September, 22, 2022
ශ්රීලංකන් ගුවන් සේවය සතුව යානා 23 ක් තිබුණ ද ඒ සියල්ලක්ම කුලී පදනම මත ලබා ගත් ඒවා බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 80 ක මුදලක් ගෙවිය යුතුව ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අද (22) දින පාර්ලිමේන්තුවේ දී අමාත්යවරයා මේ බව අනාවරණය කළේය.
අපට 6,000ක් පමණ වූ සේවක පිරිසක් ඉන්නවා. දැන් අපිට ශ්රීලංක්න ගුවන් සමාගමේ තියෙන එකම ගුවන් යානයක්වත් අපිට අයිති නැහැ, ශ්රීලංකන් කියලා ගහගෙන ගියාට. මේවා ඔක්කොම කුලියට ගත්ත ටැක්සි වගේ. ගුවන් යානා 23ම ලීස් එකට අරන් තියෙන්නේ. ඒකට ලීස් රෙන්ටල් එක අපි ගෙවන්න ඕනේ. දැන් ඒකෙත් ඩොලර් මිලියන 80 ක් අපි ණයයි, ගෙවලා නැහැ. තව ටික කාලයක් ගියාම මෙය ප්රතිව්යූහගත කරලා මුදල් හොයාගෙන, ආයෝජකයෙක් හොයාගෙන කටයුතු කළේ නැත්නම් වෙන්නේ මොකද මේ හයදාහකගේම රැකී රක්ෂා නැති වෙනවා. අද මේක කරන්න එපා කියලා අපේ කකුලෙන් අදින අයට කියන්න ඕනේ .
September, 22, 2022
ශ්රී ලංකාවේ විශාලතම තෙල් උකහාගැනීමේ යන්ත්රාගාරයක් (Oil extraction plant) දඹුල්ලේ දී ඉදි කෙරෙමින් පවතින බව මෙරට ලැයිස්තුගත සමාගමක් වන රයිගම් වයඹ සෝල්ටන්ස් පීඑල්සී හි සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා පවසයි.
තම ව්යාපාර ජාලය පුළුල් කිරීම සහ ශක්තිමත් ජාතික ව්යවසායක් ලෙස ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් සමාගම සතු අතිරික්ත සංචිත ජාතික වශයෙන් ඉතා ඵලදායී මෙහෙවරක් සඳහා ආයෝජනය කර කෘෂි සැකසුම් ක්ෂේත්රයට පිවිසි බව නිවේදනය කරමින් ඔහු මේ බව අනාවරණය කළේය.
අද දෙරණ වෙත අදහස් දක්වමින් රයිගම් වයඹ සෝල්ටන්ස් පීඑල්සී සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“රයිගම් වයඹ සෝල්ටන්ස් පීඑල්සී සමාගමේ නවතම විවිධාංගීකරණය රයිගම් වයඹ සීරියල් පෞද්ගලික සමාගම යටතේ ප්රථම නිෂ්පාදනය ඉදිරිපත් කරනවා වෙළෙඳපොළට නැණපෝෂ නමින්. මේ සඳහා අවශ්ය යන්ත්රසූත්ර අපි දේශීයව නිෂ්පාදනය කළා. අපි අවුරුදු 2-3 ක කාලයක දී අපි බලාපොරොත්තු වෙනවා උතුරු මැද සහ නැගෙනහිර පළාතේ ගොවි ජනතාව සමඟ සම්බන්ධ වෙලා හෙක්ටයාර 7,000 ක් අක්කර 20,000 ක ආසන්න ප්රමාණයකට ඔවුන්ට පොහොර, බීජ, මුදල් දීලා අපි සෝයා විතරක් නෙමෙයි මෙම නිෂ්පාදිතයට අවශ්ය බඩ ඉරිඟු වගේ දේවල් නිෂ්පාදනය කරන්න.“
“ඒත් එක්කම අපේ අලුත්ම යන්ත්රාගාරය දඹුල්ලේ ඉදිවෙනවා. ඒක දකුණු ආසියාවේ විශාලතම තෙල් උකහාගැනීමේ Oil extraction plant එකක්, ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා අපිට අවශ්ය, ලංකාවට අවශ්ය ඒ වගේම අපේ මාජරින් නිෂ්පාදන ජාලයට අවශ්ය, යන්ත්රාගාරයට අවශ්ය තෙල් නිෂ්පාදනය කරන්න. ඒකත් සෝයා බඩ ඉරිඟු සහ විශේෂයෙන්ම බවත දමන වී පොතු භාවිත කරගෙන. මේ ඔක්කොම එකතු වෙලා අපි හිතනවා රයිගම් අලුත් නිම්නයකට ලබන අවුරුදු 2-3 ඇතුළත දී යන්න පුළුවන් කියලා.“
September, 22, 2022
ශ්රී ලංකාවට ආවේණික සම්පත් රැකගැනීමට දායක වීම මෙරට ව්යාපාර ක්ෂේත්රයේ වගකීමක් බව විශ්වාස කරමින්, හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී එහි 2030 සමූහ පාරිසරික න්යායපත්රය පසුගියදා එළිදැක්වී ය. මෙය දැනට වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටින, ශ්රී ලංකාවට ආවේණික සත්ත්ව හා ශාක විශේෂ ආරක්ෂා කරගැනීම අරමුණු කරගත් වැඩපිළිවෙළකි.
ආවේණික සත්ත්ව හා ශාක විශේෂ 350 කට අධික සංඛ්යාවක් සහිත ශ්රී ලංකාව, ලොව ජෛව විවිධත්ව තෝතැන්නක් ලෙස සැලකේ. කෙසේ වුවද මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් මෙම සත්ත්ව හා ශාක විශේෂ රාශියක් මේ වනවිට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටී.
“සැබැවින්ම ශ්රී ලාංකික සමාගමක් ලෙස රටේ සම්පත් ආරක්ෂා කරගැනීමට අප මැදිහත් විය යුතු බව අප විශ්වාස කරනවා. අප සතු සශ්රීක පරිසර පද්ධතියෙන් අනාගත පරපුරටත් ප්රතිලාභ ලැබීමට හැකි වන්නේ එවිටයි. අපගේ පාරිසරික න්යාය පත්රය යටතේ විවිධ හවුල්කරුවන් සමග එක්වී, පරිසරය සුරැකීමට, ස්වභාවික සම්පත් වගකීමෙන් යුතුව පරිහරණය කිරීම දිරිගැන්වීමට, අපගේ මෙහෙයුම්වල බලපෑම සීමා කිරීමට සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල ඔස්සේ රටේ වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටින සත්ත්ව හා ශාක විශේෂ ආරක්ෂා කරගැනීමට දායක වීම අපගේ බලාපොරොත්තුවයි.” හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි සමූහ ප්රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවා ය.
පාරිසරික න්යාය පත්රය යටතේ ක්රියාවට නංවන මූලික වැඩසටහනක් ලෙස, ශ්රී ලංකාවේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා ශාක විශේෂ 50 කට අධික සංඛ්යාවක් පිළිබඳව වැඩිදුර තොරතුරු එක්රැස් කිරීමට සහ එම විශේෂ ආරක්ෂා කරගැනීමට අවශ්ය පියවර ගැනීමට හේමාස් හෝල්ඩිංග්ස් මේ වනවිට වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society - WNPS) සමඟ හවුල්කාරීත්වයකට එළඹි සිටී.
“වනජීවී හා ශාක විශේෂයන්ගේ අනාගතය තීරණය වන්නේ මිනිස් ක්රියාකාරකම් මතයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණ විපර්යාස හේතුවෙන් මුළු ලොවටම බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමක් තුළ, අප සතු දේ රැකගැනීමට අප නොපමාව පියවර ගත යුතුයි. හේමාස් සමූහය අප සමග එක්වී ඒ සඳහා අතිශය කාලෝචිත වැඩසටහනක් දියත් කර තිබෙනවා. මෙය නිවැරදි දිශාවට තැබූ වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම හේමාස් වැනි මහා පරිමාණ ව්යාපාරයක් රටේ අනාගත පරපුර වෙනුවෙන් මෙවැනි මැදිහත්වීම් සිදුකිරීම ප්රශංසනීයයි. අනෙක් අයත් මෙය ආදර්ශයට ගනිමින්, අප ජීවත් වන ලෝකය ආරක්ෂා කරගැනීමට පෙරට එනු ඇතැයි කියා අප සිතනවා.” වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමයේ සභාපති ජෙහාන් කනගරත්න මහතා පැවසී ය.
Panel caption: කස්තුරි චෙල්ලරාජා විල්සන් - සමූහ ප්රධාන විධායක නිලධාරී, හේමාස් හෝල්ඩිග්ස් පීඑල්සී, ජෙහාන් කනගරත්න - සභාපති, WNPS, මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න - කොළඹ විශ්වවිද්යාලයේ සත්ත්ව විද්යාව පිළිබඳ මහාචාර්ය, ඉෂානි රණසිංහ - සමූහ ප්රධානී - තිරසාරත්වය සහ ආයතනික සන්නිවේදන, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී
September, 22, 2022
2010 වර්ෂයේදී කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කරන ලද රයිගම් වයඹ සෝල්ටන්ස් පී. එල්. සී., ශ්රී ලංකාවේ අගය එකතුකළ ලූණු වෙළඳපොලේ ප්රමුඛතම ක්රියාකාරීකයා වන අතර ඉසි, රුචි, වෙල්කම්, ටි්රපල් වොෂ් ඇතුළු සන්නාම ගණනාවක් යටතේ විවිධ ලූණු නිෂ්පාදන පාරිභෝගික ජනතාව වෙත සපයන අතර කර්මාන්තකරුවන්ගේ අවශ්යතා සඳහා විවිධ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන තොග වශයෙන් සැපයීම ද සිදුකරයි.
රයිගම් වයඹ සෝල්ටන්ස්හි පාරිභෝගික නිෂ්පාදනවල ඉහල ගුණත්වය සහතික කරමින් ශ්රී ලංකා ප්රමිති සහතික (SLS) ලබා ඇති අතර ආයතනයේ පෙරසැරි සඳහා ISO ජාත්යන්තර ප්රමිතිකරණ සහතික ලැබී ඇත.
රයිගම් වයඹ සෝල්ටන්ස් සතු ලූණු ලේවායන්, පිරිපහදු සහ කර්මාන්තශාලා, පුත්තලම සහ හම්බන්තොට ප්රදේශවල ක්රියාත්මක වන අතර රයිගම් සමාගම් සමූහයේ මව් සමාගමට අයත් ත්රිකුණාමලය කුච්චවේලීහි පිහිටි අක්කර 1800 කින් යුත් ලූණු ලේවාය මගින් අවශ්ය අමතර යෙදවුම් (කර්මාන්ත ලූණු) සැපයීම තහවුරු කර ඇත. තවද පුත්තලමේ පිහිටි පුත්තලම් සෝල්ට් ලිමිටඞ් (ජාතික ලූණු සංස්ථාවේ අනුප්රාප්තිකයෙකි) සමාගමද රයිගම් සමුහයේ ආශ්රිත සමාගමකි.
රටම දන්නා ”රයිගම්” වෙළඳ සන්නාමය සහ දිවයින පුරා විහිදුනු ශක්තිමත් බෙදාහැරීමේ ජාලය රයිගම් සමාගම් සමූහයේ ප්රගතිය සඳහා දායක වන ප්රධාන සාධකයන් වේ. රයිගම් බොදාහැරීමේ ජාලය නවීන තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධකර ඇත. ඊට අමතරව සුපිරි වෙළඳසැල් (Modern Trade) කර්මාන්ත හා බේකරි අංශද ආවරණය වන පරිදි බෙදාහැරීම් කටයුතු සිදුවේ.
කොවිඞ් වසංගතය හමුවේ දැඩි පසුබෑමකට ලක්වතිබූ දේශීය ආර්ථිකය 2021/2022 මූල්ය වර්ෂය අවසාන වන විට විදේශ විනිමය අර්බුධයේ ආරම්භක අවධියට පාතබමින් පැවතිනි. සමස්ථයක් වශයෙන් 2021/2022 මූල්ය වර්ෂය අභියෝග ගහන වසරක් වූවද රයිගම් වයඹ සෝල්ටන්ස් පි. එල්. සී. විසින් අනුගමනය කළ විචක්ෂණශීලී කළමණාකරණ ක්රමවේදයන් ඔස්සේ ඉහල ආර්ථික වර්ධනයක් ලඟා කරගැනීමට සමත්විය. විශේෂයෙන්ම පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 959.6 ක් වූ සමූහයේ පිරිවැටුම රුපියල් මිලියන 1,147 දක්වා 19.5% කින් වර්ධනය කර ගැනීමට සමත්වූ අතර, එය සමුහයේ මෙතෙක් වාර්තා කළ ඉහලම වාර්ෂික පිරිවැටුමයි. එමෙන්ම සමුහයේ බදු ගෙවූ පසු ලාභය (Profit after tax) රුපියල් මිලියන 149.7 සිට රුපියල් මිලියන 215.6 දක්වා වර්ධනය වූ අතර එය 44% ක වාර්ෂික වර්ධනයකි.
මෙම සාර්ථක මූල්ය ප්රතිඵල මත සමාගමේ කොටසක ඉපැයීම්සැ (Earnings Per Share) ලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් 0.53 සිට රුපියල් 0.76 දක්වා වර්ධනය වූ අතර එමගින් කොටස් හිමියන්ගේ ආයෝජනයේ වටිනාකම ද ඉහළ නංවමින් එක් කොටසක් සඳහා වන ශුද්ධ වත්කම් (Net Asset Per Share) රු.05.06 සිටි රු.5.74 දක්වා වර්ධනය විය.
මෙම මූල්ය ප්රතිඵල නිසි පරිදි කාර්තුමය පදනමකින් ප්රසිද්ධියට පත්කළ අතර ඒ අනුව කොටස් වෙළඳපොලේ යහපත් ප්රතිචාර දක්වමින් සමාගමේ කොටස් සඳහා සැලකිය යුතු ඉහල මිලක් වාර්තා විය.
සමාගම ක්රියාත්මක වන ලූණු කර්මාන්තය ගත් විට ඇසුරුම් හා වෙනත් කාර්මික යෙදවුම් හැරුණු කොට අනෙකුත් සියලූම යෙදවුම් දේශීය වශයෙන් සපයා ගන්නා බැවින් විදේශ විනිමය අර්බුධයේ බලපෑම සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පවතී. සමාලෝචිත වර්ෂය තුළ නිෂ්පාදන ක්රියවලිය මගින් එකතු කළ වටිනාකම (Value Addition) රුපියල් මිලියන 669.2 කි. ඉන් රු.129.3 කින් රජයේ බදු ආදායමට දායක වී ඇත.
මෙම සතුටුදායක තත්ත්වයන් සහ කොටස් හිමියන්ගේ අපේක්ෂාවන් සැලකිල්ලට ගනිමින් 2021/2022 මූල්ය වර්ෂය සඳහා කොටසකට සත 15 බැගින් වූ ලාභාංශයක් ගෙවීමට අධ්යක්ෂ මණ්ඩලය විසින් යෝජනාකර ඇත. පසුගිය වර්ෂයේ ගෙවූ ලාභාංශයට සාපේක්ෂව මෙය 50% ක වර්ධනයකි.
මෙම ඉහළ මූල්ය ප්රථිපල ලඟාකරගනිමින් කොටස් හිමියන්ගේ ආයෝජනයට ඉහල වටිනාකමක් ලබාදීමට හැකිවීම මෙන්ම අත්යාවශ්ය මොහොතක ශක්තිමත් දේශීය කර්මාන්තයක් වෙමින් ජාතික ආර්ථිකයට ශක්තියක් වීමට හැකිවීම පිළිබඳව අධ්යක්ෂක මණ්ඩලය ඉතා සතුටට පත්ව සිටී.
රයිගම් සමූහයේ මූලික ප්රතිපත්තිය තම ඉපයීම් වඩාත් ඵලදායී නව ව්යාපෘතීන් හි ආයෝජනය කරමින් තම ව්යාපාර ජාලය පුළුල් කිරීම සහ ශක්තිමත් ජාතික ව්යවසායක් ලෙස ස්ථාපිත වීමයි. ඒ අනුව යමින් සමාගම සතු අතිරික්ත සංචිත ජාතික වශයෙන් ඉතා ඵලදායී මෙහෙවරක් සඳහා ආයේජනය කරමින් කෘෂි සැකසුම් ක්ෂේත්රයට ද පිවිසි බව ඉතා ආඩම්බරයෙන් නිවේදනය කර සිටී.
ඒ සඳහා 2021/2022 මූල්ය වර්ෂයේ දී රයිගම් වයඹ සීරියල්ස් ප්රයිවට් ලිමිටඞ් නමින් නව උප සමාගමක් ස්ථාපනය කල අතර ඒ යටතේ කුරුණෑගල දිස්ත්රික්කයේ වැල්ලව ප්රදේශයේ විශාල ප්රමාණයේ ධාන්ය ගබඩාවක් සහ ධාන්ය පිරිසැකසුම් මධ්යස්ථානයක් ස්ථාපිත කර ඇත. මෙම ව්යාපෘතිය යටතේ තෝරාගත් ධාන්ය වර්ග වගාකිරීම සඳහා ගොවි ජනතාව දිරිගන්වන අතර එම නිෂ්පාදන නවීන තාක්ෂණය ඔස්සේ පෙරසැරි කොට වටිනාකම් එකතු කිරීමේ ක්රියාවලියක් සිදුවේ. අපේ රටේ වැදගත්ම අංශය වූ කෘෂිකර්මාන්තය සමග සහසම්බන්ධවීමට ලැබීම රයිගම් වයඹ සමූහයේ ජයග්රහනයක් ලෙස සැලකේ.
මෙම ව්යාපෘතිය යටතේ හඳුන්වාදෙන ප්රථම නිෂ්පාදනය ”ණැනපෝෂ” නමින් වෙළඳ පොලට හඳුන්වාදීම අද දිනයේදී සිදුවේ. ණැන පෝෂ - බඩ ඉරි`ගු, සෝයා, සහල්, මුංඇට යන ධන්ය වල සුසංයෝගයක් වන අතර නවීන යන්ත්රානුසාරයෙන් ධාන්ය පිරිසිඳුකර, අඹරා පිසගැනීමෙන් අනතුරුව පෝෂණ ගුණය නැංවීම සඳහා අතිරේක විටමින් පධාර්තයන්ද එකතුකර, ධාන්යමය ආහාරයක් ලෙස වෙළඳ පොළට නිකුත් කෙරේ. මේ අනුව අපේ රෙට් නිපදවෙන ධාන්ය වල අඩංගු ස්වභාවික පෝෂණ ගුණයට තවදුරටත් මුසු කරන විටමින් A, B 1" B 12" C, D3 සහ ඛණිජ පධාර්තයන් එහි පෝෂණ ගුණය සමතුලිත කරයි. එමෙන්ම වර්ණක රසකාරක හෝ කල්තබාගැනීමේ ද්රව්ය කිසිවක් අඩංගු නොවේ.
මේ සඳහා භාවිතා කරන්නේ 100% ක්ම දේශීයව සපයාගත් ධාන්ය වන අතර, එය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඔනෑම වයස් පරාසයක අයෙකුට අතිරේක පෝෂණය ලබාදෙන ප්රණීත ආහාරයකි. එය අග්ගලා වශයෙන්ද, කිරි සමග මිශ්රකිරීම මගින් පිළියෙල කරගත් ද්රවමය ආහාරයක් වශයෙන් මෙන්ම රොටි, වඬේ සහ පිට්ටු වැනි ආහාර වශයෙන් ද සකස්කර භාවිතා කිරීමට හැකිය. රයිගම් ණැන පෝෂ ඉතා විශ්වාසයන්ත දේශීය ආහාරයකි.
මේ අනුව මෙතෙක් කාලයක් එකම පාරිභෝගික අවශ්යතාවයක් එනම් ලූණු නිෂ්පාදනය මත පමණක් ක්රියාත්මක වූ රයිගම් වයඹ සමාගම් සමූහය තම ව්යාපාරික වපසරිය පුළුල් කරමින් කෘෂිකාර්මික පෙරසැරි ක්ෂේත්රයට ද පිවිසීම, කොටස් වෙළඳපොලට සහ ආයෝජකයන්ට ඉතා වැදගත් ප්රවෘත්තියක් වනු ඇත.
මෙම නව ව්යාපෘතිය හුදෙක් කාර්මික පෙරසැරියකට සීමා නොකර, ඒ සඳහා අවශ්ය ධාන්ය නිසි ප්රමාණයන්ගෙන් හා ගුණත්වයෙන් යුතුව සපයා ගැනීම තහවුරු කිරීම සඳහා රජරට ගොවිජනතාව සමග එක්ව ඉදිරි ගිවිසුම් ක්රියාවලියක් ඔස්සේ වගා ව්යාපෘතියක් සඳහා ද එක්වී ඇත. මෙම ව්යාපෘතියය ටතේ මෙවර අනුරාධපුර දිස්ත්රික්කයේ මහවැලි H කළාපයේ සහ ගලෙන්බිඳුනුවැව ප්රදේශයේ ගොවි පවුල් 1250 ක් සම්බන්ධ කරගනිමින් හෙක්ටයාර 500 ක පමණ සෝයා බෝංචි වගාකර ඇත. ඒ සඳහා අවශ්ය බීජ, පොහොර, කෘෂි රසයාන ඇතළු යෙදවුම් ණය පදනමට සමාගම විසින් ලබාදුන් අතර තාක්ෂණික උපදෙස්ද ඒ සඳහා පුහුණු කළ ක්ෂේත්ර නිළධාරීන් පිරිසක් මගින්් ලබාදෙයි. මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ ගොවිමහතුන් සඳහා සහතික කළ අවම මිලක් ලබාදීම හා පවතින වෙළඳපොල මිලට සමගාමීව සම්පූර්ණ අස්වැන්න මිලදී ගැනීමේ සහතිකය සමාගම විසින් ලබාදීමයි. මේ යටතේ සමාගම සමග එකතුවන ගොවිජනතාවගේ අස්වනු ගොවිබිම් වලදීම මිලදී ගැනීම සිදුවන බැවින් පසු අස්වනු ප්රවාහන සහ ගබඩාකිරීමේ වියදම්වලින්ද ගොවිජනතාව නිදහස් වේ.
මේ ඔස්සේ සෝයා බෝංචි වගාව සඳහා ඉහල ප්රවනතාවයක් ගොවිජනතාව විසින් පෙන්නුම්කරන අතර, ඍජුවම ගොවි ජනතාවගෙන් අස්වනු මීලදී ගැනීම නිසා අතරමැදියන්ගේ සූරාකෑමද වැලකී ඇත. මේ සමග සෝයා වගාකරුවන්ගේ අතමිට සරුවී ඇත.
මෙම ව්යාපෘතිය සඳහා අවශ්ය අමතර වෙනත් ධාන්ය වර්ග වන වී, බඩ ඉරි`ගු සහ මුං ඇටද ඍජුවම ගොවි බිම්වලින් මිලදී ගන්නා අතර එමගින් උසස් තත්ත්වයේ නැවුම් අස්වනු මිලදී ගැනීමට සහ ගොවි මහතුන් සඳහා ඉහල මිලක් ලබාදීමට ද හැකිවී ඇත.
මහවැලි හා හරු`ඵවැව ඇතු`ඵ වෙනත් වාරි ජල ව්යාපෘතීන්ගෙන් පෝෂණය වූ අපේ රජරට සාරවත් පොළව අගනා ආර්ථික බෝගයන්ගෙන් සරසන්නට ද මෙතෙක් කලක් මූලික නිෂ්පාදනයන්ට සීමා වී තිබූ අපේ කෘෂිකාර්මික අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදන දක්වා ඔසවා තබන්නටද හැකවීම රයිගම් වයඹ සමාගම් සමුහයට ආඩම්බරයකි.
අපේ මහපොළවට හා ඒ මහපොළව සමග ගැටෙන ගොවිමහතුන්ට සාධාරණයක් ඉටු කිරීමට දායකවීමට ලැබීම අපේ ආයෝජකයන්ද නියතවශයෙන් අගය කරනු ඇත.








September, 22, 2022
2022 ඔක්තෝබර් මස 13 වැනි දින දැනුම් දීමට නියමිතව තිබූ 2022 අංක 07 දරන මුදල් ප්රතිපත්ති විවරණය 2022 ඔක්තෝබර් 06 වැනි දින පෙරවරු 7.30ට දැනුම් දෙනු ලබන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව 2022 ඔක්තෝබර් 12 වැනි ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වී අදාළ මුදල් ප්රතිපත්ති තීරණය ගැනීමට නියමිතය.
ශ්රී ලංකාවේ මුදල් ප්රතිපත්තිය ක්රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය ශ්රී ලංකා මහ බැංකුව වන අතර, ප්රධාන වශයෙන් ආර්ථිකයේ ප්රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සහ ද්රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ.
ආර්ථිකයේ පවත්නා පොලී අනුපාතික මත ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කටයුතු බලපෑම් කරනු ලබන අතර ම, එය ණයගැතියන් හා ණයහිමියන්ගේ හැසිරීම, ආර්ථික ක්රියාකාරකම් සහ අවසාන වශයෙන් උද්ධමන අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබයි.
ඒ අනුව, උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්රතිපත්තිය භාවිත කරනු ලැබේ.
September, 22, 2022
Hemas මැනුෆැක්චරින් සමාගම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ප්රමුඛතම සන්නාමයක් මෙන් ම, මෙරට වඩාත් ජනාදරයට පත් සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් සිය 60වන සංවත්සරය පසුගිය දා සමරන ලදි. දශක හයක ගමන් මඟ තුළ ඕඩි කොලොන්ග් නිෂ්පාදනයේ සිට ඉතා පුළුල් පරාසයක ආරක්ෂිත හා මෘදු ළදරු නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳපොළ වෙත ගෙන එන දේශීය සන්නාමයක් වන බේබි ෂෙරමි, ශ්රී ලාංකේය ළදරු සත්කාරක නිෂ්පාදන වෙළෙඳපොළ තුළ අංක 1 ස්ථානය අඛණ්ඩව රැක ගැනීමට සමත් වී ඇති අතර, සිය නිෂ්පාදන මාලදිවයින, කැනඩාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කිරීම ද සිදු කරයි.
Hemas මැනුෆැක්චරින් සමාගම 1962 වසරේ දී මුලින් ම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් ළදරු නිෂ්පාදනය ලෙස බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් නිෂ්පාදනය හඳුන්වා දිය හැක. එම සන්නාමය වෙතින් ගෙන ආ සුවඳ මෘදු, ආදරණීය මෙන් ම විශ්වසනීය හැඟීම නිසා ම අද පවා බොහෝ ශ්රී ලාංකේය දෙමාපියන් තුළ එම සුවඳ කෙරෙහි දැඩි ආකර්ෂණීය බවක් දක්නට ලැබේ. බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් සමඟින් ගමන් ඇරඹූ බේබි ෂෙරමි සන්නාමය වර්තමානය වන විට ළදරු සබන්, ක්රීම් සහ ලෝෂන්, ළදරු සනීපාරක්ෂක උපාංග ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයක් තුළ විහිදී ඇති අතර, එම නිෂ්පාදන සියල්ලක් ම ගුණාත්මක හා ආරක්ෂිත අමුද්රව්ය යොදා ගනිමින්, සංවේදී ළදරු සමට හිතකර අයුරින් ම නිපදවයි. එමෙන් ම දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්යතා පිළිබඳව මනා අවබෝධයකින් යුතුව බේබි ෂෙරමි විසින් මෑතක දී නිකුත් කරන ලද ළදරු සබන්, ළදරු ලෝෂන් සහ ළදරු කොලොන්ග් සහිත ශාකසාර නිෂ්පාදන පෙළ සියයට සියයක් 'ස්වාභාවික අමුද්රව්ය' යොදා නිෂ්පාදනය කරන බව ද පැවසිය යුතු ම කරුණකි.
Hemas Holdings සමූහයේ වත්මන් සභාපති හුසේන් එසුෆලි මහතා 1982 වසරේ දී මෙම ව්යාපාරයට සම්බන්ධ වූ අතර, බේබි ෂෙරමි සන්නාමයේ ස්වභාවය මනා ලෙස හඳුනාගත් එතුමා, සන්නාමයේ මෙන් ම නිෂ්පාදනවල ද ගුණාත්මක බව වර්ධනය කරමින්, විශ්වසනීයත්වයෙන් ඉහළ ළදරු සත්කාරක සන්නාමයක් නිර්මාණය කිරීම සඳහා කැප විය. මෙම ව්යාපාරික පවුලේ හතරවන පරම්පරාවේ ප්රමුඛ සාමාජිකාවක වන Hemas මැනුෆැක්චරින් සමාගමෙ හි වැඩ බලන කළමනාකාර අධ්යක්ෂිකා සබ්රිනා එසුෆලි මහත්මිය වර්තමාන පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක නිෂ්පාදන පෙළක් ලබා දීම සඳහා නිෂ්පාදනවල සංවර්ධන හා නවෝත්පාදන අංශය වෙත දැඩි අවධානයක් යොමු කරයි.
බේබි ෂෙරමි සන්නාමයේ ගමන් මඟ පිළිබඳව අදහස් දක්වමින් Hemas Holdings PLC සමාගමේ සභාපති හුසේන් එසුෆලි මහතා පැවසුවේ, "ආදරය සහ විශ්වාසය වටා ගොඩ නැගුණු උරුමයන් සමඟින් බේබි ෂෙරමි 60වන සංවත්සරය අපි සමරන්නේ මහත් ආඩම්බරයෙන්. ළදරු වියේදී මව්වරුන්ට තම දරුවන් රැකබලා ගැනීමට සහ ඔවුන්ගේ සුව පහසුව සැලසීම වෙනුවෙන් උපකාර කිරීමේ දැක්මකින් යුතුව අපගේ ගමන ආරම්භ වුනා. අද අපි ආපසු හැරී බලන විට, ඔවුන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමෙන් පමණක් නොව, මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව පරම්පරාවෙන් පරම්පරාවට ශ්රී ලාංකේය මව්වරුන් දැනුවත් කිරීම සඳහා අපගේ සන්නාමය ලබා දී තිබෙන දායකත්වය තුළින් අපගේ අරමුණ සැබෑවක් බවට පත්ව තිබීම ගැන මම ආඩම්බර වෙනවා. වසර ගණනාවක් පුරා මව්වරුන්ගේ විශ්වාසය සහ හොඳ හිත දිනා ගනිමින් අපගේ නිෂ්පාදනවල ආරක්ෂාව සහ තත්ත්ව ප්රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා සන්නාමය අඛණ්ඩව නව්යකරණයන් සිදු කර තිබෙනවා. යනුවෙනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Hemas මැනුෆැක්චරින් හි වැඩ බලන කළමනාකාර අධ්යක්ෂිකා සබ්රිනා එසුෆලි මහත්මිය, “බේබි ෂෙරමි සන්නාමය ශ්රී ලංකාවේ පරම්පරා ගණනාවක දෙමාපියන්ගේ ආදරයේ සංකේතයක්. දිනෙන් දින වර්ධනය වන අපගේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය, පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා අප තුළ පවතින ශක්තිය පෙන්නුම් කරනවා. අපි බේබි ෂෙරමි සන්නාමයේ මීළඟ පියවර දියත් කිරීම සඳහා සූදානමින් සිටිනවා. ඒ වගේ ම බේබි ෂෙරමි මේ රටේ දෙමාපියන් සමඟ ශක්තිමත්ව බැඳෙමින් ළදරුවන් සඳහා ආරක්ෂිත ලෝකයක් ගොඩ නැංවීම වෙනුවෙන් අඛණ්ඩව කැප වෙනවා." යනුවෙන් ප්රකාශ කළාය.
සන්නාමයන්හි විශිෂ්ටත්වය ඇගයීම හා උපාය මාර්ග සැකසීම සම්බන්ධව කීර්තිමත් සමීක්ෂණ ආයතනයක් වන Brand Finance Lanka විසින් නිකුත් කරන ලද LMD හි 2020 හා 2021 වාර්ෂික සන්නාම ශ්රේණිගත කිරීම මගින් බේබි ෂෙරමි සන්නාමය අඛණ්ඩව වසර 2ක් මෙරට ළදරු සත්කාර නිෂ්පාදන අංශයේ වඩාත් ම ආදරය දිනූ සන්නාමය ලෙස නම් කෙරුණු අතර, එමගින් බේබි ෂෙරමි සන්නාමයේ විශිෂ්ටත්වය මනාව තහවුරු වෙයි.
රටේ වග කිව යුතු ආයතනයක් ලෙස හේමාස් සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්ය මග සැලසීම සඳහා රටේ ජනතාව වෙනුවෙන් කැපවී සිටින්නේ, සෑම පවුලකටම වඩා හොඳ හෙටක් ලැබිය යුතු බව අප විශ්වාස කරන බැවිනි. බේබි ෂෙරමි විසින් පවුල් සෞඛ්ය සේවිකාවන්, මුල් ළමා විය රැකවරණ හා සංවර්ධන නිලධාරීන්, ළමා හා කාන්තා කටයුතු අමාත්යාංශය, වෛද්යවරුන් සහ ළමා රෝග විශේෂඥයින් වැනි පාර්ශ්වකරුවන් සමඟ එක්ව වසර 10 කට වැඩි කාලයක් පුරා මාතෘ සායන 300 කට අධික ප්රමාණයක් පවත්වා ඇති අතර, එම සෑම වැඩසටහනකට ම ගැබිණි මව්වරුන් 450කට අධික පිරිසක් සහභාගි ව ඇත.
සාම්ප්රදායික සමාජ වපසරිය වෙනස් කිරීම අරමුණු කරමින් දෙමාපියන් දෙදෙනාම තම දරුපැටියා වෙනුවෙන් තම භූමිකාවන් බෙදා හදා ගනිමින් ආදරයෙන් රැක බලා ගැනීමේ වැදගත්කම පිළිබඳව බේබි ෂෙරමි රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වයි.
විශ්වාසය, පිවිතුරු ආදරය සහ මෘදු බව යන සංකල්පයන් පෙරදැරි කර ගනිමින්, ආරක්ෂිත මෙන් ම ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන පෙළක් ගෙන එන බේබි ෂෙරමි සිය දශක 6ක විශිෂ්ටත්වය සමරන්නේ සාර්ථකත්වයේ මිළඟ ක්රියාන්විතය වෙනුවෙන් අති සාර්ථක සැලසුම් කිහිපයක් ද සමඟිනි.
September, 21, 2022
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූලි මාසයේ පැවති සියයට 66.7හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 70.2 ක් දක්වා ඉහළ ගියේය.
වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 82.5හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 84.6 ක් දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 52.4හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 57.1 ක් දක්වා ඉහළ ගියේය.
ජනලේඛන හා සංඛ්යාලේඛන දේපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
September, 21, 2022
ජාතික සංවර්ධන ඉලක්කයන්ට සහයෝගය ලබාදෙමින් රට වටා දරුවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන පරිගණක විද්යාගාර පරිත්යාග කිරීමේ ප්රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින් 250 වන තොරතුරු තාක්ෂණික විද්යාගාරය පසුගියදා මහරගම ප්රදේශයේ පාසැලක් වෙත ලබාදෙන ලදී.
බැංකුව විසින් ජාතික මට්ටමින් පවත්වාගෙන යන මෙම වැඩසටහන මගින් සිසු දරුවන් 3200 කට අධික සංඛ්යාවක් ඉගෙනුම ලබන වසර 44 ක් පැරණි මහරගම ජනාධිපති විදුහල ප්රතිලාභ ලැබීය. බැංකුව විසින් ප්රදානය කළ මෙම අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්යාගාරය සාමාන්ය තොරතුරු තාක්ෂණ විෂය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂයන් හදාරන උසස්පෙළ සිසුන් සහ තොරතුරු තාක්ෂණ විෂය හදාරන සාමාන්ය පෙළ සිසුන්ට විශේෂයෙන් ප්රයෝජනවත් වන බව බැංකුව සඳහන් කරයි.
බැංකුව විසින් පරිත්යාග කර තිබෙන තොරතුරු තාක්ෂණ විද්යාගාර මගින් සිසු දරුවන් 230,000 කට අධික සංඛ්යාවක් දැනටමත් ප්රතිලාභ ලබා ඇත. මෙම තොරතුරු තාක්ෂණික විද්යාගාර නඩත්තු කිරීම සහ අවශ්ය වූ විට වැඩිදියුණු කිරීම බැංකුවේ ශාඛා ජාලයේ සම්බන්ධීකරණය අනුව සිදුකරන අතර ඒ තුළින් අනාගත පරම්පරා සඳහා මෙම තොරතුරු තාක්ෂණික විද්යාගාරවල තිබෙන පහසුකම් රැකදෙනු ඇත.
මෙම 250 වන සංධිස්ථානාත්මක තොරතුරු තාක්ෂණික විද්යාගාරය කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් නිළ වශයෙන් විවෘත කළ අතර මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා, අධ්යක්ෂ රාජා සේනානායක මහතා, සහ ප්රධාන මූල්ය නිළධාරී, නන්දික බුද්ධිපාල මහතා සහභාගී විය. මෙම ව්යාපෘතිය සඳහා බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් ශ්රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා බැංකුව විසින් දිගු කාලයක් පුරා සිදුකරන වැඩසටහන යටතේ අරමුදල් ලබාදෙන ලදී.
බැංකුව විසින් ප්රදානය කළ 250 වන තොරතුරු තාක්ෂණික විද්යාගාරය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘තාක්ෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහිකිරීම සඳහා අපි විසින් අඛණ්ඩව කටයුතු කරනවා. පරිගණක විද්යාගාර පරිත්යාග වලට අමතරව බැංකුව විසින් තොරතුරු තාක්ෂණික අධ්යාපනික පුහුණුව සඳහා ආයෝජනය කිරීම තුලින්ද මෙම සත්කාරයට අප දායක වෙනවා. දරුවන්ගේ ඩිජිටල් අධ්යාපනික බලාපොරොත්තු සඳහා සහයෝගයක් ලබාදෙන අතරම අපගේ තොරතුරු තාක්ෂණික වැඩසටහන් මෙරට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ ඉලක්ක පිළිබඳවත් අවධානය යොමුකර තිබෙනවා. මෙයින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සමාන අධ්යාපන අවස්ථාවක් ලබාදීම සහ සෑමදෙනා සඳහාම නිරන්තරයෙන් අධ්යාපන අවස්ථාවන් ප්රවර්ධනය කිරීම යන ඉලක්කය කෙරෙහි අපි අවධානය යොමුකර තිබෙනවා.’
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා, අධ්යක්ෂ රාජා සේනානායක මහතා, සහ පාසැලේ විදුහල්පති, කපිතාන් ඩබ්ලිව්. වසන්ත කුමාර මහතා, බැංකුව විසින් ප්රදානය කළ 250 වන තොරතුරු තාක්ෂණික විද්යාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදී මහරගම ජනාධිපති විදුහලේ ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් සමග.
September, 21, 2022
වෙළඳ සේවා ක්රිකට් සංගමය මගින් සංවිධානය කරන ලද Maliban- MCA Annual Masters Cricket ‘Sixes’ 2022 තරගාවලියේ සම-ශූරතාව දිනාගැනීමට SLT සහ HNB කණ්ඩායම් සමත් විය. මෙම තරගාවලිය පසුගියදා වෙළඳ සේවා ක්රිකට් සංගම් ක්රීඩාංගණයේදී පැවැත්විණි.
තරගාවලියේ ලීග් අදියරේදී Colombo Dockyard සහ Singer Sri Lanka PLC කණ්ඩායම් පරාජය කළ SLT කණ්ඩායම, ඉන් අනතුරුව 2020 ශූරයන් වූ සම්පත් බැංකු කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.
කෙසේ නමුත් අවසන් තරගයේදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් SLT කණ්ඩායම සහ, 2020 වසරේ අනු ශූරයන් වූ HNB ‘A’ කණ්ඩායම මෙවර Maliban- MCA Annual Masters Cricket ‘Sixes’ 2022 තරගාවලියේ සම-ශූරයන් ලෙස නම්කිරීමට සංවිධායකවරු තීරණය කළහ.
මෙම වසරේ තරගාවලියේදී කණ්ඩායම් 15 ක් කාණ්ඩ 5 ක් යටතේ තරග වැදුණු අතර, කොළඹ රාජකීය විද්යාලයීය ක්රීඩාංගණයේදී සහ වෙළඳ සේවා ක්රිකට් සංගම් ක්රීඩාංගණයේදී තරග පැවැත්විණි.
ඡායාරූපය - (වමේ සිට) SLT ක්රිකට් කණ්ඩායම - සුරංග විජයරත්න, සඳුන් විජයරත්න, සුදම් ජයවර්ධන, ඩබ්ලිව්. ඒ. සමන්ත, එච්. පී. චමින්ද, නදීප නිරෝෂන්, දිනුෂ් විජේවික්රම (කණ්ඩායමේ කළමනාකරු), චන්දික සිරිමාන්න (නායක), ජගත් සිරිවර්ධන, හර්ෂ වීරසිංහ (පුහුණුකරු), නාමල් දිසානායක
September, 21, 2022
ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති වරාය ගුවන් සේවා සංවර්ධන බදු, සෙස් බදු සහ රේගු ගාස්තු අඩු කිරීම සඳහා ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
අද (21) දින පාර්ලිමේන්තුවේ දී ඇයි මේ බව අනාවරණය කළාය.
ඒ අනුව දැනට ඇත්තේ මෙම කරුණ ගැසට් කරවා ගැනීම බවත්, එසේ ගාස්තු අඩු කළ වහාම අලෙවිකරුවන්ට පැරණි මිල ගණන්වලටම මෙම සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමට සිදුවන බවත් රාජ්ය අමාත්යවරිය මෙහිදී කියා සිටියාය.
මේ අතර පාසල් දැරියන්ට රු. 150ක මිලකට සනීපාරක්ෂක තුවා මාස්පතා ලබා දීමට මෙරට දේශීය නිෂ්පාදකයෙකු මේ වන විට කැමත්ත පළ කර ඇති බව ද ඇය මෙහිදී සඳහන් කළාය.
සබැඳි පුවත්,
September, 20, 2022
Video Story