
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා ඩිජිටල් බැංකුකරණ නව්‍යෝත්පාදනයේ ප්‍රමුඛයා ලෙස තම ස්ථානය යළිත් තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව Payable පුද්ගලික සමාගම සහ මාස්ටර්කාඩ් සමඟ එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට මාස්ටර්කාඩ් Cloud Commerce තාක්ෂණය යොදාගත් ‘Payable TAP’ පහසුකම් හඳුන්වා දී තිබේ.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකාවේ පැවති Mastercard’s Access Unlock සමුළුවේදී එලිදැක්වු මෙම නවතම විසඳුම හරහා NFC පහසුකම සක්‍රීය කර ඇති ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනයක්, ආරක්ෂිතව ස්පර්ශ රහිත ගෙවීම් උපාංගයක් ලෙස භාවිත කල හැක. මේ සඳහා වෙනම POS යන්ත්‍රයක් භාවිතා කිරීමේ අවශ්‍යතාව මගහැරී යයි.
මාස්ටර්කාඩ් Cloud Commerce මගින් බලගැන්වෙන Payable TAP මූලික ගෙවීම් සැකසූම, සත්‍යාපනය සහ ආරක්ෂක ක්‍රියාවලීන්, උපාංගයෙන් ඉවත් කර Cloud දත්ත ගබඩාව හරහා සිදු කරයි. මෙය මෘදුකාංගමය විකුණුම් ලක්ෂ්‍යය (Soft POS) තාක්ෂණයේ සුවිශේෂ විකාශනයක් වේ. මෙම තාක්ෂණික ව්‍යුහය මගින් ගෙවීම් පද්ධතිය පුළුල් කිරීමේ හැකියාව, තත්‍ය කාලීනව වංචනික ක්‍රියා නිරීක්ෂණය කිරීම සහ වෙළෙඳ කටයුතු වලට බාධා නොවී අඛණ්ඩව මෘදුකාංගය යාවත්කාලීන කිරීමේ හැකියාව ද ලබා දෙයි.
Payable TAP මගින් වෙළඳ මහතුන්ට ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මෙන් ම ඩිජිටල් මුදල් පසුම්බි වලින් සිදුකරන ගෙවීම් ලබා ගැනීමේ හැකියාව පවතින අතර එක් ගෙවීම් අවස්ථාවකට රුපියල් 100,000 ක් දක්වා ගනුදෙනු සීමාවක් සහිත Tap and Pay තාක්ෂණය භාවිතා වේ. QR ගෙවීම් ද මෙය හරහා සිදුකළ හැකියි. පරිශීලක පහසුව ද සලකා නිර්මාණය වී ඇති Payable TAP හි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන අතුරු මුහුණතක් ඇති අතර කෙටි පණිවුඩ හෝ විද්‍යුත් තැපෑල හරහා ක්ෂණික ඩිජිටල් රිසිට්පත් නිකුත් කරයි. ව්‍යාපාරවලට තනි ගිණුමකින් ස්මාර්ට් ජංගම දුරකථන කිහිපයක් ම සම්බන්ධ කරගත හැකි අතර එය ජංගම බෙදාහැරීමේ කටයුතු සිදුකරන සහ විකුණුම් ස්ථාන කිහිපයක් ඇති ව්‍යාපාරික ස්ථාන සඳහා කදිම විසඳුමක් වේ.
සාම්ප්‍රදායික දෘඩාංගමය POS විකුණුම් ලක්ෂ්‍යවල පිරිවැය හා සංකීර්ණත්වය ඉවත් කිරීම මගින් පොදු වෙළඳපල වෙළඳාම්කරුවන් සහ ආහාර අලෙවි රථ ක්‍රියාකරුවන්ගේ සිට භාණ්ඩ බෙදාහරින්නන් මෙන්ම සෘතුමය වෙළෙඳාම්කරුවන් දක්වා වූ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සියලු දෙනාට ම ඩිජිටල් ආර්ථිකයට පූර්ණ ලෙස අවතීර්ණ වීමේ අවස්ථාව Payable TAP මගින් උදාකර දෙයි.
“මෙය පුළුල් ලෙස ගෙවීම් යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය ලබා දීම නැවත නිර්වචනය කිරීමකි,” යැයි කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසීය. “ගෙවීම් භාරගැනීම දෘඪාංග වලින් මෘදුකාංග වලටත්, උපාංග වලින් Cloud දත්ත ගබඩා වෙතත් සංක්‍රමණය වන විට ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ වීමට තිබූ බාධාවන් සම්පූර්ණයෙන්ම ඉවත් වී යයි. මෙම සහයෝගීතාවය හරහා අප සක්‍රීය කරන්නේ හුදෙක් ගෙවීම් භාරගැනීම පමණක් නොව, පාරිභෝගික හැසිරීම් සහ ව්‍යාපාරීක ආකෘතීන්ට වේගයෙන් අනුගත විය හැකි වඩාත් සවිමත් සහ අනාගතයට සූදානම් වූ ගෙවීම් පරිසර පද්ධතියකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය තාක්ෂණ හා ඩිජිටල් සැපයුම්කරු වන Payable හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරී යොහාන් විජේසිරිවර්ධන මහතා මෙසේ පැවසීය: “මූල්‍යමය අන්තර්ගතකරණය යනු පොදු වෙළඳපල වෙළෙන්දන් හා භාණ්ඩ බෙදාහරින්නන් සිට කුඩා ව්‍යාපාරික හිමියන් දක්වා ශ්‍රී ලංකාවේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට විශාල වෙළෙඳසැල් මෙන් ඩිජිටල් ගෙවීම් ලබාගැනීමේ හැකියාව ඇති බව සහතික කිරීමයි. Payable TAP ඒ තැනට අපව නිසැකව ම ගෙන යනු ඇත. එහි දෘඩාංග මිලදී ගැනීමක් හෝ සංකීර්ණ ස්ථාපනය කිරීම් නොමැත.”
“මාස්ටර්කාඩ්හි Tap on Phone සේවාව මගින් ලොව පුරා වෙලඳපලවල් 110කට අධික සංඛ්‍යාවක ඩිජිටල් කාඩ්පත් ගෙවීම් භාරගැනීම ඕනෑම අයෙකුට භාවිතා කළහැකි සේවාවක් බවට පත් කර තිබේ,” යැයි මාස්ටර්කාඩ්හි ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මහේෂා අමරසූරිය මහත්මිය පැවසීය. Cloud Commerce සේවා සමඟින් අපි ඒ දැක්ම තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, නම්‍යශීලී බව, පුළුල් කිරීමේ හැකියාව සහ ප්‍රවේශ වීමේ හැකියාව සඳහා පහසු ප්‍රවේශයක් සලසමින් ඉතා වැදගත් ගෙවීම් ක්‍රියාපටිපාටි සියල්ල Cloud දත්ත ගබඩාවට ගෙන යාමට තීරණය කළෙමු.”
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්‍රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත විය. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 274ක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.





















