• Ada Derana BIZ Sinhala
  • ComBank
  • LMD 100
  • sri lanka

කොමර්ෂල් බැංකුව නැවත වරක් LMD 100 ශ්‍රේණිගත කිරීමෙහි ඉහළින්ම සිටින බැංකුව බවට පත්වෙයි

September, 28, 2022

නවතම ‘LMD 100’ සංස්කරණයෙහි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට කොමර්ෂල් බැංකුව නැවත වරක් පත් වී ඇති අතර ශී‍්‍ර ලංකාවේ Fortune 500 අනුවාදය ලෙස සැලකෙන මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම සමාගම් 10 අතර සිටින එකම බැංකුව ද වේ.

වසර 29 කට පෙර මෙම ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිට සෑම වසරකදීම ඉහළම ආයතනික දැවැන්තයින් 10 දෙනා අතර කොමර්ෂල් බැංකුව රැදී සිටින අතර 2021-22 සඳහා වැඩිම ආදායමක් සහ ලාභයක් ඉපැයූ බැංකුව ලෙස ද තහවුරු වී ඇත.

ශී‍්‍ර ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව ආදායම අනුව සමස්ත LMD 100 ශ්‍රේණිගත කිරීමෙහි හත්වන ස්ථානයට සහ ලාභය අනුව හයවන ස්ථානයට ද නම් කර ඇත.

කොමර්ෂල් බැංකුව LMD ශ්‍රේණිගත කිරීම් වල අඛණ්ඩව ඉහළින්ම සිටීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වූවේය. ”පාරිභෝගිකයින් සහ ආයෝජකයින් බැංකුවක නොසැලෙන ශක්තියක් හා ස්ථාවරත්වයක් අපේක්ෂා කරන අතර අභියෝගකාරී තත්වයන් සහ විවිධ වෙනස්වීම් වලදී ද විශේෂයෙන් ඔවුන් එය බලාපොරොත්තු වේ. කොමර්ෂල් බැංකුව මේ සම්බන්ධයෙන් ආදර්ශමත් වන අතර දශක තුනකට ආසන්න කාලයක් විවිධාංගිකරණය වූ දිවයිනේ විශාලතම සමූහ ව්‍යාපාර අතරට එක්වෙමින් ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිටම LMD 100 හි බැංකු අංශය පෙරමුණ ගෙන සිටී.”

LMD හි නවතම ශ්‍රේණිගත කිරීම මෙරට මුල්පෙළේ සමූහ ව්‍යාපාර, විදුලි සංදේශ ආයතන, මහා පරිමාණ අලෙවිසැල් ජාල, රක්ෂණ සමාගම් ඇතුළු බොහෝ ආයතන ආවරණය කර ඇත.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • blood bank
  • blood donation program
  • CDB
  • sri lanka

රුධිර පරිත්‍යාග සඳහා ලේ බැංකුව ජනතාවගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් CDB ආයතනය වෙතින් ලේ දන්දීමේ වැඩසටහනක්

September, 28, 2022

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථක ලෙස පැවැත්විණි. ජාතික රුධිර  පාරවිලයන මධ්‍යස්ථානය හෙවත් ලේ බැංකුවට රුධිර පරිත්‍යාගයන් වහාම අවශ්‍ය වී ඇති බව හඳුනාගැනීමෙන් අනතුරුව මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කිරීමට CDB ආයතනය කටයුතු කළේ ය.

CDB මානව සම්පත් (HR) අංශයේ සහයෝගය ඇතිව CDB හි සුභසාධන කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම ලේ දන්දීමේ ව්‍යාපාරයට සම්බන්ධ වන කාර්ය මණ්ඩලය දිරිමත් කරමින් අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කිරීමට සමාගම කටයුතු කරන ලදී.

ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් උතුම් වූ පරිත්‍යාගයක් සිදුකිරීමේ අරමුණින් CDB කාර්ය මණ්ඩලයේ 140 කට වැඩි පිරිසක් මෙම වැඩසටහනට දායක වූහ. CDB ආයතනය මෙවැනි වැඩසටහනක් සංවිධානය කළ 5 වන අවස්ථාව මෙය වූ අතර, මේ සඳහා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ නොමඳ සහයෝගය හිමි විය.

“මිනිස් රුධිරය යනු වටිනා සම්පතක්. ප්‍රමාණවත් රුධිර සැපයුමක් සහතික කළ හැක්කේ නිතිපතා රුධිරය පරිත්‍යාග කිරීමෙන් පමණයි. රුධිරය පරිත්‍යාග කරන ලෙස ලේ බැංකුව රටේ ජනතාවගෙන් කළ ඉල්ලීමට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම අපගේ යුතුකමක් යැයි අප කල්පනා කළා. ශ්‍රී ලංකාව යනු ස්වේච්ඡා පරිත්‍යාග මගින් රුධිර හා රුධිර නිෂ්පාදන අවශ්‍යතා සපුරාගන්නා රටවල් කිහිපයෙන් එකක්. ඉදිරි දශක වලදීත් මේ තත්ත්වය පවත්වාගැනීමට හැකි වන ආකාරයට, මෙවැනි ලේ දන්දීමේ වැඩසටහන් වලට නිරන්තරයෙන් සහයෝගය ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.” CDB ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පරිපාලන) නයන්ති කෝදාගොඩ මහත්මිය පැවසුවා ය.

මෙවැනි ප්‍රජා සත්කාරයන්ට සමගාමීව, නිතිපතා ලේ දන්දීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන්ට හුරුවීමට ජනතාව  දිරිගැන්වීමටද CDB සමාගම කටයුතු කරනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • ADBI
  • APAEA
  • CBSL
  • sri lanka

CBSL-ADBI-APAEA ඒකාබද්ධ තෙවන මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දරයි

September, 28, 2022

ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2022 වසරේ සැප්තැම්බර් මස 23 වැනි දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය එ්කාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව තුන්වන වසර සඳහාත් සම-සත්කාරකත්වය දැරීය. මෙම වසරේ තේමාව පෙර වසරේ මෙන්ම 'සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මතුවෙමින් පවතින ගැටලු' (‘Emerging Issues for Macroeconomic Stability’) ලෙස දැක්විණි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමුළුවේ සමාරම්භක දේශනය ඉදිරිපත් කරමින්, ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 වසංගතය සහ භූ-දේශපාලනික අර්බුද හේතුවෙන් ලොව පුරා බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රධාන අභියෝග කිහිපයක් සහ ඊට අනුරූපීව බොහෝ මහ බැංකු සිය ආර්ථිකයන් ස්ථායී කිරීමට ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳ විස්තර කළේය. විවිධ මට්ටම් වල පවතින සාර්ව ආර්ථික හැකියාවන් මධ්‍යයේ, එක් අතකින් ආර්ථික වර්ධනයට සහාය වීම සහ අනෙක් අතින් සමස්ත සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම අතර තුලනයක් ඇති කිරීමේ දී, දියුණු සහ නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් ද්විත්වයම එකසේ මුහුණ දෙන ආතතිය පිළිබඳ ඔහු අවධාරණය කළේය. ගෝලීය ආර්ථික වාතාවරණය තුළ පවතින ඉහළ අස්ථාවරත්වය මධ්‍යයේ ආර්ථිකයන් මුහුණ දෙන විවිධ ගැටලු විසඳීම සඳහා විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර පර්යේෂණ සහයෝගීතා ඇති කර ගැනීමේ වැදගත්කම ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආකාරයේ අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ සෛද්ධාන්තික ශාස්ත්‍රීය පර්යේෂණවලදී ඉදිරිපත් කරන ලද ඇතැම් ආකෘතින් සහ න්‍යායන් සම්බන්ධ සොයා ගැනීම්වල අදාළත්වය සහ වලංගුභාවය තරමක් දුරට සීමා විය හැකි නමුත්, නැගී එන වෙළඳපොළ ආර්ථිකයන්හි වර්ධනයන් අධ්‍යයනය කිරීම සඳහා අඛණ්ඩව උත්සාහ කිරීම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් බව අධිපතිතුමා අවධාරණය කළේය. ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ පීඨාධිපති සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ටෙට්සුෂි සොනොබෙ මහතා උද්ධමන පීඩනවලට නිරාවරණය වීම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පවතින අවකාශයන් සහ සාර්ව-මූලධර්මවල ශක්තිමත්භාවය අනුව විවිධ කලාප අතර පවතින විෂමතා දක්වමින් ආරම්භක අදහස් දැක්වීම සිදු කළේය. මෙවැනි ආකාරයේ වැඩමුළු මගින් විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර සංවාදයක් ඇති කිරීමට සහ ප්‍රතිපත්ති පර්යේෂණ තවදුරටත් දියුණු කිරීමට සහාය වනු ඇති බව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ කර්තෘවරුවන්ගේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සැසිවාර දෙකකින් මෙම සමුළුව සමන්විත විය. ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ පර්යේෂණ අංශයේ උප සභාපති ආචාර්ය ජෝන් බියර්න් සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඉවේට් ප්‍රනාන්දු මහත්මිය මෙම සැසිවාරයන්හි මුලසුන හෙබවූහ.

  • Ada Derana BIZ Sinhala
  • FTM TOP RESA
  • International and French Travel Market 2022
  • sri lanka

ශ්‍රී ලංකාව IFTM TOP RESA 2022 ප්‍රංශ සහ ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

September, 28, 2022

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 2022 සැප්තැම්බර් මස 20 සිට 22 දක්වා පැවති IFTM TOP RESA 2022 ප්‍රංශ සහ ජාත්‍යන්තර සංචාරක වෙළඳපොළ සඳහා ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සාර්ථකව සහභාගී විය.

ප්‍රංශය ශ්‍රී ලංකාවේ පස්වන විශාලතම මූලාශ්‍ර වෙළඳපොළ වන අතර පළමු මාස අටේ දී මුළු සංචාරක පැමිණීම් 28,235ක අගයක් ගෙන ඇත. IFTM යනු වඩාත් කීර්තිමත් සංචාරක ප්‍රදර්ශනවලින් එකක් වන අතර ලොව පුරා දහස් ගණනක සහභාගීවන්නන් ඇදබැඳ ගන්නා වෙළඳ ප්‍රදර්ශනයකි. IFTM TOP RESA 2022 වෙළඳ ප්‍රදර්ශනය සඳහා 200 කට ආසන්න රටවල් ප්‍රමාණයක්, වෙළඳ නාම 1,700 ක් සහ සංචාරක වෘත්තිකයන් 34,000 ක් සහභාගී විය.

SLAITO හි ධජය යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක ක්‍රියාකරුවන් වන අයිට්කෙන් ස්පෙන්ස් ට්‍රැවල්ස්, ඇන්ඩෲ ද ට්‍රැවල් සමාගම, ඕදෙන්ටිසිටීස් ශ්‍රී ලංකා, කොනිසන්ස් ඩී සෙයිලෑන්, ජෙට්වින්ග් ට්‍රැවල්ස්, ලයන් රෝයල් ටුවරිසම්, ලංකා ස්පෝට්‍රේසන්, වෝකර්ස් ටුවර්ස් සහ නිල ගුවන් සේවා සමාගම වන ශ්‍රී ලංකන් එයාලයින්ස් ශ්‍රී ලංකා වෙළඳ කුටිය නියෝජනය කළහ. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති සංචාරක උපදේශන ලිහිල් කර ඇති යුරෝපා සංගම් කලාපයේ බොහෝ රටවල් විශේෂයෙන් ප්‍රංශය සහ ස්පාඤ්ඤය ආදී රටවලට සමගාමීව ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම වැදගත් සහ කාලෝචිත ය. එබැවින් මෙම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා නියෝජනය ඉදිරි ශීත ඍතුවේ දී ශ්‍රී ලංකාව වෙත සංචාරකයින්ගේ පැමිණීම දිරිමත් කරයි.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය විසින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ප්‍රමුඛ පෙළේ සංචාරක ක්‍රියාකරුවන් සහ ප්‍රංශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා කුටිය නිල වශයෙන් විවෘත කරන ලදි. මෙම වෙළඳ කුටිය ශ්‍රී ලංකාව සියලු සංචාරකයින් පිළිගැනීමට සූදානමින් සිටින බවට වන පණිවිඩය ලබා දෙමින් ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ සංචාරක ක්‍රියාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය බ්ලොග්කරුවන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් අතර පුළුල් ප්‍රචාරණයක් ලබා දුන්නේය.

  • Ada Derana BIZ Sinhala
  • Goiás in Brazil
  • sri lanka

ශ්‍රී ලංකාව බ්‍රසීලයේ ගොයියයිස් ප්‍රාන්තය සමඟ වාණිජ සබඳතා ප්‍රවර්ධනය කරයි

September, 28, 2022

බ්‍රසීලයේ ප්‍රමුඛතම ආර්ථික මධ්‍යස්ථාන සමඟ ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන වැඩසටහනේ අංගයක් ලෙස, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා 2022 සැප්තැම්බර් 19වැනි දින ගොයියයිස් ප්‍රාන්තයේ සංචාරයක නිරතවිය. ගොයියයිස් යනු බ්‍රසීලයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තවලින් එකක්වන අතර, එහි දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන42 ඉක්මවයි. තවද, එය වාණිජ්‍ය කටයුතු, කෘෂිකර්මාන්තය, පශුසම්පත්, පතල් කැණීම් සහ ආහාර නිෂ්පාදනය යන ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් උසුලන රාජ්‍යයකි. තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක (වාණිජ්‍ය) සීවලී විජේවන්ත මහතා ද තානාපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා සහභාගී විය.

ගොයියයිස් හිගොයියානියා හි පිහිටි වාණිජ්‍ය, කර්මාන්ත සහ සේවා සංගමයේ (ACIEG) මූලස්ථානයේදී එහි සභාපති රූබන්ස් ෆිලේටි මහතා විසින් තානාපතිවරයා උණුසුම්ලෙස පිළිගන්නා ලදි. තානාපති දසනායක මහතා මෙම සාකච්ඡාව අතරතුර ගොයියයිස් ප්‍රාන්තයේ කාර්මික අංශය සමඟ සහ විශේෂයෙන්ම ඖෂධ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා, සංචාරක ව්‍යාපාරය සහ රබර් ආශ්‍රිත කර්මාන්ත සමඟ සමීපව කටයුතුකිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව අවධාරණය කළේය. බ්‍රසීල ආයෝජකයන්ට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරය සහ හම්බන්තොට කර්මාන්ත කලාපය තුළ ආයෝජන අවස්ථා පවතින බව ද එතුමා මෙහිදී දැනුම්දුන්නේය.

ශ්‍රී ලංකාව සහ ගොයියයිස් ප්‍රාන්තය අතර ව්‍යුහාත්මක ලෙස වාණිජ කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාණිජ මණ්ඩලයක් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද ACIEG සංවිධානය එකඟවිය. ඒ අනුව යෝජිත අවබෝධතා ගිවිසුම 2022 වසර අවසන්වීමට පෙර අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය සිය එකඟත්වය පළ කළහ. ACIEG හි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරුන් වන ජොසේ බ්‍රෙනෝ සහ අකිරානි නෝමියා යන මහත්වරුද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

බ්‍රසීලයේ ඖෂධ අවශ්‍යතාවලින් 40%කට අධික ප්‍රමාණයක් ඇනපොලිස් නගරය තුළ නිෂ්පාදනය කිරීම සැලකිල්ලට ගනිමින්, බ්‍රසීල සමාගම්වලට ශ්‍රී ලංකාවේ ඖෂධ ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීම සඳහා පවතින හැකියාව සොයා බැලීම අරමුණ වූ මෙම හමුව ඇනපොලිස්හි ගොයියයිස් ප්‍රාන්තයේ (FIEG) කර්මාන්ත සම්මේලනයේ කලාපීය කාර්යාලයේ දී පැවැත්විණි. තානාපතිවරයා ඖෂධ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින විදේශ ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ මෙම සංගමයේ ඇනපොලිස් කලාපයේ සභාපති විල්සන් ඩිඔලිවේරා මහතා බ්‍රසීලයේ ඖෂධ සමාගම්වලට ශ්‍රී ලංකාවේආයෝජන අවස්ථා ගවේෂණය කළහැකිබව සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී බ්‍රසීල සමාගම් සඳහා මෙරට පවතින පහසුකම් පිළිබඳව තොරතුරු ලබාගන්නා ලෙස තානාපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය. විදේශ වෙළෙඳ කවුන්සිලයේ සභාපති විලියම් ලෙයිසර් ඕ’ඩ්වයර් සහ ගොයියයිස් ප්‍රාන්තයේ ඖෂධ කර්මාන්ත හවුලේ විධායක සභාපති මාර්ල් හෙන්රික් සුවාරෙස් යන මහත්වරුද මෙම හමුව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සහිතව, ශ්‍රී ලංකා නියෝජිත පිරිස ගොයියයිස් ප්‍රාන්තයේ සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (ABAV-GO) සභාපති එලීනා මයර්ලස් මහතා සමඟද හමුවක් පැවැත්වීය. 2022 නොවැම්බර් මාසයේදී සංචාරක ක්‍රියාකරුවන් සමඟ සංචාරක ගමනාන්තයන් පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කිරීමට සහය වන බවට මෙම සංගමයේ සභාපති සහතික විය.

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • treasury bills

රු. මිලියන 85,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

September, 28, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (28) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 28,000ක් සහ රු. මිලියන 22,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.

රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් ලංසු ඉදිරිපත් කළ යුතු වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • August
  • export revenue
  • Merchandise
  • sri lanka

2022 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 10%කින් ඉහළට

September, 27, 2022

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් 10.24% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,213.7 දක්වා වැඩි වී ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාමයි.

මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වැඩි කිරීමට අපනයනකරුවන් දරන උත්සාහයට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, සුරේෂ් ඩී ද මෙල් මහතා සුබපැතුම් එක් කළේය. බාධාකාරී තත්වයන් යටතේ වුවද අපනයන කාර්යය පහසු කර ගැනීම සඳහා නොපසුබටව සහය ලබා දීම සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් නියෝජිතායතනවලට ද සභාපතිවරයා සිය ස්තුතිය පුද කළේය.

මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය, 2020 - අගෝස්තු 2022 ඇ.ඩො. මිලියනවලින්

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රේගු සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

සේවා අපනයනය

2022 ජනවාරි-අගෝස්තු කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,310.05 ක් වූ අතර එය 2021 අනුරූප කාල සීමාවට වඩා 5.58% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණ (ICT), ව්‍යාපාර තත්ව කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ සැපයුම්වලින් සමන්විත වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • Airtel
  • Freedom Packs
  • sri lanka

මිලියන 1.7ක වාර්තාගත පරිශීලකයින් සංඛ්‍යාවක් එයාර්ටෙල් ලංකා හි Freedom Packs වෙත මාරු වෙයි

September, 27, 2022

එයාර්ටෙල් ලංකා හි පෙරළිකාර පෙරගෙවුම් පැකේජ ‘Freedom’ හඳුන්වා දීමෙන් වසරකට පසුව, 2022 අගෝස්තු අග වන විට මිලියන 1.7ක වාර්තාගත පරිශීලකයින් සංඛ්‍යාවක් Airtel Freedom වෙත මාරු වී ඇති බව සමාගම නිවේදනය කර සිටී.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ”ප‍්‍රධාන වශයෙන් අපගේ මෙම අද්විතීය Freedom පැකේජවල සහායෙන් ශ‍්‍රී ලංකාවේ මිලියන තුනක පමණ පාරිභෝගික සංඛ්‍යාවකට පමණ අප සේවය ලබා දෙනවා. ඒ සඳහා ලැබුණු අතිමහත් වූ පාරිභෝගික පිළිගැනීම අපගේ නිෂ්පාදන හරහා සරල බව සහ වටිනාකම ගෙන ඒමේ අපගේ උපායමාර්ගය නැවතත් අවධාරණය කරනවා.’’ යනුවෙනි.

ජාත්‍යන්තර මට්ටමේ 5G-ready ජංගම බ්‍රෝඞ්බෑන්ඞ් ජාලයකින් බලගැන් වී ඇති එයාර්ටෙල් විසින් ගෙවන මුදලට වටිනාකමක් සහ උසස් තත්වයේ ජාල අත්දැකීමක් සහතික කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, පාරිභෝගිකයන් සඳහා ලබා දෙන සමස්ත දීමනා සහ අත්දැකීම් ප‍්‍රතිනිර්මාණය කර ඇත. මෙම සාධක නිසැකවම බොහෝ ලෙස data භාවිත කරනු ලබන හෝ calls ගනු ලබන පරිශීලකයින්ට උපකාරී වේ.

එයාර්ටෙල් ලංකා හි පෙරගෙවුම් Freedom Packs සහ පසුගෙවුම් Freedom Plans යන දෙකටම ලෝක මට්ටමේ නව විශේෂාංග හඳුන්වා දීමත් සමඟින් Freedom පැකේජ හරහා දැරිය හැකි මිලකට, අසීමිතව අන්තර්ජාලය වෙත පිවීසීම සඳහා පහසුකම් සැලසීමේ සමාගමේ මූලික නවෝත්පාදනය ක‍්‍රමයෙන් වර්ධනය විය.

තවද සිය පෙරගෙවුම් පරිශීලකයන් ඉලක්ක කරගත් Freedom Unlimited රු. 749 පැකේජය හඳුන්වා දීමත් සමඟින් ජංගම විදුලි සංදේශ සේවා වෙළෙඳපොලේ පෙරළියක් ඇති කිරීමට එයාර්ටෙල් සමත් විය. එමගින් පරිශීලකයින්ට  ඕනැම වෙලාවක භාවිත කළ හැකි අමතර 30GB වලට අමතරව වෙනත්  ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ Facebook, Messenger, WhatsApp වැනි සමාජ මාධ්‍ය ජාලවල අසීමිතව සැරි සැරීමට සහ දින 30ක් සඳහා Youtube හි ඉතා උසස් තත්වයේ වීඩියෝ නැරඹීමට හැකියාව ලබා දී ඇත.

පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් ලබා දෙමින් පසුගෙවුම් පාරිභෝගිකයින් සඳහා වෙනත්  ඕනෑම ජාලයකට අසීමිතව ඇමතුම් ලබා ගත හැකි Unlimited 1098 පැකේජයක් හඳුන්වා දුන් පළමු ජංගම විදුලි සංදේශ සේවා සමාගම වන්නේ එයාර්ටෙල්ය. රු. 1098 ක් වැනි මිලකට එයාර්ටෙල් පරිශීලකයෙකුට වෙනත් ඕනෑම ජාලයකට අසීමිතව ඇමතුම්, සමාජ මාධ්‍ය ජාල පහසුකම් සඳහා ඕනෑම වෙලාවක භාවිත කළ හැකි 40GB සමඟ ඕනෑම ජාලයකට යැවිය හැකි SMS පහසුකම් හිමි වේ. මීට අමතරව එයාර්ටෙල් යනු පසුගෙවුම් පරිශීලකයින්ට ‘Data Rollover’ පහසුකම අඛණ්ඩව ලබා දෙන එකම සමාගම වන අතර 200GB ක් දක්වා එම මාසයේ භාවිතයට නොගත් data ඊළඟ මාසය දක්වා ගෙන යාමට ඉඩ සලසමින් data ඉතිරි කර ඔබගේ වියදම් ද සීමා කරයි.

ශ‍්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා අවකාශය තුළ පාරිභෝගිකයා වෙත නව නිෂ්පාදන මුලින්ම ලබා දෙන ආයතනයක් ලෙස මෙන්ම සමාන ජාල අතර අසීමිත ඇමතුම් හඳුන්වා දුන් පළමු සමාගම වන්නේ ද එයාර්ටෙල් ය. එයාර්ටෙල් Freedom දියත් කිරීමත් සමඟින් සමාගම සිය පරිශීලකයින්ට ඔවුන්ගේ සියලූම voice calls, කෙටි පණිවුඩ සහ data අවශ්‍යතා සඳහා උපරිම පහසුව ලබා දෙන අතර තරගකාරී ආයතනයන් අභිබවා ගොස් විශාල ඉතුරුම් අවස්ථා පිරිනමනු ලබයි. Unlimited පැකේජ හඳුන්වාදීමත් සමඟ එයාර්ටෙල් ලංකා මෙරට ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය තුළ පෙරළිකරුවෙකු ලෙස පෙරමුණ ගෙන සිටියි.

  • Ada Derana BIZ Sinhala
  • Huawei
  • sri lanka

Huawei සමාගම අවස්ථානුකූලව නිවැරදි තාක්ෂණය සොයා ගැනීමට උපකාරී වන නව්‍ය සේවා දියත් කරයි

September, 27, 2022

බැංකොක් නුවර දී පැවති 'HUAWEI CONNECT 2022' සමුළුවේ දෙවන දිනයේ දී, අවස්ථානුකූලව  නිවැරදි තාක්‍ෂණය සොයා ගනිමින්, කර්මාන්ත ඩිජිටල්කරණය කිරීම සඳහා නව යටිතල පහසුකම් විසඳුම් මාලාවක් හඳුන්වා දීමට Huawei සමාගම සමත් විය. මෙහි දී ඩිජිටල් ක්ෂේත්‍රයේ  පාර්ශවකරුවන් එක්ව 'ඩිජිටල් මුදා හැරීමට නව්‍ය යටිතල පහසුකම්' යන තේමාව යටතේ සාකච්ඡා පැවැත්වූ අතර, එහි දී කර්මාන්ත ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සඳහා පවතින අනාගත අවස්ථා සහ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. මෙම සමුළුවේ දී කර්මාන්ත ඩිජිටල්කරණයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග විශ්ලේෂණය කරමින්,  Huawei සමාගම එම අභියෝගවලට මුහුණ දීම සඳහා හඳුන්වා දී ඇති තාක්ෂණික විසඳුම් පිළිබඳව හඳුන්වා දීම ද සිදුකෙරිණි.

නිවැරදි අවස්ථාවේ දී  නිවැරදි තාක්ෂණය භාවිත කිරීම තුළින් ඩිජිටල්කරණ ඉලක්ක කරා ළඟාවීමේ පහසුව

Huawei Enterprise BG හි සභාපති රයන් ඩිංග් මහතා 'කර්මාන්තය සවිබල ගැන්වීම හා වටිනාකම් නිර්මාණය කිරීම' යන තේමාව යටතේ එහි ප්‍රධාන දේශනය පවත්වමින් පැවසුවේ, " වඩාත් හොඳ ඩිජිටල් පරිවර්තනයක් සහිත සමාගම්වලට, නිරන්තරයෙන් වෙනස් වන ලෝකයකට ඉතා හොඳින් අනුවර්තනය වීමේ හැකියාව පවතිනවා. Huawei සමාගම සැමවිටම නිවැරදි තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තම හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරනවා. නිවැරදි අවස්ථාවේ දී ඩිජිටල් පරිවර්තනය කරා යොමු වීමට අපගේ පාරිභෝගිකයින්ට සහයෝගය ලබා දීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් ඩිජිටල් බලය මුදාහරිනවා." යනුවෙනි.

ඩිජිටල් බලය මුදා හැරීම සඳහා ප්‍රධාන නවෝත්පාදන තාක්ෂණයන් සහ ශක්තිමත් යටිතල පහසුකම්

Huawei Enterprise BG සමාගමේ උප සභාපති බොබ් චෙන් මහතා අදහස් දක්වමින්, නිවැරදි අවස්ථාවේ දී අවශ්‍ය නිවැරදි තාක්‍ෂණය කුමක්දැයි තීරණය කිරීම සඳහා බහු-තාක්ෂණික සහයෝගීතාවේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළේය. "නවීන ඩිජිටල් යටිතල පහසුකම් ඩිජිටල් පරිවර්තනය වේගවත් කරනවා. දත්ත යනු ඩිජිටල් පරිවර්තනයේ හරයයි. දත්ත ග්‍රහණය, සම්ප්‍රේෂණය, ගබඩා කිරීම සහ විශ්ලේෂණය මෙම ක්‍රමවේදයේ ප්‍රධාන පියවර හතර විදියට දැක්විමට පුළුවන්. මේ නිසා ම Huawei සමාගම පරිභෝගික ජනතාවගේ දත්තසැකසීමේ ක්‍රියාවලි වගේ ම ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම වෙනුවෙන් සුවිශේෂී නිෂ්පාදන හා සේවා රැසක් හඳුන්වා දීල තිබෙනවා."

Huawei සමාගම සිය ගෝලීය හවුල්කරුවන් සවිබල ගන්වමින් ඔවුන් සඳහා දියුණු වන ඩිජිටල් පරිසර පද්ධතියක් ගොඩනැංවීම

මෙම අවස්ථාවේ දී Huawei සමාගම විසින් සිය සවිබල ගැන්වීමේ වැඩසටහනක් ද දියත් කරන ලද අතර, එය එම සමාගමේ ගෝලීය හවුල්කරුවන් සඳහා දියුණු වන ඩිජිටල් පරිසර පද්ධතියක් ගොඩනැංවීම ඉලක්ක කෙරිණි. මෙම වැඩසටහන හරහා Huawei සමාගම සිය හවුල්කරුවන් සමඟ එක්ව ඒකාබද්ධ නවෝත්පාදනයන් සිදු කිරීමට අරමුණු කරයි. නව රාමුවක්, නව සැලැස්මක් සහ ඒකාබද්ධ ක්‍රියාවලියක් මගින් සිය හවුල්කරුවන් සවිබල ගැන්වීමට මෙන් ම  Huawei ICT ඇකඩමිය හා Huawei බලයලත් අධ්‍යාපනික සහකරුවන් සමග එක් වී විවිධ වැඩසටහන් දියත් කරමින් දක්ෂතා සංචිතයක් ගොඩනැංවීමට ද Huawei සමාගම කටයුතු කරයි.  ඉදිරි වසර තුන තුළ ගෝලීය හවුල්කරුවන්ට සහාය වීම සඳහා මෙම වැඩසටහන වෙත ඇමරිකානු ඩොලර් මිලියන 300 ක මුදලක්  ආයෝජනය කරන බව ද Huawei සමාගම මෙහි දී නිවේදනය කළේය.

  • Ada Derana BIZ Sinhala
  • Beach Cleaning Day
  • C.W. Mackie PLC
  • sri lanka

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

September, 27, 2022

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දූෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක් පාර්ශ්වයක් ශක්තිමත් කරමින් වෙරළ තීරය පිරිසිදු කිරීමේ අගය පිළිබඳ මහජනතාව උනන්දු කරවීමේ  “Beach Cleaning Day” වැඩසටහන අති සාර්ථක ලෙස පසුගියදා සංවිධානය කරන ලදී.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) හා ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගයෙන් Clean Ocean Force" වන අරණ යන පරිසර සංවිධාන හා පරිසරවේදීන් රැසක් සමග එක්වෙමින් සී. ඩබ්ලිව් මැකී පීඑල්සී කාර්ය මණ්ඩලයේ ශ‍්‍රම දායකත්වයෙන් “Beach Cleaning Day” වැඩසටහන ගල්කිස්ස වෙරළ තීරයේදී ක‍්‍රියාත්මක කෙරිණ.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සභාපති හේමක අමරසූරිය මහතා වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින්  “රට වටකර පවතින මුහුදෙන්, ලස්සන වෙරළ තීරයකින් හා ස්වභාවික සෞන්දර්යකින් අපේ රට පොහොසත්. පරිසර දූෂණය හා කාලගුණ විපර්යාසයන් ගැන දිනෙන් දින නරක ආරංචි වැඩි වැඩියෙන් ලැබෙනවා. නිරන්තරයෙන් ආයතනික සමාජ වගකීම් නොපිරිහෙලා ඉටුකරමින් කටයුතු කරන අප ආයතනයට එය මහත් කම්පනයක් ඇති කළා. ඒ නිසාම ව්‍යාපාර ආයතනයක් විදිහට පරිසරය සුරක්ෂිත කිරීමේ මෙහෙවරට දායකත්වයක් හා නායකත්වයක් දීමේ අරමුණෙන් අප Beach Cleaning Day වැඩසටහන ආරම්භ කළා. ” යැයි පැවසීය.

පසුගිය වසර කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකා මුහුදු තීරය හා වෙරළ දූෂණය වීමේ අවදානමට මුහුණ පෑවේ ජල ජීවී හා මනුෂ්‍ය ජීවිත වෙත මහත් තර්ජනයක් එල්ල කරමිනි. මෙම තත්ත්වය මත වගකිව යුතු රාජ්‍ය ආයතනයන් විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සමුද්‍ර ආරක්ෂණ කටයුතු සඳහා පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන හා සංවිධානයන්ගේ දායකත්වය ලබාදීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා අදහස් දක්වමින් “අපගේ මෙම කටයුත්තට පුද්ගලයන් රැසක් සහයෝගය ලබාදීම ගැන මා බෙහෙවින් සතුටු වනවා. සාර්ථකත්වය හඹා යන ව්‍යාපාර සමූහයක් වුවත් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස් වෙනස් තිරසර ක‍්‍රමවේදයකින් අප ව්‍යාපාර පවත්වාගෙන යනවා. අපගේ සය වැදෑරුම් තිරසර නිෂ්පාදන ක‍්‍රමවේදය හරහා තත්ත්වයෙන් උසස් භාණ්ඩ පාරිභෝගිකයා වෙත ලබාදෙන අතර පාරිභෝගිකයාත් අපත් ජීවත්වන පරිසරයේ සුරක්ෂිතතාවය රැකගැනීම ගැනත් අවධානය යොමුකොට තිබෙනවා.” යැයි පැවසීය.

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ ජනප‍්‍රිය සන්නාම රැසක ආනයන, අපනයන, නිෂ්පාදන, අලෙවිකරණ හා බෙදාහැරීම් සේවා ඉටු කරන කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සිදුවන්නේ පරිසර ආරක්ෂණය තහවුරු කළ තිරසර ක‍්‍රමවේදයක් යටතේ ය. PET එකතු කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය, ජල පිරිපහදුව, වීදුරු පානීය ජල බෝතල් නිෂ්පාදනය, ISO 14001:2015 සහතික ලත් නිෂ්පාදනාගාරයක්, හරිත වාර්තාකරණය හා සමුද්‍ර දූෂණය වැළැක්වීමේ ක‍්‍රියාමාර්ග යන සය වැදෑරුම් තිරසර නිෂ්පාදන ක‍්‍රමවේදයක් සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී තුළ ක‍්‍රියාත්මක වේ.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහය විසින් “Recycle for Future Generation” ව්‍යාපෘතිය යටතේ ,”නිෂ්පාදකයින් විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම” EPR ප‍්‍රතිපත්තිය මත පිහිටමින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ප‍්‍රමුඛ සමාගමක් වන Eco Spindles (Pvt) Ltd. සමග එක්ව පරිසරයේ ඇති ප්ලාස්ටික් නැවත එකතු කරමින් ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම ආයතනික හා සමාජ වගකීමක් ලෙස ඉටුකරමින් සිටියි.

තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා විමේ දී ආයතනික කාර්යසාධනය මැනිම සඳහා වන මිනුම් දණ්ඩක් ලෙස සැලකෙන හරිත වාර්තාකරණය භාවිතා කිරීමෙහිලා සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහය විසින් පරිසර අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ජාතික හරිත වාර්තාකරණ ක‍්‍රමවේදය සමග ලියාපදිංචිය ලබා ඇත.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහය විසින්  “Recycle for Future Generation” ව්‍යාපෘතිය යටතේ “නිෂ්පාදකයින් විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම” EPR ප‍්‍රතිපත්තිය මත පිහිටමින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ප‍්‍රමුඛ සමාගමක් වන Eco Spindles (Pvt) Ltd.  සමග එක්ව පරිසරයේ ඇති ප්ලාස්ටික් නැවත එකතු කරමින් ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම ආයතනික හා සමාජ වගකීමක් ලෙස ඉටුකරමින් සිටියි.

තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා විමේ දී ආයතනික කාර්යසාධනය මැනිම සඳහා වන මිනුම් දණ්ඩක් ලෙස සැලකෙන හරිත වාර්තාකරණය භාවිතා කිරීමෙහිලා සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහය විසින් පරිසර අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ජාතික හරිත වාර්තාකරණ ක‍්‍රමවේදය සමග ලියාපදිංචිය ලබා ඇත.

 

ඡායාරූපය - සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී ව්‍යාපාර සමූහයේ සභාපති හේමක අමරසූරිය මහතා සහ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා එම අවස්ථාවට එක්වෙමින්