June, 16, 2022
එක්සත් ජනපදය ශ්රී ලංකාවේ ගිණුම්කරණ සහ විගණන අංශ ශක්තිමත් කිරීම සඳහා, තම සංවර්ධන නියෝජිතායතනය වන ජාත්යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා, ශ්රී ලංකා වරලත් ගණකාධීකාරී සංගමය (CA Sri Lanka) සහ ශ්රී ලංකා රාජ්ය මූල්ය ගණකාධීකාරීවරුන්ගේ සංගමය (APFASL) සමගින් හවුල් වේ. මෙම හවුල්කාරිත්වය හරහා, දළ වශයෙන් රාජ්ය අංශයේ ගණකාධීකාරීවරුන් සහ විගණන වෘතිකයන් 600 ක් සහ උපායමාර්ගික තීරණ ගැනීමට සහාය වන තොරතුරු තාක්ෂණ යෙදුම් සහ වෙනත් වේදිකාවල නිලධාරීන් 1,200 ක් පුහුණු කරනු ඇත.
නිල වශයෙන් මෙම පුහුණු වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය, “අනුකූලතා අවශ්යතා පිළිබඳ රාජ්ය අංශයේ වෘත්තිකයන්ගේ දැනුම තවදුරටත් ශක්තිමත් කිරීමටත් රාජ්ය අංශයේ වගවීම සඳහා දායක වීමටත් අවශ්ය මෙවලම් සැපයීමට හැකිවීම පිළිබඳව එක්සත් ජනපදය සතුටට පත්වනවා. ශ්රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන හවුල්කරුවකු ලෙස අපගේ දැක්ම වන්නේ රට පෙරටත් වඩා ශක්තිමත් ලෙසින් අර්බුදවලින් ගොඩ ඒමට උපකාර කිරීමයි”, යනුවෙන් පැවසුවාය.
ගුණාත්මක මූල්ය ගිණුම්කරණය සහ වාර්තාකරණය සඳහා වන ජාත්යන්තර යහපරිචයන්ට අනුකූලව මූල්ය ප්රකාශන සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා රාමුවක් සපයන, ශ්රී ලංකාවේ රාජ්ය අංශයේ ගිණුම්කරණ ප්රමිති (SLPSAS) පිළිබඳව මෙම පුහුණුව හරහා අවධානය යොමු කරනු ඇත. පළාත් නවයේම පවත්වනු ලබන මෙම පුහුණුව මගින් SLPSAS 11-20 හි මෑතකාලීන වර්ධනයන් සහ යෙදුම්, රාජ්ය අංශයේ මූල්ය කළමනාකරණ කාර්යයන් සහ වාර්තාකරණය මෙන්ම මූල්ය විශ්ලේෂණය, සැලසුම්කරණය සහ කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා රාජ්ය අංශයේ ගිණුම්කරණ සහ විගණන වෘත්තිකයන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීමට හැකියාව ලැබේ.
“සිය දිගුකාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් රාජ්ය මූල්ය කළමනාකරණය ශ්රී ලංකාවට ඉතා වැදගත් වනවා. එබැවින්, CA Sri Lanka හි රාජ්ය අංශයේ ක්රියාකාරී ඒකකය ලෙස APFASL, ජාත්යන්තර යහපරිචයන්ට අනුකූලව රාජ්ය මූල්ය කළමනාකරණ පරිචයන් ශක්තිමත් කිරීිමෙහි ලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. රාජ්ය අංශයේ ගිණුම්කරණ සහ විගණන වෘත්තිකයන්ට නොකඩවා තම ක්ෂේත්රයේ අදාළ දැනුම වැඩිදියුණු කරගැනීමට සහය වීමට අප නිරන්තරෙයන් උත්සාහ කරන බැවින් USAID සමඟ ඇතිකර ගත් මේ සහයෝගීතාවය ඉතා කාෙලෝචිතයි. CA Sri Lanka සහ APFASL යන සංගම් දෙක මෙම ක්ෂේත්රය වැඩිදියුණු කිරීම සඳහා සිදු කර ඇති වැදගත් කාර්යභාරයට USAID සමඟ ඇති මෙම හවුල්කාරිත්වය කදිම සාක්ෂියක් ද වනවා”, යනුවෙන් CA Sri Lanka හි සභාපති සංජය බණ්ඩාර මහතා පැවසීය.
මීට අමතරව, පළාත් සියල්ලේම ක්රමෝපායික තීරණ ගැනීම් සඳහා සහය ලබාදීම පිණිස රාජ්ය අංශයේ මූල්ය වෘත්තිකයන් විසින් තොරතුරු තාක්ෂණ පද්ධති ඵලදායී ලෙස භාවිතා කිරීම ද මෙම පුහුණු වැඩසටහන මගින් ශක්තිමත් කරනු ඇත.
පුහුණුවේ පහසුකම් සපයන්නා ලෙස APFASL විසින්, රාජ්ය ආයතන, විශ්වවිද්යාල සහ පළාත් පාලන ආයතනවල මූල්ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමට සහ මූල්ය කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීමට සහාය වනු ඇත.
"ආරම්භයේ සිටම, APFSL රාජ්ය අංශයේ ගණකාධීකාරීවරුන්ගේ සහ විගණකවරුන්ගේ වෘත්තීය නිපුණතා සහ ප්රවීණත්වය වර්ධනය කිරීමෙහිලා ඉදිරියෙන්ම සිටින අතර, ශ්රී ලංකා රාජ්ය අංශයේ ගිණුම්කරණ ප්රමිතීන් ප්රකාශයට පත් කිරීම සංගමය විසින් දියත් කරන ලද පෙරළිකාර මුල පිරීම් රාශියක් අතරින් මුල් තැනක් ගන්නවා. APFASL දියත් කරන ලද රාජ්ය මූල්ය කළමනාකාරීත්වය විශිෂ්ටත්වය කරා ගෙනයාමට සහය වන අතරම එම අංශයට ශ්රී ලංකාව තුළ පුරෝගාමී කාර්යභාරයක් ඉටුකිරීමට උපකාර කිරීමේ දැක්ම ඇතිවයි. එනිසා, අපගේ උත්සාහය පිළිගැනීමට ලක් කිරීම පිළිබඳව USAID වෙත මගේ කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා”, යනුවෙන් APFASL හි සභාපති වී. කනගසබාපති මහතා පැවසීය.
June, 16, 2022
ගෝලීය මට්ටමින් තාක්ෂණික නව්ය ව්යවසායක සංවර්ධන පරිසර පද්ධති (Startup Ecosystems) ඇති රටවල් අතුරින් ශ්රී ලංකාව, පුහුණු ශ්රම බලකායක් ඇති ප්රධාන රටවල් පහ අතරට එක්වී ආසියානු මට්ටමින් දෙවන රට බවට පත්ව ඇති බව අන්තර් ජාතික 2022 Global Startup Ecosystem Report (GSER) නවතම වාර්තාව අනාවරණය කරයි. මෙම වාර්තාව ජුනි 14 දා ලන්ඩනයේ ඇරඹුන London Tech Week උළෙලේදී එළිදැක්විණ.
GSER යනු 280 වැඩි තාක්ෂණ ව්යවසායක නවෝත්පාදන පරිසර පද්ධති සහ මිලියන 3ක් පමණවූ නවොත්පාදක ව්යාපාර (Startup) පිළිබඳ දත්ත මත පදනම්ව විශ්ලේෂණය කරන ලෝකයේ වඩාත්ම ප්රචලිත වූ පර්යේෂණ වාර්තාවයි. මෙම වාර්තාවට අනුව ලෝකයේ ප්රමුඛ පෙළේ පරිසර පද්ධති (Startup Ecosystem) 140 ශ්රේණිගත කර තිබේ. එමෙන්ම ඒ පිළිබද වූ ගෝලීය මට්ටමේ ප්රමුඛ විශේෂඥයින්ගේ විශ්ලේෂණ ලිපි ඇතුළත්කර තිබේ. මෙම වාර්තාව සදහා (GSER 2022) ශ්රී ලංකාවේ ව්යවසායක පරිසර පද්ධතිය වර්ධනය පිළිබද තොරතුරු Startup Genome සමඟ එක්ව ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සපයා ඇත.
Global Entrepreneurship Network (GEN), Deal room සහ Crunch base සමඟ හවුල්කාරිත්වයෙන් GSER නිර්මාණය වී තිබේ. GSER 2022 වාර්තාව මගින් ඒ ඒ රටවල, රැකියා උත්පාදනයේ සහ ආර්ථික වර්ධනයේ ප්රමුඛ සාධකයක් වන ආරම්භක තාක්ෂණික ප්රජාවන් (startup communities) පෝෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ රාජ්ය සහ පෞද්ගලික අංශයේ මෙහෙයුම්කරුවන්ට අවබෝධය සහ මාර්ගෝපදේශ සපයයි.
ඒ අනුව ශ්රමබලකායේ හැකියාව ඒ සදහා ඇති වෙළඳපල අවස්ථා විශ්ලේෂණය අනුව ශ්රී ලංකාව ගෝලීය පරිසර පද්ධතිය ක්රියාවලියේ ඉහලම වර්ධනයක් අත්කරගත් රටවල් 5 අතරටත් ආසියාවේ දෙවන තැනටත් එක්ව සිටියි.
මුල් අදියරේ අරමුදල් සහ ආයෝජකයාගේ ක්රියාකාරකම් හරහා නවෝත්පාදනය මැනීමේ තක්සේරුව අනුව ආසියාවේ ඉහලම නැගී එන පරිසර පද්ධතිය ඇති රටවල් 25 අතරටත් දක්ෂතා හා පලපුරුද්ද අතින් ආසියාවේ රටවල් 30 අතරත් එක්ව තිබේ. මෙම අංශයේ වර්ධනය සදහා බලපාන මුලික සාධක 11 ක් පාදක කර ගනිමින් GSER2022 වාර්තාව මෙම ඇගයුම් සිදුකර තිබේ.
එහිදී ඉහල කාර්ය සාධනයත්, දිගුකාලීන ප්රවණතා සහ පරිසර පද්ධතිය තුළ දක්ෂතා උත්පාදනය කිරීමට හා පවත්වාගන යාමට ඇති හැකියාව මැන බලයි. එමෙන්ම අරමුදල් යෙදවීම් මත පරිසර පද්ධතිවල විශාලත්වය, ව්යාපාරවල ක්රියාකාරිත්වය හා වටිනාකම විමසුමට ලක් කෙරේ. මේ අනුව 2019 ජූලි 01 සිට 2021 දෙසැම්බර් 31 දක්වා මෙරට මෙම නව ආරම්භක පරිසර පද්ධති වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 228ක් බව වාර්තාකොට තිබේ. එහිදී කෘෂි හා ඒ ආශ්රිත නිෂ්පාදන අංශය ඉහල දායකත්වයක් දක්වා ඇත.
සංචාරක ආයෝජන අංශයේ ඉහල පිළිගැනීමක් ඇති ඩිජිටල් නෝමැඩ් (Digital Nomad) ක්රියාත්මක රටවල් අතරින් ශ්රී ලංකාව දෙවැනිව ඇත්තේ තායිලන්තයටයි. 2021 ජර්මනියේ Asia Berlin සමුළුවේදී "Nomad4LK ඩිජිටල් නොමෑඩ් තානාපති තරඟය පැවැත්විණි. මෙම ඇගයුම් ක්රියාවලියට යොමුවූ තවත් වැදගත් අංශයක් වන්නේ පුරවැසි දත්තවල පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා වගවීම සහතික කිරීමයි. එ සදහා මෑතකදී සම්මත කරගත් පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ඉහළ පිළිගැනීමකට ලක්ව තිබේ. ඉහල අවධානයක් යොමුව ඇති මෙරට කෘෂි අංශයේ ඩිජිටල් පාධක වර්ධනය සදහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමග දියත්කර ඇති කෘෂි දත්ත කළමනාකරණ පද්ධති සහ ඩිජිටල් උපාය මාර්ග සංවර්ධනය සැලසුම් මෙම වාර්තාවේ ඇගයුමට ලක්වූ තවත් අංශයකි. පසුගිය වසරේ නොවැම්බරයේ පැවති Global Startup සම්මාන උළෙලේදී Hatch හට පිරිනැමුණු හොඳම වැඩ කිරීමේ අවකාශය (Best Co-working space) සදහා වූ සම්මානය ද මෙම අන්තර් ජාතික ඇගයුම සඳහා පාදක කරගෙන තිබුණි.
“ශ්රී ලංකාවේ ආරම්භක සංවර්ධන උපාය මාර්ගය, ආරම්භක-හිතකාමී ප්රතිපත්ති, Startup Ecosystem ඇපකර නොමැති ණය මුල්යකරණය, නවීන තාක්ෂණ උද්යාන සංවර්ධනය කිරීම වැනි අප මෑතකාලයේ ගත් ක්රියාමාර්ග මෙම ජයග්රහණයන්ට හේතු වූ බව ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා පෙන්වා දෙයි. මෙහිදී Startup Genome හි පරිසර පද්ධති සංවර්ධන ප්රධානී Stephan Kuester මහතා අදහස් දක්වමින් කියා සිටියේ "ගෝලීය ආර්ථික පරිවර්තන විශේෂඥයින් සහ ප්රතිපත්ති උපදේශකයින් වශයෙන්, 2022 ගෝලීය ආරම්භක පරිසර පද්ධති වාර්තාවට අනුව ශ්රී ලංකාව ක්රියා කර ඇති ආකාරය ගැන අතිශයින් ආඩම්බර වන බවයි. ඔවුන්ගේ දේශීය නියෝජිතයන් සමග එක්ව, ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, කටයුතු කල ආකාරය මෙම සාර්ථකත්වය ට හේතුව බව ඔහු වැඩිදුරත් පෙන්වාදෙන ලදී .
සම්පූර්ණ වාර්තාව මෙතැනින් බලන්න: https://startupgenome.com/report/gser2022
June, 16, 2022
2022 වසරේ අප්රේල් මාසයේ දී ආනයන වියදම වාර්ෂික ලක්ෂ්යමය පදනම මත අඛණ්ඩව දෙවන මාසයටත් අඩු වීමක් වාර්තා කළ අතර, අපනයන ඉපැයීම් ඉහළ ගියේය. රේගුවෙන් ලද මූලික දත්තවලට අනුව, ආනයනවල අඩුවීම 2022 වසරේ මැයි මස තවදුරටත් ශීඝ්ර වී ඇත. එහි ප්රතිඵලයක් වශයෙන්, වෙළඳ හිඟය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. මේ අතර, සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ පෙර මාසයට සාපේක්ෂව 2022 වසරේ අප්රේල් මාසයේ දී මධ්යස්ථ ක්රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, විදේශීය ජංගම ගිණුමේ ස්ථායීතාවයට සහය දක්වමින් 2022 මැයි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ යළි ඉහළ ගියේය. 2022 වසරේ අප්රේල් මාසයේ දී රාජ්ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළේ අඛණ්ඩ පීඩනය සැලකිල්ලට ගනිමින්, අවිධිමත් වෙළඳපොළේ ක්රියාකාරකම් සීමා කිරීමට සහ නිල සහ අවිධිමත් වෙළඳපොළ විනිමය අනුපාතික අතර පරතරය අඩු කිරීමට උපකාරී වූ විවෘත ගිණුම් සහ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත සිදුකල ආනයනයන් සීමා කිරීම් ඇතුළු ක්රියාමාර්ග 2022 වසරේ මැයි මාසයේදී මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. තවද, පෙර දින අන්තර් බැංකු වෙළඳපොළේ තීරණය වූ විනිමය අනුපාතිකය මත පදනම්ව, මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින සිට සියලුම බලපත්රලාභී වාණිජ බැංකුවලට විචලන මට්ටම (දෙපසටම අදාළ විචලන සීමා ඉඩ හැරීම් සමඟ) පිළිබඳව දෛනික මාර්ගෝපදේශ සැපයීම ආරම්භ කරන ලදී. මෙම ක්රියාමාර්ග හේතුවෙන් විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය වර්ධනය වී ඇත.

වෙළඳ ශේෂය: හදිසි නොවන ආනයන අධෛර්යමත් කිරීමේ ප්රතිපත්තිමය ක්රියාමාර්ගවල සහාය ඇතිව 2022 වසරේ අප්රේල් මාසයේ දී අඛණ්ඩව සිව්වන මාසයටත් වෙළඳ හිඟය මාසික ලක්ෂ්යමය පදනම මත පහළ යෑමක් වාර්තා කළේය. වෙළඳ ගිණුමේ හිඟය, 2021 වසරේ අප්රේල් මාසයේ දී වාර්තා වූ එ. ජ. ඩොලර් මිලියන 889ක හිඟයට සාපේක්ෂව, 2022 වසරේ අප්රේල් මාසයේ දී එ. ජ. ඩොලර් මිලියන 729ක් දක්වා පහළ ගියේය. කෙසේ වුව ද, 2022 වසරේ ජනවාරි මාසයේ සිට අප්රේල් මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ වෙළඳ ගිණුමේ සමස්ත හිඟය, 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එ. ජ. ඩොලර් මිලියන 2,948 සිට එ. ජ. ඩොලර් මිලියන 3,131ක් දක්වා පුළුල් විය. වෙළඳ ගිණුමේ සමස්ත හිඟය පුළුල් වීම සඳහා බලපෑ ප්රධාන අයිතම රූප සටහන 1 මගින් දැකවේ.
වෙළඳ මිල අනුපාතය: අපනයන සහ ආනයන මිල ගණන් අතර අනුපාතය දැක්වෙන වෙළඳ මිල අනුපාතය, 2021 වසරේ අප්රේල් මාසයට සාපේක්ෂව 2022 වසරේ අප්රේල් මාසයේ දී සියයට 10.6කින් පහළ ගිය අතර, අපනයන මිල ගණන් ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන මිල ගණන් ඉහළ යෑම මේ සඳහා හේතු විය.

සමස්ත අපනයන: 2022 වසරේ අප්රේල් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම, එ. ජ ඩොලර් මිලියන 970ක් දක්වා 2021 වසරේ අප්රේල් මාසයට සාපේක්ෂව සියයට 18.5කින් වර්ධනය විය.
කාර්මික අපනයන සහ කෘෂීකාර්මික අපනයන ඉපැයීම්වල වර්ධනයක් දක්නට ලැබුණු අතර, ඛනිජමය අපනයන වල පහළ යෑමක් දක්නට ලැබුණි. 2022 වසරේ ජනවාරි මාසයේ සිට අප්රේල් මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ සමස්ත අපනයන ආදායම, පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ පාවති එ. ජ. ඩොලර් මිලියන 4,219ය සාපේක්ෂව සියයට 11.0කින් ඉහළ ගියේය.
කාර්මික අපනයන: කාර්මික භාණ්ඩ අපනයන ආදායම, 2021 වසරේ අප්රේල් මාසයට සාපේ්ක්ෂව 2022 වසරේ අප්රේල් මාසයේ දී සියයට 29.1 කින් ඉහළ ගියේය. කාර්මික භාණ්ඩ බොහෝමයක අපනයන ආදායම ඉහළ ගිය අතර, සමස්ත වැඩි වීම සඳහා ඇඟලුම් සහ ඛනිජ තෙල් නිෂ්පාදිත ප්රධාන වශයෙන් හේතු විය. කෙසේ වෙතත්, මුද්රණ කර්මාන්තය ආශ්රිත නිෂ්පාදිත සහ ප්ලාස්ටික් සහ ඒ ආශ්රිත නිෂ්පාදිත යන කාණ්ඩවලින් ලැබුණු ඉපැයීම් වල පහල යෑමක් වාර්තා විය. ඇඟලුම් අපනයන සම්බන්ධ සියලුම ප්රධාන වෙළඳපොළ ( එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානීය ) වෙත සිඳු කළ අපනයන වර්ධනය විය. නැව් සහ ගුවන්යානා සඳහා යොදාගනු ලබන ඉන්ධනවල අපනයන මිල ගණන් සහ පරිමාවන් යන දෙඅංශයෙහිම ඉහළ යෑම හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයනබ ආදායම වර්ධනය විය.
කෘෂිකාර්මික අපනයනය: 2022 වසරේ අප්රේල් මාසයේ දී කෘෂිකාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද සමස්ත ආදායම, 2021 වසරේ අප්රේල් මාසයට සාපේක්ෂව සියයට 7්.3කින් ඉහළ ගියේය. මෙම ඉහළ යෑම සඳහා ප්රධාන වශයෙන් පොල් (ප්රධාන වශයෙන්, දිසිිදි පොල්, පොල් කෙඳි, පොල් තෙල්), සහ සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත (ප්රධාන වශයෙන්, පුවක්, තල ඇට සහ ශාක සහ ශාක කොටස්) සහ මුහුදු ආහාර හේතු විය. 2022 වසරේ අප්රේල් මාසයේ තේ අපනයන ආදායම සියයට 1.5කින් (වාර්ෂික ලක්ෂ්යමය පදනම මත) සුළු වශයෙන් වැඩි වූ අතර, අපනයන මිල ගණන් අඩු වීම මධ්යෙය් වුවද අපනයනය කරන ලද තේ පරිමාව ඉහළ යෑම මෙම වර්ධනය සඳහා හේතු විය. මේ අතර, සකස් නොකළ දුම්කොළ, කුළුබඩු (ප්රධාන වශයෙන්, ගම්මිරිස් සහ කරාබුනැටි) සහ එළවළු අපනයනයෙන් ලද ආදායම 2022 වසරේ අප්රේල් මාසයේ දී පහළ යෑම් වාර්කා කළේය.
ඛනිජ අපනයනය: ප්රධාන වශයෙන්, ලෝපස්, ලෝබොර සහ අළු කාණ්ඩය යටතේ වර්ග කරන ලද ටයිටේනියම් ලෝපස් අපනයන ආදායම පහළ යෑම හේතුවෙන් 2021 වසරේ අප්රේල් මාසයට සාපේක්ෂව 2022 වසරේ අප්රේල් මාසයේ දී ඛනිජ අපනයන ආදායම ආසන්න වශයෙන් අඩක් දක්වා අඩු විය.
අපනයන දර්ශකය: අපනයන ආදායම ඉහළ යෑම සඳහා ප්රධාන වශයෙන් අපනයන මිල ගණන් ඉහළ යෑම හේතු වූ බව නිරූපණය කරමින්, 2022 වසරේ අප්රේල් මාසයේ දී වාර්ෂික ලක්ෂ්යමය පදනම මත , අපනයන පරිමා දර්ශකය, පිළිවෙළින් සියයට 5.9 කින් සහ සියයට 11.2කින් (වාර්ෂික ලක්ෂ්යමය පදනම මත) ඉහළ ගියේය.
June, 15, 2022
2022 මැයි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ ලැබීම් හි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ. ශ්රී ලංකා මහ බැංකුවේ වාර්තාවකට අනුව පසුගිය මැයි මාසය තුළ දී වාර්තා වන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ ලැබීම් ප්රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 304.1 ක් වේ. මෙය 2022 අප්රේල් මාසයේ ලද අගය වූ ඩොලර් මිලියන 248.9 ට වඩා 22.17% ක වර්ධනයකි.
කෙසේ නමුත් 2021 මැයි මාසයේ ලද ඩොලර් මිලියන 460.1 ක්වූ ප්රේෂණ ප්රමාණයට වඩා 2022 මැයි මාසයේ ලද ප්රමාණය 33.9% ක පහළ යාමක් වාර්තා කරයි.

වාර්ෂික පදනම මත ඩොලර්වලින් ලද ප්රේෂණ ලැබීම් හි පහළ යාමක් මැයි මාසයේ දී වාර්තා වුවද රුපියල් පදනම අනුව විදෙස් ප්රේෂණ ලැබීම් ඉහළ ගොස් තිබීම සුවිශේෂී තත්ත්වයකි.
එනම් 2021 මැයි මාසයේ දී ලද ප්රේෂණවල රුපියල් වටිනාකම රු. බිලියන 91.8 ක් වන අතර එය 2022 මැයි මාසයේ දී රු. බිලියන 109.2 ක් දක්වා 19% ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
2021 මැයි මාසය වන විට ඩොලරයක රුපියල් වටිනාකම රු. 203 ක් පමණ වූ අතර අද වන විට එය රු. 350-360 ක් දක්වා වැඩි වී තිබීම හේතුවෙන් මෙරටට විදේශ විනිමය එවනු ලබන පුද්ගලයින්ට වැඩි රුපියල් අගයයක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබීම මීට හේතු වී ඇත.
2022 මුල් මාස 05 තුළ දී ලැබී ඇති විදේශීය ප්රේෂණවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1,335.6 ක් වන අතර එය රු. බිලියන 363.7 ක වටිනාකමකට සමාන වේ.
June, 15, 2022
කොළඹ නෙළුම් කුළුණෙහි ‘පදනම‘ හා ‘ටවර් හවුස්‘ යන ස්ථානයන්ට අයත් කොටස් බදු හෝ කුලී පදනම මත ලබා දීමට තීරණය කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම පවසයි.
මීටර 350 ක උසකින් යුතු කොළඹ අගනුවර මධ්යයේ පිහිටා තිබෙන මෙම කුළුණ ප්රධාන සංචාරක මධ්යස්ථානයක් ලෙස විවෘත වන විට විශාල විදේශීය සහ දේශීය නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ආකාරයේ සුවිශේෂී එකක වනු ඇති බවට කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව කුළුණෙ හි බිම් මහලෙහි පිහිටි ස්මාරක අලෙවිසැලක්, භෝජනාගාර 3ක් හා ප්රදර්ශන ගැලරියක්ද, 1 වන මහලෙහි පිහිටි ඩිජිටල් බැංකුකරණ ඒකක 5ක්, ඉ-ක්රීඩා වේදිකාවක්, කෝපි හල් 3 ක්, නවෝත්පාදන මධ්යස්ථාන 3ක්, 7D සිනමා හලක් හා ඩිජිටල් කෞතුකාගාරයක් ද, එහි දෙවන මහලෙහි පිහිටි උත්සව ශාලාවක්/ ප්රදර්ශන කලාපයක් සහ රැස්වීම් ශාලාවක් ද බදු/ කුලී පදනම මත ලබා දීමට අපේක්ෂිත ඒකකවලට අයත් වේ. මීට අමතරව කුළුණේ පදනමෙහි රූෆ්ටොප් කොටසෙහි පිහිටි භෝජන ශාලා/ අවන්හල් 5 ක් ද බදු/ කුලී දීමට ඇත.
නෙළුම් කුළුණෙහි තෙවන මහලේ සිට සයවන මහල දක්වා මහල් අයත් වන්නේ ‘ටවර් හවුස්‘ කොටසටයි. මෙහිදී තෙවන හා සිව්වන මහල් හි පිහිටි උත්සව ශාලා/ අවන්හල් 1 බැගින් ද, පස්වන මහලෙහි පිහිටි කැරකෙන අවන්හලක් ද බදු/ කුලී දෙන කොටසට අයත් වේ.
එමෙන්ම 06 වන මහලෙහි පිහිටි සුඛෝපභෝගී කාමර 6 ක් බදු/ කුලී දීමට ද සමාගමේ කළමනාකාරීත්වය අපේක්ෂා කරයි.
සම්පූර්ණ රජය සතු සමාගමක් වන කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම, ඉහත කී හිස් අවකාශයන් බදු දීම හෝ කුලියට දීම සඳහා ඊට උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන් හෝ සමාගම්වලින් අභිලාශ ප්රකාශ කිරීමට ඇරයුම් කර සිටී.
මෙම අභිලාෂය ප්රකාශ කිරීමේ ඉදිරිපත් කිරීම් 2022 ජූනි 30 දින පැය 1500ට අවසන් වන බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම වැඩිදුරටත් පවසයි.
June, 15, 2022
ZTE වෙළඳපොළට හඳුන්වා දුන් ස්මාර්ට් දුරකථන මාදිලි අතර සුවිශේෂී මාදිලියක් වන ZTE Blade V30 මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්රී ලාංකික පාරිභෝගිකයන්ටද උදා වී තිබේ. ZTE Blade V30 ස්මාර්ට් දුරකථන දිවයින පුරා පිහිටි සිංගර් ප්රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් මිලදී ගත හැක.
4GB RAM සහ 128GB ROM සහිත ZTE Blade V30 මාදිලියේ වඩාත්ම කැපීපෙනෙන අංග දෙකක් වන්නේ, එහි සුවිශේෂී කැමරාව සහ දර්ශන තිරයයි. එහි යොදා ඇත්තේ 6.67” Full HD 20:9, 2400*100+ Punch Hole Display වර්ගයේ දර්ශන තිරයකි. මෙය දුරකථනය භාවිතා කරමින් වීඩියෝ දර්ශන නැරඹීම, සමාජ මාධ්ය පරිශීලනය කිරීම ආදිය සිදුකරන කොයිකාටත් පෙර නොවූවිරූ සුවිශේෂී අත්දැකීමක් ගෙනෙනු ඇත.
ජීවිතයේ සුවිශේෂී අවස්ථා කැමරාවට හසුකර ගැනීම අද දවසේ අප කාගේත් ජීවන රටාවන්හි අනිවාර්ය අංගයකි. ZTE Blade V30 මාදිලියෙහි පසුපස යොදා ඇති 64MP+8MP+5MP+2MP කැමරා පද්ධතිය, ඡායාරූප සහ වීඩියෝ දර්ශන නවතම මානයක් වෙත රැගෙන යයි. මේ නිසා ZTE Blade V30 භාවිතා කරන්නන්ට, තම ජීවිත වල සදානුස්මරණීය මොහොතවල් සදාතනික කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. තවද සෙල්ෆි ඡායාරූප සඳහා මෙහි ඉදිරිපස 16MP AI Quad Front කැමරාවක් ද සහිතව ඔබ අතට පත් වේ.
මෙහි Full HD දර්ශන තිරය වර්තමාන සංකීර්ණ ඩිජිටල් ජීවන රටාවන්ට නව අරුතක් ලබාදීමට සමත් සුවිශේෂී දර්ශන තිරයක් ලෙස හැඳින්විය හැක. විශේෂයෙන්ම ව්ලොග්කරණයෙහි යෙදෙන සහ ටික් ටොක් වැනි Apps නිතර භාවිතා කරන කාටත් මෙය බෙහෙවින් ප්රයෝජනවත් වනු නිසැක ය.
ZTE Blade V30 මාදිලියට 5000mAh බැටරියක් යොදා ඇති නිසා, එක් ආරෝපණ වාරයකින් අනතුරුව දීර්ඝ කාලයක් දුරකථනය භාවිතා කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ. එමෙන්ම අද දවසේ කාර්යබහුල ජීවිත ගතකරන කාටත් අත්යවශ්යම පහසුකමක් වන Fast Charging තාක්ෂණයද මීට යොදා ඇත.
Android R මෙහෙයුම් පද්ධතියක් සහිත ZTE Blade V30 මාදිලිය දැන් රු. 73,999/- කට, Gradient, Blue සහ Black යන වර්ණ වලින් මිලදීගත හැකි වේ. ශ්රී ලංකාවේ පාරිභෝගිකයන්ට www.singersl.com වෙබ් අඩවිය ඔස්සේ හෝ සිංගර් ප්රදර්ශනාගාර සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙතින් ZTE ස්මාර්ට් දුරකථන මිලදීගත හැක.
ZTE යනු ලොව දුරකථන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්ර සම්බන්ධ ප්රමුඛයෙකි. 1985 දී ආරම්භ වූ එම සමාගම Hong Kong සහ Shenzhen කොටස් වෙළඳපළවල ලැයිස්තුගත වී තිබේ. ZTE සමාගම පාරිභෝගික ඉලෙක්ට්රොනික භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කර තවමත් දීර්ඝ කාලයක් ගත වී නොතිබුණද, වසර 20 කට අධික කාලයක් තිස්සේ එම සමාගම මෙරට දුරකථන සමාගම් සඳහා උපකරණ හා උපාංග සපයා තිබේ. මේ වනවිට රටවල් 160 කට අධික සංඛ්යාවක පාරිභෝගිකයන්, සමාගම් හා ආයතන සමග ගනුදෙනු කරන ZTE සමාගමේ දැක්ම වන්නේ, සියලුම දෙනා වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම ය.
June, 15, 2022
අද වන විට ලෝකය මුහුණදෙන ප්රධානතම අර්බුදයක් ලෙස ප්ලාස්ටික් අපද්රව්ය බැහැර කිරීම සැලකිය හැකිය. ප්ලාස්ටික් අපද්රව්ය බැහැර කිරීම අවම කිරීම උදෙසා විවිධ ක්රම අනුගමනය කරනු ලබයි. ඒ අතර ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, නැවත නැවත භාවිතා කිරීම සහ ප්රතිචකී්රයකරණය කිරීම ආදී සාම්ප්රදායික ක්රමවේද මෙන්ම 100% ක් ස්වභාවික දෑ මඟින් නිෂ්පාදනය කරනු ලබන compostable ප්ලාස්ටික් වැනි නවීන ක්රමෝපායන් ද ප්රධාන වේ. ඉන් ඔබ්බට ගොස් වර්තමානය වන විට ජෛව හායනය වැනි අති නවීන ක්රම ද ඉදිරියට පැමිණ ඇති අතර නිෂ්පාදන කි්රයාවලියට කිසිදු බාධාවක් නොවන ලෙස මෙම ක්රමය භාවිත කළ හැකි වීම විශේෂත්වයකි.
Hayleys Aventura විසින් ප්ලාස්ටික් අපද්රව්ය බැහැර කිරීම නිසා ඇති වන අර්බුදයට එරෙහිව මෙම ජෛව හායනය භාවිතා කරමින් Eco-One නමින් නව නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත.
නිෂ්පාදන ක්රියාවලියේදී යොදන කාබනික ආකලන (The organic additive), ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදනවල ජෛව හායනය වැඩි දියුණු කරයි. මෙමඟින් ශතවර්ෂ ගණනාවක් ගත වන දිරායාමේ කාල සීමාව වසර කිහිපයක් දක්වා අඩු කර ගත හැකිය. Eco-One පොලිමර් නිෂ්පාදන ක්ෂුද්රජීවීන් සහිත පරිසරයකට බැහැර කළ පසු කාබනික ආකලන විසින් ක්ෂුද්ර ජීවීන් ආකර්ෂණය කරයි. මෙම ක්ෂුද්ර ජීවීන් විසින් ආකලන පරිභෝජනය කරන අතරම ඒවා නිෂ්පාදනයේ කාබන් සහ හයිඩ්රජන් පරමාණු අතර ඇති රසායනික බැඳීම් බිඳ දමනු ලබයි. මූලද්රව්ය ද පරිභෝජනය කරයි. එහි ප්රතිඵලයක් ලෙස ද්රව්ය දිරාපත් වේ.
නව්ය කාර්මික විසඳුම් සහ තාක්ෂණය සැපයීමේ ප්රමුඛයා ලෙස Hayleys Aventura ශ්රී ලාංකේය නිෂ්පාදකයින්ගේ තිරසාර ප්රයත්නයන් ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බව Hayleys Aventura (Pvt) Ltd කළමනාකාර අධ්යක්ෂ වසභ ජයසේකර මහතා පැවසුවේය. ”අපගේ ජාතික ආර්ථිකයේ වර්ධනය උදෙසා පරිසර දුෂණය අවම කිරීමට පුද්ගලික අංශය ක්රියාකාරී භූමිකාවක් ඉටු කිරීම වැදගත් වන අතර Eco-One ඔවුන්ට ඒ සඳහා හොද විසඳුමක් සපයනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.
Eco-One වලින් 1%ක් පමණක් ප්ලාස්ටික් සංයෝගයට එකතු කිරීමෙන් මාස 18ක් ඇතුළත භාණ්ඩය 70% ක් දිරාපත් වන අතර ආසන්න වශයෙන් වසර 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම දිරාපත් වේ.
පොලිප්රොපිලීන් (PP) පදනම් වූ ආහාර බහාලූම්, යෝගට් කෝප්ප (පොලිස්ටයිරින්), පොලිතින් බෑග්, ලන්ච් ෂීට් සහ බහුලව භාවිතා වන පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) බෝතල් නිෂ්පාදන ක්රියාවලියේදී මෙන්ම බොහෝ වර්ගවල අගය එකතු කළ රබර් නිෂ්පාදනය උදෙසා ද Eco-One භාවිතා කළ හැකිය. එමෙන්ම එය පාවහන්, නයිලෝන් නූල් සහ අනෙකුත් කොටස් වෙනුවෙන් ද භාවිතා කළ හැකිය.
Eco-One ක්රියාවලිය සහ එහි අවශේෂ දැඩි ලෙස පරීක්ෂා කර ඇති අතර පසට හෝ පරිසරයට අහිතකර බලපෑමක් නොමැති බවට සහතික කර ඇත. එම පරීක්ෂණයකදී අනාවරණය වූයේ සාමාන්ය පසට වඩා Eco-One හි අවශේෂ පසේ සරුසාර ලෙස ශාක වර්ධනය වන බවයි. ඒ අනුව පෙනී යන්නේ ප්ලාස්ටික් භාවිතය නැති කිරීම ප්රායෝගික නොවන අතර Eco-One භාවිතයෙන් ප්ලාස්ටික් නිෂපාදනය කිරීම ප්ලාස්ටික් අපද්රව්ය බැහැර කිරීමේ අර්බුදයට වඩාත් තිරසාර විසඳුමක් බවයි.
දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (SAARC) රටවල්, ඉන්දුනීසියාව සහ මියන්මාරය සඳහා Eco-One හි වරලත් නියෝජිත Hayleys Aventura, එක්සත් ජනපදය සහ යුරෝපය ඉලක්ක කර ගනිමින් ශ්රී ලංකාවේ අපනයන අංශයේ ගනුදෙනුකරුවන්ට දැනටමත් Eco-One ලබා දෙයි. ප්රධාන අපනයනකරුවන් කිහිප දෙනෙකු දැනටමත් ඔවුන්ගේ ඇසුරුම් නිෂ්පාදනය කිරීමේදී Eco-One භාවිතා කරනු ලබයි.
ප්ලාස්ටික් තිරසාර ලෙස බැහැර කිරීමේ යාන්ත්රණයක් ලෙස Eco-One සමහර සංවර්ධිත ආර්ථිකයන් සහිත රටවල භාවිතා වෙයි. Eco-One විසින් ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදනවල රසායනික හෝ භෞතික ගුණ කෙරෙහි අහිතකර බලපෑමක් නොමැති බැවින් එම නිෂ්පාදනවල ශක්තිය සහ අනෙකුත් දර්ශක අනුව එම නිෂ්පාදනවල ඵලදායීතාවය නොවෙනස්ව පවතී.
සැලකිය යුතු කරුණක් නම් මෙම Eco-One ආකලන භාවිතයෙන් නිපදවන නිෂ්පාදන ප්රතිචක්රීයකරණය කළ හැකි අතර, මෙම ක්රියාවලිය විසින් නිපදවන අතුරු නිෂ්පාදන වන්නේ මීතේන් සහ කාබන් ඩයොක්සයිඞ් පමණි.
Hayleys Aventura නියෝජනය කරන්නේ Hayleys PLC හි කාර්මික යෙදවුම් සහ බලශක්ති අංශයයි. සමාගම ශ්රී ලංකාවේ ප්රමුඛතම කාර්මික විසඳුම් සපයන්නා ලෙස ක්ෂේත්රයේ ඉදිරියෙන් සිටින අතර විවිධාංගීකරණය වූ උපාය මාර්ගික ව්යාපාරික අංශ පහකින් සමන්විත වන අතර Engineering Solutions, Hayleys Lifesciences Ltd, Raw Materials, Haycolour සහ Renewable Energy එම අංශයන්ය.
June, 15, 2022
ශ්රීලංකන් ගුවන් සමාගම UL 504 ගුවන් යානය පිළිබඳ නිකුත් කරන විශේෂ මාධ්ය නිවේදනය
ශ්රීලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය, තවත් ගුවන් යානයක් හා ගැටීමට තිබූ අවස්ථාවක් මඟහරවාගැනීම පිළිබඳ පළවන මාධ්ය වාර්තා සම්බන්ධයෙන් ශ්රීලංකන් ගුවන් සමාගමේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව, 2022 ජුනි 13 වැනිදා, ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ ශ්රීලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානයේ නියමුවන් කිසිදු උපද්රවයකින් තොරව එම ගුවන් යානය හැසිරවීමට සමත් වූ බව අපි තහවුරු කරන්නෙමු.
කෙසේ නමුත්, ඇතැම් මාධ්ය වාර්තාවල දැක්වෙන ආකාරයට ගුවනේදී UL 504 ගුවන් යානය තවත් ගුවන් යානයක ගැටීමේ අවදානමක් කිසි ලෙසකින්වත් මතු නොවූ බව ද අවධාරණය කරනු කැමැත්තෙමු. අපගේ ගුවන් නියමුවන්ගේ විචක්ෂණශීලීභාවයත්, ගුවන් යානය සතු අති නවීන සන්නිවේදන පද්ධතියත් මගින් එම යානය ආරක්ෂිතව පියාසර කිරීමේ අවස්ථාව සැලසිණි.
තව ද, යානය තුළ සිටි මගීන්, කාර්ය මණ්ඩලය මෙන්ම වටිනා උපකරණ ද ආරක්ෂා කරගනිමින්, අදාළ අනතුර වළක්වාගැනීමට සමත් වූ UL 504 හි ගුවන් නියමුවන්ට ශ්රීලංකන් ගුවන් සේවයේ නොමඳ ප්රශංසාව හිමි වේ.
June, 15, 2022
පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන සැපයීම වෙනුවෙන් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්රවාහන මධ්යස්ථානයේ නව ඉන්ධන පිරවුම් හලක් අද (15) පෙරවරුවේ සිට ක්රියාත්මක වන බව ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද දින විකාශය වූ දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්යවරයා මේ බව පැවසීය.
මීට අමතරව පිටකොටුව බැස්ටියන් මාවතේ ද නව ඉන්ධන පිරවුම් හලක්, පුද්ගලික බස් රථ වෙනුවෙන් ඉන්ධන සැපයීම සඳහා අද පස්වරුවේ සිට ක්රියාත්මක කෙරනු ලබන බව ද අමාත්යවරයා මෙහිදී කියා සිටියේය.
June, 15, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2022 ජාතික ව්යාපාර නාමාවලිය (‘The Directory’ 2022) පසුගියදා එළිදක්වන ලදි. මෙරට ක්ෂුද්ර, සුළු හා මධ්යම පරිමාණ ව්යාපාරවල අලෙවිකරණ සහ දැන්වීම්කරණ අවශ්යතා එකම තැනකින් සපුරාලන සුවිශේෂී විසඳුමක් වන මෙය, SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) විසින් වැඩිදියුණු කර, නව මුහුණුවරකින් යුතුව හඳුන්වා දී තිබේ.
‘The Directory’ 2022 යනු ජාතික ව්යාපාරික දුරකථන නාමාවලියේ 2022 සංස්කරණය වන අතර, එය රටේ ව්යාපාරවල සාර්ථකත්වයට අත්වැලක් වන නවතම මෙවලම ලෙස හැඳින්විය හැක. පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට, නව අංග රැසක් සමගින් හඳුන්වා දී ඇති මෙහි ප්රධානතම අරමුණ වන්නේ, වර්තමාන සහ අනාගත පාරිභෝගිකයන්ටත්, ලියාපදිංචි ව්යාපාරවලටත් උපරිම ප්රතිලාභ ලබාදීම ය. මීට අමතරව මෙය මාර්ගගත නාමාවලියක් (rainbowpages.lk), මුද්රිත පොතක්, විද්යුත් පොතක්, ජංගම යෙදවුමක් සහ පැය 24 පුරා ක්රියාත්මක වන ඇමතුම් මධ්යස්ථාන සේවාවක් (SLT 1212, Mobile 444), ආදී වශයෙන් මාධ්ය කිහිපයක් ඔස්සේ පරිශීලනය කළ හැකි වීම තවත් විශේෂත්වයකි.
‘The Directory’ ශ්රී ලංකාවේ එකම ජාතික ව්යාපාර නාමාවලිය ලෙස සැලකේ. 6,000 කට අධික ව්යාපාර ආයතන සංඛ්යාවක් පිළිබඳ තොරතුරු සමගින් රටේ ආර්ථිකයේ සියලුම පැතිමාන නියෝජනය වන ආකාරයට භාණ්ඩ හා සේවා අංශ සම්බන්ධ දැන්වීම් 170,000කට අධික සංඛ්යාවක් මීට ඇතුළත් වී තිබේ. දිනකට එය මාර්ගගත ක්රමයට පරිශීලනය කරනු ලබන වාර ගණන 10,000කට අධික ය.
සැබවින්ම දේශීය වූ සෙවුම් යාන්ත්රණයක් තෝරාගැනීමට උනන්දු වූ, විශේෂයෙන්ම ගොඩනැගිලි ද්රව්ය, ඉදිකිරීම්, විදුලි සහ ඉලෙක්ට්රොනික වැනි ක්ෂේත්ර සහ උප ක්ෂේත්ර වලට සම්බන්ධ භාණ්ඩ හා සේවා සපයන්නන් විශාල පිරිසකගේ සම්බන්ධතා තොරතුරු 2022 ජාතික ව්යාපාර නාමාවලියට ඇතුළත් වී තිබේ. මෙය ව්යාපාර අතර ගනුදෙනු පහසු කරන අතර, Search Engine Optimization (SEO) ක්රමවේදය ඔස්සේ ක්ෂුද්ර, සුළු හා මධ්යම පරිමාණ ව්යාපාරවලට තම ව්යාපාර ප්රවර්ධනය කරගැනීම සඳහා අගනා අවස්ථාවක් ද ලබාදෙයි. මීට ඇතුළත් සමාගම් හා ආයතන ගූගල් සෙවුම්වලදී පහසුවෙන් සොයාගත හැකි ආකාරයට මෙම නාමාවලිය ගෝලීය ‘search engines’ සඳහා ‘optimize’ කර තිබේ. එමෙන්ම දැන්වීම් සඳහා මෙහි වැඩි ඉඩක් වෙන්කර ඇති නිසා මෙම ව්යාපාරවලට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම වඩාත් පහසු වනු ඇත.
මෙහි ලැයිස්තුගත වී සිටින සහ ලියාපදිංචි වූ ව්යාපාරවලට වැදගත් වන තවත් සාධකයක් වන්නේ එය රජයේ ටෙන්ඩර් සඳහා අයදුම් කිරීමට සුදුසුකමක් වීමයි. මේ සම්බන්ධ චක්රලේඛය දැනටමත් මහා භාණ්ඩාගාරය මගින් නිකුත් කර තිබේ.
“මීට පෙර අවසන් වරට ජාතික ව්යාපාර නාමාවලිය මුද්රණය කර බෙදාහරින ලද්දේ 2020 වසරේදීයි. මේ වනවිට ඩිජිටල් හා මාර්ගගත ක්රම සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මීට පෙර මුද්රිත නාමාවලියට දැන්වීම් ලබාදුන් සේවාදායකයන් අතරින් 80% ක්ම 2022 “The Directory” සහ එහි මාර්ගගත නාමාවලිය සඳහා දැන්වීම් ලබා දී තිබෙනවා. අපගේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් අඛණ්ඩව වටිනාකම් නිර්මාණය කිරීම අපගේ ප්රධානතම ක්රමෝපායික ප්රමුඛතා අතරින් එකක්. ඒ ඔස්සේ අපගේ වටිනා පාරිභෝගිකයන්ට තම සන්නාම පණිවිඩ වඩාත් හොඳින් ජනතාව අතරට ගෙනයාමට අත්වැලක් වීම සඳහා අප ඩිජිටල් අලෙවිකරණ විසඳුම්, වෙබ් විසඳුම්, සහ ‘Content Development’ ඇතුළු සේවා රාශියක් ලබාදෙනවා. ළඟදීම ‘Platform Based Solutions’ ඇතුළු තවත් නිෂ්පාදන හා සේවා රැසක් හඳුන්වාදීමටත් අප සූදානම්”, SLT Digital Services (පුද්.) සමාගමේ ප්රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.
SLT-DIGITAL යනු ඩිජිටල් අලෙවිකරණය, ව්යාපාර නාමාවලි දැන්වීම්කරණය, ඩිජිටල් නාමාවලි විසඳුම්, වෙබ් නිර්මාණ විසඳුම්, උත්සව කළමනාකරණය, සන්නාම සම්බන්ධ සේවා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ අලෙවිකරණ විසඳුම් පිරිනමන සමාගමකි. මෙරට ක්ෂුද්ර, සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර ප්රජාව අතර වඩාත්ම ජනප්රිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා අලෙවිකරණ විසඳුම් සපයන්නා බවට පත්වීම එම සමාගමේ අරමුණ වේ.
ඡායාරූපය: ජාතික ව්යාපාර නාමාවලියේ නවතම සංස්කරණය වන ‘The Directory’ 2022, SLT-DIGITAL ප්රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා විසින් SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්රනාන්දු මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව. SLT-MOBITEL සමූහ ප්රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ SLT ප්රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ යන මහත්වරුන් සමග SLT-DIGITAL හි කළමනාකාරීත්වයේ සාමාජිකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
Video Story