• Ada Derana BIZ Sinhala
  • debt restructuring
  • JICA
  • sri lanka

ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වනතුරු ජයිකා ආධාර නැහැ

October, 20, 2022

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණය කර අවසන් වන තෙක් ජයිකා සංවිධානය විසින් ලබා දුන් ණය මත මෙරට තුළ ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති 12 ක වැඩකටයුතු තාවකාලිකව නතර කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී බුද්ධික පතිරණ අමාත්‍යවරයා විසින් වාචික පිලිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඔහු මේ පිළිබඳව ජයිකා සංවිධානය සමඟ සාකච්ඡා කළ බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූවායින් පසු දැනට නවතා දමා ඇති සියළු ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට හැකියාව ඇති බවට එම සංවිධානය විසින් පවසා සිටි බවත්ය.

"කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි පර්යන්තය අපි ආරම්භ කළේ ජයිකා සංවිධානය මගින් ලබා දෙන ලද ණය මත. ඒ වැඩපිලිවෙල ක්‍රියාත්මක කර ගෙන එනකොට ඔබ දන්නවා අපි, ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රකාශයට පත් කළ වහාම ජයිකා සංවිධානය තමන්ගේ Projects, මේක විතරක් නෙවෙයි අපේ 12ක් තිබුණා ලංකාවේ, මේ 12ම suspended කළා. මේක තාවකාලිකව නතර කළා ණය ප්‍රතිව්‍යූහගත කරලා ඉවර වෙනකන්. මම ජයිකා සංවිධානය සමඟ විශේෂ සාකච්ඡා ගණනාවක් පැවැත්වූවා. ඔවුන් කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූවායින් පසු නැවත මේවා පටන් ගන්න පුළුවන්. නමුත් ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ නැතුව, අපට ණය ගෙවීමට තියන හැකියාව පිළිබඳව ඒ ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් සහතිකයක් දෙන්නේ නැතුව ඔවුන්ට දිගටම ණය දෙන්න පුළුවන්කමක් නැහැ කියන කාරණය."

  • Ada Derana BIZ Sinhala
  • DFCC
  • sri lanka
  • UnionPay

DFCC බැංකුව UnionPay කාඩ්පත් ගෙවීම් භාරගැනීම ආරම්භ කිරීම සඳහා ගිවිසුම්ගත වෙයි

October, 20, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, UnionPay කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් භාරගැනීමට හැකිවන ආකාරයට තම POS යන්ත්‍ර (Point-of-Sales machines)  සැලසුම් කිරීම සඳහා පසුගියදා UnionPay සමග ගිවිසුමක් අත්සන් කළේ ය. 2020 වසරේ සිට තම merchant acquiring වැඩසටහන පුළුල් ලෙස ක්‍රියාත්මක කළ DFCC බැංකුව මේ වනවිට ගෙවීම් සේවාවන් රැසක් තම ජාලයට එක්කරමින්, ගෙවීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සේවා සම්පාදකයෙකු බවට පත් වී තිබේ. UnionPay ක්‍රියාත්මක කිරීමත් සමග, DFCC බැංකුවේ merchant acquiring ජාලය දැන් ඕනෑම ප්‍රධාන පෙළේ කාඩ්පතක් මගින් සිදුකරන ගෙවීම් භාරගත හැකි ජාලයක් බවට පත් වනු ඇත.

“වසර කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් කාඩ්පත් ප්‍රමාණයක් පිළිගැනීමට හැකිවන පරිදි අපගේ ජාලය පුළුල් කිරීමට හැකි වීම අප ලැබූ සුවිශාල ජයග්‍රහණයක්.  UnionPay සමග මෙම හවුල්කාරීත්වයට එළඹීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. කෙටි කාලයක් තුළ අපගේ Internet Payment Gateway Services (IPGS)  තුළත් UnionPay කාඩ්පත් භාරගැනීම සක්‍රීය කිරීමටත් අප කටයුතු කරනවා. UnionPay මේ වනවිට ලොව පුරාම ජනප්‍රිය වෙමින් තිබෙන අතර, අපගේ විද්‍යුත් ගෙවීම් ක්‍රමවේද හරහා පහසුවෙන් ගෙවීම් කිරීමට අවස්ථාව සලසා දීම අපගේ බලාපොරොත්තුවයි. එමෙන්ම මෙම හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමටත් අප සැලසුම් කර තිබෙනවා. Merchant acquiring කටයුතු වැඩිදියුණු කරන අතරම, නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් පාරිභෝගිකයන්ටත් වෙළඳුන්ටත් උපරිම පහසුකම් සැලසිය යුතු බව අපගේ විශ්වාසයයි.  මේ සඳහා වෙළඳුන් Android තාක්ෂණය භාවිතා කළ හැකි වීම වැනි අවම මූලික සුදුසුකම් සපුරාලිය යුතු වනවා. ඉදිරියේදී DFCC merchant acquiring ජාලයට IPGS ඔස්සේ සිදුකරන UnionPay ගෙවීම් භාරගැනීමට හැකිවීම වෙළඳුන් සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයටම සුවිශාල් පහසුවක් වේවි.” DFCC බැංකුවේ උප සභාපති/කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසී ය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වීමට සෑම විටම කටයුතු කරන බැංකුවක් වශයෙන් DFCC බැංකුව මේ වනවිට SME සහ MSME කාණ්ඩයේ ව්‍යාපාර පිළිබඳ වැඩි අවධානයකින් යුතුව, තම වෙළඳ ව්‍යාපාර ජාලය පුළුල් කිරීමේ සැලසුමක් ක්‍රියාවට නංවා තිබේ. ඩිජිටල් ක්‍රමයට ගෙවීම් භාරගැනීම දිරිගන්වන අතරම අතර ව්‍යාපාර ආයතන සඳහා ප්‍රවේශය වැඩි කිරීම සහ බාධා ඉවත් කිරීම සඳහා DFCC බැංකුව මේ වනවිට විශේෂ වැඩසටහනක්ද (Micro Merchant Programme) ක්‍රියාවට නංවා ඇත. සාමාන්‍යයෙන් ඉහළ සේවා ගාස්තු සහ අධික වියදම් නිසා සුළු පරිමාණ ව්‍යාපාර ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා කිරීමට මැළිකමක් දක්වන අතර, මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා DFCC බැංකුව මේ වනවිට සාර්ථක උත්සාහයක නිරත වී සිටී. දැනටමත් රෝහල්, ඇඟලුම් අලෙවිසැල් සහ සුපිරි වෙළඳසැල් ඇතුළු විවිධ ප්‍රමාණයේ ව්‍යාපාර රාශියක් DFCC බැංකුවේ POS යන්ත්‍ර සහ අන්තර්ජාල ගෙවීම් සේවාව භාවිතා කරයි.  

 

ඡායාරූප විස්තරය, වමේ සිට: UnionPay International Sri Lanka & Maldives හි අලෙවි ප්‍රධානී අරූෆ් සමූන්, එම සමාගමේ ව්‍යාපාර සංවර්ධන හා නිෂ්පාදන ප්‍රධානී බෙන්සි ප්‍රනාන්දු, එම සමාගමේ මෙරට ප්‍රධාන කළමනාකරු ක්‍රිස්පින් විජේසේකර, DFCC බැංකුවේ උප සභාපති/කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලුවිස්, එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී (කාඩ්පත් මෙහෙයුම්) ශලීන්ද්‍රී ධර්මරත්න සහ කළමනාකරු (Merchant Aquiring) ක්‍රිෂාන් ජයමාන්න යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ දිස් වේ.  

  • Ada Derana BIZ Sinhala
  • huge office complex
  • Mireka Tower
  • sri lanka

මහල් 50ක දැවැන්ත කාර්යාල සංකීර්ණයක් ජනපති අතින් විවෘත කෙරේ

October, 20, 2022

කොළඹ නගරයට වඩාත් අද්විතීය වූ කාර්යාල පරිශ්‍රයක් ලබා දෙමින් Mireka Tower ගොඩනැගිල්ල උත්කර්ෂවත්ව විවෘත කෙරේ.

අනාගතයේ කොළඹ කේන්ද්‍ර කරගනු ලබන වඩාත් සුවිශේෂීම කාර්යාල අවකාශය ලෙසින් ඇගයුමට පාත්‍ර වී ඇති Havelock City හි Mireka කුලුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වය ඇතිව ඔහුගේ සුරතින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

මෙම දැවැන්ත ගොඩනැගිල්ල වර්ග අඩි 600,000 කින් සහ මහල් 50 කින් සමන්විතය. A ශ්‍රේණිය මට්ටමට අයත් උසස් තත්ත්වයේ කාර්යාල පරිශ්‍රයක් සහිත Mireka කුලුණ, අවට නගරයේ දර්ශන පුළුල්ව පෙනෙන සේ චමත්කාරජනක නිමාවකින් යුත් පසුබිමක් නිර්මාණය කරයි. එය මේ වන විටත් කොළඹ අහස් කුසට විහිදී ගිය ගොඩනැගිලි අතරින් තවත් සුවිශේෂී වූ සංකේතාත්මක වාණිජ සංකීර්ණයක් වශයෙන් හැඳින්විය හැකිය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද Mireka කුලුණ අක්කර 18 ක් පුරා විහිදී පවතින බහුවිධ සංවර්ධන ව්‍යාපෘතියක් වන Havelock City හි ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානය ද වේ. මෙය සිංගප්පූරුවේ ෂිංග් ක්වාන් සමූහයේ නිර්මාතෘවරයා මෙන්ම, Overseas Realty (Ceylon) PLC සමාගමෙහි හිටපු සභාපතිවරයෙකුව සිටි දිවංගත ව්‍යවසායක එස්.පී ටාඕ මහතාගේ උදාර සංකල්පයක් වන 'City within a City' (නගරය තුළ නගරයක්) යන සංකල්පය යටතේ මහා පරිමාණව ඉදිකර ඇත. Havelock City බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය තුළින් ඒ මහතා ශ්‍රී ලංකාවේ අගනගරය තුළ සුවිශේෂී වූ වෙනසක් අපේක්ෂා කරමින් නගරයට ගැළපෙන හා අනන්‍ය වූ, ගෝලීය වශයෙන් වටිනාකමක් ලැබෙන නාගරීකරණයක් එක් කිරීමට කටයුතු කළේය.

2016 වසරේ දී ටාඕ මහතා මෙරටේ කරනු ලැබූ අවසන් සංචාරයේදී, ඔහුගේ දිවියේ සියවස් සැමරුම් උත්සවයත් සමගින් Mireka කුලුණේ සමාරම්භක මහෝත්සවයේ මුල්ගල් තැබීමේ කටයුත්තට ද සහභාගී විය. 2020 වසරේ දී මෙම ගොඩනැගිල්ල මහල් 50 කින් යුත් දැවැන්ත කුළුණක් දක්වා ආකර්ෂණීයව ඉදිවිය.

කැපී පෙනෙන විශිෂ්ට වාස්තුවිද්‍යාත්මක පෙනුමක් එක් කරමින් නගරයේ අද්විතීයව ඉදිවී ඇති Mireka කුලුණ, දේශීය විදේශීය ගනුදෙනුකාර භවතුන් සාදරයෙන් පිළිගැනීමට නිල වශයෙන් සූදානම්ව සිටියි.

‘’අද Mireka කුලුණ නිල වශයෙන් විවෘත කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. නම්‍යශීලී භෞතික අවකාශයන් සහ සේවා කටයුතු සඳහා ඉහළ ම ප්‍රමිතීන් ඇතුළත්ව කරනු ලැබූ සැලසුම් සහ නවීන පහසුකම්වලින් මෙය සමන්විතය. ආකර්ෂණීය කාර්යාල පසුබිම් නිර්මාණය කිරීමේදී ජාත්‍යන්තර මට්ටමේ ඉහළ නිර්මාණකරණයන්වල අධ්‍යයනයන් හා භාවිතයන් තුළින් ගුණාත්මකභාවයෙන් හා හොඳම පහසුකම් සහ සේවාවන් සහිත වූ අත්දැකීම් රැසක් මේ සඳහා එක් කර තිබීම විශේෂත්වයකි. අපගේ ගනුදෙනුකාර භවතුන් අතරට පුළුල් දැක්මක් සහිතව නවීන කාර්යාල සේවා අවකාශයන් අපේක්ෂා කරන සමාගම් පැමිණෙන බවට මට ලොකු විශ්වාසයක් තිබෙනවා.'' යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Overseas Realty (Ceylon) PLC හි සමූහ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීර් සමරසිංහ මහතා සඳහන් කළේය.

අනාගත කාර්යාල ගොඩනැගිලිවල නවීන පන්නයේ ගුණාත්මකභාවයන් සඳහා නව මිණුම් මට්ටමක් නිර්මාණය කරමින් Mireka කුලුණ, නවීන සුඛෝපභෝගී පහසුකම්වලින් අනූනව ව්‍යාපාරික මෙහෙයුම් සඳහා සුදානම්ව සිටියි. කුලුණ තුළ විවෘතව නිර්මාණය කර ඇති අවකාශය, ගොඩනැගිල්ලේ කළමණාකරණය පිළිබඳව නම්‍යශීලී බවක් එක් කරයි. එමෙන්ම එහි කාර්යක්ෂම සැලසුම් නිර්මාණය සඳහා ඒ තුළ පවතින ඉඩ කඩ පහසුවෙන් බෙදා වෙන් කිරීමට ද හැකියාව ඇත.

ගුණාත්මකභාවයෙන්, ක්‍රියාකාරීත්වය අතින් සහ තිරසාරභාවය හරහා LEED GOLD සහතිකයට ද හිමිකම් කියනු ලබන ගොඩනැගිල්ලක් වන Mireka කුලුණ, පරිගණක අනුසාරයෙන් ක්‍රියාත්මක වන රථගාල, සෝපානය සහ ගොඩනැගිලි කළමනාකරණ පද්ධති ඇතුළත් සුවිශේෂී ස්මාර්ට් යටිතල පහසුකම්වලින් සමන්විත වීමද මෙහි ඇති තවත් එක් විශේෂත්වයකි. තවද හදිසි විදුලි බිඳ වැටීම් අවස්ථාවකදී ක්‍රියාත්මක කර හැකි 100%ක ස්ථාවර බල සැපයුමකින් කුලුණ සමන්විත වන අතර, ආයතනික කාර්යාලවල අවශ්‍යතා සපුරාලීම සඳහා ෆයිබර් ඔප්ටික් (fibre optic) තාක්ෂණය ඇතුළත් අධිවේගී හඬ, දත්ත සහ සන්නිවේදන පහසුකම්වලින්ද ගොඩනැගිල්ල සක්‍රීය කර තිබේ.

එපමණක් නොව මෙම ස්ථානයෙහි සුවිශේෂී වූ ව්‍යායාම ශාලාවක්, පුහුණුවීම් සහ රැස්වීම් සඳහා වෙන් කරන ලද ශාලා පහසුකම් ද ඇත. බිම් ගත මහලේ වාහන නැවැත්වීමේ අංගන දෙකක් ඉදිකර, කාර්යාල වෙත දිනපතා පැමිණෙන ප්‍රජාවගේ පහසුව සහතික කරමින් එක වර වාහන 800 ක් ගාල් කර හැකි සුවිසල් රථගාලක් මෙම ගොඩනැගිල්ල සතුවේ.

Havelock City සාප්පු සංකීර්ණය ද වෛද්‍ය සේවා හා බැංකු පහසුකම්, සන්නිවේදන සේවා මෙන්ම ප්‍රණීත ආහාර පාන වර්ග ලබාගැනීම ඇතුළුව විවිධ වූ සුපිරි වෙළඳසැල්වලින් සමන්විතය. මෙහි සිටින ප්‍රජාවන්ට හා පැමිණෙන පාරිභෝගිකයන් හට ඒ වෙත පියනගමින් ඉහළ මට්ටමේ සුව පහසුව ඇතුළත් සාප්පු සවාරියක අත්දැකීම විඳගැනීමට අවස්ථාව හිමිවේ.

මෙම ගොඩනැගිල්ලේ ඉහළ මට්ටමේ අවකාශයක් වෙත අවතීර්ණ වීම තහවුරු කරමින් කීර්තිමත් ගනුදෙනුකාර භාවතෙකු වන HSBC Electronic Data Processing Lanka (Pvt) Ltd සමාගම (HSBC EDPL) එහි ස්ථාපිත වීමට නියමිතව ඇති අතර එම සමාගම ළඟදීම ඉහළින් ම පිළිගැනීමට Mireka කුලුණ සූදානමින් සිටියි. HSBC EDPL සමාගම විසින් Mireka කුලුණේ කාර්යාල අවකාශය තුළ මහල් අටක් හිමිකර ගනු ඇත.

Mireka කුලුණේ ඉදිකිරීම් සංවර්ධන කටයුතු කර තිබෙන්නේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (WTC) හිමිකරු, කළමනාකරු සහ සංවර්ධකයා වන,Overseas Realty (Ceylon) PLC සමාගමෙහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Havelock City (Pvt) Ltd සමාගම විසිනි. Overseas Realty (Ceylon) PLC සමාගම, වාණිජ වෙළඳපොළෙහි සිය පුළුල් වූ හැකියාව, දැනුම සහ පළපුරුද්ද සමගින් සියල්ලන්ට ඉහළින් තම ආධිපත්‍යය දරමින් කටයුතු කරයි.

 

  • Ada Derana BIZ Sinhala
  • green apple
  • President
  • sri lanka

ලංකාවේ කොළ ඇපල් ජනපතිට

October, 20, 2022

ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා විසින් ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි භාගයක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.

ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව නැරඹීම සඳහා පැමිණීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

ඇපල් බීජය මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බවත්, අක්කර දෙකක සරු ඵලදාවක් මේවන විටත් ලැබී ඇති බවත් ලක්ෂ්මන් කුමාර ගොවි මහතා සඳහන් කළේය.

මෙම වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ලබාදීමට හැකියාව පවතින බවත් ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි අයුරින් මෙම බීජ නිපදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

කොළ ඇපල් පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි රස බැලීමට ද අමතක නොකළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහ පී.ජේ. අසංක ලයනල් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • low interest loan
  • sri lanka

කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අඩු පොලී ණය යෝජනා ක්‍රමයක්

October, 20, 2022

ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ වයවසායකයන් නැවත නඟා සිටුවීම වෙනුවෙන්, ඔවුන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා වන නව ණය යෝජනා ක්‍රමයක් ආරම්භකර කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, ආසියානු සංවර්ධන බැංකුව සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ය. 

ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක් එනම් රුපියල් මිලියන 4,900 ක මුදලක් ලබා දීමට කටයුතු කර ඇත.

මෙම මුදල ප්‍රධාන බැංකු 8ක් හරහා 11% ත් 12% ත් අතර අඩු පොලී අනුපාතයක් යටතේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ වයවසායකයන් වෙල ලබා දීමට කටයුතු කරන බවත්, ඔවුන්ට උපරිමය මිලියන 100 ක් දක්වා වූ කාරක ප්‍රාග්ධනයක් ඉල්ලුම් කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් පවසා සිටියේය. 

"2022 ඔක්කෝම්බර් මාසේ 5 වෙනිදා ඉඳලා අළුත් ණය යෝජනා ක්‍රමයක් කාරක ප්‍රාග්ධන වෙනුවෙන් ආරම්භ කරලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන කාරක ප්‍රාග්ධනය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක මුදල පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගා සිටුවීම සඳහා ඔවුනට කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය ණය ලබා දීමටත් යොදා ගැනීමට මුදල් අමාත්‍යාංශය ආසියානු සංවර්ධන බැංකුව සමඟ එකඟතාවයකට පැමිණෙන ලදි. ඒ් අනුව ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක් එනම් රුපියල් මිලියන 4900 ක් බැංකු 8 ක් වෙත ඒ ණය ලබා දීමට කටයුතු කරනවා ගරු කතානායකතුමනි. ඒ අනුව ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව කියන බැංකු 8 න් මෙම ණය මුදල ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි කෘෂිකාර්මික, සංචාරක යන ක්ෂේත්‍රයන් සහ අපනයනය අභිමුඛ ක්ෂේත්‍රයන්ට අදාලව නිෂ්පාදන කටයුතුවල නිරත වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි දැනට වෙළෙඳපොලේ පවතින පොලී අනුපාතය 20% ත් 25% ත් වනවා. මෙම ණය යොජනා ක්‍රමය යටතේ 11% ත් 12% ත් අතර අඩු පොලී අනුපාතයකට මෙම ණය යෝජනා ක්‍රමයෙන් මුදල් ලබා ගන්න පුළුවන්. ඒ අනුව උපරිමය මිලියන 100 දක්වා කාරක ප්‍රාග්ධනයක් ඔවුන්ට ඉල්ලුම් කරන්න පුළුවන් ගරු කතානායකතුමනි."

  • Ada Derana BIZ Sinhala
  • seylan
  • Seylan Tikiri
  • sri lanka

සෙලාන් ටිකිරි ගෙවතු වගාවේ වැදගත්කම පෙන්වා දෙමින් ලෝක ළමා මාසය සමරයි

October, 20, 2022

ජයග්‍රාහකයන්ට රු. 500,000/- ක් වටිනා මුදල් ත්‍යාග

10 වන වරටත්, ඔක්තෝබර් 01 දිනය යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් මාසයක් පුරා සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට, මෙරට ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි පියවර ගෙන තිබේ. මෙම කාලසීමාව තුළ, එනම් 2022 ඔක්තෝබර් 01 දින සිට 2022 ඔක්තෝබර් 31 දින දක්වා, අලුතින් විවෘත කරන ලද සෙලාන් ටිකිරි ගිණුම් ඇතුළුව සියලුම සෙලාන් ටිකිරි ගිණුම් වල මුදල් තැන්පත් කිරීමේදී විශේෂ ත්‍යාග හිමිවනු ඇත.

රටේ පවතින උද්ධමනය හමුවේ වියදම් අවම කරගැනීමේ පියවරක් ලෙස බොහෝ පවුල් මේ වනවිට ගෙවතු වගාවට යොමු වී සිටිති. මෙම තත්ත්වය මැනැවින් අවබෝධ කරගනිමින්, රටේ දරුදැරියන්ටද ගෙවතු වගාවෙහි වැදගත්කම පෙන්වා දීම සඳහා මෙම ලෝක ළමා දින සැමරුම් වලදී ගෙවතු වගාවට මුල්තැන දීමට සෙලාන් ටිකිරි කටයුතු කළේ ය.

ඒ අනුව, සෙලාන් ටිකිරි ගිණුමක රු. 25,000/- ක් තැන්පත් කිරීමේදී ගෙවතු වගාවට අත්‍යවශ්‍ය උපාංග සහ බීජ ඇතුළත් තෑගි කට්ටලයක් හිමිවන අතර, සෙලාන් ටිකිරි ගෙවතු වගා තරගයට නොමිලේ ඇතුළත් වීමටද අවස්ථාව හිමි වේ. මෙම වැඩසටහන තුළදී  වයස අවුරුදු 12 දක්වා දරුවන්ට රු. 500,000/- ක් දක්වා මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

රු. 100,000/- ක මූලික තැන්පතුවකින් නව සෙලාන් ටිකිරි ගිණුමක් ආරම්භ කරන අවස්ථාවකදී ගිණුම් හිමියාට ඉහත සඳහන් ගෙවතු වගා කට්ටලයට අමතරව තෑගි වවුචර් 7 ක් සහ තවත් අතිරේක ත්‍යාග 3 ක්ද හිමි වේ. අලුත් හෝ දැනට පවතින සෙලාන් ටිකිරි  ගිණුමක රු. 5,000/- ක් තැන්පත් කළ විට ගිණුම් හිමියාට ගෙවතු වගා තරගයට නොමිලේ ඇතුළත් වීමේ අවස්ථාව පමණක් හිමි වනු ඇත. මීට අමතරව ගිණුම් හිමියන්ට විශේෂ වට්ටම් පිරිනැමීම සඳහා සෙලාන් ටිකිරි මේ වනවිට ඇට්ලස්, CIB, බාටා සහ ලුමාලා වැනි සමාගම් සමගද අත්වැල් බැඳගෙන සිටී.

“අනෙක් බොහෝ දෙනෙකු ලෝක ළමා දිනය පමණක් සමරද්දී අප වසර දහයක් තිස්සේ රටේ අනාගත පරපුර වෙනුවෙන් මාසයක කාලයක් වෙන්කර එය සැමරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වසරේ සැමරුම් තුළදී ගෙවතු වගාව සම්බන්ධයෙන් දරුවන් උනන්දු කරවීමට මුල්තැන දීමට අප තීරණය කළා. මෙය ඔවුන්ට තම දෙමාපියන් සමග වැඩියෙන් කාලය ගතකිරීමට ලැබෙන අවස්ථාවක්ද වේවි. මේ සැමරුම් ඔස්සේ සෑම වසරකදීම, අනාගත පරපුර වෙනුවෙන් වඩාත් යහපත් හෙට දිනයක් නිර්මාණය කර දීමේ වැදගත්ම ලොවට පෙන්වා දීමට අපට හැකි වන බව අප විශ්වාස කරනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ගාමික ද සිල්වා මහතා පැවසී ය.

වගකීම්සහගත සන්නාමයක් වශයෙන් පසුගිය දශක 3 ක කාලය තුළ නැවුම් ආකාරයේ වැඩසටහන් ඔස්සේ දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවීම සඳහා සෙලාන් ටිකිරි සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. සෑම විටම දරුවන්ට ආකර්ෂණීය වන කාලීන සංකල්ප පදනම් කර ගනිමින් මෙම වැඩසටහන් සැලසුම් කිරීමට සෙලාන් ටිකිරි කටයුතු කරයි.

වයස අවුරුදු 15 ට අඩු දරුවන් වෙනුවෙන් සෙලාන් ටිකිරි ගිණුම් විවෘත කළ හැකි වේ. තම දරුවන් ඉතිරි කිරීමට යොමුකරවීමට බලාපොරොත්තු වන දෙමාපියන්ට, ළඟම පිහිටි සෙලාන් බැංකු ශාඛාව වෙත පැමිණීමෙන් හෝ 011 200 88 88 අංකය ඇමතීමෙන් සෙලාන් ටිකිරි පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

  • 10 leading companies
  • Ada Derana BIZ Sinhala
  • board membership
  • Dhammika's daughter
  • sri lanka

ධම්මිකගේ දියණිය ප්‍රමුඛ පෙළේ සමාගම් 10ක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයට

October, 20, 2022

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ වැඩිමහල් දියණිය වන බ්‍රින්දිනී පෙරේරා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 10 ක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් පත් වීම් ලැබ තිබේ.

එම සමාගම් 10 පහත පරිදි වේ.

ද කිංග්ස්බරි පීඑල්සී

හේලීස් ලෙෂර් පීඑල්සී

හේලීස් ෆැබ්රික් පීඑල්සී

ඩ්ප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී

හේකාබ් පීඑල්සී

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී

ලංකා ටයිල්ස් පීඑල්සී

ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී

රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී

වැලිබල් වන් පීඑල්සී

මෙම සමාගම් සියල්ලකගේම පාහේ පාලක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතුව පවතී.

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • US
  • US Assistant Secretary

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය

October, 20, 2022

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) සඳහන් කළේය.

ඩොනල්ඩ් ලූ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී ය.

මෙම හමුව ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චංග් (Julie Chung) , දේශපාලන හා ආර්ථික උපදේශක සුසන් වෝක් (Susan Walke) යන මහත්මීහු ද ඊට එක්ව සිටියහ.‍

ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු රජය ලබා දෙන අඛණ්ඩ සහාය මෙහිදී අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සිය ස්තූතිය පිරිනැමීය.
ශ්‍රී ලංකාව තුළ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත සුභාශීංසන පිරිනැමූ සහකාර රාජ්‍ය ලේකම්වරයා, අභියෝග ජය ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට හැකි සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පැවසීය.

මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීම අපේක්ෂාව බව සඳහන් කළ ඩොනල්ඩ් ලූ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට සහ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය ද ඇගයීමට ලක් කළේය.

  • Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • Family Savari
  • sri lanka

සෙලින්කෝ ලයිෆ් යළිත් ‘ෆැමිලි සවාරි’ වැඩසටහනට සවාරි තේමාව ගෙනෙයි

October, 19, 2022

කොවිඞ්-19 අවදානම අඩුවීමත් සමඟ සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ඊළඟ අදියර සඳහා බොහෝ දෙනෙකු ආදරය කරන ‘පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීම’ යන තේමාව නැවතත් එක්කර තිබේ. ඒ අනුව, එළඹෙන ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ත්‍යාග සඳහා සමාගම විසින් හෝටල්වල නිවාඩුවක් ගත කිරීම ඇතුළුව ජයග‍්‍රාහකයින්ට ත්‍යාග මාලාවක් ලබාදීමට තීරණය කර ඇත.

කෙසේවෙතත්, ශ‍්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහණදීම නිසා ජනතාවට සිදුවී තිබෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා සඳහන් කරන්නේ මේ වනවිටත් ලබාදෙන ආකර්ශනීය මුදල් ත්‍යාග සහ වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචරද ‘ෆැමිලි සවාරි 16’ වන වැඩසටහනේදී බොහෝ දෙනෙකුට ත්‍යාග ලෙස ලබාදෙන බවයි.

මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ 2022 දෙසැම්බර් මාසයේ සිට 2023 අගෝස්තු මාසය දක්වා දිනුම් වාර 05 ක් පවත්වන අතර එහිදී ජයග‍්‍රාහකයින් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 1,155 දෙනෙකු තෝරා ගැනීමට සමාගම තීරණය කර ඇත. මෙම සෑම දිනුම් ඇදීමකදීම රක්ෂණ ඔප්පු හිමි පවුල් තුනක සාමාජිකයින් ‘ප‍්‍රීමියර්’ කාණ්ඩයේ වර්ගීකරණයක් ලබා තිබෙන අති සුඛෝපභෝගී හෝටලක ෆුල් බෝර්ඞ් පදනම යටතේ නිවාඩුවක් ගත කිරීමට තෝරා ගන්නා අතර තවත් රක්ෂණ ඔප්පුහිමි පවුල් තුනක සාමාජිකයින් ‘ඩිලක්ස්’ වර්ගීකරණයක් ලබා තිබෙන සුඛෝපභෝගී හෝටලයක ෆුල් බෝර්ඞ් පදනම යටතේ නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරාගනී. මීට අමතරව, මෙම සෑම දිනුම් ඇදීමකදීම තවත් රක්ෂණ ඔප්පුහිමියන් පස් දෙනෙකුට රුපියල් 100,000 ක් බැගින් වූ ත්‍යාග මුදල් ලබාදෙන අතර තවත් රක්ෂණ ඔප්පුහිමියන් 20 දෙනෙකුට රුපියල් 50,000 ක් බැගින් වූ ත්‍යාග ලබාදෙයි. එසේම, සෑම දිනුම් ඇදීමකදීම තවත් 50 දෙනෙකුට රුපියල් 25,000 ක් බැගින් වූ ත්‍යාග මුදල් ලබාදෙන බවත් තවත් රක්ෂණ ඔප්පුහිමියන් 150 දෙනෙකුට රුපියල් 10,000 ක වටිනාකමක් තිබෙන භාණ්ඩ මිලදීගැනීම සඳහා සුපිරි වෙළෙඳ සැල් වවුචර ලබාදීමට සමාගම තීරණය කර තිබේ.

මේ අනුව, සමස්තයක් ලෙස ‘ෆැමිලි සවාරි 16’ වන වැඩසටහන මගින් සෙලින්කෝ ලයිෆ් සමාගම නිවාඩු පැකේජ 30 ක්, රුපියල් මිලියන 13.75 ක මුදල් ත්‍යාග, සහ රුපියල් මිලියන 7.5 ක සුපිරි වෙළෙඳසැල් වවුචර ප‍්‍රදානය කරන අතර මීට පෙර ලබාදුන් ත්‍යගවල වටිනාකම සමාගම විසින් අඩුකර නොමැත.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘වසර දෙකකට පසුව යළිත් ෆැමිලි සවාරි සඳහා සවාරි අත්දැකීම එක් කිරීමට ලැබීම ගැන අපි අතිශයින්ම සතුටු වෙනවා. මෙම ප‍්‍රවර්ධන වැඩසටහනින් අපි සෑමවිටම උත්සාහ කරන්නේ පවුලේ සාමාජිකයින් සමග නිදහසේ කාලය ගත කිරීමේ අවස්ථාව උදා කරන්නයි. පවතින ආර්ථික තත්ත්වය නිසා බොහෝදෙනෙකුට ඒ ආකාරයෙන් කටයුතු කිරීම අපහසු බව අපි දන්නවා. පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව යළිත් ලබාදීම නිසා වර්තමානයේ තිබෙන ආතතීන් යම් පමණකට හෝ මෙයින් පහව යනු ඇතැයි අපි විශ්වාස කරනවා.’

2020 වසරේ කොවිඞ්-19 වසංගතයේ ආරම්භය සමඟ මෙම වැඩසටහන මගින් ත්‍යාග ලෙස ලබාදුන් විදේශ සහ දේශීය සංචාර වෙනුවට රත්තරන් ත්‍යාග ලබාදීමට සමාගම කටයුතු කළද, ශ‍්‍රී ලංකාව මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය නිසා පසුව මුදල් ත්‍යාග ලබාදීමට සමාගම තීරණය කළේය.

‘ෆැමිලි සවාරි 16’ වන වැඩසටහන දියත් කිරීම සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණු අතර දිවයින පුරා පිහිටි සමාගමේ ශාඛා වලට මෙම දියත් කිරීමේ වැඩසටහන Zoom ඔස්සේ සජීවීව විකාශය කරන ලදී. මෙම වැඩසටහනට එහි සන්නාම තානාපතිවරුන් වන ජනප‍්‍රිය නළු රොෂාන් රණවන මහතා සහ ඔහුගේ බිරිඳ වන කුෂ්ලානි මහත්මියද සහභාගී විය.

මෙම ත්‍යාග දිනාගැනීම සඳහා ප‍්‍රවර්ධන කාලය තුළ සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තමන්ගේ තිබෙන ජීවිත රක්ෂණ ඔප්පුව තවදුරටත් පවත්වාගෙන යාම හෝ විශ‍්‍රාම සැලසුම්වල අවම ශේෂයක් පවත්වාගෙන යාම සිදුකළ යුතු බව සමාගම සඳහන් කරයි. මෙහිදී, සමාගමට සෘජුව රක්ෂණ වාරික ගෙවන ගනුදෙනුකරුවන්ට අමතර දිනුම් අවස්ථාවන් හිමිකර ගැනීමේ අවස්ථාව ලබාදී තිබෙන අතර සමාගමේ ගනුදෙනුකරුවෙකු වූ කාල සීමාව අනුව සලකා තවත් අමතර දිනුම් අවස්ථාවන් ලබාදෙන බවද සමාගම පවසයි.

සමස්තයක් ලෙස ගත්විට සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වැඩසටහනින් මේ දක්වා ප‍්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව 27,650 කට වැඩි බව සමාගම සඳහන් කරයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පුහිමියන්ට  ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප‍්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග‍්‍රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.

2022 වසරේ දී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ්, 2021 වසරේ අඛණ්ඩව තෙවැනි වරටත් ශී‍්‍ර ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ (Great Workplace) ලෙසද, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසද, SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසද, නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work®  විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇත.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 

සේයාරු සටහන : ‘ෆැමිලි සවාරි 16’ වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට එක්වූ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා (වමේ සිට පිළිවෙලින් 03 වැන්නා සහ 04 වැන්නා) ‘ෆැමිලි සවාරි’ සන්නාම තානාපතිවරුන් සහ සමාගමේ අලෙවිකරණ කණ්ඩායමේ නියෝජිතයින් සමග මෙම ඡායාරූපයේ සිටී.

  • Ada Derana BIZ Sinhala
  • Coca-Cola
  • sri lanka

පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලක් ලබා දීම සඳහා කොකා කෝලා ශ‍්‍රී ලංකා විසින් විශාල ප‍්‍රමාණයේ ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් හඳුන්වා දෙයි

October, 19, 2022

කොකා කෝලා ශ‍්‍රී ලංකා විසින් "බිග් බඞී පැක්” ලෙස නම් කර ඇති විශාල ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් (LRGB) නව මුහුණුවරකින් සහ නැවුම් පෙනුමකින් අත්දැකීම වැඩිදියුණු කිරීමට සහ පාරිභෝගිකයින්ට දැරිය හැකි විකල්පයක් ලබා දීමට හඳුන්වා දෙයි. නව බිග් බඞී බෝතලය සාක්කුවට මෙන්ම පරිසරයටද යහපත් වන පරිදි ස්ථානගත කර ඇත.

කොකා-කෝලා වීදුරු බෝතලය ලෝකයේ වඩාත්ම ප‍්‍රචලිත හැඩයන්ගෙන් එකක් වන්නේ එහි ඇති සමෝච්ඡ දාර සහිත මුහුණුවර නිසාය. එය සම්භාව්‍ය නිර්මාණයක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති අතර දශක ගණනාවක් තිස්සේ කලාව, සංගීතය සහ වෙළඳ ප‍්‍රචාරණය තුළ මෙම හැඩය සමරනු ලබයි. සමෝච්ඡ හැඩැති බෝතලය සැමවිටම කොකා-කෝලා සමඟ සම්බන්ධ වන නමුත් සමාගම සිය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නව්‍යකරණයන් සහ පරිණාමය කිරීම දිගටම කරගෙන යයි.

සහසම්පූර්ණ බීම සමාගමක් ලෙස, කොකා-කෝලා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජීවන රටාවට සහ අවස්ථාවට ගැලපෙන පරිදි ඇසුරුම්වල වර්ගය සහ ප‍්‍රමාණය තෝරාගැනීමේදී වැඩි පරාසයක් සපයයි. ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගාත්මක ආර්ථික වකවානුව අභියස, LRGB "බිග් බඞී පැක්” මගින් පාරිභෝගිකයින්ට කොකා-කෝලා වල රසය රුපියල් 180/-ක දැරිය හැකි මිලකට සහ 0.75 ලීටර් ප‍්‍රමාණයකින් බිග් බඞී භුක්ති විඳීමට අවස්ථාව සලසයි. මෙම ඇසුරුම ප‍්‍රබෝධමත් කෝක්, ෆැන්ටා හෝ ස්ප‍්‍රයිට් වීදුරු 04ක් දක්වා සපයන බැවින් පවුලේ ආහාර වේල සඳහා පරිපූර්ණ සහකාරිය වනු ඇත, එය බස්නාහිර පළාතේ සහ ඉන් පසුව අනෙකුත් ප‍්‍රදේශවලදී ළ ලබා ගත හැකිය.

ශ‍්‍රී ලංකා හා මාලදිවයින යන රටවල් වල කොකා-කෝලා හි කළමනාකාර අධ්‍යක්ෂ පන්කජ් සින්හා ප‍්‍රකාශ කළේ, "කොකා-කෝලා සමාගමේ අරමුණ ලෝකය ප‍්‍රබෝධමත් කිරීම සහ වෙනසක් ඇති කිරීමයි. විවිධ පහසු ඇසුරුම් ප‍්‍රමාණ හරහා සීනි අඩු කළ හෝ රහිත විකල්ප ඇතුළු අර්ථවත් සන්නාම සහ රස කළඹක් ඔස්සේ අපි අපගේ පාරිභෝගිකයින්ට වගකිවයුතු තේරීම් පිරිනමන්නෙමු. මිලිලීටර් 750 බිග් බඞී ඇසුරුම සමාගමේ අරමුණ ශ‍්‍රී ලංකාව තුළ ජීවමාන කිරීමේ තවත් ප‍්‍රධාන පියවරකි. මෙවන් දුෂ්කර කාල වකවානුවකදී මෙම ඇසුරුම දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට ලබාදෙන ගමන්ම අද්විතීය නැවත පිරවිය හැකි වීදුරු බෝතලයක්, කඩදාසි ලේබල් සහ ඇලූමිනියම් මූඩියක් යන නව්‍යකරණයන් මගින්ද වෙනසක් ඇතිකරයි. බිග් බඞී බෝතලය මගින් කොකා-කෝලා පාරිභෝගිකයින්ට, විශේෂයෙන්ම වීදුරු බෝතල්වල කෝක් රස විඳිමින් හැදී වැඩුණු සහස‍්‍ර පරම්පරාවන්ට මතක මං තීරුවේ සංචාරය කර නැවත වරක් මෙම අද්විතීය වීදුරු බෝතල් අත්දැකීමේ අත්විඳීමට මෙම බෝතලය ඉඩ සලසයි. තරුණ පරම්පරාවන් සඳහා, එය ඔවුන්ගේ ප‍්‍රියතම ප‍්‍රබෝධමත් පානය භුක්ති විඳීමේ නව ක‍්‍රමයක් වනු ඇත.

කොකා-කෝලා ශ‍්‍රී ලංකා සමාගම සිය පාරිභෝගිකයින්ට වගකීම් සහගත තේරීම් අවස්ථා ලබාදීමේ අරමුණින් වසර ගණනාවක් පුරා සිය නිෂ්පාදන පෙළ ක‍්‍රමානුකූලව ගොඩනගා ඇත. එහි ප‍්‍රවේශමෙන් සකස් කරන ලද සන්නාම අතර ක්ලැසික් කෝක්, ස්ප‍්‍රයිට් සහ ෆැන්ටා ඇතුළත් වන අතර, ඒ සියල්ල RGB, PET සහ දැන් LRGB යන විවිධ පහසු ඇසුරුම් ප‍්‍රමාණවලින් ලබා ගත හැකිය. කොකා-කෝලා විසින් ෆැන්ටා ක‍්‍රීම් සෝඩා, ෆැන්ටා පෝර්ටෙලෝ සමග කෝක් සීරෝ සහ කින්ලි සෝඩා වැනි සීනි අඩු කරන ලද හෝ සීනි රහිත පාන වර්ග හරහා පාරිභෝගිකයන් වෙත නව්‍ය රසයන් ලබා දී ඇත.

කොකා-කෝලා බෙවරේජස් ශ‍්‍රී ලංකා සීමාසහිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, දීපක් සෙන්තිල් නාත් මහතා පැවසුවේ, "සියලූම කොකා-කෝලා LRGB බෝතල් විනිවිද පෙනෙන අතර පෙනුම අතින් මටසිලිටු සහ පැහැදිලි ස්වභාවයක් ගනී. මෙම බෝතල් පාරිභෝගිකයින්ට ආපසු රැගෙන ඒමට වඩාත් පහසු වේ. එක් බෝතලයක් කිහිප වතාවක් නැවත පිරවිය හැකි වීම හේතුවෙන් වීදුරු බෝතල් නැවත භාවිත කළ හැකි ඇසුරුම් බවට පත් වෙයි. LRGB බෝතල්වල පළමු පිරිනැමීම පාරිභෝගිකයින්ට කෝක්, ස්ප‍්‍රයිට් සහ ෆැන්ටා වල රසයන් ලබා දෙනු ඇති අතර ඉදිරියේදී තවත් වෙළඳ නාම සමඟින් ඔබ අතට පත්වෙනු ඇත.

කොකා-කෝලා සමාගම 1961 දී දිවයිනේ ප‍්‍රථම වරට දියත් කරන ලද අතර අදට ශ‍්‍රී ලංකාවේ සිය 61 වන සංවත්සරය සමරයි. පසුගිය දශක හය තුළ සමාගම කොකා-කෝලා වෙළඳ ලකුණ හඳුන්වාදීම තුළින් මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ සිත් දිනාගත් අතර පසුව වෙනත් වෙළඳ නාම පරාසයක් පුරාවට කොකා-කෝලා සමාගම සිය ව්‍යාපාරයේ අනාගතය සඳහා ආයෝජනය කර ඇති අතර, පසුගිය දශක දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 99 ක් තරම් ආයෝජනයක් කරමින් දිවයිනේ ජාතිය සඳහා දිගුකාලීන කැපවීමක් පෙන්නුම් කරයි. එහි පාන වර්ග විකිණීමෙන් ආදායමක් උපයා ගන්නා 80,000කට වැඩි වෙළඳ අලෙවිසැල් වෙළෙන්දන්ට අමතරව, ආර්ථිකයට ප‍්‍රතිලාභ ලබා දීම සඳහා දේශීය ශ‍්‍රම බලකාය තුළ රැකියා දහස් ගණනකට වඩා වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කිරීම තුලින් ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීමට සමාගම උපකාරී වී ඇත.

වසර ගණනාවක් පුරා, කොකා-කෝලා සමාගම විසින් ශ‍්‍රී ලංකාව තුළ සාර්ථක තිරසාර වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇත. නිවැරදි ආකාරයෙන් ව්‍යාපාර කරමින් මිනිසුන්ගේ ජීවිත, ප‍්‍රජාවන් සහ අපගේ ලෝකයේ වෙනසක් ඇති කරමින් වඩාත් තිරසාර සහ වඩා හොඳ හවුල් අනාගතයක් නිර්මාණය කිරීමට කොකා-කෝලා සමාගම අවධානය යොමු කරයි. සමාගම මෙය සාක්ෂාත් කරගනු ලබන්නේ ඇසුරුම් ප‍්‍රතිචක‍්‍රීකරණය, ජල ඌණපූරනය සහ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් ඇතුළු ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ගේ යහපැවැත්ම සහතික කිරීම පිළිබඳ තිරසාර මුල පිරීම් මගිනි. නව විශාල ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් එළිදැක්වීම මගින් සමාගමේ තිරසාරභාවය පිළිබඳ අවධානය තව දුරටත් වැඩි කරන අතර ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට මිතුරන් සහ පවුලේ අය සමඟ ආහාර වේලෙහිදී භුක්ති විඳීමට හැකි ප‍්‍රබෝධමත් සහනදායී පානයක් සැපයීම අරමුණු කරයි.