
City of Dreams Sri Lanka ආරම්භ කිරීමත් සමඟ කොළඹ නගරය වෙත පැමිණෙන විදේශීය සංචාරකයන් නගරය තුළ වැඩි දින ගණනක් රඳවා තබා ගැනීමට අවශ්ය ලෝක මට්ටමේ යටිතල පහසුකම් නිර්මාණය වී ඇති බව Cinnamon Hotels & Resorts හි කොළඹ හෝටල් අංශයේ ජ්යෙෂ්ඨ උප සභාපති සහ City of Dreams හි Cinnamon Life හි සාමාන්යාධිකාරී කමල් මුණසිංහ මහතා පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත Once Upon a Christmas – The Greatest Xmas Show ජාත්යන්තර නත්තල් ප්රසංගය පිළිබඳව දැනුවත් කිරීමට City of Dreams හි පැවැති මාධ්ය හමුවේදී අදහස් දක්වමින් මුණසිංහ මහතා කියා සිටියේ මෙවැනි ඒකාබද්ධ යටිතල පහසුකම් මඟින් ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ පැවැති දීර්ඝකාලීන අඩුවක් සපුරාලන බවයි.
අතීතයේදී ශ්රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් කොළඹ නගරය මඟහැර හෝ ඉතා කෙටි කාලයක් පමණක් නගරයේ රැඳී සිටිමින් දිවයිනේ අනෙකුත් සංචාරක ප්රදේශ වෙත සෘජුවම ගමන් කළ බව හෙතෙම පෙන්වා දුන්නේය. City of Dreams ස්ථාපනය කිරීමේ ප්රධාන අරමුණ වූයේ මෙම රටාව වෙනස් කරමින් සංචාරකයන්ට කොළඹ නගරයේ වැඩි කාලයක් ගත කිරීමට සුදුසු හේතු සහ අත්දැකීම් ලබා දීම බව ඔහු අවධාරණය කළේය.
"අපගේ අරමුණ වන්නේ ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයන් කොළඹ නගරය තුළ රාත්රී දෙකක් හෝ තුනක් ගත කිරීමට යොමු කිරීමයි. ඉන්පසුව ඔවුන්ට දිවයිනේ අනෙකුත් ප්රදේශ වෙත ගමන් කළ හැකියි. මෙවැනි ජාත්යන්තර මට්ටමේ උත්සව සහ ප්රසංග මඟින් සංචාරකයන්ට නගරයේ රැඳී සිටීමට හේතු සාධක සපයනවා," යනුවෙන් මුණසිංහ මහතා සඳහන් කළේය.
මීට පෙර MICE (රැස්වීම්, සම්මන්ත්රණ සහ ප්රදර්ශන), ක්රීඩා උත්සව හෝ ජාත්යන්තර මට්ටමේ ප්රසංග පැවැත්වීමට සුදුසු පහසුකම් සහිත පරිශ්ර කොළඹ නගරයේ නොතිබූ බවත්, City of Dreams විවෘත කිරීමත් සමඟ මීට පෙර ශ්රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු නොවූ ඉහළ පෙළේ ව්යාපාරිකයන් සහ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හැකි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සිනමන් සන්නාමය ශ්රී ලංකාවේ වසර 20 කට වැඩි කාලයක් පුරා ක්රියාත්මක වන අතර, City of Dreams යනු මෙරට නාගරික විනෝදාස්වාද සහ සංචාරක ක්ෂේත්රයේ දැවැන්ත ඉදිරි පියවරකි. මෙම ඒකාබද්ධ නිකේතනය තුළ lifestyle shopping mall, ලෝක මට්ටමේ විනෝදාස්වාද මධ්යස්ථාන, ballrooms 5 ක්, ආහාර පාන පරිශ්ර 12 ක්, විශේෂිත අවන්හල් 5 ක් සහ කාමර 113 ක් හා 687 කින් යුත් හෝටල් පරිශ්ර දෙකක් ඇතුළත් වේ.
"අප සිිටි ඔෆ් ඩ්රීම්ස් ශ්රී ලංකා ආරම්භ කිරීමේ ප්රධාන අරමුණ වූයේ දේශීය අමුත්තන්ට පමණක් නොව ශ්රී ලංකාවට පැමිණෙන සියලුම විදේශීය සංචාරකයන්ට වෙනස්ම ආකාරයේ උසස් අත්දැකීමක් ලබා දීමයි," යනුවෙන් මුණසිංහ මහතා අවධාරණය කළේය.
කොළඹ නගරයේ නත්තල් උත්සව සමය සහ රාත්රී ජීවිතය තවත් සක්රීය කිරීමේ අරමුණින් City of Dreams, Once Upon a Christmas – The Greatest Xmas Show ප්රසංගයේ නිල ආගන්තුක සත්කාර සහකරු ලෙස කටයුතු කරයි. Ceilao Enterprises හි සභාපති ආචාර්ය මංජුල කුලතුංග මහතාගේ සංකල්පයකට අනුව, Kooka Productions සහ ICrave Entertainment එකමුතුවෙන් සංවිධානය කරනු ලබන මෙම ප්රසංගය ඕස්ට්රේලියානු සර්කස් ශිල්පීන් සහ තාක්ෂණික කණ්ඩායමක් මෙරටට කැඳවමින් එළිමහන් සර්කස් මියුසිකල් අත්දැකීමක් ලෙස ඉදිරිපත් කෙරේ.
Ceilao Enterprises ආයතනය විසින් 2026 වසරේ මුල් භාගයේදී ලොව ප්රකට විකට රංගන ශිල්පී Russell Peters මහතාගේ ප්රසංගය ශ්රී ලංකාවේ සාර්ථකව පවත්වන ලදී.
මෙම උත්සව සමයේ ආරම්භය සනිටුහන් කරමින් දෙසැම්බර් 4 වන දින සිිටි City of Dreams හිදී නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවය පැවැත්වෙන අතර, දෙසැම්බර් 10, 11 සහ 12 යන දිනවල පැය දෙකහමාරක කාලයක් පුරා මෙම නත්තල් සර්කස් ප්රසංගය City of Dreams හි Podium හිදී පැවැත්වේ. ප්රවේශ පත්ර අලෙවිය 2026 නොවැම්බර් 1 වන දින ආරම්භ වීමට නියමිතය.
ජාත්යන්තර මට්ටමේ දැවැන්ත ප්රසංග සංවිධානය කිරීමේදී මුහුණ දීමට සිදුවන වාණිජ අභියෝග පිළිබඳව අදහස් දැක්වූ මුණසිංහ මහතා, නගරය සජීවීව පවත්වා ගැනීමට නම් මෙවැනි එඩිතර තීරණ සහ උපායමාර්ගික සහකාරිත්වයන් අත්යවශ්ය වන බව පෙන්වා දුන්නේය.
"මෙවැනි දැවැන්ත මට්ටමේ ප්රසංග ශ්රී ලංකාවට ගෙන ඒම ලෙහෙසි පහසු නැහැ. මන්ද එහි ආර්ථිකමය පැත්ත බැලූ විට එය ඉතා අවදානම් සහගත සීමිත මායිමක පවතින්නේ... නමුත් නගරය සජීවීව පවත්වා ගැනීමට මෙවැනි එඩිතර තීරණ ගැනීම සහ හවුල්කාරීත්වයන් ගොඩනගා ගැනීම අපට මහත් රුකුලක් වෙනවා," යනුවෙන් ඔහු පැවසීය.












