September, 7, 2022
සම්පත් බැංකුව 2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී විවිධ ආර්ථික අභියෝග මධ්යයේ වුවද අඛණ්ඩව සිය ශක්තිමත් ප්රාග්ධන පසුබිම හා ස්ථාවර ද්රවශීලතාවය පවත්වා ගැනීමට සමත් විය. බැංකුව සිය ශක්තිමත් බව හා තිරසාර බව මැනවින් විදහා දක්වමින් සුපරීක්ෂාකාරී ලෙස හා නිරන්තර අවධානයෙන් යුතුව වර්තමාන ආර්ථික ගැටළු හඳුනා ගැනීමට සහ ඒ සඳහා අවශ්ය ක්රියාමාර්ග ගැනීමට අඛණ්ඩව කටයුතු කරනු ලබයි. ඒ අනුව තව දුරටත් විදේශ මුදල් ද්රවශීලතාවය ඉහල නංවා ගැනීම සඳහා අභ්යන්තර ප්රේෂණ හා අපනයන ආදායම් ගලා ඒම දිරිමත් කිරීම ප්රවර්ධනය කිරීමට බැංකුව කටයුතු කරන ලදී. පවතින ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක් වූ සියලුම පාර්ශ්වකරුවන්ට එම තත්වයෙන් මිදීම සඳහා ඔවුන්ගේ ව්යාපාර පවත්වාගෙන යාමට අඛණ්ඩව සහයෝගය ලබා දීමට බැංකුව කටයුතු කරන ලදී.
පවතින දැඩි ආර්ථික ව්යාකූලත්වය මධ්යයේ වුවද 2022 ජූනි මස 30 න් අවසන් වන කාලඡේදය සඳහා සම්පත් බැංකුව රුපියල් බිලියන 7.1ක බදු පසු ලාභයක්ද, රුපියල් බිලියන 9ක බදු පෙර ලාභයක්ද වාර්තා කිරීමට සමත් වූ අතර 2021 වසරේ පළමු අර්ධය හා සැසඳීමේදී එය පිළිවෙලින් 0.3%ක සුළු ඉහල යාමක් හා 5.5%ක පහළ යාමක් විය. සමූහය සඳහා මෙය රුපියල් බිලියන 7.4ක බදු පසු ලාභයක්ද රුපියල් බිලියන 9.6ක බදු පෙර ලාභයක්ද ලෙස වාර්තා කළ අතර මෙය 2021 වර්ෂයේ පළමු අර්ධය හා සැසඳීමේදී පිළිවෙලින් 2%ක හා 5.5%ක පහළ යාමකි.
සම්පත් බැංකුව 2022 වසරේ පළමු අර්ධය සඳහා වාර්තා කරන ලද මූල්ය ප්රතිඵල
අරමුදල් මත පදනම් වූ ආදායම
බැංකුවේ මුළු පොලී ආදායම 2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී රුපියල් බිලියන 59.2ක් වූ අතර එය පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 41.9 සමග සැසඳීමේදී 41.1%ක වර්ධනයකි. 2022 වසරේ පළමු අර්ධය තුළදී වෙළෙඳපොල පොලී අනුපාතයන් ඉහල යාම මෙලෙස මෙම පොලී ආදායම සැලකිය යුතු ලෙස ඉහල යාම කෙරෙහි බලපාන ලදී. වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය අවසානයේ වාර්තා වූ සාමාන්යය බර තබන ලද ප්රමුඛ ණය අනුපාතය (AWPLR) 22.62%ක් වූ අතර එය 2021 ජූනි මස 30 වන දිනට වාර්තා කරන ලද අගය හා සැසඳීමේදී පදනම් ලකුණු 1,711ක ඉහල යාමකි. තවද දැනට පවතින සාමාන්ය බර තබන ලද ප්රමුඛ ණය අනුපාතය 2021 වර්ෂය අවසානයේ පැවති අගයට වඩා පදනම් ලකුණු 1,401කින් වැඩිවී ඇත. මීට අමතරව භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 2021 ජූනි මස 30 වන දිනට සාපේක්ෂව 2022 ජූනි 30 වන විට පදනම් ලකුණු 1,861කින් ඉහල ගොස් 23.84%ක් ලෙස වාර්තා කරන ලදී.
පොලී අනුපාතයන් ඉහල යාමේ ප්රවණතාවයන් හෙතුවෙන් පොලී වියදමද පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 22.6%කින් ඉහල ගොස් ඇත. වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය සඳහා බැංකුවේ මුළු පොලී වියදම රුපියල් බිලියන 27.8ක් වූ අතර එය 2021 වර්ෂයේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 22.7ක් විය. කෙසේ වෙතත් බැංකුවේ විචක්ෂණශීලී වත්කම් හා වගකීම් කළමනාකරණය හේතුවෙන් 2022 වර්ෂයේ පළමු අර්ධය සඳහා ශුද්ධ පොලී ආදායම 63%ක වර්ධනයක් ළඟා කර ගැනීමට සමත් විය. මෙම ප්රවණතාවය ශුද්ධ පොලී ආන්තිකය පදනම් ලකුණු 124කින් ඉහල යාම තුලින් පිළිබිඹු විය.
අරමුදල් මත පදනම් නොවූ ආදායම්
2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී සම්පත් බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 69.9%ක වර්ධනයක් අත්පත් කර ගන්නා ලදී. මෙම ආදායම ණය හා අත්තිකාරම්, ණය කාඩ්පත්, වෙළෙඳාම් හා විද්යුත් නාලිකා යන අංශවලින් සමන්විත වේ. සලකා බලනු ලබන කාලපරිච්ඡේදය තුළදී කාඩ්පත් ආශ්රිත ව්යාපාර පරිමාව ඉහල යාමත් වෙළෙඳාම් ආශ්රිත මෙහෙයුම් ගාස්තු හා කොමිස් ආදායම් ඉහල යාමත් මෙම ආදායමේ වර්ධනයට ප්රධාන වශයෙන් හේතු විය.
2022 පළමු අර්ධය තුළ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 16ක් දක්වා ඉහල ගොස් ඇති අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 3.4ට සාපේක්ෂව 378%ක වර්ධනයකි. මේ සඳහා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 80%කින් අවප්රමාණය වීම ප්රධාන වශයෙන් හේතු විය. මීට අමතරව බැංකුව පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා කළ වෙළෙඳ ලාභය වූ රුපියල් මිලියන 46ට සාපේක්ෂව මෙම වර්ෂයේ සලකා බලනු ලබන කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 2.5ක වෙළෙඳ අලාභයක් වාර්තා කරන ලදී. මුළු විදේශ විනිමය ආදායම 2021 වර්ෂයේ පළමු අර්ධය තුළදී වාර්තා කළ රුපියල් බිලියන 3ට සාපේක්ෂව 2022 වසරේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 13ක් ලෙස වාර්තා කරන ලදී.
අපහායන අයකිරීම්
බැංකුව තවදුරටත් දූරදර්ශී ලෙස ක්රියා කරමින් 2022 වසරේ පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 28.2ක අපහායන අයකිරීමක් හඳුනා ගන්නා ලද අතර එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා හඳුනා ගන්නා ලද රුපියල් බිලියන 5ට සාපේක්ෂව 464%ක ඉහල වර්ධනයකි. මෙය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 19.3කින් ද මූල්ය උපකරණ සඳහා රුපියල් බිලියන 7.8කින් ද සමන්විත වන අතර තවත් රුපියල් බිලියන 1.1ක් බැඳීම් හා අසම්භාව්යයන්ට එරෙහිව වෙන් කරන ලදී.
ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම්
බැංකුව විසින් පිරිහෙමින් පවතින සාර්ව ආර්ථික තත්වයන් නිරූපණය වන ආකාරයට අපහායන ගණනය කිරීම් සඳහා භාවිතා කරනු ලබන සම්භාවිතාමය බර තැබීම් ඉහල දැමීම අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා ලද අතර ඒ අනුව වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය සඳහා ආර්ථිකමය සාධක ගැලපීම යටතේ සැලකිය යුතු ප්රතිපාදනයක් වෙන් කරන ලදී. 2022 වසරේ දෙවන කාර්තුව තුළ සාර්ව ආර්ථිකය තවදුරටත් පහළ යාමට ඇති සම්භාවිතාවය සඳහා බර තැබීම් තව දුරටත් ඉහල දමන ලදී.
බැංකුව ඉහල යන ආර්ථික අවදානම් තත්වයන්ට යෝග්ය වන පරිදි හා සියලුම ප්රධාන ආර්ථික විචල්යයන් සම්බන්ධයෙන් නවතම දත්ත භාවිතා කරමින් ආර්ථික සාධක ගැලපුම් ක්රමවේදය තවදුරටත් යාවත්කාලීන කරන ලදී. ඉහත ක්රියාවලීන් මගින් වත්මන් ආර්ථික අභියෝග හමුවේ ඇති විය හැකි ණය අවදානම් ආවරණය කර ගැනීම සඳහා ප්රමාණවත් අපහායන ප්රතිපාදනයන් වෙන් කිරීමට කටයුතු කරන ලදී.
ඉදිරියේදී ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීම සඳහා සංචාරක ක්ෂේත්රයේ නියුතු ගනුදෙනුකරුවන් සඳහා වෙන් කරන ලද අතිරේක ප්රතිපාදනයන් ඉහල දැමීමට බැංකුව විසින් තීරණය කරන ලදී. තවද 2021 වසර අවසානයේ සහනදායී ණය යෝජනා ක්රමයෙන් බැහැරවූ ගනුදෙනුකරුවන් සඳහා ද තවදුරටත් අපහායන වෙන්කිරීම් පවත්වාගෙන යන ලදී. එහි ප්රතිඵලයක් ලෙස 2021 දෙසැම්බර් 31ට සාපේක්ෂව අදියර 1 හා අදියර 2 ණය සඳහා සමුච්චිත අපහායන වෙන්කිරීම් පිළිවෙලින් 27.3%ක හා 63.5%ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී.
තවද බැංකුව විසින් අවදානම් සහගත කර්මාන්ත ලෙස හඳුනාගන්නා ලද කර්මාන්තවල නියුතු ගනුදෙනුකරුවන් අදියර 2 දක්වා මාරු කිරීම අඛණ්ඩව සිදු කරන ලදී. මීට අමතරව බැංකුව සිය ගනුදෙනුකරුවන් සමීපව නිරීක්ෂණය කරමින් ආර්ථික අභියෝග හමුවේ ඇති විය හැකි අහිතකර බලපෑම දරාගැනීමේ හැකියාවන් අනුව ඔවුන්ව අදියර 1 සිට අදියර 2 දක්වා මාරු කරන ලදී.
2022 වසරේ පළමු අර්ධය තුළදී අදියර 3 ණය සඳහා වෙන් කරන ලද සමුච්චිත අපහායන ප්රතිපාදනයන්ද 40.52%කින් ඉහල දමන ලදී. මීට මූලික වශයෙන් හේතු වූයේ 2021 වසර අවසානයට සාපේක්ෂව අදියර 3 ණය ප්රමාණය ඉහල යාම හා අදියර 3 යටතේ සිටින ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකු සඳහා ප්රතිපාදනයන් නැවත ගණනය කිරීමයි.
අනෙකුත් මූල්ය උපකරණ මත වූ අපහායන අය කිරීම්
සම්පත් බැංකුව විසින් 2022 ජූනි 30 වන විට ශ්රී ලංකා ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා රුපියල් බිලියන 7ක් හා ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා රුපියල් බිලියන 11.8ක ප්රතිපාදනයක් වෙන් කරන ලදී. ෆිච් ශ්රේණිගත කිරීම් මඟින් 2022 මැයි මාසය තුළදී ශ්රී ලංකා ස්වෛරීත්ව ශ්රේණිගත කිරීම C සිට RD දක්වා පහත හෙලීම සහ රජය විසින් ගනු ලැබූ අනෙකුත් වත්මන් ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාමාර්ග මෙම තීරණයට ප්රධාන වශයෙන් බලපාන ලදී.
මෙහෙයුම් වියදම්
2022 වසරේ පළමු අර්ධය සඳහා මෙහෙයුම් වියදම රුපියල් බිලියන 13.7ක් වූ අතර එය 2021 වසරේ පළමු අර්ධයේ වාර්තා කළ රුපියල් බිලියන 11ට සාපේක්ෂව 24.3%ක වර්ධනයකි. මේ සඳහා මූලිකව හේතු වූයේ 2022 වසරේ මුල් මාස 6 තුළදී සැලකිය යුතු ලෙස ඉහල යන ලද උද්ධමන අනුපාතයයි. මෙහෙයුම් වියදම්වල වාර්තාගත වර්ධනයක් තිබියදීත් 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා කළ 39.51%ට සාපේක්ෂව 2022 වසරේ පළමු අර්ධය අවසානයේදී ආදායම් පිරිවැය අනුපාතය 25.45%ක් දක්වා එනම් පදනම් ලකුණු 1,406කින් පහත වැටිණි. මුළු මෙහෙයුම් වියදමේ ඉහල යාමට සාපේක්ෂව මුළු මෙහෙයුම් ආදායම සීග්රයෙන් ඉහල යාම ආදායම් පිරිවැය අනුපාතයේ සීග්ර පහල යාමට මූලික වශයෙන් හේතු විය.
ප්රධාන අනුපාතයන්
සාමාන්ය කොටස් හිමියන්ගේ කොටස්වල ප්රතිලාභය (බදු පසු) 2021 වසර අවසානයේ වාර්තා කළ 11.05%ට සාපේක්ෂව 2022 ජූනි 30 වන විට 12.06%ක් දක්වා ඉහල ගොස් ඇත. සාමාන්ය වත්කම් මත ප්රතිලාභය (බදු පෙර) 2021 වසරේ වාර්තා කළ 1.44%ට සාපේක්ෂව 2022 ජූනි 30 වන විට 1.43%ක් ලෙස වාර්තා කරන ලදී.
ප්රාග්ධන අනුපාතයන්
2022 වසරේ පළමු අර්ධය පුරාවට තම සියලුම ප්රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්යතාවන්ට වඩා ඉහල මට්ටමක පවත්වාගෙන යාමට බැංකුව සමත් විය. පළමු පෙල සාමාන්ය ස්කන්ධ ප්රාග්ධන අනුපාතය, සාමාන්ය ස්කන්ධ ප්රාග්ධන අනුපාතය හා මුළු ප්රාග්ධන අනුපාතයන් 2021 වර්ෂය අවසානයේ වාර්තා කළ 13.95%, 13.95% හා 17.02%ට සාපේක්ෂව 2022 වසරේ ජූනි 30 දින වන විට පිළිවෙලින් 11.3%, 11.3%, හා 13.82%ක් ලෙස වාර්තා විය. අදාල කාලපරිච්ඡේදය තුළ මුළු ප්රාග්ධන අනුපාතය පහත වැටීම කෙරෙහි ශ්රී ලංකා රුපියල අවප්රමාණය වීම හේතුවෙන් අවදානම මත බර තබන ලද වත්කම්වල ඉහල යාම, මුදල් ලාභාංශ හා අධිභාර බදු ගෙවීම හේතු විය.
ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සහගත තත්වයන් අවශෝෂණය කර ගැනීමට ප්රමාණවත් ස්වාරක්ෂක සහිතව සිය ප්රාග්ධන අනුපාතයන් විචක්ෂණ මට්ටමින් පවත්වාගෙන යාමට ප්රමාණවත් මනා ස්ථාවරත්වයක් බැංකුව සතුව ඇත.
වත්කම් හා වගකීම්
2021 දෙසැම්බර් 31 දිනට රුපියල් ටි්රලියන 1.2ක්ව පැවති සම්පත් බැංකුව සතු මුළු වත්කම් රුපියල් බිලියන 122ක වර්ධනයක් (වාර්ෂික වර්ධනය 20.2%) සහිතව 2022 ජූනි 30 වන විට රුපියල් ටි්රලියන 1.3ක් දක්වා ළඟා වීමට සමත් විය. මේ සඳහා මුළු ණය හා අත්තිකාරම් හා මුදල් හා මුදලට සමාන දෑ වල ඉහල යාම හේතු විය. 2022 වසරේ පළමු අර්ධය තුළදී දේශීය මුදල් ඒකකය අවප්රමාණය වීම හේතුවෙන් විදේශ ව්යවහාර මුදලින් අගය කරන ලද වත්කම්වල දේශීය මුදලට පරිවර්තනය කරන ලද අගය ඉහල යාම ශේෂ පත්රයේ වර්ධනයට ප්රධාන වශයෙන් බලපාන ලදී. විනිමය අනුපාතයන් වෙනස් වීමේ බලපෑම ඉවත් කළේ නම් බැංකුවේ මුළු වත්කම්වල වාර්ෂික වර්ධනය දළ වශයෙන් 5%ක් ලෙස වාර්තා විය.
මුළු අත්තිකාරම් ප්රමාණය 2021 දෙසැම්බර් 31 දිනට වාර්තා කරන ලද රුපියල් බිලියන 813ට සාපේක්ෂව වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී 29.7%ක (වාර්ෂික) වර්ධනයක් සහිතව 2022 ජූනි 30 වන විට රුපියල් බිලියන 933ක් දක්වා වර්ධනය විය. ශ්රී ලංකා මුදලින් අගය කරන ලද ණය හා අත්තිකාරම් වල වර්ධනය (වාර්ෂික)13.6%කි. සලකනු ලබන කාලපරිච්ඡේදයේදී ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 160.25කින් අවප්රමාණය වීම හේතුවෙන් විදේශ ව්යවහාර මුදලින් අගය කරන ලද ණයවල වටිනාකම ඉහල යන ලදී. විනිමය අනුපාතය වෙනස්වීමේ බලපෑම ඉවත් කළේ නම් බැංකුවේ මුළු ණය හා අත්තිකාරම් ප්රමාණයේ වර්ධනය 9.8%ක් (වාර්ෂිකව) වේ.
තවද ශ්රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ණය කළඹ නැවත වර්ගීකරණය පිළිබඳ විකල්ප ක්රමවේද ප්රකාශනය (SOAT) මඟින් අවසර දී ඇති පරිදි වාර්තා කරන කාලපරිච්ඡේදය තුළදී බැංකුව විසින් අනෙකුත් විස්තරාත්මක ආදායම තුලින් සාධාරණ අගයට අගය කරන ලද රුපියල් බිලියන 33ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ක්රමක්ෂය පිරිවැය වෙත මාරු කරන ලදී.
2021 වසර අවසානයේ වාර්තා කරන ලද දේශීය මුදල් තැන්පතු කළඹ 9.24%කින් පහල යන ලදී. මෙයට හේතු වූයේ අදාල කාලපරිච්ඡේදය තුළ බැංකුවට ප්රමාණවත් ද්රවශීලතාවයක් පැවතීමත් එම නිසා තැන්පතු වර්ධනය කර ගැනීමේ ක්රියාමාර්ග 2022 වසරේ පළමු අර්ධය තුලදී ක්රියාත්මක නොකිරීමත්ය. 2022 වසරේ පළමු අර්ධය අවසානයේදී බැංකුව සතු ජංගම හා ඉතුරුම් තැන්පතු අනුපාතය 40.6%ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත් තරඟකාරී වෙළෙඳපොල පොලී අනුපාත හා නව කාල සීමාවන් යටතේ තැන්පතු හඳුන්වාදීම තුලින් බැංකුව 2022 වසරේ ජූලි මස තුළදී තැන්පතු වර්ධනය කිරීමේ ක්රියාමාර්ග නැවත ආරම්භ කරන ලදී.
අධිභාර බදු
2022 අප්රේල් 08 වන දින සහතික කරන ලද 2022 අංක 14 දරණ අධිභාර බදු පනතට අනුව 2020/21 තක්සේරු වර්ෂය සඳහා බදු අයකළ හැකි ආදායම වූ රුපියල් මිලියන 10,682 මත පදනම්ව රුපියල් මිලියන 2,671ක අධිභාර බදු වගකීමකට බැංකුව යටත් වේ. තවද සම්පත් සමූහය සඳහා අධිභාර බදු වගකීම රුපියල් මිලියන 3,233කි. එකී පනතට අනුකූලව 2020 ජනවාරි 01 දිනෙන් ආරම්භ වන මූල්ය වර්ෂයේ එම බදු මුදල වියදමක් ලෙස සැලකිය යුතුය. එම පනත ශ්රී ලංකා ගිණුම්කරණ නියමයන් ඉක්මවා යාම හේතුවෙන් ශ්රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද අධිභාර බදු සඳහා ගිණුම්කරණය පිළිබඳ විකල්ප ක්රමවේද ප්රකාශනයේ සඳහන් නිර්දේශයන්ට අනුකූලව අධිභාර බදු වියදම් ගිණුම්ගත කරන ලදී. ඒ අනුව 2022 ජූනි 30 දිනෙන් අවසන් වූ කාර්තුව තුළදී 2022 ජනවාරි 01 දිනට පැවති ආරම්භක රඳවාගත් ඉපයීම්වලට ගැලපීමක් ලෙස අධිභාර බදු සම්පූර්ණ වගකීම හඳුනා ගන්නා ලදී.
September, 7, 2022
ජාතික ගුවන් සේවය ලෙස ශ්රීලංකන් ගුවන් සේවය, වීසා සහ මාස්ටර් කාඩ් ගෙවීම් සඳහා නව අන්තර්ජාල ගෙවීම් ද්වාර හඳුන්වාදෙමින් මෙරට කීර්තිමත් දේශීය බැංකු වන ලංකා බැංකුව (BOC) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ හවුල්කාරීත්ව ගිවිසුමකට එළඹ තිබේ. ශ්රීලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවියෙන් වීසා හෝ මාස්ටර්කාඩ් භාවිතයෙන් ගුවන් ටිකට්පත් සහ අනෙකුත් සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයින්ට පහසු ගෙවීම් විකල්ප සමගින් ඉතා ආරක්ෂිත උසස් පරිශීලක අත්දැකීමක් මෙමගින් ලබාගත හැක.
BOC සහ HNB මගින් බල ගැන්වෙන ශ්රීලංකන් හි වැඩිදියුණු කරන ලද Visa සහ Mastercard ගෙවීම් ද්වාර පද්ධතිය පාරිභෝගිකයින්ට ගෝලීය මුදල් ඒකක 42 කින් මුදලින් ගෙවීමේ විකල්පය ලබා දෙයි. HNB-CyberSource ‘Decision Manager’ මෙවලම මඟින් පද්ධතියට ගොඩනගා ඇති උසස් ක්රමවේදය හේතුවෙන් පාරිභෝගිකයින්ට ආරක්ෂිතව සිය ගනුදෙනු සිදු කිරීමේ හැකියාව පවතී.
මෙමගින් ශ්රීලංකන් වෙබ් අඩවියෙන් ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් දිරිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් සෘජුවම ගුවන් ප්රවේශ පත්ර මිලදී ගන්නා පාරිභෝගිකයින්ට වෙනත් අද්විතීය ප්රතිලාභද හිමිකර ගත හැකිවේ. මෙයට අඩුම ගාස්තු, සේවා ගාස්තු රහිත විශේෂිත ප්රතිලාභ ඇතුළත් වන අතර කිසිදු ගාස්තුවකින් තොරව පිටත්වීමට පැය 24කට පෙර පළමු දිනය වෙනස් කිරීමට සහ ප්රවේශපත්ර අවලංගු කිරීමට හැකියාව පවතී.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සේවයේ වාණිජ සේවා සහ සහාය ජ්යෙෂ්ඨ කළමනාකරු, කොන්රඩ් රෙෂාන්ත මහතා මෙසේ පැවසීය “ අනාගතයේ දී ගුවන් සේවා වෙන්කරවා ගැනීමේ බොහෝ දුරට ඩිජිටල් ක්ෂේත්රයට අන්තර්ගත වනු ඇත. ශ්රීලංකන් එයාර්ලයින්ස් හි මාර්ගගත වෙන්කිරීමේ නාලිකාව අති නවීන සහ පරිශීලකයින්ට පහසු අත්දැකීමක් ලබා දීම සඳහා පුළුල් කර තිබෙනවා. විශේෂයෙන් අමතර ඉඩකඩ සහිත ආසන, අමතර ගමන් මලු, විශේෂ ආහාර සහ ගමන් රක්ෂණ ඇතුළුව අපගේ මගීන්ට ගුවන් ගමන් සඳහා අතිරේකව අවශ්ය ඕනෑම සහායක සේවාවක් වෙන්කරවා ගැනීමේ පහසුකම දැන් හිමිව තිබෙනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රීලංකන් ගුවන් සේවයේ ලෝක ව්යාප්ත විකුණුම් සහ බෙදාහැරීමේ ප්රධානී දිමුතු තෙන්නකෝන්, මහතා මෙසේ පැවසීය “ මෙම නව හවුල්කාරිත්වයන් මගින් ශ්රීලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවිය භාවිතා කිරීමේදී පාරිභෝගිකයන්ගේ විශ්වාසය වර්ධනය කිරීමට මග සැලසෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මාර්ගගත විකුණුම් ප්රමුඛස්ථානයක් ගන්නා බැවින්, ප්රමුඛතාවයක් ලෙස එම තාක්ෂණික මාර්ග සංවර්ධනය කිරීම සහ ප්රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් පාරිභෝගිකයින්ගේ ඩිජිටල් අත්දැකීම සහ නම්යශීලී බව වැඩි දියුණු කිරීමට ගුවන් සමාගම නිරන්තරයෙන් කටයුතු කරනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.
නව වීසා සහ මාස්ටර්කාඩ් ගෙවීම් දොරටු ගුවන් සේවයේ ඇමතුම් මධ්යස්ථානය , ජංගම යෙදුම් මෙන්ම ශ්රීලංකන් ගුවන් සේවා පුහුණු පාසලේ සහ ශ්රීලංකන් හොලිඩේස් වෙබ් අඩවි වැනි ඩිජිටල් වේදිකා වෙත ව්යාප්ත කිරීමට උත්සාහ කරමින් පවතියි. නුදුරු අනාගතයේ දී චීනයේ UnionPay සහ ජපානයේ JCB වැනි ගෙවීම් විකල්ප හඳුන්වා දීමට ගුවන් සමාගම තවදුරටත් කටයුතු කරමින් සිටියි.
SriLankan වෙබ් අඩවිය දැනටමත් Visa සහ Mastercard ගෙවීම් වලට අමතරව American Express Discover සහ Diners Club cards ගෙවීම් සඳහා අනුමත කරයි. පාරිභෝගිකයින්ට ඩිජිටල් මුදල් පසුම්බි Alipay සහ WeChat සහ මාර්ගගත බැංකුකරණ විකල්පය වන POLi මගින්ද ගෙවිය හැක.
වැඩි විස්තර සහ ඉක්මන් සහ පහසු වෙන් කිරීම් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න

September, 7, 2022
2022 ජූලි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 279 ක් වූ ප්රේෂණ ප්රමාණයක් මෙරටට ලැබී ඇත. එය 2022 ජුනි මාසය තුළ වාර්තා වූ විදෙස් ප්රේෂණ ප්රමාණය වන ඇමරිකානු ඩොලර් මිලියන 274 ට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරයි.
මේ අතර ජූලි මාසය තුළ විදේශ රැකියා සඳහා විදෙස් ගත වූ මුළු සංඛ්යාව 22,821 ක් ලෙස වාර්තා වී ඇත. ඒ අතර නුපුහුණු ශ්රමිකයන් 8,232ක් පුහුණු ශ්රමිකයන් 7,091ක් සහ ගෘහ සේවය සඳහා පිටත් වූ ශ්රමිකයන් 4,479ක් වේ.
මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ මාස 7 කින් යුත් කාල පරිච්ඡේදය තුළ රැකියා සඳහා විදෙස්ගත වූ මුළු සංඛ්යාව 163,522 ක් ලෙස දැක්වෙන අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ සංඛ්යාව වන 37,041 හා සැසදීමේ දී කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර 2021 වසරේ රැකියා සඳහා විදෙස්ගත වී ඇති මුළු සංඛ්යාව දැක්වෙනුයේ 117,952 ක් ලෙසයි.
September, 7, 2022
කොමර්ෂල් බැංකුවේ ඉතාමත් ජනප්රිය ‘අරුණළු සිත්තම්’ චිත්ර තරගය තුන්වන වසර සඳහාත් පවත්වන බව නිවේදනය කරමින් දිවයින පුරා සිටින දරුවන්ට තමන්ගේ නිර්මාණශීලී දක්ෂතා භාවිතා කරමින් මෙම චිත්ර තරගයේදී සිය අදහස් දක්වන ලෙස බැංකුව ආරාධනය කර ඇත.
අවුරුදු 04 ත් 16 ත් අතර දරුවන්ට විවෘත මෙම චිත්ර තරගය බැංකුවේ ජනප්රිය ළමා ගිණුම වන ‘අරුණළු’ සන්නාමය යටතේ පවත්වන බව බැංකුව සඳහන් කරයි. මෙම චිත්ර තරගයෙන් ජයගන්නා දරුවන්ට මුදල් ත්යාග 137 ක් ලබාදෙන අතර එම ත්යාගවල වටිනාකම රුපියල් මිලියන 02 ක් වේ. මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ මෙම තරගයට සහභාගීවන තවත් දරුවන් 250 දෙනෙකු සඳහා කුසලතා සහතික පත් ප්රදානය කරන බවයි. පසුගිය වසරේදී මෙම චිත්ර තරගය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ අතර එහි සාර්ථකත්වය නිසා 2022 තරගයද අන්තර්ජාලය ඔස්සේම පවත්වන බව බැංකුව පවසයි.
මෙම තරගයේදී දරුවන්ට අංශ 05 ක් යටතේ තම චිත්ර ඉදිරිපත් කළ හැකිවේ. පෙර පාසැල් (අවුරුදු 4-5), ප්රාථමික (6-7), පසු ප්රාථමික (8-10), කණිෂ්ඨ (11-13) සහ ජ්යෙෂ්ඨ (15-16) යන කාණ්ඩ මෙම අංශ වලට ඇතුළත් වේ. මෙහිදී, කුඩා දරුවන් තෝරා ගන්නා කැමති මාතෘකාවක් යටතේ චිත්ර ඉදිරිපත් කළ හැකි අතර A3 ප්රමාණයේ කොලයක මෙම චිත්රය නිර්මාණය කළ යුතුවේ. බැංකුව සඳහන් කරන්නේ කණිෂ්ඨ අංශයේ තරුගකරුවන් ‘යහපත් දරුවෙකු දකින්නට නම්’ සහ ජ්යෙෂ්ඨ අංශවල තරගකරුවන් ‘මනුෂ්යත්වය’ යන මාතෘකා යටතේ අඟල් 14x18 ප්රමාණයේ කොලයක තම චිත්රය ඇඳ තරගය සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.
මෙම තරගයේදී අයදුම්කරුවන් විසින් සැප්තැම්බර් 01 වනදා සිට ඔක්තෝම්බර් 15 වනදා දක්වා ඕනෑම දිනයක www.arunalusiththam.lk වෙබ් අඩවියට පිවිස තම චිත්රයේ ස්කෑන් පිටපතක් අදාළ තොරතුරු සමග අප්ලෝඞ් කරමින් තරගය සඳහා ඇතුළත් විය හැකි බව බැංකුව සඳහන් කරයි.
මෙහිදී, පෙර පාසැල් අංශය යටතේ වඩාත්ම නිර්මාණශීලී චිත්ර 25 ඉදිරිපත් කරන තරගකරුවන්ට රුපියල් 10,000 ක ත්යාගයක් සහ සහතික පත්රයක් බැංකුව විසින් ලබාදෙයි. මීට අමතරව, මෙම අංශය යටතේ තවත් දරුවන් 50 දෙනෙකු වෙත කුසලතා සහතික ලබාදෙනු ඇත.
එසේම, අනිකුත් අංශ වල පළමු ස්ථානය දිනාගන්නා තරගකරුවන්ට රුපියල් 100,000 ක් බැගින් ලබාදෙන අතර දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000 ක්ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000 ක්ද සහතික පත්රද ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.
මීට අමතරව, පසු ප්රාථමික, ප්රාථමික, කණිෂ්ඨ සහ ජ්යෙෂ්ඨ යන අංශ වලදී සෑම අංශයකම දරුවන් 25 දෙනෙකු සඳහා ඔවුන් කුසලතාවය අගය කරමින් රුපියල් 10,000 ක මුදල් ත්යාගයක් ලබාදෙන අතර මෙම සිසුන් 100 දෙනා සඳහා සහතික පත්රද ප්රදානය කරයි. මෙම අංශවලින් එක් අංශයකින් තවත් දරුවන් 50 දෙනෙකුට කුසලතා සහතික පත්රද ප්රදානය කරනු ඇත. කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ සියළුම ත්යාග මුදල් ‘අරුණළු’ ළමා ඉතිරිකිරීමේ ගිණුම් වලට බැර කරන බවයි.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
September, 7, 2022
ආසියාවේ විශාලතම ජීවිත රක්ෂකයා වන AIA සමූහයේ සාමාජික සමාගමක් වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සමගින් ඩිජිටල්කරණය ඔස්සේ සක්රීය මෙන්ම ශක්තිමත් බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගීතාවයකට එළඹෙන ලදී. මෙම සහයෝගීතාවය ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා හි සුවිශේෂී යෝජනා සහ බෑන්ක්ඇෂුවරන්ස් ව්යාපාරය පිලිබඳ ඇති හසල අත්දැකීම්, ශ්රී ලංකාව පුරාවට පැතිර ඇති කොමර්ෂල් බැංකුවේ 268 ක් වන ශාඛා පද්ධතිය හා සම්බන්ධ ඉහළ තලයේ පාරිභෝගිකයින් වෙත හදුන්වාදෙනු ඇත.
මෙම සහයෝගීතාවයෙහි අපේක්ෂාව වනුයේ සාමාන්ය බෑන්ක්ඇෂුවරන්ස් සබඳතාවයකින් ඔබ්බට ගොස් ඩිජිටල්කරණ තාක්ෂණය ඔස්සේ බෑන්ක්ඇෂුවරන්ස් ව්යාපාරය සඳහා අවශ්ය සහය ලබා දීමයි. AIA සමූහයේ සමාගම්, ආසියාව තුල ව්යාපාර කරමින් ලබා ඇති අත්දැකීම් සමුදාය ද පාදක කර ගනිමින්, කොමර්ෂල් බැංකුවේ අගනා පාරිභෝගික ජනතාව වෙත, විවිධ නව්ය රක්ෂණ සැලසුම්, රැකවරණය සඳහා අත්යවශ්ය වන මූල්ය උපදෙස් මෙන්ම දීර්ග කාලීන ඉතුරුම් සහ විශ්රාම සැලසුම් හදුන්වා දෙනු ලබයි.
බෑන්ක්ඇෂුවරන්ස් ව්යාපාරයේ පුරෝගාමියෙකු වශයෙන් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය ශාඛා කාර්යාල ජාලය සතු අලෙවිකරණ විශේෂඥාතාවයන්, ප්රමුඛ පෙළේ අලෙවිකරණ තාක්ෂණය සහ පුළුල් වූ සැලසුම් සහ සේවාවන් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගික ජනතාව වෙත හදුන්වා දෙනු ඇත. මෙරට විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සතු විශාල පාරිභෝගික පිරිස වෙත සෞඛ්ය සහ ජීවිත රක්ෂණ සැලසුම් හදුන්වා දීම සඳහා සැලකිය යුතු අවස්ථාවක් ඇති අතර මේ ඔස්සේ ක්ෂේත්රය තුළ AIA ඉන්ෂුවරන්ස් ලංකා සතු තරඟකාරීත්ව වාසිය තව දුරටත් ශක්තිමත් වෙනු ඇත.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව, ජාත්යන්තර මූල්ය මණ්ඩලය (International Finance Corporation - IFC) සමගින් දීර්ග කාලයක සිට සහයෝගීතාවයක් පවත්වාගෙන යන අතර ඩිජිටල්කරණය මුල්කරගත් මෙවන් සුවිශේෂී බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට දායක වූ IFC හි භූමිකාව පිළිබඳව මෙම සමාගම් දෙක සිය කෘතඥතාවය පළකර සිටියි. ජාත්යන්තර මූල්ය මණ්ඩලයෙහි සහයෝගීතාවයෙන් (IFC-International Finance Corporation) එහි “IFC-DFAT Women in Work” වැඩසටහන යටතේ දිවයින පුරා විසිර සිටින කාන්තාවන් හට මූල්යමය සුරක්ෂිතතාවය අත්පත්කර දීම සඳහා මේ වසර මුල් භාගයේ දී AIA ඉන්ෂුවරන්ස් ලංකා සහ කොමර්ෂල් බැංකුව අතර කොමර්ෂල් බැංකුවේ අනගි ගිණුම් හිමිකරිනියන්හට සුවිශේෂී රක්ෂණ විසදුම් ලබාදීම අරමුණු කරගනිමින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ද සමගින් මෙම නව සහයෝගීතාවය සමාගම් දෙක තබන ලද තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වෙනු ඇත.
"මෙම සහයෝගීතාවය හරහා ශ්රී ලංකාව තුල දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන, විශ්වසනීයයත්වයෙන් ඉතා ඉහළ තලයක රැදී සිටින ස්ථාවරත්වයෙන් අගතැන් ආයතන දෙකක එකතුවෙන් ශ්රී ලංකාව පුරා ජීවිත හා සෞඛ්ය රක්ෂණ ව්යාප්තිය වැඩි කිරීම සඳහා දායකත්වය දක්වනු ඇති. එමෙන්ම අප සතුව ඇති, ජනතාවගේ ජීවිත කාලය තුල පැනනගින විවිධ අවශ්යතාවයන්ට සරිලන අයුරින් නිමවන ලද රක්ෂණ විසදුම් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින් ඔවුනගේ ජීවිතවලට වැඩි වටිනා කමක් සමගින් ඉහල රැකවරණයක් සැපයීම සඳහා මෙම සහයෝගීතාවය කාලීන අවස්ථාවක් ද වනු ඇති" බව AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය කියා සිටියාය."
කොමර්ෂල් බැංකුවේ ප්රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්යක්ෂක සනත් මනතුංග මහතා කියා සිටියේ "අපගේ පාරිභෝගික ජනතාව, ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන අප විසින්, ඔවුනට ඉහළ වටිනාකම් එක්කරන්නා වූ ලෝක තලයේ සැලසුම් සහ සේවාවන් සැපයීම පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරනවා. ශ්රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම සමගින් සහයෝගීතාවයකට එළඹීම මගින් අපට, අපගේ අගනා පාරිභෝගිකයින් වෙත, ඔවුනගේ රැකවරණ අවශ්යතාවයන්ට සරිලන ලෙස ඔවුන් වෙනුවෙන්ම නිමවන ලද උසස් තත්ත්වයේ සැලසුම් සහ සේවාවන් ලබා දීමට හැකිවෙනු ඇති. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වැනි ඉහල කීර්තිනාමයක් සහිත විශ්වසනීය සමාගමක් සමගින් මෙවන් සහයෝගීතාවයකට එළඹීම අපට සතුටක් වන අතර ඔවුන් හදුන්වාදෙන සේවාවන් ඔස්සේ අපගේ පාරිභෝගික ජනතාව හා අප අතර ඇති සබඳතාවයන් වඩාත් ශක්තිමත් වනු ඇතැයි මා විශවාස කරනවා."
මෙම නව සහයෝගීතාවය ඔස්සේ මූලිකව සියලු සැලසුම් සහ සේවාවන් කොළඹ සහ ඒ අවට ශාඛා කාර්යාල වලට හදුන්වා දී ක්රියාත්මක කෙරෙනු ඇති අතර පසුකාලීනව ක්රමානුකූල අදියරෙන් අදියර සියලු කොමර්ෂල් බැංකු කාර්යාල පුරාවට එම සේවාවන් හදුන්වා දෙනු ඇත.
September, 7, 2022
අභියෝගාත්මක තත්වයන් මධ්යයේ වුවද වෙළඳ සන්නාමයන් විශිෂ්ටව මෙහෙයවූ අලෙවිකරණ උත්සාහයන් ඇගයීම වෙනුවෙන් ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය 2022 අගෝස්තු 22 වැනි දින 21 වන SLIM බ්රෑන්ඩ් විශිෂ්ටතා සම්මාන 2022 (SLIM Brand Excellence Awards) උළෙල නිල වශයෙන් ප්රකාශයට පත්කරන ලදී. මෙම වසරේ සන්නාම උළෙල “Mettle of Resilience” යන තේමාව යටතේ නවතම ඇගයුම් කි්රයාවලියක් සමඟ දියත් කොට ඇත. එම නවමු ඇගයුම් නිර්ණායක සහ අනෙකුත් කරුණු පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කිරීමට ඉකුත් සැප්තැම්බර් 5 වන දින ජයික් හිල්ටන් හිදී මාධ්ය සාකච්ජාවක් පැවැත්විණි.
උපාය මාර්ග, නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනයන් උපායශීලීව භාවිතා කිරීම තුළින් දේශීය සහ ගෝලීය වෙළඳපල ජය ගැනීමට සමත් වූ සන්නාමයන්ගේ උත්සාහය ඇගයීම සඳහා SLIM බ්රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන පහක් සහ විශේෂ සම්මාන දහයක් පිරිනැමීමට අපේක්ෂා කරයි.
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා විසින් මෙම දැනුවත් කිරීමේ සැසියේ දී පැමිණ සිටින්නන් පිළිගනු ලැබූ අතර වත්මන් ගැටලූවලට සෘජු විසඳුමක් ලෙස ‘’ශ්රී ලංකා” සන්නාමය ඉදිරියට ගෙන යාමට අලෙවිකරුවන් ඉදිරිපත් විය යුතු බව අවධාරණය කළේය. ජූරි සභාවේ ප්රධානී ඉමාල් ෆොන්සේකා මහතා සහ ව්යාපෘති සභාපති කවී රාජපක්ෂ මහත්මිය විසින් අයදුම්පත් සම්පාදනය කිරීමේ ක්රියාවලියට සහ දෙවන වටයේ ඉදිරිපත් කිරීම් සඳහා සහය වන නවතම ඇගයීම් නිර්ණායක පිළිබඳව දැනුවත් කරන ලදි.
අනතුරුව පැවති ප්රශ්නෝත්තර සැසිය අතරතුරදී නවතම ක්රියාවලිය සහ ජූරියේ අපේක්ෂාවන් මොනවාද යන්න පිළිබඳ ප්රශ්න ඉදිරිපත් වූ අතර එම ස්ථානයට පැමිණ සිටි අයගේ සහ ඩිජිටල් පේ්රක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් හරවත් සාකච්ඡුාවක් ගොඩනැගුණි.
“Let’s tell a good story” යන්න සිය තේමා පාඨය කරගත් නිල නිර්මාණ සහකරු වන Shift Integrated සහ ‘’Getting Your Customer’s Attention’’ යන්න සිය තේමා පාඨය කරගත් නිල ඩිජිටල් සහකරු වන Loops Integrated විසින් පවත්වන ලද සැසි දෙකෙන් මෙම කතිකාවත වඩාත් පොහොසත් විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ තම සන්නාමය පිළිබඳ හදුන්වාදීම වඩාත් හොදින් ඉදිරිපත් කිරීම සඳහා මඟ පෙන්වීමටයි. එමෙන්ම මෙහිදී පිරිනැමෙන ගෞරවනීය සම්මාන දිනා ගැනීම සඳහා නිරීක්ෂණය කළ යුතු සහ ඉදිරිපත් කළ යුතු ඩිජිටල් පරාමිතීන් දැන පිළිබඳ පැහැදිලි කරන ලදි.
ප්රධාන සම්මාන කාණ්ඩ පහ අතරට වසරේ නිෂ්පාදන සන්නාමය, වසරේ සේවා සන්නාමය, වසරේ ගෝලීය සන්නාමය, වසරේ දේශීය සන්නාමය සහ වසරේ අපනයන සන්නාමය ඇතුළත් වේ. වසරේ නව්යකරණ සන්නාමය, වසරේ හැරවුම් සන්නාමය, වසරේ හොඳම නව ප්රවේශකයා, වසරේ B2B සන්නාමය, වසරේ CSR සන්නාමය, වසරේ ඔන්ලයින් සන්නාමය, වසරේ දේශීය කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සන්නාමය, වසරේ දේශීය කුඩා හා මධ්ය පරිමාණ අපනයන ව්යාපාර සන්නාමය යන විශේෂ සම්මාන දහයට අමතරව මෙවර වසරේ Agile සන්නාමය සහ වසරේ හරිත සන්නාමය යන නව කාණ්ඩ දෙක ද සම්මාන රාත්රියට එක් කර ඇත.
සියලූම ඇතුළත් කිරීම් විනිශ්චය කරනු ලබන්නේ රටේ වඩාත්ම ගෞරවනීය, පළපුරුදු වෘත්තිකයන් විසිනි. ඔවුන් පිළිගැනීමට වඩාත් සුදුසු වෙළඳ නාම, සන්නාම භාරකරුවන් සහ ව්යවසායකයින් තීරණය කිරීම සඳහා සියුම් සහ නිරවද්ය ඇගයීම් ක්රියා පටිපාටියක් අනුගමනය කරයි.
දේශීය සන්නාම ජාත්යන්තර තලයට ගෙන යාමේ දැක්ම ඇතිව SLIM බ්රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන සඳහා මෙවර අලූතින්ම ‘’Brand Book’’ නැමැති නවතම අයදුම්පතක් හඳුන්වා දී ඇති අතර එමඟින් සියලූම අයදුම්කරුවන්ට තම සන්නාමය පිළිබඳ විස්තර එකවරම ලබාදීමෙන් පසුව අදාල කාණ්ඩය යටතේ තම සන්නාමය සුවිශේෂී විය යුත්තේ ඇයි යන්න පිළිබඳව පමණක් කරුණු දැක්විය හැකිය.
වර්තමාන සංකීර්ණ ව්යාපාරික පරිසරය තුළ ශ්රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්රයේ විශිෂ්ටයින්ගේ කැපීපෙනෙන කාර්යභාරය ඇගයීමට ලක්කරන එකම ජාතික මට්ටමේ වැඩසටහන මෙය වේ. එබැවින් නිෂ්පාදන හා සේවා සන්නාම විශිෂ්ටත්වය කරා ඔසවා තැබීමට අලෙවිකරුවන්ගේ අභිපේ්රරණය, කැපවීම සහ දැඩි මහන්සිය මෙම සම්මානවලින් පිළිබිඹු වේ.
වසර 21 කට පෙර ආරම්භ කරන ලද SLIM බ්රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන උළෙල හොඳම සන්නාම සහ සන්නාම භාරකරුවන් හඳුනාගෙන ඇගයීමට ලක් කරන එකම සම්මාන උළෙලයි. හුදෙක් අයදුම්කරුවන් 26 කින් ආරම්භ වූ සම්මාන වැඩසටහන අද වන විට ඉහළ වාර්ෂිකව වාර්තාගත අයදුම්කරුවන් සංඛ්යාවක් පිළිබඳ දත්ත ඉදිරිපත් කරයි. සන්නාම, සන්නාම කළමනාකරුවන් සහ ව්යවසායකයින් සඳහා සංවර්ධන වේදිකාවක් වන SLIM බ්රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන උළෙල දිනෙන් දින ඉහළ යන ජනප්රියත්වයක් හිමිකර ගනියි.
September, 7, 2022
ක්රිකට් ආසියානු කුසලාන ප්රශ්න මාලාව, Cricket Vibes නාලිකාව වෙත පිවිසීම, Cricket Talks සහ බොහෝ දෙනා බලා සිටි Cricket Superbot ආරම්භ කිරීම වැනි Rakuten Viber වෙතින් ගෙන එන ක්රියාකාරකම් ලැයිස්තුවක් ඉදිරි මාසවලදී ක්රිකට් ලෝලීන් බලාපොරොත්තුව සිටින්න!
Rakuten Viber විසින් වසර අවසානය දක්වා විනෝදාත්මක ක්රියාකාරකම් පෙළක් ක්රිකට් ලෝලීන් වෙත අත්දැකීම් ලෙස ලබා දෙයි. පණිවිඩ යැවීමේ යෙදුම හරහා Cricket Vibes Channel සමඟ ශ්රී ලංකාවේ ජනප්රියම ක්රීඩාව සමඟින් Viber සිය සලකුණ ශක්තිමත් කරන බැවින්, Viberහි ක්රිකට් පිළිබඳව කතා බහ (Cricket Talks), රසිකයන් වෙත ගෙන එන ප්රශ්න මාලාව (Fan Quizzes) සහ ක්රිකට් සුපර්බෝට් (Cricket Superbot) ආරම්භ කිරීම ඇතුළු තවත් අංග රැසක් ක්රීඩා ලෝලීන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත. නව Superbot විශේෂාංගය කඩිනමින් නාලිකාවට එක් කෙරෙන ස්වයංක්රීය විශේෂාංගයක් වන අතර එහිදී රසිකයින්ට ක්රිකට් තරග විඳිය හැකිය. එමඟින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්රිකට් තරග, සජීවී යාවත්කාලීන කිරීම්, තරඟ පිළිබඳ අනාවැකි සහ තවත් දේ පිළිබඳව ප්රථමයෙන්ම සාමාජිකයින් හට දැක බලා ගැනීමට සලස්වයි.
උද්යෝගය එකාකාරීව දිගටම පවත්වා ගැනීම සඳහා, ඔවුන් සියල්ලන්ගේම අවසාන ක්රිකට් රසිකයා තීරණය කිරීම සඳහා Viber විසින් දිනපතා තරඟයක් ද පවත්වනු ලබයි. එහිදී ක්රිකට් පිළිබඳව සුළු ප්රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා දීමෙන් සහ ආකර්ෂණීය ත්යාග දිනා ගැනීමෙන් රසිකයින්ට ලකුණු ලබා ගැනීමට සහ ලකුණු එක් රැස් කර ගැනීමට හැකිවේ!
නිදහස් සන්නිවේදන යෙදුම ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාවට සහාය වීම සඳහා බහුවිධ වූ ප්රචාරණයන් දියත් කරනු ලැබූ පළමු අවස්ථාව මෙය නොවන අතර, සෑම අවස්ථාවකදීම ප්රේක්ෂකයින් ඒ සියල්ලටම කේන්ද්රගත කර ඇත. මේ වසර ආරම්භයේදී ශ්රී ලංකාව සහ ඕස්ට්රේලියාව අතර සජීවී ක්රීඩා තරඟයක් නැරඹීමට වාසනාව ක්රිකට් ලෝලීන්ට හිමි විය. ''අපගේ පෙර ක්රිකට් ප්රචාරණ වැඩසටහන් සාර්ථක වූ අතර මෙවැනි සහයෝගිතා තුළින් රසිකයින්ට උද්යෝගීමත් වූ ක්රියාකාරකම් සහ විශේෂාංග ලබා දීමට එම සාර්ථකත්වය අපව පොළඹවනු ලබනවා. ඔවුන් ක්රිකට් සඳහා ප්රතිචාර දක්වන ආකාරය සහ ඔවුන්ගේ කණ්ඩායම්වලට සහ ප්රියතම ක්රීඩකයින්ට සහය දෙන ආකාරය දැකීමෙන් ඔවුන් ක්රීඩාව කෙරෙහි කොයිතරම් කැපවීමක් ලබා දෙනවා ද යන්න පමණක් නොව ශ්රී ලාංකික ජනතාව ක්රිකට් වෙනුවෙන් කෙතරම් කැමැත්තක් දක්වනවාද යන්න පිළිබඳව පිළිඹිබු වෙනවා. මේ තුළින් තවත් ස්ටිකර් ඇසුරුම් (sticker packs), කාච (lenses), විශේෂ වූ නාලිකා වැඩසටහන් (Channel segments) සහ තවත් බොහෝ දේ නවීනත්වයෙන් යුතුව හඳුන්වා දීමට අපව පොලඹවනවා. මෙම රසික පදනම වර්ධනය වනවා දැකීම ඉතාමත් විචිත්රවත් වන අතර එහි කොටසක් වීමට ලැබීම අපට ගෞරවයක්'' වන බව Rakuten Viber හි ආසියා ශාන්තිකර කලාපයේ (APAC) ජ්යෙෂ්ඨ අධ්යක්ෂ ඩේවිඩ් ට්සේ පවසයි.
ආසියානු ක්රිකට් කුසලානය සහ එළැඹෙන 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලිය තුළින් Viber විසින් හඳුන්වාදෙන Viber ක්රික් වයර් (Cricwire) සහ මිරර් සපෝර්ට්ස් (Mirror Sports) වැනි තවත් දේශීය ශ්රී ලාංකේය ප්රචාරණ විශේෂාංග කිහිපයක් සමඟින් Viber තවත් ඉදිරියට ගමන් කරනු ඇත. ක්ෂණික පණිවිඩ යැවීමේ යෙදුම මෙන්ම, මෙම විශේෂාංගවල නම් පාරිභෝගිකයින්ට හොඳම අත්දැකීම් ලබා දීමේ තීරුව දිගටම ඔසවා තබනු ඇත. ක්රීඩාව සඳහා ඔවුන් සතුව ඇති උද්යෝගය පෙන්වීමට ආසියානු කුසලානය රසිකයන්ගෙන් පිරුණු තරගයක් ලෙස සැමරීමට වඩා හොඳ ක්රමය කුමක් වේද? ඉන් එක ක්රමයක් වන්නේ අනාවැකි, ක්රීඩා ප්රතිඵල සහ දක්ෂතා සාකච්ඡා කිරීමට Cricket Vibes නාලිකාව තුළට ප්රවීණයන් පැමිණීමය. 2022 අගෝස්තු 20 වන දින, ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක ෆර්වීස් මහරූෆ් සහ බංග්ලාදේශ ක්රීඩා මාධ්යවේදී අරිෆුල් රෝනි සහ බංගලාදේශ ක්රිකට් ක්රීඩක ටස්කින් අහමඩ් යන අය Cricket Talks වැඩසටහන සඳහා සහභාගී විය. මෙම නාලිකාවේ සාමාජිකයන්හට වමතින් පන්දුවට පහර දෙන පිතිකරුවකු වන භානුක රාජපක්ෂ සහ හිටපු ක්රිකට් ක්රීඩක ලසිත් මාලිංග සමඟ ඉදිරියේදී පැවැත්වෙන ආරාධිත වැඩසටහනක් දැකබලා ගැනීමට හැකිවනු ඇත.
ක්රිකට් රසිකයන් සඳහා දැන් Cricket Vibes Channel සහ Cricket Superbot සමඟ දිනපතා යාවත්කාලීන කිරීම්, සුවිශේෂී අන්තර්ගතයන් සහ තවත් බොහෝ දේ බැලීම සඳහා සම්බන්ධ විය හැක.
September, 7, 2022
යුනිලිවර් ශ්රී ලංකා සමාගම සිය නවතම Surf Excel 2-in-1 රෙදි සෝදන ඩිටර්ජන්ට් නිෂ්පාදන Comfort Fabric Conditionerහි ප්රීමියම් සුවඳ සමඟින් වෙළෙඳපොලට හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඒ මෙරට පාරිභෝගිකයන්ගේ වෙනස්වන ජීවන අවශ්යතා සපුරාලීම වෙනුවෙන් නිරන්තරයෙන් නව නිෂ්පාදන හඳුන්වාදීමේ යුනිලිවර් ශ්රී ලංකාහි කැපවීම යළි යළිත් ප්රදර්ශනය කරමිනි.
ඒ අනුව ශ්රී ලංකාවේ ප්රථම වතාවට Comfort Fabric ප්රීමියම් සුවඳ සමඟින් ඇඳුම්වල තද පැල්ලම් ඉවත් කරන Surf Excel හි සියලු අන්තර්ගතයන් අත්විඳීමේ හැකියාව පාරිභෝගිකයාට උදා වේ. සෑම රෙදි සේදුමකින් අනතුරුව Comfort හි ප්රීමියම් සුවඳ ඇඳුම්වලට නැවුම් බවක් හා සුවඳවත් බවක් එක් කරන අතරම නව සංයෝගය මඟින් රෙදි සේදීමේදීද දෑතට සුමුදු බවක් ගෙන එනු ඇත. ඒ නිසාම රෙදි සේදීම සියලු දෙනාට වඩා ප්රසන්න අත්දැකීමක් වනු නොඅනුමානය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්රී ලංකාහි Homecare and Nutritionහි අලෙවි අධ්යක්ෂිකා ෂර්මිලා බණ්ඩාර මහත්මිය සඳහන් කර සිටියේ “ එළිමහනේ දරුවන් සෙල්ලම් කරන විට දරුවන්ගේ ඇඳුම්වල කුණු පැල්ලම් ඇතිවීම ගැන පමණක් සිතිය යුතු නැහැ. එය දරුවන්ට සතුටු වීමට, බොහෝ දේ පිළිබඳ අවධානය යොමු කිරීමට, මිතුරන් ඇති කර ගැනීමට වගේම අදහස් බෙදා හදා ගැනීමට කදිම අවස්ථාවක්. ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට අවශ්ය පෞරුෂ වර්ධනයත්, සමාජයට නිර්භයව මුහුණදීම සඳහාත් එය ඔවුන්ට ඉතාමත් වැදගත්.” යනුවෙනි. වැඩි දුරටත් අදහස් දැක්වූ ෂර්මිලා මහත්මිය “පරම්පරා ගණනාවක් පුරා ඇඳුම්වල තද පැල්ලම් ඉවත් කිරීම සම්බන්ධයෙන් රට පුරා විසිරී සිටින මව්වරුවන්ගේ නොමඳ විශ්වාසය හිමිකර ගෙන ඇති Surf Excel, Comfort හි ප්රීමියම් සුවඳ සමඟින් රෙදි සේදීම පමණක් නොව සුවඳවත් ඇඳුම් ඇඳීමත් කදිම අත්දැකීමක් බවට පත් කරනු ඇති බව මගේ විශ්වාසයයි’‘ යනුවෙන්ද පවසා සිටින ලදී.
රෝස සහ නිල් පැහැති ඇසුරුම් තුළින් හඳුන්වා දී ඇති Comfort Fabric Conditioner හි ප්රීමියම් සුවඳ කැටිකරගත් නවතම Surf Excel 2-in-1 ප්රමාණ 7කින් දිවයින පුරා සිල්ලර හා සුපිරි වෙළෙඳසැල්වලින් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත.
වසර 26කට වැඩි කාලයක් පුරා මෙරට වෙළෙඳපොල තුළ අලෙවි කරනු ලබන Surf Excel අද වන විට සෑම නිවසකම අත්යාවශ්ය අංගයක් බවට පත්ව ඇති අතර ඇඳුම් සඳහා සුවිශේෂී ආරක්ෂාවක් සපයන රෙදි සෝදන කුඩු ලෙසද සිය ස්ථාවරත්වය තහවුරු කොට ඇත. ශ්රී ලාංකේය පාරිභෝගිකයින්ගේ කාලයට ගැලපෙන අවශ්යතා සපුරාලීම වෙනුවෙන් විවිධ නිෂ්පාදන ආකෘති යටතේ ඔවුන් වෙත නවතම නිෂ්පාදන අත්දැකීම් හිමිකර දීමේ Surf Excelහි නිරන්තර ප්රයත්නයෙහි ප්රතිඵලයක් ලෙස මෙම නවතම නිෂ්පාදන පාරිභෝගිකයා වෙත හඳුන්වාදීමට කටයුතු කර ඇත.
වසර 84කට වැඩි කාලයක් ශ්රී ලංකාවේ ප්රමුඛතම සමාගමක් ලෙස සිය අනන්යතාව තහවුරු කිරීමට සමත්ව ඇති යුනිලිවර් ශ්රී ලංකා සමාගම 1930 දී පමණ ‘සන්ලයිට්’ රෙදි සෝදන සබන් මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමත් සමඟ ශ්රී ලංකාවේ රෙදි සේදුම් නිෂ්පාදන වෙළෙඳපොලෙහි පුරෝගාමියා බවට පත් විය. එතැනින් නොනැවතී 1960 වසරේදී පමණ ‘රින්සෝ’ නිෂ්පාදන සමඟ රෙදි සෝදන කුඩු මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමට යුනිලිවර් ශ්රී ලංකා කටයුතු කරනු ලැබුවේ රෙදි සේදීම පහසු හා කාර්යක්ෂම කටයුත්තක් බවට පත් කරමිනි. ඉන් පසුව රෙදි සේදීමේ තවත් සුවිසල් තේරීමක් පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමින් Surf Excel සහ සන්ලයිට් ඩිටර්ජන්ට් පවුඩර් හඳුන්වාදීමට යුනිලිවර් ශ්රී ලංකා ආයතනය කටයුතු කරනු ලැබීය.
September, 7, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2022 අගෝස්තු මස 13 වන දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මොරටුව රාවතාවත්ත ශ්රී වාචිස්සර භාවනා මධ්යස්ථානයේ දී පැවැත්විණි.
HNB FINANCE මොරටුව ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම උදාර කටයුත්ත ශාඛා කළමනාකරු ක්රිෂාන් ප්රනාන්දු මහතාගේ නායකත්වයෙන් ඔහුගේ කණ්ඩායම සහ HNB FINANCE හි සහෝදර සේවකයින්ගේ සංවිධාන ශක්තියෙන් පැවැත්විණ.
“වත්මන් වාතාවරණය තුළ ඖෂධ හිඟය, සෞඛ්ය පහසුකම් ලබා ගැනීම දුෂ්කර වීම සහ රුධිර අවශ්යතා ඇති රෝගීන්ට රුධිර පාරවිලයනය සඳහා රුධිරය හිඟවීම හේතුවෙන් සෞඛ්ය ක්ෂේත්රය අර්බුදකාරී තත්වයකට මුහුණපා සිටිනවා. මෙම වැඩසටහන ඇතුළුව අප සංවිධානය කරන අනෙකුත් සමාජ සේවා හරහා ප්රාදේශීය සෞඛ්ය ක්ෂේත්රයට අත්වැලක් වන්නට හැකි බව අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ දී රුධිරය ලබා දීමට සහාය වීමෙන් අසාධ්ය රෝගීන්ගේ ජීවිත බේරාගෙන ජනතාවගේ සෞඛ්ය යහපැවැත්ම සහතික කළ හැකියි යන්න අපිට විශ්වාසයි.” යනුවෙන් HNB FINANCE PLC හි සහකාර සාමාන්යාධිකාරී පැතුම් සම්පත් කුරේ මහතා පැවසුවේය.
ස්වකැමැත්තෙන්ම රුධිරය පරිත්යාග කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයින් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක වූ අතර බොරලැස්ගමුව වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විද්යාපීඨ විශ්වවිද්යාල රෝහල ( KDU ) සහ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන සේවාව ^NBTS& සඳහා මෙම රුධිරය පරිත්යාග කරන ලදි.
කොතලාවල ආරක්ෂක විද්යාපීඨ විශ්වවිද්යාල රෝහලෙහි වෛද්යවරුන් සහ කාර්ය මණ්ඩල සහාය මෙම වැඩසටහනේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් විය. එපමණක් නොව මෙහිදී රුධිරය පරිත්යාගකල පිරිස සඳහා ආහාරපාන ලබා දුන් අතර හරිතවත් හෙටක් වෙනුවෙන් වූ සමාගමේ සමාජ වගකීම ඉටුකරමින් මෙම පරිත්යාගශීලීන්ට ගෙවත්තෙහි රෝපණය කිරීම සදහා එළවළු පැල බෙදාදීමක්ද සිදුකරන ලදි.
HNB FINANCE ආරම්භයේ සිටම ප්රජා දායකත්වය සහ සමාජ වගකීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්රියාත්මක කරන ලදි. එපමණක් නොව බාධාවකින් තොරව සහ පාරිභෝගිකයා කේන්ද්ර කරගත් මූල්ය සේවාවන් සැපයීමට සමාගම මූලිකත්වය ගන්නා අතරම ජනතාවගේ යහපැවැත්ම නඟාසිටුවීමට සහ සමාජ සේවා වැඩසටහන් දියත් කිරීමට ද පෙරමුණ ගෙන කටයුතු කරයි.

September, 7, 2022
ගම්පහ ප්රදේශයේ පැරණිතම පාසල් අතරින් එකක් වන තක්ෂිලා විද්යාලය 2021 වසරේ සාමාන්ය පෙළ විභාගය පැවති සමයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්විය. ඒ එම කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොඩනැගිල්ලක් තුළ දරුවන් පිරිසක් විභාගයට පෙනී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ජනමාධ්ය හා සමාජ මාධ්ය තුළ සංසරණය වීම හේතුවෙනි. මෙම සිදුවීමෙන් අනතුරුව මෙම දරුවන් මුහුණ පාන විවිධාකාර වූ දුෂ්කරතා පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. එම දරුවන්ට අවශ්ය පහසුකම් නොපමාව සැලසීමේ වැදගත්කම අවබෝධ කරගත් රයිනෝ රූෆිං ප්රඩක්ට්ස් සමාගම (Rhino Roofing Products Limited), රටේ පවතින දුෂ්කර තත්ත්වය හමුවේ පවා ඒ වෙනුවෙන් විශේෂ ව්යාපෘතියක් දියත් කිරීමට තීරණය කළේ ය.
1992 ජූනි 12 දින සිසුන් 60 දෙනෙකුගෙන් ආරම්භ වූ ගම්පහ තක්ෂිලා විද්යාලයෙහි මේ වනවිට සිංහල හා ඉංග්රීසි මාධ්ය වලින් සිසු සිසුවියෝ 2250 ක් පමණ ඉගෙනුම ලබති. කෙසේ නමුත් පසුගිය කාලය තුළ එම පාසලට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වූ අතර, විශේෂයෙන්ම ජාතික මට්ටමේ විභාග වලට පෙනී සිටින දරුදැරියන්ට එමගින් විශාල බලපෑමක් එල්ල විය. එම තත්ත්වය හඳුනාගනිමින්, දරුවන්ට සුරක්ෂිත ලෙස අධ්යාපනය ලැබීමට හැකි වන ආකාරයට පාසල් ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා, රයිනෝ සමාගමේ කළමනාකාර අධ්යක්ෂතුමා ප්රමුඛ එහි ඉහළ කළමනාකාරීත්වය තීරණය කළේ ය.
“රටේ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙරමුණ ගන්නේ දරුවන් සහ තරුණ පරපුර කියා මා විශ්වාස කරනවා. වගකීම්සහගත ආයතන සහ වැඩිහිටියන් වශයෙන් අප ඔවුන්ට අනාගත නායකයන් බවට පත්වීම සඳහා අවශ්ය අත්වැල ලබාදිය යුතුයි. පාසල යනු සෑම දරුවෙකුගේම ජීවිතයේ මූලික අඩිතාලමක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. අධ්යාපනය යනු කාටත් සමානව හිමි විය යුතු වරප්රසාදයක්. එය ගම්පහ තක්ෂිලා විද්යාලයේ දරුවන්ටත් නො-අඩුව ලබාදීම සඳහා මැදිහත් වීමට අප තීරණය කළා. එමෙන්ම මේ දරුවන්ට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සුභාශිංසන පිරිනැමීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” රයිනෝ රූෆිං ප්රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා පැවසී ය.
වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු වශයෙන් රයිනෝ රූෆිං ප්රඩක්ට්ස් සමාගම වසර 60 කට අධික කාලයක් තිස්සේ රටේ යහපත උදෙසා පෙරමුණ ගෙන කටයුතු කර තිබේ. මෙම නවතම ව්යාපෘතිය සමගින් එම සමාගම, රටේ වටිනාම සම්පත වන දරු පරපුරේ හෙට දිනය වඩාත් යහපත් කිරීම සඳහා ඉදිරිපත් විය. මේ වනවිට රටේ ආර්ථිකය මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයද අර්බුද රැසකට මුහුණ දී සිටින නමුත්, රටේ අනාගතය වෙනුවෙන් මෙම වටිනා ප්රජා සත්කාරය ක්රියාවට නැංවීමට රයිනෝ රූෆිං ප්රඩක්ට්ස් සමාගම තීරණය කළේ ය.
“තක්ෂිලා විද්යාලය යනු ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රය තුළ වසර 30 කට අධික ඉතිහාසයක් සහිත සුප්රකට පාසැලක්. 2021 වසරේ සාමාන්ය පෙළ විභාගය පැවති කාලයේදී මුහුණ දීමට සිදු වූ ගැටලුව අප කිසිවෙකුත් අපේක්ෂා කළ දෙයක් නොවෙයි. එම අවස්ථාවේදී ගොඩනැගිල්ල අලුත්වැඩියා කර දීම සඳහා රයිනෝ සමාගම ඉදිරිපත් වුණා. අප පාසල කවදත් දක්ෂ දරුවන් බිහිකළ පාසලක්. මේ නව පහසුකම් නිසා දරුවන්ට වඩාත් සතුටින් හා සැහැල්ලුවෙන් තම අධ්යාපන කටයුතු වල නිරත වීමට අවස්ථාව ලැබේවි. මෙය තක්ෂිලා විද්යාලයේ වර්තමාන මෙන්ම අනාගත සිසු දරු දැරියන් වෙනුවෙන් ලැබුණු වටිනා පරිත්යාගයක් ලෙස අප සලකනවා. එමෙන්ම මෙය එම දරුවන් තවදුරටත් අධ්යාපන කටයුතු වලට උනන්දු කරවන පියවරක් වේවි.” ගම්පහ තක්ෂිලා විද්යාලයේ විදුහල්පතිනිය වන එම්. ඒ. අනුලා පද්මිණී මහත්මිය පැවසුවා ය.
1962 වසරේදී සාමාන්ය මට්ටමින් ආරම්භ වූ රයිනෝ රූෆිං ප්රඩක්ට්ස් සමාගම මේ වනවිට රටේ ප්රමුඛතම වහල සෙවිලි කිරීමේ විසඳුම් පිරිනමන සමාගම බවට පත්වී ඇත. දශක ගණනාවක් තිස්සේ එම සමාගම ඉහළම ප්රමිතියෙන් යුත් සෙවිලි තහඩු සහ අනෙකුත් නිෂ්පාදන හඳුන්වා දෙමින් මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට මිල කළ නොහැකි දායකත්වයක් ලබාදෙමින් සිටී.


Video Story