September, 16, 2022
කොළඹ 01 පිහිටි විදේශ කටයුතු අමාත්යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ හටගත් බිඳවැටීමක් හේතුවෙන්, එම අංශයේ සත්යාපන සහ සහතික කිරීමේ ඒකකවල සහ යාපනය, ත්රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්රාදේශීය කාර්යාලවල සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලදී.
එම පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර, සත්යාපනය සහ සහතික කිරීමේ ක්රියාවලිය නැවත ආරම්භ වූ පසුව මහජනතාවට ඒ පිළිබඳව දැනුම් දෙනු ඇත.
අනෙකුත් කොන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්රියාත්මක වේ.
මෙමඟින් මහජනතාවට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්යංශය සිය කනගාටුව පළ කර සිටියි.
සේවා අපේක්ෂාවෙන් මෙම අංශයට පැමිණෙන අයවලුන්ට සිය සේවා ලබාගැනීමේ හැකියාව පිළිබඳව විමසීම සඳහා පහත සඳහන් දූරකතන අංක ඔස්සේ වැඩිදුර සම්බන්ධ විය හැකි ය;
September, 16, 2022
ශ්රී ලංකාවේ වී ගොවීන් අතරින් ප්රතිලාභීන් තෝරා ගැනීම සහ පොහොර බෙදා දීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට ශ්රී ලංකාව සහ මාලදිවයින නියෝජිත, විම්ලේන්ද්ර ෂාරන් මහතා සහ කෘෂිකර්ම අමාත්යාංශ ලේකම්, රෝහණ පුෂ්පකුමාර මහතා විසින් අද දින ගරු කෘෂිකර්ම අමාත්ය, මහින්ද අමරවීම මැතිතුමා ඉදිරිපිට දී අත්සන් තබන ලදී.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහභාගීත්වයෙන් ශ්රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරනු වස්, යූරියා සහ ටිපල් සුපර් පොස්පේට් (TSP) පොහොර වී ගොවීන් සඳහා ලබා දීමට කටයුතු කරමින් පවතී. මේ සඳහා අදාල ගොවීන් තෝරාගැනීම හා පොහොර බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්යාංශය සමග අද දින අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.

September, 15, 2022
2022 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ, 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය සියයට 8.4ක පසුබැසීමක් ලෙස වාර්තා වී ඇති බවයි.
ඒ අනුව, 2021 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,038,855 ක් ලෙස වාර්තා වූ අතර එය 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී රු. මිලියන 2,782,114 ක් දක්වා අඩු වී ඇත. එසේ වුවද මෙම අගය 2020 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම ලෙස වාර්තා වූ රු. මිලියන 2,612,069 ට සාපේක්ෂව ඉහළ අගයක පවතී.
2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඇස්තමේන්තු කෙරෙන්නේ ඊට පෙර වර්ෂයේ එනම් 2021 වර්ෂයේ දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමට සාපේක්ෂවයි.


September, 15, 2022
පසුගිය වසර පහ තුළ (2017-2021) චීනය ශ්රී ලංකාවට විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා විය. 2021 දී, චීනය ලබා දී ඇති මුළු ණය ප්රමාණය ඩොලර් මිලියන 947 ක් වන අතර එයින් ඩොලර් මිලියන 809 ක් චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගන්නා ලද වෙළෙඳපොළ ණය ගැනීම් වේ.
ආසියානු සංවර්ධන බැංකුව (ADB) පසුගිය වසර 5 තුළ විශාලතම බහුපාර්ශ්වික ණය දෙන්නා වූ අතර 2021 දී ඩොලර් මිලියන 610 ක් ලබා දී ඇත.
2022 පළමු මාස හතර තුළ මුළු ශ්රී ලංකාව ගෙන ඇති මුළු ණය ප්රමාණය ඩොලර් මිලියන 968 කි. මෙම කාලය තුළ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වූයේ ඉන්දියාවයි. එම අගය ඩොලර් මිලියන 377 කි. මෙම කාලපරිච්ඡේදය තුළ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 360 ක් ලබා ගෙන ඇති අතර ඒ අනුව 2022 මුල් මාස 4 තුළ ලද විදෙස් ණයවලින් 76%ක්ම ලැබී ඇත්තේ ඉන්දියාවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙනි.
publicfinance.lk වෙබ් අඩවිය විසින් මේ බව අනාවරණය කර ඇත.
September, 15, 2022
දිනෙන් දින සීඝ්රයෙන් ඉහළ යන ආහාර මිල හමුවේ කොළඹ දිස්ත්රික්කයේ නාගරික ප්රදේශවල පිහිටි තට්ටු නිවාසවල ගෙවතු වගාව දිරිමත් කරමින් ශ්රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව බිම් මට්ටමේ සිටින මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය නැවත නගා සිටුවීමේ ප්රයත්නයන්ට සහාය දීම සඳහා වන සිය ප්රමුඛතම වැඩසටහනක් වන ‘‘සරු ගෙවත්ත’’ කොළඹ නගරයේ තෝරා ගත් බැංකු ඒකක නවයක් පුරා පසුගියදා දියත් කළේය.
මෙම වැඩසටහනේ පළමු අදියර මධ්යම පළාතෙන් ආරම්භ වූ අතර එහි දෙවන අදියර වූ මෙය දිස්ත්රික් මට්ටමේ කෘෂිකාර්මික කාර්යාල සම්බන්ධ කරගනිමින් පසුගියදා HNB වැල්ලවත්ත පාරිභෝගික ඒකකයේදී පැවැත්වුණු අතර එදිනම ඊට සමගාමීව තිඹිරිගස්යාය, බම්බලපිටිය, හෙට්ටි වීදිය, කොල්ලූපිටිය, ග්රීන් පාත්, ප්රධාන කාර්යාලය, මුතුවල් සහ කොටහේන යන HNB බැංකු ඒකකවලදී ද මෙම වැඩසටහන සාර්ථකව දියත් කෙරිණි.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයට HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB නියෝජ්ය සාමාන්යාධිකාරිනී - CHRO/CTO, එල්. චිරන්ති කුරේ, HNB නියෝජ්ය සාමාන්යාධිකාරී-නීති (අධ්යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර, HNB සහකාර සාමාන්යාධිකාරී, ක්ෂුද්ර මූල්ය, විනෝද් ප්රනාන්දු, HNB සහකාර සාමාන්යාධිකාරී - SME කේ. ඉන්ද්රවාසන්, HNB කලාපීය ව්යාපාර ප්රධානී-කොළඹ, සෝමස්කන්ද ශර්මා නරේන්දිරන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ඒ. එච්. එම්. එල් අබේරත්න, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරිනී, ශිරෝමි රත්නායක, ගොවිජන සේවා සහකාර නිෂ්පාදන සහකාර රංජිත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් සහභාගී විය.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්ය සාමාන්යාධිකාරිනී - CHRO/CTO, එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ, ”කොළඹ දිස්ත්රික්කය දෙස බැලීමේදී එය ඉතා ජනාකීර්ණ නගරයක් බව ඔබට පැහැදිලිවම දැකගත හැකියි. එබැවින් ජනතාව දැන් මහල් නිවාසවලට සීමා වී ඇති නිසා ගෙවතු ද මහල් නිවාසවලට සීමා වී තිබෙනවා. කෙසේ වෙතත්, අපගේ මෙම වැඩසටහන සමඟින්, ජනතාවට ඔවුන්ගේ සෞඛ්යයට සහ පවුල්වලට ප්රයෝජනවත් වන ඔවුන්ගේ පළතුරු සහ එළවළු ඔවුන්ගේම සඳලූතලවලම වගා කිරීමට පටන් ගත හැකියි.’’ යනුවෙනි.
”එපමණක් නොව, මෙම මුලපිරීම තුළින් අපි ආර්ථිකය සවිබල ගැන්වීමට හා ව්යවසායකත්වය පිළිබඳව උනන්දු කරවීමටත්, ගෙවතු වගාවේ සහ වගා කිරීමේ වටිනාකම පිළිබඳව පුරවැසියන් සහ තරුණ පරම්පරාව දැනුවත් කිරීමට සහ විශේෂයෙන්ම සෑම නිවසකටම පෝෂ්යදායී ආහාර වේල් සැපයීමටත් හැකි වීම පිළිබඳව අප ගෞරවයක් ලෙස සලකනවා,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම වැඩසටහන දියත් කරනු ලැබූ ප්රදේශ ආසන්නයේ සිටින පදිංචිකරුවන්ට පැළ සහ බීජ බෙදා දීමට ද බැංකුව මෙහිදී කටයුතු කළේය.
මීට අමතරව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තට්ටු නිවාසවල ගෙවතු වගාව පිළිබඳ කෙටි දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මෙහිදී බැංකුවේ කුඩා හා මධ්ය පරිමාණ පාරිභෝගිකයින්ට පැළ, බීජ, හා පොහොර ආදිය සහනදායී මිලට ලබා දීමට ද HNB කටයුතු කළේය.
තවද, අදාල පාරිභෝගික ඒකකවලදී තෝරාගත් ක්ෂුද්ර මූල්ය ව්යවසායකයින්ට තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ස්ථානයක් වෙන් කිරීමට ද බැංකුව කටයුතු කළේය.
තවද, මෙම වැඩසටහනේ පළමු වැන්න මධ්යම පළාතෙන් දියත් කරන ලද අතර ග්රාමීය ප්රදේශවල සිටින ගොවීන් නාගරික ප්රදේශවල ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කිරීමට බැංකුව මෙමගින් අපේක්ෂා කරයි. එහිදී ගොවීන්ට හා පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම ඔවුන්ගේ අස්වැන්නෙන් යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සහ ඔවුන්ගේ අත්යවශ්යතාවන් සඳහා සාධාරණ මිලක් ලබා දීම සඳහා කෘෂි ක්ෂේත්රයේ සිටින අතරමැදියන් අවම කරමින් රට පුරා සිටින ගොවීන් හා පාරිභෝගිකයින් අතර ඍජු සබඳතාවන් ඇති කිරීමට බැංකුවේ දැනට සිටින පාරිභෝගික ජාලය සමඟ කටයුතු කරන බව HNB පවසා සිටී.
නැවුම් එළවළු, පළතුරු හා කෘෂි නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම, ගෙවතු වගාව ප්රචලිත කිරීමට පැළ, බීජ හා කාබනික පොහොර සහනදායී මිලට සපයා දීම සහ ගෙවතු වගාව සඳහා නවීන තාක්ෂණික ක්රමෝපායන් පිළිබඳ දැනුම හා ප්රායෝගික පුහුණුව ලබා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඊට අදාල ආයතන වෙත ගොවීන් හා ගෙවතු වගාකරුවන් යොමු කිරීම ද මෙම මුලපිරීමේ තවත් අරමුණකි.

September, 15, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනයේ දී ඒකක දසදහසේ සීමාව අභිබවා යන ලදී.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,072.38 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 158.26 ක හෙවත් 1.60% ක ඉහළ යාමක් වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට 2021 ඔක්තෝබර් 25 දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,000 සීමාව ඉක්මවා ගිය අතර 2022 මාර්තු 29 දින යළිත් වරක් එය එම සීමාවෙන් මෙපිටට පැමිණියේය. එදිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වේ.
අද දින රු. බිලියන 5.33 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.
එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිලියන 4 ක් එකක් රු. 230.00 බැගින්, ගිවිසා ගත් ගනුදෙනුවක් ලෙසින් හුවමාරු වූ අතර රු. මිලියන 920 ක පිරිවැටුමක් ඒ හරහා ජනනය වී තිබුණි.
මීට අමතරව අද දින සාමාන්ය ගනුදෙනු හරහා වැඩිම පිරිවැටුමක් වාර්තා වී තිබුණේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් ගනුදෙනු හරහා යි. එය රු. මිලියන 556.10 කි. ලංකා IOC සමාගමේ කොටස් ගනුදෙනුවලින් දෛනික පිරිවැටුමට ලැබී තිබුණු දායකත්වය රු. මිලියන 401.77 කි.
September, 15, 2022
Spring & Summer ආයතනය විසින් ලොව පුරා බෙදාහැරීමේ ජාලයක් සමඟින් සිය දෙස් විදෙස් පාරිභෝගික ප්රජාව වෙනුවෙන් තම ගෝලීය පිවිසුම් වේදිකාව වන www.springandsummer.co වර්ෂ 2022 ක් වූ අගෝස්තු මස ආරම්භ කරන ලදී.
1995 වසරේදී ආරම්භ කරන ලදුව, වේගයෙන් වර්ධනය වූ කීර්තිමත් විලාසිතා සහ රෙදිපිළි සන්නාමයක් වන Spring & Summer සතුව මේ වන විට දිවයිනේ ප්රධාන නගරයන් ආවරණය වන පරිද්දෙන් අලෙවිසැල් ගණනාවක් ඇත.
ඔවුන්ගේ නවතම විද්යුත් වාණිජ්ය වෙබ් පිටුව ඔස්සේ දේශීය සහ විදේශීය පාරිභෝගිකයින් හට තමන් වඩාත් ප්රිය කරන විලාසිතා මාදිලි මෙන් ම චිත්තාකර්ෂණීය, හුරුබුහුටි නව මාදිලියේ සුවිශේෂී විලාසිතාවන් දැරිය හැකි මිලකට ලබා ගැනීමට හැකියාව ඇත.
මෙම ආරම්භක උත්සවයේදී සිය අදහස් ප්රකාශ කළ Spring & Summer ආයතනයෙහි සම නිර්මාතෘ වන ශ්යාමලී විජේගුණවර්ධන මහත්මිය පවසා සිටියේ “ වත්මන් වෙළඳපොළ තත්ත්වය සලකා බලන විට ඇත්තෙන්ම වඩා විශාල සහ පාරිභෝගික වෙළඳාම කෙරේ නැඹුරු වූ ප්රජාවක් ආවරණය වන පරිදි අප සන්නාමයේ නිම් වළලු පුළුල් කිරීමට හැකියාවක් ලැබීම ගැන ඇත්තෙන්ම අප සතුටු වනවා. දැඩි ගෝලීය වෙළඳපොළ සමීක්ෂණයකින් හා සාකච්ඡා මාලාවකින් අනතුරුව Spring & Summer විසින්, ලොව පුරා පැතිරී සිටින අපගේ පාරිභෝගිකයින් හට සුවිශේෂී වූ විලාසිතා එකතුවන් පිරිනමමින් මෙම ගෝලීය වෙබ් අඩවිය ආරම්භ කළ බව මම ප්රකාශ කරන්නේ ඉතාමත් ම සතුටකින් ” යනුවෙනි.
Spring & Summer හි ලෝ ව්යාප්ත පුළුල් වීම මඟින්, පාරිභෝගිකයන් හට දින 6-9 ක් වැනි කෙටි කාලයක් තුළ සිය ඇණවුම් ලබාගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම ඇ.ඩො. 100 කට වඩා වැඩි ඇණවුම් සඳහා ගාස්තු රහිතව බෙදාහැරීමේ පහසුකම් ද සලසා ඇත. එතුළින් මෙම ශ්රී ලාංකේය සන්නාමය නව ගෝලීය තලයක් වෙත රැගෙන යාම මෙන්ම ගෝලීය විලාසිතා සහ ඇඟළුම් වෙළඳපොළ වෙත තම කොටස් ව්යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.
වැඩිදුරටත් කරුණු දැක්වූ විජේගුණවර්ධන මහත්මිය පවසා සිටියේ “ ශ්රී ලංකාව තුළ වෙසෙන ශ්රී ලාංකිකයින් සහ නිවාඩු සමයේ ශ්රී ලංකාවට පැමිණෙන ශ්රී ලාංකික විදෙස් සංක්රමණිකයන් අතර විශ්වාසය දිනාගත් සංකේතාත්මක සන්නාමයක් බවට Spring & Summer පත්ව තිබෙනවා. ජාත්යන්තර තලය ආක්රමණය කර ශ්රී ලාංකේය ආර්ථිකය වෙත විදේශ විනිමය ගෙන ඒමේ හැකියාවක් අපගේ සන්නාමය සතුව පවතිනවා. අපගේ පරමාර්ථය දෙයාකාරය, එනම්; Spring & Summer ඇඟළුම් ලෝක ව්යාප්ත කරනා අතරතුර දේශීය ආර්ථිකය සවිමත් කොට, ප්රතිස්ථාපිත කිරීම වෙනුවෙන් ද උරදීමයි.
දයා සහ ශ්යාමලී විජේගුණවර්ධන විසින් අරඹන ලද මෙම සන්නාමය දිවයිනේ ප්රධාන නගරයන් හි අලෙවිසැල් 8 කින් මෙන්ම මාර්ගගතව (Online) ලෝක වෙළඳපොළට ද විවෘත වේ. Spring & Summer ශ්රී ලංකාවේ ප්රධාන පාරිභෝගික සන්නාමයක් වන අතර සිය නිෂ්පාදන වලින් 85% ක් ම සැලසුම් කිරීම සහ නිර්මාණය දේශීයව සිදු කිරීමද සුවිශේෂී කරුණකි.





September, 15, 2022
කැසිනෝ කර්මාන්තය නීත්යානුකූල කිරීමට සහ නියාමනය කිරීමට මෙන්ම සුදුසුකම් ලබන නව තරඟකරුවන්ට ක්රියාත්මක වීම බලපත්ර ලබාදීම අරමුණු කරගනිමින් රජය විසින් නව නීති ගැසට් කර තිබේ. දැනට ශ්රී ලංකාව තුළ කැසිනෝ කර්මාන්තයේ නිරත වීම සඳහා බලපත්ර ඇත්තේ දෙදෙනෙකුට පමණි.
2010 අංක 17 දරන පනත යටතේ ශ්රී ලංකාව තුළ කැසිනෝ ව්යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්ර ලබා දිය යුතු නමුත්, එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්යාපාරයකට එකී පනත යටතේ බලපත්ර නිකුත් කර නොමැත.
එම තත්ත්වය යටතේ දැනට කැසිනෝ ව්යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකර ගැනීමට අපහසු වී තිබේ.
එබැවින්, එවැනි ව්යාපාර නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට යෝග්ය සංශෝධන හඳුන්වා දීම සඳහාත් අවශ්ය පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නව අති විශේෂ ගැසට් පත්රයක් 2022 අගෝස්තු 31 දින නිකුත් කර ඇත.
මෙම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.


September, 15, 2022
2022 සැප්තැම්බර් මස 12 වන දා සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි. එල්. සි සමාගමෙහි ස්වාධින විධායක නොවන සභාපතිවරයා ලෙස ප්රදීප් අමිර්තනායගම් මහතා පත් කර ඇත.
2022 ජුලි 15 වන දින සිට ස්වාධින විධායක නොවන අධ්යක්ෂකවරයෙකු ලෙස ද පීපල්ස් ලීසිං සමාගමේ කටයුතු කරන ප්රදීප් අමිර්තනායගම් මහතා 2015-2019 දක්වා නියෝජ්ය සභාපති ලෙසත් 2019-2020 කෙටි කාල සීමාව තුළ සභාපතිවරයා ලෙසත් සේවය කර ඇත. එසේම ඔහු ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් හි අධ්යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
අමිර්තනායගම් මහතා, වරලත් අලෙවිකරණ ආයතනයේ (එක්සත් රාජධානියේ) සාමාජිකයෙකු වන අතර එක්සත් රාජධානියේ ත්රිත්ව සංගීත විද්යාලයේ (Trinity College of Music) කථන හා නාට්ය අංශයේ සාමාජිකයෙකි. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාව යන මාධ්ය ආයතන ත්රිත්වයේම ප්රවෘත්ති නිවේදකයෙකු ලෙස කටයුතු කර තිබෙන ඒ මහතා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම ක්රිකට් විස්තර විචාරකයෙකු ලෙසද කටයුතු කර තිබෙන්නෙකි. මීට අමතරව ඔහු ලන්ඩනයේ බීබීසි මූලස්ථානය වන “බුෂ් හවුස්” හි පුහුණුවද ලබා තිබේ.
බටහිර කොළඹ රොටරි සමාජයේ 50වැනි සභාපතිවරයා ලෙස පත් වු ඔහු 2012 “වසරේ රොටරියන්” සම්මානයෙන්ද පිදූම් ලැබීය. ලාදූරු රෝගයෙන් පීඩාවට පත්වූවන් නගාසිටුවීම හා පුණුරුත්ථාපනයකිරීමේ සංගමයේ උප සභාපතිවරයා ලෙසද අනුර බණ්ඩාරනායක පදනමේ අධ්යක්ෂකවරයා ලෙසද කටයුතු කරනු ලබයි.
සුජීව රාජපක්ෂ මහතාගෙන් පසු නව ස්වාධීන විධායක නොවන සභාපතිවරයා ලෙස අමිර්තනායගම් මහතා පත්වීමත් සමඟ පීපල්ස් ලීසිං අධ්යක්ෂ මණ්ඩලය ලෙස ආර්. පතිරගේ මහතා, කේ. සී. ජේ. සී. ෆොන්සේකා මහතා, ඒ. ඒ. අහමත් මහතා, සී. ජේ. විජේතිලක මහතා, යු. එල්. ඒ. ඩබ්. බණ්ඩාර මහතා, එම්. සී. පීටර්ස් මෙනෙවිය සහ ආර්. කොඩිතුවක්කු යන මහත්ම මහත්මින් කටයුතු කරනු ලබයි.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

September, 15, 2022
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අධ්යක්ෂ මණ්ඩලය, ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර සමාගම් හි උපදෙස් ඇතිව පහත දක්වා ඇති පරිදි අද (2022 සැප්තැම්බර් 15 වැනි බ්රහස්පතින්දා) සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
පූර්ව වෙන්දේසි සැසිය - පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා
විවෘත වෙන්දේසිය - පෙරවරු 10.00
දෛනික ගනුදෙනු - පෙරවරු 10.00 ට ආරම්භ වේ.
ගනුදෙනු අවසානය - පස්වරු 12.30
මේ අනුව මෙතෙක් පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැය 2ක කාලයක්ව තිබූ කොටස් වෙළෙඳපොළ නිත්ය ගනුදෙනු සැසිය අද සිට පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා පැය 2 1/2 ක් දක්වා කාලයකට දීර්ඝ වනු ඇත.
Video Story