• Ada Derana BIZ Sinhala
  • SLIM
  • Small and Medium Enterprises
  • SME Development Awards
  • sri lanka

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අගයන්නට SLIM “SME Development Awards” සම්මාන උළෙල අරඹයි

November, 8, 2022

අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 30 දක්වා 

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අලෙවිකරණ දැනුමෙන් හා කුසලතාවයන්ගෙන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් දියත් කර ඇති ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM විසින් 2022 වසර සඳහා SME Development Awards (SMEDA) සම්මාන උළෙල සඳහා 2022 ඔක්තෝබර් 20 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා අයදුම්පත් කැඳවා තිබේ. ශ්‍රී ලාංකීය ආර්ථිකයේ ජීව නාලිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා ඔවුන් විකුණුම්කරණය, අලෙවිකරණය හා සන්නාමකරණය යන අංශයන් හි දක්වා ඇති කුසලතා අගයමින් පිරිනැමෙන SME Development Awards සම්මාන උළෙල ‘Nation Branding National Initiative’ සන්නාමකරණය පිළිබඳ ජාතික වැඩසටහන හා සමගාමීව දියත් කෙරෙන්නකි.

මෙවර SLIM SME Development Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විවිධ නිර්නායකයන් රැසක් ඔස්සේ අගය කිරීම අරමුණු කරගනිමින් “විශේෂ සම්මාන” සහ “ප‍්‍රමුඛතා සම්මාන” ලෙස ආකාර දෙකකින් සම්මාන පිරිනැමේ. තවද ජූරියේ ඉහළම ප‍්‍රසාද ලකුණු හිමිකරගන්නා ව්‍යවසායකයා වෙත “වසරේ විශිෂ්ඨතම සුළු/මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා” සම්මානයත් තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීමෙහිලා “වසරේ විශිෂ්ඨතම තරුණ ව්‍යවසායකයා” සම්මානයත් පිරිනැමේ.

SLIM සභාපති නුවන් ගමගේ මහතා සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වමින් “අපේ රටේ ආර්ථික සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් සිදුවන දායකත්වය මෙතෙකැයි කියා කියන්නට බැහැ. වාර්තා අනුව අපේ රටේ 75%  ක ප්‍රතිශතයක් ව්‍යාපාර, ඒ වගේම, අපනයනවලින් 20% කට වඩා, රැකියාවලින් 45% කට සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% කටත් වඩා දායකත්වය සපයන්නේ ඔවුන්. ව්‍යවසායකත්ව කුසලතා පැවතියද, සන්නාමකරණය, අලෙවිකරණ මූලිකාංග, නිෂ්පාදන හා සේවා වාණිජකරණ උපාය මාර්ග පිළිබඳ දැනුම අඩුකමත් ශී‍්‍ර ලාංකීය ආර්ථිකයේ සංවර්ධනයට තමා ලබාදෙන දායකත්වය නිසි ලෙස ඇගයීමකට ලක් නොකිරීමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ඉදිරිගමන වළක්වන සාධක ලෙස අපගේ අනෙකුත් සම්මාන උළෙලවල්  කි‍්‍රයාත්මක කරද්දී අප හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ හරහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින් එන අපනයන ප‍්‍රමාණය 20% වඩා වැඩි කරගැනීමට දිරිගැන්වීමෙන්, එය ගෙවුම් ශේෂ හිඟය අඩුකර ගැනීමට දිගු කාලීන උපාය මාර්ගයක් ලෙස භාවිතා කළ හැක.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය වැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නූතන අලෙවිකරණ උපාය මාර්ගයන් සමග ඉදිරියට යන්නට අත්වැලක් වෙමින් දිරිගැන්වීම සඳහා SLIM SME Development Awards සම්මාන උළෙල පවත්වනු ලබනවා. ඔවුන් ශක්තිමත් වීම හරහා අපේ රටේ ජාතික ආර්ථිකයත් ශක්තිමත් වෙනවා.” යැයි පැවසීය.

SLIM උප සභාපති ගයාන් පෙරේරා මහතා අදහස් දක්වමින් “සුළු සහ ම මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව, අපේ රටේ ආර්ථිකයේ ජීවනාලිය බඳුය. ඔවුන් සුළු ව්‍යාපාරිකයන් වශයෙන් හැඳින්වුවත්  ඔවුන්ගෙන් අපේ රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය සුළු පටු නොවේ. එමනිසා ආර්ථික දුෂ්කරතා වලින් පිරි මෙවන් කාලයක, ඔවුන් ඇගයීමට සහ දිරිගැන්වීමට සුදුසු වැඩසටහනක් නිර්මාණය කිරීම කාලෝචිත බව ජාතික අලෙවිකරණ ආයතනය ලෙස අපට හැඟී ගොස් තිබෙනවා” යැයි පැවසී

SLIM SMEDA සම්මාන උළෙල පිළිබඳ එහි ජූරියේ ප‍්‍රධානී දිනේෂ් නල්ලයියා මහතා අදහස් දක්වමින් “ඔබට පෙර නොවූ ආකාරයේ සාර්ථක ප‍්‍රතිඵල අවශ්‍යය නම් ඔබ මෙයට පෙර කටයුතු කළාට වඩා වෙනස් ආකාරයකින් කටයුතු කළ යුතුයි. SLIM SMEDA සම්මාන උළෙල පැවැත්වීමේ අරමුණ  හුදෙක් සම්මාන ප‍්‍රදානය කිරීම නොවේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තත්ත්වය අවබෝධ කරගැනීමයි. එම ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර ස්වභාවය නූතන තරගකාරී ලෝකයට ගැලපෙන ආකාරයෙන් සකස් කිරීමටත් ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමත් අප මෙයින් අපේක්ෂා කරනවා. බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යයවසායකයන්ට නව අදහස් තිබෙනවා, ඒවා කි‍්‍රයාත්මක කරවීම සඳහා අවශ්‍යය වන මගපෙන්වීම ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

SLIM ව්‍යාපෘති සභාපති මධුරංග වීරතුංග මහතා අදහස් දක්වමින් “SLIM SMEDA සම්මාන උළෙල අප සැලසුම් කළේ වර්තමානයේ අපේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පසුගාමී වූ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමක් ලෙසයි. හුදු සම්මාන උළෙලක් ලෙස නොව SLIM අපගේ වගකීමක් හා යුතුකමක් ලෙස සලකා එම ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ පුළුල් වැඩසටහනක් ලෙසයි කි‍්‍රයාත්මක කරනු ලබන්නේ. “SLIM ප‍්‍රයත්න” නමින් ව්‍යවසායකයන්ගේ ගැටළු විසඳාදෙන නොමිලේ උපදේශ සේවාවක්ද මෙම සම්මාන උළෙලට සමගාමීව අප කි‍්‍රයාත්මක කරනු ලබනවා. ” යැයි පැවසීය.

වාර්ෂීක ආදායම රුපියල් මිලියන 16 ත් 250 ත් අතර උපයන දේශීය ව්‍යවසායකයන් හට කුඩා පරිමාණයේ ව්‍යවසායකයෙකු ලෙසත් වාර්ෂික ආදායම රුපියල් මිලියන 750 නොඉක්මවන ව්‍යවසායකයන්ට මධ්‍ය පරිමාණ ව්‍යවසායක කාණ්ඩයෙන් SLIM SME Development Awards වෙත අයදුම් කළ හැකිය. සම්මාන සඳහා අයදුම් කරන සියළු අයදුම්කරුවන් බාහිර විගණන නිලධාරියෙකු හරහා තම ව්‍යාපාරයේ විගණනය කළ අවසන් ගිණුම් වාර්ථාව සහතික කරවාගෙන ඉදිරිපත් කළ යුතුය. වැඩි විස්තර 070 3266 988 අංකයෙන් හෝ gangani.l@slim.lk හරහා ගංගානි අමතන්න.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bills

රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

November, 8, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (09) දිනයේ දී රු. මිලියන 85,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

ඒ අනුව මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 30,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

 

  • Acting Finance Minister
  • Ada Derana BIZ Sinhala
  • Siyambalapitiya
  • sri lanka

වැඩබලන මුදල් ඇමති සියඹලාපිටිය

November, 8, 2022

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරයක නිරත වන හෙයින් ජනාධිපතිවරයා විසින් දරන ලද මෙම අමාත්‍යාංශයේ වැඩබැලීම සඳහා මෙලෙස මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පත් කර ඇත.

 

  • Ada Derana BIZ Sinhala
  • credit card
  • sri lanka

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ වර්ධනයක්

November, 8, 2022

2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් 1,917,839 ක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙය 2022 අගෝස්තු මාසය අවසානයේ පැවති 1,963,705 ක්වූ ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය හා සැසඳීමේ දී ක්‍රෙඩිට් කාඩ්පත් 8,134 ක ඉහළ යාමකි.

මේ අතර 2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙකී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා හිඟව පැවති මුළු මුදල් ප්‍රමාණය රු. මිලියන 136,766 ක් ලෙසින් වාර්තා වේ.

මෙය 2022 අගොස්තු මාසය අවසානයේ පැවති රු. මිලියන 135,949 ට වඩා රු. මිලියන 817 ක වැඩිවීමක් වේ.

  • Ada Derana BIZ Sinhala
  • Ceylon Petroleum Corporation
  • Kanchana Wijesekera
  • sri lanka

තෙල් ගෙන්නපු හැටි කංචන කියයි

November, 8, 2022

2022 ජනවාරි 01 සිට සැප්තැම්බර් දක්වා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන ප්‍රසම්පාදනය කළ ආකාරය පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (08) දින පියවර ගෙන ඇත.

මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ණයවර ලිපි විවෘත කිරීමේ නොහැකියාව මත 2022 පෙබරවාරි මාසයේ සිට දිගු කාලීන ටෙන්ඩර ලබා දීමට අපොහොසත් වී ඇති බවයි.

 


 

  • Ada Derana BIZ Sinhala
  • Fuel
  • import cost
  • sri lanka

ඉන්ධන ආනයන වියදම 87%කින් ඉහළට

November, 8, 2022

ඉන්ධන ආනයන වියදමෙන් ලද දායකත්වය විශාල වශයෙන් ඉහළ යෑමත් සමඟ, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 7.7කින් ඉහළ ගියේය.

2021 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදිත ආනයන පරිමාවන් සහ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් බොර තෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරුවලින් සමන්විත ඉන්ධන ආනයන වියදම, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 87.3කින් ඉහළ ගියේය.

2022 වසරේ ජූනි මාසයේ සිට ගල් අඟුරු ආනයන පරිමාව අඛණ්ඩව අඩු මට්ටම්වල පැවතුණි.

  • Ada Derana BIZ Sinhala
  • decline
  • sri lanka
  • trade deficit

වෙළෙඳ හිඟයේ කැපීපෙනෙන පහළ යාමක්

November, 8, 2022

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 සැප්තැම්බර්

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අපනයන ආදායම ඉහළ අගයක පැවතුණු අතර, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනවල කැපී පෙනෙන පහළ යෑම නිරූපණය කරමින්,  ආනයන වියදම් අඛණ්ඩව හත්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය.

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සුළු වශයෙන් ඉහළ ගියේය. සංචාරක ඉපැයීම් 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසදීමේ දී 2022 සැප්තැම්බර් මාසයේදී වැඩිවීමක් වාර්තා කර ඇත. 2022 සැප්තැම්බර් මාසයේදී රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි කැපී පෙනෙන ශුද්ධ ලැබීමක් වාර්තා විය.

ද්‍රවශීලි දළ නිල සංචිත මට්ටම අඩු වුව ද, අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 362ක මට්ටමක පැවතුණි.

 

  • Ada Derana BIZ Sinhala
  • agriculture ministers
  • sri lanka
  • world food security

ඉදිරි දෙවසර තුළ ලෝක ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සියලු රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන් කැඳවන ලෙස ජනපතිගෙන් යෝජනාවක්

November, 8, 2022

ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව” පිළිබඳ වට මේස සාකච්ඡාවට ඊයේ (07) සහභාගී වෙමිනි.

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

2023 පෙබරවාරි මස වන විට මෙම තිරසර ණය සහන සැලැස්ම සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ නොවුණහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවිය හැකි හානිය නැවත පිළිසකර කළ නොහැකි බව පැවසීය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව

අද වන විට බිලියනයකට ආසන්න ජනතාවක් කුසගින්නේ පෙළෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මිලියන 300 කට අධික ජනතාවගේ ජීවනෝපාය අනතුරට පත්ව තිබෙනවා. මෙම බලපෑමට ලක් වූ රටවල් වර්ග දෙකක් තිබෙනවා.ඉන් එකක් තවදුරටත් ආහාර නොමැති රටවල්. එනම් ඉහළ යන වියදම් හේතුවෙන් ආහාර මිලදී ගැනීමට ක්‍රමයක් නැති හෝ තමන්ගේම ආහාර නිෂ්පාදනය කිරීමට හැකියාවක් නොමැති රටවල්. අනෙක සාම්ප්‍රදායිකව ප්‍රමාණවත් ආහාර සැපයුමක් තිබූ, නමුත් පිරිවැය ඉහළයාම හේතුවෙන් ආහාර සපයා ගත නොහැකි රටවල්.

පසුගිය සමයේ ඇතිවු පොහොර ගැටලුව හේතුවෙන් ලංකාවට ආහාර නිෂ්පාදනය සිදු කිරීමට නොහැකි වුණා.

කෙසේවෙතත් අප විසින් ක්‍රියාවට නංවන ලද ආහාර සුරක්ෂිතතාව සඳහා වූ ඒකාබද්ධ යාන්ත්‍රණය මගින් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයෙන් මෑතකදී අපට පොහොර තොග ලබා ගැනීමට හැකි වුණා. එසේ වුවද, ආහාර ලබා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති සැලකිය යුතු පිරිසක් අපේ රටේ ඉන්නවා.

මෙම කොටස් දෙකටම අයත් රටවලට අවශ්‍ය ආහාර ලබාදීමට සියලුදෙනා සහතික විය යුතුයි. එම ජනතාවට ආහාර සැපයීම සදහා මුල්‍ය ආධාර අවශ්‍ය වෙනවා. මෙම කාණ්ඩ දෙකටම පොදු කරුණ නම් ණය පොළිය ඉහළ යාමයි.

වැඩිවන ණය පිරිවැය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල සමස්ත ජනගහනය සඳහා ආහාර සැපයුම සහතික කිරීම වඩා දුෂ්කර වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇත්තේ ඉහළ යන ආහාර හා පොහොර මිල දරා ගත නොහැකි වනු ඇති බවයි. ණය පොළී පිරිවැය ඉහළ යාමත් සමඟ බලපෑමට ලක් වූ රටවල් 48 හි ආහාර ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 9 ක් එකතු වන බවත් එහි සඳහන් වෙනවා. මෙයින් අදහස් කරන්නේ මෙම රටවල් වර්ග දෙකෙහිම ණය අර්බුදයට තීරණාත්මක විසඳුමක් අවශ්‍ය බවයි.

මේ තත්ත්වයට නිසි ලෙස මුහුණ දීමට දැනට කිසිදු පොදු සැලැස්මක් හෝ කේන්ද්‍රස්ථානයක් නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, COP, ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ලෝක ආහාර වැඩසටහන (WFP) ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එක්ව එම කේන්ද්‍රස්ථානය ස්ථාපිත කළ යුතු වෙනවා.

2023 සහ 2024 ආහාර අවශ්‍යතා තක්සේරු කර ආහාර තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස මම COP27හි ප්‍රධානියා ලෙස ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටිනවා.

බහුආංශික අරමුදල් ප්‍රභවයන් සමඟ සමීපව කටයුතු කිරීම හා ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා තිරසාර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කළ යුතුයි. මෙම සැලැස්ම 2023 පෙබරවාරි වන විට සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.

මේ සඳහා අපි කඩිනමින් ක්‍රියා කළයුතුයි. එසේ නොවුනහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවන හානිය නැවත පිළිසකර කළ නොහැකි වනු ඇති බව සඳහන් කරන්න කැමැතියි. එළැඹෙන COP28 සමුළුවේ දී ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීම සඳහා අප මධ්‍ය කාලීන සැලැස්මක් සම්පාදනය කිරීම අතිශයින් වැදගත් බව ද කිව යුතුයි.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • Ada Derana BIZ Sinhala
  • Envoy
  • Hameedia
  • sri lanka

හමීඩියා Envoy නවතම ජාත්‍යන්තර ප‍්‍රදර්ශනාගාරය ඩුබායි හි විවෘත කරයි

November, 8, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පිරිමි ඇඟලූම් සන්නාමය වන හමීඩියා ආයතනය සිය Envoy සන්නාමය මැදපෙරදිගට ව්‍යාප්ත කරමින් ඩුබායි හි ෆෙස්ටිවල් සාප්පු සංකීර්ණයේ Envoy ඩුබායි ප‍්‍රදර්ශනාගාරය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී.

Envoy ඩුබායි ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් අති ගරු ෂෙයික් ජූමා බින් මක්ටුම් අල් මක්ටුම්ගේ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ සහ පෞද්ගලික උපදේශක යාකූබ් අල් අලි සහභාගී විය. ගෞරවනීය ආරාධිතයන් ලෙසින් Al Matiya Club හි සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජුමා මදානි සහ උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මවුනිරා යූස්ෆ් මෙම අවස්ථාවට සහභාගී විය. හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ්, ජනප‍්‍රිය ගායන ශිල්පී අර්ජුන් කුමාරස්වාමි සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Envoy සන්නාමයේ ඇඟලූම් ජාත්‍යන්තර මට්ටමේ සුඛෝපභෝගී ඇඟලූම් හා සමාන වුවද දැරිය හැකි පහසු මිල ගණන් යටතේ ලබාගත හැකිය. Envoy ඩුබායි ප‍්‍රදර්ශනාගාරයේදී කුඩා පිරිමි ළමුන්ගේ සිට ජේෂ්ඨ පුරවැසියන් දක්වා ඕනෑම වයස් මට්ටමක පාරිභෝගිකයන්ට ඉහළ තත්වයේ සුවිශේෂී විලාසිතා සහ හැඩයන්ගෙන් නිමැවූ formal, ceremonial, smart casual, casual, linen, party, suits, කමිස, blazers කලිසම් සහ මංගල දිනය වෙනුවෙන් මනමාලයන්ට අවශ්‍ය කරන ඇඳුම් කට්ටල ආදීයේ විශාල පරාසයක පිරිමි ඇ`ගලූම් වර්ග රැසක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙයි. එසේම මෙම ප‍්‍රදර්ශනාගාර තුළ සපත්තු, පටි වැනි පුළුල් පරාසයක පිරිමි පැළඳුම් සහ සම්භාණ්ඩ නිෂ්පාදන වර්ගත් තෝරා ගැනීමේ අවස්ථාව ඇත.

Envoy සන්නාමයේ ඇඟලූම් නිර්මාණය කරනු ලබන්නේ Albini, Thomas Mason, Loro Plana, DORMEUIL, Ermenegildo Zegna, VBC, සහ Tessitura Monti වැනි ලොව සුපතළ සන්නාමයන්ගේ රෙදි වර්ග භාවිතයෙන් පමණි. ඉතාලියේ, යුරෝපයේ සහ ආසියාතික රටවලින් ගෙන්වන රෙදි වර්ග 300කට වඩා වැඩි ප‍්‍රමාණයක් Envoy ඇඟලූම් නිර්මාණය සඳහා යොදා ගනී.

හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඞ් මෙසේ සිය අදහස් දැක්වීය, ”හමීඩියා ආයතනය පරම්පරා හතරක් තිස්සේ පැවතෙන ව්‍යාපාරයක් වීම පිළිබඳව අපි ආඩම්බර වනවා. අපගේ Envoy සන්නාමය තවදුරටත් ජාත්‍යන්තරව ව්‍යාප්ත කරමින් ඩුබායි හි මෙම අතිවිශිෂ්ට වෙළඳ සංකීර්ණයේ නවතම ප‍්‍රදර්ශනාගාරක් විවෘත කිරීමට ලැබීම ගැන අපි සතුටට පත් වනවා. හොඳම රෙදි වර්ග සහ අතිවිශිෂ්ට අත්කම් භාවිතයෙන් ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන සුවිශේෂී ඇඳුම් නිර්මාණ රැසක් Envoy සන්නාමය යටතේ එළිදක්වා තිබෙනවා. එමෙන්ම, මෙම ප‍්‍රදර්ශනාගාරයෙන් ලැබෙන ආදායම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට කාලීන විදේශ විනිමය ප‍්‍රවර්ධනයක් ද ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.”

www.envoylondon.com හරහා සහ යූ ටියුබ් හි "FH Men's Style Guide" හරහා Envoy පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැක.

ඡායාරූප විස්තරය - හමීඩියා හි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඞ් සමඟින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා සහ ගෞරවනීය අමුත්තන් විසින් Envoy ඩුබායි ප‍්‍රදර්ශනාගාරය නිල වශයෙන් විවෘත කරන ලද අවස්ථාව.

 

  • Ada Derana BIZ Sinhala
  • free trade negotiations
  • international trade
  • sri lanka

නිදහස් වෙළඳ සාකච්ඡා හා ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පෙළගැස්වීමට ජනපතිගෙන් උපදෙස්

November, 7, 2022

  • අන්තර් ජාතික වෙළඳාමේ තරඟකාරීත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්ත සඳහා වෙළඳ ගැලපුම් වැඩසටහනක්
  • අපනයනාභිමුඛ ඍජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීමට රජයේ අවධානය

රට තුළට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව සිදුකළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවෙහි නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දි පසුගිය (04) දා පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම කරුණු පෙන්වා දුන්නේය.

නිදහස් වෙළෙඳ සාකච්ඡා මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාම අරභයා වන ඉදිරි දැක්ම සහ ඊට අදාළව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පෙළගැස්විය යුතු ආකාරය පිළිබඳ එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පුළුල් කිරීමට සමගාමීව තවදුරටත් එම තරඟකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තවලට රුකුලක් වීම සඳහා වෙළෙඳ ගැලපුම් වැඩසටහනක් (Trade Adjustment Programme) රජය විසින් ක්‍රියාත්මක කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අපනයන සහ අපනයනාභිමුඛ සෘජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීම සදහා කලාපීය හා ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීම හා ගෝලීය ආර්ථිකය සමඟ නැවත සම්බන්ධවීම, දේශීය ආර්ථිකය යළි ගොඩනැංවීමේ රජයේ ආර්ථික වැඩපිළිවෙළෙහි මූලිකාංගයකි.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය යන ප්‍රධාන අපනයන වෙළෙඳපොළ තුළට තවදුරටත් අවතීර්ණ වන අතරම විශාල හා නැඟී එන ආර්ථිකයන් ඉලක්ක කරගනිමින් සිදු කරන අපනයන වර්ධනය කර ගැනීම සඳහා විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේ ප්‍රයත්නයක රජය මේ වනවිට යෙදී සිටී.

ඒ වෙනුවෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් පිහිටුවීමට රජය පියවර ගෙන ඇති අතර, විශාල සෘජු විදේශ ආයෝජන හා අපනයන විභවතාවයක් මෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් අඩපණ වී ඇති දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය ප්‍රාග්ධන යෙදවුම්, අමුද්‍රව්‍ය හා අතරමැදි භාණ්ඩ අඩු වියදමකින් ලබාගත හැකි ක්‍රමෝපායික වශයෙන් වැදගත් ඉන්දියාව, චීනය හා තායිලන්තය සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි පණ ගැන්වීම මෙම කමිටුවෙහි ප්‍රධානම කාර්යය වී ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය, වාණිජ දෙපාර්තමේන්තුව යන රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.