• Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

සියලු කොටස් 9,900 කඩඉම පසුකරයි

September, 14, 2022

අද (14) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 165.03 (1.69%) කින් ඉහළ ගොස් ඒකක 9,914.12 ලෙසින් වාර්තා විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 46.64 කින් හෙවත් 1.49% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,179.79 ක් ලෙසින් දැක්වුණි.

අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.09 ක් ලෙසින් සටහන් විය. එහිදී රු. බිලියන 3.26 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රු. බිලියන 3.93 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වූ අතර රු. මිලියන 830.62 ක් විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 156.89ක් විදේශීය විකිණුම් ලෙසින් වාර්තා විය.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 128 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සම්පත් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, කොමර්ෂල් බැංකුව සහ HNB බැංකුව යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.

 

  • Ada Derana BIZ Sinhala
  • Great Place to Work® Sri Lanka
  • Huawei Technologies Lanka
  • sri lanka

Huawei Technologies Lanka  සමාගම 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ හොඳ ම සේවා ස්ථාන 50 අතරට තේරී පත් වෙයි

September, 14, 2022

මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නකු වන Huawei Technologies Lanka සමාගම 'ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු ම ආයතන (Great Place to Work® Sri Lanka)'  අතරට අඛණ්ඩව  සිව්වන වරටත් එක් වීමට සමත් විය.  ඊට අමතරව, Huawei Technologies Lanka සමාගම මෙවර අඛණ්ඩව දෙවන වසරටත්, 'ශ්‍රී ලංකාවේ හොඳ ම සේවා ස්ථාන 50’ නම් කෙරෙන ගෞරවණීය ආයතන ලැයිස්තුවේ ලැයිස්තුගත වීමට ද සමත් විය. ඊට අමතරව Huawei සමාගම ‘2022 වසර සඳහා ශ්‍රී ලංකාවේ හොඳ ම සේවා ස්ථාන 15’ අතරට එක් වීම වෙනුවෙන් මෙන් ම, 'නවෝත්පාදන දිරිගැන්වීමේ විශිෂ්ටත්වය' සඳහා ද සම්මාන  දිනා ගැනීමට සමත් විය.  මෙම සුවිශේෂී ජයග්‍රහණ හතර සැමරීම වෙනුවෙන් උත්සවයක් පසුගිය දා කොළඹ Huawei ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

ඩිජිටල්කරණය, බුද්ධි පරිවර්තනය හා  කාබන් විමෝචනය අවම කිරීම යන අරමුණු පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන අතරතුර, ඉහළ විශ්වාසය, අඛණ්ඩතාව, වර්ධනය සහ සේවක සේවිකාවන්ගේ සුරක්ෂිතභාවය යන ගුණාංගයන් පෝෂණය කෙරෙන ආයතනික සංස්කෘතියක් ගොඩනැංවීම කෙරෙහි ස්ථිරසාර ලෙස අවධානය යොමු කරන Huawei සමාගම මෙම ජයග්‍රහණ ලබාගැනීමට සමත් වූයේ 'Great Place to Work Sri Lanka' සමීක්ෂණ ආයතනය විසින් ආයතනවල සේවකයින්ගේ අදහස් ඇතුළුව සිදු කරන ලද ස්වාධීන  සමීක්ෂණයකට අනුව වීම විශේෂිතය.

Huawei Technologies Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටාවෝ ගුවාන්ග්‍යාවෝ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසුවේ, "සේවා යෝජකයෙකු විදියට වසර ගණනාවක් පුරා අපගේ සේවක සේවිකාවන්ගේ විශ්වාසය දිනා ගනිමින්, ඔවුන්ගේ හොඳ ම තේරීම බවට පත්වීමට ලැබීම ඇත්තවශයෙන් ම ආඩම්බරයක්. Huawei සමාගමේ තාක්ෂණික දියුණුව වගේ ම සමාගම තුළ පවතින අද්විතීය ආයතනික සංස්කෘතිය හා පරිසරය මෙම ජයග්‍රහණවලට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තිබෙනවා. Huawei Technologies Lanka සමාගම තම සේවක සේවිකාවන් වෙනුවෙන් යහපත් ආයතනික පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙනවා. ඒ වගේ ම Huawei සමාගම සිය සේවක සේවිකාවන් වටිනා ම සම්පත ලෙස සලකන නිසා ම, ඔවුන් වෙනුවෙන් අවස්ථා නිර්මාණය කිරීම, වෘත්තීයමය ක්‍රියාකාරකම් දිරිගැන්වීම, දක්ෂතා වැඩිදියුණු  කිරීම සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙනුත් දැඩි අවධානයක් යොමු කරනවා. අපගේ සියලු ම සේවක සේවිකාවන් ආයතනයට පක්ෂපාතීව, කැපවීමෙන් කටයුතු කරන නිසා ඒ වෙනුවෙන් ඔවුන් සියලු ම දෙනාට ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා." යනුවෙනි.

Huawei සමාගමේ පාරිභෝගික කේන්ද්‍රීය සේවාව, කැපවීම, නොපසුබට උත්සාහය සහ විවිධ තත්ත්වයන්ට අනුවර්තනය වීම එම සමාගමේ විශිෂ්ටත්වය කෙරෙහි ඍජුව ම බලපා ඇත.  මෙම මූලික වටිනාකම් මත පදනම්ව, Huawei Sri Lanka සමාගම විසින් සිය සමස්ත ක්‍රියාවලිය  ශ්‍රී ලංකාවට සරිලන අයුරින්  මූලික කරුණු 4 ක් ඔස්සේ ගොඩනංවා ඇත. සරල බව, දැඩි අවධානය, විවෘතභාවය සහ වගකීම එම මූලික වටිනාකම් හතරයි. Huawei සමාගම මෙරට  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයට සහ පරිවර්තනයට ප්‍රධාන වශයෙන් දායකත්වයක් දක්වමින්,  ප්‍රශංසනීය හා අසමසම සේවාවක් ලබා දෙයි.

Huawei Technologies Lanka සමාගම සිය සේවකයින් මනා ව රැකබලාගනිමින් ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සනාථ කරමින් මෙවරත් සේවය කිරීමට සුදුසු ම සමාගමක් ලෙස ඇගයිණි. ශක්තිමත් මෙහෙයුම් ක්‍රියාවලිය, අඛණ්ඩ නවෝත්පාදන ක්‍රියාවලිය සහ විශිෂ්ට සහයෝගීතාව යනා දී ගුණාංග වෙනුවෙන් කැපවන  Huawei සමාගම දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිතව සුවිශේෂී සේවාවක් ස්ථාපිත කර ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Dayana Gamage
  • Entertainment Tourism
  • sri lanka
  • tourism

මන්නාරම ඩොලර්වලින් ගනුදෙනු කරන දූපතක් කරලීමේ ඩයනාගේ සංචාරක සැලැස්ම

September, 14, 2022

ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපත සංචාරක කර්මාන්තය සඳහාම නිර්මාණය වූ විනෝදාස්වාද දූපතක් බවට පරිවර්තනය කළ හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. මැකාඔ දූපත මෙන් එය සංචාරක එය ඩොලර්වලින් පමණක් ගනුදෙනු කරනු ලබන තැනක් පමණක් විය යුතු බවත් සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.

සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් ඊයේ (13) නව තනතුරේ වැඩ භාර ගනිමින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

තව ද සංචාරක කර්මාන්තය විවිධ කාණ්ඩයන්ට වෙන් කල හැකි බවත්, ඒ කාණ්ඩ අතරින් Entertainment Tourism යනු විනොදාස්වාදය වෙනුවෙන්ම පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් වෙනු වූ කාණ්ඩයක් බැවින් සංචාරකයින් වෙනුවෙන් ඒ තුළ වූ ඔවුනට විනෝද වීම සඳහා අවශ්‍ය අවස්ථාවන් නිර්මාණය කර දිය යුතු බවත් ඇය පවසා සිටියාය.

එමඟින් මුදල් වියදම් කිරීමට මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ හිතැඟි පරිදි මුදල්  වියදම් කිරීම වෙනුවෙන් අවස්ථාවන් සැලසෙන බව ද රාජ්‍ය අමාත්‍යවරිය එහි දී වැඩිදුරටත් පවසා සිටියා ය.

"Entertainment Tourism කියන්නේ, ඒ ගොල්ලෝ එන්නේ Night Club යන්න, කන්න බොන්න විනෝද වෙන්න ඒ වගේ Entertainment වලට. අද අපේ රටේ ඇත්තටම ඒක අඩුයි. මොකද අපි රටක මේ එන සංචාරකයින්ගෙන් සල්ලි ගන්න ඕනනම්, අපිට ඒ ගොල්ලන්ගෙන් බලෙන් සල්ලි ගන්න බැහැනේ. අපිට ඒ ගොල්ලන්ට වියදම් කරන්න Opportunity එකක් දෙනන් ඕන. ඒ Opportunity එක නැත්තන්, දැන් රෑ 10න් පස්සේ කොළඹ නිකන් සොහොනක් වගේ නම්, අපිටත් පේනවනේ ගියාම රෑ 10න් පස්සේ ගියොත් කොළඹ මුකුත් නැහැ. වියදම් කරන්න තැනක් නැහැ. සල්ලි තියනවා වියදම් කරන්න තැනක් නැහැ. මිනිස්සුන්ට ගහලා සල්ලි ගන්න බැහැනේ. ඒ නිසා අපි මේකට Opportunity දෙන්න ඕන වියදම් කරන්න. මේ Opportunity හදන්න ඕන අපි. මොකද ඒකට තමයි Night Life කියන්නේ, Night Economy කියන්නේ. ඉතින් ඒක අපි හදන්න ඕන."

"මන්නාරම දූපත අපට සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන් Entertainment Macau කියන රට වගේ. ඒ රට ඔක්කොම Entertainment. Macau දූපත වගේ මන්නාරම් දූපත සම්පූර්ණයෙන් Entertainment එකක් කරන්න පුළුවන්, Entertainment දූපතක් ඩොලර් වලින් පමණක් Business කරන, රුපියල් නැහැ, ඩොලර් පමණයි. මේක අපි convert කරලා බලන්න ඕන ඩොලර් වියදම් කරන තැනක් විදිහට විතරක්. වියදම් කරන්න ඕන තරම් රටේ ලෝකේ මිනිස්සු ඉන්නවා, එහෙම හැදුවොත්. ඉතින් ඒක නිසා අපි ඒ වගේ දේවල්, එතකොට ඒ වට පිටාවේ තියන අපේ එයාර්පොර්ට් ටික, අපේ airport ටික Develop කරන්න පුළුවන් ඒ හේතුව හින්දා. ඉතින් එතනට එන ලඟම පලාලි තියනවා, ජැෆ්නා තියනවා, KKS තියනවා. ඒ වගේ Airport තියනවා. එතකොට ඒවා අපිට සම්පූර්ණයෙන්ම Develop වෙනවා."

  • Ada Derana BIZ Sinhala
  • Galaxy Z Flip4
  • Samsung
  • sri lanka
  • Z Fold4

සුවිශේෂී වට්ටම් සමඟින් සැම්සුන් Galaxy Z Flip4 සහ Z Fold4 දැන් ශ‍්‍රී ලංකාවේ

September, 14, 2022

සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගම විසින් පසුගියදා එළිදැක් වූ නව පරම්පරාවේ Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 foldable ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීම ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට ද අත්විඳීමේ අවස්ථාව පසුගියදා උදා විය.

විශේෂයෙන් පරිශීලකයාට ගැලපෙන අයුරින් සකස් කරගත හැකි විශේෂාංග, ඔවුන්ටම ගැලපෙන අත්දැකීම් හා වැඩි දියුණු කළ කාර්යක්ෂමතාවකින් යුත් මෙම සිව්වන පරම්පරාවේ foldable Z නිෂ්පාදන පෙළ ඔබේ එදිනෙදා ජීවිතය නව්‍යකරණයට ලක් කරමින්, වඩා බලපෑම් සහගත අන්තර් ක‍්‍රියාවන් තුළින් ඉදිරියට යනු ඇත්තේ මෙතෙක් අත්විඳි smartphones අත්දැකීම් නව මානයන් වෙත ගෙන යමිනි.

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්හි Mobile eXperience ව්‍යාපාරයේ සභාපති හා ප‍්‍රධානී ආචාර්ය ටී. එම්. රෝහ් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ‘‘අපගේ විවෘතභාවයේ දර්ශනයේ පදනම මත ගොඩනැගී ඇති සැම්සුන් Galaxy foldable උපාංග බාහිර මෙන්ම අභ්‍යන්තර වශයෙන්ද පරිශීලකයන්ට ගැලපෙන අයුරින් සකස් කර ඇති අතර ඒ තුළින් නව හැකියාවන් ද ඔබ වෙත ගෙන එනවා. ලෝක මට්ටමේ අපගේ හවුල්කරුවන් සමඟ එක්ව නිර්මාණය කරන ලද foldable උපාංග අපගේ සුවිශේෂී පරිශීලක අවශ්‍යතා සපුරාලන අසමසම ජංගම දුරකතන අත්දැකීමක් ලබා දෙනු ඇති බව අපගේ විශ්වාසයයි. අපගේ නිරන්තර අවධානය හා කර්මාන්තය තුළ අපගේ නායකත්වය තුළින් අඛණ්ඩව foldable නිෂ්පාදන සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම කාණ්ඩය තුළ රැඩිකල් ව්‍යාපෘතියක සිට ලොව පුරා මිලියන ගණනක ජනතාවක් භාවිත කරන ප‍්‍රමුඛ පෙලේ උපාංග පෙලක් දක්වා සාර්ථකව පරිවර්තනය කිරීමට අපි කටයුතු කරනවා.’’ යනුවෙනි.

දැන් ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින් හටද මෙම devices මිලදී ගැනීමේ අවස්ථාව උදා වී ඇත්තේ Galaxy Z Flip4 හෝ Galaxy Z Fold4 foldable මිලදී ගන්නා විට නොමිලේ ඩයලොග් 200 GB හෝ මොබිටෙල් 300 GB, මාස 6ක් සඳහා OneDrive 100 GB හිමිකර දෙමිනි. තවද මාස 3ක් සඳහා නොමිලේ Spotify Premium සම්බන්ධතාවය ලබා ගැනීමටද ඔවුන්ට අවස්ථාව උදා වේ.

ඉහළ නිර්මාණශීලීත්වයක් වෙනුවෙන් වන සැම්සුන්හි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස සෑම පාරිභෝගිකයකු වෙනුවෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන නිෂ්පාදනයක් ඇති බව සහතික කිරීම සඳහා පරිපූර්ණ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් මෙම දෙකා්ඉකැ නිෂ්පාදන දෙකෙහිම සෑම කොටසක්ම මනාව විශ්ලේෂණය කර තිබීමද විශේෂත්වයකි. විශේෂයෙන් මනා නිමාවකින් යුතුව සැම්සුන් Galaxy Z Flip4 නිර්මාණය කර ඇති අතර එහි සංකීර්ණ සැලසුම ඒ අකාරයෙන්ම පවත්වාගෙන ගොස් ඇත්තේ වැඩි දියුණු කළ කැමරා අත්දැකීමක්, විශාල බැටරියක් හා පරිශීලකයාට සරිලන පරිදි සකසා ගත හැකි විශේෂාංග විශාල ප‍්‍රමාණයක්ද එක් කරමිනි. අද වන විට දක්නට ඇති සැම්සුන් සතු වඩාත් උසස් තත්වයේ smartphones අත්දැකීමක් ලබා දෙන Galaxy Z Fold4 නිමාව වෙනස් කිරීමේ සැලසුම, ආකර්ෂණීය තිරය හා PC වැනි විශේෂාග රැසක් ලබා දීමට සමත්ව ඇත්තේ උසස් කැමරා තාක්ෂණය හා ප‍්‍රබල මොබයිල් ප්‍රොසෙසරයන්වලට අමතරව නව හැකියාවන්ද පරිශීලකයින් වෙත විවෘත කරමිනි.

Galaxy Z Flip4 හි අභ්‍යන්තර හා බාහිර Ultimate Self-expression විශේෂාංගය

පරිශීලකයන් කැමතිම විශේෂාංගයන් තව තවත් ඉහළ නංවන Galaxy Z Flip4, self-expression සඳහා වන අවසන් නිෂ්පාදනය බවට පත් කරනු නිසැකය. විශේෂයෙන් එහි අන්තර්ගත clamshell නිර්මාණය වෙනත් කිසිඳු smartphones එකකින් ඔබට ලබා ගත නොහැකි සුවිශේෂී අත්දැකීමක් ලබා දෙනු ඇත.

අර්ධ වශයෙන් නැමීම තුළින් එහි FlexCam2 ක‍්‍රියාත්මක කළ හැකි අතර hands free වීඩියෝ හෝ විවිධ කෝණයන්ගෙන් සම්පූර්ණ කණ්ඩායම් සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමේ හැකියාවද ඒ සතුය. මෙම විශේෂාංගයන් පරිශීලකයින් කැමතිම apps3 හිද අන්තර්ගතය. Meta සමඟ වන Samsung හි හවුල්කාරීත්වය හේතුවෙන් FlexCam විසින් Instagram, WhatsApp සහ Facebook ඇතුළුව ජනප‍්‍රිය සමාජ මාධ්‍ය වේදිකා පරිපූර්ණත්වයට පත් කර ඇත.

සැම්සුන් Galaxy හි කල් පවතින smartphones නවෝත්පාදනයේ ප‍්‍රතිඵලයක් වන Galaxy Z Fold4 සැම්සුන්හි ප‍්‍රබලම ස්මාර්ට් ජංගම දුරකතනය ලෙස සඳහන් කළ හැකිය. Z Fold4 යනු විවෘත කළ විට හෝ වසා දැමූ විට හෝ Flex mode10 හිදී සැම්සුන්හි සාමූහික ජංගම දුරකතන තාක්ෂණ විශිෂ්ටත්වය මනාව ප‍්‍රදර්ශනය කරන්නකි. එසේම Android 12L සහිත පළමු device එක ද වන එය නැමිය හැකි, සුවිසල් තිරයක් වෙනුවෙන් Google විසින් නිර්මාණය කරන ලද Android හි විශේෂ නව නිෂ්පාදනයක් ලෙසද සඳහන් කළ හැකිය.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් මෙරට පාරිභෝගිකයින් හට මෙම Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro ද මගින් ද සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung Estore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.

ඔබ කොහේ, කොතැන සිටියත්  ඕනෑම විටෙක ඔබට අවශ්‍ය සේවය ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

  • Ada Derana BIZ Sinhala
  • local entrepreneurs
  • sri lanka

ශ්‍රී ලාංකේය සන්නාම ජාත්‍යන්තරයට ගෙන යාමේ ජනාධිපතිවරයාගේ අභිලාෂයට දේශීය ව්‍යවසායකයින්ගෙන් ප්‍රතිචාර

September, 14, 2022

මෙරට ශ්‍රී ලාංකේය සන්නාමයන් ජාත්‍යන්තරය ජයගැනීම පිළිබඳව ජනාධිපතිවරයා අවධානයෙන් සිටින බවත්, ගෝලීය තරඟකරුවන් හට දේශීය සන්නාමයන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න ගැන විමසිලිමත් විය යුතු බවත් හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා සඳහන් කරයි.

දේශීය කර්මාන්ත ආයතන තම නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමට සහ ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් කිරීමට උපකාර වන කාලය මෙය බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

ෆවුසුල් හමීඩ් මහතා විසින් තබන ලද ෆේස්බුක් සටහනක මේ බව සඳහන් වේ.

1949 දී ආරම්භ කරන ලද හමීඩියා ආයතනය ශ්‍රී ලාංකේය පිරිමි ඇඟලුම් විලාසිතා ක්ෂේත්‍රය තුල ප්‍රවණතා සකස් කරන්නන් බවට පත් වී ඇති අතර සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙයි. හමීඩියා හි තත්වයෙන් උසස් පිරිමි ඇඟලුම් සන්නාම එකතුවට Envoy London, Le Bond, Signature, Van Heusen, Louis Philippe, Park Avenue සහ Adidas ඇතුළත් වේ.

  • Ada Derana BIZ Sinhala
  • Chinese
  • Chinese Embassy
  • Lotus Tower
  • sri lanka

චීන ජාතිකයින්ට නෙළුම් කුලුන ‍free ද? – චීන තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

September, 14, 2022

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයට ඇතුළත් වීම සඳහා නිකුත් කරනු ලබන ටිකට් පතක යැයි පැවසෙන ඡායාරූපයක් පිළිබඳව මෙරට චීන තානාපති කාර්යාලය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

මෙහිදී චීන තානාපති කාර්යාලය පවසන්නේ නෙළුම් කුලුනේ ප්‍රවේශපත්‍රයක් ලෙසින් සංසරණය වන එම ඡායාරූපය ව්‍යාජ එකක් බවයි.

එම සංසරණය වන ටිකට්පතේ දක්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, චීන ජාතිකයින්ට නෙළුම් කුලුන පරිශ්‍රයට නොමිලේ ඇතුළත් විය හැකි බවයි. එහිදී චීන ජාතිකයන් වලංගු විදේශ ගමන් බලපත්‍රෙය් මුල් පිටපත ඉදිරිපත් කළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙලෙස සංසරණය වන ටිකට් පත ව්‍යාජ එකක් බව මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පවසා සිටී. හෙට (15) සිට නෙළුම් කුලුන මහජනයා සඳහා විවෘත වන බවත්, ටිකට් පතක් මිල දී ගෙන ඔබගේම ඇස් දෙකෙන් එය දැක බලා ගන්නා ලෙසත් චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

  • Ada Derana BIZ Sinhala
  • People's Leasing
  • School Children
  • Seruwila Area
  • sri lanka

සේරුවිල පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම සදහා පීපල්ස් ලීසිං සමාගම මගී ප්‍රවාහන බස් රථයක් පරිත්‍යාග කරයි

September, 14, 2022

පීපල්ස් ලීසිං සමාගමේ පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වය යටතේ සේරුවිල ප්‍රජා සංවර්ධන පදනමට මගී ප්‍රවාහන බස් රථයක් පරිත්‍යාගකිරීම පසුගියදා පිපල්ස් ලීසිං ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරුණි.

සේරුවිල ප්‍රදේශය අවට සිටින පාසල් සිසුන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයාදීමේ අරමුණින් නව බස් රථයක් මිළදීගැනීමට සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති සහ සේරුවිල ප්‍රජා සංවර්ධන පදනමේ සභාපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේ විසින් පීපල්ස් ලීසිං සමාගමෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම පුණ්‍ය කටයුත්ත සමාගමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස දියත් විය.

මෙම බස් රථය සේරුවිල ප්‍රජා සංවර්ධන පදනමේ සභාපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේට පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති සුජිව රාජපක්‍ෂ මහතා සහ ප්‍රධාන විධායක නිළධාරී සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සිලිං මහතා විසින් නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබීය.

බස් රථය ප්‍රදානයකිරීමේ උත්සවයේ අනුශාසක කථාව සිදුකරමින් පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේ පැවසුවේ සේරුවිල සුමේධංකරපුර, කාවන්තිස්සපුර, බ්ලොක් සී, සේරුනුවර, සෝමාවතිය පාර සහ මහවැලිගම යන ගම්මානවල පවතින වන අලි තර්ජන නිසා ආරක්ෂාකාරීව පාසල් යෑමේ අභියෝගයට ළමුන් මුහුණදෙන බවත් එයට විසදුමක් ලෙස දරුවන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට අවශ්‍ය බස් රථයක් මිළදීගැනීමට පීපල්ස් ලීසිං සමාගමෙන් සිදුකළ ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාරයක් විදියට එම ප්‍රදේශයේ දරුවන්ට නොමිලේ බස් රථයක් ලබාදීම වෙනුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති සුජිව රාජපක්‍ෂ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ෂමීන්ද්‍ර මර්සිලිං මහතා ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලයේ සියළු දෙනාට සේරුවිල ප්‍රජා සංවර්ධන පදනම සහ ප්‍රදේශවාසීන්ගේ කෘතවේදී’ත්වය පළකරන බවය.

මෙම උදාරතර කටයුත්ත, පීපල්ස් ලීසිං සමාගමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස සිදුකිරීමට හැකිවීම පිළිබඳව අප සමාගම ඉතා සතුටට පත්වන බවත් මෙම මගී ප්‍රවාහන බස් රථය සේරුවිල ප්‍රදේශවාසී පාසල් දරුවන්ට ලැබුණු ධනයක් සේ සළකා එය ඉතා ආරක්ෂාකාරීව පරිහරණය කර ඉදිරි පරපුරටත් දායාදකිරීම ඔවුන්ගේ වගකීම බව උත්සවය ඇමතු පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති, සුජීව රාජපක්‍ෂ මහතා සදහන් කළේය.

එම උත්සව අවස්ථාවට, පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, මහාමාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, චමින්ද අතළුවගේ මහතා, කන්තලේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ධර්මතිලක මහතා, සේරුවිල ප්‍රජා සංවර්ධන පදනමේ නියෝජිතයන්, සේරුවිල මංගල මහ චෛත්‍යවර්ධන සමිතියේ නියෝජිතයන්, සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ දායකාදීන් සහ සේරුවිල මහා විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරු ඇතුළු සිසුදරුවන් සහභාගී වූහ. පැමිණ සිටි සේරුවිල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානයකිරීමක්ද මෙහිදී සිදුවිය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ඡායාරූප විස්තරය - පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති, සුජීව රාජපක්‍ෂ මහතා සහ ප්‍රධාන විධායක නිළධාරී/ සාමාන්‍යාධිකාරී, ෂමීන්ද්‍ර මර්සිලිං මහතා විසින් පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේට නිළ වශයෙන් බස් රථය ප්‍රදානය කළ අවස්ථාව. පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා සේරුවිල සිසු දරුවෝ ජායාරූපයෙහි පසෙකින් සිටිති.

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka
  • UNLIMITED CALL BOOSTER

SLT-MOBITEL ‘UNLIMITED CALL BOOSTER’ වෙතින් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS

September, 14, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳු සම්පාදකයා වන SLT-MOBITEL, ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS පිරිනමන විශේෂ පැකේජයක් හඳුන්වා දී තිබේ. ‘UNLIMITED CALL BOOSTER’ ලෙස නම් කර ඇති මෙය, පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට මෙන්ම පසු ගෙවුම් පාරිභෝගිකයන්ට ද භාවිතා කළ හැක.

‘UNLIMITED CALL BOOSTER’ නිසා ශ්‍රී ලාංකිකයන්ට දැන් රිසිසේ තම නෑදෑ හිතමිතුරන්ට ඇමතුම් ලබා ගැනීමටත්, කෙටිපණිවිඩ යැවීමටත් අවස්ථාව ලැබී තිබේ. එමෙන් සන්නිවේදන කටයුතු සඳහා නිතර දුරකථන ඇමතුම් හා කෙටිපණිවිඩ භාවිතා කරන සමාගම්, ආයතන සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ද මෙය කදිම විසඳුමක් වනු ඇත.

මුළු මාසය පුරාවටම වලංගුවන ‘UNLIMITED CALL BOOSTER’ පැකේජය රු. 636/- ක් වැනි ආකර්ෂණීය මිලකට ලබාගත හැකි වේ. පෙර ගෙවුම්පා රිභෝගිකයන්ට රු. 636 ක් රීලෝඩ් කර හෝ #147# ඩයල් කර මෙය සක්‍රීය කරගත හැකි අතර පසු ගෙවුම් පාරිභෝගිකයන්ට 1717 අමතා ලැබෙන උපදෙස් අනුව එය සක්‍රීය කර ගත හැක.

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවන් හි සිදුවන වෙනස්කම් හඳුනා ගනිමින්, එම වෙනස්කම් වලට ගැළපෙන විසඳුම් පිරිනැමීමට SLT-MOBITEL ගන්නා නිරන්තර උත්සාහයේ තවත් එක් පියවරක් වශයෙන් ‘UNLIMITED CALL BOOSTER’ පැකේජය හඳුන්වා දී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sltmobitel.lk හි දක්වා ඇත.

  • Ada Derana BIZ Sinhala
  • exportmarket
  • fruits
  • onlinesession
  • sri lanka
  • Vegetables

පලතුරු සහ එළවළු සඳහා පවතින අපනයන වෙළඳපොල පිළිබද අන්තර්ජාල සැසියක්

September, 14, 2022

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ පලතුරු සහ එළවළු අංශයේ අපනයන අවස්ථා පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2022 සැප්තැම්බර් 21 වන දින පෙරවරු 9.30 සිට 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් සහ දේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.

මෙම අන්තර්ජාල සැසිය (Webinar) ඔස්සේ පලතුරු සහ එළවළු අංශයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින් හට ජාත්‍යන්තර වෙළඳපොළ තුල පවතින අවස්ථා පිළිබඳ අවබෝධය ලබාදීමට අදහස් කෙරේ. එහිදී මෙම ක්ෂේත්‍රයේ ගෝලීය වෙළඳපල සහ ප්‍රවණතා, වත්මන් අපනයන වෙළඳපළ සංයුතිය හා දිශානතිය, වෙළඳපොළ තරඟකාරිත්වය, අපනයන වෙළඳපොළට පිවිසීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා ආදී මාතෘකාවන් පිළිබද අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන එම අංශයේ  අධ්‍යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය සපයන්නේ අපනයන කෘෂිකර්ම අංශයේ සහකාර අධ්‍යක්ෂිකා තිලිණි විමලගුණසේකර මහත්මිය විසිනි.

සැසිය සඳහා ලියාපදිංචි වීමේ ප්‍රමුඛතාවය අනුව තෝරා ගැනීම සිදු වන අතර ලියාපදිංචි ගාස්තුව රු. 2000.00 කි. ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ පහත සදහන් වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න. https://www.edb.gov.lk/event/exportmarkets වැඩිදුර තොරතුරු සඳහා නිපුණි මුණසිංහ, අපනයන ප්‍රවර්ධන නිලධාරිනී අමතන්න - nipuni@edb.gov.lk / Tel: 0112300716

  • Ada Derana BIZ Sinhala
  • New Zealand High Commissioner
  • sri lanka
  • Trade Minister

වෙළෙඳ ඇමති සහ නවසීලන්ත මහකොමසාරිස්වරයා අතර ද්වීපාර්ශවීය හමුවක්

September, 14, 2022

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ද්වීපාර්ශවීය වෙළෙඳ හා ආර්ථික සබදතා තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ලෙටන් මහතා (Michael Appleton) සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් (13දින ) වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවයේම සාකච්ඡාවට ලක් වූ අතර අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය විසදීම සඳහා දේශීය නිෂ්පාදන ධාරිතාවය වැඩි කළ යුතු බවයි.

යෝජිත ශ්‍රී ලංකා නවසීලන්ත වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාවය සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශවයේම අවධානය යොමු වූ අතර ශ්‍රි ලංකාව මේ වන විටත් එම ගිවිසුමේ ඉදිරි කටයුතු වලට සූදානම් වෙමින් සිටිි.

ශ්‍රී ලංකාවේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය පිළිබවඳවත්, ශ්‍රී ලංකාව සමඟ චීනය සහ ඉන්දියාව අතර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් හා ඊට අදාළ වෙළෙඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද මෙහිදී මහකොමසාරිස්වරයාගේ අවධානය යොමු විය.රසායනික පොහොර ආනයනය නැවැත්වීමෙන් පැණ නැගුණු ගැටළු සම්බන්ධයෙන් හා සංචාරක කර්මාන්තය හා විදෙස් ආයෝජන සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් ක‍ළේ ශ්‍රී ලංකාව නවසීලන්තයට අපනයනය කරන භාණ්ඩ අතුරින් ශ්‍රී ලංකාවේ තේ ප්‍රධාන තැනක් ගන්නා බවත් එය ලංකාවේ අපනයන වල මුළු වටිනාකමින් 30% බවත්ය. තේ වලට අමතරව ලංකාව ඇගලුම්,පොල් ආශ්‍රිත නිෂ්පාදන හා ටයර් ඇතුළු භාණ්ඩද නවසීලන්තය වෙත අපනයනය කරයි.නවසීලන්තයේ සිට මෙරටට සංචාරකයන් පැමිණීම හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමයමය ලබා ගැනීමේ ඇති විභවතාවයක් පිළිබදවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ ට්‍රැව්ලර්, නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශක සුමුදු ජයසිංහ,වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් එස්.ටී කොඩිකාර, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආනන්ද ධර්මප්‍රිය සහ වෙළෙඳ ඳ අමාත්‍යාංශයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.