September, 10, 2022
ඉන්දියාවේ Tata Group විසින් Apple iPhone එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව Bloomberg News වාර්තා කර සිටින්නේ Tata Group සහ තායිවානයේ iPhone සැපයුම්කරු වන Wistron Corp සමඟ හවුල් ව්යාපාරයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
Apple, Tata Group හෝ Wistron යන සමාගම්වලින් කිසිවකුත් මේ දක්වා නිල වශයෙන් අදාළ ව්යාපාර සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වා නොමැති බව ජාත්යන්තර මාධ්ය වැඩිදුරටත් සඳහන් කරයි.
September, 9, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ සාර්ථක ගනුදෙනු සතියක් අවසන් කරමින් අද (09) දින වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,704.21 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 104.89 ක හෙවත් 1.09% ක වර්ධනයකි.
පූර්ව සතියේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,316.45 ක් ලෙසින් සටහන්ව තිබූ අතර ඒ අනුව මෙම සතිය තුළ දී ඒකක 387.76 කින් එහි ඉහළ යාමක් වාර්තා වේ. මෙය 4.16% ක වර්ධනයකි.
අද දින රු. බිලියන 4.12 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. මෙම සතියේ ගනුදෙනු දින 5 තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රු. බිලියන 23.41 කි. එය තුළ රු. බිලියන 4.07 ක විදේශීය මිල දී ගැනීම් ප්රමාණයක් අන්තර්ගත වීම විශේෂත්වයක් වේ.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, රෝයල් සෙරමික්, මෙල්ස්ටාකෝප් හා ලංකා අයි ඕ සී යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

September, 9, 2022
ChildFund Sri Lanka ආයතනය විසින් 2022 වසරේ ජාත්යන්තර තරුණ දිනය පසුගිය අගෝස්තු මස 12 සහ 13 යන දෙදින තුළදී සිය තරුණ උද්දේශන එකමුතුව වන 'ළමුන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැලැක්වීමේ තරුණ එකමුතුව' (AYEVAC) හා සමඟින් සමරනු ලැබීය. 'අන්තර් පරම්පරා සහයෝගීතාවය : සෑම වයස් කාණ්ඩයක් සඳහාම ලොවක් නිර්මාණය කිරීම' යන තේමාව යටතේ මෙම තරුණ හමුව පැවැත්විය. අගෝස්තු 12 දිනට යෙදී තිබූ ජාත්යන්තර තරුණ දින සැමරුම සඳහා රටේ දිස්ත්රික්ක 25ම නියෝජනය කරමින් දිස්ත්රික් සම්බන්ධීකාරකවරුන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
ඕනෑම ප්රජාවක ගැටලුකාරී තත්ත්වයකදී ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට පෙරමුණ ගන්නා ප්රජාවේ ඉදිරි පරම්පරාව මොවුන් වන බැවින් තරුණයින් අදහස් සහ තීරණ ගැනීමේදී සමාජය වෙත තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
උද්දේශකයින් ලෙස, එම තරුණයින්ට ඔවුන්ගේ ළමා කාලය තුළදී ගැටළුකාරී වාතාවරණයන්ට මුහුණදීමට සිදුව ඇති බැවින්, ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට වැඩි හැකියාවක් ඔවුන් සතුව පවතින බවත් එම නිසා ඔවුන් ළමුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ප්රබලව ස්ථානගත වී සිටින බවට ChildFund ආයතනයෙහි විශ්වාසය වී තිබේ.
මෙම අවස්ථාව සඳහා ආරාධිත කතිකයා ලෙස සහභාගීව සිටි කොළඹ විශ්වවිද්යාලයේ කලා පීඨයෙහි, සමාජ විද්යා අධ්යන අංශයේ මහාචාර්ය එම්.ටී.එම්. මහීස් විසින් තරුණ ප්රජාව හා පැමිණ සිටි පිරිස අතර අදහස් හුවමාරු කර ගනු ලැබිණි.
අද පරම්පරාව තාරුණ්යයේ එක් යුගයක් බවත් තාරුණ්යයට ජවය සහ බලය තිබෙන බවත් ඔහු පැවසීය. ‘’ජීවිතය යනු සොබාදහම සහ සමාජය විසින් ලබා දෙන දායාදයක්. තාරුණ්යය යනු සමාජය විසින් කරනු ලබන නිෂ්පාදනයක්. තරුණ පිරිස් සෙසු පිරිස්වලට වඩා ඉදිරියෙන් ගමන් කළ යුතු වෙනවා, මොකද එවිට ඔවුන්ට තමන්ව දැකීමට පුළුවන් කම ලැබෙනවා. තරුණයන්ට නිරෝගී සහ සමබර පෞරුෂයක් තිබිය යුතු අතරම එවිට ඔවුන්ට දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබෙනවා.'' යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පැමිණ සිටි පිරිස සාදරයෙන් පිළිගනිමින් ළමා ආරක්ෂණ සහ උද්දේශන විශේෂඥ කෞෂාල් අත්තනායක විසින් ළමුන්ට ශාරීරිකව සිදුකරනු ලබන දඬුවම් වළක්වාලීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගැනීම සම්බන්ධව අදහස් දැක්වීය. තවද අන්තර්ජාලය ඔස්සේ ළමුන්ට සිදුවන ලිංගික සූරාකෑම් හා අපයෝජන වැළැක්වීමේ නීති ප්රතිපාදන ශක්තිමත් කිරීම හා ඒ පිළිබඳව දැනුවත් කිරීම සහ සහාය ලබා දීම සඳහා AYEVAC හි කාර්යභාරය පිළිබඳව ජාත්යන්තර තරුණ දින සැමරුම් උත්සව සභාවේ දී අවධානය යොමු කරමින් හෙතෙම සාකච්ඡාවට ලක් කළේය.
ChildFund Sri Lanka ආයතනය සහ හවුල්කාර ආයතන එක්ව 'දරුවන් ඉදිරියේ මිනිසුන් වෙමු' යන තේමා සංකල්පය ප්රවර්ධනය කිරීම වෙනුවෙන් AYEVAC හි උද්දේශන මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා සහය දැක්වීමේ සැලැස්මකට එකඟත්වය පල කර ඇත. එහි ආරම්භක පියවරක් ලෙස ChildFund Sri Lanka ආයතනය විසින් AYEVAC දිස්ත්රික් කණ්ඩායම් 25 ට ළමුන් වෙනුවෙන් නම් කර ඇති ඔක්තෝබර් මාසය තුළදී තරුණයින්ගේ ප්රමුඛත්වය ඇතිව දිස්ත්රික් මට්ටමින් ක්රියාවට නංවන ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට සහාය ලබා දෙනු ඇත. දරුවන්ගේ ආරක්ෂණ අයිතිවාසිකම් ප්රවර්ධනය කිරීම සහ ළමුන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීම මෙහි අරමුණ වේ.
මෙහිදී අදහස් දක්වමින් AYEVAC හි නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකාරක, රොක්ශාන්තන් මහතා මෙසේ පැවසීය. ''ජාත්යන්තර තරුණ දිනය පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. එම නිසා මෙම උත්සවය සැමරීම හරහා අපගේ ජාලය ශක්තිමත් කිරීමට සහ ළමයින්ට එරෙහි සිදුවන ප්රචණ්ඩත්වයන් වැළැක්වීම සඳහා තිරසාර විසඳුම් සෙවීමට සහාය ලබා ගැනීමට උපකාරී වෙනවා.''
ළමුන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ළමා හා තරුණ උද්දේශන ආයතනයක් ලෙස ChildFund Sri Lanka ආයතනය විසින් AYEVAC ආරම්භ කරන ලදී. ළමුන්ට එරෙහිව සිදුවනු ලබන ලිංගික, කායික, මානසික සහ මාර්ගගතව කෙරෙන අපයෝජන වැළැක්වීම සහ ඊට ප්රතිචාර දැක්වීම මෙම තරුණ එකමුතුවේ අරමුණුවලට ඇතුළත් වේ.

September, 9, 2022
2022 සැප්තැම්බර් 11 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩංගණයේ පැවැත්වීමට යෙදී ඇති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී අපේ සිංහයන් හට ජයග්රාහී සවියක් වීම වෙනුවෙන් සුබ පැතුම් එක්කළ හැකි ඩිජිටල් වේදිකාවක් හඳුන්වාදීමට, ජාතික ක්රිකට් කණ්ඩායමේ නිල අනුග්රාහක ඩයලොග් ආසිආටා සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනය එක්ව කටයුතු යොදා තිබේ.
වසර 8ක දීර්ඝ කාලයකට පසුව එළැඹි මෙම අවසන් මහා තරග අවස්ථාව ජයගනිමින් මව්බිමට ආසියානු කුසලානය රැගෙන ඒම පිණිස අප ජාතික ක්රිකට් කණ්ඩායම වෙත සුබපැතුම් එක්කරමින් ජයගොස නැගීමට සැදී පැහැදී සිටින ශ්රී ලාංකිකයන් හට, මෙම Wishing Portal එක වෙත QR code එකකින් හෝ වෙබ් අඩවියක් ඔස්සේ පිවිසිය හැක.
https://dlg.lk/apekollo Wishing Portal එක වෙත පිවිසීමෙන් ජාතික ක්රිකට් කණ්ඩායම වෙනුවෙන් වන ඔබගේ සුබ පැතුම පහසුවෙන්ම එක්කිරීමට ඔබට හැකිවනු ඇත. මෙලෙස සුබ පැතුම් එක් කරන අය අතුරින් වාසනාවන්තයින් 1000 දෙනෙකුට වටිනා Cricket ට shirts ලබා දීමටද Dialog සූදානමින් සිටියි.
මේ අතර, කොළඹ CR&FC සහ CH&FC පිටියේත්, මාතර සනත් ජයසූරිය පිටියේත්, මහනුවර ගැටඹේ පිටියේත්, අනුරාධපුර රාජාංගනය පිටියේත්, යාපනයේ කලයි මති ක්රීඩා සමාජ පිටියේත් ආසියානු කුසලාන අවසන් මහා තරගය දැවැන්ත තිර ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ.
ශ්රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානක් දිනගනු ලැබුවේ, 2014 වසරේ ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වය යටතේ වන අතර එදා එම අවසන් සටනේ ප්රතිවාදීන් වූ පකිස්තානයම මෙවර අවසන් සටනේත් අප ප්රතිවාදීන් බවට පත්ව තිබේ. එදා 2014 ආසියානු කුසලාන ජයගත් ජාතික කණ්ඩායමේ කිසිදු ක්රීඩකයකු අප වත්මන් ජාතික කණ්ඩායමේ නොවීමද කැපී පෙනෙයි.
සුපිරි හතරදෙනාගේ වටය යටතේ නැගී එන ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ඉකුත්වර ශූරයන් මෙන්ම මෙවර ශූරතාව දිනාගැනීමේ වැඩිම සම්භාවිතාවක් සහිත කණ්ඩායම ලෙසින් සැලකුණු ඉන්දියාව ද පරදවමින් කල් ඇතිවම අවසන් මහා තරග අවස්ථාව තහවුරු කරගැනීමට ශ්රී ලංකාවට හැකිවිය.
“දශකයට ආසන්න කාලයක් පුරා අප ක්රිකට් ක්රීඩාවට ලබාදුන් සහයෝගය සහ අප තරුණ ක්රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් විශ්වාසය තැබීම පිළිබඳව ජාතික කණ්ඩායමේ අනුග්රාහකයා වන ඩයලොග් ආසිආටා වෙත මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා.” යි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්රිශාන්ත කපුවත්ත මහතා පැවසීය.“මෙවැනි වැඩසටහනක් මගින් මෙවන් මොහොතක රටට මෙන්ම අප ක්රීඩකයන්ටද අත්යවශ්ය වන චිත්ත ධෛර්යය සැපයීමට මනා පිටුවහලක් වනවා. මෙවැන් වැඩසටහනක් ක්රියාවට නැංවීම පිළබඳව ඩයලොග් වෙත මාගේ කෘතඥතාව පළකරනාවා'යි ඒ මහතා වැඩිදුරටත් පවසන ලදි.
ආසියානු කුසලාන අවසන් තරගය Dialog Television නාලිකා අංක 73 (SD), 130 (HD) ඔස්සේ සහ Dialog Viu mobile app සජීවීව විකාශය වේ.
ඡායාරූපය : ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්රධාන විධායක සුපුන් වීරසිංහ මහතා ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමට කුසලානය ගෙන ඒම සඳහා වන Wishing Portal එක වෙත පිවිස පළමු පැතුම එක්කළ අයුරු
ඡායාරූපයේ වමේ සිට - ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී - ජෙරම් ජයරත්න , ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සහකාර ලේකම් - ක්රිශාන්ත කපුවත්ත, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස සහ ඩයලොග් ආසිආටා හි ජ්යෙෂ්ඨ සාමාන්යාධිකාරී හර්ෂ සමරනායක.
September, 9, 2022
නව ගිණුම් විවෘත කිරීම සහ විශේෂ දිරි දීමනා සහ ත්යාග ලබාදෙන බැංකුවේ පේ්රෂණ සේවා භාවිතය දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ උත්සවයට සමගාමීව ප්රවර්ධන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
මෙම ප්රවර්ධන වැඩසටහන සතියක් පුරා පැවති අතර එහිදී ‘Vibe’ තරුණ ඉතිරිකිරීමේ ගිණුම, DotCom නව යෞවන ඉතිරි කිරීමේ ගිණුම සහ දෙමව්පියන්ට සහ භාරකරුවන්ට දරුවන් වෙනුවෙන් විදේශීය මුදල් වලින් ඉතිරි කිරීම දිරිමත් කිරීම සඳහා පසුගියදා ආරම්භ කළ ‘අරුණළු’ විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුම ඇතුළු බැංකුවේ සේවාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ බව බැංකුව පවසයි. මෙහිදී නව Vibe සහ DotCom ගනුදෙනුකරුවන්ට නොමිලේ Vibe සහ DotCom කාඞ්පත් ප්රදානය කරන ලදී.
මීට අමතරව, බැංකුව විසින් මෙහිදී ‘ComBank RemitPlus’ භාවිතා කරමින් පේ්රෂණ සම්බන්ධ තොරතුරු සහ සේවා සඳහා ප්රවේශ වීමේදී ලැබෙන ප්රතිලාභ, මුදල් වලින් ගිණුම් වලට පේ්රෂණ එවීමේදී තිබෙන වාසි සහ පේ්රෂණ සඳහා ඊ- රිසිට්පතක් ලබාගැනීමේ පහසුව පිළිබඳවද දැනුවත් කළේය. එසේම, බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධතිය වන කොම්බෑන්ක් ඩිජිටල් භාවිතා කිරීමේ ප්රයෝජනද මෙහිදී පැහැදිලි කරන ලදී.
බැංකුව විසින් සමාජ මාධ්ය සහ අත්පත්රිකා බෙදා දෙමින් ජනතාව සමඟ සම්බන්ධ වූ බවත් යාපනයේ ජනප්රිය උත්සවයක් වන නල්ලූර් උත්සවය නිසා විශාල පිරිසක් මෙම වැඩසටහන් වලට සහභාගී වූ බවත් බැංකුව පවසයි.
සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම ප්රවර්ධනයට සහභාගී වූ කොමර්ෂල් බැංකුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් සහ නල්ලූර් ප්රදේශයේ සැරිසරන බැංකුවේ බෑන්ක්-ඔන්-වීල්ස් රථයකි.
September, 9, 2022
සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්රී ලංකාවේ රුසියානු තානාපති යූරි මටේරි මහතා ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු විය.
ධූර කාලය අවසන් කර ශ්රී ලංකාවෙන් නික්ම ගියත්, දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට තවදුරටත් කටයුතු කරන බව පැවසූ මටේරි මහතා දෙරට අතර සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීමට සුවිශේෂී අවධානයක් යොමු කරන බව ද සඳහන් කළේය.
යූරි මටේරි මහතා සිය ධූර කාලය තුළ ශ්රී ලංකාවට ලබා දුන් සහාය අගය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඒ පිළිබඳව මටේරි මහතා වෙත සිය කෘතඥතාව පළ කළ අතර ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශීංසන පිළිගැන්විය.
ආර්ථික අර්බුදය ජය ගෙන ශක්තිමත් ශ්රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට හැකියාව ඇති බව සඳහන් කළ මටේරි මහතා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුභාශීංසන එක් කළේය.
September, 9, 2022
2022 සැප්තැම්බර් මස 01 සිට 04 වන දින දක්වා තුර්කියේ ඉස්තාන්බුල් හි දී පැවති ලෝක ආහාර වෙළඳ ප්රදර්ශනයේ දී පිරිසිදු ලංකා තේ රස විඳීම සඳහා විශාල අමුත්තන් පිරිසක් ශ්රී ලංකා කුටිය වෙත එක්රැස් වූහ.
සීමාසහිත සිලෝන් ටී ලෑන්ඩ් (පුද්.) සමාගම (Ceylon Tea Land (Pvt) Ltd), රැන්ෆර් ව්යාපාර සමූහය (Ranfer Group), සීමාසහිත දම්රෝ එක්ස්පෝර්ට්ස් (පුද්.) සමාගම (Damro Exports (Pvt) Ltd), සීමාසහිත හෙරිටේජ් ටීස් (පුද්.) සමාගම (Heritage Teas (Pvt) Ltd) සහ සීමාසහිත සිලෝන් ටී මාකටින් (පුද්.) සමාගම (Ceylon Tea Marketing (Pvt) Ltd) ඇතුළු සමාගම් පහක් ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම ප්රදර්ශනය සඳහා සහභාගී විය.
මෙහි දී සහභාගී වූ සමාගම් විසින් තම නිෂ්පාදන ප්රමුඛ පෙළේ තුර්කි සමාගම් සමඟ එක් ව ශ්රී ලංකා ප්රදර්ශන කුටිය තුළ ප්රදර්ශනය කරනු ලැබිණි. තානාපති කාර්යාලය විසින් ප්රදර්ශනය පුරාවට නරඹන්නන් සඳහා තේ රසවිඳීමේ අංගයක් ද සංවිධානය කර තිබිණි.
ඉස්තාන්බුල් හි ලෝක ආහාර වෙළඳ ප්රදර්ශනය යුරේසියාවේ පැවති විශාලතම ආහාර නිෂ්පාදන සහ තාක්ෂණික ප්රදර්ශනය වන අතර රටවල් 40 ක නිෂ්පාදකයින්, ගැනුම්කරුවන් සහ සැපයුම්කරුවන් ඊට සහභාගී වේ. තුර්කි වෙළඳ අමාත්යාංශය, KOSGEB, IHBIR, තුර්කි ආහාර පිසීමේ සංගමය, ගැස්ට්රොනොමි සංචාරක සංගමය සහ ලෝක රසකැවිලි සමාජය (WGS) යන ආයතනවල සහයෝගයෙන් යුතුව එය පැවැත්විණි.
September, 9, 2022
සයිබර් අවකාශයේ තර්ජන සම්බන්ධ දත්ත සහ පර්යේෂණ පදනම් කරගනිමින් Microsoft සමාගම කාර්තුවකට වරක් ප්රකාශයට පත්කරනු ලබන Cyber Signals වාර්තාවේ දෙවැනි සංස්කරණය පසුගියදා එළිදක්වන ලදි. Ransomware-as-a-Service (RaaS) ලෙස හඳුන්වනු ලබන වංචනික ව්යාපාර ආකෘතියේ පරිණාමය සම්බන්ධයෙන් මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුකර තිබේ. RaaS හි වර්ධනය මෙන්ම, තාක්ෂණික හැකියාවක් නොමැති අපරාධකරුවන්ට ද ඉතා පහසුවෙන් Ransomware වර්ගයේ හානිකර පරිගණක වැඩසටහන් භාවිතා කිරීමට හැකියාව ලැබී තිබීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඇතැම් සයිබර් අපරාධකරුවෝ මේ වනවිට තමන්ම අපරාධ ක්රියා සිදු කරනු වෙනුවට, තමන් නිර්මාණය කළ හානිකර පරිගණක වැඩසටහන් වෙනත් පාර්ශ්ව වෙත කුලියට දීම හෝ අලෙවි කිරීම සිදුකරන අතර, අදාළ අපරාධ වලින් ලැබෙන ලාභයෙන් කොටස් ඒ සඳහා ගෙවීම් ලෙස ලබාගනිති. සයිබර් අපරාධකරුවන් කිහිප දෙනෙකු එක්වී, අදියර කිහිපයක් යටතේ සාමාන්යයෙන් මෙම ආක්රමණ සිදු කෙරේ. RaaS ක්රියාවලියට සාමාන්යයෙන් අදාළ ආක්රමණවලට අවශ්ය පහසුකම් සපයන ප්රධාන මෙහෙයුම්කරුවෙක් සහ, ආක්රමණය සැබැවින්ම දියත් කරන අපරාධකරුවන් පිරිසක් ඇතුළත් වෙති.
මේ වනවිට මාර්ගගත තර්ජන සංඛ්යාත්මකව මෙන්ම සංකීර්ණත්වය අතින්ද ඉහළ යමින් පවතී. සයිබර් ආරක්ෂාව පිළිබඳ යුරෝපා සංගම් නියෝජිතායතනය මෑතකදී වාර්තා කළේ, 2021 මැයි සිට 2022 ජූනි දක්වා කාලසීමාව තුළ සෑම මාසයකදීම ටෙරාබයිට් 10 ක පමණ දත්ත ප්රමාණයක් සොරාගෙන ඇති බවයි. මේ අතරින් 58.2% ක්ම සමාගම්වල සේවක සේවිකාවන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීම් වේ.
තවද Cyber Signals හි මෙම සංස්කරණයේදී RaaS පිළිබඳව දක්වන කරුණු මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, Ransomware වලින් 80% කට වඩා වැඩි ප්රමාණයක් මෘදුකාංග සහ උපාංගවල පොදු වින්යාස දෝෂ වලින් ප්රයෝජන ලබන බවයි. Ransomware ව්යාපාරය ක්රමයෙන් වර්ධනය වීම හමුවේ අපරාධකරුවන් තවතවත් එවැනි අපරාධ සිදුකිරීමට පෙළඹෙමින් සිටින පසුබිමක් තුළ, මෙමගින් ගෙවීම් යටිතල පහසුකම් වලට අමතරව Ransomware Payloads සහ අනවසරයෙන් දත්ත ලබාගැනීම සඳහා ප්රවේශය මිලදී ගැනීමට හැකියාව ලැබී ඇත. කප්පම් ගැනීම පිටුපස සිටින ආක්රමණිකයන්ට සිය අනන්යතාව සැඟවීම පහසු වීම මෙන්ම, RaaS පද්ධති Dark Web අවකාශය තුළ පහසුවෙන් සොයාගත හැකි වීම නිසා, ඕනෑම කෙනෙකුට RaaS වංචනික ක්රියාවන්ට සම්බන්ධ වීමට හැකි වී තිබේ. මේ නිසා ආක්රමණයට ලක්වන්නාට, එම ආක්රමණය සිදුකළ අපරාධකරුවන් හඳුනා ගැනීම අපහසු වී ඇත.
RaaS මගින් සයිබර් අපරාධකරුවන්ට කිසියම් ආයතනයක දත්ත සොරා ගැනීමට සහ එම දත්ත මුදාහරින බවට තර්ජනය කරමින් මුදල් ලබා ගැනීමට හැකි වීම නිසා, මෙය ලොව පුරා ව්යාපාර හා අනෙකුත් සංවිධාන වලට බරපතළ අභියෝගයක් වී තිබේ. කෙසේ නමුත් Microsoft සමාගම විසින් මේ ආකාරයට අපරාධ සහ අපරාධකරුවන් පිළිබඳ නවතම බුද්ධි තොරතුරු එක්රැස් කිරීම නිසා, ලොව පුරා ව්යාපාර හා සංවිධාන වලට ඒ පිළිබඳව නිසි පරිදි දැනුවත් වී අවශ්ය පියවර ගැනීමට හැකියාව ලැබී ඇත.
Microsoft සමාගමේ ඩිජිටල් අපරාධ මැඩලීමේ ඒකකය 2021 ජූලි මාසයේ සිට 2022 ජූනි මාසය දක්වා Phishing වර්ගයේ වෙබ් ලිපින 531,000 ක් සහ Phish kits 5,400 ක් ඉවත් කිරීමට සමත් විය. එමෙන්ම සොරාගන්නා ලද පාරිභෝගික තොරතුරු එක්රැස් කිරීම සඳහා භාවිතා කරන ලද වංචාකාරී ඊමේල් ගිණුම් 1,400 ක් අවලංගු කරන ලදි.
දැනට පවතින බොහෝ RaaS වැඩසටහන් වින්දිතයන්ගෙන් කප්පම් ගැනීමට අමතරව, සොරකම් කරන ලද දත්ත වෙනත් පාර්ශ්වයන් වෙත ලබාදීම ද සිදුකරන අතර, මෙය ද්විත්ව කප්පම් ගැනීමකි. සාමාන්යයෙන් කප්පම් ගැනීමේ අරමුණින් සිදුකරන ආක්රමණ වලදී බොහෝ දුරට සිදුවන්නේ සොරාගත් මුරපද හෝ අනාරක්ෂිත අනන්යතා තොරතුරු හරහා වෙනත් පාර්ශ්ව වල ගිණුම් වෙත පිවිසීම ය. මෙය සිදුවීම වැළැක්වීම සඳහා, සියලුම ගිණුම්වල සහ සියලුම උපාංගවල බහුසාධක සත්යාපනය (multifactor authentication- MFA) බලාත්මක කළ යුතු බවට Cyber Signals නිර්දේශ කරයි. කිසියම් ජාලයක මූලික දුර්වලතාවක් හඳුනා ගත් පසුව එය භාවිතා කරමින් ප්රහාර මාලාවක් දියත් කිරීමට සයිබර් අපරාධකරුවන්ට හැකියාව ඇති නිසා, RaaS තර්ජනයන්ගෙන් ආරක්ෂා වීමට MFA වැනි මූලික ආරක්ෂක ක්රියාමාර්ග ගැනීම අත්යවශ්ය ය.
එමෙන්ම නිසි ආරක්ෂක විධිවිධාන භාවිතා නොකරන ජාලවල දුර්වලතා ප්රයෝජනයට ගනිමින්, එම ජාලයන්හි ඇතැම් ආරක්ෂක ක්රමවේද අකර්මණ්ය කරමින් තම ආක්රමණය දියත් කිරීමට ආක්රමණිකයන්ට හැකියාව ඇත. තවද ආක්රමණිකයන්ට යෙදුම් වල අනුපිටපත් හෝ භාවිතයට නොගන්නා යෙදුම් (විශේෂයෙන්ම ඒවා legacy configurations ලෙස පවතී නම්) හරහා ප්රවේශය ලබාගත හැකි වේ. ආරක්ෂක විධිවිධාන නිසි පරිදි ක්රියාත්මක වන බව තහවුරු කරගැනීම සහ, ජාල නිතිපතා ස්කෑන් කිරීම මගින් Ransomware ආක්රමණ වලින් ආරක්ෂා වීම වඩාත් පහසු වනු ඇත.
එපමණක් නොව, පැරණි අවදානම්ද ආක්රමණ වලට මූලික වශයෙන් බලපාන අතර, බොහෝ අවස්ථාවල දී ඒ සඳහා වහාම ‘vendor patches’ යෙදීම අවශ්ය වේ. මෘදුකාංග ආදිය අඛණ්ඩව යාවත්කාලීන කරමින් පවත්වා ගැනීම සහ සුදුසු අවස්ථාවලදී ක්ලවුඩ් පාදක කරගත් සේවා වෙත යොමු වීම මගින් Ransomware ආක්රමණවලින් ආරක්ෂා වීමට බොහෝ දුරට හැකියාව ලැබෙනු ඇත.
කිසියම් පුද්ගලයෙකු නොමග යවනසුළු (Phishing) ඊමේල් වංචාවකට හසු වූයේ නම්, ආක්රමණිකයෙකුට අදාළ පෞද්ගලික දත්ත වෙත පිවිසීමට ගතවන කාලය සාමාන්යයෙන් පැය එකකුත් විනාඩි 12 ක් බව සයිබර් සංඥා පෙන්වා දෙයි. අන්ත-ලක්ෂ්ය තර්ජන සම්බන්ධයෙන් ගත් විට, උපාංගයක් අවදානමට ලක්වුවහොත් ප්රහාරකයෙකුට ආයතනික ජාලයක් තුළට ප්රවේශ වීම ආරම්භ කිරීමට ගතවන කාලය සාමාන්යයෙන් පැය එකයි මිනිත්තු 42 කි.
ඉහත සඳහන් කරුණු සලකා බලන විට, කප්පම් ගැනීම ඉලක්ක කරගත් හානිකර පරිගණක වැඩසටහන් වලින් සහ එම ආක්රමණිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා, ආරක්ෂක විධිවිධාන තරකිරීම සහ සයිබර් ආරක්ෂාව වෙනුවෙන් නිසි ආයෝජන සිදුකිරීම අත්යවශ්ය බව පැහැදිලි වේ. සයිබර් ආක්රමණ ප්රමාණය මෙන්ම සංකීර්ණත්වය අතින් වර්ධනය වෙමින් පවතින පසුබිමක් තුළ, ආරක්ෂක සංඥා ට්රිලියන 43 ක් විශ්ලේෂණය කරමින් සහ ආරක්ෂාව සම්බන්ධ විශේෂඥයන් 8500 කට අධික පිරිසකගේ අදහස් සැලකිල්ලට ගනිමින් කරුණු ඉදිරිපත් කරන Microsoft සමාගමේ සයිබර් සංඥා, ලොව සමාගම්, ආයතන හා සංවිධාන වලට කප්පම් ඉල්ලීම් ඇතුළු සියලුම ආකාරයේ සයිබර් තර්ජන හා ආක්රමණ වලින් ආරක්ෂා වීමට වැදගත් වන පුළුල් මගපෙන්වීමක් ලබාදෙයි.

September, 8, 2022
අද (08) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 152.05 (1.61% ) කින් ඉහළ ගොස් ඒකක 9,599.32 ලෙසින් වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 51.06 කින් හෙවත් 1.69% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,069.03 ක් ලෙසින් දැක්වුණි.
අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.95 ක් ලෙසින් සටහන් විය. එහිදී රු. බිලියන 4.11 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රු. බිලියන 4.51 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වූ අතර රු. මිලියන 839.78 ක් විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 439.94 ක් විදේශීය විකිණුම් ලෙසින් වාර්තා විය.
මේ අනුව අද දිනයේ දී රු. මිලියන 399.84 ක ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්රමාණයක් වාර්තා වී ඇති අතර ඊයේ දිනයේ දී රු. බිලියන 2.29 ක ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්රමාණයක් සටහන්ව තිබුණි.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 133 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර රිචඩ් පීරිස් සහ සමාගම, රෝයල් සෙරමික්ස් ලංකා, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සහ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.

September, 8, 2022
2022 සැප්තැම්බර් 01 දින සිට ක්රියාත්මක වන පරිදි, සෙලාන් බෑන්ක් පීඑල්සී (Seylan Bank PLC) හි නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී ලෙස රමේෂ් ජයසේකර මහතා පත්කර තිබේ. මීට පෙර සෙලාන් බැංකුවේ ප්රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ ඒ මහතා, 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී (Seylan Developments PLC) හි විධායක නොවන අධ්යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
2011 වසරේදී ප්රධාන මූල්ය නිලධාරී ලෙස සෙලාන් බැංකුව සමග එක් වූ රමේෂ් ජයසේකර මහතා 2016 වසරේදී ප්රධාන අවදානම් නිලධාරී තනතුරට පත් වූ අතර, 2018 වසරේ සිට 2019 වසර දක්වා නියෝජ්ය සාමාන්යධිකාරී (ආයතනික) බැංකුකරණය තනතුර දැරී ය. 2020 වසරේදී ජ්යෙෂ්ඨ නියෝජ්ය සාමාන්යාධිකාරී තනතුර වෙත උසස් වීම් ලැබූ ඒ මහතා, 2021 වසරේදී ප්රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත්කරන ලදි.
සෙලාන් බෑන්ක් පීල්සී සමග එක්වීමට පෙර ඒ මහතා බහරේනය පදනම් කරගත් ප්රධාන පෙළේ ප්රංශ බැංකුවක් වන BNP Paribas හි මැදපෙරදිග කලාපය (බහරේන්, සෞදි අරාබිය, කුවේට්, කටාර්, ඩුබායි සහ සයිප්රස්) සඳහා නියෝජ්ය කලාපීය මූල්ය පාලක ලෙස සේවය කළේ ය. එමෙන්ම ඒ මහතා HSBC Sri Lanka හි නේවාසික කළමනාකරු (මූල්ය හා සැලසුම්) සහ KPMG Sri Lanka හි විගණන කළමනාකරු ලෙසද සේවය කර තිබේ. බැංකුකරණය, ක්රමෝපායික සැලසුම්කරණය, මූල්ය කළමනාකරණය, අවදානම් සහ විගණනය යනාදී ක්ෂේත්ර සම්බන්ධයෙන් වසර 20 කට අධික දේශීය හා ජාත්යන්තර පළපුරුද්දක් ඒ මහතා සතු ය.
රමේෂ් ජයසේකර මහතා කොළඹ රාජකීය විද්යාලයේ සහ කොළඹ විශ්ව විද්යාලයේ ආදි ශිෂ්යයෙකි. ශ්රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකයෙකු වන ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සහ ශ්රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වයද දරයි.
Video Story