September, 9, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ සාර්ථක ගනුදෙනු සතියක් අවසන් කරමින් අද (09) දින වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,704.21 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 104.89 ක හෙවත් 1.09% ක වර්ධනයකි.
පූර්ව සතියේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,316.45 ක් ලෙසින් සටහන්ව තිබූ අතර ඒ අනුව මෙම සතිය තුළ දී ඒකක 387.76 කින් එහි ඉහළ යාමක් වාර්තා වේ. මෙය 4.16% ක වර්ධනයකි.
අද දින රු. බිලියන 4.12 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. මෙම සතියේ ගනුදෙනු දින 5 තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රු. බිලියන 23.41 කි. එය තුළ රු. බිලියන 4.07 ක විදේශීය මිල දී ගැනීම් ප්රමාණයක් අන්තර්ගත වීම විශේෂත්වයක් වේ.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, රෝයල් සෙරමික්, මෙල්ස්ටාකෝප් හා ලංකා අයි ඕ සී යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

September, 8, 2022
අද (08) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 152.05 (1.61% ) කින් ඉහළ ගොස් ඒකක 9,599.32 ලෙසින් වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 51.06 කින් හෙවත් 1.69% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,069.03 ක් ලෙසින් දැක්වුණි.
අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.95 ක් ලෙසින් සටහන් විය. එහිදී රු. බිලියන 4.11 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රු. බිලියන 4.51 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වූ අතර රු. මිලියන 839.78 ක් විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 439.94 ක් විදේශීය විකිණුම් ලෙසින් වාර්තා විය.
මේ අනුව අද දිනයේ දී රු. මිලියන 399.84 ක ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්රමාණයක් වාර්තා වී ඇති අතර ඊයේ දිනයේ දී රු. බිලියන 2.29 ක ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්රමාණයක් සටහන්ව තිබුණි.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 133 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර රිචඩ් පීරිස් සහ සමාගම, රෝයල් සෙරමික්ස් ලංකා, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සහ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.

September, 8, 2022
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අධ්යක්ෂ මණ්ඩලය, ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර සමාගම් හි උපදෙස් ඇතිව පහත දක්වා ඇති පරිදි 2022 සැප්තැම්බර් 15 වැනි බ්රහස්පතින්දා සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
පූර්ව වෙන්දේසි සැසිය - පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා
විවෘත වෙන්දේසිය - පෙරවරු 10.00
දෛනික ගනුදෙනු - පෙරවරු 10.00 ට ආරම්භ වේ.
ගනුදෙනු අවසානය - පස්වරු 12.30
මේ අනුව මෙතෙක් පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැය 2ක කාලයක්ව තිබූ කොටස් වෙළෙඳපොළ නිත්ය ගනුදෙනු සැසිය පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා පැය 2 1/2 ක් දක්වා කාලයකට දීර්ඝ වනු ඇත.
September, 7, 2022
අද (07) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 116.94 (1.25%) කින් ඉහළ ගොස් ඒකක 9,447.27 ලෙසින් වාර්තා විය.
සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 131 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර රිචඩ් පීරිස් සහ සමාගම, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, රෝයල් සෙරමික් ලංකා, එක්ස්පෝලංකා හෝල්ඩින්ස්, ලංකා IOC යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 19.77කින් හෙවත් 0.66% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,017.97 ක් ලෙසින් දැක්වුණි.

අද දින රු. බිලියන 6.08 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර මෙහිදී කැපී පෙනන කරුණක් වූයේ රු. බිලියන 2.39 විදේශීය මිල දී ගැනීම් ප්රමාණයක් වාර්තා වීමයි. ඒ අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි රු. බිලියන 2.25ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ද වාර්තා විය.
මේ අතර අද දිනයේ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.68 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.98 ක් ලෙසින් සටහන් වූ අතර වාර්තා වූ විදේශීය විකිණුම් ප්රමාණය රු. මිලියන 99.75 කි.
September, 6, 2022
අද (06) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,330.33 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 36.06 ක හෙවත් 0.38% ක පහළ යාමකි.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 5ක වර්ධනාත්මක ප්රවණතාවයකින් පසුවයි.
රු. බිලියන 4.10 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී වැඩිම දායකත්වය ලංකා IOC සමාගමේ කොටස් ගනුදෙනුවලින් ලැබී තිබුණි. රු. බිලියන 1.15 ක වටිනාකමකින් යුතු ලංකා IOC සමාගමේ කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ අතර අද දිනයේ රු. 228.25 ක් දක්වා වූ මිලකට ද එම සමාගමේ කොටස් ගනුදෙනු වීම දක්නට ලැබුණි.
මීට අමතරව එක්ස්පෝ ලංකා හොල්ඩිංග්ස් රු. මිලියන 367.64 ක්, LOLC ෆයිනෑන්ස් රු. මිලියන 260.23 ක් හා CIC හෝල්ඩින්ස් රු. මිලියන 206.58 ක් ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදුන් සෙසු සමාගම් විය.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීම සඳහා සමාගම් 83කින් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු අතර සමාගම් 112 කින්ම ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයකි.
September, 2, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්රවණතාව තවදුරටත් සනිටුහන් කරමින් අද (02) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 61.64 කින් ඉහළ ගොස් ඒකක 9,316.45 ක් ලෙසින් වාර්තා විය. සියලු කොටස් මිල දර්ශකයේ අඛණ්ඩ වර්ධනයක් වාර්තා වූ සිව්වැනි දිනය අදයි. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 4.29ක සුළු වර්ධනයක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එය ඒකක 3,009.61 ක් ලෙසින් සටහන්ව තිබුණි.
රු. බිලියන 4.2 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී දක්නට ලැබුණු සුවිශේෂී කරුණ නම් අද දිනයේ දීද ශුද්ධ විදේශීය ගලාඒමක් කොටස් වෙළෙඳපොළෙන් දක්නට ලැබීමයි. එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 807.15 ක් ලෙසත් විදේශීය විකිණුම් රු. මිලියන 281.46 ක් ලෙසත් සටහන් වූ අතර දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.45 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.92 ක් ලෙසින් වාර්තා විය.
සමස්තයක් ලෙස මෙම සතිය සැලකීමේ දී රු. බිලියන 2.59 ක විදේශීය මිල දී ගැනීම් අගයයක් වාර්තා වී ඇති සතියේ මුළු විදේශීය විකිණුම් ප්රමාණය වාර්තා වන්නේ රු. මිලියන 948.05 ක් ලෙසයි. ඒ අනුව රු. බිලියන 1.64 ක ශුද්ධ විදේශීය ගලාඒමක් මෙම සතිය තුළ වාර්තා වී තිබේ. සතියේ සමස්ත පිරිවැටුමේ වටිනාකම රු. බිලියන 15.61 කි.
Video Story