• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • dollar
  • sri lanka

මහ බැංකුවේ ඩොලර් සංචිතය පහළට

September, 8, 2022

2022 අගොස්තු මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,716 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,817 ට වඩා 5.6% ක පහළ යාමක් වේ.

මේ අතර මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ජූලි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,709 සිට අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 1,619 ක් දක්වා අඩු වී ඇත. එය 5.3% ක අඩු වීමකි.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දිගු වෙයි

September, 8, 2022

කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර සමාගම් හි උපදෙස් ඇතිව පහත දක්වා ඇති පරිදි 2022 සැප්තැම්බර් 15 වැනි බ්‍රහස්පතින්දා සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

පූර්ව වෙන්දේසි සැසිය - පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා

විවෘත වෙන්දේසිය - පෙරවරු 10.00

දෛනික ගනුදෙනු - පෙරවරු 10.00 ට ආරම්භ වේ.

ගනුදෙනු අවසානය - පස්වරු 12.30

මේ අනුව මෙතෙක් පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැය 2ක කාලයක්ව තිබූ කොටස් වෙළෙඳපොළ නිත්‍ය ගනුදෙනු සැසිය පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා පැය 2 1/2 ක් දක්වා කාලයකට දීර්ඝ වනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Huawei
  • sri lanka
  • Thailand

Huawei Thailand සමාගම ‘තායිලන්ත සයිබර් ආරක්ෂණ විශිෂ්ටතා සම්මාන – 2022’ හි දී අගමැති සම්මානයෙන් පිදුම් ලබයි

September, 8, 2022

Huawei Technologies (Thailand) Co. Ltd. සමාගම  තායිලන්තයේ ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සියේ​​(NCSA) සංවිධානයෙන්, බැංකොක් නුවර ග්‍රෑන්ඩ් කොන්වෙන්ෂන් හෝටලයේ දී අද පැවති ' තායිලන්ත සයිබර් ආරක්ෂණ විශිෂ්ටතා සම්මාන 2022' උලෙළේ දී කීර්තිමත් අගමැති සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එම සමාගම නියෝජනය කරමින්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අබෙල් ඩෙන්ග් මහතා අදාළ සම්මානය ලබා ගත්තේය. තායිලන්තයේ ඩිජිටල් ආර්ථික හා සාමාජීය  අමාත්‍ය චයිවුට් තනකමනුසෝර්න් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට තායිලන්ත ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සියේ මහලේකම් ජනරාල් ප්‍රච්යා චලෙර්ම්වට් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික යන අංශවල නිලධාරීහු සහ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.

මෙම කීර්තිමත් සම්මානයෙන් පිදුම් ලැබීම මගින් රට පුරා සයිබර් ආරක්‍ෂාව හා දත්ත ආරක්‍ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම වෙනුවෙන් තොරතුරු ආරක්‍ෂාවේ විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ නායකත්වය ගොඩනැංවීම  සඳහා Huawei Thailand සමාගමේ ඇගයීමට ලක් කෙරිණි.  පසුගිය මාස 12 තුළ, Huawei Thailand සමාගම විසින් 'තායිලන්ත ජාතික සයිබර් සතිය' සහ 'සයිබර් ආරක්ෂණ මුලපිරීමේ පිළිබඳ සම්මන්ත්‍රණය' වැනි සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධ සුවිශේෂී වැඩසටහන් කිහිපයක් දියත් කෙරිණි. එමෙන් ම එම සමාගම තායිලන්ත ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සිය සමග එක්ව, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂ සිසු සිසුවියන් ඇතුළු 800 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් තායිලන්තයේ ප්‍රථම සයිබර් ආරක්ෂණ තරගය වන ‘තායිලන්ත සයිබර් ටොප් ටැලන්ට් - 2021’  පැවැත්වීමට කටයුතු කළේය. ඊට අමතරව තායිලන්තයේ සයිබර් ආරක්ෂණය සම්බන්ධ මානව කුසලතා ශක්තිමත් කිරීම සඳහා, Huawei විසින් අග්නි දිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත්රටවල් අතර සංවිධානය කෙරුණු ‘Cyber ​​SEA Game 2021’ තරඟයට තායි නියෝජිත කණ්ඩායමක් යවන ලදී. එහි දී තායි කණ්ඩායම පළමු ස්ථානය දිනාගත් අතර, එම කණ්ඩායම අග්නි දිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත්රටවල් අතරින් හොඳ ම සයිබර් ආරක්ෂණ කණ්ඩායම ලෙස ද නම් කෙරිණි.

තායිලන්තයේ සයිබර් ආරක්‍ෂණ සම්මාන, එරට සයිබර් ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රබල කාර්‍යභාරයක් ඉටු කරන පුද්ගලයින්ට සහ සංවිධානවලට ගෞරව කිරීම සඳහා නිර්මාණය කෙරුණු වැඩසටහනකි. සයිබර් ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම, ඒ සඳහා අදාළ ක්ෂේත්‍රය තුළ නායකත්වය ගෙන කටයුතු කිරීම සහ ඒ වෙනුවෙන් ඔවුන් අනුගමනය කරන ගුණාත්මක ව්‍යාපාරික භාවිතයන් හා උපාය මාර්ග අගයමින්  සම්මාන ප්‍රදානය කෙරෙයි.  Huawei Thailand සමාගම නව තාක්‍ෂණය හා සම්බන්ධ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම වෙනුවෙන් අඛණ්ඩව සිදුකරනු ලබන විවිධ වැඩසටහන්, අධ්‍යයනයන් මගින් මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ ම ආයතනික පුරවැසියන් හා අත්වැල් බැඳගනිමින්  නව්‍ය සයිබර් ආරක්ෂණ විසඳුම් යාවත්කාලීන කිරීම සහ ව්‍යප්ත කිරීම වෙනුවෙන් කැපවන ආයතනයක් ලෙස  පිළිගැනීමට ලක්ව ඇති ආයතනයකි.

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka
  • The Arena

SLT-MOBITEL වෙතින් ‘The Arena’: නවෝත්පාදනය හා තාක්ෂණය ජනතාවට සමීප කරන අත්දැකීම් කේන්ද්‍රයක්

September, 8, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා 'The Arena’ නමින් නවතම අත්දැකීම් මධ්‍යස්ථානයක් (Experience Centre) විවෘත කළේ ය. ඩිජිටල් පරිවර්තනය ඔස්සේ ජනතාවගේ ජීවන රටාවන් වඩාත් යහපත් කිරීමට උපකාරී වන පෙරළිකාරී නව තාක්ෂණයන් හා සේවාවන් ජනතාවට හඳුන්වා දීම මෙහි අරමුණයි.

කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) මෙම අත්දැකීම් මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ සහ MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ.

“වර්තමාන ඩිජිටල් යුගයේ, නිවාස මෙන්ම ව්‍යාපාර තුළ නව්‍ය විසඳුම් භාවිතා කළ හැකි ආකාරය ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍යයි. ‘The Arena’ මධ්‍යස්ථානය තුළදී අපගේ ගනුදෙනුකරුවන්ට සහ ව්‍යවසායකයන්ට තම ජීවන රටාවන් අලුතින් නිර්වචනය කරන විසඳුම් සහ සේවාවන් අත්විඳීමට අවස්ථාව ලැබේවි. සුහුරු නවෝත්පාදන සහ නවීන තාක්ෂණය එකිනෙක මුසුවන මෙම මධ්‍යස්ථානය මෙරට තොරතුරු, සන්නිවේදන සහ දුරකථන සේවා කර්මාන්තයට පුරෝගාමී ආදර්ශයක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

මෙම මධ්‍යස්ථානය තුළදී පාරිභෝගිකයන්ටත් ව්‍යාපාරවලටත් නවීනතම තාක්ෂණය මගින් අත්විඳිය හැකි සුවිශේෂී ප්‍රතිලාභ පෙන්වා දීම සඳහා SLT-MOBITEL සහ BMICH එක්ව කටයුතු කරනු ඇත. ඩිජිටල් ජීවන රටා කලාප, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා වෙන් වූ කලාපයක් සහ විද්‍යුත් ක්‍රීඩා කලාපයක් ඇතුළු විවිධ කලාප මෙම මධ්‍යස්ථානය තුළ පිහිටුවා තිබේ. මේ ආකාරයට නවීන තාක්ෂණය මගින් සමාජයට සිදුවන යහපත පෙන්වා දීම සඳහා මෙරට තුළ පිහිටුවන ලද ප්‍රථම මධ්‍යස්ථානය මෙය වන අතර,  Smart Home තාක්ෂණය, 5G අත්හදා බැලීම් සහ ස්මාර්ට් උපාංග ආදිය සහ ඒවා ක්‍රියාත්මකවන ආකාරය දැකබලා ගැනීමට මෙහිදී ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

Cloud, Digital Services, Networking, Internet, Data center, Cyber Security, Voice & Collaboration, Messaging, Entertainment & IOT, NFC, Software Development සහ Digital Marketing වැනි ක්ෂේත්‍ර රාශියකට අයත් විසඳුම් හා සේවා මෙම අත්දැකීම් මධ්‍යස්ථානය තුළ ප්‍රදර්ශනය කෙරේ. එබැවින් මෙය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයටම නව අවස්ථා රාශියක් උදාකර දෙනු ඇත. එමෙන්ම මෙම මධ්‍යස්ථානය live streaming මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මක වේ.

eSports කලාපය තුළදී විද්‍යුත් ක්‍රීඩා ලෝලීන්ට PC සහ Console Gaming පහසුකම්, තරගාවලිවලට සහභාගී වීම, eSport පදනම් භාවිතා කිරීම සහ Data සේවා ආදිය සමග අධිවේගී සම්බන්ධතා පහසුකම් භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

'The Arena' වෙත පැමිණ නවීන තාක්ෂණයේ මහිමය සිත් සේ අත්විඳින මෙන් SLT-MOBITEL සිය පාරිභෝගිකයන් ඇතුළු සියලුම දෙනාට ආරාධනා කර සිටී.

  • Ada Derana BIZ Sinhala
  • Parliament
  • Sajith
  • sri lanka

පාර්ලිමේන්තුවේ මුදල් බලතල උල්ලංගනය කරන්න එපා. විපක්ෂ නායක කථානායකගෙන් ඉල්ලයි

September, 8, 2022

අද (08) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක් වෙමින් විපක්ෂ නායක වරයා මෙසේ ප්‍රකාශ කළේය.

"ගරු ජනාධිපතිතුමා එවකට විපක්ෂයේ මන්ත්‍රී වරයෙක් හැටියට, එතුමාගේ යෝජනාවක් හැටියට තමයි Article 4 ඒ වාර්තාව මේ අපි දැනගන්නට මේ සභාවට ඉදිරිපත් කළේ. එතුමා තමයි අවස්තා ගණනාවකදිම මට මතකයි එතුමයි, බැසිල් රාජපක්ෂ එවකට මුදල් ඇමතිතුමයි අතර එවකට ජනාධිපතිවරයා ඉන්න අවස්ථාවක ලොකු විවාදයකුත් ආති වුණා. ඊට පසුවත් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වර්තමාන ජනාධිපතිතුමාම ලොකු බලකිරීමක් කළා. එතකොට එතුමා පූර්වාදර්ශයක් ලබා දීලා තියනවා. There is a precedentm. ඒ පූර්වාදර්ශය තමයි කරුණාකරලා පාර්ලිමේන්තුව සතුව තියන මූල්‍ය බලතල උල්ලංගනය කරන්නේ නැතුව මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ මේ සියළුම ගිවිසුම හෙලිදරව් කරන්න. Table කරන්න. ඉතින් මම බොහොම තර්කානුකූලව ගරු සභානායකතුමාට මේක ඉදිරිපත් කළා. දැන් ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට යෝජනා කරනවා මේක Tabel කරන්න කියලා. Article 4 report එක. එය එසේම ඉදිරියට යනවා මිස එතුමා ජනාධිපතිවරයා වුනා කියලා ඒක වෙනස් වෙන්න බැහැනේ. ඉතින් ඒකට ජනාධිපතිතුමත් විරුද්ධ නැහැ . එතුමත් එකඟයි. මම හිතන්නේ ඔබතුමා නරකයි මෙතනට ඇවිත් කියන්න සම්ප්‍රදායකත් නැහැ, අරකක් නැහැ, මේකක් නැහැ කියලා.

මම ඔබතුමාට මතක් කරන්න කැමති මේක සාමාන්‍ය තත්ත්වයක්. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයිනේ. අසාමාන්‍ය තත්ත්වයක්. අසාමාන්‍ය තත්ත්වයක් තුළ අසාමාන්‍ය දේවල් ඔබතුමන්ලත් යෝජනා කරනවනෙ. මෙහෙමෙ කරමු අරෙහෙම කරමු කියලා. ඉතින් මම කියන්නේ මේක හරි වැදගත් මෙකේ විනිවිධ භාවයකින් යුක්තව පාරිදෘෂ්‍ය භාවය තහවුරු කරගෙන කරුනාකරලා මේක Table කරන්න. මහ බැංකුවෙන් හෝ මුදල් අමාත්‍යාංශයෙන් ගෙනාපු වාර්තා මෙතන කියවන්නේ නැතුව. දැන් එක්තරා, එක්තරා නෙවෙයි ඉතින් නිවාඩ් කබ්රාල් මැතිතුමා මෙච්චර අපි පුන පුනාම මේ සභාවේ අපි ප්‍රශ්න කළා. ඔබතුමා මූලාසනයේ ඉන්නකොට ඔබ තුමාට මතක ඇති. Fitch Ratings ගැන, Moody's ගැන, Standard and Poor's ගැන, ඔබතුමා පොඩ්ඩක් හැන්සාඩ් එක කියවලා බලන්න. දුන්නේ බහු බූත උත්තරනේ. මහ පොලව පැලෙන බොරුනේ කිව්වේ. එයාගේ මොකක් ද උත්තරේ අතීතය ගැන මහා වට්ටෝරුව කියවගෙන සම්පූර්ණ බොරු තමයි ක්‍රියාත්මක කරේ. දැන ඔබ තුමන්ලට එහෙම හැසිරෙන්න බැහැනේ. එහෙනම් මේක තවත් බන්කොලොත් වෙයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබ තුමාගෙන් ගරු සභානායක තුමා මම මේක ඔබ තුමාට මතු කළා මීට දික දෙහෙකට පෙර කරුනාකරලා මෙක Table කරන්න. මේක සභාගත කරන්න."

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • local banks
  • sri lanka

පරිසර හිතකාමී ප‍්‍රවාහන ක‍්‍රම ප‍්‍රවර්ධනය කිරීමට HNB දේශීය බැංකු තුනක් සමඟ අත්වැල් බැඳ ගනී

September, 8, 2022

පරිසර හිතකාමී, සෞඛ්‍ය සම්පන්න සහ පිරිමැසුම්දායී ප‍්‍රවාහන ක‍්‍රම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම තවදුරටත් පුළුල් කරමින්, රැකියාවට යාමේ වඩාත් තිරසාර හා ප‍්‍රායෝගික ක‍්‍රමයක් වන බයිසිකල් පැදීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පුද්ගලික අංශයේ තවත් බැංකු තුනක් වන සම්පත් බැංකුව, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සහ DFCC බැංකුව සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මේ සඳහා අදාල බැංකු ආයතන එක්ව සිය සේවකයන් සඳහා පාපැදි සවාරියක් සංවිධානය කළ අතර කිලෝ මීටර 25 ක දුරකින් යුතු වූ මෙම පාපැදි සවාරිය කොළඹ 3 DFCC පාරිභෝගික මධ්‍යස්ථානයෙන් ආරම්භව ආර්. ඒ. ද මැල් මාවත හරහා දෙහිවල දුම්රිය ස්ථානය දක්වා ගමන් කර පසුව Marine Drive හරහා නැවත ආරම්භක ස්ථානයට පැමිණියේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල ප‍්‍රධාන මානව සම්පත් නිළධාරී සහ Chief Transformation Officer එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ ”මිත‍්‍රත්වයේදී එක්සත්ව කටයුතු කිරීමට සහ අපගේ කාර්ය මණ්ඩලය අතර තිරසාර ජීවන රටාවන්, සෞඛ්‍ය සම්පන්න බව සහ ශරීර යෝග්‍යතාවය ප‍්‍රවර්ධනය කිරීමට පාපැදි පැදීම අඛණ්ඩව සිදු කරගෙන යාමටත් ඒ සඳහා බැංකු ක්ෂේත‍්‍රය එක් කර ගැනීමට හැකි වීම පිළිබඳවත් අපි ඉතා සතුටට පත්වෙනවා.’’ යනුවෙනි.

පසුගියදා යෙදුනු ලෝක පාපැදි දිනයට සමගාමීව සිය සේවකයින් අතර පරිසර හිතකාමී, සෞඛ්‍ය සම්පන්න සහ ආර්ථික වශයෙන් පිරිමැසුම්දායී ප‍්‍රවාහන ක‍්‍රමයක් ප‍්‍රවර්ධනය කිරීමේ HNB ‘Walk the Talk’ වැඩසටහනේ තවත් දිගුවක් ලෙස මෙම පරිසර හිතකාමී වැඩසටහන හඳුන්වා දිය හැකියි. තවද HNB SOLO හරහා බැංකුවේ සේවකයින්ට සහනදායී මිලට පාපැදි ලබා දීමට වෙළෙන්දන් සමඟ ද බැංකුව අත්වැල් බැඳ ගෙන ඇත.

 

ඡායාරූපය - පාපැදි සවාරියට එක් වූ HNB කණ්ඩායම

  • Ada Derana BIZ Sinhala
  • Daraz
  • IZY
  • sri lanka

ඉසුරු උදාන හඳුන්වාදෙන ‘IZY’ ක‍්‍රීඩා ඇඟළුම් දැන් Daraz වෙතින්

September, 8, 2022

ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ සුපිරි ක‍්‍රීඩා ඇඟළුම් පෙළ සුපිරි සන්නාම සඳහාම වෙන් කළ Daraz Mall තුළ

මෙරට සුපිරි ක‍්‍රිකට් තරුවක් වන ඉසුරු උදාන සතු ක‍්‍රීඩා ඇඟළුම් සන්නාමය වන IZY ශ්‍රී ලාංකීය ක‍්‍රීඩාශීලී පාරිභෝගිකයන් හට සුවිශේෂී ඇඟළුම් නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අවකාශය වන Daraz Mall සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය. ක‍්‍රීඩාශීලී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පිරිමි ඇඟළුම් ලෙස men’s gym t-shirts සහ armcuts ද කාන්තාවන් සඳහා ladies’ gym crop tops ද හඳුන්වා දුන් උත්සවය 2022 අගෝස්තු මස 23 වනදා සන්ධ්‍යාවේදී අති උත්කර්ෂවත් ලෙස කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.

IZY සහ Daraz ව්‍යාපාරික සහයෝගීතාවය පිළිබඳ අදහස් දැක්වූ Daraz ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු මහතා “තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වන ඉසුරු උදාන ගේ IZY ක‍්‍රීඩා ඇඟළුම් සන්නාමය සමග අත්වැල් බැඳගන්නට ලැබීම සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටට පත්වෙනවා. Daraz අවකාශයේ සුපිරි සන්නාම සඳහාම වෙන් කළ Daraz Mall  තුළට IZY එක්වීමත් සමග එහි ඇති නිෂ්පාදන විවිධත්වය තව දුරටත් පුළුල් වෙනවා. IZY සමග ඇතිකරගත් මෙම ව්‍යාපාරික සහයෝගීතාවයත් සමග Daraz අපගේ හිතෛෂී පාරිභෝගිකයන් වෙත වැඩි තෝරාගැනීමේ අවස්ථා පිරිනමන්නට අපට හැකිවෙනවා.” යැයි පැවසීය.

පාරිභෝගිකයන් වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ ක‍්‍රීඩා ඇඟළුම් පෙළක් පිරිනමන IZY සන්නාමය Daraz විසින් අරඹා තිබෙන සමාජ සත්කාරක වැඩසටහන් වෙතද සිය දායකත්වය එක් කරනු ලබයි. IZY ඇඟළුම් අලෙවියෙන් ලැබෙන මුදලෙන් කොටසක්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංග සම්පූර්ණ ළමා හෘද රෝග හා දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ලිට්ල් හාට් ජාතික අරමුදලට බැර කෙරේ.

IZY නිර්මාතෘ ප‍්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉසුරු උදාන මහතා අදහස් දක්වමින් “කාර්යබහුල තරගකාරී පරිසරයකදී වුවද තමාගේ යහපත ගැන සිතමින්, නිරෝගී සෞඛ්‍යසම්පන්න හා ප‍්‍රීතිමත් ජීවිතයක් බලාපොරොත්තුවෙන් ක‍්‍රියාශීලීව කටයුතු කරන මිනිසුන් දිරිගන්වන්නට අප IZY සන්නාමය නිර්මාණය කළා. Daraz සමග ඇතිකරගත් ව්‍යාපාරික සහයෝගය නිසා IZY  සන්නාමයේ දියුණුවත් සමාජයේ යහපැවැත්මත් දෙකම එකට සිදුවීම ගැන අප බෙහෙවින් සතුටු වෙනවා. ” යැයි පැවසීය.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

රු. බිලියන 6ක පිරිවැටුමක් සමඟින් කොටස් වෙළෙඳපොළ යළි පිබිදෙයි

September, 7, 2022

අද (07) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 116.94 (1.25%) කින් ඉහළ ගොස් ඒකක 9,447.27 ලෙසින් වාර්තා විය.

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 131 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර රිචඩ් පීරිස් සහ සමාගම, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, රෝයල් සෙරමික් ලංකා, එක්ස්පෝලංකා හෝල්ඩින්ස්, ලංකා IOC යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 19.77කින් හෙවත් 0.66% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,017.97 ක් ලෙසින් දැක්වුණි.

අද දින රු. බිලියන 6.08 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර මෙහිදී කැපී පෙනන කරුණක් වූයේ රු. බිලියන 2.39 විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වීමයි. ඒ අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි රු. බිලියන 2.25ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ද වාර්තා විය.

මේ අතර අද දිනයේ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.68 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.98 ක් ලෙසින් සටහන් වූ අතර වාර්තා වූ විදේශීය විකිණුම් ප්‍රමාණය රු. මිලියන 99.75 කි.

 

  • Ada Derana BIZ Sinhala
  • Bankers on Bicycles
  • sri lanka

“Bankers on Bicycles” සමාරම්භක අදියර සඳහා ප්‍රධාන බැංකු ආයතන හතරක් එක්වෙයි

September, 7, 2022

DFCC බැංකුව, හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව පසුගියදා "Bankers on Bicycles" වැඩසටහනේ සමාරම්භක අදියර වෙනුවෙන් සහභාගී විය. පාපැදි භාවිතය එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්කිරීම තුළින් වඩාත් තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවන ලද්දේ පළමු වරට ය. මෙම වැඩසටහන මාසිකව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, වැඩසටහනට දායක වන බැංකු ආයතන එම වැඩසටහන් වල සත්කාරකත්වය දරනු ඇත.

මෙහි සමාරම්භක වැඩසටහන 2022 අගෝස්තු 06 දින පෙරවරු 6 ට, කොළඹ 03 පිහිටි DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ විය. දෙහිවල දක්වා ගමන් කර නැවත ආපසු පැමිණි මෙම පාපැදි සවාරිය සඳහා ඉහත සඳහන් බැංකු ආයතන හතර නියෝජනය කරමින් 150 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන මෙම බැංකු ආයතන හතරෙහි කාර්ය මණ්ඩල වල සියලුම දෙනා වෙනුවෙන් විවෘත වූ අතර, ප්‍රධාන විධායක නිලධාරීවරුන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළුව සියලුම මට්ටම් නියෝජනය කරන පිරිසක් මහත් උනන්දුවකින් යුතුව ඊට එක් වූහ.

“2020 වසරේදී අපගේ 65 වන සංවත්සර සැමරුම් අතරතුර අප පාපැදි භාවිතය හඳුන්වා දුන්නා. එතැන් පටන් අපගේ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් පාපැදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, විශේෂයෙන්ම හෝර්ටන් පෙදෙසේ පිහිටි අපගේ Pinnacle Centre ඇතුළු ස්ථාන වල පාපැදි භාවිතා කරන්නන් වෙනුවෙන් විශේෂ පහසුකම් ස්ථාපිත කිරීමටත් අප පියවර ගෙන තිබෙනවා. මෙම වැඩසටහන බැංකු ක්ෂේත්‍රය තුළ තවදුරටත් ව්‍යාප්ත වීම අප නිතැතින්ම අපේක්ෂා කළ දෙයක්. මෙය කොළඹ ප්‍රදේශය තුළ පමණක් නොව, ඉදිරියේදී විශේෂයෙන්ම මහනුවර සහ කුරුණෑගල ඇතුළුව දිවයින පුරාම පිහිටි ශාඛා වලද ක්‍රියාත්මක වේවි. අපගේ තිරසාර සංවර්ධන ක්‍රමෝපායන්ට අනුව තිරසාර හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම අපගේ ඉලක්කයයි. පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම යනු එම උත්සාහයේ එක් වැදගත් කොටසක්. මෙම වැඩසටහන පුළුල් කිරීම සඳහා මේ ආකාරයට බැංකු ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය එක් අතකින් වඩාත් යහපත් ජීවන රටාවන් ප්‍රවර්ධනය කරන අතරම අනෙක් අතින් බැංකු ක්ෂේත්‍රයේ සුහදත්වය වර්ධනය කරන පියවරක්ද වනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

“HNB කණ්ඩායමත් මේ වැඩසටහනට ඉතාමත් උනන්දුවෙන් සහභාගී වුණා. තිරසාර හා නිරෝගී ජීවන රටාවන් ගතකිරීමට අපගේ කාර්ය මණ්ඩලය දිරිගන්වන අතරම ක්ෂේත්‍රයේ සුහදත්වය වර්ධනය කරන මෙවැනි වැඩසටහන් සඳහා ඉදිරියේදීත් අපගේ දායකත්වය හැකි උපරිමයෙන් ලබාදීමට අප බලාපොරොත්තු වනවා.” හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ප්‍රධාන මනාව සම්පත් නිලධාරිනී සහ Chief Transformation Officer චිරන්ති කුරේ මහත්මිය පැවසුවා ය.

“මෙම වැඩසටහන අපට සුවිශේෂී අත්දැකීමක් වුණා. පාපැදි භාවිතය යනු තනිවම මෙන්ම කණ්ඩායමක් ලෙස එක්වී විනෝද විය හැකි ක්‍රියාකාරකමක්. තවද, එකම ක්ෂේත්‍රයට අයත් සුවිශේෂී කණ්ඩායමක් එක්වී සිටියා. මෙම වැඩසටහන සමස්ත බැංකු ක්ෂේත්‍රයටම ආදර්ශයක් වනු ඇති බවත්, ඉදිරියේදී තවත් බැංකු ආයතන මෙම වැඩසටහන සමග එක්වනු ඇති බවත් අප විශ්වාස කරනවා. පාපැදියෙන් රැකියාවෙන් ඒමට ජනතාව වැඩි වැඩියෙන් පෙළඹෙන්නේ නම් අපට මාර්ගයේ ධාවනය වන වාහන ප්‍රමාණය අවම කිරීමට පුළුවන්. එය රථවාහන තදබදය අවම කිරීමටත් මහාමාර්ගයේ ආරක්ෂාව වැඩි කිරීමටත් උපකාරී වනවා. එමෙන්ම බැංකු ක්ෂේත්‍රයේ අනෙකුත් සාමාජිකයන් සමග එකට පාපැදි සවාරියේ නිරත වීමට අවස්ථාව ලැබීම අප කාටත් සුවිශේෂී අත්දැකීමක්.” සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ලලිත් වේරගොඩ මහතා පැවසී ය.

“අපගේ පාර්ශවකරුවන්ගේ යහපැවැත්මට මුල්තැන දෙන ආයතනයක් වශයෙන්, මෙම කාලීන වැඩසටහනට දායක වීමට ලැබීම අපට මහත් සතුටක්. අප එදිනෙදා සිදුකරන ක්‍රියාකාරකම් මගින් පරිසරයට සැලකිය යුතු බලපෑමක් එල්ල වෙනවා. පරිසරයට එක්වන කාබන් ප්‍රතිශතය අවම කරමින් වඩාත් යහපත් පරිසරයක් නිර්මාණය කරන අතරම ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් මෙම වැඩසටහන සමග එක්වන මෙන් සියලු දෙනාට ආරාධනා කිරීමට අප කැමතියි.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අවදානම් කළමනාකරණ අංශ ප්‍රධානී නිලධාරී චමිල සුමතිරත්න මහතා පැවසී ය.

කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පාපැදි භාවිතයට අදාළ පහසුකම් සැපයීම සඳහා හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සහ DFCC බැංකුව මේ වනවිට සැලකිය යුතු මට්ටමේ ආයෝජනයන් සිදුකර තිබේ. "Bankers on Bicycles"  වැඩසටහන් සඳහාද මෙම පහසුකම් සැපයීමට එම බැංකු ඉදිරිපත් වී සිටී. බයිසිකල් නැවැත්වීමේ පහසුකම්, පාපැදි වලට සේවා සපයන ස්ථාන හඳුන්වා දීම සහ පාපැදි මිලදී ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රම පිරිනැමීම යනාදිය මීට ඇතුළත් ය. මෙම බැංකු ආයතන අතර ඇතිකරගෙන තිබෙන සහයෝගීත්වය, පොදු අභියෝග ජයගැනීම සඳහා සාමූහිකව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධ මනා උදාහරණයකි. ඉදිරියේදී තවත් බැංකු ආයතන මෙම වැඩසටහන සමග එක්වනු ඇතැයි "Bankers on Bicycles" සමග සම්බන්ධ වී සිටින මෙම බැංකු ආයතන අපේක්ෂා කරයි. ඒ ඔස්සේ මෙම වැඩසටහන දිවයින පුරාම වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත කරමින්, බැංකු ක්ෂේත්‍රයේ සේවයේ නිරත සේවක සේවිකාවන්ගේ නිරෝගී ජීවන රටාවක් ඇතිකිරීම සඳහා කටයුතු කරනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Siapatha Finance
  • sri lanka

සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 41 වැනි ශාඛාව විවෘත කෙරේ

September, 7, 2022

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව අංක 46/12, සයුරු සෙවන, නවම් මාවත, කොළඹ 02 යන ලිපිනයේදී පසුගියදා විවෘත කෙරිණ.

නව්‍යකරණය, විශ්වාසනීයත්වය සහ හෘද්‍යාංගමභාවය මුසු වූ සියපත ෆිනෑන්ස් මූල්‍ය සේවා සංස්කෘතිය කොළඹ 02 ආශ‍්‍රිත පාරිභෝගිකයන් වෙත සමීප කරමින් සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ජයනාත් ගුණවර්ධන, ශ‍්‍රියානි රණතුංග හා මලින්ද බෝයගොඩ යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් සියපත ෆිනෑන්ස් නව ශාඛාව විවෘත කෙරිණ. සියපත ෆිනෑන්ස් ප‍්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් ෆිනෑන්ස් ශාඛා ජාලයේ 41 වැනි ශාඛාව ලෙස විවෘත වූ මෙම කොළඹ 02 ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ද ලබාගත හැකිය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා 41 වැනි ශාඛාව විවෘත කළ අවස්ථාවේ අදහස් දක්වමින්  “සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයට මේ නව ශාඛාව තවත් දැවැන්ත ශක්තියක්. කොළඹ 02 ප‍්‍රදේශයෙන් අප සමග එක්ව සිටින හිතවත් පාරිභෝගික ජනතාවගේ අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතා කඩිනමින් ඉටුකර දෙන්නට අවශ්‍ය සියළු පහසුකම් මෙම ශාඛාවට අප ඇතුලත් කොට තිබෙනවා. ’’ යැයි පැවසීය.

සම්පත් බැංකුවේ විශාලතම පූරණ අනුබද්ධිත ආයතනය ලෙස 2005 වසරේ ආරම්භ වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී, මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ ගතවූ වසර 17ක කාලය ඇතුලත උතුර, නැගෙනහිර ද ඇතුළුව ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් ද සවිබල ගන්වමිනි.

අංක 46/12, සයුරු සෙවන, නවම් මාවත, කොළඹ 02 ලිපිනයේ පිහිටි සියපත ෆිනෑන්ස් නව ශාඛාව පිළිබඳ වැඩි විස්තර කාර්යාලීය වේලාවන් හීදී එහි පිවිසීමෙන් හෝ 0117 605 835 අංකයෙන් ලබාගත හැකි අතර වෙනත් සියළු තොරතුරු සඳහා http://www.siyapatha.lk/ වෙත පිවිසෙන්න

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා විසින් නව ශාඛාවේ පළමු තැන්පතු ගනුදෙනුව සිදු කල අවස්ථාව

 

ඡායාරූපය: වමේ සිට සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ශ‍්‍රියානි රණතුංග,, මලින්ද බෝයගොඩ හා ජයනාත් ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් සියපත ෆිනෑන්ස් 41 වැනි ශාඛාව විවෘත කළ අවස්ථාව