමින් මෙසේ පැවසීය “ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලේ  සුදුසුකම් ලත් පුහුණුකරුවන් විසින් පවත්වන ලද මෙම  වැඩසටහන විශිෂ්ට අත්දැකීමක්. මෙහිදී අපගේ කාර්ය මණ්ඩලයට ලැබුණු දැනුම දිගුකාලීනව Helitours හි නියාමන අවශ්‍යතා සපුරාලීම සහ ගුණාත්මක ශ්‍රම බලකායක් ස්ථාපිත කිරීම සහතික කිරීම සඳහා උපකාරී වනු ඇත. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Helitours යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාකරුවෙකු වන අතර රට තුළ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. මෙම සමාගම මගීන්ට හෙලිකොප්ටර් සහ අනෙකුත් ගුවන් යානා ප්‍රවාහන පහසුකම් සපයයි. එහි ගුවන් යානා ඇණිය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රමිතීන්ට අනුකූලව සුදුසුකම් ලත් ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවන් විසින් මෙහෙයවනු ලැබේ.

Helitours සඳහා වූ පුහුණු වැඩසටහන සඳහා පහසුකම් සැපයූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී, ගුවන් මැදිරි ආරක්ෂණ උපදේශක රේනියර් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කැබින් ආරක්‍ෂිත පුහුණු අංශය ජාත්‍යන්තරව වාණිජ ගුවන් සේවා ගණනාවක මැදිරි කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා පුහුණු ලබා දී තියෙනවා. කෙසේ වෙතත්, ගුණාත්මක නිෂ්පාදනයක් ස්ථාපිත කිරීම සඳහා Helitours සඳහා සහාය වීම අපගේ ආරක්ෂක හමුදාවන්ගේ සමාජ වගකීමක්. ”  යනුවෙන් හෙතෙම පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණූ පාසලේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා ප්‍රකාශ කලේ Helitours හි පුහුණු හවුල්කරුවෙකු වීම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඔවුන්ගේ මානව සම්පත් පුහුණු අවශ්‍යතා සඳහා සහය වීම ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලට විශාල ගෞරවයක් බවයි. ඉදිරි වසරවලදී ආයතන දෙක අතර සහජීවන සබඳතාව සහ දේශීය ගුවන් සේවා අංශයේ සේවයේ නියුතු ශ්‍රම බලකායේ නිපුණතාවය වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

  • Ada Derana BIZ Sinhala
  • donation
  • HOPE worldwide
  • sri lanka
  • Washington

HOPE worldwide ශ්‍රී ලංකාවට ද්‍රව්‍යමය වශයෙන් පරිත්‍යාගයක් සිදුකරයි

September, 29, 2022

තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ඇ. ඩොලර් 2,740,498.32 (රුපියල් 1,017,958,100.964) ක් වටිනා හදිසි ඖෂධ ද්‍රව්‍ය, ශ්‍රී ලංකාවේ ජනතාවට වෙත පරිත්‍යාග කිරීමට පහසුකම් සලසා ඇත.

ලොව පුරා සිටින දුප්පතුන්, රෝගීන් සහ දුක්විඳින අය වෙනුවෙන් සේවය කිරීමේ අරමුණින්, HOPE Worldwide 1991 දී පිහිටුවන ලදී. HOPE Worldwide, අවශ්‍යතා ඇති රටවල් සමඟ එකතුවී, ස්වේච්ඡා සේවකයන් සන්නද්ධ කිරීම, ආපදාවලට ප්‍රතිචාර දැක්වීම ආදිය සිදුකරන අතර ප්‍රජාවන් කෙරෙහි බලාපොරොත්තු ඇතිකර ඔවුන් ශක්තිමත් කරනු ලබයි. විපත් ඇති වූ කල්හි HOPE Worldwide ගෝලීය ස්වේච්ඡා සේවකයන්, පල්ලි සහ ආයතන හවුල්කරගනිමින් අවශ්‍ය සහන ලබා දෙයි.

HOPE Worldwide වෙතින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබාදෙන පළමු ආධාර තොගය මෙය වන අතර එහි Fluoxetine, Devenlafaxine Succinate ER, serotonin reuptake inhibitors (SSRIs) වැනි අත්‍යාවශ්‍ය ඖෂධ, hydroxychloroquine sulfate වැනි මැලේරියා නාශක සහ අධි රුධිර පීඩන ඖෂධ සහ Cartia XT සහ timolol maleate වැනි අත්‍යවශ්‍ය ඖෂධ අඩංගුවේ.

තීරණාත්මක කාලවලදී ඛේදවාචකයන්ගෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට උපකාර කිරීමට හැකි වන්නේ ශක්තිමත් හවුල්කාරිත්වයන් සහ පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු ආධාර තුළින් පමණක් බව HOPE Worldwide හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Dave Malutinok මහතා පැවසීය.

ජාත්‍යන්තර ආධාර සහ ඖෂධ සැපයුම් දිවයිනට ඉතා වැදගත් වන මොහොතක මෙම කටයුත්ත ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලාංකීය මහජනතාව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව, දෙනු ලබන ආධාර සහ කැපවීම පිළිබඳව HOPE Worldwide වෙත සිය හෘදයාංගම ස්තුතිය සහ කෘතඥතාව පළ කරනු ලබයි.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළ ඉහළට

September, 28, 2022

අද (28) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 97.25 (0.99% ) කින් ඉහළ ගොස් ඒකක 9,958.87 ලෙසින් වාර්තා විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 19.97 කින් හෙවත් 0.63% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,184.48 ක් ලෙසින් දැක්වුණි.

අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.13 ක් ලෙසින් සටහන් විය.

එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.06 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.08 ක් ලෙසින් සටහන්ව තිබුණි.

පසුගිය දින කිහිපය පුරාවට විදේශීය මිල දී ගැනීම් හි කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබුණු ද අද දින විදෙස් ආයෝකයින්ගේ සහභාගීත්වය සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණි. එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 71.85 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 50.07 ක් ලෙසින් සටහන්ව තිබේ.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 123 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර වැලිබල් වන්, සම්පත් බැංකුව, රෝයල් සෙරමික්ස් ලංකා, එයිට්කන් ස්පෙන්ස් හා ලංකා වෝල්ටයිල් යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • World gold prices

ලෝක රන් මිල ක්‍රමයෙන් පහළට

September, 28, 2022

මේ වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ක්‍රමයෙන් පහළ බසින ප්‍රවණතාවයක් නිරීක්ෂණය වේ.

kitco.com වෙබ් අඩවිය දක්වන පරිදි අද (28) දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,620  මට්ටමමෙන් පහළට පැමිණ තිබේ.

ඒ අනුව රන් ග්‍රෑමයක මිල ඩොලර් 52 ක් ලෙසත් රන් කිලෝ ග්‍රෑමයක මිල ඩොලර් 52,000 ක් ලෙසත් වාර්තා වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • Huawei 5.5G
  • HUAWEI CONNECT 2022
  • sri lanka

Huawei 5.5G යනු තාක්ෂණික බුද්ධියෙන් ඉහළ ලෝකයක් කරා යන ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයකි

September, 28, 2022

'HUAWEI CONNECT 2022' ගෝලීය සමුළුව අද අති සාර්ථක ලෙස අවසන් විය.  Huawei සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යටිතල පහසුකම් කළමනාකරණ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් වැන්ග් මහතා විසින් මෙම සමුළුවේ දී '5.5G යුගය වැළඳගැනීම හා බුද්ධියේ ලෝකය වෙත ගමන් කිරීම' යන තේමාව යටතේ එහි ප්‍රධාන දේශනය පැවැත්වීය.

මෙම දේශනයේ දී   5.5G යනු බුද්ධියේ ලෝකය වෙත පිය නැඟීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් බව අවධාරණය කළ වැන්ග් මහතා, බුද්ධියේ ලෝකය පිළිබඳ Huawei සමාගම හඳුනාගත්  නිර්ණායක මාලාවක් ප්‍රකාශයට පත් කළේය.  මෙම දැක්මට අනුව ක්ෂේත්‍ර 8ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වන ලෙස   වැන්ග් මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නියාමකයින්ගෙන් ඉල්ලා සිටියේය.  5.5G යුගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්‍රයේ දැක්ම සහ ප්‍රමිතීන් තවදුරටත් සංශෝධනය කිරීම වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීම තුළින් 5.5G යුගය හා බුද්ධියේ ලෝකය වෙත වේගවත්ව ගමන් කළ හැකි බව ඒ මහතා අවධාරණය කළේය.

අනාගතයේ දී, පුද්ගලයින්ට, පවුල් ඒකකවලට සහ ව්‍යාපාරවලට ඩිජිටල් යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.

මෙහි දී XR සහ හොලෝග්‍රැෆික් සන්නිවේදනය වැනි භාවිතය අඩු වෙමින් පවතින සේවාවන් නැවත සක්‍රීය වන අතර, සබඳතා 1 Gbit/s සිට 10 Gbit/s දක්වා වැඩි කිරීමට කටයුතු කෙරෙයි. ඊට සමගාමීව ජංගම DOU සේවාව  15 GB සිට 100 GB දක්වා ඉහළ නැංවෙයි. එමෙන් ම මෙමගින් ප්‍රමාදවීමෙන් තොර,  අංගසම්පූර්ණ සම්බන්ධතාවක අවශ්‍යතාව ද ඉහළ නැංවෙයි.

මෙමගින් පවුල් ඒකක සඳහා, 24K 3D VR ක්‍රීඩා,  හොලෝග්‍රැෆික් අධ්‍යාපනික සේවාවන් හා රැස්වීම් පැවැත්වීම් වැනි අවශ්‍යතා සඳහා පහසුකම් සපයන 10 Gbit/s යුගයක් නිර්මාණය කරයි.

කර්මාන්තවල ඩිජිටල් පරිවර්තනය වර්තමානය වන විට වේගවත් මාවතකට පිවිස ඇත. ස්මාර්ට් නිෂ්පාදන සහ බලශක්ති ජාල වැනි කාර්මික ශ්‍රේණියේ යෙදුම් සබඳතා මගින් ගුණාත්මක හා විවිධාංගීකරණය වූ සංවේදන අවශ්‍යතා ඉහළ නංවන අතර, පරිගණක බලයේ සහ ගබඩා කිරීමේ සුවිශේෂී වර්ධනයක් ද ඇති කරයි.

  • Ada Derana BIZ Sinhala
  • Christell Luxury Bridal
  • sri lanka

Christell Luxury Bridal වෙතින් මනාල යුවල වෙත සදාකාලික සුන්දර ජීවිත අත්දැකීමක්

September, 28, 2022

ශ‍්‍රී ලංකාවේ වැඩිම ඉල්ලූමක් ඇති විශ්වාසනීය wellness මධ්‍යස්ථානය වන Christell Luxury Wellness අති සාර්ථකව පවත්වන ලදි. ‘Everlasting Confidence’ නමැති සිය ප‍්‍රථම විවාහ මංගල්‍ය ප‍්‍රදර්ශනය උත්සවාකාරයෙන් සමරයි. ශ‍්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වුණු අසමසම විවාහ මංගල්‍ය සේවා ප‍්‍රදර්ශනයක් වන මෙය සැප්තැම්බර් 24 හා 25 දිනවල One Galle Face MALL හි දී පවත්වන ලද අතර සෞඛ්‍යසම්පන්න හා ආශිර්වාදයෙන් පිරුණු, එමෙන්ම ජීවිත කාලය පුරාවටම වින්දනීය මතක සටහන් ඉතිරි කරන අත්දැකීමක අරුමය ඉදිරියේදී විවාහපත් වීමට සිහින දකින මනාලියන් හා මනාලයන් වෙත තිළිණ කිරීම එහි එකම අරමුණ විය.

තම ජීවිතයේ ඉතාම වැදගත් දිනය ස්මරණීය ලෙස සැමරීමට සැලසුම් කිරීම පිළිබඳව පමණක් නොව සතුටුබර විවාහ ජීවිතයක අරුමය අත්දැකීමද වෙනුවෙන් විවාහ දිවියට පිවිසීමට අපේ්ක්‍ෂාවෙන් සිටින හා විවාහ ගිවිස ගත් යුවලවල් වෙත අනගි සහායක් ලබා දීමේ අත්දැකීම් බහුල විවාහ මංගල හා රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉතාම පුරෝගාමී සේවා සම්පාදකයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම දෙදින ප‍්‍රදර්ශනය පැවැත්විණ.

‘Everlasting Confidence’ ප‍්‍රදර්ශනයේදී මනාලයා හා මනාලිය වෙනුවෙන් අති සාර්ථක උත්සව සැලසුම්කරුවන්, ඡායාරූප ශිල්පීන්, විලාසිතා නිර්මාණ ශිල්පීන්, පෝෂණවේදීන්, කේක් නිර්මාණ ශිල්පීන්, විවාහ මංගල සංවිධායක සේවාවන් (wedding planners) , මංගල උත්සව මල් සැකසු ස්වර්ණාභරණ හා චර්ම සත්කාර ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයන් මුණගැසී උපදෙස් ලබා ගැනීමට හා ඔවුන්ගේ සේවාවන් සඳහා ලියාපදිංචි වීමට පමණක් නොව, විවාහයට පෙර මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ උපදේශන වැඩසටහන්, ශාරීරික යෝග්‍යතා සැසි, විටමින් පරීක්‍ෂණ, දන්ත විලාසිතාකරණ උපදේශකයන් සහ තවත් බොහෝ ප‍්‍රවීණයන්ගේ සේවා ලබා ගැනීමටද කදිම අවස්ථාවක් අනාගත මනාල මනාලියන් හට උදා කිරීමට හැකි විය. මෙම ප‍්‍රදර්ශනයේදී අතිශයින්ම ජනප‍්‍රිය වූ අවස්ථාවන් කිහිපයක් වශයෙන් Prof. රමණි සහ Dr. ශානිකා අර්සකුලරත්න යන මහත්මීන් විසින් පවත්වන ලද චර්ම හා කේෂ සත්කාර උපදේශන හා මුහුණු හැඩගැන්වීම පිළිබඳ උපදේශන වැඩසටහන සහ ෆවුසුල් හමීඞ් මහතා විසින් පවත්වන ලද මනා ලෙස හැඩ ගැන්වීම හා උත්සව ආචාර ධර්ම පිළිවෙත් පුහුණු කිරීමේ වැඩමුළුව සඳහන් කළ හැක.

The Cutting Station, Ramani Fernando Salons, Jetwing Hotels, Dhanushka Senadeera Photography, One'Dulani Photography, Dammika De Alwis Studio, Tiesh, Raja Jewellers, Buddhi Batiks, Hameedia, O:LIVE Couture, Dr.Shaamil Navaratnaraja, Lassana Flora, Heshantha Fernando, Weddings by Suranga Fernando, LOVI Ceylon ඇතුළු ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් රැසක්ද මෙම මහඟු වැඩසටහනට සහභාගී විය.

මෙම විවාහ මංගල ප‍්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ සාර්ථකත්වය හේතුවෙන් Christell Luxury Bridal ආයතනය සිය උත්සව අවස්ථා අතර සුවිශේෂි ඉඩකඩක් Everlasting Confidence වෙනුවෙන් වෙන් කිරීමට අපේක්‍ෂා කරයි.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • issue
  • massive bond
  • sri lanka

මහ බැංකුව දැවැන්ත බැඳුම්කර නිකුතුවකට සැරසෙයි

September, 28, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (29) දිනයේ දී රු. මිලියන 145,000 ක දැවැන්ත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටී.

2025, 2028 හා 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ 3ක් යටතේ මෙම බැඳුම්කර නිකුතුව සිදුකිරීමට නියමිත අතර මේ සඳහා පිළිවෙලින් රු. මිලියන 40,000ක්, රු. මිලියන 35,000 ක් හා රු. මිලියන 70,000 ක් බැගින් වන බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බවත්, ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයකට නොවැඩි ඕනෑම ප්‍රමාණයක් පිළිගනු ලැබිය හැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

  • Ada Derana BIZ Sinhala
  • Insurance Asia Awards 2022
  • Janashakthi Life
  • sri lanka

ජනශක්ති ලයිෆ් 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබයි

September, 28, 2022

සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කළ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වෙමින්, 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී 'වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ සමාගම' ලෙස සම්මාන දිනාගත් අතර, එම සම්මාන උළෙලෙහි දී ම ජනශක්ති ලයිෆ් ජංගම  යෙදුම (Mobile App)  'වසරේ ජංගම යෙදුම'  ලෙස සම්මානයට පාත්‍ර විය.

ආසියානු කලාපය තුළ රක්ෂණ සමාගම්, ආයෝජකයින්, වෘත්තිකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයින් වෙනුවෙන් කැප වී සිටින කීර්තිමත් සගරාවක් වන 'Insurance Asia' සගරාව විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුණු අතර, ආසියානු රක්ෂණ සම්මාන උළෙල මගින් ආසියා පැසිෆික් කලාපයේ වඩාත් කැපී පෙනෙන රක්ෂණ සමාගම් ඇගයීම සිදුකරයි. ගෝලීය රක්ෂණ ක්‍ෂේත්‍රයේ වඩාත් කීර්තිමත් පිළිගැනීමක් සහිත මෙම සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනෙන්නේ සුවිශේෂී මෙන් ම පුළුල් තෝරාගැනීමේ ක්‍රමවේදයකට අනුව වීම විශේෂිතය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පී එල් සී සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය. “මෙම ජයග්‍රහණය අපගේ ගනුදෙනුකරුවන් වෙත ගුණාත්මක රක්ෂණ සේවාවක් ලබා දීම වෙනුවෙන් අප සිදුකරන කැපවීම තහවුරු කරනවා. මෙම සම්මාන ද්විත්වය  අපගේ වර්තමාන සාර්ථකත්වයට වගේ ම,  අනාගතයේ දී ත් අපගේ ගනුදෙනුකරුවන් වෙත රක්ෂණ ක්ෂේත්‍රයේ හොඳ ම විසඳුම් ලබා දෙමින්, ගුණාත්මක සේවාවක් ලබා දීමට අප සතු හැකියාව පිළිබඳ  හොඳ ම උදාහරණයක්. පසුගිය අභියෝගාත්මක කාලසීමාව මධ්‍යයේ වුවත් අප සමාගමේ වර්ධනයට අසමසම  දායකත්වයක් ලබා දුන් අපගේ සිංහ බලකායේ අඛණ්ඩ කැපවීමට හා හැකියාවට මෙම ජයග්‍රහණය ඉතා හොඳ සාක්ෂියක්."

'වසරේ ජංගම යෙදුම' සම්මානය මගින් ජනශක්ති ලයිෆ් සමාගමේ ඩිජිටල් පරිවර්තනය ද ඇගයීමට ලක් වූ අතර,  නව රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීමේ සිට සේවාවන් රැසක් ලබාගත හැකි නව්‍ය මූල්‍ය විසඳුම් රාශියක් මෙම ජංගම යෙදුම හරහා ලබා දීමට ජනශක්ති ලයිෆ් සමාගම කටයුතු කරයි.

ජනශක්ති ලයිෆ් සමාගම නවෝත්පාදනයන් මත පදනම් වූ නව්‍ය සේවාවක් ලබා දීම වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කරන අතර, සිය ඩිජිටල් සේවාවන් මගින් වඩාත් පහසු, සරල සේවාවක් ලබා දීම තුළින් ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රය වෙත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් ද සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි. එමෙන් ම විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා  ඩිජිටල්කරණය ඉතා වැදගත් කාර්‍යභාරයක් ඉටු කරන බව විශ්වාස කරන ජනශක්ති ලයිෆ් සමාගම, තම ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස්වන අවශ්‍යතා හඳුනා ගනිමින් ඉහළ ම ප්‍රමිතීන්ගෙන් සමන්විත රක්ෂණ සේවාවක් තහවුරු කිරීම වෙනුවෙන් කැප වෙයි.

'ජීවිත නඟා සිටුවමින් සිහින සවිබල ගැන්වීම' යන ආයතනික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන ජනශක්ති ලයිෆ් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ ආචාරධර්මවලට අනුකූලව, විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වන අතර සිය පාර්ශවකරුවන් සඳහා වැඩි ප්‍රතිලාභ ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි.  සිය ගනුදෙනුකරුවන්  ජීවිතයේ සෑම අදියරක දී ම වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රක්‍ෂණ විසඳුම් හා සේවාවන් ලබා දෙමින් සිය ආයතනික අරමුණ යථාර්ථයක් කිරීමට කටයුතු කරන ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම මෙම අරමුණ තම සාමාජික සාමාජිකාවන් දක්වා පුළුල් කරමින්, සැමවිට ම ඔවුන්ගේ සිහින හා අපේක්ෂාවන් ඉටුකරගැනීමට සහයෝගය ලබා දෙන සේවා පරිසරයක් ගොඩනැංවීමට ද කටයුතු කරයි.

පසුගිය දා නිකුත් කෙරුණු Brand Finance ශ්‍රේණිගත කිරීමේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ  වටිනා ම හා ශක්තිමත් ම සන්නාම 100 අතරට මෙන් ම, ශීඝ්‍රයෙන් ම වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාම 10 න් එකක් ලෙස ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී නම් කෙරුණු අතර, BSI දර්ශකයේ ලකුණු 569ක් සහිතව TOP 10  නාමාවලියට  ඇතුළත් වූ මෙරට  එක ම රක්ෂණ සන්නාමය වන්නේ ද ජනශක්ති ලයිෆ් බව සඳහන් කළ යුතුමය.

එමෙන් ම 2021 වසරේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් පැවැත් වූ තුන් වන  'ICC Emerging Asia Insurance Awards' රක්ෂණ සම්මාන උළෙලෙහි දී, හොඳ ම රක්ෂණ විසඳුම් සමඟින් කලාපීය රක්‍ෂණ ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට දක්වන ලද දායකත්වය වෙනුවෙන් ‘රක්ෂණ ව්‍යාප්තිය වෙනුවෙන් හොඳ ම උපාය මාර්ග’ සඳහා වන සම්මානය දිනාගැනීමට ද ජනශක්ති ලයිෆ් සමාගම සමත් විය.

ජනශක්ති සිංහ බලකායේ ශක්තිය හා කාර්‍යශූරත්වය මත පදනම් වූ රක්ෂණ සංස්කෘතියකින් සමන්විත ජනශක්ති රක්ෂණ සමාගම  ගෝලීය ප්‍රමිතීන් වෙත ළඟා වෙමින්, 2021 වසරේ දී පමණක්  MDRT ජයග්‍රාහකයින් 100 කට අධික සංඛ්‍යාවක් බිහි කිරීමට සමත් විය. සිය සාමාජික සාමාජිකාවන් සවිබල ගන්වමින් ධනාත්මක ආයතනික  සංස්කෘතියක් පෝෂණය කිරීමට ඇප කැප වන නිසා ම 'විශිෂ්ට සේවා ස්ථානයක්'  ලෙස නම් කෙරුණු ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම වසර 27ක කාලයක් පුරා, මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වාසවන්ත මෙන් ම ශක්තිමත් ආයතනයක් ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත් වී ඇත. ජනශක්ති ලයිෆ් සමාගම 75 කට අධික දීප ව්‍යප්ත සිය  ශාඛා  ජාලය හරහා සෑම තරාතිරමක ම පුද්ගලයින් වෙත  අද්විතීය රක්ෂණ සේවාවක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි.

  • Ada Derana BIZ Sinhala
  • DFCC Bank
  • Kandy City Centre
  • sri lanka
  • Visit Kandy 2022

DFCC බැංකුව, Kandy City Centre සංවිධානය කළ “Visit Kandy 2022” ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි

September, 28, 2022

DFCC බැංකුව, පසුගියදා Kandy City Centre විසින් සංවිධානය කරන ලද "Visit Kandy 2022" වැඩසටහනේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය. මෙම වැඩසටහන 2022 අගෝස්තු 10 සිට 13 දක්වා පැවැත්විණි. වෙළඳ කුටි, ආයතනික ප්‍රවර්ධන වැඩසටහන්, ආහාරපාන අලෙවි කුටි, දරුවන් සඳහා විනෝද ක්‍රියාකාරකම් සහ සංස්කෘතික ඉසව් වැනි බොහෝ දේ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වී තිබිණි. මෙහිදී තම විසඳුම් හා සේවාවන් එකතුව විශාල පිරිසක් වෙත හඳුන්වා දීමට DFCC බැංකුවට අවස්ථාව හිමි විය.

DFCC බැංකුවේ ප්‍රාදේශීය ශාඛා වල කාර්ය මණ්ඩලයන් විසින්, එම බැංකුවේ සේවාවන් පිළිබඳව මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීම සිදුකරන ලදි. DFCC බැංකුවේ උප සභාපති/ Pinnacle සහ Branch Banking Planning & Implementation ප්‍රධානී ශේරා හසන් මහත්මිය, එම බැංකුවේ උප සභාපති ටෙරන්ස් ඇතුගල සහ ප්‍රාදේශීය කළමනාකරු ඇතුළුව එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. බැංකුවේ තිරසාරත්ව ඉලක්ක අතර එක් ප්‍රධානතම ඉලක්කයක් වන කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට සමගාමීව, DFCC ආලෝකා ව්‍යවසයිකාවන් දිරිගැන්වීමටද මෙහිදී කටයුතු කරන ලදි.

“මේ සුවිශේෂී ඉසව්වට සහභාගී වීමට හැකිවීම මට මහත් සතුටක්. මෙහි පැතිරී තිබුණු සතුට සහ ජවය අපට සිතාගන්නට බැරි තරම්. අපගේ ව්‍යවසායිකාවන්ට තම නිෂ්පාදන, සේවාවන් හා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම, ඔවුන්ට තම ඉලක්ක ළඟා කරගැනීමට උපකාරී වන ‘DFCC ආලෝකා’ ගිණුම සහ එමගින් ලැබෙන ප්‍රතිලාභ හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අප හදවතින්ම සතුටු වනවා.” ශේරා හසන් මහත්මිය පැවසුවා ය.

Women's Finance Initiative (We-Fi) යටතේ DFCC ආලෝකා ගිණුම හරහා මෙරට ව්‍යවසයිකාවන් හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන වෙතින් ලැබුණු ප්‍රතිපාදන බෙදාහැරීමට DFCC බැංකුව කටයුතු කර තිබේ. 2021 වසරේදී අදාළ අරමුදල් ප්‍රමාණය මෙන්ම We-Fi වැඩසටහනේ තවත් ප්‍රදානයන්ද භාවිතා කරමින් DFCC බැංකුව විසින් ව්‍යවසායිකාවන් 10 දෙනෙකුට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා අවස්ථාවන් උදාකර දෙන ලදි. 2022 වසරේදීද මෙම මෙහෙවර වෙනුවෙන් බැංකුව දැනටමත් විශාල මුදල් ප්‍රමාණයක් යොදවා ඇති අතර, ඉතිරි අරමුදල් ප්‍රමාණයෙන් තවත් ව්‍යවසායිකාවන් පිරිසකට අත්වැලක් සැපයීම සඳහා මේ වනවිට පියවර ගනිමින් සිටී. මෙය ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීමට මෙන්ම රටේ කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල දියුණුව සැලසීමටද මහෝපකාරී වනු ඇත.

DFCC ආලෝකා යනු ශ්‍රී ලාංකික කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය අත්වැල සැපයීම ඉලක්ක කරගත් සුවිශේෂී ගිණුමකි. DFCC ආලෝකා ගිණුම යටතේ, කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වූ ප්‍රතිලාභ පිරිනමන, සන්නාමය සඳහන් ක්‍රෙඩිට් කාඩ්පතක් ඇතුළුව, සාමාන්‍ය ඉතුරුම් ගිණුමකින් නොලැබෙන ප්‍රතිලාභ රාශියක් හිමි වේ.  රු. 1000/- ක් වැනි සුළු මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැකි වීම, විශේෂ පොලී අනුපාත හිමි වීම, දිවයින පුරා DFCC හෝ LankaPay ATM යන්ත්‍ර වලින් ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැකි වීම, නොමිලේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් හිමි වීම සහ Mteller හරහා නිවසේ සිටම සුරක්ෂිත ලෙස බැංකු  සේවාවන් ලබාගත හැකි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත් ය. තවද විශේෂ පොලී අනුපාත යටතේ උකස් සේවාවන්, ගිණුමේ ශේෂය මෙන් 10 ගුණයක් දක්වා නොමිලේ රක්ෂණ ආවරණයක් සහ Doc990 සමග එක් වී පිරිනමන ප්‍රතිලාභයක් ලෙස, ගිණුම් හිමිකාරිය සහ පවුලේ සාමාජිකයක් 3 දෙනෙකු දක්වා පිරිසකට නොමිලේ ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් හිමි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක්ද ඔවුන්ට හිමි වේ.

රටේ දියුණුවට සුවිශාල කාර්යභාරයක් ඉටුකිරීමට කාන්තාවන්ට හැකියාව ඇති බව DFCC බැංකුව විශ්වාස කරයි. එම නිසා DFCC ආලෝකා ගිණුම ඇතුළුව විවිධ ක්‍රමවේදයන් ඔස්සේ, ඔවුන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය හා මූල්‍යමය නොවන සහයෝගය ලබාදීම සඳහා DFCC බැංකුව සෑම විටම කැප වී සිටී.

DFCC බැංකුවේ උප සභාපති/ Pinnacle සහ Branch Banking Planning & Implementation ප්‍රධානී ශේරා හසන් මහත්මිය