
2026 වසරේ තෙවන කාර්තුව තුළ පුද්ගලික හා ආයතනික ණය සඳහා පැවති ඉල්ලුම ඉහළ ගිය ද, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ණය නිකුත් කිරීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම්කාරී පිළිවෙතක් අනුගමනය කර ඇති බව වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නවතම ණය සැපයුම් සමීක්ෂණයට (Credit Supply Survey) අනුව, සමස්ත ණය ලබාදීමේ කැමැත්ත දැක්වීමේ diffusion දර්ශකය දෙවන කාර්තුවේ පැවති 40.4 සිට තෙවන කාර්තුවේ දී 27.4 දක්වා ඒකක 13.0 කින් පහත වැටී ඇත. බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂ බැංකු ආවරණය කරමින් සිදු කරන ලද මෙම සමීක්ෂණයට අනුව, පුද්ගලික (Retail - 38.0), ආයතනික (Corporate - 41.4) සහ සුළු හා මධ්‍යම පරිමාණ (SME - 25.3) යන අංශයන්හි ණය ලබාදීමේ කැමැත්ත මන්දගාමී වී ඇත. එසේම, රාජ්‍ය ව්‍යවසාය (SOE) අංශයට ණය ලබාදීමේ කැමැත්ත -78.7 ක දර්ශක අගයක් වාර්තා කරමින් දැඩි ලෙස පහත වැටී ඇත. 2026 මැයි මාසයේදී හඳුන්වා දුන් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ පියවරවල ක්‍රමානුකූල බලපෑම, බැංකුවල තෝරාගත් අවදානම් රුචිකත්වය සහ නියාමන සීමාවන් මෙම මන්දගාමීත්වයට ප්‍රධාන වශයෙන් හේතු වූ බව මහ බැංකුව පෙන්වා දෙයි.
ණය සැපයුමේ සීමාකාරී ස්වභාවයට පටහැනිව, මෙම මාස තුන තුළ ණය සඳහා වූ සමස්ත ඉල්ලුම ඉහළ ගොස් ඇත. ණය ඉල්ලුම් දර්ශකය දෙවන කාර්තුවේ පැවති 35.1 සිට ඒකක 7.7 කින් ඉහළ ගොස් 42.8 ක් ලෙස සටහන් වී ඇත.
පුද්ගලික ණය (50.0), ආයතනික ණය (43.6), රාජ්‍ය ව්‍යවසාය (36.1) සහ සුළු හා මධ්‍යම පරිමාණ ණය (27.9) ඇතුළු සියලුම අංශයන්හි ණය ඉල්ලුම ඉහළ ගොස් තිබේ. කඩිනම් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වර්ධනය වීම, කෙටිකාලීන හා පාරිභෝගික ණය සඳහා වූ ඉල්ලුම වැඩිවීම සහ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම්වල සිදුවන ප්‍රකෘතිමත් වීම ණය ඉල්ලුම ඉහළ යාමට ප්‍රධාන ලෙස බලපා ඇත.
මෙම සමීක්ෂණය මගින් අක්‍රීය ණය (NPL) ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවීමක් ද පෙන්නුම් කරයි. සමස්ත අක්‍රීය ණය දර්ශකය දෙවන කාර්තුවේ පැවති -3.8 සිට තෙවන කාර්තුවේ දී -30.1 දක්වා ඒකක 26.3 කින් පහත වැටී ඇත. ආයතනික, සුළු හා මධ්‍යම පරිමාණ සහ රාජ්‍ය ව්‍යවසාය යන අංශවල පෙර කාර්තුවේ දක්නට ලැබුණු අක්‍රීය ණය ඉහළ යාමේ ප්‍රවණතාව ආපසු හරවමින්, අංශ හතරෙහිම අක්‍රීය ණය පහත වැටී තිබේ.
වේගවත් ණය අයකර ගැනීමේ ක්‍රියාමාර්ග, ණය කළමනාකරණ පියවර සහ ණය ප්‍රතිසංස්කරණ මගින් අක්‍රීය ණය මට්ටම් පහත හෙළීමට හැකි වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි. එමෙන්ම, ණය යෝජනාවල ගුණාත්මකභාවය ඉහළ යාම සහ ස්ථාවර ණය ඇගයීම් ප්‍රමිතීන් හේතුවෙන් ප්‍රතික්ෂේප වූ ණය ඉල්ලුම්පත්‍ර ප්‍රමාණය ද -11.7 දක්වා පහත වැටී ඇත.
2026 සිව්වන කාර්තුව සඳහා වන පුරෝකථනයන්ට අනුව, අපේක්ෂිත උද්ධමන පීඩනයන්, ඉහළ යන මෙහෙයුම් පිරිවැය සහ ලීසිං පහසුකම් සඳහා වන සීමාවන් හේතුවෙන් බැංකුවල ණය ලබාදීමේ කැමැත්ත වඩාත් මන්දගාමී වේගයකින් (දර්ශක අගය 10.4) වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, ආනයන මූල්‍ය අවශ්‍යතා, සෘතුමය ඉල්ලුම සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා මත පදනම්ව ණය ඉල්ලුම 35.1 ක ධනාත්මකව පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත. මීට අමතරව, අක්‍රීය ණය මට්ටම් පහත වැටීම (-32.6) සහ ණය ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වීම අඩුවීම (-5.7) ඉදිරි කාර්තුවේ දීද පවතිනු ඇතැයි බැංකු ක්ෂේත්‍රය විශ්වාස කරනු ඇති බව මෙම සමීක්ෂණය වැඩිදුරටත් පෙන්වා දේ.























