November, 5, 2022
ප්රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ශ්රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරනු ලබයි. අභියෝගාත්මක කාලවකවානු වලදී පවා ඔවුන්ට ශක්තියක් වෙමින් ශ්රී ලාංකීය ප්රජාව වෙත ලගා වීමට අත්වැලක් වූ සිය හවුල්කරුවන්, කාර්ය මණ්ඩලය, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, මාධ්ය සහ පාරිභෝගිකයින්ට හට ඔවුන්ගේ හදපිරි ස්තූතිය මෙම අවස්ථාවේදී vivo විසින් පිරිනමනු ලබයි.
vivo 2017 දී ශ්රී ලංකාව තුළ සිය දැවැන්ත ගමන ආරම්භ කළ අතර මෙම වසර 5 තුළ සිය නව්ය ස්මාර්ට්ෆෝන් තාක්ෂණය සහ පාරිභෝගික සත්කාර සේවා හරහා සාර්ථක ස්ථානයක් ගොඩනගාගෙන ඇත. නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් කිරීමේ බෙන්ෆෙන් දර්ශනය අනුගමනය කිරීමෙන් සහ ඔවුන්ගේ පාරිභෝගික කේන්ද්රීය ප්රවේශය තුලින් vivo විසින් ගෝලීය නවෝත්පාදන රැසක් කලාපයට හඳුන්වා දී තිබේ.
vivo, සන්නාමයක් ලෙස වෙළඳපල තුල, පාරිභෝගිකයින් සමඟ ශක්තිමත් සබඳතා නිර්මාණය කර ගැනීම සහ ඔවුන්ගේ තාක්ෂණික නවෝත්පාදනයන් හරහා පාරිභෝගිකයින්ගේ ජීවන රටාව පහසු කරන සහ වටිනාකමක් එකතු කරන නිෂ්පාදන හදුන්වාදීම අරමුණු කොටගෙන සිටී. vivo සිය නිෂ්පාදන ශ්රී ලාංකීය ස්මාර්ට්ෆොන් වෙළඳපලට හඳුන්වා දීමෙන් පසු අද වනවිට, 2500කට අධික ශක්තිමත් වෙළඳ ජාලයක් හරහා අලෙවිය සහ අලෙවියෙන් පසු සේවා සපයමින් කැපී පෙනෙන සහ විශ්වාසනීය සන්නාමයක් ලෙස ජනප්රියත්වය ලබා ඇත. තවද කලාපීය වෙළෙඳපොළ තුළට තවදුරටත් පිවිසෙමින් vivo විසින් ශ්රී ලාංකේය පාරිභෝගිකයින්ට සුවිශේෂී සේවාවක් සහතික කිරීමේ අරමුණින් ප්රධාන සමාගම් සමඟ ව්යාපාරික හවුල්කාරිත්වයන්ට එළඹ ඇත.
සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්යතාවයන් සපුරාලීම කෙරෙහි අවධානය යොමු කරමින් vivo Sri Lanka විසින් නව්ය විශේෂාංග සහ කැපී පෙනෙන මෝස්තර සහිත ආකර්ශනීය ස්මාර්ට්ෆෝන් පෙළක් විවිධ මිල පරාසයන් හරහා හඳුන්වා දී තිබේ. V සහ Y ශ්රේණිවල නිෂ්පාදන අද වනවිට පාරිභෝගිකයින් විසින් ආදරයෙන් වැළඳගෙන තිබේ. V ශ්රේණියේ ස්මාර්ට්ෆෝන් හරහා ජංගම ඡායාරූපකරණයට සුවිශේෂී විශේෂාංග ඒකාබද්ධ කිරීම තුලින් සහ Y ශ්රේණියේ ස්මාර්ට්ෆෝන් හරහා දැරිය හැකි මිලකට විවිධාකාර විශේෂාංග සහ ප්රමුඛ කාර්ය සාධනයක් සහිත නිෂ්පාදන හඳුන්වා දීම තුලින් vivo විසින් තරුණ පරම්පරාවෙහි මිතුරෙකු බවට පත්ව ඇත.
මෙම සුවිශේෂී අවස්ථාව සමරමින් vivo Sri Lanka හි ප්රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. "වසර 5ක් පුරාවට ශ්රී ලංකාව තුල අප ආ ගමන් මග පිළිබඳව සන්නාමයක් ලෙස අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ නවෝත්පාදන ප්රවේශය සමඟින්, අභියෝග හමුවේ වුවද, බොහෝ පරිශීලකයින්ට ප්රතිලාභ ලබා දීමට සමත් වූ අති නවීන තාක්ෂණයන් රට තුළට හඳුන්වා දීමටත් අපට හැකියාව ලැබුනා. සිය පක්ෂපාතිත්වය නිරතුරුව අපට ලබා දෙමින් අපිව දිරිමත් කරන අපගේ ආදරණීය පාරිභෝගික ප්රජාව මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් මතක් කිරීමට කැමතියි. vivo Sri Lanka හි අතිවිශිෂ්ට සාර්ථකත්වය, අපගේ කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයින්, අලෙවි නියෝජිතයන්, බෙදාහරින්නන්, මාධ්ය සහ හවුල්කරුවන් සියල්ලගේම සාමූහික උත්සාහයක ප්රතිඑලයක්. ඉදිරියටත් අපගේ සේවාවන් අඛණ්ඩව ව්යාප්ත කිරීමටත්, හොඳම තාක්ෂණය සැපයීමටත්, විශාල ඩිජිටල් ඒකාබද්ධතාවයක් කරා රට ගෙන යාමටත් අපි බලාපොරොත්තු වෙනවා".
vivo හි සන්නාම වටිනාකම්වල ප්රධාන අංගයක් වන්නේ ප්රජාව වෙත ආපසු දෙයක් ලබා දීමට ඇති කැපවීමයි. ප්රජා ප්රතිලාභ සහ ආකර්ෂණීය ප්රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම තුලින් vivo විසින් පාරිභෝගිකයින්ගේ නිරන්තර සහයෝගය සඳහා කෘතගුණ දක්වා ඇත. සුවිශේෂී අලෙවියෙන් පසු සේවාවන් සිය සේවා මධ්යස්ථානවලින් ලබා දීම තුලින් පාරිභෝගික සේවා අත්දැකීම වැඩිදියුණු කිරීම vivo හි අරමුණයි. ශ්රී ලාංකීය ප්රජාවට තවදුරටත් සහය දැක්වීමේ ක්රියාකාරී ප්රයත්නයක් ලෙස, vivo විසින් #vivocares CSR ව්යාපෘතියක් දියත් කරන ලද අතර, තරුණ පරම්පරාවේ අධ්යාපන අවශ්යතා සවිබල ගන්වමින් අත්යාවශ්ය ලිපි ද්රව්ය සහ ස්මාර්ට් පුවරු පාසල් වෙත පරිත්යාග කිරීම එයින් සිදු විය.
උසස් තාක්ෂණයන් හඳුන්වාදීම සහ ප්රජාව කේන්ද්ර කරගත් ව්යාපෘති මගින් ජීවන රටා වැඩිදියුණු කිරීම තුලින් vivo විසින් ශ්රී ලංකාව තුල සියල්ලන්ගේම ඇගයීමට පාත්රවන සන්නාමයක් බවට පත්වී ඇත. කාර්යක්ෂම පාරිභෝගික සහයක් පවත්වා ගැනීම සහ ඩිජිටල් නවෝත්පාදනයන් වැඩිදියුණු කිරීම තුලින් ඉදිරියටත් සුවිශේෂී ගමනක් යාම vivo හි පැතුමයි.
November, 5, 2022
සියැට් කැළණි සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කරන සියැට් රේඩියල් ටයර පරාසය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා එම ටයර් ප්රමාණ 6 ක් මෑතකදී තරඟකාරී සන්නාමවල ටයර්වල කාර්යසාධනය සමග සැසඳීමට දැඩි පරීක්ෂාවකට ලක් කරන ලදී.
මෙම මෙහෙවර ඉටු කිරීම සඳහා ‘සියැට්’ විසින් ඉන්දියාවේ ජාතික මෝටර් රථ පරීක්ෂණ, පර්යේෂණ සහ යටිතල සංවර්ධන පහසුකම් ව්යාපෘතිය (NATRIP) යටතේ ‘ඉන්ද්රෝර්හි’ ස්ථාපිත නවීනතම ජාතික මෝටර් රථ පරීක්ෂණ ධාවන පථයේදී (NATRAX) මෙම පරීක්ෂණ මාලාව සිදු කරන ලදී. මෙම වසර මුලදී මෙම ස්ථානයේදීම, සමාගමේ යතුරුපැදි ටයර් සඳහා මේ හා සමාන පරීක්ෂණයක්ද පවත්වන ලදී.
තෝරාගත් ‘සියැට්’ රේඩියල් ටයර ප්රමිතීන් හතරකින් ලකුණු කිරීම උදෙසා නවතම මිනුම් සලකුණු ක්රියාවලිය සිදුවිය. අඩු ශබ්දය, ගමන් පහසුව, හැසිරවීමේ ස්ථාවරත්වය සහ වියළි හා තෙත් පථවල තිරිංග ස්ථායිතාව, එම වටිනාකම් හතර විය. මෙලෙස තෝරාගත් ‘සියැට්’ රේඩියල් ටයර් ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, සිංගප්පූරුව සහ ශ්රී ලංකාව යන රටවල තරඟකාරී ටයර සමග සන්සන්දනය සඳහා ඉදිරිපත් කරන ලදී.
මෙම නිරීක්ෂණ ක්රියාවලියේ අවසාන පරීක්ෂණ දත්ත තුලින් හෙළි වූයේ, CEAT 185/70R14 Fuelsmart, 195/65R15 Secura Drive, 185/65R15 Secura Drive, 205/55R Secura Drive, 175/65R15 Secura Drive සහ 265/70R16 Czar hp යන ටයර් වර්ග සමහර ගුණාංග වලින් තරඟකාරී වෙළෙඳ නාමයන්ගේ නිෂ්පාදන අභිබවා යන බවත් සමහර ගුණාංග තරඟකාරී වෙළෙඳ නාමයන්ගේ ගුණාංග හා සමාන වන බවත්ය.
වඩාත් නිශ්චිතව ධාවන පථ පරීක්ෂණ මගින් තහවුරු කර ඇත්තේ තරගකාරී සන්නාමයන්ට සාපේක්ෂව, CEAT Secura drive, Fuelsmart සහ Czar hp ටයර් වර්ග තෙත් සහ වියළි පථවල තිරිංග යෙදීමේදි වඩා ස්ථාවර වන බවත්, ඉහළ තිරිංග ස්ථායිතාවයක් ලබාදෙන බවයි. මීට අමතරව මෙම CEAT ටයර් ප්රමාණයන් හයම ගමන් පහසුව සැලකිමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කරන බවත්, Secura Drive සහ Fuelsmart ටයර් අවම ශබ්දය ජනනය කිරීමේදී තරඟකාරී නිෂ්පාදන හා සමාන වන බවත්ය.
මීට අමතරව, 175/65R15 ටයරයේ, ‘හැසිරවීමේ ස්ථායීතා පරාමිතීන්’ සුළු වශයෙන් වැඩිදියුණු කළ හැකි බැව් ද මෙහිදී අනාවරණය විය. මෙම සොයා ගැනීම් ඉදිරියේදී ඉහළ කාර්යය සාධනයක් ලබාදෙන නිෂ්පාදන බිහි කිරීම සඳහා භාවිතා කරන බව සියැට් කැලණි සමාගම ප්රකාශ කළේය.
මෙම නවතම ධාවන පථ පරීක්ෂණයන් පිළිබඳව අදහස් දක්වමින් ‘සියැට් - කැලණි’ සමාගමේ කළමනාකාර අධ්යක්ෂ රවී ඩඞ්ලානි මහතා මෙසේ ප්රකාශ කර සිටියේය. ‘රටේ ටයර් අවශ්යතාවයෙන් අඩක් පමණ සපයන සන්නාමයක් ලෙස, පාරිභෝගිකයන්ගේ හඬට ඇහුම්කම් දීමට සහ ඔවුන්ට ගැලපෙන නිෂ්පාදන ලබා දීමට ‘සියැට්’ සමාගම කැපවී සිටිනවා. ඔවුන්ගේ අවශ්යතා සහ දේශීය තත්ත්වයන් අප මනාව අවබෝධ කරගෙන තිබෙනවා. අප විසින් පවත්වනු ලබන මෙම පරීක්ෂණ මගින් අපගේ නිෂ්පාදන නිරන්තරයෙන් මනාව සකස් කිරීමටත්, අපගේ පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් සපුරාලීමටත්, එසේම තරඟකාරී ටයර්වලට උසස් හෝ සමාන නිෂ්පාදන නිකුත් කිරීමටත්, අපට හැකියාව ලැබෙනවා. දුෂ්කර කාලයකදී පවා මෙසේ නිෂ්පාදන වැඩිදියුණු කිරීමට අප කරන ආයෝජන ගුණාත්මකභාවය සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරනවා.’
මෙම ධාවන පථ පරීක්ෂණ මගින් පරීක්ෂණයට භාජනය කරන ලද ප්රධානතම ප්රමිතීන් හතර පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු සහ රේඩියල් ටයර් මිලදී ගැනීම් තීරණ සඳහා යොදාගන්නා ප්රධාන සාධක මත පදනම් විය.
පරීක්ෂා කරන ලද ටයර් ප්රභේද සහ ප්රමාණයන් Honda Civic, Civic EK 3 සහ Jazz, Hyundai i20 සහ Venue, Mahindra Thar, Mitsubishi Montero සහ Sportero, Nissan Leaf සහ Patrol, Renault KWID, Suzuki Spacia සහ Toyota Allion, Aqua, Axio, Corolla, Hilux Vigo, Land Cruiser, Permio, Prius සහ Vitz යන වාහන වර්ග භාවිතා කරන ටයර් වේ.
සියැට් කැළණි සමාගම මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා - ශ්රී ලංකා ඒකාබද්ධ ව්යාපෘතියක් ලෙසින් සැලකේ. මේ දක්වා මෙම ඒකාබද්ධ ව්යාපාරය විසින් සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත්රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.
සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට්රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට්රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති්රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ්රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි්රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි.
November, 5, 2022
ශ්රීලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්රීලංකන් කෙයාර්ස් , ගෝල් ෆේස් හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් සමග එක්ව 2022 ලෝක ළමා දිනය සැමරීම සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී. මෙහිදී ගංගොඩවිල බාලිකා නිවාසයේ ළමුන් 45 දෙනෙකුට ශ්රීලංකන් ගුවන් සේවයේ ආගන්තුක සත්කාරය විඳිමින් ගුවන් යානයක ඇතුළත නිරීක්ෂණය කිරීමට, ඊබට් සිල්වා සමාගමට අයත් තට්ටු දෙකේ බස් රථයේ ගමන් කිරීමට සහ ගාලු මුවදොර හෝටලයේ ආහාර පාන භුක්ති විඳීමටත් අවස්ථාව උදා විය.මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ දරුවන්ට සංචාරක හා සත්කාරක ක්ෂේත්රය පිළිබඳ නව දැනුමක් ලබාදීමත් විනෝදාත්මක අත්දැකීමක් ලබා දීමයි.
මෙහිදී ප්රථමයෙන් දරුවන් ඔවුන් රැඳී සිටි ළමා සංවර්ධන මධ්යස්ථානයේ සිට ඊබට් සිල්වා හොලිඩේස් ආයතනයට අයත් තට්ටු දෙකේ බස් රථයකින් කොළඹ නගරය නැරඹීම සඳහා රැගෙන යන ලදී. ඉන් අනතුරුව එම පිරිස බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එහිදී ළමයින්ට ගුවන් තොටුපළ නිරීක්ෂණය කිරීමටත් එහි තොරතුරු දැන ගැනීමටත් අවස්ථාව සැලසිණි. අනතුරුව ශ්රීලංකන් ගුවන් සමාගමට අයත් එයාර්බස් A330 ගුවන් යානයට ගොඩවීමේ අවස්ථාව ඔවුන්ට හිමිවූ අතර එහිදී ශ්රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ආගන්තුක සත්කාරය අත්විඳීමටද ලැබිණි.
එදින දිවා ආහාරයෙන් පසු මෙම දරුවන් පිරිස නැවත කොළඹ වරායට රැගෙන ගිය අතර එහිදී ඔවුන්ට ශ්රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් දැක බලා ගැනීමටත් එයට ගොඩවීමටත් අවස්ථාව උදා වූහ.
සවස් වරුවේ ගෝල් ෆේස් හෝටලය විසින් මෙම දරුවන් සඳහා තේ පැන් සංග්රහයක් සංවිධානය කර තිබූ අතර එහිදී ඔවුන් සජීවී සංගීත කණ්ඩායමක් සමහ ඔවුන්ගේ ප්රියතම ගීත ගායනා කිරීමටත් නර්තනයේ යෙදීමටත් අවස්ථාව උදා වූහ. වැඩසටහන අවසන් වී දරුවන් පිටත්ව යාමට පෙර, සංවිධායක මණ්ඩලය විසින් සෑම අයෙකුටම තෑගි පිරිනමන ලදී.
ශ්රීලංකන් කෙයාර්ස්, ගාලු මුවදොර හෝටලය, ඊබට් සිල්වා හොලිඩේස් සහ ඔවුන්ගේ නිවෙස්වල කාර්යමණ්ඩලය මෙම සුවිශේෂී දිනය උදාකර දීමට කළ කැපවීම අගය කරමින් එක් දරුවෙක් ස්තුතිය පුද කළේය.
ශ්රීලංකන් ගුවන් සමාගමේ ප්රධාන විධායක නිලධාරී රිචඩ් නටල් මහතා මෙසේ පැවසීය. “ශ්රීලංකන් කෙයාර්ස් දරුවන් සවිබල ගැන්වීම සහ නඟා සිටුවීම කෙරෙහි අවධානය යොමු කරමින් ව්යාපෘති රාශියක් සිදු කරමින් සිටිනවා. රට පුරා සිටින දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන මෙවැනි මුලපිරීම අපට විශේෂයි. වසර ගණනාවක් පුරා මෙම වාර්ෂික උත්සවයේ කොටස්කරුවන් වූ අපගේ වටිනා හවුල්කරුවන් වන ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් වෙත අපගේ අවංක ප්රශංසාව හිමිවෙනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඊබට් සිල්වා හොලිඩේස් හි සභාපතිනි රාජිනී ද සිල්වා මෙන්ඩිස් මහත්මිය මෙසේ සඳහන් කළේය: “රටේ අනාගත කුළුණු වන දරුවන්ට විශාල සිහින දැකීමට විශ්වාසයක් සහ අභිප්රේරණයක් ලබා දෙන මෙවැනි විශිෂ්ට අත්දැකීමක් පිරිනැමීමට නැවත වරක් අපගේ හිතවත් සහකරුවන් දෙදෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ දරුවන් අපේ මාතෘභූමියේ වගකිව යුතු සහ වටිනා පුරවැසියන් වනවා දැකීමට අවංක අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ අනාගත ඉලක්ක ඉහළ මට්ටමක පවතිනවා.”
මෙහි දී Team Galle Face Hotel පැවසුවේ, “ශ්රීලංකන් කෙයාර්ස් සහ ඊබට් සිල්වා සමඟ එක්ව ජාතියේ අනාගතය සඳහා දරුවන් සවිබල ගැන්වීම” යන තේමාව යටතේ ලෝක ළමා දිනය සැමරීමේ මෙම සුවිශේෂී වැඩසටහනේ කොටස්කරුවෙකු වීමට ගාලු මුවදොර හෝටලය ලැබීම භාග්යයක් බවයි.

November, 5, 2022
ශ්රී ලංකාවේ විශාලතම හා ප්රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම 'ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය සඳහා වූ ජාත්යන්තර සංගමය (IUCN)' සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින්, එම සහයෝගීතාව හරහා ක්රියාත්මක වන සිය ගෝලීය ජෛව විවිධත්ව ව්යාපෘති තවත් වසර තුනකින් දීර්ඝ කර ගැනීමට කටයුතු කළේය. මෙම අවබෝධතා ගිවිසුමට INSEE සිමෙන්ති සමාගමේ සභාපති හා ප්රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ IUCN සංවිධානයේ ශ්රී ලංකා කාර්යාලය භාර සම්බන්ධීකාරක, කලාපීය කළමණාකරණ නිලධාරී අන්ෂුමන් සයිකියා යන මහත්වරුන් විසින් අත්සන් තැබිණි.
"මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්රී ලංකාවේ ජෛව විවිධත්ව කළමනාකරණය සහ ජෛව සංරක්ෂණය සඳහා INSEE සිමෙන්ති සමාගම අඛණ්ඩව කැපවන බව තහවුරු කරනවා. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම INSEE සිමෙන්ති සමාගම 2030 වසරේ දී සපුරා ගැනීමට බලාපොරොත්තු වන තිරසාර අභිලාෂයන්ගෙන් ප්රධානතම අරමුණක්. IUCN සංවිධානය සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය මගින් INSEE සිමෙන්ති සමාගමේ තිරසාර ඉලක්ක වෙත ඉතා වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙන අතරම, ශ්රී ලංකාවේ ජෛව විවිධත්වයේ වර්තමාන තත්ත්වය ගැන නිවැරදිව දැනුවත් වෙමින්, එම පරිහානිය අවම කිරීම වෙනුවෙන් අප ක්රියාත්මක කරන වැඩසටහන් කාර්යක්ෂම කිරීමේ හැකියාවත් අපට ලැබෙනවා."යනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ පාරිසරික හා සමාජ සත්කාරක අංශයේ කළමනාකරු රොහාන් ලක්මාල් මහතා පැවසුවේය.
ශ්රී ලංකාවේ කැණුම් කලාප පුනරුත්ථාපනය කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම IUCN සංවිධානය සමඟ ඇති කර ගත් හවුල්කාරිත්වය 2007 වසර තරම් ඈතට විහිදෙන අතර, එහි දී ලබාගත හැකි වූ අතිසාර්ථක ප්රතිඵල නිසා ම එම සහයෝගීතාව සෑම වසර තුනකට වරක් අඛණ්ඩව අලුත් කෙරිණි. මෙවර දීර්ඝ කිරීමත් සමඟ ම INSEE හා IUCN අතර ගිවිසුම 2022 වසරේ සිට 2025 වසර දක්වා දීර්ඝ වන අතර, එම කාල වකවානුව තුළ ක්ෂේත්ර සමීක්ෂණ, ප්රතිසංස්කරණය කරන ලද නිරීක්ෂණය හා නිර්දේශ නිකුත් කිරීම, වනජීවීන් ගළවා ගැනීමේ හා මුදා හැරීමේ වැඩසටහන්, උණවටුන ප්රදේශයේ පිහිටා ඇති කෘත්රිම කොරල්පර සංරක්ෂණය සහ කොග්ගල හා අරුවක්කාලු කඩොලාන ප්රතිසංස්කරණ ස්ථාන පිළිබඳ මූලික තක්සේරු කටයුතු දියත් කිරීම ආදී ව්යාපෘති රැසක් ක්රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. IUCN සංවිධානය විසින් දිවයින පුරා සිදු කරනු ලබන අනෙකුත් පරිසර සංරක්ෂණ ක්රියාකාරකම් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව මෙම අවබෝධතා ගිවිසුම හරහා INSEE සිමෙන්ති සමාගමේ ස්වේච්ඡා සේවකයන්ට ද හිමි වීම විශේෂිතය.
ශ්රී ලංකාවේ එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා ලෙස, INSEE සිමෙන්ති සමාගම ශ්රී ලංකා භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (CEA) හා පළාත් පාරිසරික පනතේ (PEA) මෙහෙයුම් බලපත්ර, ශ්රී ලංකා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත, අනෙකුත් දේශීය මෙන් ම ජාත්යන්තර ගිවිසුම් හා රෙගුලාසි සහ රැම්සා සම්මුතියට අනුකූලව සිය නිෂ්පාදන කටයුතුවලට අවශ්ය හුණුගල් කැණීම සඳහා වාර්ෂිකව සාමාන්ය අක්කර 25ක වනාන්තර ප්රමාණයක් ඉවත් කරයි. එම අනුමත ක්රමවේදයට අමතරව, අදාළ ක්රියාවලිය මගින් සිදුවන පාරිසරික බලපෑම් තක්සේරු කිරීමට, විශේෂ ජෛව විවිධත්වයන් හඳුනා ගැනීමට මෙන් ම අවට පරිසර පද්ධතිවලට ඉන් සිදුවන හානිය අවම කිරීම වෙනුවෙන් පුළුල් ජෛව විවිධත්ව කළමනාකරණ සැලැස්මක් අනුගමනය කිරීමට INSEE සිමෙන්ති සමාගම IUCN සමඟ ගොඩනඟාගත් සහයෝගීතාව හරහා කටයුතු කරයි. මෙම ව්යාපෘතියට සතුන් ගලවා ගැනීමේ හා මුදා ගැනීමේ වැඩසටහනක් ද ඇතුළත් වන අතර, එමගින් එතරම් වේගයෙන් චලනය විය නොහැකි සතුන් හා කුඩා සතුන් 2500 කට ආසන්න ප්රමාණයක් ආරක්ෂිත ප්රදේශ කරා යොමු කරවීම සිදු කරයි. වර්තමානය වන විට INSEE සිමෙන්ති සමාගම අරුවක්කාලු ගල්කොරිය ආශ්රිතව හෙක්ටයාර 137කට අධික භූමි ප්රමාණයක් ඉතා සාර්ථකව ප්රතිසංස්කරණය කිරීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළ යුතු ම කරුණකි.
පසුගිය දශකය තුළ INSEE සිමෙන්ති සමාගම හෙක්ටයාර 66 ක භූමි ප්රමාණයක් ප්රතිසංස්කරණය කිරීමේ තිරසාර අරමුණ පෙරදැරි කරගනිමින් ක්රියාත්මක වන අතර, එම සමාගමේ නැවත වන වගා ව්යාපෘතිය හරහා 2023 වසර වන විට පුත්තලම හා ගාල්ල පිහිටි සිය නිෂ්පාදනාගාර ආශ්රිතව හෙක්ටයාර 7ක පමණ වෙරළබඩ භූමි ප්රදේශයක් තුළ කඩොලාන ප්රතිනිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. ඓමෙන් ම උණවටුන වෙරළට ඔබ්බෙන් විනාශ වූ සාමුද්රීය වාසස්ථාන හා කොරල්පර සංරක්ෂණය කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම සහ IUCN සංවිධානය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) කොරල් විශේෂඥයන් සමඟ එක්වෙමින් විවිධ වැඩසටහන් ක්රියාත්මක කරයි.
මෙම නව වැඩසටහන් මඟින් INSEE සිමෙන්ති සමාගම දැනට පවතින ව්යාපෘති සමාලෝචනය කිරීමට සහ 2030 වසරේ දී සපුරාගැනීමට අරමුණු කරන INSEE තිරසාර අභිලාෂයන් ජෛව විවිධත්ව වැඩසටහන් ඔස්සේ වඩාත් පුළුල් කිරීමට සැළසුම් කර ඇති අතර, ඒ හරහා INSEE සාමාජික සාමාජිකාවන්ගේ ජීවනෝපායන් ස්ථාවර කිරීමට මෙන් ම ජෛව විවිධත්ව සංරක්ෂණය තවදුරටත් ප්රවර්ධනය කිරීමට ද අරමුණු කරයි.
November, 5, 2022
2022 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,704 ක් බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. කෙසේවෙතත් මෙය 2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,779 ක්වූ සංචිත වත්කම් ප්රමාණය හා සැසඳීමේ දී 4.2%ක පහළ යාමක් වේ.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 1,683 සිට ඩොලර් මිලියන 1,609 ක් දක්වා 4.4% කින් අඩු වී තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.

November, 4, 2022
පසුගිය ඔක්තෝබර් මාසය තුළ දී ශ්රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාව 42,026 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්යාලේඛන පෙන්වා දේ.
මේ අනුව 2022 වසරේ මුල් මාස 10 තුළ දී පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්රමාණය 568,258 ක් වේ.
ඔක්තෝබර් මාසය තුළ වැඩිම සංචාරකයින් සංඛ්යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ප්රමාණය 8,862 කි. මීට අමතරව රුසියාවෙන් 6,189 ක් හා එක්සත් රාජධානියෙන් 4,275 ක් ලෙසින් පසුගිය මාසය තුළ ශ්රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණි රටවල් අතර පෙරමුණේ වේ.







November, 3, 2022
රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ ශ්රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව එක්ව සකස් කෙරෙන මෙම වාර්තාවේ අවසන් සාකච්ඡාව අද (03) පවත්වන බවයි. බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතැමෙකුට නීරස වුව ද මේ මොහොතේ බදු පිළිබඳ කතා නොකළ හොත් වෙනත් කිසිදු මාතෘකාවක් කතා කළ නොහැකි මට්ටමට රට පත් වනු ඇතැයි අමාත්යවරයා සඳහන් කරයි. සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට අද (03) එක්වෙමිනි.
“දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රටේ ආර්ථිකය ඉදිරියට රැගෙන යාමේ සුවිශේෂී කාර්යභාරයක නිතර වෙනවා. ඇතැම් විට අපි ඔවුන්ට දෙන්නෙ ඉතා අසීරු ආදායම් ඉලක්ක. 2021 වසරේ දී අපි ඔවුන්ට ලබා දුන්නා වසර අවසානයේ දී රුපියල් බිලියන 488ක බදු ආදායමක් හොයල දෙන්න කියන අසීරු ඉල්ලකයක්. නමුත් වසර අවසන් වෙද්දි ඔවුන් ඒ ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 497ක ආදායමක් හොයල දුන්න. එය අපේක්ෂා කළ ආදායමට වඩා 101.8%ක ඉහළ යාමක්.
2022 වසරේ අපේ ඉලක්කය වුණේ රුපියල් බිලියන 915ක බදු ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා උපයා ගැනීම. සතුටින් කියන්න පුළුවන් පසුගිය සැප්තැම්බර් මාසෙ අවසන් වෙද්දි එම ඉල්ලකයෙන් 68.4%ක් හොයල ඉවරයි. මේ සියල්ල උපයා ගන්නෙ 8.2%ක ඍණ ආර්ථිකයක් රටේ පවතිද්දි” යැයි අමාත්යවරයා කියා සිටියේ ය.
මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ, භාණ්ඩාගාර නියෝජ්ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
November, 3, 2022
ජෛව විවිධත්ව යළි ඇති කිරීම සහ පරිසර සංරක්ෂණය කිරීම සඳහා වූ කැපවීම ශක්තිමත් කරමින් හේලීස් සමූහයට අනුබද්ධිත සහ ප්රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයා වන හේලීස් ෆැබ්රික් (Hayleys Fabric), මධ්යම පරිසර අධිකාරිය (CEA), පේරාදෙණිය සහ වයඹ විශ්ව විද්යාල සමඟ හවුල් වී බෙන්තොට ගෙඟ් අතු ගංගා ආශ්රිත පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම සඳහා පියවර ගනියි.
රු. මිලියන 1.5 ක් වූ මෙම මුලපිරීමේ අරමුණ වන්නේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කෙටල (Lagenandra) විශේෂ තුන සංරක්ෂණය හා යළි ස්ථාපිත කිරීමත් සමඟ ඉහළ හේවස්ස, කළුදොල සහ කළුගල ගං ඉවුරු ස්ථාවර කිරීමයි.
”තිරසාර අනාගතයක් සඳහා වන අපගේ කැපවීම ඉතා ඉහළයි. අපි හේලීස් සමූහ ව්යාපාරයෙහි ESG (පරිසරය, සමාජීය සහ පාලනය) වැඩපිළිවෙල සඳහා මඟ පෙන්වන Hayleys Lifecode ට අනුව යමින් අපගේ නිෂ්පාදන ක්රියාවලියේ සෑම අංශයක්ම තිරසාර සහ පරිසර හිතකාමී බව සහතික කරනවා.”
”ඉතාම මෑතක දී අපි අපගේ කර්මාන්තශාලා පරිශ්රයට යාබද තෙත් බිම් අක්කර නවයක් සඳහා ආයෝජනය කරමින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහ එම ප්රදේශය තුළ දක්නට ලැබෙන මෙරටට ආවේණික සත්ව සහ ශාක විශේෂයන් පිළිබඳ දැනුවත් කළා. ජීවයේ පැවැත්මට ඇති බරපතලම තර්ජනය ජෛව විවිධත්වය නැතිවී යාම බව වටහාගත් අප අපගේ හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් මෙරට තවත් පරිසර පද්ධතියක් තෝරාගෙන එහි ජෛව විවිධත්වය සහතික කිරීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවෙනවා. එහිදී පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ අපගේ හවුල්කරුවන්ගේ උත්සහයට ශක්තියක් වෙමින් පාරිසරික සංරක්ෂණය සඳහා වන අපගේ කැපවීම තව තවත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් හේලීස් ෆැබ්රික් කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.
තවද මධ්යම පරිසර අධිකාරිය, පළාත් පාලන ආයතන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වලල්විට ප්රාදේශීය ලේකම් කාර්යාලය මඟින් කෙටල ශාකයේ වැදගත්කම පිළිබඳව පාසල් දරුවන් සහ මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව තෝරාගත් ඉවුරු වලට අදාළ ග්රාම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් ප්රජා සාමාජිකයින් විසින් මෙම ගංගා ඉවුරු අධීක්ෂණය කරනු ලැබේ.
”ජල සම්පත ආරක්ෂා කිරීම සඳහා බලපාන ප්රධානතම සාධකයක් වන්නේ ගංගා සහ තෙත් බිම්ය. නමුත් ස්වභාවික හේතූන් සහ මානව මැදිහත්වීම් නිසා ගං ඉවුරු ඛාදනය වේගවත් වී තිබෙනවා. ඉවුරු ඛාදනය නැවැත්වීම සඳහා නිර්දේශිත එක් ක්රමයක් වන්නේ ස්වභාවික ශාක හා සත්ව ප්රජාව සිය ස්භාවික වාස භූමි වලම නැවතත් ස්ථාපනය කිරීමයි. එබැවින් මෙම විශේෂිත ව්යාපෘතිය යටතේ මෙරටට ආවේණික සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කෙටල වැනි ශාක සංරක්ෂණය කරමින් අපගේ ඉවුරු ආරක්ෂා කිරීමට පියවර ගැනීම අපගේ අරමුණ වී තිබෙනවා.” යනුවෙන් මධ්යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් පී. බී හේමන්ත ජයසිංහ මහතා පැවසුවේය.
ව්යාපෘතිය සඳහා මූලික පරීක්ෂණ සහ ස්ථාන නැරඹීම ආරම්භ කළ අතර ව්යාපෘතියේ පළමු අදියර කළුතර සහ ගාල්ල දිස්ත්රික්කවල ක්රියාත්මක වෙනවා. තෝරාගත් කෙටල පැළ ප්රරෝහණය කිරීම විශ්වවිද්යාලයේ ප්රමුඛ පෙළේ ශාක විද්යාඥයකු වන පේරාදෙණිය, ජ්යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය ප්රමුඛ අධ්යයන කණ්ඩායම විසින් සිදු කරනු ලැබේ.
”ශ්රී ලංකාවෙන් කෙටල විශේෂ 13ක් වාර්තා වී ඇති අතර ඉන් දහයක්ම මෙරටට ආවේණිකයි. ඉන් පහක් බරපතල වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර හතරක් වඳවීමේ තර්ජනයට ලක්වී තිබෙනවා. කණගාටුවට කරුණක් වන්නේ එක් විශේෂයක් බරපතල වඳවීමේ තර්ජනයට ලක්ව හෝ සමහර විට දැනටමත් වඳ වී ගොස් තිබීමයි. මෙම ශාක බොහෝමයක් විසිතුරු ශාක ලෙස අලෙවි කරන බැවින් එම විශේෂ ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණය කිරීමට පියවර ගත යුතුයි. ඒ සඳහා වූ මෙම මුලපිරීමත් සමඟින් නැවතත් මෙම ශාක විශේෂ ගං ඉවුරු වල ස්ථාපිත කිරීම පමණක් නොව, කළුතර දිස්ත්රික්කයේ ස්වභාවික පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට ද අපට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය යකන්දාවල මහත්මිය මෙසේ පැවසුවාය.
පේරාදෙණිය සහ වයඹ විශ්වවිද්යාලවල උද්භිද විද්යා දෙපාර්තමේන්තුවල මෙන්ම විද්යා පශ්චාත් උපාධි ආයතනයේ (පේරාදෙණිය විශ්වවිද්යාලය) අධ්යයන කණ්ඩායම මඟින් තෝරාගත් ප්රදේශවල දිය දහරා ආශ්රිත පාරිසරික පරාමිතීන් නිර්ණය කිරීම, මල් පිපීම සහ ගෙඩි හට ගැනීම පිළිබඳ විමර්ශන කටයුතු සිදු කෙරේ. Phenology, ex situ බීජ ප්රරෝහණය, පැල සිටුවීම සහ යළි ස්ථාපිත කිරීමේ ක්රමෝපායන් මෙන්ම කෙටල ශාකය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සිදු කරයි.
ඡායාරූපය: මධ්යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා (මැද) හේලීස් ෆැබ්රික් කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා (දකුණේ) සහ පේරාදෙණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය (වමේ) විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙල සඳහා වූ යෝජනාව පිළිගනිමින්
November, 2, 2022
කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 156,400 ක් දක්වා පහළ බැස ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර කැරට් 24 රන් පවුමක මිල සටහන්ව ඇත්තේ රු. 169,000 ක් ලෙසයි.
මෙය පසුගිය මාර්තු මාසයෙන් පසු, එනම් ඩොලරයේ අගය ඉහළ යාමෙන් පසු වාර්තා වූ අඩුම මිල බව Gold Ceylon සඳහන් කරයි.
2022 අප්රේල් මාසයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 175,000 සීමාව සහ කැරට් 24 රන් පවුමක මිල මිල රු. 190,000 සීමාව ඉක්මවා ගොස් තිබුණි.
ගෝලීය වෙළෙඳපොළේ රන් මිලෙහි ද පහළ යාමක් මේ අතරම වාර්තා වේ.
ඊයේ (01) වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,650 සීමාවෙන් පහළට පැමිණ තිබුණි.
November, 2, 2022
ශ්රීලංකන් ගුවන් සේවය ශිෂ්ය වීසා බලපත්රලාභීන් සඳහා ගුවන් සේවයේ වෙබ් අඩවිය හරහා සෘජුවම ගුවන් ප්රවේශ පත්ර වෙන් කිරීම් සඳහා බහුවිධ සුවිශේෂී ප්රතිලාභ හඳුන්වා දී තිබේ. ශිෂ්ය සංචාරකයින්ට ශ්රීලංකන් ගුවන් සේවය සමඟ ගමන් කරන විට මුදල් ආපසු දීමේ දීමනා සහ අතිරික්ත ගමන් මලු දීමනා භුක්ති විඳීමට හැකිවේ.
සිසුන්ට ඔවුන්ගේ පළමු ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී ක්ෂණිකව සියයට 10 ක මුදල් ආපසු හිමිවන අතර ස්වයං-සංචාර සඳහා ප්රවේශපත්ර පහක් දක්වා මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම අමතර ටිකට් පතකටම සියයට 15 ක මුදල් ආපසු ඔවුන්ටම ලබා දෙනු ඇත. මීට අමතරව, සිසුන්ගේ දෙමාපියන් සහ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා විදේශයන්හි අධ්යාපනය ලබන අය බැලීම සඳහා ප්රවේශපත්ර මිලදී ගන්නා විට සියයට පහක මුදල් ආපසු ගෙවීමක් ලබාදෙනු ඇත.
අධ්යාපනය සඳහා වෙනත් රටකට සංක්රමණය වීම බොහෝ විට සිසුන්ට නොසන්සුන් සහ පීඩාකාරී අත්දැකීමක් විය හැකිය. එම කාලය තුළ ශිෂ්යයෙකුට මුහුණ දීමට සිදු විය හැකි බොහෝ අභියෝග පවතින අතර ගුවන් ගමන් මලු දීමනා සීමාවන් මත තම පුද්ගලික බඩු බාහිරාදිය රැගෙන යන්නේ කෙසේද යන ප්රශ්නයට ඔවුන්ට ප්රධාන වශයෙන් මුහුණ දීමට සිදුවෙයි. මෙම පොදු අභියෝගයට ප්රතිචාර වශයෙන්, ශ්රීලංකන් එක් එක් ගමන් පන්තියේ නිත්ය ගමන් මලු දීමනාවට අමතරව පිරිමැසුම් පංතිය සහ ව්යාපාරික පන්තිය සඳහා කිලෝග්රෑම් 10ක අමතර ත්යාගශීලී ගමන් මලු දීමනාවක් පිරිනමයි.
ස්වයං-සංචාර සඳහා මිලදී ගන්නා සෑම ගුවන් ප්රවේශ පත්රයක් සඳහාම එක වරක් ගාස්තු අය කිරීමකින් තොරව සංචාර දින වෙනස් කිරීමේ වරප්රසාදයද සිසුන්ට ලැබේ. ශ්රීලංකන් ශිෂ්යයින් සඳහා ඉතා හොඳින් ගුවන් මාර්ග සිතියම සැලසුම් කර ඇති අතර අධ්යාපනය සඳහා ජනප්රිය රටවල් එක්සත් රාජධානිය , ඕස්ට්රේලියාව; මැලේසියාව; සිංගප්පූරුව; සහ ඉන්දියාව වැනි ගමනාන්ත වෙත සෘජු ගුවන් ගමන් සේවා සිදුකරයි.
වසරකට ශ්රී ලාංකිකයන් 25,000ක් පමණ විදේශයන්හි උසස් අධ්යාපනය අපේක්ෂා කරති. කොළඹ සිට ජාත්යන්තර නගර වෙත ගමන් කරන සිසුන්ගෙන් බහුතරයක් රැගෙන යන්නේ ශ්රීලංකන් ගුවන් සමාගම වන අතර ශ්රී ලාංකීය ජාත්යන්තර ශිෂ්යයින්ගේ ජනප්රියතම තෝරාගැනීම වනුයේ ශ්රීලංකන් ගුවන් සමාගමයි.
online වෙන්කරවා ගැනීමේ ක්රමවේදය භාවිත කිරීමේ දී හිමිවන වාසි හේතුවෙන් ශ්රී ලාංකික සිසුන් වැඩි සංඛ්යාවක් දැන් ඔවුන්ගේ ගුවන් ගමන් ඒ හරහා සිදු කිරීමට කැමැත්තක් දක්වයි. ශ්රීලංකන් හි සුවිශේෂී දීමනා සමඟින්, සිසුන්ට ඔවුන්ගේ ගමන පහසු කර ගැනීමත් වැඩි ප්රතිලාභ ලබා ගැනීමටත් හැකි වී ඇත. වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා පිවිසෙන්න. https://www.srilankan.com/en_uk/special-offers/free-baggage-allowance-for-Students
Video Story