• Ada Derana BIZ Sinhala
  • APOA
  • Solidaridad Network
  • Solvent Extractors’ Association
  • sri lanka

පාම් තෙල් කර්මාන්තයේ තිරසාරත්වය ප්‍රවර්ධනය කරන ආසියානු පාම් ඔයිල් සංගමයේ (APOA) සමාරම්භක සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමි වෙයි

October, 12, 2022

ලොව තිරසාර කෘෂිකර්මාන්තය සම්බන්ධ ප්‍රමුඛතම සංවිධානයක් වන Solidaridad Network හා Solvent Extractors’ Association (SEA) හි සහයෝගීතාවයෙන් ආසියානු කලාපයේ පාම් ඔයිල් ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් පහ වන ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් එක්වී ආසියානු පාම් ඔයිල් සංගමය (Asian Palm Oil Alliance (APOA)) පිහිටුවන ලදී.  පාම් තෙල් සම්බන්ධයෙන් පවතින දුර්මත දුරුකරමින්, සහ උසස් ප්‍රමිතියකින් යුත්, ලාභදායී සහ සෞඛ්‍යයට හිතකර එළවලු තෙල් වර්ගයක් වන පාම් තෙල් හී සත්‍ය කරුණු පෙන්වා දීම මෙම සන්ධානයේ ප්‍රධාන අරමුණ වී ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් Solvent Extractors’ Association (SEA) හි සභාපති ශ්‍රී අතුල් චතුර්වේදී මහතා මෙසේ පැවසීය. “මෙවැනි සංවිධානයක අවශ්‍යතාව අපට කලක පටන් දැනී තිබුණා. ඒ අනුව ආසියානු කලාපයේ ඔයිල් පාම් ආනයනය කරනු ලබ රටවල් කිහිපයක් එක් වී APOA පිහිටුවා ගත්තා. පාම් තෙල් යනු සහනදායී මිලකට ලබාගත හැකි ආහාරමය හා පෝෂණ මූලාශ්‍රයක්. APOA මගින් පාම් තෙල් පරිභෝජනය කරන රටවල ආර්ථික සහ ව්‍යාපාරික අංශ ආරක්ෂා කිරීමටත්, ආසියාවේ ආහාර නිෂ්පාදන සහ එළවලු තෙල් සඳහා භාවිතා වන සියලුම මේද සහ තෙල් වර්ග සඳහා සමාන අවස්ථාවන් නිර්මාණය කිරීමටත් අප බලාපොරොත්තු වනවා. එමෙන්ම සාමාජික රටවල තිරසාර පාම් තෙල් පරිභෝජනය වැඩි කිරීම එහි තවත් අරමුණක්.”

“ප්‍රධාන පෙළේ ආසියානු තෙල් නිස්සාරන සංගම් සියල්ල සඳහා මධ්‍යස්ථ කැඳවුම්කරු බවට පත්වීමට ලැබීම ගැන අප සතුටු වනවා. ඉදිරි වසරවලදී ගෝලීය පාම් ඔයිල් කර්මාන්තයේ පොදු ගැටලු, අවශ්‍යතා සහ අභිලාෂයන් ආමන්ත්‍රණය කිරීම සඳහා APOA වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි. ඉදිරි දශක කීපයේදී ආසියානු කලාපයේ ආර්ථික සංවර්ධනය ඉහළ යාමත් සමග පාම් තෙල් සඳහා පවතින ඉල්ලුම තවදුරටත් ඉහළ යාවි. ඉදිරියේදී පාම් ඔයිල් නිෂ්පාදන රටවල්ද අප සමග එක්කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.” Solidaridad Asia හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ශතද්රු චත්තෝපාධ්‍යායි මහතා පැවසී ය.

“තිරසාර පාම් තෙල් කර්මාන්තයක් සඳහා පාම් තෙල් පරිභෝජනය කරන ආසියානු රටවල් අතර සාමූහික හා සම්බන්ධීකරණ ප්‍රයත්නයන් පවත්වාගෙන යාමට APOA වැනි සංවිධානයක් තිබීම අතිශයින් වැදගත්. එය ආසියානු කලාපයේ පාම් තෙල් කර්මාන්තයේ තිරසාරත්ව උත්සාහයන් ශක්තිමත් කිරීමට මහෝපකාරී වේවි. මෙම වැඩසටහනට සහය දැක්වීමට හැකි වීම අපට සතුටක්. මෙම සංගමයේ සමාරම්භක සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වීම සඳහා අපට ආරාධනා කිරීම පිළිබඳව අප ඉන්දියාවේ Solvent Extractors Association සහ Solidaridad වෙත අපගේ ස්තූතිය පළකර සිටිනවා. ශ්‍රී ලංකාවේ සහ කලාපයේ ආර්ථික තිරසාරත්වයට සහ සමෘද්ධියට දායක වන තිරසාර පාම් තෙල් කර්මාන්තයක් වෙනුවෙන් සාමූහිකව පියවර රැසක් ගැනීමට අපට හැකිවනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි.” ශ්‍රී ලංකා පාම් ඔයිල් කර්මාන්ත සංගමයේ සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

පාම් තෙල් යනු එළවලු තෙල් වර්ග අතර ඵලදායීත්වය අතින් ඉහළම තෙල් වර්ගයක් ලෙස සැලකේ. එහෙත් එය බොහෝ අවස්ථා වලදී විවිධ දුර්මත වල බලපෑමට ලක්වන අතර එය පාම් තෙල් නිෂ්පාදනයෙහි සහ අලෙවියෙහි නියුතු බොහෝ දෙනෙකුට දැඩි බලපෑමක් එල්ල කරන සාධකයකි. ශ්‍රී ලංකාවේ රජය පාම් තෙල් නිෂ්පාදනය තහනම් කිරීම නිසා මේ වනවිට රටේ ආර්ථිකයට ඩොලර් මිලියන ගණනක අලාභයක් සිදු වී තිබේ. ශ්‍රී ලංකාව වසරකට එළවලු තෙල් මෙට්‍රික් ටොන් 180,000 ත් 220,000 ත් අතර ප්‍රමාණයක් ආනයනය කරයි. මේ සඳහා ඔයිල් පාම් හෙක්ටයාර 50,000 ක වගාවක් ප්‍රමාණවත් නමුත් මෙය පොල් වලින් සපුරාගන්නේ නම් හෙක්ටයාර 271,000 ක් අවශ්‍ය ය. පොල් වලට සාපේක්ෂව 4 ගුණයක හෝ 5 ගුණයක අස්වැන්නක් ලබාදීමට ඔයිල් පාම් වලට හැකියාව ඇත. 1968 වසරේදී ආරම්භ වූ මෙරට ඔයිල් පාම් වගාව වසර 54 ක කාලයක් තිස්සේ පවතින අතර එය අනෙකුත් වාණිජ භෝග වලට සාපේක්ෂව හෙක්ටයාරකට ඉහළ ලාභ උත්පාදනය කර දී ඇත. මේ නිසා ඔයිල් පාම් මෙරට සුළු පරිමාණ වගාකරුවන්ට වැඩියෙන්ම ලාභ ගෙනෙන භෝගය ලෙස සැලකේ. මෙරට වතු කම්කරුවන්ගේ වැටුප් හා සංසන්දනය කර බැලූවිට තේ හෝ රබර් කර්මාන්තයේ නියැළෙන්නෙකු ලබා ගන්නා ආදායමට  වඩා ඉහළ ආදායම් මට්ටමකට ඔයිල් පාම් කම්කරුවන් ළගා වේ. එම නිසා පාම් තෙල් කර්මාන්තය මෙරට දරිද්‍රතාව තුරන් කිරීම සඳහා භාවිතා කළ හැකි මනා විසඳුමක් ලෙසද පෙන්වා දිය හැකි වේ.

  • Ada Derana BIZ Sinhala
  • excess import
  • rubber
  • sri lanka

රබර් මෙට්‍රික් ටොන් 20,000ක අතිරික්ත ආනයනයක්

October, 12, 2022

අවශ්‍යතාව ඉක්මවා රබර් ආනයනයෙන් දේශීය වගාකරුවන්ට පීඩා, වසරේ මේ දක්වා කාලය තුළ මෙට්‍රික් ටොන් 20,000ක අතිරික්ත ආනයනයක් - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය හේතුවෙන් දේශීය රබර් වගාකරුවා දැඩි පීඩාවට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2022 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් අතිරික්තව ආනයනය කර ඇති රබර් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 20,000ක් බවයි. මෙම තත්ත්වය නියාමනය කිරීමට අත්‍යාවශ්‍ය බවයි  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2017 වසරේ සිට මෙලෙස විශාල වශයෙන් අවශ්‍යතාව ඉක්මවා රබර් ආනයනය කර ඇති බවට සංඛ්‍යා ලේඛන අනුව සනාථ වෙයි. එම වසරේ දී දේශීය රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 83,070ක් ලෙස දැක්වෙන අතර සමස්ත අවශ්‍යතාව වූයේ මෙට්‍රික් ටොන් 128,142යි. ඒ අනුව ආනයනය කිරීමට අවශ්‍ය රබර් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 45,072 වුව ද ආනයනය කර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 61,802කි.

2018 වසරේ දී ද මෙට්‍රික් ටොන් 65,759ක් ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය කර ඇත. 2019 වසරේ දී එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000ක ඉක්මවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 2020 වසරේ දී ද මෙට්‍රික් ටොන් 48,628ක අවශ්‍යතාව ඉක්මවා ආනයනය කර ඇත. 2021 වසරේ දී එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 72,000ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි අමාත්‍ය සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

  • Ada Derana BIZ Sinhala
  • appointed
  • CBSL
  • Deputy Governor
  • K.M.A.N. Daulagala
  • sri lanka

මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරියක්

October, 12, 2022

මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව සහකාර අධිපති සහ මුදල්  මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ කේ.එම්. ඒ. එන්.  දවුලගල මහත්මිය 2022 ඔක්තෝම්බර් මස 07 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරන ලදී.

කේ .එම්. ඒ. එන්.  දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා නියාමන, සාර්ව විචක්ෂණශීලිතා අධ්‍යයන, මූල්‍ය, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණ, ප්‍රාදේශීය සංවර්ධන, මානව සම්පත් කළමනාකරණ සහ පුහුණු හා සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි විවිධ තනතුරුවල වසර 31කට අධික සේවා කාලයක්  සම්පූර්ණ කර ඇත.  ඇය ප්‍රධාන ගණකාධිකාරි සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා මූල්‍ය පද්ධති ස්ථායිතා යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ලෙස සේවය කර ඇති අතර බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ නීතිමය රාමුව සහ පාලනය සවිමත් කිරීම වෙනුවෙන් දායකත්වය සැපයීය.  නියෝජ්‍ය අධිපති ලෙස පත් කිරීමට පෙර දවුලගල මහත්මිය සාර්ව විචක්ෂණතා අධ්‍යයන හා බැංකු අධ්‍යයන කේන්ද්‍රය යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස හා මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස  කටයුතු කළාය. ඇය මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවේ, මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුවේ සහ ආචාර ධර්ම කමිටුවේ ලේකම් ලෙස ද කටයුතු කළාය.

තව ද, ඇය මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය වෙත මුදාහැර තිබූ අතර එහි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළාය‍. අමාත්‍යංශයෙහි එම තනතුර දරන කාලය තුළ දවුලගල මහත්මිය ලංකා බැංකුවෙහි  මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් සේවා නියුක්තියන්ගේ  භාර අරමුදල් මණ්ඩලයෙහි සාමාජිකයෙකු ලෙසත් කටයුතු කළාය.

දැනට දවුලගල මහත්මිය ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ ම‍ණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය.

දවුලගල මහත්මිය එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් (University of Essex, UK) මූල්‍ය හා ව්‍යාපාරික ආර්ථීක විද්‍යාව පිළිබඳ  විද්‍යාපති උපාධියත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනපති උපාධියත් ලබා ඇත. දවුලගල මහත්මිය එක්සත් රාජධානියේ  වරලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ අධි සාමාජිකාවකි.

  • Ada Derana BIZ Sinhala
  • Gap
  • sri lanka

ශ්‍රී ලංකාව ‘Gap‘ ක්‍රමවේදයට යයි

October, 11, 2022

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක්

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි.

ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්‍රතිශත යටතේ වාණිජ ණය ලබා ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව රජය පෙන්වා දෙයි.

එම නිසා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) ලබාදෙන සහනදායී ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් තාවකාලිකව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක පවතින තත්ත්වයන් නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලෝක බැංකුවට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (10) දිනයේ දී ලබා දී ඇත.

අවධානමට ලක්ව ඇති රටවලට සහනදායී ආධාර ලබාදෙන ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) කටයුතු කරයි.

ඒ අනුව අතරමැදි සහනදායි ණය වැඩසටහන (Reverse graduation) ඉතා කෙටි කාලයකට පමණක් අනුගමනය කිරිමට රජය තීරණය කර තිබේ.

මෙම ක්‍රමවේදය “ගැප්” ලෙස හඳුන්වන අතර, ඉන්දුනිසියාව ඇතුළු රටවල් 12ක් මෙම ක්‍රමවේදය දැනටමත් උපයෝගි කරගෙන සහනදායී ණය ලබා ගෙන තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

සියලු කොටස් 9,000 න් පහළට

October, 11, 2022

අද (11) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා විය.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 304.91 කින් පහළ ගොස් ඒකක 8,744.61 ක් හා S&P SL20 දර්ශකය ඒකක 118.83 කින් පහළ ගොස් ඒකක 2,652.99 ක් වශයෙන් දිනය අවසානයේ දී සටහන්ව තිබුණි.

මෙය පිළිවෙලින් 3.37% ක හා 4.29% ක පහළ යාමකි.

2022 අගෝස්තු 30 දිනෙන් පසුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

 

  • Ada Derana BIZ Sinhala
  • Middle Income
  • sri lanka
  • Trap

මැදි ආදායම් උගුල සහ ශ්‍රී ලංකාව

October, 11, 2022

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව මුල්වරට මැදි ආදායම් රටක තත්ත්වයට පැමිණියේ 1997 වසරේ දීය.

මැදි ආදායම් කාණ්ඩය කොටස් දෙකකි. එනම් පහළ මැදි ආදායම් කාණ්ඩය සහ ඉහළ මැදි ආදායම් කාණ්ඩය වශයෙනි.

97 වසරේ දී පහළ මැදි ආදායම් කාණ්ඩයට පිවිසි ශ්‍රී ලංකාවට ඉහළ මැදි ආදායම් කාණ්ඩය කරා පැමිණීමට වසර 21 ක් ගතවිය.

ඒ අනුව 2019 ජූලි මාසයේ දී ප්‍රකාශයට පත්කරන ලද ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක තත්ත්වයට උසස් කරනු ලැබීය.

2019 සැප්තැම්බර් 17 වැනිදා කොළඹ දී පැවති ආර්ථික සමුළුවක දී එවකට අග්‍රාමාත්‍ය, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව අමතමින් අපූරු ප්‍රකාශයක් කළේය. එනම් ශ්‍රී ලංකාව මේ වන විට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්ව ඇති බවත්, තවදුරටත් මැදි ආදායම් උගුලේ එකතැන පල්වෙනවාද, දියුණු ආර්ථිකයක් බවට පත්වීමේ පිම්මක් පනිනවාද යන විකල්ප දෙකෙන් තෝරා ගැනීමකට කාලය පැමිණ ඇති බවත්ය.

එහෙත් ඊට මාස කිහිපයකට පසු එනම් 2020 ජූලි 01 වැනිදා ලෝක බැංකුව කියා සිටියේ ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් රටක් බවට කාණ්ඩ ගත කර ඇති බවයි.

පිම්ම පැන ඇත්තේ ඉදිරියට නොව පිටුපසටයි.

නවතම ලෝක බැංකු ක්‍රමවේදයට අනුව ඩොලර් ඒක පුද්ගල ආදායම ඩොලර් 1,085 ට වඩා අඩු ආදායමක් ලබන රටවල්, පහළ ආදායම් ලබන රටවල් ලෙසත්, ඩොලර් 1,086 - 4,255 අතර රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් ලෙසත් වර්ගීකරණය කර තිබේ. මෙහිදී ඉහළ මැදි ආදායම් ලාභී රටවල් ලෙසින් සලකා ඇත්තේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4,256 - 13,205 අතර රටවල්ය. ඩොලර් 13,205 ට වඩා වැඩි ඒකපුද්ගල ආදායමක් ඇති රටවල් ඉහළ ආදායම් ලබන රටවල් ලෙසින් සැලකේ.

මේ අතර අද (11) දින කැබිනට් ප්‍රකාශකවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව පහළ ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බවයි. ශ්‍රී ලංකාවට සහනදායී ණය ආධාර ලබා ගැනීම පහසු කරලීම සඳහා ලෝක සංවිධානවල දැනුම් දීම මත මෙම තීරණය ගනු ලැබූ බව මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය.

“ශ්‍රී ලංකාව නිල වශයෙන් අඩු ආදායම්ලාභී රටක් ලෙස පිළිගැනීමට ඊයේ (10) කැබිනට් අනුමැතිය හිමි වුණා. මීට පෙර අප සිටියේ මැදි ආදායම් ලාභී රටක් විදියටයි. අපි දන්නවා ඒක පුද්ගල ආදායම ඩොලර් 4,000 ඉක්මවා යමින් එම මට්ටමට ළගා වීමට හැකි වීම සාඩම්බරයට කරුණක්. නමුත් ආර්ථිකමය වශයෙන් එහි යම් අවාසියක් තියෙනවා. අපි වෙනත් රටවලින් ණය ඉල්ලා සිටීමේ දී අපට ඒවා ලැබෙන්නෙ වාණිජ පදනමින්. මැදි ආදායම්ලාභී රටක් විදියට ඉන්නකොට, අනේ කියල ණය ඉල්ලන්න අපට බෑ. මේ තත්ත්වය හමුවේ ලෝක බැංකුව කළ යෝජනාත් පිළිගනිමින් ශ්‍රී ලංකාව නැවත ශ්‍රේණිගත වුණා.“

මේ බව මුලින්ම කියා සිටියේ ඉන්දියාවයි. 2022 අප්‍රේල් මාසයේ දී පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පාලක මණ්ඩල රැස්වීමේදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ශ්‍රී ලංකාවට සහාය ඉල්ලා සිටිමින්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස තාවකාලිකව නැවත වර්ගීකරණය කරන ලෙස ඉල්ලා සිටියාය.

මොකක්ද මේ මැදි ආදායම් උගුල?

මැදි ආදායම් උගුල පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාවෙහි  මෙසේ සඳහන් වේ.

සමහර වර්ගීකරණවලට අනුව ශ්‍රී ලංකාව මැදි ආදායම් උගුලට හසුව ඇති බවට කියැවේ. මැදි ආදායම් මට්ටම දක්වා වේගයෙන් ළඟා වුවද, ඉන් අනතුරුව ඉහළ ආදායම් මට්ටම දක්වා ළඟාවීමට එවැනි වර්ධන වේගයක් පවත්වා ගැනීමට අසමත්ව පවතින රටවල් විග්‍රහ කිරීමේ දී අර්ථශ්‍රාස්ත්‍රඥයින් විසින් මැදි ආදායම් උගුල යන යෙදුම භාවිත කරනු ලැබේ. මීට අදාළ පර්යේෂණ පත්‍රිකා තුළ දැක්වෙන විවිධ අධ්‍යයන අතර මැදි ආදායම් උගුල විග්‍රහ කිරීම සඳහා පවතින නිර්වචන එකිනෙකට අනුරූපී නොවන අතර, ඒ අනුව මැදි ආදායම් උගුලට හසුව සිටින රටවල් සංඛ්‍යාව විවිධ පර්යේෂකයින් අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස, Pruchnik and Zowczak (2017) විසින් මැදි ආදායම් උගුල පිළිබඳව අදාළ පර්යේෂණ පත්‍රිකා තුළ පවතින එවැනි වෙනස්කම් සන්සන්දනය කිරීමේ දී, ශ්‍රී ලංකාව මැදි ආදායම් උගුලට හසුව ඇති බව පර්යේෂණ පත්‍රිකා ද්විත්වයක් තුළ සඳහන්ව ඇති බව පෙන්වා දෙන අතර, එලෙස එකම ආදායම් කාණ්ඩයක් තුළ දිගු කාලයක් රැඳී සිටීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

කෙසේ හෝ වේවා අද (11) සිට ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් රටක් වශයෙන් හැඳින්වීම නතර වනු ඇත. එහිදී යම් දේශපාලකයෙකු ශ්‍රී ලංකාව ‘මැදි ආදායම් උගුලෙන්‘ ගැල වී ඇතැයි පැවසුවහොත් ඒ පිළිබඳ විමතියට පත් විය යුතු නැත.

 

- සිසිර කන්නන්ගර විසිනි

 

 

  • Ada Derana BIZ Sinhala
  • Kia
  • sri lanka

Kia සමාගම කොළඹ 05, නාරාහේන්පිට ප‍්‍රදේශයේ නව මෝටර් රථ සේවා මධ්‍යස්ථානයක් අරඹයි

October, 11, 2022

Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගම විසින් ගනුදෙනුකරුවන් උදෙසා කොළඹ 05 නාරාහේන්පිට ප‍්‍රදේශයේ මෝටර් රථ සේවා සැපයීමේ නව මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කරමින් ශ‍්‍රී ලංකාවට වාහන ආනයනය කරන සමාගම් දැවැන්ත අභියෝගයකට මුහුණු දී සිටින මෙවන් අවස්ථාවක පවා සේවා යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් ආයෝජනය කිරීමට සමාගමේ කැපවීම සනාථ කර ඇත.

මෝටර් රථ නඩත්තු කිරීමේ මෙම නව මධ්‍යස්ථානය අංක 128, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05 යන ලිපිනයේ පිහිටා තිබෙන අතර මෙහි සේවා ස්ථානයක්, මෝටර් රථ සඳහා නව පෙනුමක් එක් කිරීමේ ශිල්පීය ස්ථානයක් (Detailing Studio) එම නිෂ්පාදන සහ උපාංග අලෙවි කිරීමේ ස්ථානයක්, අමතර කොටස් අලෙවි කිරීමේ ස්ථානයක්, පාරිභෝගික විවේකාගාරයක් සහ සේවකයින්ට නවාතැන් පහසුකම් ගොඩනගා තිබේ.

‘Kia සන්නාමයට පක්ෂපාතී විශාල ගනුදෙනුකරුවන් පිරිසක් ශ‍්‍රී ලංකාව තුළ සිටිනවා. ශ‍්‍රී ලංකාව තුළ Kia සන්නාමය අලෙවි කිරීමේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස අපගේ අලෙවියෙන් පසු සේවා යටිතල පහසුකම් වර්ධනය කරමින් Kia හි ඉහළ ගෝලීය ප‍්‍රමිතිය ශ‍්‍රී ලංකාව තුළදීත් ආරක්ෂා කිරීමට අපි කැපවීමෙන් කටයුතු කරනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් Kia මෝටර්ස් (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ඇන්ඩෲ පෙරේරා මහතා පැවසීය. ‘ආනයන සීමා නිසා නවතම Kia වාහන අපිට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට නොහැකි නමුත්, දැනට සිටින ගනුදෙනුකරුවන් සඳහා අපි ලබාදෙන සේවාව මේ තත්ත්වය තුළදී වුවත් අපි කිසිසේත්ම අඩු කරන්නේ නෑ.’

ඔහු සඳහන් කරන්නේ සමාගම විසින් ආරම්භ කර තිබෙන මෝටර් රථ සේවා සැපයීමේ මෙම නව මධ්‍යස්ථානය පසුගිය වසරේදී Kia නව ලාංඡනය සහ සන්නාම පෞර්ෂත්වය එළිදැක්වූ අවස්ථාවේදී හඳුන්වාදුන් සමාගමේ ගෝලීය ආයතනික හඳුනාගැනීමේ (CI) මාර්ගෝපදේශනයන්ට අදාළව නිර්මාණය කර සන්නාමකරණ කර තිබෙන බවයි. මීට වසර පහකට පෙර සමාගම විසින් කොළඹ 05, කිරුළ පාරේ ගොඩනැගූ මෝටර් රථ මධ්‍යස්ථානය වෙනුවට මෙම නව මෝටර් රථ මධ්‍යස්ථානය සමාගම විසින් විවෘත කර තිබෙන අතර ඒ සඳහා සමාගම විසින් රුපියල් මිලියන 10 කට වඩා මුදලක් ආයෝජනය කර තිබේ.

මෙම නව මධ්‍යස්ථානයේ තිබෙන ඞීටේලින් ස්ටූඩියෝ වෙහි, අභ්‍යන්තර සහ බාහිර පිරිසිදු කිරීම් වෙනුවෙන් අංගන දෙකක් ගොඩනගා තිබෙන අතර ඒ සඳහා වසර 121 ක් පැරණි ලොව සුපතල මෝටර් රථ නඩත්තු කිරීමේ සන්නාමයක් වන Meguiar’s  නිෂ්පාදන යොදාගනී. මෙම මධ්‍යස්ථානයේ සේවා කටයුතු සඳහා උසස් තත්වයේ එසවුම් යන්ත‍්‍ර (hoists) හයක් ඇතුලූ උපාංග රාශියක් යොදාගෙන තිබේ.

මීට අමතරව, මෙහි පිහිටි පාරිභෝගික විවේකාගාරය සුවපහසු ගෘහ භාණ්ඩ යොදා සකස් කර තිබෙන අතර එහි නොමිලේ Wi-Fi පහසුකම් ඇත. එසේම, මෙහිදී ගනුදෙනුකරුවන්ට සංග‍්‍රහ කටයුතු කරන අතර මෙම මධ්‍යස්ථානයේ පිහිටි අලෙවිසැල තුළින් මොටර් රථ නඩත්තු කිරීමට අවශ්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ.

මේ අතර, මෙම මධ්‍යස්ථානයේ සිට Kia සමාගම විසින් සතියේ පැය 24 පුරා ක‍්‍රියාත්මක කරන මාර්ගයේදී ආපදාවට ලක්වූ වාහන සඳහා සේවා ලබාදීමේ මෙහෙයුම් කටයුතු සිදුකරන බව සමාගම සඳහන් කරයි.

Kia මෝටර්ස් (ලංකා) සමාගම විසින් 1996 වසරේ සිට ශ‍්‍රී ලංකාව තුළ Kia සන්නාමය නියෝජනය කරමින් Kia මෙරට වඩාත් ජනප‍්‍රිය සන්නාමයක් බවට ඔසවා තබන්නට සමත්වී තිබේ. සමාගමට සම්පූර්ණයෙන්ම අයත් අනුබද්ධ සමාගම් වන Carplan සහ Autopoint (කුරුණෑගල) විසින් නායකත්වය දෙන අලෙවි සහ සේවා ජාලය මගින් රුපියල් මිලියන 800 ක ආයෝජනයකින් ඉදිකළ සමාගමේ මාලඹේ මධ්‍යස්ථානයට සහයෝගය හිමිවෙයි. මෙහිදී, 3S වෙළෙඳ නියෝජිතයින් මගින් අලෙවි, සේවා සහ අමතර කොටස් සේවා එකම ස්ථානයකදී ලබාදෙයි. Kia මෝටර්ස් (ලංකා) සමාගමට මඩකළපුව ප‍්‍රදර්ශනාගාරයක් තිබෙන අතර අම්පාර, ගාල්ල සහ රත්නපුර සඳහා සේවා වෙළෙඳ නියෝජිතයින් පත්කර ඇත. මීට අමතරව, සමාගමේ අමතර කොටස් වෙළෙඳ නියෝජිතයින් කොළඹ, මොරටුව, ගම්පහ, මහනුවර, රත්නපුර, අනුරාධපුරය, මඩකළපුව සහ මාතර යන නගරවල සිටී.

  • Ada Derana BIZ Sinhala
  • Airtel Freedom
  • Mobile users
  • sri lanka

පරිශීලකයින් එයාර්ටෙල් Freedom රු.749 පැකේජයේ සිය අත්දැකීම් පිළිබඳව කතා කරයි

October, 11, 2022

කොවිඞ්-19 වසංගතයේ ආරම්භයත් සමඟින් පසුගිය වසර 2 තුළ අප යමක් ඉගෙන ගත්තා නම්, ඒ අනන්‍යයන් සමඟ සම්බන්ධව සිටීමේ වටිනාකමයි. රූපවාහිනිය නැරඹීමේ සිට WFH දක්වා අප කරන කියන සෑම දෙයක් සඳහාම අප සියලූ දෙනා අපගේ ජංගම දුරකතන භාවිත කරනු ලබන අතරම බොහෝ දෙනෙක් මේ වන විට ඔවුන්ගේ වැය කරන මුදලට උපරිම වටිනාකමක් ලබා ගත ක‍්‍රම සොයමින් සිටී.

ඒ පිළිබඳව එයාර්ටෙල් සිය අවධානය යොමු කර ඇති බව පෙනේ. ඕනෑම ජාලයක් අතර අසීමිත දේශීය ඇමතුම් නොමිලේ ලබා දීමට මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල අසීමිතව සැරි සැරීමට පහසුකම් හා ප‍්‍රතිලාභ රැසක් පිරිනමනු ලැබූ පළමු ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන්නේ එයාර්ටෙල් ලංකා සමාගමයි. එයාර්ටෙල් Unlimited Freedom පැකේජය වෙත මාරු වූ කිහිපදෙනෙකුගෙන් එම අත්දැකීම කෙබඳුද යන්න සහ එයාර්ටෙල් විසින් පොරොන්දු වූ පරිදි ඔබ බලාපොරොත්තු වන දේ ලබා දෙන්නේ දැයි  විමසා බැලීමට අපි තීරණය කළෙමු.

තරුණ බැංකු වෘත්තිකයෙකු වන භාග්‍යා හට එයාර්ටෙල් හි රු. 749 පැකේජය පිළිබඳව දැනගන්නට ලැබී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලයක ඇයගේ මිතුරෙකු හරහායි. නව දුරකතන සම්බන්ධතාවයක් අත්හදා බැලීමට ඇය මුලදී පසුබට වූවත් මුදල් ඉතිරි කිරීමේ අවශ්‍යතාවය මත එය උත්සාහ කර බැලීමට ඇය තීරණය කළාය.

”මම දැනට භාවිත කරන මගේ දුරකතන අංකය වෙනස් කිරීමට මට අවශ්‍ය වූයේ නෑ. නමුත් මට තිබෙන්නේ dual SIM ජංගම දුරකනනයක් නිසා අවසානයේ මම එය මගේ දෙවන සිම්පත ලෙස භාවිත කිරීමට තීරණය කළා. මම දැන් එය භාවිතයට ගෙන මාසයක් පමණ වුවත් එය මගේ අවශ්‍යතාවන්ට හරියටම ගැලපෙන පැකේජය බව මට කිව හැකියි. මම මීට පෙර වෙනත් ජාලවල පැකේජ ගණනාවක් භාවිත කර තිබෙනවා. නමුත් ඒ කිසිවකින් අප ගෙවන මුදලට අප බලාපොරොත්තු වූ වටිනාකමක් ලබා දුන්නේ නෑ. අපි ගෙවන මුදලට හොඳම වටිනාකමක් සොයන මෙවැනි කාලයක වෙනත් ජාල වෙත ලබා ගන්නා අසීමිත ඇමතුම් අපට බොහෝ සෙයින් උපකාරී වනවා. එහිදී හොඳ සිග්නල් ආවරණය, ලබා ගන්නා හා ලැබෙන ඇමතුම්වල ගුණාත්මකභාවය සහ data විශ්වසනීයත්වය ද ඉතා වැදගත්. මගේ සහෝදරයා Zoom ඔස්සේ ඔහුගේ ඉගෙනීම් කටයුතු කිරීමේදී මගේ මෙම පැකේජය භාවිත කරන නිසා ඔහුටද මා මෙය නිර්දේශ කළා.’’ යනුවෙන් ඇය පැවසුවාය.

මූල්‍ය ක්ෂේත‍්‍රයට අදාල පසුබිමකින් එන ටිරෝන් අතපත්තු නව එයාර්ටෙල් පරිශීලකයෙකි. නමුත් දැනටමත් එහි උපරිම ප‍්‍රතිලාභ අත්විඳින්නෙකිx ඒ පිළිබඳව ඔහුගේ උද්යෝගිමත් බව අප සමඟ බෙදාහදා ගත්තේ මෙසේයි. ‘‘මාස කිහිපයකට පෙර සිටයි මම එයාර්ටෙල් භාවිත කරන්නේ. නමුත් මේ වන විට මගේ නිර්දේශය අනුව එයාර්ටෙල් රු. 749 පැකේජය මගේ පවුලේ සියලූම දෙනාත් මගේ හිතවතුනුත් භාවිත කරනවා. මම එයාර්ටෙල් රු. 749 පැකේජය භාවිත කිරීම පටන් ගෙන මාස 3 කට වැඩි කාලයක් ගතවුවත් දැනට ඒ සම්බන්ධයෙන් මට කිසිඳු පැමිණිල්ලක් නෑ. මගේ බිරිඳ ඇයගේ ඉගෙනීම් කටයුතුවලටත් මම මගේ කාර්යාලීය වැඩ කටයුතු කිරීමටත් මෙය භාවිත කරනවා. ඒවගේම අපට කිසිඳු කරදරයකින් තොරව ෆේස්බුක්, මැසෙන්ජර්, යූටියුබ් සහ වට්ස්ඇප් වැනි සමාජ ජාල වෙත අසීමිතව ප‍්‍රවේශ විය හැකියි. ඉන් ලැබෙන අමතර 30GB ඬේටා ප‍්‍රමාණය ද ඇත්තෙන්ම විශාල වාසියක්. ඇත්තටම එයාර්ටෙල් මෙවැනි දෙයක් පරිශීලකයින්ට ලබා දීමට මූලිකත්වය ගැනීම ගැන අප අවංකවම සතුටු වනවා. මෙවැනි අසීරු කාලපරිච්ෙඡ්දයක ඒක ලොකු සහනයක් යැයි මා විශ්වාස කරනවා.”

චමරා දිල්රුක්ෂි Advertising ක්ෂේත‍්‍රයේ සේවයි කරයි. විශේෂයෙන්ම නිවසේ සිට වැඩ කිරීමේදී තම ජංගම දුරකතනයේ අන්තර්ජාල සබඳතාවය මත යැපීමට සිදුවන අයෙකුට එයාර්ටෙල් හි Unlimited Freedom පැකේජය මහත් අස්වැසිල්ලකි. ඒ පිළිබඳව ඇගේ අදහස් මෙසේ පළ කළාය. ”කොවිඞ්-19 වසංගතයේ පැතිරීමත් සමඟ අප සියලූ දෙනාටම නිවසේ සිට වැඩ කටයුතු කිරීමේ සංස්කෘතියකට හැඩගැසීමට සිදු වුනා. එය මට සිතූ තරම් පහසු කටයුත්තක් වූයේ නෑ. එයට හැඩගැසීමට මට ටික කලක් ගතවුනා. නමුත් මම ඬේටා සඳහා කොපමණ මුදලක් වැය කර තිබුණාද කියා වටහා ගැනීමට මට ඊටත් වඩා කාලයක් ගත වුනා. වාසනාවකට මෙන්, මගේ මිතුරිය නිවසේ සිට වැඩ කිරීමට එයාර්ටෙල් හි රු. 749 පැකේජය භාවිත කර තිබූ නිසා ඇය මට එය නිර්දේශ කළා. එයින් ලැබෙන අමතර 30GB ඬේටා නිසා මගේ මාසික ඬේටා භාවිතය සැලසුම් කිරීම වඩාත් පහසු වුනා. ඒවගේම මසකට වරක් පැකේජය සක‍්‍රීය කිරීමේ පහසුකම ද අමතර වාසියක්. සාමාන්‍යයෙන් මම සතිපතා, සමහර අවස්ථාවල දිනපතා reload කිරීමට පුරුදුව සිටියා. නමුත් දැන් එයාර්ටෙල් රු. 749 පැකේජය නිසා මම කරදරයෙන් නිදහස්. එයාර්ටෙල් තම පරිශීලකයින් වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීම ගැන සතුටුයි!’’

එයාර්ටෙල් ඔවුන්ගේ ආවරණ ජාලය රට පුරා ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් සිටී. මේ සම්බන්ධයෙන්ද අපගේ පරිශීලක ප‍්‍රතිචාරය විමසා බලන්නට අප අදහස් කළා. ඒ අනුව කිරිබත්ගොඩ පදිංචි දිල්රුක්ෂි සිය අත්දැකීම් මෙසේ අප වෙත පැවසුවා. ”එයාර්ටෙල් මුලින්ම ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අවධියේ එයාර්ටෙල් සබඳතාවක් ලබා ගත් අය අතරින් මමත් එක් අයෙක්. නමුත් කණගාටුවට කරුණ ඒ කාලයේ ආවරණය සීමිත වූ නිසා ඒ ගැන කළකිරීමක් ඇති වුනා. ඔබ sales සම්බන්ධ රැකියාවක නියුතු අයෙක් නම් ඔබ දන්නවා ඇමතුමක් අතහැර දැමීම බොහෝදුරට සේවාදායකයෙකු අහිමි කරගන්නවා හා සමාන බව. නමුත් මෑතකදී මට Unlimited Freedom පැකේජ ගැන දැන ගැනීමට ලැබුනා. එයින් ලැබෙන ප‍්‍රතිලාභ ගැන ඉතා හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණු නිසා මමත් එය නැවතත් උත්සාහ කර බැලීමට තීරණය කළා. ආවරණය ජාලය වැඩිදියුණු කර තිබීම සහ එය දැන් රට පුරා ව්‍යාපත්ව තිබෙනු දැකීමෙන් මා ඉතා සතුටට පත්වුණා. මම sales සම්බන්ධ රැකියාවක් කරන නිසා අඛණ්ඩ සේවාවක් යනු නියත වශයෙන්ම අවතක්සේරු නොකරන ආශීර්වාදයක්!”.

ශ‍්‍රී ලංකාව තුළ තවමත් mobile number portability පහසුකම ලබා දී නොමැති බැවින් එයාර්ටෙල් වෙත නැවතත් මාරුවීම පහසු කාර්යයක් නොවේ. ”මගේ පුද්ගලික හා රාජකාරී කටයුතු සඳහා මම දැන් අවුරුදු 10ක් තිස්සේ මගේ අංකය භාවිත කරනවා. අංක මාරු කිරීම පහසු නෑ. එක් මොබයිල් සබඳතාවයකින් වෙනත් මොබයිල් සබඳතාවක් වෙත මාරු වීමේදී පමණක් මගේ අංකය මා ළඟ තබා ගැනීමට ක‍්‍රමයක් තිබුණා නම් එම සබඳතාවය හැකි ඉක්මනින් මා ලබා ගන්නවා. ඒවගේම එයාර්ටෙල් Freedom පැකේජ තුළින් පරිශීලකයින්ට ඉතා හොඳ ප‍්‍රතිලාභ ලබා දී තිබෙන බව මා සඳහන් කළ යුතුයි. මේ වන විට මම මගේ පෞද්ගලික අංක එයාර්ටෙල් අංකය වෙත මාරු කරමින් සිටිනවා.’’

එයාර්ටෙල් රු. 749 Unlimited Freedom පැකේජය මගින් පරිශීලකයින්ට දින 30ක් සඳහා ඕනෑම වෙලාවක භාවිත කළ හැකි අමතර 30GB 4G data වලට අමතරව වෙනත්  ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ Facebook, Messenger, WhatsApp හා YouTube වැනි සමාජ මාධ්‍ය ජාලවල අසීමිතව සැරි සැරීමට හැකියාව හා SMS පහසුකම් ලබා දී ඇත.

  • Ada Derana BIZ Sinhala
  • alupenters.lk
  • Overall Gold Award Winner
  • sri lanka

2022 වසරේදී ශ්‍රී ලංකාවේ හොඳම .lk වෙබ් අඩවිය ලෙස alupenters.lk වෙබ් අඩවිය ඉහළම ගෞරවය දිනා ගනියි

October, 11, 2022

ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් සහ ඔවුන්ගේ සේවාවන් අපේක්‍ෂා කරන දිවයින පුරා විසිරුණු පාරිභෝගිකයින් එකිනෙකා හා ඍජුව සම්බන්ධ කරන මෙරට එකම ඩිජිටල් වේදිකාව වන alupenters.lk වෙබ් අඩවිය පසුගිය දා පැවැති LK Domain Registry විසින් සංවිධානය කරන ‘Best Web Awards 2022’ සම්මාන උළෙලේදී ඉහළම ඇගයීමට පාත්‍ර විය. එහිදී alupenters.lk වෙබ් අඩවිය විසින් අලෙවි හා දැන්වීම්කරණ අංශයේ රන් සම්මානය දිනා ගත් අතර අංශ 12ක සියලු රන් සම්මානලාභීන් අතරින් හොඳම වෙබ් අඩවිය ලෙස ‘Overall Gold Award’ සම්මානය දිනාගැනීම ද කැපී පෙණුනි.

මෑතකාලීනව ඇලුමිනියම් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා නිර්මාණය වූ නව වෙළෙඳපොල අවකාශයට විවෘත වෙමින් වෘත්තියමය ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් හා ඔවුන්ගේ සේවාලාභීන් එකට මුසු වන ඩිජිටල් සේවාවක් සැපයීම alupenters.lk හි ආරම්භක අරමුණ වූ අතර වර්තමානය වන විට ඒ හරහා දොරවල්, ජනෙල්, පාටිෂන්, ෂොප් ෆ්‍රන්ට්ස්, ලූවර්ස්, නානකාමර, වහලවල්, ටයිල් ස්කර්ටින්, ඉනිමං, රාක්ක, ඇඳුම් අල්මාරි, පැන්ට්‍රි කබඩ් ආදී ඇලුමිනියම් නිෂ්පාදන ආශ්‍රිත සේවා සපයන ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් 800කට වැඩි පිරිසක් දිවයින පුරා විසිරුණු පාරිභෝගිකයන් දහස් ගණනක් සමඟ සම්බන්ධ වී සිටී.

විශේෂයෙන්ම ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් සම්බන්ධයෙන් ගත් කල ඔවුන් හට පාරිභෝගිකයන් හා සම්බන්ධ වීමට අමතරව සිය සේවාවන් හා ව්‍යාපාර වෙත වඩාත් වෘත්තීය මුහුණුවරක් ලබාදීමට හැකි වීම alupenters.lk වෙබ් අඩවිය හරහා සිදු වන වැදගත් සේවයකි. පිරිසැකසුම් ශිල්පීන් හට සිය සේවාවන් සවිස්තරාත්මකව, ආකර්ෂණීය අයුරෙන් පෙළගස්වා සිය ව්‍යාපාරය වෙනුවෙන් අන්තර්ජාලය තුළ ප්‍රදර්ශනාගාරයක් පවත්වාගැනීමට වෙබ් අඩවිය හරහා හැකියාව ලැබෙන අතර ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය හරහා ඔවුන්ට නිරන්තරයෙන්ම සිය සේවාවන් ඉහළ ගුණාත්මක බවකින් පවත්වාගෙන යාමටත් පාරිභෝගික තෘප්තිය පිළිබඳව සැළකිලිමත් වීමටත් පෙළඹවීමක් ඇති කරයි.

LK Domain Registry විසින් 12 වන වරට පවත්වන ලද මෙම වෙබ් සම්මාන උළෙලට සුදුසුකම් සහිත සියලුම දේශීය වෙබ් අඩවි ^.lk Websites& ඉදිරිපත් වන නිසා මෙම උළෙලේදී සම්මානයට පාත්‍ර වන සියලුම වෙබ් අඩවිවලට ඉහළ පිළිගැනීමක් නිරායාසයෙන්ම හිමි වේ. ඉහළම ස්ථරයේ සිටින විෂය ප්‍රවීණ වෘත්තිකයන්ගෙන් සමන්විත කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින්, විධිමත්ව සම්පාදනය කරන ලද නිර්ණායක යටතේ තෝරාගැනීම් සිදු කරන ලද අතර තාක්‍ෂණික තත්ත්වය, සැලසුම්කරණය, අන්තර්ගතය, පෞද්ගලිකත්වය සහ ආරක්‍ෂණය, අන්තර්ක්‍රියා සහ ජංගම යෙදවුම් තුළ ක්‍රියාකාරිත්වය යන අංශ කෙරෙහි මෙහිදී විශේෂයෙන් සැළකිලිමත් වී ඇත.

වෙබ් සම්මාන උළෙලේදී දැන්වීම්කරණ සහ අලෙවිකරණ කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත් alupenters.lk වෙබ් අඩවිය සම්මාන උළෙලේ තරඟ අංශ සියල්ලෙන්ම වැඩිම ලකුණුලාභීන් අතර මුල් තැන ගනිමින් ‘Overall Gold Award Winners’ සම්මානය ද දිනා ගන්නා ලදි.

පසුගිය දශකයේදී ඇලුමිනියම් නිෂ්පාදන සේවා සඳහා රට පුරා ඇති වූ ඉහළ ඉල්ලුමත් සමඟින් ඇලුමිනියම් වෙළෙඳපොලේ පාරිභෝගිකත්වය අතිවිශාල අගයකින් වර්ධනය වෙමින් පවතියි. මෙම වර්ධනය අනාගතයේදී ද අඛණ්ඩව සිදු වීම නිසා වෙළෙඳපොල අවකාශය ද වේගයෙන් පුළුල් වන අතර ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් සහ පාරිභෝගිකයන් අතර සම්බන්ධතාවය ගොඩනංවන එකම ඩිජිටල් වේදිකාව වන  alupenters.lk වෙබ් අඩවිය ද ඊට සමගාමීව වඩාත් සංවර්ධනය වනු ඇත. පරිශීලකයින්ට සෑම අංශයකින්ම හොඳම අත්දැකීමක් ලබා දීම සඳහා අඛණ්ඩවම වෙබ් අඩවිය වැඩිදියුණු කරමින් පවත්වාගෙන යාමට alupenters.lk කළමනාකාරිත්වය කැප වී කටයුතු කරන අතර එය ඇලුමිනියම් කර්මාන්තයේ ප්‍රගමනයට විශාල රුකුලක් වනු ඇත.

සිය ප්‍රදේශයේ හොඳම ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් හඳුනාගෙන ඔවුන්ගේ සේවා ලබා ගැනීමට උනන්දුවක් දක්වන ජනතාවට මෙන්ම මෙම සුවිශේෂී වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට අපේක්‍ෂා කරන ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන්ට ද alupenters.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගත හැකිය.

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanka

CDB සමාගමේ 14 වැනි සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන තවත් දක්ෂතා සහිත සිසුන් 150 දෙනෙකුගේ අධ්‍යාපනික අභිලාෂයන් සවිබල ගන්වයි

October, 11, 2022

මෙරට සිසු දරුදැරියන්ගේ අධ්‍යාපනික අභිලාෂයන් සවිබල ගැන්වීමට අඛණ්ඩව කැප වී සිටින සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහනේ‘14 වැනි අදියර යටතේ වන ශිෂ්‍යත්ව ප්‍රදානය පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මෙම වසරේදී දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අධ්‍යාපනයට ඉහළ දස්කම් දක්වන නමුත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 150 දෙනෙකුට සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාම සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරිණ.

පසුගියදා පැවති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී, 2020 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී සහ අ.පො.ස.  සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුසිසුවියන් තම ශිෂ්‍යත්ව හිමි කරගත් අතර එහිදී, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය  සම්පත් අමරතුංග මහතා සහභාගී විය.

මේ පිළිබද අදහස් දැක්වූ CDB හි විධායක අධ්‍යක්ෂ, කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පැවසුවේ, “CDB හි අපගේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් සෑම කාලයකදීම සවිබල ගැන්වීමයි. වර්තමානයේ පවතින තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වූ CDB අපි ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන‘හරහා පසුගිය වසර තුළදී ලබාදුන් ශිෂ්‍යත්ව ප්‍රමාණය 100 සිට 150 දක්වා වැඩි කළ අතරම එක් දරුවෙක් වෙත පිරිනමන ශිෂ්‍යාධාර මුදලද ඉහල දැමුවා. එමගින් තවත් දක්ෂතා සපිරි දරුවන් රැසකට උපකාර කිරීමට අපට හැකි වුණා.”  යනුවෙනි.

ඒ අනුව, මේ වසරේ ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන‘හරහා පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් සියයකට රු. 12,500 බැගින් වසර පහක් දක්වා ශිෂ්‍යාධාර ලබා දෙන අතර එහි මුළු වටිනාකම එක් සිසුවෙකුට රු. 62,500 කි. මේ අතර, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී  ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් 50 දෙනකුට රු. 17,500 බැගින් වසර දෙකක් දක්වා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු වේ. එම ශිෂ්‍යාධාරයේ මුළු වටිනාකම එක් සිසුවෙකුට රු. 35,000ක් වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් CDB  සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ මහතා පැවසුවේ, ”සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන CDB හි තිරසාර න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් වන සමාජ අවබෝධය  (Socially Conscious) යටතේ ක්‍රියාත්මක වෙනවා.

එහිදී අප ගුණාත්මක අධ්‍යාපනය නංවාලීමේ උදෙසා වූ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකුලව ක්‍රියා කරනවා. එමගින් අවසන් ප්‍රතිඵලය ලෙස සමාජීය සහ ආර්ථිකමය බලපෑමක් ඇති කිරීම අපේක්ෂාව කරනවා. CDB සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ වූ 2008 වර්ෂයේ සිට මෙම 14වන අදියර දක්වා දක්ෂ දරුවන් 850 කට වැඩි පිරිසකට ශිෂ්‍යත්ව ලබා දී තිබෙන අතර ඉදිරියටත් අනාගත පරපුරේ සිසුදරුවන්ගේ අධ්‍යාපනික අභිලාෂයන් බලගැන්වීම සඳහා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වනවා. එය සංවර්ධනය උදෙසා වූ ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීමට උපකාරී වනු ඇති අපේක්ෂා කරනවා,”යනුවෙනි.