• Ada Derana BIZ Sinhala
  • pelwatte
  • sri lanka

ස්වයං සත්ව ආහාර නිෂ්පාදනය තුලින් සිය කිරි කර්මාන්තය නැංවීමෙහිලා පැල්වත්ත සමාගම අනඟි ක්‍රියාවලියක

September, 13, 2022

මව්බිමට වටිනා විදේශ විනිමයක් ඉතිරිකරනු ලබන ශ්‍රී ලාංකීය කිරි නිෂ්පාදන සන්නාමයන් අතර පැල්වත්ත සමාගම ප්‍රමුඛතම ස්ථානයක් හොබවයි. පැල්වත්ත සිය නැවුම් රසයෙන් යුත් ගුණාත්මක නිෂ්පාදන පෙළ තුලින් සිය පාරිභෝගිකයින්ගේ හදවත් දැනටමත් දිනාගෙන අවසන්ය.

ස්වයං ගව ආහාර නිෂ්පාදනය පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන පැල්වත්ත ආයතනය, 2009 සිට මෙම කර්තව්‍යයේ නියැලෙයි. කිසිදු වෙනසකින් තොරව ගව ආහාරවල ගුණාත්මකභාවය එකසේ පවත්වා ගැනීමටද ඔවුන් සමත් වී ඇත. කිරි ගවයින්ට ලබා දෙන ආහාර අනුව ඔවුන් ලබා දෙන කිරිවල ප්‍රමාණය සහ ගුණාත්මකභාවය වෙනස් වන බැවින් ඒවා සාමාන්‍ය ගවයන්ට ලබා දෙන ආහාර සමඟ සැසඳිය නොහැක. මේ හේතුවෙන් කිරි ගවයින්ගේ ආහාර සැකසීමට පෙර ඔවුන්ගේ ශරීර බර, ජීවන චක්‍ර අවධිය, ලබා දෙන වියළි ආහාර සහ දියර ආහාර ප්‍රමාණයන් යන අංශ කෙරෙහි පැල්වත්ත සුවිශේෂී අවධානයක් යොමු කරයි.

"කිරි ගවයාට ලබා දෙන වියලි ආහාර, එම සත්වයාගේ ඵලදායිතාව ඉහළ නැංවීමට සහ පාරිභෝගිකයාට වඩාත් රසවත් කිරි ලබාදීමට ප්‍රධාන සහ වැදගත් සාධකය වන බව පැල්වත්ත අපි හඳුනාගෙන තියෙනවා. අපගේ සත්ව ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානයෙහි  දිනකට මෙට්‍රික් ටොන් 60 ක සැලසුම්ගත ධාරිතාවකින් යුත් ගුණාත්මක සත්ව ආහාර ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව පවතිනවා. අපි ශ්‍රී ලංකාව තුළ සෑම මසකම මෙට්‍රික් ටොන් 300කට වැඩි ගව ආහාර නිෂ්පාදනයක් සිදු කරන අතරම මෙම ආහාර අපගේම කිරි සැපයුම්කරුවන් විසින් භාවිතා කරනු ලබනවා. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචියත් සමඟ ඔවුන්ගේ අනුග්‍රහය යටතේ පැල්වත්ත නිෂ්පාදන මධ්‍යස්ථානවල ඇති උසස් තත්ත්වයේ ගව ආහාරවල,  අමුද්‍රව්‍ය යෙදවුම්වල සිට අවසාන නිෂ්පාදිතය දක්වා ක්‍රියාකාරිත්වය සිදුවෙනවා. මෙසේ දේශීයව නිෂ්පාදනය කරනු ලබන උසස් තත්වයේ ගව ආහාර තුලින් අපගේ කිරි නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය වඩා වර්ධනය වන බව මම විශ්වාස කරනවා" පෝෂක නිෂ්පාදන මධ්‍යස්ථානය භාර ජ්‍යෙෂ්ඨ විධායක යාන්ත්‍රික ඉංජිනේරු පී.ඒ.පී. කුමාර මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

පැල්වත්ත සත්ව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රථමයෙන් ම ඉරිඟු සහ සහල් වැනි අමුද්‍රව්‍ය හොදින් සේදීමට ලක්කරන අතර පසුව ඒවා කාණ්ඩ වලට වෙන්කිරීමෙන් අනතුරුව අනෙකුත් කුඩා අමුද්‍රව්‍ය එකතු කිරීම සිදුවේ. ඉන් අනතුරුව සිදු වන්නේ මිශ්‍ර කිරීමේ ක්‍රියාවලිය වන අතර, මිශ්‍ර කිරීම අනුව අවසාන නිෂ්පාදිතයේ ගුණාත්මකභාවය තීරණය වන බැවින් මිශ්‍ර කිරීමේ ක්‍රියාවලියට වැඩි අවධානයක් යොමු කිරීම සිදු වේ.  කැට ගැසීම, තොගයෙහි  ඝනත්වය සමානුපාත කිරීම සහ මිශ්‍රණ කාලය අතර නිවැරදිබව යන කරුණු මත හොඳ මිශ්‍රණයක් නිර්මාණය වීම තීරණය වේ. පසුව මිශ්‍රණය ඇඹරීම මගින් කුඩු බවට පත් කරන අතර ඉන් අනතුරුව එයට උක් පැණි එක්කරනු ලබයි. ඉන් පසු මෙම අමුද්‍රව්‍ය මිශ්‍රණය සෙල්සියස් අංශක 85 කදී තත්ත්පර 15ක් පුරා පිසගනු ලැබේ. අවසානයේදී සිදු වන්නේ මිශ්‍රණය සිසිල් කිරීමය. සිසිල් කිරීමෙන් අනතුරුව පෙරීමකට භාජනය කරන අතර එයින් තෝරාගන්නා සුදුසු කොටස් පමණක් ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලබයි. මේවායේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා මෙන්ම පිරිවැය අඩු කිරීම සඳහා, තෙතමනය පාලනය කිරීමක් සිදු කරනු ලැබේ.  පැල්වත්ත සමාගමේ ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානයේදී ප්‍රධාන වශයෙන් ගව සාන්ද්‍ර ආහාර වර්ග තුනක් නිෂ්පාදනය කරයි. “Pelwatte High Yielding Feed” යනු ඉහළ අස්වැන්නක් සහිත කිරි ගවයින් සඳහා සාන්ද්‍ර ආහාර වන, පරිවෘත්තීය ශක්තිය (Metabolizable energy) 2600-2750 අතර වන, ප්‍රෝටීන් (16-17%) සහ මේදය (5-7.5%) අඩංගු ආහාර වේ. “Pelwatte General Feed” යනු සාමාන්‍ය අස්වැන්නක් ලබා දෙන ගවයින් සඳහා සාන්ද්‍ර ආහාර වන අතර ඒවායේ පරිවෘත්තීය ශක්තිය (2450-2550), ප්‍රෝටීන් (13.5-14%) සහ මේදය (5-7.5%) අඩංගු වේ.  “Pelwatte Calf Feed” යනු පරිවෘත්තීය ශක්තිය (2800-2950), ප්‍රෝටීන් (18-18.5%) සහ මේදය (5-7.5%) වැනි ඉහළ අනුපාත සහිත පැටවුන් සඳහා සාන්ද්‍ර ආහාර වේ.

ජ්‍යෙෂ්ඨ විධායක පී.ඒ.පී. කුමාර මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් කියා සිටියේ "High yield feed යනු ඉහළ ප්‍රෝටීන් සහිත සාන්ද්‍ර නිෂ්පාදනයක්. එය සාමාන්‍යයෙන් වැඩි කිරි ප්‍රමාණයක් නිපදවන එළදෙනුන් සඳහා අත්‍යවශ්‍යම ආහාරයක්. පැල්වත්ත සමාගම  විසින් ඉහළ නිෂ්පාදනයක් ඇති කිරි ගවයින්ව, ඔවුන්ගේ සෞඛ්‍යය මෙන්ම කිරි නිෂ්පාදනයද කාර්යක්‍ෂම ලෙස පවත්වා ගැනීමට ඉඩ සැලසීම සඳහා ආහාර පරිමාව අඛණ්ඩව වැඩි කිරීමේ සැලැස්මක් මත පෝෂණය කරනවා. අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේදී අප භාවිතා කරන අමුද්‍රව්‍ය අතර බඩඉරිඟු, තිරිඟු නිවුඩ්ඩ, සෝයා බෝංචි, ඩීසීපී, ලුණු, දෙහි, සහල්, පරිප්පු සහ පරිප්පු නිවුඩ්ඩ, පොල් පුන්නක්කු, පොහොර සහ සහල් සන්නාමයක්  වන ඩී - ඔයිල් අඩංගු වෙනවා. වැදගත් කරුණක් නම් පැල්වත්තේ කිරි ගව ආහාර නිෂ්පාදනය කරනු ලබන්නේ දේශීය අමුද්‍රව්‍ය මත වීමයි. මෙය කුඩා පරිමාණ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තයට සහාය වීම සඳහා ය. පැල්වත්ත විසින් අවස්ථා ගණනාවකදී රට පුරා සිටින ගව ගොවීන්ගේ  විශේෂ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කර තිබෙනවා"

සාමාන්‍ය නිෂ්පාදන මට්ටම් ඇති කිරි එළදෙනුන්ට සහ පිරිමි ගවයින්ට "General feed" කාණ්ඩයේ ආහාර ලැබෙන අතර, පරිණත ගවයින්ගේ ඝන ආහාරවලට සාපේක්ෂව පැටවුන්ට විශාල දියර ආහාර වේලක් ලබා දෙනු ලැබේ. තවද, පැටවුන් වර්ධනය වන විට ඔවුන්ගේ ප්‍රෝටීන් ඉල්ලුම වැඩි වන බැවින් ඔවුන්ට  සෝයා සහ අනෙකුත් ධාන්‍ය මත පදනම් වූ ආහාර ලබා දේ. උසස් තත්ත්වයේ කිරි යෙදවුම් පවත්වා ගැනීම සඳහා සමාගමට සහයෝගය ලබා දෙන එහි ප්‍රධාන සැපයුම් දාමය වන ගොවීන්ව අඛණ්ඩව ඇගයීමට ලක් කරයි. පැල්වත්ත සමාගම මේ වනවිට ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් විශාල සංඛ්‍යාවකට සිය අත්වැල සපයනු ලබයි.

  • Ada Derana BIZ Sinhala
  • FAO
  • sri lanka
  • WFP

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට අනතුරු ඇඟවීමක්

September, 13, 2022

දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශී‍්‍ර ලංකාවේ ආහාර අනාරක්‍ෂිතතාවය උග‍්‍ර විය හැකි බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු අඟවයි.

ජනගහනයෙන් 30% කට ආසන්න ප‍්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්‍ෂිතතාවයට පත්ව සිටින අතර හදිසි ආධාර ප‍්‍රමාදවුවහොත් ආහාර අනාරක්‍ෂිතතාවය තවදුරටත් උග‍්‍ර වනු ඇත.

ශ්‍රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග‍්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන බවත් බවත් ප‍්‍රමාණවත් ජීවිතාරක්‍ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්වය වඩාත් බැරැරුම් විය  හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) නව වාර්තාවක් නිකුත් කරමින් අද ප‍්‍රකාශ කරන ලදි.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල සිදුකරන ලද ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව, ආසන්න වාර දෙකක බෝග අස්වැන්න අසාර්ථක විම හේතුවෙන් ආහාර නිෂ්පාදනය 50%ක් පමණ පහත වැටුනු අතර, විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනයනය අඩු විය.

විශේෂයෙන්ම මධ්‍යස්ථ මට්ටමේ සිට උග‍්‍ර මට්ටමේ ආහාර අනාරක්‍ෂිතතාවයට පත්ව සිටින පවුල් වලට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමේ හැකියාව ලැබෙන පරිදි පවතින සමාජ ආධාර යාන්ත‍්‍රණ ද ඇතුළුව  හදිසි ආහාර ආධාර සහ ජීවනෝපාය වැඩ සටහන් වහාම කි‍්‍රයාත්මක කළ යුතුව ඇතැයි වාර්තාව සඳහන් කරයි. ප‍්‍රධාන ආහාර වර්ග වල විශේෂයෙන්ම වී අස්වැන්න අඩු වීමත් පවතින ආර්ථික අර්බුදයත් නිසා අධාර ලබා
දීමක් සිදු නොවුන හොත් 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි අතර කාලය තුළ ඔවුන්ගේ ආහාර සුරක්‍ෂිතතාවය තවදුරටක් පිරිහෙනු ඇතැයි අපේක්‍ෂා කරනු ලැබේ.

"ආහාර සුරක්‍ෂිතතා තත්වයන් තවදුරටත් පිරිහීම වැලැක්වීම සඳහා සහ කෘෂිකාර්මික නිෂ්පාදනය යථාතත්වයට පත් කිරීමට සහාය විම පිණිස, කුඩා ඉඩම් හිමියන් ඉලක්ක කර ගනිමින් ජීවනෝපාය ආධාර ලබා දීම ප‍්‍රමුඛතාවයක් ලෙස සිදුකළ යුතු වන්නේය,” යනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශී‍්‍ර ලංකාවේ නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් මහතා පැවසීය. "ජනගහනයෙන් 30%ක් පමණ කෘෂිකර්මාන්තයෙන් යැපෙන බැවින් ගොවීන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම මගින් අවසානයේදී කෘෂිකර්මාන්තයෙන් යැපීමේ හැකියාව ඉහළ නංවනු ඇති අතර, එමගින් විදේශ මුදල් සංචිතයන්ගේ හිගය නිසා ආහාර අවශ්‍යතා ආනයනය කිරීම අඩු කිරීමටත් කුසගින්න වැඩිවීම වලක්වා ගැනීමටත් හැකි වනු ඇත.” යනුවෙන්ද ඔහු පැවසීය.

"මාස ගණනාවක් තිස්සේ කඩාවැටෙමින් පවතික ආර්ථික ආර්බුදය හමුවේ බොහෝ පවුල් වලට විකල්ප නැති වෙමින් පවතී. ඔවුන් අසරණව වෙහෙසට පත්ව ඇත. පවුල් 60%කට වැඩි සංඛ්‍යාවක් ප‍්‍රමාණාත්මකව ආහාර නොගන්නා අතර ඔවුන් මිල අඩු සහ පෝෂ්‍යදායී නොවන ආහාර අනුභව කරති. මෙම මුල්‍ය බාධාවන් හේතුවෙන් පාසල් ආහාර වැඩසටහන් සහ මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ලබා දෙන පෝෂණ වැඩසටහන් අඩු පරිමාණයකින් සිදු කිරීමට යම් අවස්ථාවකදී රජයට සිදුවනු ඇත. ලෝක ආහාර වැඩපිළිවෙලහි ප‍්‍රමුඛතාවය වන්නේ අවදානමට ලක්ව ඇති ප‍්‍රජාවගේ පෝෂණය තවදුරටත් පිරිහී යාම වැලැක්වීම සඳහා ක්‍ෂණික ආහාර සහ පෝෂණ ආධාර ලබා දීමය,” යනුවෙන් ලෝක ආහාර වැඩපිළිවෙලහි නියෝජිත සහ ශී‍්‍ර ලංකා අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දිකී මහතා පැවසීය.

රජයේ ඉල්ලීමට අනුව, 2022 ජූනි සහ ජූලි මාස අතර තුරදී දිවයිනේ දිස්ති‍්‍රක්ක 25 ම ආවරණය වන පරිදි ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් ක‍්‍රියාවලියක් සිදු කරන ලදී. මෙහිදී විශේෂයෙන්ම ප‍්‍රධාන ධාන්‍ය වර්ග ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන මට්ටම් විශ්ලේෂණය කිරීම මෙන්ම ගෘහස්ථ ආහාර සුරක්‍ෂිතතා තත්වයන් තක්සේරු කිරීමටද කටයුතු කරන ලදී.

අස්වනු සැලකිය යුතු ලෙස පහත වැටීම.

ශ්‍රී ලංකාව මුහුණ දෙන උග‍්‍ර සාර්ව ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර, කෘෂිකාර්මික යෙදවුම්, ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය නිෂ්පාදන වල උග‍්‍ර හිඟය සහ අධික ලෙස මිල ඉහළ යාම, යම් ආර්ථික දැඩි ලෙස අවධානමට ලක්කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදනයන් කෙරෙහි විශාල ලෙස බාධා පමුණුවා ඇත.

ප‍්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය 2022 දී මෙට්ටි‍්‍රක් ටොන් මිලියන 3ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එය 2017 දී නිය`ගය නිසා ඇතිවූ බලපෑම හේතුවෙන් අඩු අස්වැන්නක් ලබා ගැනීමෙන් පසු වාර්තාවන අඩුම අස්වැන්න වනු ඇත. මෙම තත්වයට හේතු වී ඇත්තේ පොහොර යෙදීම අඩුවීම බව වාර්තාව අනාවරණය කරයි.

සත්ව ආහාර ලෙස බහුල වශයෙන් භාවිතා කරන බඩ ඉරිඟු නිෂ්පාදනය පසුගිය වසර පහක සාමාන්‍යයට වඩා 40%කින් අඩුවී ඇති අතර එය කුකුළු මස්, බිත්තර සහ අනෙකුත් පශු නිෂ්පාදන කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරයි. එමෙන්ම, එළවළු, පලතුරු, තේ, පොල්, රබර් සහ කුළු බඩු වැනි අපනයන බෝග නිෂ්පාදනයද සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු පට්ටමක පැවතීම පවුල් වල ආදායමේ සහ අපනයන ආදායමේ සැලකියයුතු අඩුවීමක් ඇති කිරීමට හේතු වී තිබේ.

බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් 2021 අවසාන කාර්තුවේ සිට ක‍්‍රමිකව ඉහළ යමින් තිබෙන අතර 2022 අගෝස්තු මාසයේදී වාර්තාගත ඉහළ මිල මට්ටම් කරා ළඟා වූ අතර, ආහාර උද්ධමනය වසරක් තුළ 94%කින් ඉහළ ගොස් ඇත.

2022 වසරේ මුළු ධාන්‍ය ආනයන අවශ්‍යතාවය මෙට්ටි‍්‍රක් ටොන් මිලියන 2.2 ලෙස ගණන් බලා ඇත. 2022 පළමු මාස හය ඇතුලත ධාන්‍ය මෙට්ටි‍්‍රක් ටොන් 930,000 කට වැඩි ප‍්‍රමාණයක් ආනයනය කර ඇත. ආනයනික අවශ්‍යතාවය සපුරා ගැනිම සඳහා තවත් මෙට්ටි‍්‍රක් ටොන් මිලියන 1.27ක් ආනයනය කළ යුතුව ඇත. පවතින සාර්ව ආර්ථික අභියෝග ශමුවේ ඉතිරි ආනයන අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි වීමේ ඉහළ අවදානමක් පවතින්නේය.

මෙහෙයුම් නිර්දේශ

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ ලෝක ආහාර වැඩපිළිවෙලහි ඒකාබද්ධ මෙහෙයුමෙහි ප‍්‍රධාන නිර්දේශ වන්නේ ගැබිණි සහ මව් කිරි ලබා දෙන මව්වරුන්, කාන්තා මූලික පවුල් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි සහ ආන්තික ප‍්‍රජාවන්ට ඔවුන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනිම සඳහා ක්‍ෂණික ද්‍රව්‍යමය සහ/හෝ මුදල් පදනම් කරගත් ආධාර සැපයීමයි. කුඩා ඉඩම් හිමියන් කෙරෙහි අවධානය යොමු කරමින් පොහොර ඇතුළු කෘෂි යෙදවුම් කඩිනමින් ලබා දීමටද වාර්තාව නිර්දේශ කරයි. ආහාර බෝග ඵලදායක ලෙස වගා කිරීම, අස්වනු නෙලීම, සැකසීම සහ ප‍්‍රවාහනය සහතික කිරීම සඳහා ප‍්‍රමාණවත් ඉන්ධන ප‍්‍රමාණයක් ලබා දෙන අතරම, ඔවුන්ගේ පෝෂණ තත්වයන් ඉහළ නැංවීම සඳහා ගෙවතු වගාව ස්ථාපිත කිරීමට සහාය වීමේ අවශ්‍යතාවය ද වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ආහාර හිඟයේ බලපෑම අවම කිරීම සඳහා පශූ සම්පත් හිමිකරුවන්ට, විශේෂයෙන්ම එළකිරි, කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය සිදු කරන්නන්ට ඉහළ පෝෂණ තත්වයෙන් යුතු සත්ව ආහාර, එන්නත් සහ පශූ සෞඛ්‍ය කට්ටල සහන මිලට ලබා දීමට ද වාර්තාව යෝජනා කරයි. අරමුදල් හිඟකමින් නැවතී ඇති පාසල් ආහාර වැඩසටහන වැනි ජාතික පෝෂණ වැඩසටහන් නැවත ආරම්භ කිමට සහ අඛන්ඩව පවත්වා ගෙන යාමට සහාය දැක්වීමද ප‍්‍රමුඛතාවයක් ලෙස ඉස්මතු කර දක්වා ඇත.

 

ඡායාරූපය: ශ‍්‍රී ලංකාව පිළිබඳ ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් (CFSAM) වාර්තාව ශ‍්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දෙන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

සියලු කොටස් ඒකක 9,800 පසුකරයි

September, 12, 2022

නව ගනුදෙනු සතියක ආරම්භක දිනය වූ අද (12) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 108.97 කින් එනම් 1.12% කින් ඉහළ ගොස් ඒකක 9,813.18 ක් ලෙසින් සටහන් විය.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ යාම සඳහා සමාගම් 122 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර ලංකා IOC, රෝයල් සෙරමික්, CIC, ඇක්සෙස් ඉන්ජිනියරින්ග් සහ හේලීස් යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 25.35 කින් හෙවත් 0.81% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,156.64 ක් ලෙසින් දැක්වුණි.

අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.78 ක් ලෙසින් සටහන් විය. එහිදී රු. බිලියන 4.54 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රු. බිලියන 4.60 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වූ අතර රු. මිලියන 236.94 ක් විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 183.77 ක් විදේශීය විකිණුම් ලෙසින් වාර්තා විය.

 

  • Ada Derana BIZ Sinhala
  • Chilaw
  • Mahindra IDEAL Finance Limited
  • sri lanka

සුන්දර හලාවත නගරයටත් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාවක්

September, 12, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගම් අතරින් එකක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්, සිය නවතම ශාඛාව පසුගියදා හලාවත ප්‍රදේශයේදී විවෘත කළේ ය. නවීන පහසුකම් වලින් සමන්විත මෙම ශාඛාව අංක 22, ෂර්ලි කොරයා මාවත, හලාවත යන ස්ථානයේ පිහිටා තිබේ. මින් ඉදිරියට හලාවත ප්‍රදේශයේ ජනතාවට, මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පිරිනමන ස්ථාවර තැන්පතු, රන් ණය සහ ලීසිං ඇතුළු සියලුම සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

නව ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සමාගමේ ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය, විශේෂ ආරාධිතයන් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසුවේ, සමාගම මේ වනවිට දිවයිනේ ආර්ථික වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවයි. “හලාවත යනු වර්ණවත් ඉතිහාසයක් මෙන්ම ආකර්ෂණීය වෙරළ තීරයක්ද සහිත සුන්දර නගරයක්. මේ නිසාම එය බෙහෙවින් සංචාරක ආකර්ෂණය දිනූ නගරයක් බවටද පත්වී තිබෙනවා. එමෙන්ම කෘෂිකාර්මික සහ කාර්මික කටයුතු සම්බන්ධයෙන්ද හලාවත ප්‍රදේශය බෙහෙවින් ප්‍රසිද්ධයි. මේ නිසා හලාවත නගරය, ප්‍රදේශවාසීන්ටත් සංචාරකයන්ටත් ආර්ථික හා සමාජයීය වශයෙන් අතිශයින් වැදගත් නගරයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙවැනි නගරයක අපගේ ශාඛාවක් පිහිටුවීම මගින් අපගේ දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් වන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මෙමගින් ප්‍රදේශවාසීන්ට ඵලදායී ආර්ථික කටයුතු වල නියැළීමට සවිමත් අත්වැලක්ද හිමි වනවා.” දුමින්ද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසී ය.

මීට ඉහත වයඹ පළාතේ තවත් ආර්ථික වශයෙන් වැදගත් නගර දෙකක් වන කුරුණෑගල සහ කුලියාපිටිය යන නගරයන්හිද මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා විවෘත කරන ලදි. හලාවත ශාඛාව, එම පළාත තුළ විවෘත කරන ලද තුන්වැනි මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාව වන අතර, එය මෙම ප්‍රදේශයේ සැලකිය යුතු පිරිසකට නව රැකියා අවස්ථාවන්ද උදාකර දෙනු ඇත. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම සේවායෝජකයෙකු ලෙස පිළිගැනීමට ලක් වී ඇති මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව වසර තුනක් Great Place to Work™ ඇගයීමද හිමිකරගෙන තිබේ.

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම (Mahindra and Mahindra Financial Services Limited, India) අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග මේ ආකාරයට සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා පුළුල් කිරීමේ වේගවත් වැඩසටහන ආරම්භ වී තිබේ. පසුගිය වසරේ සිදු වූ මෙම හිමිකාරීත්ව වෙනසින් පසු, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ජයගැනීමේ අරමුණින් අයිඩියල් ෆිනෑන්ස් සමාගම ‘මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ්’ ලෙස නම්කරන ලදි. මහින්ද්‍රා සමාගම අයිඩියල් ෆිනෑන්ස් හි ආයෝජනය කිරීමෙන් අනතුරුව ෆිච් රේටිංස් විසින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ණය ශ්‍රේණිය ‘AA – (lka) with a stable outlook’ ලෙස උසස් කරන ලදි.

Mahindra and Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමක් වන Mahindra IDEAL Finance Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතනයක් සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් වේ. 2012 වසරේදී එය ආරම්භ වූයේ ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල ගනුදෙනුකරුවන්ට සේවාවන් සැපයීමේ අරමුණිනි. මේ වනවිට එම සමාගම රන් ණය සහ පුද්ගලික ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂි රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, ආයෝජකයන්ට සිය ආයෝජන සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභද පිරිනමයි.

ඡායාරූපය: අලුතින් විවෘත කරන ලද මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් හලාවත ශාඛාවේ කාර්ය මණ්ඩලය, එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් පිරිසක් සමග

  • Ada Derana BIZ Sinhala
  • Alumex
  • Low Carbon
  • sri lanaka

Alumex අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා පරිසර හිතකාමී Low Carbon ඇලූමිනියම් හඳුන්වා දෙයි

September, 12, 2022

ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තිරසාර නවෝත්පාදනයන් ගොඩනඟමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සහ පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදනයේ ජාතික ප‍්‍රමුඛයා වන Alumex PLC ගෝලීය වෙළෙඳපොළ සඳහා Low Carbon ඇලූමිනියම් හඳුන්වාදීම පිළිබඳව නිවේදනය කළේය.

සපුගස්කන්ද ප‍්‍රදේශයේ දී ස්ථාපිත කරන ලද Alumex හි නව නවීනතම ඇලූමිනියම් උණු කිරීමේ පහසුකම හරහා Low Carbon ඇලූමිනියම් නිෂ්පාදනය සකී‍්‍රය කරන අතර දැනටමත් එහි පළමු අදියර සාර්ථක ලෙස කි‍්‍රයාත්මක වෙයි. මෙමගින් අපනයන වෙළඳපල ජය ගැනීම යථාර්ථවත් කරන අතර රුපියල් බිලියන 1.0 ක ආයෝජනයක් සිදුකර එය දෙවන අදියර දක්වා ද පුළුල් කරයි.

ලොව ඇති නවීනතම සහ පරිසර හිතකාමී තාක්ෂණයන් ඇතුළත් කරමින් නව පහසුකම හරහා Boxite මගින් ප‍්‍රාථමික ඇලූමිනියම් නිෂ්පාදනයේදී පරිභෝජනය කරන මුළු ශක්තියෙන් 5%ක් පමණක් ප‍්‍රයෝජනයට ගනිමින් ඉහළම තත්වයේ ඇලූමිනියම් billets නිෂ්පාදනය කිරීමට Alumex හට හැකියාව ලැබේ. තවදුරටත් ස්වයංක‍්‍රීයකරණය මත පදනම් වූ ප‍්‍රශස්තකරණයන් Alumex හි බලශක්ති පරිභෝජනය 20% දක්වා අඩු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Alumex  PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රමුක් දැදිවෙල මහතා පවසන පරිදි මෙම නිෂ්පාදනය ශ‍්‍රී ලාංකේය ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පාරිසරික සහ කාබන් පියසටහන් අවම කිරීමට දරණ වෑයමකි. එමෙන්ම මෙහිදී  “Ozon” භාවිතා කරමින් ඉහළම ගෝලීය තත්ව ප‍්‍රමිතීන් පවත්වාගෙන යන අතර Ozon billets සඳහා ඔවුන්ගේ විදේශීය ගැනුම්කරුවන්ගෙන් ඉහළ ඉල්ලූමක් පවතී. විශේෂයෙන් Low Carbon ඇලූමිනියම් සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය සහ  ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් වල ඉහළ ඉල්ලූමක් පවතී. වර්තමානයේ පවතින අර්බුදකාරී තත්වය තුළ ඉතා අත්‍යවශ්‍ය සහ ප‍්‍රමුඛ වැදගත්කමක් ඇති විදේශ විනිමය මෙරටට ගෙන ඒමට මේ හරහා Alumex හට හැකි වේ.

”ඇලූමිනියම් යනු අසීමිත හැකියාවන් ඇති සහ නැවත නැවත භාවිත කළ හැකි ද්‍රව්‍යයක්. නිවැරදිව සකසන ලද විට ගුණාත්මක හා හානියකින් තොරව එය භාවිතා කිරීමට, උණු කිරීමට සහ නැවත සකස් කිරීමට පුළුවන්. අපගේ නව පහසුකම හරහා Alumex විසින් නැවත නැවත භාවිතා කිරීම සක‍්‍රීය කිරීම, සෘණාත්මක පාරිසරික බලපෑම සහ බලශක්ති භාවිතය විශාල ලෙස අඩු කරනවා. ඒ වගේම අපි දකුණු ආසියාවේ ඉහළම ගුණාත්මක නිෂ්පාදන දේශීය සහ ගෝලීය වෙළෙඳපොළ වෙත බෙදා හැරීම සඳහා අපගේ සන්නාමයේ කීර්ති නාමය අඛණ්ඩව පැතිරවීම සහතික කරනවා.” යනුවෙන් දැදිවෙල මහතා වැඩිදුරටත් පැවසුවේය.

Hayleys Life Code අනුගමනය කරමින් හේලීස් සමූහයේ සියලූම සමාගම් පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මුලපිරීම් සඳහා ඒකාබද්ධ ප‍්‍රවේශයක් අනුගමනය කරන අතර Alumex ද තිරසාරභාවය කේන්ද්‍ර කරගත් අපනයන සංවර්ධනය අවධාරණය කරමින් සිය උපායමාර්ග වඩාත් ශක්තිමත් ලෙස සකස් කර ඇත.

”අපි රටක් ලෙස වඩාත් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින කාලයක ආයෝජන සහ නවෝත්පාදනයන් තුළින් ඉදිරියට යාම සහ ඊට නායකත්වය දීම අපගේ වගකීම බව අපි විශ්වාස කරනවා. කාබන් විමෝචනය සහ බලශක්ති පරිභෝජනය අවම කරමින් අපගේ පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට දායක වෙමින් ගෝලීය වේදිකාවක් මත තරඟ කළ හැකි නිෂ්පාදන මෙහෙයුම් නිර්මාණය කිරීමට Alumex කණ්ඩායම දරණ උත්සාහය Hayleys Life Code හි දක්වා ඇති හොඳම පරමාදර්ශවලට අනුකූල වෙනවා. ඒ වගේම ඔවුන්ගේ නවෝත්පාදන ආකල්පය පිළිබඳව ඔවුන්ට ප‍්‍රශංසා කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් හේලීස් සමූහයේ සභාපති සහ ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ප‍්‍රකාශ කළේය.

Alumex දැනටමත් එහි අමුද්‍රව්‍ය අවශ්‍යතාවයෙන් 50% ක් සඳහා ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද ලෝහ භාවිතා කරයි. මෑතකදී Alumex පරිසරය සුරැකීමේ සිය මුලපිරීමේ කොටසක් ලෙස භාවිතා කරන ලද ඇලූමිනියම් බීම කෑන් (UBCs) එකතු කිරීමේ නියමු ව්‍යාපෘතියක් රට තුළ කි‍්‍රයාත්මක කළේය. සාමාන්‍යයෙන් භාවිතා කරන ලද ඇලූමිනියම් බීම කෑන් කිලෝග‍්‍රෑම් 1 ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙන් bauxite කිලෝග‍්‍රෑම් 8 ක්, රසායනික නිෂ්පාදන කිලෝග‍්‍රෑම් 4 ක් සහ විදුලිය kWh 14 ක් ඉතිරි කරගත හැකිය.

  • Ada Derana BIZ Sinhala
  • Ceylinco Life’s
  • Pranama Scholarship
  • sri lanaka

සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම ශිෂ්‍යත්ව’ වැඩසටහනෙන් තවත් සිසු දරුවන් 147 දෙනෙකුගේ සිහින වලට තටු

September, 12, 2022

අධ්‍යයන සහ බාහිර ක‍්‍රියාකාරකම් වලදී අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 147 ක් සඳහා මෙවර රුපියල් මිලියන 11.1 ක් වටිනා ශිෂ්‍යත්ව ලබාදෙමින් සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 21 වන අදියරේ ශිෂ්‍යත්ව ප‍්‍රදානයකිරීමේ උත්සවය පසුගියදා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ පවත්වන ලදී.

අඛණ්ඩව දෙවන වරට මෙම උත්සවය Zoom ඔස්සේ සජීවීව විකාශය කළ අතර මේ සඳහා දෙමව්පියන්, ගුරුවරුන්, ශිෂ්‍යත්ව ලාභීන් ඇතුළු 200 කට වැඩි පිරිසක් සහභාගී විය. මෙහිදී, කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මෙම මාර්ගගත වැඩසටහනේ ආරාධිත දේශකයා ලෙසින් එක්වූ බව සමාගම සඳහන් කරයි.

මීට අමතරව, මෙම උත්සව සභාව ගාල්ල දිස්ත‍්‍රික්කයේ අ.පො.ස උසස් පෙළ ප‍්‍රථම ස්ථානය දිනාගත් බී. අමන්දි දිල්හාරා සමරවික‍්‍රම සහ යාපනය දිස්ත‍්‍රික්කයේ අ.පො.ස උසස් පෙළ ප‍්‍රථම ස්ථානය දිනාගත් තනරාජ් සුන්දර්භවන් යන අයද අමතන ලදී.

මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දු පුතුනට හා අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත‍්‍රික් මට්ටමේ ඉහළම ප‍්‍රතිඵල ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ලබාදුන් අතර ක‍්‍රීඩාවල සංස්කෘතියල කලාවල නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණයන් හිමිකරගත් තරුණ තරුණියන්ටද මුදල් තිලිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව පිරිනැමිණ. මීට අමතරව, අ.පො.ස. උසස්පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක මට්ටමින් දෙවැනිල තෙවැනි හෝ සිව්වන ස්ථාන හිමිකරගත් ඔප්පුහිමියන්ගේ දරුවන්ට එම ජයග‍්‍රහණ සඳහාද විශේෂ මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු කර ඇත.

මෙම නවතම ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුදරුවන් 28 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 120,000 ක් බැගින් වන ශිෂ්‍යත්ව සමාගම විසින් පරිත්‍යාග කළ අතර එම ශිෂ්‍යත්ව අවුරුදු පහක් පුරා මාසික වාරික වශයෙන් සිසුන්ට ලබාදීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුදරුවන් 25 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 84,000 ක් බැගින් වන ශිෂ්‍යත්ව ප‍්‍රදානය කළ අතර එම මුදල් මාසික වාරික වශයෙන් අවුරුදු දෙකකින් ලබාදීමට සමාගම සහතික වී තිබේ. එසේම, 2020 අ.පො.ස. උසස්පෙළ විභාගයේදී දිස්ත‍්‍රික් පළමුවෙනියා බවට පත්වූ සිසු දරුවන් 25 දෙනෙකු සඳහා එක්අයෙකුට රුපියල් 144,000 ක් බැගින් සමාගම විසින් ප‍්‍රදානය කළ අතර එම මුදල් මාසික වාරික වශයෙන් අවුරුදු තුනකින් ලබාදීමට සමාගම කටයුතු කරනු ඇත.

එසේම, 2020 අ.පො.ස. උසස්පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක වලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන ලබාගත් දරුවන් 65 දෙනෙකුට රුපියල් 30,000 බැගින් ලබාදීමටද සමාගම කටයුතු කළේය.

මීට අමතරව, 2020 සහ 2021 වසර වලදී ක‍්‍රීඩා, නාට්‍ය, නවෝත්පාදනය සහ නිර්මාණශීලි අංශයන්ගෙන් විශිෂ්ටතා දැක්වූ දරුවන්ට කුසලතා සම්මාන හිමිවූ අතර ඒ වෙනුවෙන් එක් අයෙකු වෙත සමාගම රුපියල් 35,000 ක මුදලක් ප‍්‍රදානය කළේය.

මේ සියල්ලට අමතරව මෙම විභාග තුනේදී දිස්ත‍්‍රික්ක මට්ටමින් පළමු දසදෙනා අතරට පත්වූ සිසුදරුවන් 506 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ඇගයීමේ සහතිකයක් සහ ත්‍යාග පාර්සලයක් සමාගම විසින් ඔවුන් ගනුදෙනු සඳහා සම්බන්ධ වන ශාඛා වලදී ළඟදීම පිරිනමන බව සමාගම සඳහන් කරයි.

ප‍්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කළ 2002 වසරේ සිට සිසු දරුවන් 2,887 දෙනෙකු සඳහා සමාගම විසින් රුපියල් මිලියන 166 ක මුදලක් ප‍්‍රදානය කර ඇති අතර මෙවර 21 වන වැඩසටහනත් සමග ප‍්‍රදානය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 177.1 ක් දක්වා ද, ප‍්‍රතිලාභ ලැබූ දරුවන් සංඛ්‍යාව 3,034 ක් දක්වා ද ඉහළ ගොස් ඇත. සමාගම විසින් මෙම වැඩසටහන ආරම්භ කළේ දෙමව්පියන්ට අධ්‍යාපනය සම්බන්ධව තිබෙන මූල්‍ය පීඩනය අවම කිරීමට වන අතර පසුගිය ප‍්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන් වලදී ශිෂ්‍යත්ව දිනාගත් බොහෝ දෙනෙකු මේ වනවිට වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ඉංජිනේරුවන් හෝ අනිකුත් ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණ වෘත්තිකයින් බවට පත්වී රට ගොඩනැගීමේ මෙහෙවරට දායකවී තිබේ.

2022 වසරේ දී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සහ 2021 වසරේ ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇත.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

සේයාරු සටහන - (වමේ සිට) කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා මාර්ගගත උත්සවයේදී කතා පැවැත්වූ සිසුන් දෙදෙනා සමග.

  • Ada Derana BIZ Sinhala
  • August
  • remittances
  • sri lanka

2022 වැඩිම ප්‍රේෂණ අගෝස්තුවේ දී

September, 12, 2022

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් පසුගිය අගෝස්තු මාසයේ දී මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 325.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය 2022 මේ දක්වා කාලය තුළ තනි මාසයක් තුළ ලද වැඩිම ප්‍රේෂණ අගය වේ.

මේ අනුව 2022 වසරේ මුල් මාස 08 තුළ දී ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,214.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

කෙසේවෙතත් මෙය පසුගිය 2021 වසරේ මුල් මාස 08 හි ලැබී තිබුණු සමස්ත ප්‍රේෂණ අගය වූ ඩොලර් මිලියන 4,224.3 හා සැසඳීමේ දී 47.6% ක පහළ යාමකි.

2022 වසරේ එක් එක් මාසය තුළ ලද ප්‍රේෂණ වටිනාකම් පහත පරිදි වේ.

(ඩොලර් මිලියනවලිනි)

ජනවාරි - 259.2
පෙබරවාරි - 204.9
මාර්තු - 318.4
අප්‍රේල් - 248.9
මැයි - 304.1
ජූනි - 274.3
ජූලි - 279.5
අගෝස්තු - 325.4

  • Ada Derana BIZ Sinhala
  • Decathlon
  • sri lanka

ඩොලර් අර්බුදය මැද ලොව ප්‍රමුඛ ක්‍රීඩා භාණ්ඩ අලෙවි සමාගමක් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනාගාර වසාදමයි

September, 12, 2022

ක්‍රීඩා භාණ්ඩ සිල්ලර අලෙවියෙහි නිරත ලොව විශාලතම අලෙවිකරුවා ලෙසින් සැලකෙන Decathlon, ශ්‍රී ලංකාවේ සිය  සිල්ලර මෙහෙයුම් කටයුතු 2022 ඔක්තෝබර් 30 දින සිට නවතා දමනු ලබන බව දැනුම් දී සිටී.

බත්තරමුල්ලේ පිහිටි සිය ප්‍රදර්ශනාගාරයේ සහ අන්තර්ජාලය හරහා සිදුකරන අලෙවි කටයුතු මේ අනුව අත්හිටුවනු ලබන බව එම සමාගම සඳහන් කරයි. මීට පෙර පසුගිය ජූලි 31 දින සිට යූනියන් පෙදෙසේ පිහිටි ප්‍රදර්ශනාගාරය වසා දැමීමට ද ඔවුන් පියවර ගෙන තිබුණි.

ඔවුන් පවසන්නේ වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය හමුවේ සිය නිෂ්පාදන සැපයීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.  පවතින ඩොලර් අර්බුදය හමුවේ පසුගිය අගෝස්තු මාසයේ දී මෙරටට භාණ්ඩ වර්ග 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තහනම් කිරීමට පියවර ගැනුණි.

කෙසේවෙතත් මෙරට තුළ සිය නිෂ්පාදන ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කරනු ලබන බව Decathlon වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රංශය පදනම් කරගත් Decathlon දැනට රටවල් 60 ක ප්‍රදර්ශනාගාර 1,747 ක් ක්‍රියාත්මක කරනු ලබයි.

  • Ada Derana BIZ Sinhala
  • Robin Hood Army
  • sri lanka
  • Uber

Uber සහ Robin Hood Army සුවිශේෂී සමාජ මෙහෙවරක

September, 12, 2022

Uber සහ Robin Hood Army එක් වී, ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. Uber යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන හා ග්‍රොසරි භාණ්ඩ ඩිලිවරි සේවාවක් වන අතර, Robin Hood Army යනු අරමුදල් ලබා නොගන්නා ස්වේච්ඡා සංවිධානයකි. මෙම වැඩසටහන හරහා, කොළඹ ප්‍රදේශයේ දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් වියළි ආහාර එක්රැස් කිරීම හා බෙදාදීම සිදුකෙරෙනු ඇත.

සැප්තැම්බර් මාසයේ සිට Uber Eats app හරහා මෙම වැඩසටහනට වියළි ආහාර ද්‍රව්‍ය කට්ටල පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලීන්ට අවස්ථාව හිමි වේ. කොළඹ නගරය තුළ පිහිටුවා ඇති RHA ස්වේච්ඡා මධ්‍යස්ථාන මගින් මෙම ආහාර ද්‍රව්‍ය එක්රැස් කෙරෙනු ඇත. පාරිභෝගිකයන්ගේ පරිත්‍යාගයන්ට සමාන වටිනාකමකින් යුත් වියළි ආහාර මෙම වැඩසටහනට පරිත්‍යාග කිරීමට Uber Eats ද කටයුතු කරනු ඇති අතර, ‘රොබින් වරුන්’ ලෙසින් හඳුන්වනු ලබන RHA ස්වේච්ඡා සාමාජිකයන් සෑම දිනකම එම ආහාර ද්‍රව්‍ය ජනතාව අතර බෙදාදෙනු ඇත.

“අපගේ සේවාවන් භාවිතා කරන ප්‍රජාවන් ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට අත්වැලක් වීමට අප කැපවී සිටිනවා. මේ දුෂ්කර කාලසීමාවේදී පීඩාවට පත්වී සිටින ජනතාව වෙනුවෙන් සහනයක් ලබාදීම සඳහා Robin Hood Army සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අප මහත් සතුටක්. ප්‍රෞඪ ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්, මෙම ප්‍රජා සත්කාරයට දායක වන ලෙසත්, මෙම අර්බුදයෙන් ගොඩ ඒමට රටට අවශ්‍ය ශක්තිය හැකි උපරිමයෙන් ලබාදෙන ලෙසත් මා සියලුම දෙනාගෙන් මහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිනවා.” Uber Sri Lanka සාමාන්‍යාධිකාරී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය පැවසුවා ය.

“මේ අභියෝගකාරී කාලසීමාවේදී Uber සමග ඇතිකරගත් හවුල්කාරීත්වය ඉතාමත් කාලෝචිත පියවරක් ලෙස මා දකිනවා. මෙමගින් පීඩිත ජනතාවට සහනයක් වීමට ශ්‍රී ලාංකිකයන්ගේ සාමූහික ශක්තිය භාවිතා කිරීමට පුළුවන්. රට තුළ අතිශයින් ජනප්‍රිය Uber Eats app ඔස්සේ සැලකිය යුතු පරිත්‍යාගයන් ප්‍රමාණයක් එක්රැස් කිරීමට අපට හැකි වනු ඇතැයි කියා අප සිතනවා. එලෙස පරිත්‍යාග කරනු ලබන වියළි ආහාර, ඒවා ලැබීමට සුදුසු ජනතාවට පරිත්‍යාග කිරීමට අපගේ නියෝජිතයන් කටයුතු කරාවි. මේ මොහොතේදී පීඩාවට පත්වී සිටින සහෝදර ජනතාවට අත්වැලක් වීමට පෙරට එන මෙන් මා ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” Robin Hood Army සංවිධානයේ ශ්‍රී ලංකා ඒකකයේ ස්වේච්ඡා කණ්ඩායම් කළමනාකරණ ප්‍රධානී මොහොමඩ් හුසාම් හුසේන් මහතා පැවසී ය.

පරිත්‍යාග කළ හැක්කේ මොනවාද?

සහල්, පරිප්පු, සීනි, ටින් කළ ආහාර, කිරිපිටි, වියළි හල්මැස්සන් සහ ටින්මාළු ආදිය ඇතුළත් සම්මත ආහාර ද්‍රව්‍ය කට්ටල පරිත්‍යාග කළ හැක. රු. 1,000 සිට ඉහළට මෙම ආහාර ද්‍රව්‍ය කට්ටල මිල කර ඇති අතර, කොළඹ ප්‍රදේශයේ පිහිටි තෝරාගත් අලෙවිසැල් වලින් Uber Eats app හරහා ඒවා ඇණවුම් කළ හැකි වේ.

පරිත්‍යාග කරන ආකාරය

  1. Uber Eats app හි Home Screen වෙත ගොස්, ලැබිය යුතු ලිපිනය ලෙස පහත සඳහන් RHA මධ්‍යස්ථාන අතරින් එකක් ඇතුළත් කරන්න.
  • Robin Hood Army පරිත්‍යාග එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය - බත්තරමුල්ල 446, දුටුගැමුණු මාවත, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
  • Robin Hood Army පරිත්‍යාග එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය - බොරලැස්ගමුව 33, නිව්ටන් සෙනෙවිරත්න මාවත, බොරලැස්ගමුව
  • Robin Hood Army පරිත්‍යාග එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය - කොළඹ 09 57, මහවැල්ල හරස් පාර, කොළඹ
  1. Uber Eats App තුළ තම ඡායාරූපය මත #DeliveringLove ලෙස සඳහන් කොළ පැහැති හදවත් සලකුණක් ප්‍රදර්ශනය කරන අලෙවිසැලක් තෝරාගන්න. නැතිනම් Uber Eats App තුළ #DeliveringLove billboard ටැප් කර, වැඩසටහනට දායක වන අලෙවිසැලක් සොයාගන්න.
  2. අලෙවිසැලෙහි මෙනුවේ #DeliveringLove කාණ්ඩයට ගොස්, වියළි ආහාර කට්ටලයක් තෝරාගෙන එය ඔබේ Cart එකට එකතු කරන්න.
  3. Checkout පිටුවට ගොස්, ලිපිනය පරීක්ෂා කර බලා තහවුරු කර, ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීම තෝරාගෙන ඔබේ ඇණවුම ලබාදෙන්න.
  4. ඔබේ ඇණවුම RHA පරිත්‍යාග එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනගොස් භාරදෙන ආකාරය සිතියම භාවිතයෙන් නිරීක්ෂණය කරන්න.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල දරුණු වූ මුල් කාලයේ සිටම Uber විවිධ ක්‍රම ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වීම සඳහා පියවර ගෙන තිබේ. මීට පෙරද අවලංගු කරන ලද ඇණවුම් පීඩාවට පත් පවුල් වෙත පරිත්‍යාග කිරීම සඳහා Uber සහ RHA එක්ව කටයුතු කර තිබේ. පසුගිය සතියේදී Uber මෙරට පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක් පරිත්‍යාග කළේ ය.

  • Ada Derana BIZ Sinhala
  • Singer
  • sri lanka

මෙරට මැහුම් ක්ෂේත්‍රය ආශ්‍රිතව කුසලතා සහ ව්‍යවසායකත්වය වර්ධනය කරන සිංගර් ෆැෂන් ඇකඩමියේ කතාව

September, 12, 2022

ශ්‍රී ලංකාව පුරා ජනතාවට මැහුම් කලාව ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන  යාමට පහසුකම් සපයමින්, මැහුම් ක්ෂේත්‍රයට මෙන් ම  නිවාසවලට ද නැතිවම බැරි නිෂ්පාදනයක් බවට පත් වී ඇති සිංගර්  මහන මැෂිම සිංගර් (ශ්‍රී ලංකා) යන නාමය මෙන් ම දශක ගණනාවක් පුරා මෙරට ජන සිත් සතන් තුළ මුල් බැසගෙන ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. සිංගර් සමාගම දශක හයකට වැඩි කාලයක් තිස්සේ  සිය වෙළෙඳනාමය යටතේ, ශ්‍රී ලංකාව තුළ මහන මැෂින් නිෂ්පාදනයේ නිරත වන අතර, ලොව ප්‍රථම සිග් - සැග් මහන මැෂිම සහ පළමු ඉලෙක්ට්‍රොනික මහන මැෂිම ඇතුළු මහන මැෂින් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් රැසක් සිය සන්නාමය යටතේ ලොවට දායාද කිරීමට එම සමාගම සමත් වී ඇත.

සිංගර් (ශ්‍රී ලංකා) සමාගමට අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ඉන්ඩස්ට්‍රීස්  සමාගම සම්ප්‍රදායික, අතේ ගෙන යා හැකි මෙන් ම ඩිජිටල් යනා දී සියලු ම මාදිලි යටතේ මහන මැෂින් නිෂ්පාදනය කරයි. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය මගින් සිය කර්මාන්තශාලා තුළ සේවක සේවිකාවන් 100 කට අධික පිරිසකට සෘජු රැකියා අවස්ථා සපයන සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම,  පුද්ගලයින් 150 කට පමණ වක්‍ර ලෙස රැකියා  පහසුකම් සපයයි.  සාම්ප්‍රදායික මහන මැෂින්, සාමාන්‍ය මැස්ම සහිත මහන මැෂින් සහ සිග් - සැග් මහන මැෂින් වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන අතර, අතේ ගෙන යා හැකි සහ ඩිජිටල් මහන මැෂින් නවීනතම නිෂ්පාදනයන් ලෙස  පාරිභෝගික ජනතාව වෙත පහසුකම් සළසයි. ඊට අමතරව සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම මහන මැෂින් එකලස් කිරීම සහ මහන මැෂින් සඳහා ආධාරක උපාංග නිෂ්පාදන කාර්‍යයෙහි ද නිරත වන බව පැවසිය යුතු ම කරුණකි.

මහන මැෂින් ආධාරක උපාංග වන ස්ටෑන්ඩ් සහ කැබිනට් 100% ක් දේශීයව නිෂ්පාදනය කිරීම සිදු කරන සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම මහන මැෂින් නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිතව සිය ජීවනෝපායන් ගොඩනඟාගෙන ඇති දේශීය සැපයුම්කරුවන් වෙත ද සහයෝගය ලබා දීම සිදු කරයි. එමෙන් ම සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම, මහන මැෂින් නවෝත්පාදනය වෙනුවෙන් ශක්තිමත් පර්යේෂණ හා සංවර්ධන අංශයකින් ද සමන්විත වේ.  සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් නිපදවනු ලබන සියලු ම මහන මැෂින් නිෂ්පාදන,  එම සමාගමේ මව් සමාගම වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම සිය ප්‍රදර්ශනාගාර 431 වෙත බෙදා හැරීම සිදු කරයි.  වර්තමානය වන විට සිංගර් සමාගම දේශීය මහන මැෂින් ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස කටයුතු කරමින්, 85% ක වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට සමත් වී ඇති අතර, මහන මැෂින් සම්බන්ධ තාක්ෂණික සහාය ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි සිය සේවා මධ්‍යස්ථානවල විශේෂ සේවා කාර්මිකශිල්පීන් අනුයුක්ත කර තිබීම සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම පාරිභෝගික ජනතාව වෙත ලබා දෙන පහසුකම් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන ඇත. ඊට අමතරව සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම පවත්වාගෙන යන YouTube නාලිකාව මගින් සිය පාරිභෝගික ජනතාව වෙත තාක්ෂණික දැනුම සම්ප්‍රේෂණය කිරීම වෙනුවෙන් වීඩියෝ 130 කට අධික ප්‍රමාණයක් මුදාහැර ඇති බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

'සිංගර්' නාමය අද වන විට මෙරට මැහුම් ක්ෂේත්‍රය ආශ්‍රිතව නැතිව ම බැරි නාමයක් බවට පත් වී ඇති අතර, එම සමාගම දේශීය මැහුම් කර්මාන්තයේ ප්‍රගමනයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන්නේ සිංගර් ෆැෂන් ඇකඩමිය හරහාය.  වසර 60 කට වැඩි කාලයක් තිස්සේ මෙරට ජනතාව වෙත සේවා සපයන සිංගර් ෆැෂන් ඇකඩමිය අද වන විට පුද්ගලයින් දහස් ගණනකගේ මැහුම් කුසලතා වර්ධනය කරමින්, ඔවුන් ව්‍යවසායකයින් බවට පත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දී ඇත. ඒ අනුව සිංගර් ෆැෂන්  ඇකඩමිය වර්තමානය වන විට මැහුම් පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා පවත්වාගෙන යන අතර, නුදුරු අනාගතයේ දී මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව උපාධි පාඨමාලා පිරිනැමීමට  ද සූදානමින් සිටී. එමෙන් ම සිංගර් ෆැෂන් ඇකඩමිය සිය පාඨමාලා සඳහා එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමය (CSD) වෙතින් අනුමැතිය ලබා ඇති මෙරට ප්‍රථම සහ එක ම ආයතනය වශයෙන් ද හඳුන්වා දිය හැකිය. දිවයින පුරා පිහිටා ඇති ශාඛා 54 කින් සමන්විත සිංගර් ෆැෂන් ඇකඩමිය අඩු ආදායම්ලාභී පවුල්වල දරුදැරියන් නඟාසිටුවීම වෙනුවෙන් සිය 'දිවි සවිය' වැඩසටහන හරහා මැහුම් පාඨමාලා 22 ක්, ඩිප්ලෝමා පාඨමාලා 2 ක් සහ තවත් පාඨමාලා 10 ක් පිරිණමයි. සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් දියත් කරන පාඨමාලා සඳහා  සිසු සිසුවියන් 5000-6000 කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව බඳවා ගනු ලබයි. මුහුණට මුහුණලා පවත්වන පන්තිවලට අමතරව, මාර්ගගත (Online) පාඨමාලා ඔස්සේ සිය සිසු සිසුවියන්ට පහසුකම් සළසන සිංගර් ෆැෂන් ඇකඩමිය, සිසු සිසුවියන් වෙත තවදුරටත් පහසුකම් සැළසීම අරමුණු කරමින් පසුකාලීන පරිශීලනය සඳහා පාඩම්වල නැරඹිය හැකි වීඩියෝ පිටපතක්  සැපයීම ද ඉතා සුවිශේෂී වරප්‍රසාදයක් ලෙස හැඳින්විය හැකිය.  පසුගිය දශකය තුළ සිසු සිසුවියන් 60,000 කට අධික පිරිසක් ඉතා සාර්ථකව මෙම පාඨමාලා හදාරා නිම කර ඇති අතර, එම සිසු සිසුවියන්ගෙන් බොහෝ දෙනෙක් දැනටමත් තමන්ගේ ම මැහුම් ව්‍යාපාරයන් ආරම්භ කර ඇති බව සිංගර් ෆැෂන් ඇකඩමිය අභිමානයෙන් සිහිපත් කරයි. එමෙන් ම සිංගර් ෆැෂන් ඇකඩමිය ශ්‍රී ලාංකික ජනතාව අතර මැහුම් කුසලතාව වර්ධනය කිරීමට සමත් වී ඇති නිසා ම මෙම ශිල්පය අද වනවිට  බොහෝ දෙනෙකුගේ විනෝදාංශයක් බවට පත් වී  ඇති බව ද පැවසිය යුතු ම ය.

මැහුම් ශිල්පය ඉතා හොඳ ආදායමක් උපයා ගත හැකි ස්වයං රැකියා ක්ෂේත්‍රයක් වන අතර, එය වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් යම් අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ක්ෂේත්‍රයක් ලෙස හැඳින්වීම නිවැරදිය. කලක් තිස්සේ තමාගේ ම මැහුම් ව්‍යාපාරයක් පවත්වාගෙන එන බොහෝ පුද්ගලයින් වර්තමානය වන විට සිය ව්‍යාපාර ඉහළ ලාභ ලබන ව්‍යාපාර දක්වා දියුණු කරගෙන  ඇති බව පෙන්වා දෙන සිංගර් ෆැෂන් ඇකඩමිය, මැහුම් කුසලතා වර්ධනය කිරීමට අවශ්‍ය සියලු සම්පත් දායකත්වය ලබා දෙමින්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් නිපුණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා  කැපවී සිටී.